ඩර්බන් සමුළුවේ දී කුමක්‌ සිදු වේ ද?



ජගත් දේශගුණ සමුළුව නොවැම්බර් මස 28 දා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ දී ආරම්භ වීමට නියමිතව තිබිණි. එය ආරම්භ වීමට කලකට පෙර පටන් ඒ ගැන බලාපොරොත්තු තැබිය හැකි ද යන්න සාකච්ඡාවට ලක්‌ව තිබේ. පෙනෙන්නට ඇති පරිදි කිසිදු ආකාරයක ගිවිසුමක්‌ මෙහි දී ඇති වීමට ඇති අවස්‌ථාව ඉතා අඩු ය. එසේම ඉන් මෙපිට යම් යම් කරුණු පිළිබඳව යම් එකඟතා ඇති වෙතැයි යන්න පිළිබඳව ද ඇත්තේ සැකයකි. මේ නිසා ඩර්බන් සමුළුව පිළිබඳව විමසා බැලීම සුදුසු යෑයි අපි සිතමු.

ප්‍රබල ගිවිසුමක්‌ ඇති නො වන්නේ ඇයි?

දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීම සඳහා අවශ්‍යව ඇත්තේ හරිතාගාර වායු විමෝචන විශාල වශයෙන් සීමා කිරීම සඳහා වූ එකඟතාවකි. ඒ පිළිබඳව ඇති ඉලක්‌කය 2050 වර්ෂයේ දී වායු විමෝචන සියයට 50ක්‌ හෝ 80කින් අඩු කිරීම ය. මේ පිළිබඳව විද්‍යාඥයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙන් ම දියුණුවන රටවල් රැසක්‌ම එකඟ වී තිබේ. එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් බන් කි-මුන් පසුගියදා පවසා ඇත්තේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා පියවර ගත යුතු බව ය.

එහෙත් පසුගිය කාලයේ දී ඇති වූ ප්‍රවණතා අනුව පෙනෙන්නට ඇත්තේ නෛතික බැඳීමක්‌ ඇති කිසිදු ගිවිසුමක්‌ ඇති වෙතැයි යන්න ගැන අපේක්‌ෂාවක්‌ නොමැති තරම් ය. මේ සඳහා හේතු වී ඇත්තේ කවුරුන් මේ සීමා කිරීම කළ යුතු ද යන්න පිළිබඳව ඇති ගැටලූවයි. දියුණු කාර්මික රටවල් විසින් මෙය කළ යුතු බව දියුණු වන රටවල අදහස වේ. ඇමරිකාව මීට එකඟ වී නැති අතර ඇමෙරිකාව නොමැති එවැනි එකඟතාවයක්‌ ඵලදායී නොවන බව ඇතැම් රටවල අදහස වී තිබේ. ඇතැම් දියුණු රටවල් පවසන්නේ චීනය, ඉන්දියාව හා බ්‍රසීලය වැනි ෙවිගවත් සංවර්ධනයක්‌ ඇති රටවල් ද ඊට සම්බන්ධ විය යුතු බව ය. පසුගියදා ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද මෙය පවසා තිබිණි. මේ කරුණ විමෝචන සීමා කිරීම පිළිබඳ සාකච්ඡා අඩාල වීමට හේතු වී ඇති අතර ඩර්බන් හි දී ද එය සිදු විය හැකි ය. ඇතැම් රටවල් අනුගමනය කරන පටු දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ කණගාටුදායක තත්ත්වය ඇති වී තිබේ.

විමෝචන සීමා කිරීමක්‌ ඇති විය හැකි දින වකවානු ගැන යම් යම් අදහස්‌ පළ වී තිබේ. යුරෝපා රටවල් අපේක්‌ෂා කරන්නේ කිසියම් ගිවිසුමක්‌ ඇති විය හැක්‌කේ 2015 දී පමණ බව ය. බ්‍රිතාන්‍ය ඇමැතිවරයකු පවසා තිබූ පරිදි ඔවුන්ගේ අදහස දේශගුණ ගිවිසුමක්‌ 2020 වසර වන විට ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනු දැකීම ය. මේ අනුව දියුණු රටවලට අවශ්‍යව ඇත්තේ නෛතික වගකීමක්‌ ඇති ගිවිසුමක්‌ ඇති වීම 2018 හෝ 2020 දක්‌වා තරම් ඈත දක්‌වා කල් දමා ගැනීම ය. මේ වෑයම දේශගුණ බලධාරීන් විසින් පවා විවේචනයට ලක්‌ කර තිබේ. මිනිසුන් කිසිවක්‌ නොකළ ද, ගිවිසුමක්‌ ඇති වීම පමා වුවත් දේශගුණ වෙනස්‌වීම යනු මේ වන විටත් සිදුවෙමින් පවතින්නකි.

මේ ප්‍රමාදය නිසා යුරෝපා සංගමය මගින් අනුමත කළ 2020 හරිතාගාර වායු විමෝචන වැළැක්‌වීමේ උත්සාහය හා ඔස්‌ටේ්‍රලියාවේ සම්මත වූ නව නීතිය නිසා ඇති වූ පරිසර හිතකාමී ප්‍රවණතාව පවා අඩාල වීමේ ඉඩක්‌ තිබේ.

අවධානයට ලක්‌විය හැකි කරුණු


ඩර්බන් හි දී සාකච්ඡාවට ලක්‌ වීමට ඉඩ තිබෙන වැදගත් කරුණක්‌ වන්නේ කියෝටෝ සන්ධානය මරණයෙන් වළක්‌වා ගැනීම ය. හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා ඇති එකම එකඟතාවය වන කියෝටෝ සන්ධානය 2012 වර්ෂයේ දී කාලය අවසන් වීමෙන් පසු එහි දෙවැනි අදියරක්‌ පිළිබඳව අවධානය යොමු වී ඇතත් ඊට දියුණු රටවල් සමහරකින් සහයෝගයක්‌ ලැබෙන බවක්‌ පෙනෙන්නට නැත. දියුණුවන රටවල සහභාගිත්වය මේ සඳහා ද අපේක්‌ෂා කරන බවක්‌ පෙනේ.

හරිත කාබන් අරමුදල සමුළුවේ අවධානයට ලක්‌වන තවත් කරුණකි. එහි අරමුණ දියුණු රටවලට දේශගුණ වෙනස්‌වීමේ බලපෑම්වලට හැඩගැසීමට මූල්‍යමය සහයෝගය ලබා දීම ය. දියුණු රටවල් විසින් දියුණුවන රටවලට ආධාර කිරීමට ආචාර ධර්මීය යුතුකමක්‌ තිබේ. ඒ වර්තමාන හරිතාගාර ආචරණය සඳහා හේතු වී ඇත්තේ දියුණු රටවල් දිගු කලක්‌ තිස්‌සේ අනුගමනය කළ සංවර්ධන ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය වීම ය. මේ අරමුදල 2013 දී ආරම්භ වීමට නියමිතව ඇතත් එහෙත් ඊට පොරොන්දු වී ඇති ඩොලර් බිලියන සියයක මුදල මේ දක්‌වා ලැබී නොමැත.

ඩර්බන්වල දී සාකච්ඡා විය හැකි තවත් වැදගත් කරුණක්‌ වන්නේ වන විනාශය හා වන හායනය අවම කිරීමෙන් හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ (REDD) යාන්ත්‍රණයයි. මේ සම්බන්ධව යම් ප්‍රගතියක්‌ ඇති විය හැකි අතර එය කාබන් වෙළෙඳාමට ද සුභවාදී ලෙස බලපානු ඇත. මේ මගින් දියුණුවන රටවල් ගණනාවකට ආර්ථික වශයෙන් යම් ප්‍රතිලාභයක්‌ ලැබුණ ද ඉන් හරිතාගාර වායු විමෝචන අඩුවීමක්‌ සිදු නොවීම විවේචනයට ලක්‌ව ඇති කරුණකි.

සමුළුවේ ප්‍රතිඵල කෙසේ වේ ද?

මෑත කාලයේ දී දේශගුණ වෙනස්‌වීමේ බරපතළ බව පෙන්වා දෙන වාර්තා හා පර්යේෂණ වාර්තා රැසක්‌ ප්‍රකාශයට පත් විය. ඒවායේ අරමුණ වූයේ ලෝකය හමුවේ ඇති ගැටලූවේ තරම ගැන අවධානය යොමු කිරීම ය. එහෙත් දේශගුණ වෙනස්‌වීම පිළිබඳ ඇති අවධානය හෑල්ලූ කිරීමේ උත්සාහයක්‌ ද දියත් වී තිබේ. බ්‍රිතාන්‍යයේ ආයතනයක දේශගුණ විද්‍යාඥයන් අතර හුවමාරු වූ ඊමේල් පණිවුඩ පන්දහසක්‌ පමණ අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 2009 දී ඇති වූ මෙවැනි සිදුවීමක දී එහි දී අදාළ විද්‍යාඥයින් විසින් දත්ත වෙනස්‌ කිරීමක්‌ සිදුකර ඇතැයි දේශගුණ සංශයවාදීන් චෝදනා කරන ලදි. එහෙත් පසුව සිදුකරන ලද ස්‌වාධීන විමර්ශනවලින් එවැන්නක්‌ සිදුවී නොමැති බව හෙළි විය.

මේ අතර දේශගුණ වෙනස්‌වීමෙන් බලපෑමට පත්ව ඇති දියුණුවන රටවල් සමහරක්‌ උද්ඝෝෂණකාරී පියවරවල යෙදීමට සූදානම්ව සිටි බව ද වාර්තා වී තිබේ. ඒ අනුව සාකච්ඡාවල යම් ප්‍රගතියක්‌ ඇති නොවන්නේ නම් 'ඩර්බන් අත්පත් කරගැනීම' (Occupy Durban) ආකාරයේ උද්ඝෝෂණයක්‌ සඳහා යෝජනා වී ඇත. මෙහි අරමුණ වන්නේ ඒ එකඟතාවයක්‌ ඇති කර ගැනීම පමා වීමට විරෝධය පළ කිරීම ය. දියුණුවන රටවල් අතර මෙවැනි එකමුතුවක්‌ දැකීම සතුටට කරුණක්‌ වුවත් දියුණු හා දියුණුවන රටවල් අතර ඇති වී තිබෙන නිහඬ අරගලය සඳහා මෙවැන්නක්‌ අහිතකර සේ බලපෑමට ඉඩක්‌ පවතී.

කරුණු සලකා බලන විට යම් ආශ්චර්යයක්‌ සිදු නොවුණහොත් ඩර්බන් සමුළුව තවත් එක්‌ සාකච්ජාවක්‌ පමණක්‌ විම වැළැක්‌විය නොහැකි බව පෙනේ. ලබන දෙසැම්බර් 9 දා දක්‌වා පැවැත්වීමට නියමිත එහි ප්‍රතිඵලය කුමක්‌ දැයි අපට ලබන සතියේ අවසානයේ දී දැනගැනීමට හැකිවනු ඇත. එවන් ආශ්චර්යයක්‌ වේවායි අපි ද ප්‍රාර්ථනා කරමු.

ලෝකයේ ප්‍රධාන හරිතාගාර වායු වාර්තාගත මට්‌ටමක

දේශගුණ වෙනස්‌වීම සම්බන්ධව කිසිදු ඵලදායී පියවරක්‌ මෑත දී ඇති නොවන බවක්‌ පෙණුන ද හරිතාගාර වායු විමෝචන දිනෙන් දින ඉහළ යමින් තිබේ. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) අනුව ලෝකයේ ප්‍රධාන හරිතාගාර වායු තුනම 2010 දී වාර්තාගත මට්‌ටමකට ළඟා වී තිබේ. එසේ ම වර්තමාන ප්‍රවණතාව අනුව මේ වායු සියල්ල තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. ඒ අනුව ගත වූ වර්ෂය තුළ පැවැති සාමාන්‍ය අගය මෙසේ ය.

පුවත් සැකෙවින්

මානව සෞඛ්‍යය සඳහා ඇති ප්‍රධාන තර්ජන

මානව සෞඛ්‍යය සඳහා ඇති ප්‍රධානතම තර්ජන වන්නේ සම්පත් හිඟවීම හා දේශගුණ වෙනස්‌වීම බව මෑත දී පැවැති සම්මන්ත්‍රණයක දී අවධාරණය කර තිබේ. ජලය, ආහාර හා වනාන්තර වැනි සම්පත් ක්‌ෂය වීම නිසා ආහාර නිෂ්පාදනයට බලපෑම් ඇති වේ. මේ නිසා සමාජයීය ගැටලූ හා අරගල ද ඇති වීමට අවස්‌ථාවක්‌ පවතී.

මේ ගැටලූවල ප්‍රතිඵලයක්‌ ලෙස විවිධ ප්‍රතිඵල ඇති විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගතහොත් ආහාර හිඟතාවය නිසා මන්දපෝෂණය ද, ජල හිඟතාවය නිසා සනිපාරක්‌ෂාව පිළිබඳ ගැටලූ ද ඇති විය හැකි ය. එසේම පරිසර දූෂණය නිසා මිනිසුන් ගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටලූ ඇති වේ. මිනිසුන් අවතැන්වීම හා වෙනත් සමාජයීය ගැටලූ හේතුවෙන් ජලය වැනි සම්පත් පිළිබඳ ගැටලූ ඇතිවීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ බෝවන රෝග වැනි තත්ත්ව සුලභ වීමය. මෙවැනි තත්ත්වයක්‌ තුළ උප සහරානු අප්‍රිකාවේ පමණක්‌ 2050 වර්ෂය වන විට වාර්ෂිකව මරණ 70ක්‌ පමණ සිදුවීමේ අවස්‌ථාවක්‌ පවතී.

සම්පත් පමණක්‌ නොව දේශගුණ වෙනස්‌වීම ද සෞඛ්‍යය සඳහා බරපතළ ආකාරයේ බලපෑමක්‌ ඇති කරයි. නිදසුනක්‌ ලෙස මදුරුවන් ගේ ව්‍යාප්ත වීම නිසා ඇතැම් රටවල බෝ වෙන රෝග ව්‍යාප්ත වීම ඉහළ යනු ඇත. ඉහළ යන ගංවතුර නිසා ද මේ ආකාරයෙන් රෝග ඇති වේ. දිය ගොළුබෙල්ලන් මගින් ව්‍යාප්ත වන ෂිස්‌ටොසෝමියාසිස්‌ රෝගය මීට නිදසුනක්‌ වන අතර චීනයේ පමණක්‌ මිලියන 21ක අතිරේක පිරිසක්‌ මේ රෝගය නිසා අවදානමට ලක්‌ව සිටිති.

කොරල්පර ජෛව විවිධත්වය සිතුවාට වඩා ඉහළයි

කොරල්පර යනු ජෛව විවිධත්වය සඳහා වැදගත් වන පරිසර පද්ධතියකි. ඒ අනුව කොරල්පරවල වාසය කරන ජෛව විවිධත්වය මෙතෙක්‌ සිතුවාට වඩා සැලකිය යුතු තරම් ඉහළ බව අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී තිබේ. මේ බව හෙළි වී ඇත්තේ කොරල්පරවල වාසය කරන ක්‍රස්‌ටේසියාවන් පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකිනි. ඒ සඳහා DNA තිරුකේතන (DNA
Barcoding) ක්‍රමවේදය යොදාගෙන තිබේ.

ලෝකයේ විවිධ ප්‍රදේශවලින්, එනම් ඉන්දීයණී පැසිෆික්‌ හා කැරීබියානු සාගර ප්‍රදේශවල ස්‌ථාන පහකින් ලබාගත් මළ කොරල් හා අත්හැරදමා තිබූ උපකරණවල ජීවත්වන ක්‍රස්‌ටේසියා විශේෂ ගණන 525ක්‌ පමණ වූ බව ඉන් අනාවරණය වී තිබේ. මෙසේ ලබාගත් නියෑදිවල ප්‍රමාණය වර්ග මීටර 6.3ක්‌ තරම් අඩු ප්‍රමාණයක්‌ වීම විශේෂිත ය. මෙයින් පැහැදිලි වන්නේ කොරල්පරවල ජෛව විවිධත්වය මේ දක්‌වා අඩුවෙන් තක්‌සේරු කර ඇති බව ය. (මූලාශ්‍රය( PLoS ONE, DOI: 10.1371/
journal.pone.0025026)

අලින් එළවීමට මී මැස්‌සන් යෙදාගත් පර්යේෂණය ඇගැයේ

අලින් හා මිනිසුන් අතර ගැටුම් ඇති වීම වැළැක්‌වීම සඳහා මී මැසි පාලනය යොදා ගත හැකි ආකාරය පිළිබඳ සිදුකරන ලද සාර්ථක අධ්‍යයනයක්‌ වෙනුවෙන් එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන හා පර්යටන ජීවී විශේෂ පිළිබඳ සම්මුතිය මගින් පිරිනමන සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ සුවිශේෂී ආචාර්ය උපාධි සඳහා පිරිනමන නිබන්ධ සම්මානය (UNEP/CMS Thesis Prize) හිමි වී තිබේ.

කෙන්යාව පදනම් කර ගනිමින් ලූසි කිංග් විසින් සිදුකරන ලද මේ අධ්‍යයනයේ දී පෙන්වා දෙන ලද්දේ මි මැසි පෙට්‌ටිවලින් යුක්‌ත වැටක්‌ තැනීමෙන් අලි-මිනිස්‌ ගැටුම වළක්‌වා ගත හැකි බව ය. එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම ද මෙහි දී සිදු වී තිබේ. උක්‌ත අධ්‍යයනයේ දී හෙළි වූ පරිදි මීමැස්‌සන්ගේ හඬ ඇසුණු විට අලින් අතරින් සියයට 90ක්‌ පමණ ප්‍රදේශයෙන් පලා යති.

ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු