නිදර්ශක රැස්‌ කිරීම ජීවීන් වඳ වී යැමට හේතු වේ ද? | නිවර්තන වනාන්තරවල කාබන් අහිමි වීම ඉහළයි |බ්‍රිතාන්‍ය නගරවලට මදුරු ආක්‍රමණ

නිදර්ශක රැස්‌ කිරීම ජීවීන් වඳ වී යැමට හේතු වේ ද?

විද්‍යාත්මක අවශ්‍යතා සඳහා නිදර්ශක ලෙස විවිධ ජීවීන් එක්‌රැස්‌ කිරීම තරමක්‌ ආන්දෝලනයට ලක්‌ ව ඇති කරුණකි. ඇතැම් ජීවී විශේෂවල නිදර්ශක රැස්‌ කිරීම නිසා ඒ ජීවීන් වඳ වී යැමට පවා හේතු වී ඇති බවට නිදසුන් සහිතව පෙන්වා දුන් ලිපියක්‌ පසුගිය අප්‍රේල් මාසයේ Science සඟරාවේ පළ වී තිබිණි. මේ තත්ත්වය වැළැක්‌වීම සඳහා නිදර්ශක වෙනුවට යොදාගත හැකි විකල්ප ක්‍රමවේද කිහිපයක්‌ ද ඒ විද්‍යාඥයන් පිරිස පෙන්වා දී තිබිණි. (මූලාශ්‍රය( Science, DOI: 10.1126/ science.1250953)

කෙසේ වෙතත්, මේ ලිපියට පිළිතුරක්‌ සපයන විද්‍යාඥයන් පිරිසක්‌, ශාක හා සත්ත්ව නිදර්ශක එක්‌රැස්‌ කිරීම විද්‍යාවට හා සංරක්‌ෂණයට අත්‍යවශ්‍ය බව පෙන්වා දී ඇත. ඔවුන් ගේ අදහස වන්නේ නිදර්ශක

රැස්‌ කිරීමෙන් ජීවීන් වඳ වී යැමට සැලකිය යුතු බලපෑමක්‌ සිදු නො වන බවයි. මුල් ලිපියේ දක්‌වා තිබූ ආකාරයේ ක්‍රම ජීවීන් හඳුනාගැනීම සඳහා සාර්ථක ලෙස යොදාගත නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබේ. විශේෂයෙන් ජීවීන් ගේ ආහාරය, ප්‍රජනනය, වර්ධනය වැනි කරුණු පිළිබඳව දැනගැනීමට නම් ජීවීන් ගේ නිදර්ශක අත්‍යවශ්‍ය වේ. අනෙක්‌ අතට මුල් ලිපියේ සඳහන් වූ වඳ වී යැම් සඳහා නිදර්ශක එකතු කිරීම බලපා නොමැති බව ඔවුන් සාක්‌ෂි සහිතව දක්‌වා ඇත. එසේ ම සංරක්‌ෂණය සඳහා ද නිදර්ශක එකතු කිරීම වැදගත් වන ආකාරය ඔවුන් දක්‌වා තිබේ. (මූලාශ්‍රයScience, DOI: 10.1126/
science.344.6186.814)


නිවර්තන වනාන්තරවල කාබන් අහිමි වීම ඉහළයි

නිවර්තන වනාන්තරවලින් සිදු වන කාබන් අහිමි වන ප්‍රමාණය මෙතෙක්‌ සිතුවාට වඩා ඉහළ අගයක්‌ ගන්නා බව ඇමසන් වනය ආශ්‍රිතව කළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. ඊට හේතුව වන්නේ වනාන්තර හායනය නිසා සිදු වන කාබන් අහිමි වීම නිසි ලෙස ගණන් බලා නො තිබීමයි. වරණීය දැව හෙළීම්, මතුපිට ඇති වන ගිනි හා වන සීමාවල සිදු වන ක්‍රියාවලි නිසා හරිතාගාර වායු විමෝචනය වීමෙන් ඇති වන හායනය මේ සඳහා හේතු වේ. බ්‍රසීලයේ වනාන්තරවලින් නිකුත් වන මේ අතිරේක විමෝචන ප්‍රමාණය, එහි සිදු වන වන විනාශයෙන් (සම්පූර්ණ හෙළි කිරීම්) නිsකුත් වන විමෝචන ප්‍රමාණයෙන් 40%ක්‌ පමණ ඉහළ ය. වන විනාශයෙන් සිදු වන විමෝචන ප්‍රමාණය ගණන් බලා තිබුණේ වන්ද්‍රිකා ඡායාරූප ආශ්‍රයෙනි. ඒ අහිමි වන ගස්‌ ප්‍රමාණය ගණන් බලා ඒ නිසා නිකුත් වන විමෝචන ගණන් බැලීමෙනි. එහෙත් වරණීය හෙළීම් සිදු කළ ප්‍රදේශවල ගත් වන්ද්‍රිකා ඡායාරූපවල ඒ බව නො පෙනීම වැනි ගැටලු ඇති වේ. මේ නිසා වරණීය හෙළීම් හා මතුපිට වන ගිනි නිසා නිකුත් වන වායු විමෝචන පිළිබඳව අවධානය යොමු වී නො තිබිණි. නව අධ්‍යයනය සිදු කර තිබුණේ භූමිය මත සිදු කරන ලද ඇගැයීමකිනි. ඒ සඳහා වෘක්‌ෂ 70,000ක පමණ මිනුම් හා පස්‌ සාම්පල 5,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ භාවිත කර තිබේ. මෙවැනි හායන තත්ත්ව ලෝකයේ අනෙක්‌ නිවර්තන වන ප්‍රදේශවල ද සිදු විය හැකි බැවින් වනාන්තරවලින් නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ප්‍රකාශිත ප්‍රමාණයට වඩා ඉහළ විය හැකි බව පෙනේ. (මූලාශ්‍රයGlobal Change Biology, DOI: 10.1111/gcb.12627)


බ්‍රිතාන්‍ය නගරවලට මදුරු ආක්‍රමණ 

බ්‍රිතාන්‍යයේ බොහෝ නාගරික ප්‍රදේශ මදුරුවන්ට යෝග්‍ය ප්‍රදේශ බවට පත් වෙමින් ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී ඇත. නාගරික ප්‍රදේශවල ඇති වී තිබෙන වෙනස්‌කම් නිසා ඒ ප්‍රදේශවල මදුරුවන් බෝ වීමට යෝග්‍ය වාසස්‌ථාන ඇති වෙමින් පැවතීම ඊට හේතුවයි. මේ සඳහා බලපා ඇති ප්‍රධාන සාධක දෙකක්‌ ලෙස උණුසුම් තත්ත්ව පැවතීම හා ගෙවතුවල දැකිය හැකි ජල බඳුන් ප්‍රමාණය ඉහළ යැම හඳුනාගෙන ඇත. ගෙවතුවල ජල බඳුන් යොදාගෙන ඇත්තේ වැසිජලය එක්‌ රැස්‌ කරගැනීම සඳහා ය. නියඟය පැවතීම හා හෝස්‌ පයිප්ප භාවිතය තහනම් කිරීම නිසා මෙවැනි බඳුන් භාවිතය එරට දකුණු හා නැෙ`ගනහිර ප්‍රදේශවල බෙහෙවින් ඉහළ ගොස්‌ තිබේ. උණුසුම ඉහළ යැමට හේතු වී ඇත්තේ නාගරික තාප දූපත් (urban heat island) ක්‍රියාවලියයි. සමාන තත්ත්ව හමුවේ නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ඇති විය හැකි තත්ත්ව සංසන්දනයේ දී හෙළි වී තිබුණේ, නාගරික ප්‍රදේශවල දැකිය හැකි මදුරු විශේෂ ප්‍රමාණය අඩු වුවත් මදුරු ගහනය අධික බවයි. මෙසේ ව්‍යාප්ත ව ඇති මදුරු විශේෂ අතර මැලේරියාව හා වෙස්‌ට්‌ නයිල් වයිරස රෝගය ව්‍යාප්ත කිරීමට හේතු වන මදුරු විශේෂ ද සිටියි. මේ වන විට බ්‍රිතාන්‍යයේ දැකිය හැකි දේශීය මදුරු විශේෂ අතර මිනිසුන්ට රෝග බෝ කරන විශේෂ නොමැත. එහෙත් මේ තත්ත්වය හමුවේ පිටතින් රෝගීන් පැමිණිය හොත් යම් වසංගතයක්‌ පැතිරීමේ අවස්‌ථාවක්‌ නැතිවා නො වේ.

ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2