බුලත් විට සැපීම පිළිබඳ දේශීය වෛද්‍ය දැනුම සහ නූතන අනාවරණ


නාග ලෝකයෙන් ලබා ගත්තේ යෑයි සලකනු ලැබීම මත, බුලත් කොළයේ නාරටියේ විෂ ඇතැයි විශ්වාස කරන හෙයින් නාරටියේ දෙකොන ඉවත් කොට සැපීමට ගැනීම ගැමියන් ගේ සිරිත ය. බුලත් අත මෙන්ම හෙප්පුව ද සිංහල ගෙදරක සංස්‌කෘතික ලක්‌ෂණයෙකි. මඟුල් පෝරුවට, වැඩිහිටියන් ගුරු දෙගුරුන් නැමදීමට බුලත් අත යොදා ගන්නේ මහත් ගෞරව බහුමානයෙනි. බුලත මංගල සංකේතයෙකි. මළ ගෙදරක දී බුලත් වට්‌ටියේ බුලත් කොළ ආ පිට හරවන්නේ ශෝකය පළ කිරීමට සහ අනිත්‍යය මෙනෙහි කිරීමට ය.

බුලත් විට සැපීමෙන් මුඛ පිළිකා ඇති වන බවට නූතනයන් අතර පැතිර පවතින මතයනට හේතු වී ඇත්තේ බුලත්වලට ගැනෙන නොයෙකුත් අඩුවැඩිය පිළිබඳව වරින් වර කරන ලද වියුක්‌ත විශ්ලේෂණයන් විය හැකි ය.

මේ අතරින් දුම්කොළ භාවිතය බුලත් අතට එක්‌ වූයේ යුරෝපීය යටත්විජිත සමයෙන් පසුව වන අතර දුම්කොළය සැපීම ද දුම්කොළ වගාව ද මනුෂ්‍යයාට හා පරිසරයට හිතකර නො වන බව තේරුම්ගෙන ඇත. එහෙත් පුවක්‌ භාවිතය මඟින් මුඛ සෞඛ්‍යය පිරිහෙන බවට දක්‌වා ඇති නූතන ප්‍රකාශවල වලංගුතාව, දේශීය පාරම්පරික දැනුමට සාපේක්‌ෂව සලකන කල ප්‍රශ්නකාරී බව සඳහන් කළ යුතු ය.

මනුෂ්‍යයා ගේ ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය සාර්ථකව සිදු වීමට නම් ආහාරය මුඛයේ පටන් ම ක්‍ර්‍රමානුකූලව කොටස්‌වලට කැඩී පැසවීම ආරම්භ කළ යුතු ය. නූතන දැනුමට අනුව මුඛයේ තිබෙන එන්සයිම මඟින් මේ ක්‍රියාවලිය ආරම්භ කරන අතර එසේ වීමට භාෂ්මික මාධ්‍යයක්‌ අවශ්‍ය වේ. ආමාශයට මේ ආහාර කොටස්‌ යන තුරු ම මේ මාධ්‍යය ක්‍රියා නො කළ හොත් ජීරණය නිසියාකාරව සිදු නො වේ.

බුලත් විටට ගැනෙන ප්‍රධාන ද්‍රව්‍යයන් වන පුවක්‌ සහ හුණු මඟින් මුඛයේ භාෂ්මික මාධ්‍යයක්‌ ඇති කිරීමට සහාය ලබා දේ. (සැබැවින් ම බුලත් විට සැපිය යුත්තේ අලුයම සහ ආහාර අනුභවයෙන් පසුව ය.) මූකල පුවක්‌ නැත හොත් රබ්බඩ පුවක්‌ මඟින් මුඛයේ පණු දොස්‌ නසන අතර සෙම හා වාතය කිපී ඇත්නම් සමනය කරයි. මුඛයේ විරස ගතිය නැති කරලීමට ද එය උපකාරී වේ. දන්තාබාධයන් නැසීමට ද පුවක්‌වල කසට ගතිය උපකාරී වේ. ඇතැමුන් පරිභෝජනයට ගන්නා ගොලෑ පුවක්‌ වෙසෙසින් ම උණ හා පිපාසාව සංසිඳුවන ඖෂධයකි. පුවක්‌ භාවිතයේ දී පැරැණි ගැමියන් පුවක්‌ මදය පිහියෙන් සූරා ඉවත් කළේ එහි මත් ගතිය ඇති කරන විසක්‌ ඇති හෙයිනි. එසේ ම කුරුට්‌ට ද ඉවත් කිරීමට යෙදුණි. ඇතැම් පළාත්වල දී දැහැත් වට්‌ටියට හැරුණු කොට පුවක්‌ ගෙඩිය පළා සුද්ද කර තැබීම නො කෙරෙයි. බුලත් හෙප්පුවේ ගිරය ඇති හෙයින් අවශ්‍ය කෙනකුට පුවක්‌ ගෙඩිය පළා සුද්ද කොට විටට ගත හැකි වන ලෙසට එය තබා තිබිණි. මෙයට හේතුව කුඩා දරුවන් රෝගීන් ආදී බුලත් විට නො සැපිය යුතු යෑයි දක්‌වා ඇති පිරිස බුලත් පරිභෝජනය වළක්‌වාලනු පිණිස ය. සිංහල පුවක්‌, හම්බන් පුවක්‌, රට පුවක්‌ යෑයි භාවිතයේ තිබෙන වර්ග අතරින් සිංහල පුවක්‌ විශේෂ වඩාත් සුදුසු අතර කරුංකා සහ මඩ පුවක්‌ සෑදීමට ද ඒවා යෝග්‍ය වේ.

දේශීය ඖෂධ අතර පුවක්‌ ඉහළින් ම සැලකෙන අතර දන්ත රෝග නැසීමට කෙරෙන මුඛ ශෝධන ක්‍රියාවලියේ දී පුවක්‌ සහ පුවක්‌ මුල් යන දෙවගය ම යොදා ගනී.

හුණු භාවිතය ද නවීනයන් ප්‍රතික්‌ෂේප කරන නමුත් අපේ ගැමියන් හුණු භාවිත කරන්නේ කහ දමා විෂ මරා ගැනීමෙන් බව මතක්‌ කළ යුතු ය. හුණු සඳහා වර්තමානයේ දී බෙලි කටු හුණු බහුලව භාවිත කළ ද හුණු ගල් විශේෂවලින් තනා ගන්නා හුණු ද, ශාක කඳන් දවා ගෙන සාදා ගන්නා හුණු ද බුලත් විටට වඩාත් යෝග්‍ය බව පුරාණයෝ දැන සිටිය හ. හුණු භාවිතයෙන් ආහාර ජීරණ පද්ධතිය උත්තේජනය වන අතර මුඛයේ භාෂ්මිකතාව ද වර්ධනය කරයි. එසේ ම පණු රෝග නැසීමේ හැකියාවක්‌ ද ඊට ඇත. එය මඟින් වාතය නසන අතර රුජා ග්‍රහණි ආදී රෝගයන් ශමනයට ද උපකාරී වේ.

බුලත් පුවක්‌ සහ හුණු සංයෝග වූ විට තුන් දොස්‌ නසන බව ද කියා තිබේ. උදය වරුවේ පුවක්‌ වැඩියෙන් ද, දහවල් තුන් වගය සමව ද, පස්‌වරු කල බුලත් වැඩියෙන් ද, රාත්‍රියේ දී හුණු වැඩියෙන් ද ගෙන බුලත් සැපිය යුතු යෑයි ඉසි භාෂිතයේ දක්‌වා තිබෙන්නේ පෙර කී ආහාර ජීරණ ක්‍රියාවලියට විට සැපීමෙන් ඉටු වන මහඟු සහාය නිසාවෙනි. එසේ ම විට සැපීමෙන් පසුව ඇති වන මඳ දහදිය දැමීම මඟින් ශරීරයේ ඇති වන ඉක්‌මන් ක්‍රියාකාරීත්වය ද ආහාර ජීරණයට හිතකර ය.

පුරාණ ගැමියෝ බුලත් වර්ග රාශියක්‌ භාවිත කළ හ. ඒ අතර මුලින් ම එන නාග වල්ලිය බුලත මත් ගතිය ඇති කරන හෙයින් පරිභෝජනය නො කෙරෙයි. රටකොළ ගස්‌ බුලත් රට දළු ගැරඬි මානෙරු කහ මානෙරු ගල් දළු දිය බුලත් ගැට තෝඩු මහාමේරු වැම්මල් බුලත් අනෙක්‌ වර්ග අතර වෙයි. මේවායේ සමහර වර්ගවලට විදේශවල දී උසස්‌ ම්ලක්‌ ද ලැබෙන බව කිව යුතු ය. ඒවා අප ගේ විදේශ විනිමය උපයන දේශීය ද්‍රව්‍ය අතර අතීතයේ පටන් ම ප්‍රමුඛතාවෙහි ලා සැලකේ. ගම් බුලත් හැරුණු කොට වන්නියේ බුලත් යෑයි සැලකෙන වන ශාක විශේෂ ද දැකිය හැකි ය. දඩයම්කරුවෝ, වැද්දොaa, වන්නිවරු ආදීහු මේ වර්ග බුලත් වෙනුවට භාවිත කළ හ. තලා කොළ, පන්ගන් නැටි, ගිනිහැලි, දෙමට පොතු මේ වන්නි බුලත් විටට ප්‍රධාන වෙයි.

බුලත් විට ගැම් ගෙදර පටන් රජ මැඳුර දක්‌වා ම ඉහළින් ම සැලකූ ආගන්තුක සත්කාරය විෂයෙහි ප්‍රධාන ව තිබිණි. ලජ්ජා නැති ව ඉල්ලා ගත හැකි ද්‍රව්‍ය අතර ප්‍රධාන වන්නේ පැන් සහ බුලත් විටයි. ගැමි ගෙදරක බුලත් විටට වඩා රජ මැඳුරේ බුලත් වඩිය විවිධත්වයෙන් යුක්‌ත ය. එයට පස්‌ පලවතක්‌ අඩංගු වේ යයි සැලකේ. බුලත් පුවක්‌ කපුරු කස්‌තුරි සමග තකුල් වසාවාසි ආදිය ද එනසාල් ද භාවිතයේ යෙදෙන බව දක්‌වා ඇත. එයට අමතරව සාදික්‌කා කපුකිණිස්‌ස ඇට එනසාල් අරළු සහ පුවක්‌ ඇතුළත් සංයෝගයක්‌ ද කරාබු නැටි වසාවාසි කයිප්පු කපුරු කස්‌තුරි හා මුතු අළු ඇතුළත් බුලත් විට ද භාවිත කර ඇත. යෝග රත්නාකර වෙද කවි පොතේ පස්‌පලවත ගැන සඳහන් වන්නේ මේ ආකාරයට ය.

සාදික්‌කා තකුල් ද මේ -

සිහනෙනසල් අරළු ද මේ

පූග පල ද පස්‌ වග මේ -

පස්‌ පළ වත වේ නියමේ

හුණු පුවක්‌ සමග බුලත් සංයෝගයට තවත් ඖෂධීය කුළු රසය ද එකතු වන කල්හි බුලත් විට කෙතරම් බලගතු ඖෂධයක්‌ බවට පත් වන්නේ දැයි පැරැණියන් දැන සිටියේ වෛද්‍ය මූලධර්මයන්ට එකඟ ව ය.

පණුවන් නසන, කට සුවඳවත් කරන, උත්තේජනය ඇති කරන මේ ඖෂධ සමග බුලත් විට ගත් රාජ සභාවල පණ්‌ඩිතයන් බුලතේ ගුණ වර්ණනා කළේ බුලත පණ්‌ඩිත සභාවට මෙන්ම යුවති සමාගමයේ ද කළ යුතු යෑයි නියම කර ඇති බැවිනි.

සුදුසු ෙවිලාවට බුලත් විටක්‌ සැපීමෙන් ඇති වන මුඛ සෞඛ්‍යය මෙන්ම දේහ ශක්‌තිය පිළිබඳව ද ඉසි භාෂිතයේ පැවැති ව්‍යවහාරයන් අපට කිසිසේත් ම අමතක කළ නොහැකි ය. රාජ නිඝණ්‌ඩුෙවි එය සඳහන් කර ඇත්තේ මෙසේ ය.



බුලත් නො කෑමෙන් - සෙම් පිත් වා වැඩෙයි

දත් දුබල වෙයි - හිස කෙස්‌ වැටීමෙන්

ගිනි මඳ වීමෙන් - සිරුර බල හානි වෙයි

පැරැණි ගැම්යන් සිය බුලත් මඩිස්‌සලය හැඩ වැඩ දමා සකස්‌ කර ගත්තේ ද බුලත් කොටන පිත්තල වංගෙඩි නිර්මාණය කර ගත්තේ ද, පුවක්‌ ලියන කටු පාරම්පරිකව තබා ගත්තේ ද බුලත නැති ව ම බැරි හෙයිනි.

පැපිලියාන සන්නසට අනුව පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙණට බුqqලත් පුවක්‌ සැපයීම පිණිස කුඩලිගම නම් ග්‍රාමයක්‌ ද වෙන් කර තිබිණි. අවසාන සිංහල රජ කාලයේ දී උඩරට පෙදෙස සිංහලේ වූවා සේ ම බුලත් නිසාවෙන් බුලත් සිංහලේ යෑයි නම් ලැබූ ග්‍රාමයන් ද රටේ පිහිටා තිබිණි.

වර්තමානය වන විට තරුණ පිරිස අතර බුලත් විට පරිභෝජනය අඩු වී ඇත. බාබුල් වැනි මත්කාරක අඩංගු බුලත් විදේශවලින් ගෙන්වීමට නිදහසේ ඉඩ ලැබීම නිසා වෙනත් සමාජ කොටසක්‌ අනාරක්‌ෂිත තත්ත්වයට පත් ව ඇත. බුලත් විට කෑමෙන් පිළිකා ඇති කරන්නේ යෑයි ප්‍රකාශ කරන සෞඛ්‍ය අංශ ශරීරයට අහිතකර කෘත්‍රිම රසකාරකවලින් වන විනාශය පිළිබඳව සොයා බලන්නේ ද? කේටරින් සේවා බහුල වීම නිසා විශාල රසකාරක ප්‍රමාණයක්‌ ජනතාව ගේ ශරීරයට එකතු වන අතර ආහාර විෂ වීම්, අම්ල පිත්තය, බඩ වැල්වල තුවාල පවා ඇති වී බෙඩි උෂ්ණත්වය මඟින් රෝගියා අසාධ්‍ය තත්ත්වයකට පමුණුවන බව පැහැදිලි ය. දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රයට අනුව බොක්‌කේ ඌෂ්ණය නිසා අම්ල ගතිය ඉහළට ගසා දත් ද දිරාපත් කරන අතර කටේ නිරන්තර තුවාල ගෙඩිවලට ද එය හේතුවකි.

මේ ආකාරයට සලකන කල බුලත් විටෙන් සැලසෙන සෞඛ්‍ය ආරක්‌ෂාව දෙස ගර්හාවෙන් බැලීම අනුමත කළ නොහැකි ය. මෙවැනි වටිනාකම් යටපත් කරන ආකාරයේ ප්‍රකාශ තුළ, දේශීය ජනතාව අතරින්a බුලත ඉවත් කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් ව තිබිය හැකි බව අප තේරුම් ගත යුතු ය.

බුලත් හා පුවක්‌ අපට විදේශ විනිමය සපයන පාරම්පරික අපනයන ද්‍රව්‍යයකි. බුලත් පර්යේෂණායතනයක්‌ පවා පිහිටුවා ඇත්තේ එබැවිනි. බුලත්වලින් ඖෂධ ඇතුළු අතුරු නිෂ්පාදන කර ලීමට මාර්ගය විවර නො කර බුලත් විට ප්‍රතික්‌ෂේප කරන සමාජයක්‌ නිර්මාණය කිරීමත් දේශීය ආර්ථිකයට පහර ගැසීමත් මේ ව්‍යාපාරවල අරමුණු විය හැකි ය. එම නිසා සිංහල සංස්‌කෘතියේ සංකේතය වන බුලත් හෙප්පුව ආශීර්වාදයක්‌ ලෙසට වැළඳ ගැනීමේ ක්‍රියාවලිය වත්මන් ජාතික ව්‍යාපාරයේ යුතුකමක්‌ ලෙස සලකම්.

මතුගම සෙනෙවිරුවන්

මේ ලිපියට කරුණු ලබා දුන් වෛද්‍ය කේ. ඒ. විඡේරත්න මහතාට ස්‌තූතිය පළ කරමි.

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය