ද්‍යාත්මක හණමිටි දැනුම

ද්‍යාත්මක හණමිටි දැනුම

හණමිටි දැනුම යනුවෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පැරැණ්‌නන් සතු වූ දැනුමයි. මේ දැනුම ම "දේශීය", "සාම්ප්‍රදායික" යන විශේෂණ පදවලින් ද හැඳින්වේ. හණමිටි දැනුම විද්‍යාත්මක නො වන ග්‍රාම්‍ය දැනුමක්‌ බවත්, එය සැබෑ දැනුමක්‌, නැත හොත් එක ම නිවැරැදි දැනුම යනුවෙන් ඉදිරිපත් කෙරෙන බටහිර විද්‍යාව වැනි දැනුමක්‌ නො වන බවත් සාමාන්‍ය ව්‍යවහාරයේ ප්‍රචලිත මතයයි. "හණමිටිය කර තබාගෙන යනවා" යන උපහාසය මුසු යෙදුම භාවිත වන්නේ පැරැණි දැනුම භාවිත කරන අය හෑල්ලුවට ලක්‌ කිරීමට ය.

බටහිර විද්‍යාත්මක දැනුම අනෙකුත් දැනුම් පද්ධතිවලට වඩා උසස්‌ යෑයි පැවසෙන්නේ එම දැනුම ගොඩනැඟීමේ දී "විද්‍යාත්මක විධික්‍රමය" යනුවෙන් හැඳින්වෙන ක්‍රමවේදයක්‌ භාවිත කරන නිසා යෑයි පැවසෙයි. හණමිටි දැනුම යෑයි කියමින් බැහැර කෙරෙන දැනුම ගොඩනැඟීමේ දී මෙබඳු විධික්‍රමයක්‌ අනුගමනය නො කළේ ද? ඒ ගැන විමසුමක්‌ කිරීම මේ ලිපියේ අරමුණයි.

(විද්‍යාත්මක විධික්‍රමය එක ම නිවැරැදි ක්‍රමය යෑයි පිළිගැනීමක්‌ මින් අදහස්‌ නො කරන බවත්, පවතින තත්ත්වය තුළ හණමිටි යෑයි කියන දැනුම ගැන විශ්ලේෂණයක්‌ කිරීම මෙහි අරමුණ බවත් ප්‍රථමයෙන් සඳහන් කළ යුතු ය. තව ද, සිත දියුණු කරගත් භාවනානුයෝගීන් අත් කරගත් ප්‍රත්‍යක්‌ෂ දැනුම හරහා ද අපේ පාරම්පරික දැනුම පෝෂණය වී තිබුණ ද මේ ලිපියෙහි අරමුණ ලෞකික ක්‍රම හරහා අපේ අතීත සමාජයේ නිර්මාණය වුණු දැනුම පිළිබඳව සාකච්ඡා කිරීම බව ද පැවසිය යුතු ය.)

ප්‍රථමයෙන් "විද්‍යාත්මක විධික්‍රමය" යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්‌ දැයි සලකා බලමු. මේ ක්‍රමයේ දී මුලින් ම යම්කිසි ප්‍රපංචයක්‌ දෙස විවෘත මනසකින් බලා ඒ පිළිබඳ නිරීක්‌ෂණ, පරීක්‌ෂණ හා සම්පරීක්‌ෂණ (Control experiments) කළ යුතු වේ. පසුව ඒවා මත පදනම් ව අදාළ ප්‍රපංචය විස්‌තර කිරීම යොදා ගත හැකි යම් කිසි කල්පිතයක්‌ (hypothesis) ගොඩනැඟිය යුතු වේ. තෙවනුව එම කල්පිතය යොදාගෙන යම්කිසි න්‍යායයක්‌ (ඇරිස්‌ටෝටලීය ද්වීකෝටික න්‍යාය වැනි) මත පිහිටා තර්ක කරමින් යම් යම් නිගමනවලට එළඹිය යුතු ය. නැවතත් මේ නිගමන අනුව නිරීක්‌ෂණ, පරීක්‌ෂණ හා සම්පරීක්‌ෂණ සිදු කෙරේ. පසුව ලැබෙන ප්‍රතිඵල, එලඹ ගත් නිගමන හා සංගත (consistent) වේ නම් කල්පිතය ප්‍රවාදයක්‌ ලෙස සලකනු ලැබේ.

මේ ක්‍රමවේදය අනුගමනය කිරීමේ දී දියුණු විද්‍යාගාර, සියුම් උපකරණ ආදිය යොදා ගැනේ. එසේ ම පරීක්‌ෂණ හා පාලක නියෑදි ක්‍රමානුකූලව තෝරාගෙන නැවත නැවත පරීක්‌ෂණ හා නිරීක්‌ෂණ පවත්වමින්, ඒවා සියල්ලේ ම දත්ත වාර්තා නිසි පරිදි පවත්වා ගනිමින් අවසානයේ දී විවිධ සංඛ්‍යාන ක්‍රමවේද යොදාගනිමින් එම දත්ත විශ්ලේෂණය කර නිගමනයන්ට එළඹේ. මේ පරීක්‌ෂණ ඇතැම් පුද්ගලයන් හෝ සංවිධානවල මුල් වීමෙන් යම්කිසි කාල පරිච්ඡේදයක්‌ පුරා සිදු කිරීමෙන් අනතුරුව එක්‌ එක්‌ ප්‍රවාද එම පුද්ගලයන් ගේ හෝ සංවිධානවල නමින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. මේ පර්යේෂණ වාර්තා සම්‍ය සමාලෝචනයට (peer review) ලක්‌ කිරීම ද අවශ්‍ය අංගයක්‌ ලෙස සැලකේ. උදාහරණ ලෙස බටහිර භෞතික විද්‍යාවේ විවිධ පුද්ගලයන් නමින් නම් කර ඇති නියමයන් ද, බටහිර වෛද්‍ය විද්‍යාවේ විවිධ අය විසින් සොයා ගන්නා ලදැයි කියන ඖෂධ හා ප්‍රතිකාර ක්‍රම ද සඳහන් කළ හැකි ය.

මෙහි ලා අපට නැඟිය හැකි ප්‍රශ්න කීපයක්‌ වේ. විද්‍යාත්මක යෑයි කිව හැකි දැනුමක්‌ නිර්මාණය කිරීමේ දී ඒ සඳහා යම්කිසි ප්‍රමිති තත්ත්ව යටතේ ඇති විද්‍යාගාරයක්‌ යොදා ගැනීම අත්‍යවශ්‍ය ද? මේ පරීක්‌ෂණ සඳහා විශේෂිත, සංකීර්ණ උපකරණාදිය නැති ව ම බැරි ද? අදාළ දැනුම පිළිබඳ මූලික සංකල්පය (නැතිනම් කල්පිතය) මුලින් ම ඉදිරිපත් කළ පිළිගත් පුද්ගලයකු හෝ සංවිධානයක්‌ හෝ තිබිය යුතු ම ද? එම පරීක්‌ෂණවල ප්‍රතිඵල වාර්තාගත වී තිබීම අත්‍යවශ්‍ය ද? වෙනත් විධියකට පවසනවා නම්, බටහිර සම්මත කර ඇති ක්‍රමවේදයන් සූප ශාස්‌ත්‍ර වට්‌ටෝරුවක්‌ අනුගමනය කරන්නාක්‌ මෙන් ඒ පොත්වල ඇති අයුරින් ම අකුරක්‌ නෑර පිළිපැදීමෙන් හැර විද්‍යාත්මක යෑයි කිව හැකි දැනුම නිර්මාණය නො වන්නේ ද?

අනෙක්‌ අතට, එළිමහන් පරිසරය නමැති විද්‍යාගාරයේ දී ඉතා ම සරල උපකරණ ඇති ව හෝ නැති ව කෙරෙන නිරීක්‌ෂණ මගින් ගොඩනැඟෙන දැනුම විද්‍යාත්මක නො වේ ද? මමත්වය නොමැති අනිත්‍ය දහමක්‌ අදහන සංස්‌කෘතියක මිනිසුන් විසින් කර්තෘ අඥාතව (එනම් දැනුම සොයා ගත්තා යෑයි කියන්නකු නොමැති ව) ගොඩනඟන දැනුම නියම දැනුමක්‌ නො වේ ද? එම දැනුම ගොඩනැඟීමේ දී "විද්‍යාත්මක විධික්‍රමය" යෑයි කියන ක්‍රමවේදයෙහි මූලික අංග සපුරා තිබිය නොහැකි ද? මෙහි දී "මූලික අංග" යනුවෙන් අදහස්‌ කෙරෙන්නේ පරීක්‌ෂණ, නිරීක්‌ෂණ හා සම්පරීක්‌ෂණ නැවත නැවත කිරීම, එම ප්‍රතිඵල මත පදනම් ව විවිධ නිගමනවලට එළඹීම ආදියයි. විද්‍යාගාර හා උපකරණ භාවිතය, දත්ත වාර්තාගත වී තිබීම හා යම් දැනුමක්‌ නිර්මාණය කළ නැත හොත් "සොයා"ගත්තා යෑයි කිව හැකි පුද්ගලයකු හෝ ආයතනයක්‌ තිබීම ආදිය ද්විතීයික නැත හොත් අත්‍යවශ්‍ය නො වන අංග ලෙස සැලකිය හැකි ය. මේ අර්ථයෙන් ගත් කල, අද "හණමිටි" දැනුම යෑයි බැහැර කෙරෙන අපේ පාරම්පරික දැනුම ද විද්‍යාත්මක යෑයි කිව හැකි ය.

අපි උදාහරණයක්‌ සලකා බලමු. අපේ ගොවිතැන ආශ්‍රිතව ගොඩනැඟුණු විශාල දැනුම් පද්ධතියක්‌ ඇත. යල සහ මහ යනුවෙන් කන්න දෙකක්‌ වගා කිරීමට අපේ ගොවියන් හුරු වුණේ වැසි රටා පිළිබඳ නිරන්තර නිරීක්‌ෂණයෙන් ලබා ගත් දැනුම හරහා ය. බීජ පැළ කිරීමට සුදුසු කාල සීමාවන්, පළිබෝධ පාලනයට යොදා ගන්නා ධාර්මික ක්‍රමවේද ආදී දෑ ගොඩනැඟුණේ නිරන්තර පරීක්‌ෂණ, නිරීක්‌ෂණ ආදිය හරහා නො වේ ද? කාලගුණ රටා පිළිබඳ දැන ගැනීමට චන්ද්‍රිකා ඡායාරූප, විවිධ මිනුම් උපකරණ ආදිය යොදා ගැනීම අත්‍යවශ්‍ය ද? පරිසරය හා නිබඳව බද්ධ වී සිටි අපේ පැරැණ්‌නන් සුළං රටා හා සතුන් ගේ චර්යාවල වෙනස්‌කම් ආදිය ඔස්‌සේ ළඟ එන වර්ෂාව පිළිබඳව දැන ගැනීම විද්‍යාත්මක නො වේ ද?

ගවයන් ගේ සිරුරේ කොහොඹ තෙල් ආලේපනයෙන් කිනිතුල්ලන් වැනි සතුන් පාලනය කිරීමට හැකි බව අපේ පැරැණ්‌නන් දැන ගන්නට ඇත්තේ කෙසේ ද? එය මෙසේ යෑයි අපට අනුමාන කළ හැකි ය. මුලින් වූ අහඹු සිද්ධියකින් කොහොඹ තෙල් ගෑවුණු එක්‌තරා ගවයකු ගේ සිරුරේ සිටි කිනිතුල්ලන් ගවයා හැර යන්නට ඇත. (මේ ක්‍රමය කිනිතුල්ලන් ඝාතනය කරන අධාර්මික එකක්‌ නො වේ.) ඒ බව නිරීක්‌ෂණය කළ යම් පුද්ගලයකු මේ ප්‍රතිඵලයට හේතුව කොහොඹ තෙල් යෑයි උපකල්පනය කරන්නට ඇත. එම කල්පිතය මත සිට ඔහු (හා ඇතැම් විට තවත් සමකාලිකයන්) තව තවත් ගවයන් ගේ සිරුරේ කොහොඹ තෙල් ආලේප කර (පරීක්‌ෂණය) කිනිතුල්ලන් පාලනය වේ දැයි නිරික්‌ෂණය කරන්නට ඇත. ඇතැම් විට එක ම ගව පට්‌ටියේ සිටි සමහර ගවයන් ගේ කොහොඹ තෙල් ආලේපනය නො කර තබා (පාලක පරීක්‌ෂණය) උන් ගේ ශරීරවල කිනිතුල්ලන් අඩු නො වන බවට ද නිරික්‌ෂණය කරන්නට ඇත. ඉන් අනතුරුව කොහොඹ තෙල්වලින් කිනිතුල්ලන් පාලනය කර හැකි බවට නිගමනයකට එළඹෙන්නට ඇත. පසුව මේ දැනුම පාරම්පරිකව සන්නිවේදනය වුණු දැනුම් ගොන්නට එකතු වන්නට ඇත. මේ සිද්ධියට අදාළ මුල් පුද්ගලයා ගේ නම ධර්මදාස යෑයි ද ඔහු බෞද්ධ යෑයි ද සිතමු. ධර්මදාස මේ දැනුම "සොයා" ගත්තා යෑයි ඉතිහාසගත වීම පිළිබඳ කිසි ම තැකීමක්‌ නො කරන්නට ඇත්තේ සසර දුක්‌ කෙළවර කිරීමට එමඟින් කිසි ම රුකුලක්‌ නො ලැබෙන නිසා විය යුතු ය. මේ උදාහරණය ම කල්පිත එකක්‌ නමුත් ඉන් අප පවසන්නට උත්සාහ කරන්නේ අපේ "සාම්ප්‍රදායික" යෑයි කියන දැනුම ගොඩනැඟු=ණු ක්‍රමයත්, වත්මනෙහි විද්‍යාත්මක යෑයි කියන බටහිර දැනුම ගොඩනැඟුණු ක්‍රමයත් හරයෙන් සමාන බවයි.

තවත් උදාහරණයක්‌ ලෙස යම්කිසි අමනුස්‌ස බලයකට බිය වූ පුද්ගලයකු සලකා බලමු. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව නම් මේ තත්ත්වය මානසික රෝගයක්‌ ලෙස සැලකෙන අතර ඒ සඳහා විවිධ ඖෂධ හා චිකිත්සක ක්‍රම භාවිත කර අදාළ රෝගියා සුවපත් කිරීමට කටයුතු කෙරෙනු ඇත. එහෙත් අපේ

පැරැණ්‌නන් මේ තත්ත්වය යම්කිසි අමනුස්‌ස දෝෂයක්‌ නිසා සිදු වී ඇති සේ සලකා ඒ සඳහා යම්කිසි ශාන්තිකර්මයක්‌ කිරීම මඟින් එම රෝගියා (නැත හොත් ආතුරයා) සුවපත් කරනු ඇත. මේ ක්‍රම දෙකෙහි ම අදාළ රෝග තත්ත්වයට හේතු ලෙස යම්කිසි කරුණක්‌ ඉදිරිපත් කෙරෙන අතර ඒ අනුව යමින් යම්කිසි ප්‍රතිකාරයක්‌ ලබා දී එම රෝගය සුවපත් කෙරේ. ක්‍රම දෙක ම ඒ ඒ සන්දර්භයන්හි දී සංගත බවක්‌ දක්‌වයි. එසේ නම් එක්‌ ක්‍රමයක්‌ පමණක්‌ විද්‍යාත්මක යෑයි පවසා අපේ ක්‍රමය බැහැර කරන්නට අපව පුහුණු කෙරෙන්නේ ඇයි? නොඑසේ නම්, බටහිර ක්‍රම අනුගමනය කරමින් තොවිල් පවිල් ආදිය "විද්‍යාත්මක පදනමක්‌" ඇති දේවල් බවට ඔප්පු කළ නොහැකි නම් ඒවා හණමිටි අදහස්‌ ලෙස බැහැර කළ යුත්තේ ඇයි?

කාලගුණය/දේශගුණය ආදිය පිළිබඳ අපට වූ පැරැණි දැනුම ආශ්‍රයෙන් අපේ දැනුම් පද්ධතිවල ඇති තවත් එක්‌ වැදගත් ලක්‌ෂණයක්‌ විස්‌තර කළ හැකි ය. එනම් එම දැනුම යම්කිසි දෙයක්‌ සිදු වන බව දැන ගැනීමට පමණක්‌ සීමා වී ඇති බවයි. එතැනිsන් එහාට ගොස්‌ යම් කිසි දෙයක්‌ සිදු වන්නේ ඇයි දැයි දැන ගැනීමට අපේ පැරැණ්‌නන් වෙහෙසී නැති බවයි. මේ කරුණ වඩාත් අදාළ වන්නේ ස්‌වාභාවික සංසිද්ධි සඳහා යෑයි පැවසිය හැකි ය. උදාහරණයක්‌ ලෙස, වසරේ යම් යම් කාලවල දී යම් යම් ප්‍රදේශවලට වැසි ඇති වන බව දැන ගත්තත් එසේ වසින්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට පිළිතුරක්‌ නිර්මාණය කිරීමට කරදර නො වීම දැක්‌විය හැකි ය. බටහිර ක්‍රමය තුළ නම් එසේ වැසි වසින්නේ ඇයි දැයි කියා පැහැදිලි කිරීමට ද යම්කිසි ප්‍රවාදයක්‌ (කතාන්දරයක්‌) නිර්මාණය කෙරේ. ඒ සඳහා ඔවුන් මෙහෙයවනු ලබන්නේ සොබාදහම "පාලනය" කර "ජය"ගැනීමට හැකි දෙයක්‌ බවට ඔවුන් ගේ චින්තනයේ ඇති ආකල්ප විසින් ය. සොබාදහම "ජය"ගැනීමට නම් එය ක්‍රියා කරන ආකාරය දැනගත යුතු බව ඔවුන් ගේ ආකල්පය බව අප ගේ වැටහීමයි.

අවසාන වශයෙන් පැරැණ්‌නන් අපට උරුම කර දී ඇති දැනුම අද වන විට අධිපතිවාදී දැනුම බවට පත් ව ඇති බටහිර ආකෘතිය අනුව විද්‍යාත්මක යෑයි කිව හැකි ක්‍රමවේදයක්‌ හරහා ගොඩනැඟුණක්‌ බවත් ඒ හණමිටි දැනුමක්‌ යෑයි උපහාසයට ලක්‌ කර බැහැර කළ යුතු නැති බවත් පැවසිය හැකි ය. එසේ ම එම දැනුම පරිසරය "ජය" ගැනීමට නො ව එය වටහා ගැනීමට යොදා ගැනුණු බවත් එම දැනුම් "සොයා"ගත්තා යෑයි යනුවෙන් පුද්ගල නාම සඳහන් නො වන්නේ මමත්වයෙන් තොර වූ සමාජයක ඒ නිර්මාණය වී ඇති නිසා බවත් පැවසිය හැකි ය.

ඉෂාන් ද සිල්වා

(ඉංජිනේරු විද්‍යාවේදී - ගෞරව)

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු