ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි-මහාචාර්ය රත්නායකයන්

ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබාගත් පළමුවැනියා මමයි

දේසජ ජන සංස්‌කෘතිය, ජන විඥනය තුළින් ලද ආභාසය ස්‌වකීය ජීවිතයේ මාවත කරගත් මොහු ඉන් කැලණිය විශ්විද්‍යාලය තුළ විවිධ නව සොයාගැනීම් සිදු කරයි. 2000 වසරේ ලලිත කලා අධ්‍යයන අංශයේ අංශාධිපති ව සිටිමින් සෛද්ධාන්තිකව පැවැති එම විෂයයන් ප්‍රායෝගික තලයට ගෙන ඒමට මොහුට හැකි විය. නාට්‍ය හා රංග කලා, ප්‍රාසාංගික කලා, දෘශ්‍ය කලා හා සැලසුම්කරණය හා ප්‍රතිබිම්බ කලා ලෙස විෂය ධාරාවන් 04 වර්ධනය කිරීම සිදු වන්නේ මොහු ගේ තීරණයක්‌ ලෙසිනි. ප්‍රායෝගිකත්වය තුළ විෂය පරාසය පුළුල් කරමින් ඒ තුළින් සෛද්ධාන්තික දැනුම ලබා දීමේ ක්‍රමවේදය සරසවිය තුළ විධිමත්ව ඇරඹූ ආචාර්යවරුන් කිහිප දෙනා ගේ නම් අතර මොහු ගේ නාමය ද පවතී. ජපානයේ නිපොන් සරසවිය වෙතින් තම ආචාර්ය උපාධිය, වාර්තා සිනමාවට විශේෂිතව මොහු ලබාගන්නේ 1998 වසරේ දී ය. ජපානය හා ශ්‍රී ලංකාව සම`ග පැවැති සබඳතා ශක්‌තිමත් කරමින් අධ්‍යාපනික වශයෙන් සිසුන් විශාල පිරිසකට ආලෝකයක්‌ ඉන් ලබා දීමට මොහුට හැකියාව ලැබේ. මොහු නමින් මහාචාර්ය පැට්‌රික්‌ රත්නායක නම් වේ.

අතිශය කාර්යබහුල පුද්ගලයකු වුවත් මහාචාර්ය රත්නායකයන් විදුසර පිළිසඳරට සම්බන්ධ කරගැනීමට මට හැකි විය. සරසවි සිසුන් අතර "අප්පච්චි" යන ආදරණීය ව්‍යවහාරය ලත් ඔහු සැබෑවට ම සිසුනට පියෙකි. මගේ පළමු පැනය එය ඇසුරු කොට මම යොමු කළෙමි.

"සරසවි ශිෂ්‍යයකු ගේ සුන්දර අවධිය තමයි දෙවැනි වසර. සරසවියේ දෙවැනි වසරේ දී ඔවුන් සරසවියේ ජ්‍යෙෂ්ඨයෝ වෙනවා. තෙවැනි වසරේ හා සිව්වැනි වසරේ ජ්‍යෙෂ්ඨ සහෝදරත්වය පවා සරසවියේ වගකීම් භාර කරන්නේ ඔවුනට. අදටත් සරසවි සිසුන් සම්බන්ධ ගැටලුවල දී මම යනවා මගේ සරසවි ජීවිතයේ ඒ මතකයට. මට පුළුවන් තාමත් හිතින් ඒ කාලේ සිතිවිලිත් එක්‌ක සම්බන්ධ වෙන්න. මම සිසුන් සම්බන්ධ තීරණ ගන්නේ ඒ පදනම මතයි. ආචාර්යවරුන් ලෙස අප ඕපපාතික නො විය යුතුයි. ළමයින්ට අසාධාරණයක්‌ වන විට මං ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේ ම විශ්වවිද්‍යාලයට නො ගැලපෙන දේවල් ළමයින් සිදු කරද්දී ඊට එරෙහි වන්නත් මට පුළුවනි.

පාසල් ගුරුවරුන්ට වඩා අපි සිසුන්ට සමීපයි කියලයි මං හිතන්නේ. මොකද පාසලේ යම් යම් ගුරුවරුන් හා සිසුන් අතර යම් පරතරයක්‌ තියෙනවා. සරසවියේ දී ළමයින් ආචාර්යවරුන්ට ගොඩක්‌ සමීපයි. ළමයින්ට පුළුවන් ඔවුන් ගේ ගැටලු අපිත් සම`ග කතා කරන්න. අසම්මත දේවලට යොමු වීමත් තරුණ කාලේ එක්‌ ආකාරයක ජවයක්‌. ඒ ජවය නිවැරැදිව හැසිරවීමට ආචාර්යවරුන් ලෙස අපට හැකියාවක්‌ පැවතිය යුතුයි."

බණ්‌ඩාරවෙල හා දියතලාව අතර පිහිටි කහගොල්ල නම් සුන්දර ගමෙහි ලද අත්දැකීම් මොහු වෙනස්‌ චින්තකයකු කිරීමට හේතු විය. සහෝදරියන් තිදෙනකු සම`ග පවුලේ එක ම පිරිමි ළමයා වූයේ ද ඔහු ය.

"මට හරියට ම වයස අවුරුදු 07 දී වගේ තාත්තා නැති වුණා. ඒත් සම``ග බොහෝ දේවල් වෙනස්‌ වුණා. මගේ තාත්තා නෙදර්ලන්ත ජාතිකයෙක්‌. මම උපතින් කතෝලිකයෙක්‌. තාත්තා මිය යැමෙන් අපේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස්‌ වුණා. නිවසේ සියලු වගකීම් අම්ම එතැන් සිට භාර ගත්තා. මගේ ළමා කාලයේ පළමු විය අවසන් වන්නේ එහෙමයි. ඊට පස්‌සේ මාවයි, පුංචි නංගිවයි එක්‌කගෙන මාම රඹුක්‌කන ගෙදරට එනවා. එතන ඉඳන් තමයි මගේ ළමා කාලේ දෙවැනි විය ආරම්භ වන්නේ"

මම ඉතා උනන්දුවෙන් සවන් දී සිටියෙමි.

"මගේ ජීවිතේ දීර්ඝ ම දුම්රිය ගමන තමයි එදා නුවර ඉඳන් රඹුක්‌කනට පැමිණීම. මට මතකයි, කඩුගන්නාවේ දී මම මාමට කිව්ව මට තවත් මේ ගමන යන්න බෑ කියලා. ඒ තරම් ඒ අත්දැකීම මට දුෂ්කරයි. රඹුක්‌කන ගෙදර මගේ ජීවීතයේ බොහෝ දේවල් වෙනස්‌ කරනවා. යම් යම් විනය නීති යටතේ තමයි අපි එහි වැඩ කළේ. පාඩම් කරන්න වෙලාවක්‌ තිබ්බා. මට නියමිත මල් පැළ ප්‍රමාණයක්‌ තිබ්බා. හැම දා ම ඒවට වතුර දාන්න ඕනේ. ඒ කාලේ ඒකත් හරි ලොකු වැඩක්‌."

ඔහු එසේ පවසන්නේ මඳක්‌ සිනාසෙමිනි.

"මගේ මාමා ප්‍රේමසිරි ජයකොඩි. ඔහුට පාලි, සංස්‌කෘත, ඉංගී්‍රසි චතුරව කථා කරන්න පුළුවන්. නැන්දා දොන කමලාවතී. ඇය ගුරුවරියක්‌. ඔවුන්ට සිටියේ පුතුන් දෙදෙනෙක්‌. ඔවුන් විද්‍යා විෂයන්වලින් තමයි ඉගෙනගත්තේ. අපේ ගෙදර ලොකු පුස්‌තකාලයක්‌ තිබුණා. ඒක තමයි නිවසේ ආලෝකය. මේ පසුබිම මගේ අනාගතය හැඩගස්‌වන්න හේතු වුණා.

"පාසල් ජීවිතයට ගමන් කළොත්.." ඔහු ගේ පාසල් ජීවිතයේ අත්දැකීම් දැනගැනීමේ කුතුහලයෙන් මම විමසුවෙමි."

"පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි පාසල් ජීවිතය ආරම්භ වන්නේ. පාසල් ජීවිතය හරි ම අපූරුයි. අපි ඉගෙනගත්තා. බාහිර වැඩ කළා. ප්‍රේම කළා. මගේ පාසල් ප්‍රේමය තමයි අවසානයේ ජීවන මගේ සහකාරිය වුණේ. අපි හරි ම අවංකයි ඒ කාලේ."

ඔහු මඳක්‌ නිහ`ඩ විය. සමාජ පරිණාමයත් සම`ග බොහෝ විපර්යාසයන් සිදු වී ඇති බව ඒ නිහඬතාව කියා පෑවේ ය.

"අපි ඉස්‌කෝලේ ගොඩාක්‌ විෂය බාහිර වැඩ කළා. මම තමයි පාසලේ නාට්‍ය සංගමයේ සභාපති. බෞද්ධ ශිෂ්‍ය සංගමය, නර්තන කණ්‌ඩායම මේ හැම දේක දී ම අපි හරි ම සක්‍රියව ක්‍රියා කළා ඒ කාලේ. අපි හරියට පොත් කියෙව්වා. මට මතකයි. මම වයස අවුරුදු 6 දී (1979) ටවර්හෝල් එකේ තිබ්බ සරචිචන්ද්‍ර රංග ශිල්ප ශාලිකාවට ගියා. මට ඕන වුණේ එහි සාමාජිකයකු වන්න. ඒත් මාව තෝරාගත්තේ නැහැ. වයස අඩුයි කියලා. කොහොම හරි අ`ඩල මං ඒකට ඇතුළු වුණා. ඔක්‌කොම සාමාජිකයෝ 81ක්‌ එහි සිටියා. ඒ කාලේ ඉඳන් අපි හරි උනන්දුයි මේවාගේ වැඩවලට."

මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. මහාචාර්ය ධම්ම ජාගොඩ වාගේ වියතුන් අපි ඇසුරු කළා. ඇත්තට ම අපිට විශ්වවිද්‍යාලයට එන එක ලොකු අභියෝගයක්‌ වුණේ නැහැ. මම කොහොම හරි දැනන් හිටියා මම විශ්වවිද්‍යාලයට එනවා කියලා. ඒක ගුරුවරුනුත් දැනන් හිටියා. ඒතරම් පුළුල් විෂය පරාසයක අවබෝධයක්‌ අපිට තිබුණා."

"ඔබ තුමා දෙවරක්‌ උසස්‌ පෙළට මුහුණ දුන්නා කිව්වා කියන කතාව ඇත්තක්‌ ද?

"ඔව් මම 1981 පළමු වර උසස්‌ පෙළ සමත් වෙලා හේවුඩ් සරසවියට ඇතුළු වණා. වසරක්‌ එහි ඉගෙන ගත්තා. ඒ කාලේ විවිධ දේශපාලනික ගැටුම් පැවතුණා. කොහොම හරි ඒ නිසා 1982 නැවත වරක්‌ උසස්‌ පෙළට පෙනී සිට එහි ප්‍රතිඵලවලින් මොරටු සරසවියට වාස්‌තු විද්‍යාව හා කර්මාන්ත ශිල්පය ඉගෙනගන්න ඇතුළු වුණා. මාස කිහිපයක්‌ එහි ඉගෙනගෙන කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. "

ඒ ඇයි?

"ඒ කාලේ නාට්‍ය හා රංග කලාව විෂය කැලණියේ ආරම්භ වෙලා තිබුණේ. පාසල් කාලයේ පටන් මම ඒ ක්‍ෂේත්‍රයට දැඩි ඇල්මකින් සිටියේ. විශ්වවිද්‍යාලය තුළත් අපි විවිධ බාහිsssර ක්‍රියාවන්වලට යොමු වුණා. විවිධ ප්‍රසංග සංවිධානය කළා. අශෝක හඳගම ආරම්භ කළ ආධුනික ලේඛක සංගමය සම`ග විවිධ සිනමා විචාර වැඩසටහන් සංවිධානය කළා. කෙටි නාට්‍ය උළෙලවල් සංවිධානය කළා. මට මතකයි මමයි මහාචාර්ය ආරියරත්න ඇතුගලයි ඒ කාලේ හැම තිස්‌සේ ම කැමරාව අතේ තියාගෙන ගියේ. අපි විවිධ වැඩවලට යොමු වෙලා හිටියේ. ශිෂ්‍ය ජීවිතයේ කොළඹ විශ්වවිද්‍යාලයයේ වින්දන කලා උළෙලේ විවිධ ක්‍රියාවන්වලට දායකත්වය ලබා දුන්නා. හරි ම සුන්දරයි ඒ ජීවිතය.

"විශ්වවිද්‍යාලය පිළිබඳ පළමු වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමටත් ඔබ සම්බන්ධ වුණා නේ ද?

"ඔව් 1983- 1984 කාලයේ ප්‍රංශ තානාපති කාර්යාලය හා සංස්‌කෘතික කටයුතු අංශය හා ඒකාබද්ධව තමයි මේ චිත්‍රපටය නිර්මාණය වුණේ. සරසවි සිසුවකු ලෙස තමයි මං මීට සම්බන්ධ වුණේ. කැලණිය විශ්වවිද්‍යාලයයේ උපත පිළිබඳ විවිධ වූ ඉසව් මේ චිත්‍රපටිය තුළ අන්තර්ගත වුණා"

"ඔබතුමා නාට්‍ය හා රංගකලාව අධ්‍යයනයට යොමු වූ අයෙක්‌. පසුව ශාස්‌ත්‍රපති උපාධිය හා ආචාර්ය උපාධිය සිනමාවට ප්‍රවිෂ්ට කරනවා. මීට යොමු වුණේ කොහොම ද?

අපි හැම ක්‍ෂේත්‍රයක්‌ පිළිබඳව ම ඒ කාලේ අධ්‍යයනය කළා. මම 1991 තමයි ජපානයට යන්නෙ. එහි වසර 9ක්‌ ශාස්‌ත්‍රපති උපාධිය හා ආචාර්ය උපාධිය වෙනුවෙන් ඉගෙනගත්තා. කැමරාකරණය, ආලෝකකරණය, සංස්‌කරණය වැනි විෂයයන් පිළිබඳව ඒ කාලයේ ප්‍රායෝගිකව එහි දී අපි අධ්‍යයනය කළා. ලංකාවට වෙනස්‌ සංස්‌කෘතියක්‌ වූ එහි එම අත්දැකීම හරි ම සුවිශේෂියි. මම ඉගෙන ගත්ත නිපොන් සරසවියේ ආචාර්යවරුන් පමණක්‌ 7000ක්‌ සිටියා. නමුත් ජපානයේ සිනමාව ගැඹුරු අධ්‍යයනයකට එකල යොමු වී තිබුණේ ම නෑ. ඇමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල් තරම් ශාස්‌ත්‍රීය අධ්‍යයනයන් ජපානයේ තිබුණේ නැහැ. ඒ අවධියේ මට මතකයි ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ ගේ Song of the Ceylon චිත්‍රපටය එහි අධ්‍යක්‍ෂණය සඳහා නැරඹූ අවස්‌ථාව. එදා මගේ ආචාර්යවරයා මෙවැනි සිනමාවක්‌ බිහි කළ රටක ජාතිකයෙක්‌ ලෙස එම ක්‍ෂේත්‍රය පිළිබඳ ආචාර්ය උපාධිය කිරීමේ වැදගත්කම මට කිව්වා. ඔවුන්ට අවශ්‍ය වුණා සිනමාව ශාස්‌ත්‍රීය අන්දමින් හදාරන විෂයක්‌ කරන්න. "ලෝක වාර්තා චිත්‍රපටවල හැසිරීම" පිළිබඳව තමයි මම එහි ආචාර්ය උපාධිය කළේ. ජපානය තුළ දී සිනමාව ඇසුරෙන් ආචාර්ය උපාධිය ලබා ගත් පළමුවැනියා මමයි. තෙවැනි වරටයි එම අවස්‌ථාව ජපන් ජාතිකයෙක්‌ හිමි කරගත්තේ." ඔහු ඉතා නිහතමානීව ප්‍රකාශ කරයි.

ජපානය තුළ ලද අත්දැකීම් ලංකාව තුළ වාර්තා සිනමාකරණය හරහා ඔබ එළිදැක්‌වූවේ කෙසේ ද? මා ඔහු ගෙන් ශාස්‌ත්‍රීය ජීවිතය පිළිබඳ කරුණු තවත් හෙළි කරගැනීමේ අරමුණින් විමසුවෙමි.

"මම "නිපොන් වො සිකිsනො නිපොන් ජින්තෙ නොකෙරෝ" කියල ජපානයේ සෘතු භේදය හා ජපන් මිනිසුන් ගේ හදවත පිළිsබඳ විනාඩි 30ක වාර්තා චිත්‍රපටයක්‌ නිර්මාණය කළා. මෙය ජපන් සංස්‌කෘතියේ විවිධ තැන් සාරාංශ වන ආකාරයෙන් තමයි නිර්මාණය වුණේ. එය ජපානයේ ප්‍රදර්ශනය කළා. පසුව ලංකාවෙත් වරක්‌ ප්‍රදර්ශනය කළා. ඊට පස්‌සේ විවිධ වාර්තා චිත්‍රපට නිර්මාණය කළා. විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාළව කැලණිය විහාරය පිළිබඳව. වරක්‌ මහාචාර්ය රෝහණ ලක්‌ෂ්මන් පියදාස සම`ග වලව් පිළිබඳවත් වාර්තා චිත්‍රපටයක්‌ නිර්මාණයට යොමු වුණා. ඒක හරි ම අපූර්ව වූ අත්දැකීමක්‌.

ශාස්‌ත්‍රීය ජීවිතය තුළ විවිධ වූ නිර්මාණ ඔස්‌සේ ලබන වින්දනය කොතෙක්‌ ද යන්න මට පසක්‌ විය.

ඔබතුමා ආචාර්යවරයෙක්‌ වගේ ම පරිපාලකයෙක්‌. කැලණිය සරසවිය තුළ බොහෝ වෙනස්‌කම් සිදු කරන්න ඔබට හැකි වුණා. මේ පිළිබඳව සඳහන් කළොත්?" ඔහු ගේ ශාස්‌ත්‍රීය ජීවිතයේ තවත් පැතිකඩකට මම මාතෘකාව යොමු කළෙමි.

"2000 වර්ෂයේ විශ්වවිද්‍යාලයයේ ලලිතකලා අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස වැඩභාරගැනීමත් සම`ග සෛද්ධාන්තික පදනමක පැවති චිත්‍ර, සංගීත හා නර්තනය ප්‍රායෝගික වශයෙන් වර්ධනය කිරීමට මට හැකි වුණා. එය විශ්වවිද්‍යාලයයේ දෙවැනි වසරේ සිටත් එයට පෙරත් සිsතෙහි පැවැති අරමුණක්‌. මට පුළුවන් වුණා 50%ක්‌ ප්‍රායෝගික තත්ත්වයට මේ විෂය රැගෙන එන්න. විශ්වවිද්‍යාලයයේ නර්තනය ඉගෙනගෙන ස්‌කෝලෙකට ගිහින් තුන් අඩිය නටන්න බැරි නම් ඒක අපේ දුර්වලකමක්‌. දැන් එම ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු වනවා. පසුගිය වසරවල කවීතා තරගවල නර්තන අංශයෙන් ප්‍රථම ස්‌ථාන අපිට ලබාගන්න හැකි වීම තුළ මෙහි ප්‍රායෝගිකත්වය පැහැදිලි කරනවා."

පේරාදෙණියේ සරසවියෙන් ඇරඹුණ නාට්‍ය කලාව වැළලී යමින් පවතී. එය නැවත සංවර්ධනය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයට හැකි වුණා ද?

ඇත්ත වශයෙන් ම ඔව්.... ලංකාවේ විශ්වවිද්‍යාල 15න් නාට්‍ය හා රංග කලාවේ ඉහළ ම ස්‌ථානයට එන්න අපිට හැකි වුණා. ශ්‍රී ලංකාවේ අද්‍යතන නාට්‍ය වංශයේ අපූර්වතම පරිච්ඡේදය කැලණිය සරසවිය කියලා මහාචාර්ය වෝල්ටර් මාරසිංහ හා මහාචාර්ය තිස්‌ස කාරිවසම් කියන්නේ. ඒ නිසා බටහිර සම්භාව්‍ය නාට්‍ය, ස්‌වතන්ත්‍ර නාට්‍යයන් 30කට වැඩි ප්‍රමාණයක්‌ මේ කාලය තුළ අපි බිහි කළා. ඇන්ටන් චෙකොෆ් ගේ මුහුදු ලිහිණියා, ඊඩිපස්‌, අද වගේ දවසක, ඇන්ටිගනී, වගේ නාට්‍ය මේ අතර සුවිශේෂිතයි.

"1956 සරච්චන්ද්‍රයන් "මනමේ" නාට්‍යයේ සිදු කළ පෙරැළියට වැඩි පෙරැළියක්‌ අපි සැබෑවට ම සිදු කළා. නමුත් අපි ඒක කළේ තාක්‌ෂණය දියුණු අද්‍යතන සමාජය තුළ. මේ යුගය තුළ එම පෙරැළිය කොතෙක්‌ දුරට ප්‍රත්‍යක්‌ෂ ද කියන එක ගැටලුවක්‌. නමුත් පරිපාලකයකු ලෙස මගේ අචාර්යවරුන්ට මෙවැනි නිර්මාණ සඳහා අවශ්‍ය පහසුකසම් සලසා දීමටත්, ඊට අවශ්‍ය නිදහස ලබා දීමටත් මට හැකි වුණා. ඇයි මේ සියල්ල සිදු කළේ අවම පහසුකම් හැකි පමණ කළමනාකරණය කරමින්.

ජපන් තානාපති කාර්යාලය හා පැවැති සබඳතා උපයෝගි කරගනිමින් නාට්‍ය හා රංග කලාව පිළිබඳ විවිධ වූ නාට්‍ය සංවිධානය කිරිමත්, ඡයාරූප ප්‍රදර්ශන සැලසුම් කිරීමත් ඔහු ගේ අධික්‌ෂණය යටතේ සිදු විය. මේ යටතේ විවිධ සිසුන්ට තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය පසුබිම ඔහු නිර්මාණය කළේ ය. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයීය සිසුන් ගේ අධ්‍යයන පහසුව සඳහා බස්‌රථයක්‌, නේවාසිකාගාර සඳහා ගිලන් රථයක්‌ ලබා දීම ද සිදු වන්නේ භෞතික පහසුකම් සැලසීම පිළිබඳ ඔහු ගේ තීරණයකට අනුව ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ නිර්මාතෘ ධර්මාලෝක හිමියන් ගේ පිළිරුව නිර්මාණය ද මේ සබඳතාවන්හි ප්‍රතිඵලයක්‌ ලෙස සිදු වන්නකි. කැලණිය විශ්වවිද්‍යාල ගීතය නිර්මාණය ද මොහු ගේ ධූර කාලය තුළ ඔහු ගේ තීරණයකට අනුව සිදු වන්නකි.

ඔබතුමා සරසවිය වෙනුවෙන්, ළමයින් වෙනුවෙන්, අධ්‍යයන අංශය වෙනුවෙන් විශාල කාලයක්‌ කැප කිරිමක්‌ සිදු කළ අයෙක්‌. මේ අත්දැකීම කෙබඳු ද?

"මම හොඳ ශ්‍රී ලාංකික ගති පැවතුම් ඇති මනුස්‌සයෙක්‌. මගේ ජීවිතය ලස්‌සන වුණේ මම කුඩා කල සිට මුහුණ දුන් අභියෝග නිසා. මේ අභියෝග මැද හැදිච්ච මට අනිත් හැමෝගෙ ම දුක හඳුනාගත හැකිකමක්‌ තියෙනවා. ඒත් අද ඒ තරම් සංවේදී වීමත් අවශ්‍ය ද කියලත් හිssතෙනවා. ජපානයට ගියාට මොකද විශ්වවිද්‍යාලය අමතක නො කර බොහෝ දේ සිදු කිරීමට මට හැකි වුණා. අපි තමයි සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ආරම්භ කළේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයට සමාජයට හෝ අප හොඳ වැඩියි. ශ්‍රී ලංකාවට අතිශය හොඳ වීමත් ගැටලුවක්‌. අතිශය කාරුණික වීමත් ගැටලුවක්‌.

"ඇයි ඔබතුමා එහෙම කියන්නේ?"

"විවිධ හේතු නිසා සමාජය තුළ ජීවත් වෙනකොට ඒක තේරෙනවා. අපි දැන් ජීවිතය කියවල තියෙන්නේ. අපි දැන් ජීවිතය දකිනවා. අපිට පුළුවන් දැන් අනිත් අයට ජීවිතය ගැන කියලා දෙන්න.

සමාජය කියන්නෙ විවිධ මිනිසුන් ගෙන් පිරුණු තැනක්‌. අපි වැඩ කරද්දී ඒ සත්‍යය අවබෝධ කරගත යුතුයි. ඉස්‌සර කඡ් වැටෙද්දි මම දුවලා ගිහින් කජු අහුලා ගන්නවා. අපේ ගෙදරත් කජු ගස්‌ තුන හතරක්‌ තියෙනවා. ඒ කාලේ මගේ වයසේ ළමයි තුන් දෙනෙක්‌ අද මට ඉන්නවා. ඒත් අදත් දුවලා ගිහින් කජු අහුලන්නේ මම... සමාජයක්‌ කොයි තරම් පරිණාමය වුණත් අපේ සංස්‌කෘතිය ඒ සම`ග ඒ පරම්පරාවට කොතෙක්‌ ළ`ගා වෙලා ද කියන එක ගැටලුවක්‌. අද ළමයින් තාක්‌ෂණයත් සම`ග එකතු වෙලා. ඒක හොඳයි, නමුත් අපේ පුරුෂාර්ථ නිවැරැදිව හඳුනාගැනීමත් අත්‍යවශ්‍ය දෙයක්‌. ළමයින්ට පුරුදු කරන්න ඕන ස්‌වභාවධර්මය නිවැරැදිව විඳින්න.

අද විශ්වවිද්‍යාලයේ ළමයින් සෙමෙස්‌ටර් ක්‍රමය තුළ හිර වෙලා. ඔවුන් විශ්වවිද්‍යාලයෙන් එළියට යන්නේ + ඊ+ ගොඩක්‌ පුවරගෙන. ඒ කාලේ විශේෂවේදී උපාධියට වසර තුනට ම අපට තිබුණේ ප්‍රශ්න පත්‍ර 15යි. සෙමෙස්‌ටර් ක්‍රමය හොඳයි. හැබැයි දියුණු සමාජයට. අපි කැඩිච්ච් පාරවල්වල වාහන දුවවනවා වගේ වැඩක්‌ කරන්නේ. සෙමෙස්‌ටර් (සෙමෙස්‌තර) ක්‍රමය දියුණු සමාජයට හොඳයි. අපිට අවශ්‍ය අපේ හැඩයකින් අපේ පුරුෂාර්ථ ඇතුළත් අධ්‍යාපන ක්‍රමයක්‌. ඒක මට විතරක්‌ තනි ව ම සිදු කරන්න බැහැ.

ඔහු දිගට ම තම අදහස්‌ පළ කරයි. නිහ`ඩතාව රකිමින් මම ඔහුට අවකාශ සැලසුවෙමි.

අද විශ්වවිද්‍යාලයට එන ළමයින් ගොඩක්‌ පිරිහිලා. ඔවුන් සමාජය දකින්නෙ අලුත් ඇහැකින්. පාසල් සිසුවා ඊට වඩා පිරිහිලා. මොකද පාසලෙන් එන සිසුවා තමයි විශ්වවිද්‍යාලයේ දී අපි හදන්නේ. ජපානය මීට පිළියම් හෙව්වා වසර 2කට පෙර. වසර වසර අඩු වන විට ඔවුන් යම් ඉලක්‌ක වෙත ළ`ගා වුණා. අපේ රටට නිවැරැදි ප්‍රතිපත්තියක්‌ නැහැ. ජනමාධ්‍යයට පවා නිවැරැදි ප්‍රතිපත්ති නැහැ. ඒක ලොකු ගැටලුවක්‌. යුද්ධය අවසන් වූ රටක ඊළ`ග පියවර අධ්‍යාපනය විධිමත් කිරීම. මොකද මේ රටේ අනාගතය පවතින්නේ ඒ මත. මේ සඳහා නිවැරැදි ප්‍රතිපත්ති නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය දෙයක්‌.

මනුරී පබසරී

http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය