බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විමර්ශනයක්‌

බටහිර විද්‍යාවේ ක්‍රමවේදය විමර්ශනයක්‌
අප ජීවත් වන පෘථිවියේ පවතින්නේ එක ම විද්‍යාවක්‌ බවත්, එම විද්‍යාවට ආවේනික වූ ක්‍රමෙවිදයක්‌ ඇති බවත්, එම නිසා විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලට වඩා සුවිශේෂී බවත් අපට පාසල් සහ විශ්ව විද්‍යාල ඔස්‌සේ ලබා දෙන අධ්‍යාපනය මගින් ඒත්තු ගන්වනු ලැබේ. මෙය කෙතරම් දුරට අප සමාජය තුළ මුල් බැසගෙන ඇත් දැයි කිව හොත් "විද්‍යාව" බටහිර විද්‍යාව යනුවෙන් හඳුන්වා දීම පවා බොහෝ දෙනකු ගේ විරෝධයට ලක්‌ වෙයි. එහෙත් "විද්‍යාව" යනුවෙන් හැඳින්වෙන මේ දැනුම් පද්ධතිය සැබැවින් ම වර්ධනය වූයේ පශ්චාත් පුනරුද සමයේ යුරෝපයේ බව ඔවුහු අමතක කරති.

නූතන විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ගැලීලියෝ ගැලිලි (ක්‍රි.ව. 1564-1642) ඉතාලියේ ජීවත් වූ අයෙකි. ඔහු ගේ සමකාලීනයකු වූ ප්‍රැන්සිස්‌ බේකන් (ක්‍රි.ව. 1561-1626) එංගලන්තයේ ජීවත් වූ අතර ඔහු විසින් නූතන විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්‌ ද යන්න පිළිබඳව ක්‍රමානුකූල සූත්‍රගත කිරීමක්‌ මුල් වරට ඉදිරිපත් කරන ලදි. බේකන් වර්ෂ 1621 දී ලියා පළ කළ "නව මෙවලම" (ලතින් බසින් Novum Organum ලෙස එය නම් කර තිබුණු අතර එහි ඉංග්‍රීසි තේරුම New Instrument යන්නයි) යන කෘතියේ විද්‍යාව එතෙක්‌ අනුගමනය කළ ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විෙවිචනයක්‌ ද, විද්‍යාවේ වර්ධනය වේගවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දීර්ඝ කරුණු දැක්‌වීමක්‌ ද ඇතුළත් වේ.

පහළොස්‌ වැනි සියවසේ දී පමණ යුරෝපයේ ඇති වූ පුනරුදයට පෙරත්, බේකන් ජීවත් වූ සමයේත් යුරෝපය පුරා විසිර තිබුණු දැනුමේ කේන්ද්‍රස්‌ථානවල කතෝලික පල්ලියේ ආධිපත්‍යය දැඩි ව බලපැවැත්විණි. එම අවධියේ විද්‍යාව, කලාව, න්‍යාය හා දර්ශනය ආදි බහුවිධ කේෂ්ත්‍රවල ආධිපත්‍යය දරා සිටියේ ග්‍රීක මහා දාර්ශනික ඇරිස්‌ටෝටල් ගේ මතිමතාන්තර ය. ඇරිස්‌ටෝටල් ගේ මතිමතාන්තර කතෝලික පල්ලිය විසින් ද අගය කරනු ලැබිණි. පශ්චාත් පුනරුද සමයේ විසූ බේකන් හා ගැලීලියෝ යන දෙදෙනා ම වෙනස්‌ හේතූන් මත කතෝලික පල්ලියේ අනුග්‍රහය ලැබූ මතවලට විරුද්ධ වූ හ. බේකන් සිය "නව මෙවලම" කෘතියේ දී විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය වශයෙන් නිර්දේශ කළේ උද්ගාමී ක්‍රමයයි. (Method of Induction). උද්ගාමී ක්‍රමය යනු යම් ප්‍රපංචයක්‌ සම්බන්ධව පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන නිරීක්‌ෂණ අත්දැකීම් හෙවත් ආනුභාවික නිරීක්‌ෂණ රාශියක්‌ මත පදනම් ව සමස්‌ත ප්‍රපංචය ම ආවරණය වන සාමාන්‍යකරණයක්‌ (generalization) මගින් උපන්‍යාසයක්‌ (Hypothesis) ලබා ගැනීමයි.

නිදසුන( A හංසයා සුදු ය. ඊ හංසයා සුදු ය. C හංසයා සුදු ය. D හංසයා සුදු ය. මෙසේ හංසයන් දහස්‌ ගණනක්‌ නිරීක්‌ෂණය කරනු ලැබේ. මේ නිරීක්‌ෂණය ඇසුරෙන් "සියලු හංසයන් සුදු ය" යන උපන්‍යාසය ලබා ගැනීම.

(සැ.යු. සැබැවින් ම කල්පිතය, උපන්‍යාසය, ප්‍රවාදය, නියමය ආදි වශයෙන් විද්‍යාවේ දී නොයෙකුත් මතවාද හමු වේ. දාර්ශනිකව මේවා අතර යම් යම් වෙනස්‌කම් පැවතුණ ද සාමාන්‍ය පාඨකයන් ගේ පහසුව තකා මේවා නිදහස්‌ ව භාවිත කර ඇත).

ගැලීලියෝ බේකන්ට විරුද්ධව යමින් විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය වශයෙන් නිර්දේශ කළේ උපන්‍යාසයීය නිගාමී ක්‍රමයයි. ((Hypothetico deductive method). මේ ක්‍රමයට අනුව යම් කිසි ප්‍රපංචයක්‌ සම්බන්ධයෙන් බුද්ධිය මෙහෙයවා කල්පිතයක්‌ හෝ උපන්‍යාසයක්‌ හෝ ගොඩනඟාගෙන න්‍යාය (Logic) හා තර්කය (Argument) යොදාගෙන අනාවැකි හෝ පුරෝකථන ලබා ගනියි. පසුව මෙසේ ලබාගත් අනාවැකි පර්යේෂණවලට ලක්‌ කිරීමෙන් ඒවායේ නිරවද්‍යතාව උරගා බලනු ලැබේ.

බේකන් හා ගැලීලියෝ යන දෙදෙනා ගේ අභාවයෙන් කලකට පසුව ස්‌කොට්‌ලන්ත ජාතික ඩේවිඩ් හියුම් (1711-1776) නම් දාර්ශනිකයා, බේකන් නිර්දේශ කළ උද්ගාමී ක්‍රමය දැඩි විවේචනයට ලක්‌ කළේ ය. "දැනුම ලබා ගැනීමේ දී මූලික වන්නේ පංෙච්න්ද්‍රියයන් මඟින් ලබා ගන්නා අත්දැකීම් හෙවත් ආනුභාවික නිරීක්‌ෂණයන්" ය යන මතවාදය දැඩිව ඇදහූ අනුභූතිවාදී (Empiricist) දාර්ශනිකයෙකි ඩේවිඩ් හියුම්. හියුම් ගේ ප්‍රශ්නය වූයේ දැනුම පදනම් විය යුත්තේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක්‌ නම් උද්ගාමී ක්‍රමයේ දී සීමීත අත්දැකීම් (නිරීක්‌ෂණ) ප්‍රමාණයක්‌ මත පදනම් ව ඉන්ද්‍රිය ගෝචර නො වූ දෑ (නිරීක්‌ෂණය නො කළ දෑ) ආවරණය වන පරිදි සමස්‌ත ප්‍රපංචයට ම බලපවත්වන සාමාන්‍යකරණයක්‌ (Generalization) ලබාගැනීම වලංගු වන්නේ කෙසේ ද යනුයි. විද්‍යාවේ ප්‍රගමනයට අතිශයින් වැදගත් වන හේතු-ඵල සම්බන්ධය ද උද්ගාමී ක්‍රමය මත පදනම් වන බැවින් උද්ගාමී ක්‍රමය අරභයා හියුම් මතු කළ ගැටලුව හේතු-ඵල සම්බන්ධයට ද අදාළ වේ. මේ හේතුවෙන් විද්‍යාවේ පදනමට දැඩි පහරක්‌ එල්ල විය.

මෙවන් අර්බුදකාරී වාතාවරණයක්‌ යටතේ සමහර විද්‍යාඥයෝ නිගාමී ක්‍රමයත්, තවත් සමහරු උද්ගාමී ක්‍රමයත් යොදා ගනිමින් විද්‍යාවේ පෝෂණයට දායක වූ හ. කෙසේ වුවත් විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතිවලට සාපේක්‌ෂව ෙවිගයෙන් වර්ධනය වූ අතර ඒ හා බැඳුණු ශිල්පීය අංශය වන ඉංජිනේරු තාක්‌ෂණය මීනිසාට බෙහෙවින් ප්‍රයෝජනවත් වූ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කර දුනි. මේ නිසා සමාජ විද්‍යාව, මානව විද්‍යාව හා ආර්ථික විද්‍යාව ආදි වෙනත් දැනුම් පද්ධතිවල නිරත වුණු විශේෂඥයන් ද ස්‌වාභාවික විද්‍යාවේ දී (Natural Science) යොදා ගන්නා ක්‍රමවේදය භාවිත කළ යුතු ය යන මතය ප්‍රවර්ධනය කළ ගුරුකුලයක්‌ බිහි විය. මොවුන් යථානුභූතවාදීන් හෙවත් ප්‍රත්‍යක්‌ෂමූලවාදීන් (Positivists) ලෙස හැඳින්වේ.

විසිවැනි සියවසේ මුල භාගයේ දී ඔස්‌ටි්‍රයාවේ වියනා නුවර කේන්ද්‍ර කර ගනිමින් වියනා කවය (Vienna Circle) යන නමින් ගුරුකුලයක්‌ බිහි විය. එම ගුරුකුලය ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්, දාර්ශනිකයන්, ගණිතඥයන් හා ආර්ථික විද්‍යාඥයන් ගෙන් සමන්විත විය. ඔවුන් නිර්දේශ කළ ක්‍රමවේදය හා ඔවුන් ගේ මතිමතාන්තර ඇතුළත් දාර්ශනික ධාරාව තාර්කික යථානුභූවාදය හෙවත් තාර්කික ප්‍රත්‍යක්‌ෂමූලවාදය (Logical Positivism) ලෙස හඳුන්වන ලදි. මොවුන් විසින් බේකන් නිර්දේශ කළ උද්ගාමී ක්‍රමයත් එමඟින් අනුභූතිවාදයත් සංකීර්ණ හා සංවර්ධනීය තත්ත්වයට ඔසවා තබන ලදි. තාර්කික යථානුභූවාදීන් ගේ ප්‍රධාන මූලධර්ම කිහිපයක්‌ පහත දැක්‌වේ.

1. දැනුම ලබා ගැනීමේ දී ඉන්ද්‍රිය ගෝචර නිරීක්‌ෂණ (observations) මූලික වන අතර ඒවා ප්‍රවාද (theories)වලින් ස්‌වායත්ත වේ.

2. ප්‍රවාදයක්‌ (Theory) යනු අන් කිසිවක්‌ නො ව මනා පිළිවෙළකට පෙළ ගස්‌වන ලද නිරීක්‌ෂණාත්මක ප්‍රකාශන සමූහයක සංක්‌ෂිප්ත ස්‌වරූපයයි. වෙනත් වචනවලින් කිව හොත් ඕනෑ ම ප්‍රවාදයක්‌ ඊට පදනම් වු නිරීක්‌ෂණාත්මක ප්‍රකාශන සමූහයට ඌනනය කළ හැකි ය.

3. විද්‍යාව අනුගමනය කළ යුතු ක්‍රමය උද්ගාමී ක්‍රමයයි.

4. විද්‍යාව සතු විශිෂ්ටත්වයේ සලකුණ නම් එහි ප්‍රවාද ක්‍රමානුකූලව සෙත්‍යක්‌ෂණයට (verifiability) භාජන කිරීමේ හැකියාවයි. එනම් යම් ප්‍රවාදයන් හෝ උපන්‍යාසයන් හෝ මඟින් තර්කනයෙන් ලබා ගන්නා අනාවැකි හෝ පුරෝකථනයන් (Predictions) පර්යේෂණාත්මක ප්‍රතිඵල සමඟ එකඟ වන්නේ නම් එම ප්‍රවාදය සත්‍ය බවට පිළිගත හැකි ය.

5. ඉහත දැක්‌වූ පරිදි විද්‍යාවට ආවේනික වූ නිශ්චිත ක්‍රමයක්‌ පවතින නිසා විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලට වඩා උත්තරීතර (Unique) වෙයි.

තාර්කික අනුභූතිවාදීන් ගේ ඉහත සඳහන් මූලධර්ම සියල්ල ම පසුකාලීන දාර්ශනිකයන් විසින් ඛණ්‌ඩනය කරනු ලැබිණි. මේ සඳහා දායක වූ ප්‍රධානතම දාර්ශනිකයා ලෙස කාල් පොපර් සැලකිය හැකි ය. කාල් පොපර් (1902-1994) ඔස්‌ටි්‍රයානු ජාතිකයකු වුව ද ඔහු වියනා කවය ලෙසින් හැඳින්වූ තාර්කික යථානුභූතිවාදී දාර්ශනික ගුරුකුලය දැඩි විවේචනයට ලක්‌ කළේ ය. කාල් පොපර් ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ න්‍යාය සහ විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳ සමාරම්භක මහාචාර්යවරයා විය. ඔහු තාර්කික යථානුභූතවාදී ගුරුකුලය ඔසවා තැබූ උද්ගාමී ක්‍රමය ප්‍රතික්‌ෂේප කරමීන් ඊට ප්‍රතිපක්‌ෂ ලෙස නිගාමී ක්‍රමය ඔසවා තැබීමෙහි නිරත විය. තාර්කික යථානුභූතවාදීන් විද්‍යාවේ විශිෂ්ටත්ව සලකුණ ලෙස හැඳින්වූ සෙත්‍යක්‌ෂණය න්‍යායික වශයෙන් දෝෂ සහිත (Logically Invalid)) බව පෙන්වා දුන් පොපර් ඊට විකල්පයක්‌ ලෙස අසෙත්‍යක්‌ෂණ ක්‍රමය (Method of Falsification) ඉදිරිපත් කළේ ය. මේ ක්‍රමය න්‍යායික වශයෙන් වලංගු වනවා (Logically valid) පමණක්‌ නො ව හියුම් විසින් උද්ගාමී ක්‍රමයට විරුද්ධව මතු කළ ගැටලුවෙන් ද නිදහස්‌ වන බව පොපර් පෙන්වා දුන්නේ ය.

කාල් පොපර්ට අනුව විද්‍යාඥයන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පවතින ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට ය. එනම් යම් ප්‍රවාදයක්‌ පදනම් කරගෙන තර්කයෙන් ලබා ගන්නා අනාවැකි අදාළ පර්යේෂණ ප්‍රතිඵල සමඟ ගැටීමට හෝ විසංවාදයට හෝ ලක්‌ කිරීමයි. තව ද යම් ප්‍රවාදයක්‌ අසත්‍යකරණයට ලක්‌ වූයේ නම් එම ප්‍රවාදය ඉවත දමා ඒ වෙනුවට නව ප්‍රවාදයක්‌ සොයාගත යුතු බව ද පොපර් අවධාරණය කළේ ය. එසේ ම විද්‍යාව හා නොවිද්‍යාව (Non-science) එකිනෙකින් වෙන් කරන නිර්ණායකය විය යුත්තේ අදාළ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ වීමට ඒවායේ ඇති හැකියාව බව පොපර් පැවසී ය.

කාල් පොපර් ගේ අසෙත්‍යක්‌ෂණ ක්‍රමය න්‍යායිකව වලංගු නමුත් මෙය අතිශය සරල ක්‍රමයක්‌ බවත් විද්‍යාවේ සිදු වන්නා වූ සංකීර්ණ ක්‍රියාවලින් සමඟ නො පෑහෙන බවත් ඩුහෙම් සහ කුවයින් වැනි දාර්ශනකයන් විසින් පෙන්වා දෙන ලදි.

ඔවුන් පෙන්වා දුන්නේ යම්කිසි උපන්‍යාසයක්‌ (ප්‍රවාදයක්‌) පදනම් කොට ගෙන අනාවැකියක්‌ ලබා ගැනීමේ දී එම ප්‍රවාදයට අමතරව සහායක (උපකාරක) උපන්‍යාස (Auxiliary Hypotheses) සහ ආරම්භක තත්ත්වයන් හෙවත් කොන්දේසි (Initial conditions) යන මේවා ද දායක වන බවයි. එම නිසා යම් උපන්‍යාසයක්‌ පදනම් කොටගෙන ලබාගත් අනාවැකියක්‌ පර්යේෂණ ප්‍රතිඵල සමඟ එකඟ නො වූ පමණින් එම උපන්‍යාසය අසත්‍ය යෑයි නිගමනය කළ නොහැකි ය. මන්ද යත් එම අනාවැකිය ලබා ගැනීමේ දී සහායක උපන්‍යාස හා ආරම්භක කොන්දේසි ද ඊට දායක වී ඇති බැවිනි. මෙය පොපර් ගේ අසෙත්‍යක්‌ෂණ ක්‍රමයේ ඇති ප්‍රධාන ම දුබලතාවයි.

මීළඟට විද්‍යා දර්ශන කේෂ්ත්‍රයේ මතු වන ප්‍රධාන දාර්ශනිකයා ඇමෙරිකානු ජාතික තෝමස්‌ කූන් ය. (1922-1996). ඔහු කාල් පොපර් ගේ අසෙත්‍යක්‌ෂණ ක්‍රමය ප්‍රතික්‌ෂේප කරන අතර විකල්ප ක්‍රමයක්‌ නිර්දේශ කිරීමෙන් ද වැළකී සිටියි. බටහිර විද්‍යාවේ ඉතිහාසය පිළිබඳව කූන් විසින් සිදු කරන ලද ගැඹුරු විමර්ශනයක්‌ ඇසුරෙන් සොයාගත් තොරතුරුවලින් ඔහු මවිතයට පත් විය. තමා එතෙක්‌ විද්‍යාවේ සිදු වන ක්‍රියාදාමය හා විද්‍යාත්මක දැනුම පිළිබඳව අසා තිබූ මතයන් කෙතරම් සාවද්‍ය දැයි ඔහුට පසක්‌ විය. මෙහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1962 දී කූන් විසින් "විද්‍යාත්මක විප්ලවයන් ගේ ව්‍යqහය" (Structure of Scientific Revolutions) නම් වූ විශිෂ්ට කෘතිය පළ කරනු ලැබීමයි. මේ කෘතියේ දී කූන් ඉතා වැදගත් වන නව සංකල්ප රාශියක්‌ හඳුන්වා දුන්නේ ය. ඒවා සුසමාදර්ශය (Paradigm), ස්‌ථායී විද්‍යාව (Normal Science), විද්‍යාවේ සිදු වන විප්ලව (Revolutions of Science) හා අසම්මේයතාව (Incommensurability) ලෙස දැක්‌විය හැකි ය. සුසමාදර්ශය යන්න කූන් ගේ දර්ශනයේ ඇති කේන්ද්‍රීය සංකල්පයයි. ඔහු ගේ අනෙක්‌ සංකල්ප සුසමාදර්ශය වටා නිර්මාණය වි තිබේ. සුසමාදර්ශය යනු යම් විද්‍යාඥ ප්‍රජාවක ගේ පොදු එකඟතාව දිනාගැනීමට සමත් වූ එක්‌තරා ආකාරයක රාමුවක්‌ ලෙස සැලකිය හැකි ය.

කූන්ට අනුව විද්‍යාවේ සිදු වන ක්‍රියාවලිය මෙසේ හකුළුවා දැක්‌විය හැකි ය.

යම් දැනුම් පද්ධතියක්‌ තුළ මුල් අවධියේ දී ගුරුකුල කිහිපයක්‌ ක්‍රියාත්මක වේ. පසුව ක්‍රමයෙන් මේ විවිධ ගුරුකුල අතර පොදු සම්මුතියක්‌ ඇති වී එම ක්‌ෂේත්‍රයේ ප්‍රගමනයට පදනම් වන පොදු රාමුවක්‌ හෙවත් සුසමාදර්ශයක්‌ මතු කර ගනියි. එවිට සෙසු ගුරුකුල අභාවයට ගොස්‌ එක්‌ ගුරුකුලයක්‌ ඉදිරියට යයි. මේ සුසමාදර්ශය මත පදනම් ව ස්‌ථායි විද්‍යා සම්ප්‍රදායක්‌ (Normal Science) දීර්ඝ කාල පරාසයක්‌ පුරා ක්‍රියාත්මක වේ. කල් යත් ම මේ සම්ප්‍රදාය තුළ සුසමාදර්ශය සමඟ නො ගැලපීමී (Anomalies) ඇති වන්නට පටන් ගනියි. මේ නො ගැලපීම් සංඛ්‍යාත්මකව වැඩි වත් ම අදාළ සුසමාදර්ශය කෙරෙහි විද්‍යාඥ ප්‍රජාව ගේ විශ්වාසය දෙදරා යයි. මේ අර්බුදකාරී තත්ත්වය උග්‍ර වත් ම නව සුසමාදර්ශයක්‌ මතු කර ගැනීම කෙරෙහි ප්‍රජාව ගේ අවධානය යොමු වේ. මේ ව්‍යායාමය සාර්ථක වූ විට විද්‍යාඥ ප්‍රජාව

පැරැණි සුසමාදර්ශය ඉවත දමා ඒ වෙනුවට නව සුසමාදර්ශය එතැනට ආදේශ කර ගනියි. මෙසේ සුසමාදර්ශ පෙරැළියක්‌ සිදුවීම විද්‍යාවේ විප්ලවයක්‌ ලෙස හැඳින්වේ. විද්‍යාඥ ප්‍රජාව නව සුසමාදර්ශය මත පදනම් ව නව ස්‌ථායී විද්‍යාවක්‌ ගොඩනැඟීමෙහි නිරත වේ. බොහෝ කලක්‌ ගත වීමෙන් පසු නැවතත් නො ගැලපීම් ඇති වී එයට ද ඊට කලින් තිබූ ස්‌ථායී විද්‍යාවට අත් වූ ඉරණම ම අත් වේ. මේ ක්‍රියාදාමය චක්‍රීයව සිදු වේ.

කූන් ඉදිරිපත් කළ තවත් ප්‍රබල මතයක්‌ නම් අනුගාමී සුසමාදර්ශ දෙකක්‌ අතර සම්මේයතාවයක්‌ නොමැති (Incommensurable) බවයි. එනම් පැරැණි සුසමාදර්ශය හා එය ප්‍රතිස්‌ථාපනය කළ නව සුසමාදර්ශය අතර පොදු මිම්මක්‌ ඇසුරෙන් සැසඳීමක්‌ කළ නොහැකි ය. මෙය එක්‌තරා ආකාරයකට යම් ප්‍රජාවක්‌ විසින් එතෙක්‌ අදහන ලද ආගම අතහැර වෙනත් ආගමක්‌ වැළඳ ගැනීමක ස්‌වරූපය ගනියි. පවතින සුසමාදර්ශය ඉවත දමා නව සුසමාදර්ශයක්‌ ආදේශ කර ගැනීම සබුද්ධික හෙවත් හේතුවාදී (Rational) ක්‍රියාවලියක්‌ නො ව හුදෙක්‌ අදාළ විද්‍යාත්මක ප්‍රජාව (Scientific community)) විසින් ප්‍රායෝගික ප්‍රතිඵල මත පදනම් ව හෙවත් ප්‍රායෝජ්‍යතාවාදීව (Pragmatical) ඇති කරගන්නා සම්මුතියක්‌ බව කූන් විද්‍යාවේ සිදු වී ඇති විප්ලව ඇසුරින් පෙන්වා දුන්නේ ය. (නිදසුන්( කොපර්නිකස්‌ ගේ විප්ලවය, නිවිටන් ගේ විප්ලවය, අයින්ස්‌ටයින් ගේ විප්ලවය)

කූන් ගේ මේ විග්‍රහයට අනුව විද්‍යාවේ ගොඩනැඟෙන දැනුම මිනිසුන් ගෙන් ස්‌වායත්ත නොහොත් වාස්‌තවික (objective) දැනුමක්‌ ය යන මතය ඛණ්‌ඩනය වනවා පමණක්‌ නො ව එම දැනුම යම් කාල පරාසයක්‌ තුළ බලපැවැත්වෙන සුසමාදර්ශයට සාපේක්‌ෂ නො ෙවි දැයි කෙනකුට තර්ක කළ හැකි ය. දැනුමේ සාපේක්‌ෂතාවාදියකු (Relativist) ලෙස පිළිගැනීමට කූන් මැළි විය. ඔහු පැවසුවේ තම විග්‍රහයට අනුව විද්‍යාවේ ප්‍රගමනය පහත දැක්‌වෙන පරිදි තේරුම් ගත හැකි බවයි. එනම් විද්‍යාව ප්‍රහේළිකා විසඳීමක්‌ ලෙස සැලකිය හැකි අතර පැරැණි සුසමාදර්ශය මත පදනම් ව විසඳිය හැකි ප්‍රහේළිකා සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රහේළිකා සංඛ්‍යාවක්‌ නව සුසමාදර්ශය මත පදනම් ව විසඳිය හැකි වේ.

ඉම්රේ ලැකටෝස්‌ (1922-1974) නම් හංගේරියාවේ උපත ලැබූ දාර්ශනිකයා පොපර් ගේ අසෙත්‍යක්‌ෂණ ක්‍රමයේ ඇති දුර්වලතා මඟහැර එය සංවර්ධනය කරමින් සහ කූන් අනුගමනය කළ විද්‍යාවේ ඉතිහාසය විග්‍රහ කරමින් "විද්‍යාත්මක පර්යේෂණ වැඩසටහන් ක්‍රමවේදය" (Methodology of Scientific Research Programmes) ඉදිරිපත් කළේ ය. පොපර් තනි ප්‍රවාදයන් පිළිබද අවධානය යොමු කළ අතර ලැකටෝස්‌ ප්‍රවාද ගණනාවකින් සමන්විත පර්යේෂණ වැඩසටහනක්‌ ගැන අවධානය යොමු කළේ ය. ලැකටෝස්‌ කූන් ගේ සුසමාදර්ශයට තරමක්‌ සමීප වෙමින් විද්‍යාවේ ප්‍රවාදවල ඓතිහාසික, සාමාජයීය හා සංස්‌කෘතික යන මාන තුන ම සැලකිල්ලට ගත්තේ ය. මේ අනුව ලැකටෝස්‌, "විද්‍යාවේ සිදු වන විප්ලව අහේතුවාදී (Irrational) ක්‍රියාවලීන් ය" යන කූන් ගේ මතයට එරෙහි ව යමින් ඒවා හේතුවාදී පදනමක්‌ මත විග්‍රහ කිරීමට අසාර්ථක උත්සාහයක්‌ ගත්තේ ය.

කූන් ගේ සමකාලීනයකු වූ පෝල් ෆෙයරාබන්ඩ් (1924-1994) ඔස්‌ටි්‍රයාවේ වියනා නුවර උපන් වඩාත් රැඩිකල්වාදී දාර්ශනිකයෙක්‌ විය. ඔහු කූන් ගේ සුසමාදර්ශය හා අසම්මේයතාව යන සංකල්ප අගය කළ අතර එමඟින් ගම්‍ය වන දැනුමේ සාපේක්‌ෂතාව පිළිගැනීමට පසුබට නො වී ය. තව ද විද්‍යාවේ යම් කේෂ්ත්‍රයක්‌ තුළ සුසමාදර්ශයක්‌ මතු කර ගැනීමට හැකි වීම අනෙක්‌ දැනුම් පද්ධතිවලට සාපේක්‌ෂව විද්‍යාවේ උත්තරීතරභාවය (Uniqueness) තහවුරු කරන්නේ ය යන කූන් ගේ මතය ෆෙයරාබන්ඩ් ප්‍රතික්‌ෂේප කළේ ය. එක ම ක්‌ෂේත්‍රයක්‌ තුළ සුසමාදර්ශ කිහිපයක්‌ එකිනෙක හා තරග වැදීම එම දැනුම් පද්ධතියේ ප්‍රවර්ධනයට රුකුල් දෙන වඩා යහපත් ලක්‌ෂණයක්‌ බව ෆෙයරාබන්ඩ් පැවසී ය. ඔහුට අනුව බටහිර විද්‍යාව යනු මිනිසා විසින් වර්ධනය කරනු ලැබ ඇති දැනුම් පද්ධති රාශිය අතුරින් එකක්‌ පමණි. එය උසස්‌ ම දැනුම් පද්ධතිය ලෙස පෙනෙන්නේ එය එසේ විය යුතු යෑයි මතවාදී ලෙස තීරණය කළ අයට ය.

දැනුමේ විවිධත්වය (Diversity of knowledge)) රැකගත යුතු බව ෆෙයරාබන්ඩ් අවධාරණය කළේ ය. ඔහු 1974 දී පළ කළ "විධික්‍රමයට එරෙහි ව" (Against Method) නම් විශිෂ්ට කෘතිය විද්‍යා දර්ශන ක්‌ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක්‌ ඇති කළේ ය. එම කෘතියට අනුව විද්‍යාවේ ඉතිහාසය තුළ විද්‍යාත්මක දැනුම ඉදිරියට ගොස්‌ තිබෙන්නේ විධික්‍රම හා නීති රීති අනුගමනය කිරීම නිසා ම පමණක්‌ නො වේ. විධික්‍රම හා නීතිරීති කැඩීම ද විද්‍යාවේ ප්‍රගතියට හේතු වී ඇත. කොපර්නිකස්‌ ගේ විප්ලවය, අයින්ස්‌ටයින් ගේ විප්ලවය වැනි බටහිර විද්‍යාවේ ඇති වූ ප්‍රධාන විප්ලවවල දී එතෙක්‌ පැවැති සම්මත විධික්‍රමල නීති රීති හා ප්‍රමිතීන් උල්ලංඝනය කරනු ලැබුවා පමණක්‌ නො ව තමන් එසේ කරන බව ඒවාට දායක වූ මහා විද්‍යාඥයෝ දැන සිටිය හ.

එම නිසා සම්මත විධික්‍රම හා නීතිරීතිවලට පටහැනි ව යන නව ප්‍රවාද ප්‍රතික්‌ෂේප නො කර ඒවාට නව නිරීක්‌ෂණ මඟින් ඇති කරන අභියෝගවලට මුහුණ දීමට ඉඩහැරිය යුතු ය. එම අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ප්‍රවාද ඉදිරියට ද පවතින අතර එසේ නො වන ප්‍රවාද ඉවත් ව යනු ඇතැයි ෆෙයරාබන්ඩ් පැවසී ය. ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාව ප්‍රතික්‌ෂේප කළේ නැත. ඔහු ප්‍රතික්‌ෂේප කළේ විද්‍යාව පිළිබඳ බටහිර විද්‍යාත්මක ප්‍රජාව විසින් ම ගොඩනඟනු ලැබ ඇති විද්‍යාත්මක දැනුම් පද්ධතියට ආවේනික යෑයි කියන ක්‍රමවේදාත්මක අයිsතිය හා ඔවුන් ගේ ඥානමය ආධිපත්‍යවාදයයි (Hegemony).

(සැ.යු. මේ ලිපියෙන් විමර්ශනයට ලක්‌ වන්නේ ක්‍රි.ව. 16 වැනි සියවසේ සිට ක්‍රි.ව. 20 වැනි සියවසේ අග දක්‌වා කාල පරාසය තුළ විද්‍යාවේ ක්‍රමවේදය පිළිබඳ මතවාදයන් ය).

නෙම්සිරි ජයතිලක

කථිකාචාර්ය, ඉංජිනේරු, ගණිත හා දර්ශන අංශය,

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයය

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය