හූනන් ගේ කල දසාව අඳුරු වීමට වගකිවයුත්තේ කවුරුන් ද?

හූනන් ගේ කල දසාව අඳුරු වීමට වගකිවයුත්තේ කවුරුන් ද?

හූනන් යනු මෙරට සාමාන්‍ය ජනතාව අතර එතරම් ඉහළ අවධානයකට ලක්‌ වන ජීවී කොට්‌ඨාසයක්‌ නො වේ. රටේ වැඩි දෙනා හඳුනන්නේ ද නිවෙස්‌වල දැකිය හැකි හූනු විශේෂ දෙක පමණකි. එහෙත් පසුගිය මාස දෙක තුනක පමණ කාලය ඇතුළත මෙරට පුවත්පත්වල වාර්තා වූ පරිසරය හා අදාළ පුවත් අතර හූනන් පිළිබඳ පුවත්වලට මුල් තැනක්‌ හිමි විය. වඩාත් නිවැරැදිව පවසන්නේ නම් ඒවා "කිඹුල් හූනන්" හා "කබර හූනන්" පිළිබඳ පුවත් ය.

මේ පුවත්වලින් කියෑවුණේ කිඹුල් හූනන් ස්‌වාභාවික පරිසරයෙන් එකතු කිරීම හා ළඟ තබාගැනීම හා සම්බන්ධව රටේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් පිළිබඳ ව ය. ඇතැම් විට මේ සතුන් සමඟ විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබූවේ මේ සතුන් අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන අතරතුර ය. අද වන විට මෙරට වනජීවී ද්‍රව්‍ය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක්‌ ඇති වල්ලපට්‌ට සමඟ කිඹුල් හූනන් ද එකතු කරනු ලබන අවස්‌ථා වාර්තා වී ඇත. ඇතැම් ප්‍රදේශවල දී කැළෑ පීරමින් හූනන් සොයන අවස්‌ථා සම්බන්ධව ද වාර්තා වී තිබිණි. ඇතැම් පුවත් වාර්තාවලට අනුව මේ හූනන් ඉතා අධික මිල ගණන්වලට අලෙවි කිරීමට නියමිත ව තිබූ බව පෙනේ. මේ අනුව අදාළ ජාවාරම තරමක්‌ සංවිධානගත ලෙස සිදු කරන ලද්දක්‌ බව පෙනේ.

හූනන් එකතු කරන්නේ කුමකට ද?

මේ ආකාරයෙන් හූනන් අල්ලා ගනු ලැබූයේ කුමක්‌ නිසා ද යන්න පිළිබඳව වීමසීමේ දී පෙනෙන්නේ යම් යම් පුද්ගලයන්ට අලෙවි කිරීම සඳහා මේ හූනන් එකතු කරනු ලැබූ බවකි. වාර්තා වන පරිදි මේ ඒ විදේශගත කිරීමට බව පෙනේ. අපේ රටෙන් කිඹුල් හූනන් හා වෙනත් හූනු විශේෂ රහසිගතව බැහැර කරනු ලබන බව සැක කිරීමට ද හැකියාව තිබේ.

හූනන් මේ ආකාරයෙන් වැදගත් වී ඇත්තේ කරුණු කිහිපයක්‌ නිසා ය. ඇතැම් රටවල, විශේෂයෙන් දියුණු රටවල, සුරතල් සතුන් ලෙස ඇති කිරිම සඳහා හූනන් වැනි අප නො සිතන ආකාරයේ සතුන් පවා භාවිත කරනු ලැබේ. මෙය වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ අවධානය යොමු කළ යුතු අංශයක්‌ සේ දක්‌වා තිබේ. එසේ ම අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල ඇතැම් හූනු විශේෂ රෝග සඳහා ප්‍රතිකාර හා ඖෂධීය පාන සකස්‌ කිරීම සඳහා භාවිත වන බව ද වාර්තා වේ. මේ ප්‍රවණතාව දැකිය හැක්‌කේ මෑත කාලයේ දී වන අතර එහි කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක්‌ නොමැති බව පෙන්වා දී තිබේ. මේ තත්ත්වය ඇතැම් අග්නිදිග ආසියාතික රටවල ගැටලුවක්‌ බවට පත් වෙමින් තිබේ.

කෙසේ වෙතත්, බොහෝ දුරට සජීවී නිදර්ශක එකතු කළ අවස්‌ථා වාර්තා වන නිසා සහ ඖෂධීය භාවිත සඳහා යොදාගන්නා හූනු විශේෂ මෙරටින් වාර්තා නො වන නිසා අපේ රටෙන් කිඹුල් හූනන්

රැස්‌ කරනු ලැබූයේ සුරතල් සතුන් ලෙස ඇති කිරීම සඳහා යොදාගැනීමට බව විශ්වාස කළ හැකි ය.

මෙයට තවත් සාධකයක්‌ වන්නේ මේ ආකාරයෙන් හූනන් එකතු කරනු ලැබූ බව වාර්තා වී ඇති ප්‍රදේශයි. මේ ප්‍රදේශ මෙහි නම් නො කරනු ලැබුව ද අදාළ හූනු විශේෂවල ස්‌වාභාවික කලාපයෙන් පිටත දී ද හූනන් එකතු කර ඇති බව දැකිය හැකි නිසා කිඹුල් හූනා ලෙස හඳුන්වන විශේෂය හැරුණු විට තවත් විශේෂ ගණනාවක්‌ ම මේ එකතු කරන්නන් ගේ අවධානයට ලක්‌ ව ඇති බව සිතිය හැකි ය. (මේ බව ඇතැම් පුවත්වල ද පළ විය). මෙය හූනන් එකතු කරන්නේ සුරතල් සතුන් ලෙස ඇති කිරීමට යොදාගනු ලැබීම සඳහා ය යන තර්කයට වැඩි ඉඩක්‌ ලබා දේ. කෙසේ වෙතත් අපේ රටේ දැකිය හැකි හූනු විශේෂ 44ක්‌ අතරින් 35ක්‌ පමණ ප්‍රමාණයක්‌ අපේ රටට ආවේණික හෙවත් මෙරට පමණක්‌ දැකිය හැකි හූනු විශේෂ වන නිසා ජෛව මංකොල්ලයක්‌ පිළිබඳ සැකයක්‌ ද මතු වේ.

හූනන් පිළිබඳ සෙවුම්

මේ පිළිබඳ පුවත් පළ වීමත් සමඟ, අන්තර්ජාලයේ හූනන් පිළිබඳ විවිධ ආකාරයේ සෙවුම් ඉහළ ගොස්‌ ඇති බව පෙනේ. නිදසුනක්‌ ලෙස ගූගල් සෙවුමක (google.lk) හූනා යන අරුතින් gecko යනුවෙන් යතුරුලියනය කරන විට ස්‌වයංක්‍රීයව පැමිණෙන ජනප්‍රිය සෙවුම් වදන් වැලේ (google instant) මුලින් ම පැමිණෙන්නේ gecko prices, gecko for sale හා gecko price in Sri Lanka යන සෙවුම් ය. ඉන් පෙනෙන්නේ, ටැජනද යන වදනින් ශ්‍රී ලංකාවේ දී ගූගල් වෙබ් අඩවියේ වැඩි වශයෙන් භාවිත වන සෙවුම් මේවා වන බවයි.

මෙරට ජෛව විවිධත්වයේ තක්‌සෝන රැසකට අයත් ජීවී විශේෂ මට්‌ටමින් මූලික තොරතුරු හා ඡායාරූප සහිත http:// biodiversityofsrilanka.blogspot.com බ්ලොග් අඩවිය පවත්වාගෙන යන අප මිත්‍ර භූෂණ කල්හාර මහතා මේ පිළිබඳව අපූරු කරුණක්‌ හෙළි කළේ ය. ඔහු ගේ බ්ලොග් අඩවිය වෙත යොමු වන සෙවුම් අතරින් හූනන් හා සම්බන්ධ සෙවුම් ප්‍රමාණය මෑත කාලයේ දී ඉහළ ගොස්‌ තිබේ. මේ අතරින් අසාමාන්‍ය වර්ධනයක්‌ දැකිය හැකි වී ඇත්තේ කිඹුල් හූනා හා කබර හූනා යන වදන්වලින් යොමු වූ සෙවුම්වල ය.

මේ සෙවුම් ම`ගින් මතු වන වැදගත් කරුණක්‌ පිළිබඳව ද ඔහු අපේ අවධානය යොමු කළේ ය. මේ ඇතැම් සෙවුම් යොමු ව තිබුණේ අදාළ නිශ්චිත විශේෂ සඳහා ගැනුම්කරුවන් සෙවීම පිණිස වීම ඉන් එක්‌ කරුණකි. ඉන් පෙනී යන්නේ එවැනි විශේෂ එකතු කළ හෝ එකතු කිරීම සඳහා සූදානම් වූ යම් දැනුමක්‌ සහිත පිරිසක්‌ විසින් අදාළ සෙවුම් සිදු කරනු ලැබ ඇති බවකි. මේ හදිසි වර්ධනය නිසා අදාළ හූනු විශේෂ හා වෙනත් වර්ණවත් හූනු විශේෂ පිළිබඳ විස්‌තර හා ඡායාරූප ස්‌වකීය බ්ලොග් අඩවියෙන් තාවකාලිකව ඉවත් කිරීමට ඔහු පසුව ක්‍රියා කර තිබිණි.

ජනමාධ්‍යයේ වගකීම

හූනන් එකතු කිරිම හා සම්බන්ධ කරුණුවල දී ජනමාධ්‍යයේ වගකීම නිසි ආකාරයෙන් ඉටු වූයේ ද යන්න තරමක්‌ ගැටලු සහිත ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇතැම් පුවත්පත්වල මේ හූනන් එකතු කිරීම පිළිබඳ පුවත්වලට ලැබුණේ ඉතා කැපී පෙනෙන ස්‌ථානයකි. එහි දී වඩාත් වැදගත්කම ලැබුණේ හූනකු අලෙවි කරනු ලබන මිල ගණන්වලට මිස මෙය වනජීවී අපරාධයක්‌ ය යන්නට හෝ ඒ සඳහා ලබා දුන් දඬුවම සඳහා හෝ නො වේ. මේ මිල ගණන් අතිශයෝක්‌තියට නැංවූ ඒවා බව ද පෙනෙන්නට තිබිණි. මෙරට ජෛව විවිධත්වයට සිදු වන හානිය හෝ පරිසර පද්ධතිවලට ඇති වන බලපෑම මේ මාධ්‍යවලට එතරම් වැදගත් නො වූ බවක්‌ පෙනිණි. හූනන් හඳුන්වනු ලබන පොදු නම් මේ පුවත්වල දැකිය හැකි වූ අතර, ඇතැම් රූපවාහිනි නාළිකාවලින් හූනන් ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන පවා දැකිය හැකි විය.

මේ පුවත් ම`ගින් පෙන්වන්නේ මේ වන විට ද ඇතැම් හූනන් කළුකඩයේ අලෙවි වන බව ය. එහෙත් මේ අනිසි ප්‍රචාරය ඒ වෙළෙඳාම තවත් ව්‍යාප්ත කිරීමකට ම`ගපෙන්වන්නකි. අපේ රටේ ජනතාව අතර කුමක්‌ හෝ කර මුදල් උපයන කිසියම් පිරිසක්‌ සිටින බව රහසක්‌ නො වේ. මෙවැනි ප්‍රචාර ම`ගින් සිදු වන්නේ එවැනි අවස්‌ථාවාදී පිරිස්‌වලට පහසුකම් සැපයීමකි. මෙතෙක්‌ ඔවුන්ට හමු නො වූ ආදායම් මාර්ගයක්‌ පිළිබඳ තොරතුරු ඔවුන් වෙත සැපයීම මින් සිදු වේ. මේ පිරිස්‌වලට අදාළ අලෙවි ජාල හා සම්බන්ධ වීම එතරම් ගැටලුවක්‌ නො වේ.

මේ සඳහා අවශ්‍ය තරම් නිදසුන් සැපයිය හැකි ය. එක්‌ පුවතකින් දැක්‌වුණේ එක්‌තරා ප්‍රදේශයක එක්‌තරා නිශ්චිත කන්දක්‌ පීරමින් කිඹුල් හූනන් සොයන බවකි. එය අදාළ ප්‍රදේශයේ පමණක්‌ නො ව පිටස්‌තර පෙදස්‌වලින් පැමිණෙන්නන්ට ආරාධනා කිරීමක්‌ නො වන්නේ ද? තවත් ඇතැම් පුවතක ඉතා සරල විද්‍යාත්මක කරුණු පවා විකෘති ආකාරයෙන් සඳහන් කළ අවස්‌ථා දැකිය හැකි විය. එක්‌ පුවතක අදාළ "හූනා ජෛව විවිධත්වයෙන් යුතු එකෙකැයි පොලීසිය පැවසූ බවක්‌" සඳහන් වීම මීට නිදසුනකි.

අනෙක්‌ අතට මේ තත්ත්වය මෙරට ජනමාධ්‍ය භාවිතයේ ඇති පොදු ගැටලුවක්‌ බව ද පෙනේ. අප දන්නා ආකාරයට, මෙවැනි ඇතැම් කරුණු පිළිබඳව මාධ්‍ය ම`ගින් වැඩි ප්‍රචාරයක්‌ ලැබෙන විට එවැනි සිදුවීම් වර්ධනය වේ. නිදසුනක්‌ ලෙස නිදන් සොයා පැරැණි නටබුන් ස්‌ථාන මංකොල්ල කෑම එවැනි වාර්තා ඉහළ යන කාලයේ දී තවදුරටත් ඉහළ යයි.

මේ කරුණු අනුව මාධ්‍ය ම`ගින් මෙවැනි කරුණු සඳහා ප්‍රචාරය ලබා දීමේ දී වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බව පෙනේ. එය ජනමාධ්‍යයේ වගකීමක්‌ ද වේ. මේ වෙළෙඳාම හා එකතු කිරීම මැ`ඩපැවැත්වීමට කටයුතු කිරීම රජයේ අදාළ බලධාරීන් ගේ වගකීමක්‌ වන අතර මෙරට ජෛව විවිධත්වය ආරක්‌ෂා කිරීමට සහයෝගය ලබා දීම පොදුවේ ජනතාව ගේ ම යුතුකමකි.

(මේ ලිපියේ අදාළ හූනු විශේෂ පිළිබඳව විද්‍යාත්මක නාම, ඡායාරූප හෝ දැකිය හැකි ප්‍රදේශ පිළිබඳව සඳහන් නො කරන ලද්දේ තවදුරටත් අනවශ්‍ය අවධානයක්‌ යොමු වීම වැළැක්‌වීම සඳහා ය.)

ධනේෂ් විසුම්පෙරුම http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය