ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු 
http://vidusara.com/
ශබ්ද දූෂණය යනු අනවශ්‍ය ලෙස බාධා කරන ශබ්දය ලෙස සරලව දැක්‌විය හැකි ය. වඩා පුළුල් අර්ථදැක්‌වීමක්‌ අනුව, මිනිසුන් ගේ හා සතුන් ගේ ජීවිතවල ක්‍රියාකාරීත්වයට බලපෑම් සිදු කරන අධික හෝ බාධාකාරී ශබ්දය ලෙස දැක්‌විය හැකි ය. මෙය පරිසරය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී අප එතරම් අවධානයට නො ගන්නා අංශයකි. 

අප අවට පරිසරයේ අධික ශබ්දයක්‌ පිට කරන ප්‍රභව අතර, ගුවන් යානා, ගිනි කෙළි, රථවාහන නළා, කර්මාන්ත ශාලා, ශබ්ද විකාශන යන්ත්‍ර, ඉදිකිරීම් කටයුතු හා විවිධ විදුලි උපකරණ ආදිය දැක්‌විය හැකි ය.

ශබ්දයේ මට්‌ටම හෙවත් හෙ`ඩ් සැර මනිනු ලබන්නේ ඩෙසිබල් (dB) නම් ඒකකයෙනි. ඩෙසිබල් 85කට වඩා ප්‍රබල ශබ්දයකට දිගු කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් ස්‌ථිර ශ්‍රවණ හානියක්‌ පවා ඇති විය හැකි ය. ඩෙසිබල් 140ට වඩා අධික ශබ්දයකට කෙටි කාලයක්‌ හෝ නිරාවරණය වීම යෝග්‍ය නො වේ. 

පහත දැක්‌වෙන වගුව ම`ගින් අප අවට පරිසරයේ පවත්නා ශබ්දයේ ප්‍රබලතාව වටහාගත හැකි ය.


ශබ්ද දූෂණයේ බලපෑම්

ශබ්ද දූෂණයෙන් ඇති විය හැකි බලපෑම් අනුව එහි බරපතළ බව වටහාගත හැකි ය. අධික ශබ්දයට ලක්‌ වීමෙන් ඇති විය හැකි මූලික ගැටලුව වන්නේ විවිධ ශ්‍රවණාබාධ ඇති වීමයි. ශ්‍රවණයට ඇති වන බලපෑම අදාළ ශබ්දයට නිරාවරණය වන කාලය අනුව වෙනස්‌ වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් පැය 24ක්‌ ඇතුළත අයකු ඩෙසිබල් 85ක ශබ්දයකට ආරක්‌ෂිතව නිරාවරණය විය හැකි උපරිම කාලය පැය 8කි. ඩෙසිබල් 100ක ශබ්දයක දී ආරක්‌ෂිත කාලය මිනිත්තු 15ක්‌ පමණ තරම් අඩු ය. මේ හැර අධික ශබ්දය නිසා ආතතිය, මානසික පීඩාව වැනි තත්ත්ව, වමනය හා හිසරදය වැනි තත්ත්ව ඇති විය හැකි ය. එසේ ම අධික රුධිර පීඩනය, හෘදයාබාධ වැනි තත්ත්ව සඳහා ද අධික ශබ්දය බලපායි.

මිනිසුන්ට පමණක්‌ නො ව අප පරිසරයේ වෙසෙන සතුන්ට ද ශබ්ද දූෂණයෙන් ගැටලු ඇති වේ. උත්සව සමයේ දී භාවිත කරන රතිඤ්ඤා නිසා නිවෙස්‌වල ඇති කරන සුරතල් සතුන් මෙන්ම පක්‌ෂීන් ද අපහසුතාවට පත් වීම මීට නිදසුනකි.

ශබ්ද දූෂණය අවම කිරීමට හා ඉන් ආරක්‌ෂා වීමට අපට දායක විය හැකි ආකාර කිහපයක්‌ පහත දැක්‌වේ.

වාහන භාවිතයේ දී සැලකිලිමත් වීම - වාහන ම`ගින් සිදු වන ශබ්ද දූෂණය අඩු කිරීම සඳහා වාහන භාවිත කරන අයට කළ හැකි කාර්ය කිහිපයක්‌ තිබේ.

වාහනයේ එන්ජිමෙන් නිකුත් වන ශබ්දය අධික නම් ඒ පිළිබඳව පරීක්‌ෂා කරගැනීම.

අනවශ්‍ය ලෙස වාහන නළා ශබ්ද කිරීමෙන් වැළකීම හා අධික ශබ්ද සහිත නළා භාවිතයෙන් වැළකීම - වාහන නළා ශබ්දය පිළිබඳ සීමා මේ වන විට පනවා තිබේ. (2011- 12-29 දින දරන අංක 1738/37 දරන ගැසට්‌ පත්‍රය).

උත්සව අවස්‌ථාවල දී - උත්සව අවස්‌ථා සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර යොදාගත යුත්තේ අවශ්‍යතාව අනුව පමණි. හැම විට ම ශබ්ද විකාශන (loud speaker) භාවිතය අවශ නො වේ.

අදාළ ශබ්දය නිසා අසල්වැසියන්ට අවහිරයක්‌ හෝ පීඩාවක්‌ සිදු වන්නේ ද යන්න පිළිබඳව විමසීම.

නිවසේ අධික ශබ්දයෙන් වැළැකීම

අඩු ශබ්දයක්‌ නිකුත් කරන උපකරණ මිලට ගැනීම.

ගුවන්විදුලි, රූපවාහිනි ආදී ශබ්දය නිකුත් කරන උපකරණ භාවිතයේ දී අනවශ්‍ය තරම් අධික ශබ්දයෙන් ක්‍රියාත්මක නො කිරීම.

අධික ශබ්ද සහිත ස්‌ථානයක දී

කළ හැකි දේ

හැකි ඉක්‌මනින් එවැනි ස්‌ථානවලින් ඈත් වීම ඉතා වැදගත් ය.

ශ්‍රවණය වන ශබ්දය අඩු කරන උපකරණ (ear plug, ear muff) භාවිතය

ශබ්දය පාලනය කිරීම සඳහා පියවර ගැනීම - ශබ්ද ප්‍රභවයේ හිමිකරුවන් දැනුම්වත් කිරීම හා ඒ පිළිබඳව ඔවුන් පියවරක්‌ නො ගන්නේ නම් ඒ ගැන අදාළ බලධාරීන් දැනුම්වත් කිරීම යෝග්‍ය ය.

ශබ්ද දූෂණය පිළිබඳව අන් අය දැනුම්වත් කිරීම

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌ dhaneshw@ymail.com

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය