ආසනික්‌ තවමත් දිරවගන්න බැරි ද?

රජරට වකුගඩු රෝගයට හේතුකාරක අනාවරණය කර ගැනීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධානය වසර කිහිපයක්‌ පුරා සිදු කළ පර්යේෂණයක තොරතුරු සමුදායක්‌ පසුගිය සතියක එළිදැක්‌විණි. එහි දී හෙළි වූයේ රෝගය හට ගැනීමට ආසනික්‌, කැඩ්මියම් සහ ඊයම් වැනි බැර ලෝහවල සබඳතාවක්‌ තිබිය හැකි බවයි.

රෝගයට හේතුව ආසනික්‌ සහ කිවුල් ජලය බවට සාධක පළමු වරට ඉදිරිපත් කරන ලද්දේ මෙරට ස්‌වාධීන පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසිනි. එම අදහස්‌ නිසා රටේ මහත් ආන්දොලනයක්‌ මතු විය. එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු වන රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මේ අළලා ප්‍රශ්න -පිළිතුරු ස්‌වරූපයෙන් දක්‌වන අදහස්‌ සමූහයක්‌ මේ ලිපියට ඇතුළත් වෙයි.

ප්‍රශ්නය : යටපත් ව ගිය ආසනික්‌ පිළිබඳ සංවාදය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණයත් සම`ග නැවත ඉස්‌මතු වී තිබෙනවා. ඒ ගැන අදහස කුමක්‌ ද?

පිළිතුර :

සත්‍යය කවර දා වත් යටපත් කරන්න බැහැ. එය වතුරේ ඔබපු රබර් බෝලයක්‌ වගෙයි. කොයි වෙලාවේ හරි ඉස්‌මතු වෙනවා. මේකත් ඒ වගේ අවස්‌ථාවක්‌. යටපත් කරන්න තද කරලා, ඔබා ගෙන හිටපු රබර් බෝලය ටිකක්‌ උඩට ආවා. හැබැයි ඉතිං මේ අනාවරණය හරි හමන් එකක්‌ නො වෙයි. නැහැයි කියන්න බැරි නිසා බොහෝ ම අකැමැත්තෙන්, අමාරුවෙන් කරපු ප්‍රකාශයක්‌ වගෙයි පෙනෙන්නේ. මේකෙන් හොඳකුත් වුණා. රජරට වකුගඩු රෝගයට හේතුව ෆ්ලෝරයිඩ් ය, සයනොබැක්‌ටීරියා විෂ ය වගේ කොහෙත් ම පිළිගන්න බැරි අදහස්‌ මේ මඟින් ප්‍රතික්‌ෂේප වුණා.

ප්‍රශ්නය : ඇයි ෆ්ලෝරයිඩ්, සයනොබැක්‌ටීරීයා විෂ, රෝගයට හේතුකාරකය නො වේ ය කියා ප්‍රතික්‌ෂේප කරන්නේ?

පිළිතුර :

අපි මේක මුල ඉඳන් ම කිව්ව කාරණයක්‌. ෆ්ලෝරයිඩ් නිසා හරි, ඇලුමිනියම් ෆ්ලෝරයිඩ් නිසා හරි මේ වගේ වකුගඩු රෝගයක්‌ හටගන්න බැහැ. අනෙක ලංකාවේ භූගත ජලයේ ෆ්ලෝරයිඩ් වැඩි තැන්වල නෙවෙයි රෝගීන් වැඩි. අපි මේක කිව්වට පස්‌සේ සමහරු ලංකාවේ ෆ්ලෝරයිඩ් සිතියමත් වෙනස්‌ කළා තමන් ගේ මතය නිවැරැදියි කියලා පෙන්වන්න. ඒත් හරි ගියේ නැහැ.

සයනොබැක්‌ටීරීයා විෂ තියෙනවා නම් තියෙන්නේ වැව්වල. ඒත් සියයට අනූ නවයයි දශම නවයක්‌ ම මේ ලෙඩේ හැදෙන්නේ ළිං ජලය බොන අයට. වැව් වතුර බොන අයට වකුගඩු ලෙඩ නැහැ. ඒකෙන් ම පේනව නේ සයනොබැක්‌ටීරීයා කතාව "යන්නේ කොහෙද මල්ලේ පොල්" උත්තරයක්‌ බව.

ප්‍රශ්නය : රජරට වකුගඩු රෝගයට හේතුකාරක පිළිබඳව, ආසනික්‌ කණ්‌ඩායමේ අදහස නැවත පැහැදිලි කළොත්..

පිළිතුර :

කෘමිනාශක, වල්නාශක, දිලීරනාශක, රසායනික පොහොරවල (විශේෂයෙන් ටි්‍රපල් සුපර් පොස්‌පේට්‌) තියෙන ආසනික්‌ රජරට කුඹුරුවලට වැටුණ ම අනෙක්‌ පස්‌ වර්ගවලට වඩා වැඩියෙන් රඳවා ගන්නවා. කාලයක්‌ යනකොට ඒ ආසනික්‌ භූගත ජලයට එකතු වෙලා, කිවුලත් එක්‌ක සම්බන්ධ වෙනවා. ඒ කිවුල් වතුර බිව්වම "කිවුල + ආසනික්‌" සංයෝග වකුගඩුවල තැන්පත් වෙලා වකුගඩු ලෙඩේ හැදෙනවා.

ප්‍රශ්නය ( පිරිමි අයට ලෙඩේ වැඩියි කියන්නේ කොහොම ද?

පිළිතුර :

ඒක හරි සරලයි නේ. මේ ලෙඩේ හැදුණු අය ගෙන් 85%ක්‌ ම පිරිමි අය තමයි. අද රජරට ප්‍රදේශවල භූගත ජලයේ කිවුලත් එන්න එන්න ම වැඩි වෙනවා. හැබැයි ඒ කිවුල් රස වැඩි වෙන්නේ කැල්සියම්, මැග්නීසීයම් ලවණ වැඩි වීම නිසා ම නො වෙයි. කෘෂි රසායන ද්‍රව්‍යවල තියෙන විවිධ අයන භූගත ජලයට එකතු වෙලා අද "ලවණ සුප්" එකක්‌ වෙලා. ඒ වතුර බොන්න බැහැ. එළියට බැහැලා සූර්ය රශ්මියට නිරාවරණය වෙලා ගොවිතැන් බත් කරන්නේ පිරිමි අය. ඒ අය ගේ ඇඟේ තියෙන වතුර ටික දැඩි සූර්ය තාපය හමුවේ වාප්ෂ වෙනවා. වතුර තිබහ එනවා. ඒත් බොන්න තියෙන්නේ කිවුල් වතුර. ඒවා බොන්න බැහැ. අප්පිරියයි. ඉතින් උගුරක්‌ දෙකක්‌ බීලා නිකන් ඉන්නවා. මේ පිරිමි ගොවි මහත්වරු යම් විදියකට විජලනයට (Heat stress and dehydration) පත් වෙනවා. එතකොට වකුගඩු ඇතුළේ ග්ලූකෝස්‌, ෆ්රක්‌ටෝස්‌ බවට පත් වෙලා වකුගඩුවලට විෂක්‌ ලෙස ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක මේ අය ගේ වකුගඩු ගැහැනු අයට වඩා නරක්‌ වෙන්න ප්‍රධාන හේතුවක්‌. විජලනයට ලක්‌ වුණහම ඇඟේ තියෙන විෂ ද්‍රව්‍යවල සාන්ද්‍රණයත් ඉහළ යනවා. ඒකත් වකුගඩුවලට අහිතකරයි. ඒ ඇරුණාම කෘෂි රසායන ද්‍රව්‍යවල තියෙන ආසනික්‌ පහසුවෙන් ම සම හරහා අවශෝෂණය වෙනවා. මේවා පාවිච්චි කරන්නෙත් පිරිමි අය නේ. ඔන්න ඔය හේතු නිසා තමයි පිරිමි අයට ලෙඩේ වැඩි.

ප්‍රශ්නය : මේ අසනීපයට "කැඩ්මියම්" කියන බැර ලෝහයේ සම්බන්ධතාවක්‌ තියෙන බව තවත් පිsරිසක්‌ කියනවා. ඒ ගැන අදහස?

පිළිතුර :

ඇයි නැත්තේ? තියෙනවා. කැඩ්මියම් කියන්නේ වකුගඩු විෂක්‌. කිවුල සහ ආසනික්‌ එකතු වෙලා තනන සංයෝගවලින් වකුගඩුවලට හානි කරන කොට එතැනට කැඩ්මියමුත් ආව ම "කොරේ පිටට මරේ " වගේ. කැඩිමියම් කියන්නේ මේ අසනීපය උග්‍ර කරවන්න හේතු වන සාධකයක්‌. හැබැයි කැඩ්මියම් නැතුවත් මේ අසනීපය හැදෙනවා.

ප්‍රශ්නය : ඒත් ඒ කණ්‌ඩායම රෝගයට ප්‍රධාන හේතුව කැඩ්මියම් කියලා තරයේ ම කියා සිටිනවා.

පිළිතුර :

ඔව්, ඕන කෙනකුට තමන් ගේ මතයක්‌ දරන්න පුළුවන්. දැන් ඔය කාලයක්‌ තිස්‌සේ කණ්‌ඩායමක්‌ රට දෙවනත් කළේ, ලෙඩේ හැදෙන්නේ ෆ්ලෝරයිඩ් නිසා කියලා. හැබැයි මොන මතය දැරුවත් ඒ මතයට පුළුවන් වෙන්න ඕනේ රෝගයේ ස්‌වභාවය, රෝග ව්‍යාප්තිය සංගත විදියට පැහැදිලි කරන්න. කැඩ්මියම් විතරක්‌ රෝගයට හේතුව ය, කැඩ්මියම් ප්‍රධාන හේතුකාරකය ය කියලා ගත්තොත් රජරට වකුගඩු රෝගයට එහෙම පැහැදිලි කිරීමක්‌ කරන්න බැහැ.

ප්‍රශ්නය : "කැඩ්මියම් " අදහස අනුව පැහැදිලි කරන්න බැරි දේවල් මොනව ද?

පිළිතුර :

01. කැඩ්මියම් එන්නෙත් රසායනික පොහොරවලින්. මේ රසායනික පොහොර රටේ හැම තැන ම පාවිච්චි කරනවා. මාතරත් ගහනවා. ගාල්ලෙත් ගහනවා, ගම්පහත් ගහනවා. ඇයි එහෙනම් ඒ ප්‍රදේශවල ලෙඩ නැත්තේ?

02. රෝගීන් ගෙන් 99.9%ක්‌ ම භූගත ජලය පානය කරපු අය. වැව් වතුර බීපු අයට ලෙඩේ නැහැ. හේතුව කැඩ්මියම් නම් ඇයි ඒ?

03. ඇයි ලෙඩ්ඩුන් ගෙන් 85%ක්‌ ම පිරිමි අය වෙන්නේ?

04. දීර්ඝ කාලීන කැඩ්මියම් විෂ වීමක දී දක්‌නට ලැබෙන අස්‌ථි සංකූලතා සහ වෙනත් රෝග ලක්‌ෂණ මේ රෝගීන් ගේ නැහැ. ඒ ඇයි?

05. රෝගය හැදෙන්නෙ කන කෑමවල තියෙන කැඩ්මියම් නිසා නම්, ඇයි රජරට මිනිස්‌සුන්ට විතරක්‌ මේක හැදෙන්නේ? ආහාර ද්‍රව්‍යවල තියෙන කැඩ්මියම් ප්‍රමාණය මේ වගේ වකුගඩු රෝගයක්‌ හදන්න කොහොමත් ප්‍රමාණවත් නැහැ.

ප්‍රශ්නය : එහෙනම් ඇයි කැඩ්මියම් අදහසට පිළිගැනීමක්‌ ලැබිලා තියෙන්නේ?

පිළිතුර :

ඒකට හේතු කිහිපයක්‌ තියෙනවා. කැඩ්මියම් කියන්නේ වකුගඩු විෂක්‌ කියන කාරණය බටහිර විද්‍යාඥයෝ තහවුරු කරගෙන තියෙනවා. හැබැයි ආසනික්‌ සුළු ප්‍රමාණවලින් ශරීරගත වීම නිසා වකුගඩු රෝග ඇති වෙනවා කියන කාරණය බටහිර විද්‍යාඥයෝ තහවුරු කරගත්තේ බොහෝම මෑතක දී. ඒත් තාම පර්යේෂණ මට්‌ටමේ තියෙන්නේ. ඇරත් කිවුල් ජලය සහ ආසනික්‌ කියන කාරණය මීට පෙර ලෝකයේ කතා බහට ලක්‌ නො වුණ දෙයක්‌. අලුත් අදහසක්‌ අපි ඉදිරිපත් කළාම ඒක කොච්චර සංගත වුණත්, තත්ත්වය පැහැදිලි කළත්, තියෙන සාධක සම`ග කොච්චර ගැලපුණත්, කිව්වේ සුද්දො නො වන නිසා පිළිගන්න බැරි හීනමානයක්‌ අපේ සමහර අය ගේ තියෙනවා.

කැඩ්මියම් නිසා වකුගඩු රෝග හැදෙනවා කියන එක සුද්දො කියපු එකක්‌ නේ. අපේ රටේ තියෙන අසනීපය පැහැදිලි කරන්න ඒ අදහසට බැරි වුණත්, සුද්දො කියපු එක "කට්‌ ඇන්ඩ් පේස්‌ට්‌" කළා ම ඒක හරි කියලා සමහරු හිතනවා.

හැබැයි කැඩ්මියම් එන්නෙත් මේ කෘෂිරසායන ද්‍රව්‍යවලින්. මම ඉස්‌සෙල්ලා කිව්වා වගේ මේ ලෙඩේට ඒකෙත් සම්බන්ධයක්‌ තියෙනවා. කැඩ්ම්යම් මේ ලෙඩේට හේතුවක්‌ ය කිව්වම, ඒ අදහස මුලින් ඉදිරිපත් කරපු මහාචාර්ය සරත් බණ්‌ඩාර මහත්තයාට ගොඩක්‌ අපවාදවලට ලක්‌ වෙන්න සිද්ධ වුණා. මොනවා වුණත් එතුමා රසායනික පොහොරවල තියෙන භයානකකම ගැන දිගින් දිගට ම කිව්වා. ඒ නිසා එතුමා ගැන අපේ තියෙන්නේ ගෞරවයක්‌. දැන් කරන්න ඕන ආසනික්‌ ද, කැඩ්මියම් ද, කියලා මරාගන්න එක නෙමෙයි. මේ දෙක ම එන්නේ බාල තත්ත්වයේ කෘෂි රසායනවලින් නිසා ඒකට වැට බඳින එක.

ප්‍රශ්නය : ආසනික්‌ වකුගඩු රෝගයට හේතු වන බව මුල් වරට කිව්වෙ කවුද?

පිළිතුර :

ආසනික්‌ නිසා මේ ආකාරයේ වකුගඩු රෝගයක්‌ ඇති වන බව කිවිවේ අපි. ඒකට කිවුල සෘජු ව ම සම්බන්ධයි. 2011 ජනවාරි මාසයේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග ඒකකයේ තිබුණා ඔය ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂණ කණ්‌ඩායමේ රැස්‌වීමක්‌. එදා තමයි රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ කියන එක මුල් වරට අප කිව්වේ. එදා වෙනකල් මේ පර්යේෂණ කණ්‌ඩායම ආසනික්‌ ගැන හිතලා වත් තිබුණේ නෑ. ඊට පස්‌සේ තමයි ඒ අය ආසනික්‌ ගැන හොයන්න පටන් ගත්තේ ඕන නම් මට ඒ සඳහා ලිත සාක්‌ෂි ඉදිරිපත් කරන්න පුළුවන්.

මම බය නැති ව කියනවා රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ සහ කිවුල. තව අවුරුදු 100ක්‌ පර්යේෂණ කරලා හරි ඔය නැහැයි නැහැයි කියන අයට ඕක පිළිගන්න වෙනවා.

හැබැයි වකුගඩු රෝගය කියන්නේ ප්‍රශ්නෙන් 1/4ක්‌ පමණයි. මේ පළිබෝධනාශක, රසායනික පොහොර ගහලා වවන හැම කෑමක ම ආසනික්‌ අඩංගුයි. ඒවා කෑවා ම ආසනික්‌ අක්‌මාවේ තැන්පත් වෙනවා. දියවැඩියාව, හෘදයාබාධ, පිළිකා තමයි අනෙක්‌ ප්‍රධාන ව්‍යසන තුන. මුළු දකුණු ආසියාවෙන් ම වැඩියෙන් ම රසායනික පොහොර පාවිච්චි කරන්නේ අපි. වෙළෝද පොළේ තියෙන හැම පළිබෝධනාශකයක ම වගේ ආසනික්‌ අඩු වැඩි වශයෙන් තියෙනවා. ආසනික්‌ කියන්නේ ලෝකයේ තියෙන අංක 01 පිළිකාකාරකයක්‌. බලන්න අද රටේ පිළිකා රෝගීන් අසාමාන්‍ය ලෙස වැඩි වෙන හැටි. මේක පැහැදිලි කරන්න වෙන ක්‍රමයක්‌ තියෙනව ද?

පාසල් ළමයින් ගෙන් 15% - 20%ක්‌ දියවැඩියා රෝගීන්. ඇයි මේ ආසනික්‌ අංශු මාත්‍ර ප්‍රමාණයක්‌ ටික කලක්‌ ශරීරගත වුණා ම දියවැඩියාවට වුණත් මඟපාදනවා. ආසනික්‌වලට පුළුවන් අග්න්‍යාශයේ ඉන්සියුලින් හදන එක නවත්වන්න. ඒ වගේ ම අක්‌මාවේ ග්ලූකෝස්‌-ග්ලයිකොජන් පරිවෘත්තියටත් ආසනික්‌වලින් බාධා ඇති වෙනවා. ඒකෙ අවසන් ප්‍රතිඵලය තමයි දයවැඩියාව. හෙපරීන් කියන සංයෝගය නිපදවන්නේ අක්‌මාවෙන්. ආසනික්‌වලට පුළුවනි ඒ සංයෝගය නිපදවන එක අඩු කරන්න. එහෙම නැතිනම් හැදෙන සංයෝගයේ ව්‍යුහය වෙනස්‌ කරන්න. හෙපරින් තමයි අපේ ඇඟේ රුධිරය කැටි ගැහෙන්න නො දී තියාගන්නේ. ඉතින් අහන්න දෙයක්‌ ද හෘදයාබාධ, මොළයට රුධිරය යන වාහිනීවල කැටි ගැසීම් ඇති වෙන එක. අද අපේ ගම්වල මිනිස්‌සුන්ට, මෙච්චර මහන්සි වෙලා වැඩ කරලත් මෙච්චර හෘදයාබාධ හැදෙන්නේ "හැම් බේකන්" කාල ද? නැහැ, ආසනික්‌ කාලා. ඒකයි මම කියන්නේ රජරට වකුගඩු රෝගය කියන්නේ ප්‍රශ්නේ එක කොටසක්‌ පමණයි. අනෙක්‌ ඒවා ගැන තාම කතා කරන්න වත් අරගෙන නැහැ.

ප්‍රශ්නය : මොකක්‌ ද ඉදිරිපත් කරන විසඳුම?

පිළිතුර :

මුලින් ම මේ වකුගඩු රෝගය තියෙන ප්‍රදේශවල මිනිසුන්ට කිවුල නැති පිරිසිදු වතුර දෙන්න ඕනේ බොන්න.

ආසනික්‌ ද, කැඩ්මියම් ද, මේ හැම ජරාවක්‌ ම රටට එන්නේ බාල තත්ත්වයේ කෘෂි රසායනවලින්. වහා ම නිසි ප්‍රමිතියක්‌ ඇති කෘෂි රසායන පමණක්‌ රටට ගෙන්වන්න පියවර ගන්න ඕන.

ඒ වගේ ම මධ්‍යකාලීනව සහ දිගුකාලීනව කෘෂි රසායන භාවිත නො කරන ගොවිතැනකට ගොවීන් යොමු කරන්නත් ඕනේ.

ප්‍රශ්නය : එහෙම ගොවිතැනක්‌ තියෙනව ද?

පිළිතුර :

ඔව් තියෙනවා. 2012 මැයි 30 විදුසර සතියේ විමසුම හැටියට මම ඒ ගැන ලිපියක්‌ ලිව්වා. ඒක කියවලා බලන්න.

ප්‍රශ්නය : මේ දවස්‌වල මොනව ද කරන්නේ? වකුගඩු රෝග පර්යේෂණ ඉවර ද?

පිළිතුර :

ඉවර නෑ. දැන් තමයි හොඳ ම ටික. අපේ හේතු දැක්‌වීම මත පදනම් වෙලා දැන් අපි ලෙඩ්ඩුන්ට බෙහෙත් කරනවා. ඔය මොන පණ්‌ඩිත කතා කිව්වත් කාට ද පුළුවන් වකුගඩු අසනීපේ සුව කරන්න. ලෙඩේ තියෙන පැත්තේ ම තියෙන පැළෑටි වර්ග කිහිපයක්‌ යොදාගෙන අපි ප්‍රතිකාර පටන් අරගෙන තියෙන්නේ. මූලික පර්යේෂණ සාර්ථකයි. මේ වෙලාවේ ඔක්‌කොම විස්‌තර දෙන්න බෑ. හැබැයි සුබ පෙරනිමිති ගොඩක්‌ තියෙනවා. මතක තියාගන්න, මේ ප්‍රතිකාර ගැන දැනුම අපට ලැබුණෙත් අර ලෙඩේට හේතුව කියපු තැනින් ම තමයි.

අපි බලමු කෝ ලෙඩ්ඩු හොඳ වෙන කොට මේ අය කියන්නේ මොකද කියලා....!

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය