විද්‍යාත්මක දැනුමේ පදනම විද්‍යාත්මක ද?

විද්‍යාත්මක දැනුමේ පදනම විද්‍යාත්මක ද?

බටහිර විද්‍යාවට පදනම් වූ කිසියම් බටහිර දර්ශනයක්‌ ද පවතින බව විද්‍යා විෂයයන් හදාරන්නන්ට ඇතැම් විට අමතක වී ඇති කාරණයකි. මෙයට හේතුව වන්නේ බටහිර විද්‍යාව ඉගෙන ගන්නා බොහෝ ශිෂ්‍යයන්ට දර්ශනය විෂයයක්‌ වශයෙන් හදාරන්නට අවස්‌ථාවක්‌ නො ලැබීම විය හැකි ය. දර්ශනය බොහෝ විට හැදෑරීමේ අවස්‌ථාව ලබන්නේ විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයන් නො ව කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් ය. විද්‍යා විෂයයන් හදාරන ශිෂ්‍යයන්ට එම විද්‍යාවන්ට පදනම් වන දර්ශනය පිළිබඳ අවබෝධයක්‌ ලබා නො දීමෙන් තමන් හදාරන විෂය පථය ගැන පුළුල් අවබෝධයක්‌ නො ලැබෙයි. අනෙක්‌ කාරණය නම් විද්‍යාව සෙසු විෂයයන් ගෙන් වෙනස්‌ වන ආකාරය යම් තරමකට හෝ හඳුනාගැනීමට නම් එම විද්‍යාවට පදනම් වන දර්ශනය ගැන හැදෑරීමක්‌ කර තිබීම වැදගත් විය හැකි බවයි.

බටහිර දර්ශනය බොහෝ විට අතීතය ගවේෂණය සහ ඒ අනුව පදනම් වී අනාගතය සැලසුම් කිරීම සඳහා යොදාගැනෙන විෂය ක්‌ෂේත්‍රයකි. බටහිර දර්ශනය ඇතැම් විටෙක බටහිර විද්‍යාවේ රාමුව හෙවත් විෂය පථය තීරණය කිරීම හෝ පුළුල් කිරීම සඳහා භාවිත වන බව ද දැකිය හැකි ය. එසේ ම බටහිර විද්‍යාවේ ඇතැම් නව නිර්මාණයන් (සොයාගැනීම්) එයට අදාළ බටහිර දර්ශනයේ පුළුල් වීම සඳහා ද චක්‍රීය වශයෙන් අනෙක්‌ පසට ද භාවිත වන බව පෙනෙන්නට තිබේ. බටහිර දාර්ශනිකයන් සහ බටහිර විද්‍යාඥයන්ට අනුව නම් බටහිර දර්ශනය සහ බටහිර විද්‍යාව යන දෙක ම පරම සත්‍යය සොයා යැම සඳහා භාවිත කෙරෙන බව කියවේ. ඔවුන් සොයා යන්නා වූ පරම සත්‍යය කුමක්‌ ද යන්න බටහිර විද්‍යාඥයන් හෝ බටහිර දාර්ශනිකයන් හෝ නො කියන නමුත් එය අපට ප්‍රශ්න කළ හැකි ඉතා ම වැදගත් කාරණයකි.

යුරෝපීය පුනරුදයේ මුල් කාලයේ දී බටහිර දර්ශනය සහ බටහිර විද්‍යාව වෙන් වූ විෂයයන් දෙකක්‌ ලෙසින් නො ව එකක්‌ ලෙසින් පැවැති බව පෙනී යන කාරණයකි. පසුකාලීනව බටහිර විද්‍යාව වෙන් වූ විෂයයක්‌ බවට පත් වන්නට ඇත. බටහිර විද්‍යාවේ ප්‍රවාදයන් නිර්මාණය කරන ක්‍රමවේදය ලෙස සැලකෙන විද්‍යාත්මක විධික්‍රමය අනුගමනය කිරීමෙන් කිසියම් ප්‍රස්‌තුතයක්‌ ඔප්පු කළ හැකි බවට මතයක්‌ 20 වැනි සියවසේ මැදක්‌ වන තෙක්‌ ම පැවතිණ. විද්‍යාත්මක ක්‍රමය පිළිබඳ මේ මතය දැරූ දාර්ශනිකයන් පිරිස පොසිටිවිස්‌ට්‌ (Positivists) හෝ ඉන්ඩක්‌ෂනිස්‌ට්‌ ((Inductionists) යන නම්වලින් බටහිර දර්ශනයේ දී හැඳින්වේ. ඔවුන්ට අනුව කිසියම් ප්‍රපංචයක්‌ (Phenomena) පරීක්‌ෂණ, සම්පරීක්‌ෂණ සහ නිරීක්‌ෂණ සහිතව විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් විද්‍යාත්මකව සත්‍ය බව තහවුරු (ඔප්පු) කිරීමට හැකියාවක්‌ ඇත. උදාහරණයක්‌ ලෙස ලංකාවේ සියලු ම කපුටන් කළු ය යන ප්‍රපංචය ලංකාව පුරා විවිධ ප්‍රදේශයන්හි කපුටන් ගේ නියෑදි කිහිපයක්‌ නිරීක්‌ෂණය කිරීමෙන් පසු, එහි දී කළු හැර වෙනත් වර්ණයක කපුටන් හමු නො වුණ හොත් ලංකාවේ සියලු ම කපුටන් කළු බව තීරණය කෙරිණ. මෙහි දී සිදු කෙරෙන සීමිත විද්‍යාත්මක පරීක්‌ෂණයක දී කළු හැර වෙනත් වර්ණයක කපුටකු හමු නො වූ පමණින් ලංකාවේ සියලු ම කපුටන් කළු ය යන ප්‍රපංචය තහවුරු වන බව පිළිගැනිණ. එනම් විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතයෙන් සීමිත නිරීක්‌ෂණයන් ඇසුරින් තහවුරු කරන ලද්දා වූ දැනුමක්‌ විද්‍යාත්මක දැනුම ලෙස සලකන ලදී. විසි වැනි සියවසේ මැදක්‌ වන තෙක්‌ විද්‍යාත්මක දැනුම ගැන තිබූ පිළිගත් මතය වූයේ මේ අභ්‍යහනවාදයයි. ((Inductionism).

විසිවැනි සියවසේ පහළ වූ කාල් පොපර්, තෝමස්‌ කූන්, පෝල් ෙµයාරාබන්ඩ්, වෑන් කුයින් ආදී වූ විද්‍යාව පිළිබඳ දාර්ශනිකයන් ඉහත දැක්‌වූ අභ්‍යහනවාදය (Inductionism) සහ විද්‍යාත්මක ක්‍රමයට එරෙහි ව සිය මතවාද පළ කළ හ. ඔවුන් අපෝහකවාදීන් (Deductionists) ලෙසින් හැඳින්වේ. ඔවුන් අතරින් මුලින් ම කාල් පොපර් විසින් විද්‍යාත්මක ක්‍රමයකට නව අර්ථ දැක්‌වීමක්‌ කරන ලදී. තෝමස්‌ කූන්, අලුත් විද්‍යාත්මක ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීමෙන් සමාජයට (විද්‍යාත්මක සමාජයට) ඇති වන බලපෑම ගැන පැහැදිලි කොට ඇත. පෝල් ෙµයාරබන්ඩ් විසින් විද්‍යාත්මක ක්‍රමය නමින් නිශ්චිත ක්‍රමවේදයක්‌ නොමැති බව ප්‍රකාශ කරන ලදී. වෑන් කුයින් නමැති ඇමෙරිකානු දාර්ශනිකයා, අලුත් විද්‍යාත්මක ප්‍රවාදයක්‌, පවතින විද්‍යාත්මක දැනුම් පද්ධතියට අලුතින් එකතු වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදු වූ කල එයට බැඳී ඇති අනුබද්ධ ප්‍රවාද සමූහයට සිදු වන බලපෑම අධ්‍යයනය කර ප්‍රවාදයන්හි අන්තර් සම්බන්ධය ගැන අදහස්‌ පළ කර ඇත්තෙකි.

1930 දී පමණ අපෝහකවාදීන් ගේ ((Deductionists) මූලිකයකු වූ කාල් පොපර් නමැති දාර්ශනිකයා විසින් විද්‍යාව බාහිර සෙසු විද්‍යාත්මක නො වන දැනුම පද්ධතිවලින් වෙනස්‌ වන්නේ විද්‍යාත්මක ප්‍රවාදයන්හි ඇති "අසත්‍යකරණයට ලක්‌ කිරීමට ඇති හැකියාව" (Falsifiability) යන ශික්‌ෂණය නිසා බව ප්‍රකාශ කරන ලදී. ඔහු එම අදහස ප්‍රකාශ කළේ එතෙක්‌ පිළිගත් මතය බවට පත් වී තිබූ අභ්‍යqහනවාදී මතය තාර්කිකව නිවැරැදි නො වන බවට පැහැදිලි කිරීමක්‌ ද සහිත ව ය. ඔහු ගේ මතයට අනුව කිසියම් ප්‍රපංචයක්‌ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිතයෙන් ඔප්පු කිරීම යන්න තාර්කික නො වේ. උදාහරණයකින් පොපර් ගේ මතය පැහැදිලි කරතොත්, ලංකාවේ සියලු ම කපුටන් කළු පාට ය යන්න මෙරට සිටින කපුටන් සියලු දෙනා ම නිරීක්‌ෂණය කිරීමකින් තොර ව තහවුරු කිරීමට නොහැකි ය. තව ද සියලු ම කපුටන් නිරීක්‌ෂණය කිරීමෙන් පසු කළු පැහැති කපුටන් පමණක්‌ හමු වුව හොත් එහි දී ලංකාවේ සියලු ම කපුටන් කළු පාට ය යන නිගමනයට එළඹීම තාර්කික නො වේ. ඊට හේතුව අදාළ නිරීක්‌ෂණයේ සියලු ම කපුටන් නිරීක්‌ෂණය කර නො තිබීමයි. එම නිසා යම්කිසි ප්‍රපංචයක්‌ තහවුරු කිරීමක්‌ (සත්‍ය බව ඔප්පු කිරීමක්‌) විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව කරන ලද පර්යේෂණයකින් වුව ද කළ නොහැකි බව පොපර් විසින් තාර්කිකව පෙන්වා දෙන ලදී. එහෙත් යමකුට සුදු කපුටකු (කළු නො වන) ලංකාවේ දී හමු වී නම් සහ එතෙක්‌ ලංකාවේ සියලු ම කපුටන් කළු ය ලෙසින් සැලකූ ප්‍රපංචයක්‌ තිබුණේ නම් එය අසත්‍යයක්‌ බවට පත් වේ. එනම් එහි දී ලංකාවේ සියලු ම කපුටන් කළු ය යන ප්‍රපංචය අසත්‍යකරණයට ලක්‌ වේ. මෙලෙස විද්‍යාත්මක ක්‍රමය භාවිත කරමින් අපට කළ හැක්‌කේ යම්කිසි ප්‍රපංචයක්‌ තහවුරු කිරීමක්‌ නො ව, කිසියම් ප්‍රපංචයක්‌ අසත්‍යකරණයට ලක්‌ කිරීම බව පොපර් විසින් පෙන්වා දෙන ලදී. දැනට පවත්නා අධිකරණ ක්‍රියාවලියේ දී, නීතිය ඉදිරියේ සැකයකින් තොර ව ඔප්පු කරන තුරු විත්තිකරු යනු නිර්දෝෂී පුද්ගලයෙකි ය යන කියමනක්‌ ඇත. මෙලෙස ම විද්‍යාත්මක දැනුම නිර්මාණය පිළිබඳ පෙර පැවැති මතය වූ, "විද්‍යාත්මක ක්‍රමය යොදා ගැනීමෙන් ඔප්පු කරන තුරු කිසියම් ප්‍රපංචයක්‌ විද්‍යාත්මක නො වේ" යනුවෙන් පැවැති අදහස කාල් පොපර් ගේ අසත්‍යකරණ මූලධර්මය නිසා බිඳ වැටිණ.

පොපර් ඉදිරිපත් කළ මතයට අනුව විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළ යුත්තේ යමක්‌ තහවුරු කිරීම සඳහා නො ව අසත්‍යකරණයට ලක්‌ කළ හැකි බව තහවුරු කිරීම සඳහා ය. කිසියම් ප්‍රපංචයක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ හැකි බව තහවුරු කිරීමට හැකි නම් පමණක්‌ ප්‍රපංචය විද්‍යාත්මක ප්‍රවාදයක්‌ ලෙසින් හැඳින්විය හැකි බව ඔහු ගේ මතය විය. එනම් කිසියම් ප්‍රපංචයක්‌ විද්‍යාත්මක ප්‍රවාදයක්‌ වීමට නම් එය අසත්‍යකරණයට ලක්‌ කිරීමේ හැකියාව තිබිය යුතු ය. පොපර්ට අනුව විද්‍යාත්මක ක්‍රමය භාවිත කෙරෙන්නේ නම් එය භාවිත කළ යුත්තේ කිසියම් ප්‍රපංචයක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ද නොහැකි ද යන්න තහවුරු කිරීම සඳහා ය. එහි දී අසත්‍යකරණයට ලක්‌ කිරීමට හැකියාව තිබේ නම් එම ප්‍රපංචය විද්‍යාත්මක ප්‍රවාදයක්‌ ලෙසට පිළිගැනිණ. එසේ අසත්‍යකරණයට ලක්‌ කිරීමට හැකියාවක්‌ නොමැති නම් එම ප්‍රපංචය විද්‍යාත්මක නො වන බව පොපර් ගේ අදහස විය. මේ නිසා ජ්‍යෙdතිෂ්‍යය, ඉතිහාසය, මනෝවිද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂයන්ට අදාළ බොහොමයක්‌ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි බැවින් ඒවා විද්‍යාත්මක ප්‍රවාද ලෙසින් නො සැලකේ. එහෙත් එම විෂය ක්‌ෂේත්‍රයන්හි ප්‍රවාද ඇතැම් විට ප්‍රායෝගික භාවිතයේ දී ප්‍රයෝජනවත් වන අතර ඒවා අතර ඇතැම් තාර්කික ප්‍රවාදයන් ද දැකිය හැකි ය. එහෙත් අසත්‍යකරණය කළ නොහැකි බැවින් පොපර්ට අනුව එම විෂය ක්‌ෂේත්‍රයන්හි ප්‍රවාද විද්‍යාත්මක නො වේ.

කෙසේ නමුත් පොපර්ට අනුව කිසියම් ප්‍රපංචයක්‌ විද්‍යාත්මක ප්‍රවාදයක්‌ ලෙස සැලකීමට නම් එය අසත්‍යකරණයට ලක්‌ කර පෙන්වීම අනිවාර්ය නො වේ. එනම් අසත්‍යකරණයට ලක්‌ කිරීමට ඉඩක්‌ තිබෙන බව තහවුරු කිරීම පමණක්‌ සෑහෙන බව ඔහු ගේ මතය විය. එනම් සියලු ම කපුටන් කළු ය යන්න විද්‍යාත්මක ප්‍රපංචයක්‌ ලෙස සැලකීමට නම් කළු නො වන කපුටකු දැනට ජීවමාන ව සිටිය යුතු නො වේ. කළු නො වන කපුටකු කවර හෝ දිනයක සොයා ගැනීමට කිසියම් ඉඩක්‌ තිබීමෙන් ම එම ප්‍රපංචය විද්‍යාත්මක බව සැලකේ. එය වඩාත් නිවැරැදිව කිව හොත් අසත්‍යකරණය ((Falsifification) නො ව අසත්‍යකරණයට ලක්‌ කිරීමට ඇති විභවය (Falsifiability) යන්න, ප්‍රපංචයක්‌ විද්‍යාත්මක නැද්ද යන්න වර්ගීකරණය කිරීම මෙහි දී සලකා බැලිණ. එනම් කාල් පොපර් ප්‍රපංචයක ක්‌ෂණික අසත්‍යකරණයක්‌ බලාපොරොත්තු නො වී ය. එහි දී ප්‍රවාදයක්‌ විද්‍යාත්මක වීම සඳහා අවශ්‍ය වූයේ.

1. වර්තමාන දැනුම පැහැදිලි කිරීම (දත්ත සහ පරීක්‌ෂණ)

2. සාධක මත අසත්‍යකරණයට ලක්‌ කළ හැකි බව පෙන්වා දීම ය.

මේ අනුව කාල් පොපර් විසින් විද්‍යාත්මක ක්‍රමයට කිසියම් නව හැඳින්වීමක්‌ (අර්ථ දැක්‌වීමක්‌) කරන ලද බව පෙනී යයි. ඔහු ගේ එම නව අර්ථ දැක්‌වීමෙන් එතෙක්‌ විද්‍යාත්මක දැනුම නිර්මාණයේ දී සිදු ව තිබූ තාර්කික දෝෂයක්‌ නිවැරැදි වූ බව නම් කිව හැකි ය. එබැවින් වර්තමානයේ බොහෝ බටහිර විද්‍යාඥයන් සහ දාර්ශනිකයක්‌ කාල් පොපර් විසින් විද්‍යාත්මක ක්‍රමවේදය ගැන පළ කරන ලද අදහස්‌ සමග එකඟ වන බව ද හඳුනාගත හැකි ය.

කිසියම් විද්‍යාත්මක ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ කිරීමට හැකි ආකාරය කලින් ප්‍රකාශ කළ හැකි වීම සහ අලුත් ප්‍රපංචයක්‌ සඳහා අනාවැකි පළ කිරීමට හැකි වීම එම ප්‍රපංචයේ ම ශක්‌තිමත් භාවයේ ම කොටසක්‌ ලෙස ඇතැම් පොපර්වාදීන් ගේ අදහසයි. අයින්ස්‌ටයින් විසින් සිය ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ හැකි පරීක්‌ෂණයක්‌ පිළිබඳව අනාවැකියක්‌ පළ කරන ලද බව සඳහන් වේ. පසුව 1922 දී ඔහු විසින් අනාවැකි පළ කරන ලද එම පරීක්‌ෂණය සිදු කෙරුණු අතර අයින්ස්‌ටයින් කී සිය ප්‍රවාදය බිඳ වැටිය හැකි ආකාරය පිළිබඳ අනාවැකිය ද එහි දී සනාථ වූ බව ද කියෑවේ. එයින් අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදය ගැන තව තවත් විද්‍යාත්මක සමාජය තුළ විශ්වාසය ගොඩනැඟුණ බව ද පොපර්වාදීන් ගේ අදහසයි.

අද නෙමෙයි හෙට යනුවෙන් පැවසෙන්නා වූ බාලගිරි දෝෂය වැනි යෑයි සැලකිය හැකි වූ මර්පි ගේ නියමය නමින් ප්‍රවාදයක්‌ මෙකල ද විද්‍යාවේ දී ප්‍රකටව භාවිත වේ. මර්පි ගේ නියමයට අනුව, යමක්‌ අසත්‍ය වීමට හැකියාවක්‌ ඇත්නම් එය අසත්‍යයක්‌ ම වනු ඇත යන ප්‍රකාශනය විද්‍යාත්මක පරීක්‌ෂණ සැලසුම් කිරීමේ දී ප්‍රකටව භාවිත වන්නේ පොපර් ගේ විද්‍යාව පිළිබඳ වූ අසත්‍යකරණය ප්‍රවාදය බිහි වී කලක්‌ ගත වීමෙනුත් පසු ව ය. කාලය පිළිබඳ සීමාවන් රහිත ව ප්‍රකාශ කොට ඇති මර්පි ගේ නියමය නම් වූ එම ප්‍රවාදය අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි ය.

මා ගේ අදහස නම් පොපර් ගේ අසත්‍යකරණ ප්‍රවාදය චක්‍රීයව ඔහු ගේ ම ප්‍රවාදයට වලංගු විය යුතු බවයි. "අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ප්‍රපංච පමණක්‌ විද්‍යාත්මක වේ" යන ප්‍රකාශය අසත්‍යකරණයට ලක්‌ කළ හැකි ද? පොපර් (හෝ වෙනත් අයෙක්‌) ඔහු ගේ විද්‍යාව පිළිබඳ වූ ප්‍රකාශය (අර්ථ දැක්‌වීම) අසත්‍යකරණයට ලක්‌ කළ හැකි බව මෙතෙක්‌ සනාථ කොට නොමැත. එනම් කාල් පොපර් ගේ අසත්‍යකරණය පිළිබඳ ප්‍රවාදය ද අසත්‍යකරණය කිරීමට හැකියාවක්‌ නොමැති එකක්‌ බව දැනට ඇති පිළිගැනීමයි. මෙහි දී ඔහු ගේ අසත්‍යකරණය පිළිබඳ ප්‍රපංචය යනු "විද්‍යාත්මක දැනුම" සෙසු දැනුමෙන් වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ කිසියම් වර්ගීකරණ ක්‍රමවේදයක්‌ අර්ථ දැක්‌වීමට කරන ලද්දා වූ හුදු ප්‍රකාශනයක්‌ ලෙස සැලකුව හොත් එවැනි ප්‍රකාශනයක්‌ අසත්‍යකරණයට ලක්‌ කිරීමට කිසිවකුටත් නොහැකි ය. එසේ වුව හොත් "කිසියම් ප්‍රපංචයක්‌ විද්‍යාත්මක වීමට නම් එය අසත්‍යකරණයට ලක්‌ කිරීමේ හැකියාව තිබිය යුතු ය." යන කාල් පොපර් ගේ ප්‍රවාදය ම විද්‍යාත්මක නො වේ. මෙලෙස කාල් පොපර් විසින් විද්‍යාව පිළිබඳව කරන ලද අසත්‍යකරණය පිළිබඳ ප්‍රකාශනය ම විද්‍යාත්මක නො වන බවක්‌ පෙනී යයි. එබැවින් විද්‍යාත්මක දැනුම පදනම් වී ඇත්තේ පොපර් ගේ අවිද්‍යාත්මක වූ අර්ථ දැක්‌වීමක්‌ මත නම් විද්‍යාත්මක නො වන දැනුම සහ විද්‍යාත්මක දැනුම යන දෙකෙහි ම දාර්ශනික පදනමේ සැලකිය යුතු වෙනසක්‌ තිබිය හැකි ද යන ප්‍රශ්නය ද අපට ඇසිය හැකි ය. මෙහි දී විද්‍යාත්මක දැනුම සහ අවිද්‍යාත්මක (විද්‍යාත්මක නො වන) දැනුම යන දෙක ම කොටස්‌ දෙකකට වර්ග කෙරෙන්නේ අවිද්‍යාත්මක ප්‍රකාශනයක (අර්ථ දැක්‌වීමක) භාවිතයෙනි. අවිද්‍යාත්මක අර්ථ දැක්‌වීමක්‌ මත පදනම් වූ විද්‍යාවක්‌ තිබේ නම් අපට විද්‍යාත්මක දැනුම විද්‍යාත්මක ද යන්න පවා ඇසීමට ද සිදු වන බව නො කිවමනා ය. කාල් පොපර් ඇතුළු බටහිර දාර්ශනිකයන් කුමක්‌ කීව ද මා ගේ අදහස නම් "විද්‍යාත්මක දැනුම" සහ "විද්‍යාත්මක නො වන වෙනත් දැනුම්" අතර පැහැදිලි තාර්කික හෝ දාර්ශනික වෙනසක්‌ තවමත් පෙන්වා දීමට බටහිර දාර්ශනිකයන් අසමත් වී ඇති බවයි. ඒ නයින් බැලුව හොත් "විද්‍යාත්මක දැනුම" සහ "විද්‍යාත්මක නො වන දැනුම" අතර වෙනසක්‌ තිබේ ද යන්න නැඟෙන මීළඟ ප්‍රශ්නයයි. බටහිර විද්‍යාවට අදාළ දර්ශනය නිරවුල් නො වන කල, බටහිර විද්‍යාඥයන් කරන්නේ කළුවා මාරපන ගියා වැනි කර්තව්‍යයක්‌ නො වේ ද? බටහිර විද්‍යාව යනු කුමක්‌ ද යන්න හරියට ම තමන් දන්නා බව කියන යමකු මෙරට සිටී නම් විද්‍යාත්මක ආකාරයට විද්‍යාත්මක දැනුම හෝ විද්‍යාව අර්ථ දක්‌වන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ඉන්දික ප්‍රසාද් කුමාර (පරිගණක ජාල විශේෂඥ)

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු