Posts

Showing posts from December, 2012

වෙනස්‌වීම පිළිබඳ ප්‍රවාද

Image
පසුගිය සතියේ ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් සඳහන් කරන විට අප කියා සිටියේ අංශු විවෘත ව තිබුණත් සංවෘත ව තිබුණත් අංශුව නිරීක්‍ෂණයට පසු ඇත්තේ නිරීක්‍ෂණය කිරීමට පෙර පැවැති අංශුව නො වන බව ය. එහෙත් මෙය වලංගු වන්නේ යම් අවශ්‍යතා යටතේ ය. ක්‌වොන්ටම් භෞතිකයට අනුව පළමුවෙන් ම අංශුව සම්බන්ධයෙන් ඒ නිරීක්‍ෂණය ම කලින් කර ඇත්නම් හා ඉන්පසු වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී නැත්නම් එවිට නිරීක්‍ෂණයෙන් පසුව ඇත්තේ පෙර පැවැති අංශුව ම ය. අංශුව වෙනස්‌ වන්නේ යම් නිරීක්‍ෂණයකට පෙර වෙනත් නිරීක්‍ෂණයක්‌ කෙරී ඇත්නම් හා ඉන්පසු ව පළමු වරට කෙරෙන්නේ අදාළ නිරීක්‍ෂණය නම් ය. දෙවනුව සිංහල බෞද්ධ ක්‍රමයට නම් නිරීක්‍ෂණයට පසුව නිරීක්‍ෂකයා යම් අංශුවක්‌ නිර්මාණය කරයි. නිරීක්‍ෂණයෙන් නිරීක්‍ෂණයට අංශු නිර්මාණය කෙරෙනු මිස අංශුවක වෙනස්‌ වීමක්‌ සිදු නො වේ. අංශුවක්‌ යනුවෙන් වාස්‌තවික වූවක්‌ නො පවතියි. නිරීක්‍ෂකයා විසින් අංශු නිර්මාණය කෙරෙයි. එසේ ම නිරීක්‍ෂකයා ද දිගින් දිගට ම නිර්මාණය කෙරෙයි. එසේ වන්නේ අංශු නිර්මාණය කෙරෙන්නේ මනසට සාපේක්‍ෂව බැවින් හා මනස ද මනසට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙන්නක්‌ බැවිනි. මිනිසකුට ගඟකට බැසීමට හැකි වන්නේ එක්‌ අවස්‌ථාවකට පමණකි ය