සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු-නලින් ද සිල්වා

සිංහල වෙදමහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ ජුනි 11 වැනි දින ලිපියට ප්‍රතිචාර දැක්‌වීමට පළමුව එදින පළ වූ මගේ ලිපියේ මුද්‍රණ දෝෂයක්‌ නිවැරැදි කිරීමටත් යමක්‌ පැහැදිලි කිරීමටත් අවශ්‍ය වෙයි. ඒ කරුණු දෙක ම එක ම ඡෙදයක වෙයි. අදාළ කොටස මෙසේ ය. "අප කලින් කියා ඇති පරිදි ච p →  q යන්නෙන් හා q සත්‍ය වේ යන්නෙන් p සත්‍ය වේ යෑයි ගම්‍ය නො වේ. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ නො හැකි ය." එහි අවසාන වාක්‍ය මෙසේ නිවැරැදි විය යුතු ය. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් (කතන්දරයෙන්) පොල් පොළොවට වැටෙන බව නිගමනය කළ හැකි ය. පොල් පොළොවට වැටීම සත්‍ය යෑයි අප ගත්ත ද එයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය යෑයි නිගමනය කළ නො හැකි ය.

පැහැදිලි කිරීම එහි පළමු වාක්‍යය සම්බන්ධයෙනි. එහි ච p → q  යන්නෙන් කියෑවෙන්නේ p සත්‍ය නම් එවිට q සත්‍ය වේ යන්න නො වේ. ඇතැමුන් ඒ වාක්‍යය ඒ අයුරෙන් තේරුම්ගෙන ඇත. එහෙත් එයින් කියෑවෙන්නේ p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය ගම්‍ය වේ යන්න ය. අමරතුංග මහතා, කාලෝ ෆොන්සේකා මහතා ආදීන් බටහිර විද්‍යාවේ ඊනියා සත්‍යතාවක්‌ ගැන කියන්නේ එහි සඳහන් කුතර්කය යොදාගැනීමෙනි. ඔවුන් ඇතැම් විට අසන ප්‍රශ්න නම්, බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නම් අහස්‌ යානා පියාසර කරන්නේ කෙසේ ද, හඳට ගියේ කෙසේ ද ආදිය ය. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයෙන් නිගමනය කරන ඇතැම් දේ සත්‍ය යෑයි ගනු ලැබුව ද එයින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය යෑයි නිගමනය කිරීම කුතර්කයකි. එහෙත් අමරතුංග මහතාට මේ කිසිවක්‌ තේරෙන්නේ යෑයි නො සිතමි. අමරතුංග මහතා අයිලන්ඩ් පත්‍රයට ලියන විට මහාචාර්ය පදවිය හා ඩී. එස්‌. සී උපාධිය ගැන සඳහන් නො කරන්නේ එම`ගින් ඉංගිරිසි පාඨකයන් කෙරෙහි ආධිපත්‍යයක්‌ පැතිරවිය නොහැකි බැවින් ද?

දැන් අපි අමරතුංග මහතා ගේ ජුනි 11 වැනි දා ලිපියට අවධානය යොමු කරමු. ඔහු ගේ පළමු ඡෙදය දේශපාලන සටන් පාඨ කිහිපයක්‌ පමණකි. ඒ සඳහන් කිරීම අනවශ්‍ය ය. ඔහු තම ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "අමරතුංග මහතාට අනුව සාපේක්‌ෂතාවාද දෙකක්‌ ඇති ද? (විදුසර-04.06.14) නලින් මහතා අසයි." මා එවැනි ප්‍රශ්නයක්‌ මගේ ජුනි 04 වැනි දා ලිපියෙහි කිසි තැනක අසා නැත. මා කියා ඇත්තේ මෙයයි. "ඔහු කියා දෙන පාඩම අනුව විශේෂ හා සාමාන්‍ය සාපේක්‍ෂතාවාද යනුවෙන් සාපේක්‍ෂතාවාද දෙකක්‌ ඇත. අමරතුංග මහතා තම නොදැනුවත්කම් තවදුරටත් හෙළිදරවු කිරීමෙන් පසුව මේ පිළිබඳ තරමක දීර්ඝ විස්‌තරයක්‌ කරමි............... කෙසේ වෙතත් අමරතුංග මහතා සාමාන්‍ය යන්න යොදන්නේ ඉංගිරිසි ජෙනරල් (General) යන පදය සඳහා ය. ජෙනරල් යන්නට විවිධ තේරුම් ඇත. වචනයකට, ඡෙදයකට, සූත්‍රයකට තේරුමක්‌ ලැබෙන්නේ යම් සන්දර්භයක ය." අමරතුංග මහතා ගේ විධික්‍රමය එපරිදි ය. මා කියා නැති දේ, ප්‍රශ්න කර නැති දේ කියා ඇති බව හෝ ප්‍රශ්න කර ඇති බව හෝ ඒ මහතා සඳහන් කරයි.

මා එහි දී අවධානයට ලක්‌ කරන්නේ ඔහු සාධාරණ යන්න වෙනුවට සාමාන්‍ය යන වචනය යෙදීම ය. එසේ සාමාන්‍ය යන්න යෙදීම මුළුමනින් ම වැරැදි ය. මම එය යම් ප්‍රමාණයකට විස්‌තර සහිත ව ජෙනරල් යන්නට ඇති විවිධ අර්ථ කිහිපයක්‌ ද දක්‌වමින් පැහැදිලි කළෙමි. විශේෂ හා සාධාරණ යනුවෙන් සාපේක්‍ෂතාවාද දෙකක්‌ ඇති බව මා දන්නා අතර ඒ දෙක ම මා උගන්වා ඇත. එහෙත් සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයක්‌ යනුවෙන් සාපේක්‍ෂතාවාදයක්‌ නැත. සාධාරණ සාපේක්‍ෂතාවාදයට සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය යෑයි කීම අයින්ස්‌ටයින් විද්වතාට ද කරන අගෞරවයකි. එහෙත් වචනවල අරුත් ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන, එමෙන් ම වියුක්‌තය ඔස්‌සේ සිදු වන සාධාරණීකරණය ගැන අබමල් රේණුවක දැනුමක්‌ නැති අමරතුංග මහතාට මේ කිසිවක්‌ ප්‍රශ්න නො වේ. ඔහු ගේ අනවබෝධය අනුව මා ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම ප්‍රශ්නයෙන් පැන යැමකි.

ඔහු ජුනි 11 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "ප්‍රශ්නයෙන් පැන යැම පිණිස ඔහු සාමාන්‍ය යන වචනයේ තේරුම (අදාළ තේරුම නො වේ) පැහැදිලි කිරීමට පිටුවෙන් භාගයක්‌ පුරවාගෙන ඇත. (විදුසර 04.06.14). නලින් මහතා කළ යුත්තේ මා ඔහුට ලබා දුන් පළමු පාඩම ඉගෙනගැනීම ය. එනම් සාපේක්‍ෂතාවාදයේ විශේෂ සහ සාමාන්‍ය (ඔහුට අනුව සාධාරණ) යන වචනවල ආළ තේරුම වටහාගැනීම ය." විශේෂ හා සාධාරණ යන වචනවල තේරුම් මම මනා ලෙස අවබෝධ කරගෙන සිටිමි. එහි තේරුම නො දන්නා, ඒ ගැන සැලකිලිමත් නො වන අමරතුංග මහතාට සාමාන්‍ය යන්න නිවැරැදි ය. එහෙත් පාඨකයනට නිවැරැදි තේරුම් ලබා දීම හා ඔවුන් නිවැරැදි වචන භාවිතයට යොමු කිරීම වැදගත් යෑයි මම සිතමි. විශේෂ සාපේක්‍ෂතාවාදය පිළිබඳ ඔහු පසුගිය ලිපියෙන් ද ඊට පෙර ද කියා ඇති දේ මම පසුව විශ්ලේෂණය කරමි. මෙය ප්‍රශ්නයෙන් පැන යැමක්‌ නො වේ. අමරතුංග මහතාට ඒ විශ්ලේෂණය ඉක්‌මනින් ම අවශ්‍ය නම් ඒ සඳහා මුහුණට මුහුණ දී කෙරෙන සංවාදයක්‌ සංවිධානය කළ හැකි ය.

පහත සඳහන් වන්නේ අමරතුංග මහතා ගේ ජුනි 11 වැනි දා ලිපියෙන් තවත් කොටසකි. "සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය වී ඇත්තේ ගුරුත්වාකර්ෂණය ඉවත් කිරීමෙන් බව නලින් මහතා නැවතත් පවසා ඇත. මේ බව ඔහු විශ්වවිද්‍යාලයයේ සිසුන්ට උගන්වා ඇත්නම් එම කාර්යයට ඔහු යෙදවූ ආයතනය කර ඇත්තේ ඇත්තෙන් ම විශාල අසාධාරණයකි. කුමක්‌ නිසා ද එම කියමන කිසි ම භෞතික විද්‍යාඥයකු නො පිළිගන්නා නිසා ය........ මේ කරුණු මා කාගෙන් දෝ අසා දැනගත් ඒවා යෑයි නලින් මහතා කියයි............අතකොලුවක් යෑයි දැන් සැක කළ හැකි පුද්ගලයකු බොරු මිත්‍රත්වයක්‌ පෙන්නා සාපේක්‍ෂතාවාදය ගැන දේශනයක්‌ කිරීමට මට ආරාධනා කළේ ය. දවස්‌ කිහිපයකට පෙර ලංකාවට නිවාඩුවකට පැමිණ විද්වත් අයින්ස්‌ටයින් ගේ ලංකාගමනය පිළිබඳව නුවර දී දේශනයක්‌ කළ මහාචාර්යවරයකු පිළිබඳව මම අතකොලුවකට කීවෙමි. එම මහාචාර්යවරයා මට මුණගැසුණේ අවුරුදු බොහෝ ගණනකට පසුව ය. නලින් මහතා ගේ මනඃකල්පිත පුද්ගලයා ඒ මහාචාර්යවරයා විය හැකි ය. මට කණගාටු විශ්වවිද්‍යාලයට ආභරණයක්‌ වූ එම මහාචාර්යවරයාට විශ්වවිද්‍යාලයයේ එල්ලීගෙන සිටි කෙනකු ගෙන් බැනුම් අහන්නට සිදුවීම ගැන ය".

සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ගුරුත්වාකර්ෂණයක්‌ නැති බව මම නැවතත් කියමි. ඒ බව විශ්වවිද්‍යාලයීය සිසුන්ට ඉගැන්වීමෙන් මා කර ඇත්තේ ඔවුන් ගේ දැනුම පුළුල් කිරීමකි. ඇතැම් බටහිර විද්‍යාඥයෝ ද සාධාරණ සාපේක්‍ෂතාවාදය ම`ගින් අයින්ස්‌ටයින් විද්වතා ගුරුත්වාකර්ෂණය තේරුම් කළ බව පවසති. අමරතුංග මහතා සඳහන් කර ඇති ඉංගිරිසි පොතෙහි ද ඒ බව සඳහන් වෙයි. මේ කරුණු එසේ ඉංගිරිසි පොත්වල හෝ වෙනත් පොත්වල හෝ සඳහන් නො වී නම් අමරතුංග මහතාට හෝ ඔහු ගේ දැවැන්තයාට හෝ දැනගත නො හැකි ය. ඒ ඔවුන්ට යමක්‌ තනි ව ම කල්පනා කිරීමේ ශක්‌තියක්‌ නොමැති වීම හේතුවෙනි. ඉංගිරිසි පොත්වල තිබූ පමණින් අප යමක්‌ පිළිගත යුතු නැත. කරුණාකර ප්‍රමූල ධර්මවලින් සාධාරණ සාපේක්‍ෂතාවාදයෙන් ගුරුත්වාකර්ෂණය තේරුම් කෙරෙන බව පෙන්වන්න. අමරතුංග මහතා කියන දැවැන්තයා ගැන මම නිශ්චිත ව නො දනිමි. එහෙත් ඔහු පිළිබඳ මගේ ශක්‌තිමත් උපකල්පනයක්‌ වෙයි. ඔහුට ලංකා විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යාව විශේෂ උපාධියක්‌ ලෙස හැදෑරීමට අවස්‌ථාව නො ලැබුණේ ඒ සඳහා ඔහුට ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක්‌ පළමු පරීක්‍ෂණයේ දී ලබාගැනීමට නොහැකි වූ බැවිනි. ඔහු පසු කලෙක ඇමෙරිකාවෙන් ආචාර්ය උපාධියක්‌ ලබාගෙන ලංකාවට පැමිණ එතරම් වැදගත්කමක්‌ නැති පර්යේෂණ රාශියක්‌ කළ බවත් එහි ඊනියා වැදගත්කම කෙන්ද කන්ද කර පෙන්වා ඇති බවත් හන්තාන අඩවියේ ම දන්නෝ දනිති. අයින්ස්‌ටයින් විද්වතා ගේ ලංකාගමනය ගැන සඳහන් කරන්නේත් ඔහු නම් ඒ ඔහු ගේ තවත් කෙන්ද කන්ද කිරීමකි. එකල ලංකාව පසු කර නැවෙන් ගමන් කරන්නෝ ඇතැම් අවස්‌ථාවල කොළඹ වරායෙන් ලංකාවට ගොඩ බැස සුළු කාලයක්‌ ගත කළ හ. අයින්ස්‌ටයින් විද්වතා ද එසේ ලංකාවට පැමිණ ඇත. ඔහු කොළඹ කොටුව ප්‍රදේශයෙන් පිටතට ගියේ ද යන්න ප්‍රශ්නයකි. කෙසේ වෙතත් අමරතුංග මහතාට නම් අදාළ පුද්ගලයා විශ්වවිද්‍යාලයට ආභාරණයකි. එය අපට ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් අමරතුංග මහතා මට අපහාස කිරීමට ඒ අවස්‌ථාවක්‌ කරගනියි. මා විශ්වවිද්‍යාලයේ එල්ලීගෙන සිටි අයකු යෑයි ඔහු කියන්නේ කිනම් පදනමකින් ද? ඔහු කලින් මට අපහාස කළේ මා මහචාර්ය ධූරය රැකගැනීමට නොහැකි වූ පුද්ගලයකු යෑයි කියමිනි. මා එයට පිළිතුරු දී ඇත. ඊනියා අතකොළුවක්‌ හෝ වෙනත් අයකු හෝ අමරතුංග මහතාට සාපේක්‍ෂතාවාදය ගැන දේශනයක්‌ කිරීමට ආරාධනය කළේ නම් ඒ මහතා කළ යුතු ව තිබුණේ ආරාධනය පිළිගැනීම ය. ඔහු සාපේක්‍ෂතාවාදය ගැන කෙතරම් තෙපර බෑවත් ඔහුට ඒ පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක්‌ කිරීමට ආත්ම ශක්‌තියක්‌ නැත. සාපේක්‍ෂතාවාදය හා ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව ඔහු හෝ ඔහු ගේ දැවැන්තයා හෝ සමග ප්‍රසිද්ධ විවාදයකට මා සූදානම් ය.

අමරතුංග මහතා ගේ ප්‍රතිභාව අගය කළ යුතු ය. ඔහු ජුනි 11 වැනි දා මෙසේ කියයි. "මීට අදාළ ඔහු පැවසූ දෙය වන්නේ සාපේක්‍ෂතාවාදය ගැන මා උසස්‌ පෙළ සිසුවකු ගෙන් අසා දැනගත යුතු බවයි. ඊට පිළිතුරු වශයෙන් මා පැවසුවේ උසස්‌ පෙළ සිසුවකු ගෙන් අසා දැනගැනීමට අවශ්‍ය ප්‍රාථමික ඥානය නලින් මහතාට නැති බවයි. මා පවසා ඇත්තේ ඔහු පැවසූ දෙය නො වේ. ගිරාපෝතකයකු පුනරුච්චාරණය කරන විදිය වත් නලින් මහතා නො දනී. මට නිර්මාණ හැකියාවක්‌ නැති බව ද ඔහු පවසයි. නිර්මාණය යන වචනයේ තේරුම ද ඔහු නො දන්නා බව ඉන් පෙන්නුම් කරයි." අමරතුංග මහතා ගේ ඊනියා නිර්මාණය කුමක්‌ ද? මට ප්‍රාථමික ඥානය වත් නැති බව පැවසීම ද? ඒ මහතා එය නිර්මාණයක්‌ ලෙස සලකන්නේ නම් ඔහුට ගිරාපෝතක බව සදා උරුම ය.

අපි අමරතුංග මහතා ගේ අදාළ ලිපියෙන් තවත් කොටසක්‌ උපුටා දක්‌වමු. "15 වැනි ශතවර්ෂයේ යුරෝපීය නො වන රටවල විද්‍යාව සමාන දියුණුවක්‌ ලබා තිබුණේ දැයි යන මෝඩ ප්‍රශ්නය නලින් මහතා නැවතත් අසයි. ඒ මෝඩ ප්‍රශ්නය ඔහු අසන්නේ "කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි" යෑයි මා පැහැදිලි කර දුන් මගේ ප්‍රධාන තර්කය වැරැදි යෑයි පෙන්වා දීමට ය. ඒ සඳහා ඔහු කළ යුතු ව ඇත්තේ මෙවැනි මෝඩ ප්‍රශ්න ඇසීම නො ව කවදා හෝ කොහේ හෝ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් නො වූ වෙනත් විද්‍යාවක්‌ තිබුණු බව ඔප්පු කිරීම ය....... කවදත් කොතැනත් තිබුණේ සැම විද්‍යා සහ තාක්‌ෂණික අංශයක්‌ ම එක සමාන ලෙස දියුණු වූ විද්‍යාවක්‌ බව මා පවසා නැත. මගේ ඉහත සඳහන් ප්‍රධාන තර්කය ම`ගහැර වෙනත් දේ ඇදගැනීම බංකොලොත් පිළිවෙතකි. ඔහු ගේ ප්‍රශ්නය මෝඩ එකක්‌ වන්නේ ඒ නිසා ය." එහෙත් ඔහු අප්‍රියෙල් 30 වැනි දා කියා තිබුණේ මෙයයි. "ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පිහිටා මේ රෝග පිළිබඳ පර්යේෂණ කළ විට ලැබෙන දැනුම ද සමකාලීන ව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළේ මේ නිසා ය. නොයෙකුත් හේතූන් නිසා මේ විද්‍යාවන් වර්තමානයේ බටහිර දකින්නට ලැබෙන තත්ත්වය තෙක්‌ දියුණු වූයේ නැත. එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ අධිරාජ්‍යවාදීන් ගේ යටතට මේ රටවල් පත් වීම ය."

අප්‍රියෙල් 30 වැනි දා අමරතුංග මහතා කීවේ ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි මත පිහිටා රෝග පිළිබඳ පර්යේෂණ කළ විට ලැබෙන දැනුම ද සමකාලීනව එක හා සමාන ප්‍රගතියක්‌ පෙන්නුම් කළ බව ය. එපමණක්‌ නො ව වර්තමානයේ බටහිර දක්‌නට ලැබෙන දියුණුව අනෙක්‌ රටවල දක්‌නට නැති වීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වූයේ ඒ රටවල් අධිරාජ්‍යවාදීන් ගේ යටතට පත් වීම යෑයි ද ඔහු කීවේ ය. එයට මා මැයි 07 වැනි දා ප්‍රතිචාර දැක්‌වූයේ මෙසේ ය. "අමරතුංග මහතා කියන්නේ කලක දී රෝග පිළිබඳ ව එක්‌ එක්‌ සංස්‌කෘතියෙහි ප්‍රගතිය සමකාලීන ව සමානත්වයක්‌ පෙන්වුව ද පසුව යම් යම් හේතුන් නිසා වර්තමානයේ බටහිර දක්‌නට දියුණුව ලැබී නැති බව ය. ඒ හේතු අතර අධිරාජ්‍යවාදීන් යටතට අනෙක්‌ රටවල් පත් වීම ද දැක්‌වෙයි. අමරතුංග මහතා ඒ ඒ සංස්‌කෘතියෙහි ලබාගත් ප්‍රගතිය සලකා බලා ඇත්තේ දළ වශයෙන් වත් පහළොස්‌වැනි සියවස වන විට ද? පහළොස්‌වැනි සියවස වන විට ලෝකයේ බටහිර නො වන රටවල් ඒ ඒ ක්‍ෂෙත්‍රවල දළ වශයෙන් වත් සමාන මට්‌ටම්වල දැනුම් ලබාගෙන තිබුණේ ද?" (මා එහි දී යොදාගෙන ඇත්තේ දළ වශයෙන් වත් සමාන යන වචන මිස එක හා සමාන යන වචන නො වේ). දැන් අමරතුංග මහතා ජුනි 11 වැනි දා ලිපියෙන් කියන්නේ තමා කවදත් කොතැනත් තිබුණේ එක සමාන ලෙස දියුණු වූ විද්‍යාවක්‌ තිබී යෑයි පවසා නැති බව යෘ අමරතුංග මහතාට බොරු කීම ප්‍රශ්නයක්‌ නො වන බව අපි දනිමු. අමරතුංග මහතා ගේ ලිපිවලින් උපුටා දැක්‌වීමට මට සිදු වන්නේ ඔහු ගේ අසංගත බව ද විදහා දැක්‌වීමට ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි මත පිහිටීම ඊනියා විද්‍යාවේ එක ම නිර්ණායකය නම් දෙවියන් ගේ ආධාරයෙන් ප්‍රතිකාර ගැනීම ද විද්‍යාවක්‌ වෙයි. දෙවියන්, ගුරුත්වාකර්ෂණය හා බටහිර විද්‍යාවේ වෙනත් වියුක්‌ත ප්‍රවාද මෙන් ම ඉන්ද්‍රිය ගෝචර නො වෙයි. එහෙත් දෙවියන් ගේ මාධ්‍යය ද ප්‍රතිකාර ද ඉන්ද්‍රිය ගෝචර වෙයි.

අමරතුංග මහතා ගේ ජුනි 11 වැනි දා ලිපියෙන් තවත් කොටසක්‌ ගනිමු. "බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය රෝගයක්‌ බව ද සිංහල පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව එය රෝග ලක්‌ෂණයක්‌ පමණක්‌ බව ද නලින් මහතා පවසයි (විදුසර-28.05.14). රෝග ලක්‌ෂණයක්‌ තිබෙන්නේ රෝගයක්‌ ඇති විට ය. අධික රුධිර පීඩනය රෝග ලක්‌ෂණයක්‌ වන්නේ මොන රෝගයේ දැයි නලින් මහතා හෝ ඔහුට ලණු දෙන මනුස්‌සයකු හෝ දෙවියකු හෝ පහදා දිය යුතු ව තිබිණි. සිංහල වෛද්‍ය විද්‍යාව රුධිර පීඩනය මනින්නේ කෙසේ ද? එය නිවැරැදිව කරන ක්‍රමය බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සිංහල වෙද මහතුන් ඉගෙනගත යුතු ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය ප්‍රාථමික ලෙස ද වෙනත් රෝගයක ප්‍රත්‍යයක්‌ ලෙස ද හටගත හැකි ය. මධුමේහය සහ දියවැඩියාව එකක්‌ නො වන බව නලින් මහතා පවසයි. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණක්‌ බව ද ඒ කටින් ම පවසයි. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණක්‌ නම් එය වෙනත් දෙයක්‌ වන්නේ කෙසේ ද? අවස්‌ථා කිහිපයකින් සමන්විත වූ නිසා යම් ක්‍රියාදාමයක්‌ එකක්‌ නො වේ යෑයි කියන්නේ කෙසේ ද? තව ද ඔහු මේවා කියන්නේ ඇයි? කුමක්‌ ඔප්පු කිරීමට ද? ලිපිය පිරවීමට ද? යම් සංස්‌කෘතියක්‌ තුළ රෝගයක්‌ රෝගයක්‌ ලෙස හැඳින නො ගනී නම් එය එම සංස්‌කෘතියේ නොදැනුම්කම සහ දුර්වලකම මිස විශේෂත්වයක්‌ නො වේ."

මට ලණු දෙන මනුස්‌සයකු හෝ දෙවියකු හෝ නැත. හැරත් මා කිසිවකු කී දෙයක්‌ හා පොතක පතක (විශේෂයෙන් ම බටහිර) තිබූ දෙයක්‌ හෝ මට වැටහෙන පරිදි ඒ ගැන කල්පනා කිරීමෙන් තොර ව භාර නො ගනිමි. මා ප්‍රතිකාර ගන්නේ සිංහල පාරම්පරික වෙදමහතකු ගෙනි. මම ඇතැම් විට ඔහු ගෙන් යම් යම් දේ දැනගනිමි. සිංහල පාරම්පරික වෙදකමට අනුව අධික රුධිර පීඩනය යනු රෝගයක්‌ නො වේ. එහි අධික රුධිර පීඩනයට එක්‌ හේතුවක්‌ (රෝගයක්‌) නො ව විවිධ හේතු ඇත. ඒ හේතු අතර මානසික හේතු ද වෙයි. පාරම්පරික වෙදමහතා වෙදකම් කරන්නේ ඒ හේතුවලට මිස රෝග ලක්‌ෂණයක්‌ වූ අධික රුධිර පීඩනයට නො වේ. අධික රුධිර පීඩනය සිංහල වෙදකමේ ප්‍රාථමික රෝගයක්‌ නො වේ. සිංහල වෙදකමේ රුධිර පීඩනය මනින්නේ කෙසේ දැයි අමරතුංග මහතා විදග්ධ ලීලාවෙන් ප්‍රශ්න කරයි. අධික රුධිර පීඩනය අවබෝධ කරගත යුත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පමණක්‌ යෑයි අමරතුංග මහතා සිතන්නේ ද? මැනගැනීමක්‌ යනු නිරපේක්‌ෂ වූවක්‌ නො වන බව අමරතුංග මහතා දන්නේ ද? සැම මැනගැනීමක්‌ ම සංසන්දනය කිරීමකි. එයින් ලැබෙන්නේ සංඛ්‍යාවකි. සංඛ්‍යා යනු මනසේ නිර්මාණ වෙයි. මිනුම් යම් ආකාරයක වටහාගැනීමකි. එහෙත් අපට යමක්‌ වටහාගැනීමට අදාළ යෑයි කියන රාශිය මැනගැනීම අවශ්‍ය නො වේ. බටහිරයෝ නිරපේක්‌ෂ නො වූ මැනගැනීමකට ඊනියා නිරපේක්‌ෂ බවක්‌ ලබා දෙති. සිංහල වෙදමහතා අධික රුධිර පීඩනය වටහාගන්නේ නාඩි බැලීමෙනි. ඔහුට ඒ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ සංසන්දනාත්මක සංඛ්‍යා අවශ්‍ය නො වේ. වෙදමහතුනට ස්‌කෑන් නැති ව නාඩිවලින් දැනගත හැකි දේ ද වෙයි.

සිංහල පාරම්පරික වෙදකමට අනුව මධුමේහය හා දියවැඩියාව යනු එකක්‌ නො වේ. මේ සම්බන්ධයෙන් මැයි 28 වැනි දා මා කියා අත්තේ මෙය ය. "මධුමේහය හා දියවැඩියාව (Diabetes) යනු එකක්‌ නො වේ. මධුමේහයෙන් කියෑවෙන්නේ ශරීරයට අවශ්‍ය ම ගුණයක්‌ පිට වී යැම ය. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණකි." මධුමේහය (ප්‍රමේහ රෝග) යනු ශරීරයේ යම් කොටසකට (අවයවයකට) අවශ්‍ය (ගුණයක්‌ සහිත) දෙයක්‌ අදාළ අවයවයේ නො රැඳී වෙනත් අවයවයකට යැම ය. එවැනි මධුමේහ රෝග 19ක්‌ ගැන ආයුර්වේදයේ ද සිංහල පාරම්පරික වෙදකමේ ද කියෑවෙයි. සිංහල වෙදකමෙහි නම් 20 වැන්නක්‌ ලෙස ප්‍රවේණිගත මධුමේහයක්‌ ගැන ද කියෑවෙයි. සිංහල පාරම්පරික වෙදකමට අනුව ප්‍රමේහ රෝග විසි එකක්‌ හෝ වැඩිගණනක්‌ හෝ තිබිය හැකි ය. ඒ සංඛ්‍යාව පරම්පරාවෙන් පරම්පරාවට, පළාතෙන් පළාතට වෙනස්‌ වන්නේ සිංහල වෙදකම නිරපේක්‌ෂ වාස්‌තවික නො වූ බැවිනි. සිංහල පාරම්පරික වෙදකමට අනුව දියවැඩියාව යනු ශරීරයට අවශ්‍ය ගුණයක්‌ කිසි ම අවයවයක නො රැඳී ශරීරයෙන් පිට වී යැම ය. එය මධුමේහයේ අවසාන අවස්‌ථාව ලෙස අර්ථදැක්‌වන්නේ ඒ අර්ථයෙනි. ඒ මිස එක්‌ ක්‍රියාදාමයක අවසාන අවස්‌ථාව ලෙස නො වේ. ඉහත සඳහන් මධුමේහ රෝග 19 එක ම ක්‍රියාදාමයක විකාශ අවස්‌ථා නො වේ. අමරතුංග මහතා සිංහල වෙදකම ද දකින්නට උත්සාහ කරන්නේ බටහිර විද්‍යා ඇසෙන් ය. ඒ ඒ සංස්‌කෘතියෙහි රෝග හඳුනාගන්නේ සංස්‌කෘතියට සාපේක්‌ෂව ය. එය නිරපේක්‌ෂ යෑයි කියමින් සියල්ලන් මත බටහිර දැනුම පැටවීම යටත්විජිතවාදයේ ලක්‌ෂණයකි.

අවසාන වශයෙන් කිව යුත්තේ මා මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කාලෝ ෆොන්සේකා, විමල් දිසානායක ආදී මහතුන් විවේචනය කරන්නේ ඔවුන් ද මේ සංවාදයට අදාළ බැවිනි. ඔවුහු බටහිර විද්‍යාව, යථාර්ථවාදය හා වාස්‌තවිකත්වය පිළිගන්නා වූ ද මෙරට සිංහල ජනමතය හැසිරවීමේ දී ප්‍රධාන වන්නා වූ ද, අතීතයේ ප්‍රධාන වූ ද පුද්ගලයන් අතර වෙති, වූ හ. වික්‍රමසිංහ මහතා ගේ ලීලා කෘතිය ගැන සඳහන් කරමින් ඔහු බටහිර විද්‍යාව වෙනුවෙන් සාක්‌ෂියට කැඳවූයේ අමරතුංග මහතා ම ය. අමරසේකර මහතා ගේ ඊනියා ජාතික චින්තනය යනු ෆ්රොම් ආදී විජාතිකයන් ගේ අදහස්‌වල පරිවර්තන මිස අන් කිසිවක්‌ නො වේ. බටහිර විද්‍යාව විෙච්නය කරන විට ඉහත සඳහන් මහතුන් මගින් පළ වන විජාතිකයන් ගේ අදහස්‌ ද විවේචනයට ලක්‌ කළ යුතු වෙයි.

නලින් ද සිල්වා

http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය