විද්‍යාත්මක ක්‍රමයට විජ්ජා පෙන්වීම



(කතරගම ගිනි පෑගීම පිළිබඳ විද්‍යාත්මක පරීක්‌ෂණය
හරියට කරනවා නම් කරන්නට තිබුණු ආකාරය)

එක්‌ චින්තනයක බිහි වුණු දැනුම් පද්ධතියකින් ඊට වෙනස්‌ චින්තනයක සංකල්ප ඒ අයුරින් ම තේරුම් ගැනීම හෝ එහි හරි වැරැදි උරගා බැලීම හෝ එතරම් පහසු කරුණක්‌ නො වේ. එසේ කිරීමට හැකි වන්නට නම් සැපිරිය යුතු අවශ්‍යතා මොනවා දැයි ගැඹුරින් සලකා බැලිය යුතු ව තිබේ. එහෙත් බටහිරුන් මෙය ප්‍රශ්නයක්‌ ලෙස නො සලකන්නේ ඔවුනට අනුව තිබිය හැක්‌කේ ඊනියා යථාර්ථයක්‌ පිළිබඳ ගෙතුණු එක ම දැනුම් පද්ධතියක්‌ පමණක්‌ බැවිනි. මේ තිබිය හැකි එක ම දැනුම් පද්ධතියට වඩාත් ම කිට්‌ටු පද්ධතිය බටහිර දැනුම් පද්ධතිය යෑයි ඔවුන් පත් කර ගන්නේ බටහිර විද්‍යාවේ ඇති යම් විදග්ධ බවක්‌ නිසා නො වේ. ඒ සඳහා ඔවුහු දේශපාලන, ආර්ථික මෙන්ම යුදමය බලය ද යොදා ගනිති. ඒ අතර මන බැන්දුම් ද වේ. දැනුමේ ආධිපත්‍යය තුළින් ඔවුන් තනන්නේ බටහිර නො වන අනෙකුත් ජාතීන් මනසින් තමන් යටතේ තබාගැනීමට ය. එහෙත් අප පෙළන සමහර බටහිර සංකල්ප ඔවුන් ගේ දැනුම් පද්ධතිය තුළ පවා සංගත නො වේ.

කතරගම ගිනි පෑගීම ගැන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගේ පරීක්‍ෂණය මවිසින් සාකච්ඡාවට ගැනෙන්නේ මේ සන්දර්භය තුළ ය. පසුගිය දශක හතරක කාලයක්‌ තිස්‌සේ විටින් විට විවිධ පුද්ගලයන් විසින් මතු කර දැක්‌වුණත් එතුමා ගේ පරීක්‍ෂණය නිසා එදා මෙදාතුර කතරගම ගිනිපෑගීම නතර වී නැති බව කිව යුතු ය. එපමණක්‌ නො වේ. පොදුවේ ලාංකිකයන් තුළ වූ දෙවිවරුන් පිළිබඳ විශ්වාසයන්ට එම පරීක්‍ෂණය මඟින් බලපෑමක්‌ නො විණි යෑයි සිතිය හැක්‌කේ අදාළ පුද පූජා එදා මෙන් අදත් ජයට ම කෙරීගෙන යන බැවිනි.

කතරගම බැතිමතුන් විශ්වාස කරන්නේ කතරගම ගිනි පාගන විට නො පිළිස්‌සී සිටීමට කතරගම දෙවියන් ගෙන් ඔවුනට යම් ආරක්‌ෂාවක්‌ ලැබෙන බවයි. එහෙත් බැතිමත්තු ද ගිනි ගොඩ මත දුවති. එසේ නො දුවා එක තැන සිටගෙන කතරගම දෙවිඳුන් ගේ අනුහසින් පමණක්‌ නො පිළිස්‌සී සිටීමට හැකි යෑයි ඔවුහු නො කියති. මේ පිළිබඳ මතභේදයක්‌ නැත. එසේ නම් කතරගම දෙවිඳුන් බැතිමතුන් ගේ පාදවලට ලබා දෙන ආරක්‌ෂාව, ඔවුන් තම දිවීමෙන් ලබාගන්නා ආරක්‌ෂාවට අමතරව ලැබෙන ආරක්‌ෂාවක්‌ විය යුතු ය. ඒ නිසා බටහිර විද්‍යාඥයන් පරීක්‌ෂා කළ යුත්තේ මෙසේ යම් අමතර ආරක්‌ෂාවක්‌ බැතිමතුන් හට ලැබේ ද යන්නයි.

බටහිර විද්‍යාවට අනුව මහාචාර්ය ෆොන්සේකා පෙන්වා දී ඇති පරිදි ගින්දර නිසා යමකු ගේ පාදය පිළිස්‌සේ ද නැද්ද යන්න පාදයේ භෞතික ලක්‍ෂණත්, ගිනි ගොඩෙහි භෞතික ලක්‍ෂණත්, ස්‌පර්ශ කාලයත් මත රඳා පවතී. මේ අනුව පාදයේ මෙන්ම ගිනි ගොඩේත් යම් යම් අගයන්වල දී පිළිස්‌සීම සඳහා ගිනි ගොඩ මත පය රැඳවිය යුතු අවම කාලය ගණනය කළ හැකි ය. මෙය අවම ස්‌පර්ශ කාලය යෑයි හඳුන්වමු. අවම ස්‌පර්ශ කාලය ගිනි ගොඩටත්, ඒ මත දුවන්නාටත් ආවේනික ය. යමකු ගිනි ගොඩ හරහා වේගයෙන් දිව යද්දී ඔහු ගේ පාදය ගින්දර සමග ස්‌පර්ශ ව පවතින කාලය ඔහු ගේ අවම ස්‌පර්ශ කාලයට වඩා අඩු නම් පාදය නො පිළිස්‌සෙනු ඇත. එම කාලය ඔහු ගේ අවම ස්‌පර්ශ කාලයට සමාන නම් හෝ ඊට වඩා වැඩි නම් පාදය පිළිස්‌සෙනු ඇත. ඒ අනුව විද්‍යාඥයන්ට උපකල්පනය කළ හැක්‌කේ කතරගම දෙවිඳුන් ගේ ආරක්‌ෂාවක්‌ නැති අයකු ඔහු ගේ අවම ස්‌පර්ශ කාලයට අදාළ වේගයෙන් දිව ගිය හොත් ඔහු පිළිස්‌සෙන බවත්, කතරගම දෙවිඳුන් ගේ ආරක්‌ෂාවක්‌ ඇති අයකු ඔහු ගේ අවම ස්‌පර්ශ කාලයට අදාළ වේගයෙන් දිව ගියත් ඔහු නො පිළිsස්‌සෙන බවත් ය. පරීක්‍ෂණය සැලසුම් කළ යුතු ව තිබුණේ මේ උපකල්පනයේ සත්‍ය අසත්‍ය බව විමසීමට ය.

මහාචාර්ය ෆොන්සේකා කළේ, කතරගම දෙවිඳුන් ගෙන් ආරක්‌ෂාවක්‌ නැතැයි සැලකිය හැකි පිරිමි පස්‌ දෙනකු කතරගම ගිනි මැළයට සමාන මැළයක්‌ හරහා දිවවීම ය. ඔවුන් ගේ පාද පිළිස්‌සුණේ නැත. මේ පිරිමි පස්‌ දෙනා ගේ පාද නො පිළිස්‌සුණේ ඇයි? මහාචාර්යතුමා එතෙක්‌ දැනගෙන සිටි කරුණුවලට අනුව ඔහු අනුමාන කළ යුතු ව තිබුණේ එසේ නො පිළිස්‌සුණේ මේ පිරිමි පස්‌ දෙනා ඔවුන් ගේ අවම ස්‌පර්ශ කාල නො ඉක්‌මවූ නිසා බව ය. ඒ බව නො කියා මහාචාර්යතුමා පවසන්නේ නො පිළිස්‌සී ගිනි පෑගීම සඳහා මස්‌ මාංශ වැළඳීමෙන්, මත්පැන් පානය කිරීමෙන් සහ ලිංගික කටයුතුවලින් වැළකී සිටීම අනවශ්‍ය බව ය. එසේත් නැත්නම් නො පිළිස්‌සී ගිනි පෑගීම සඳහා කතරගම දෙවිඳුන් ගෙන් ආරක්‌ෂාවක්‌ අනවශ්‍ය බව ය. මේ නිගමනය නිවැරැදි නො වේ. මොවුන් ගිනි ගොඩ මත අවම ස්‌පර්ශ කාලය ඉක්‌මවා ගත කළේ නම් ඔවුන් පිළිස්‌සෙන්නේ නැද්ද? එහෙත් එසේ ගොස්‌ ඔවුන් පිළිස්‌සුණත් කතරගම දෙවිඳුන් ගෙන් ආරක්‌ෂාව ගැන මේ පරීක්‍ෂණයෙන් යමක්‌ කිව නොහැක්‌කේ එයට කතරගම දෙවිඳුන් ගේ ආරක්‌ෂාවක්‌ ඇති අය සහභාගී කරවා නැති බැවිනි. එය පරීක්‍ෂණයේ අසමත් බවකි. මහාචාර්යතුමාට වුවමනා වුණේ දෙවිඳුන් ගෙන් ආරක්‌ෂාව පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ කිරීමට ද, එසේත් නැතිනම් බැතිමතුන් ගේ විශ්වාසය බොරු යෑයි ප්‍රදර්ශනය කිරීමට ද?

බටහිර විද්‍යාඥයන් පරීක්‍ෂා කළ යුත්තේ කතරගම දෙවිඳුන් විසින් තම බැතිමතුන්ට ඔවුන් තම දිවීමෙන් ලබා ගන්නා ආරක්‌ෂාවට අමතරව යම් ආරක්‍ෂාවක්‌ ලබා දෙනු ලබන්නේ ද යන්න ය. ඒ සඳහා සෛද්ධාන්තික ආකෘතියක්‌ මුලින් ම නිර්මාණය කර පරීක්‍ෂණයට සහභාගී වන්නන් ගේ අවම ස්‌පර්ශ කාලය ගණනය කරගත යුතු ය. එහෙත් මහාචාර්ය ෆොන්සේකා ගිනි පෑගීමට අදාළ සෛද්ධාන්තික ආකෘතියක්‌ නිර්මාණය කර නැත. කෙසේ වෙතත් බැතිමතුන්ට කතරගම දෙවිඳුන් ගෙන් ආරක්‌ෂාවක්‌ ලැබේ දැයි නිශ්චිත ව දැනගැනීමට නම් ඔවුනට අනුව උන්වහන්සේ ගේ ආරක්‌ෂාව ඇතැයි සැලකෙන මිනිසුන් කණ්‌ඩායමක්‌ යොදවාගත යුතු ය. එසේ නො යොදවා බටහිර විද්‍යාත්මක ක්‍රමයට ඉහත උපකල්පනය පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි ය.

කෙසේ වෙතත් මේ පරීක්‍ෂණය පිළිබඳ බටහිර විද්‍යාවට නැති ප්‍රශ්න සිංහල බෞද්ධ විද්‍යාවට තිබේ. පිළිස්‌සීම සඳහා ගිනි ගොඩ මත පය

රැඳවිය යුතු අවම කාලය (අවම ස්‌පර්ශ කාලය) ගණනය කිරීමේ දී බටහිර විද්‍යාව පයට දැනෙන වේදනාව නො සලකා හරියි. ඒ අනුව කෙනකු ගේ අවම ස්‌පර්ශ කාලය මැනිය යුත්තේ ඔහු නිර්වින්දනය කර ය. නිර්වින්දනය කර මැනගත් අවම ස්‌පර්ශ කාලය, ඔහුට වේදනාව දැනෙන විට ක්‍රියාත්මක වන අවම ස්‌පර්ශ කාලයට සමාන යෑයි එයට සාධක නැතත් ඔවුහු උපකල්පනය කරති. එනම් බටහිර විද්‍යාවට අනුව වේදනාවෙන් පිළිස්‌සීමේ ප්‍රමාණාත්මක අගයට බලපෑමක්‌ නැත. එනම් එක්‌ එක්‌ අයට දැනෙන වේදනාව අඩු වැඩි විය හැකි මුත් එක සමාන පාද යම් උෂ්ණත්වයක ඇති වස්‌තුවක්‌ මත යම් කාලයක්‌ තැබීමෙන් ඇති විය හැකි පිළිස්‌සීම් එක සමාන වේ. බටහිර විද්‍යාවට පිළිස්‌සීම වාස්‌තවික වන්නේ උෂ්ණත්වය වාස්‌තවිකව මැනගත හැකි යෑයි සිතන නිසා ය. බටහිර විද්‍යාවට අනුව වස්‌තුවලට උෂ්ණත්වමාපක යොදා මැනගත හැකි වාස්‌තවික උෂ්ණත්ව ඇත. උදාහරණයක්‌ ලෙස රසදිය මාපකයක රසදිය කඳේ දිග අඩු වැඩි වීම අනුව එය තබා ඇති වස්‌තුවේ උෂ්ණත්වය වාස්‌තවිකව දැනගත හැකි යෑයි කියවේ. එහෙත් රසදිය කඳට උණුසුම දැනේ යෑයි බටහිර විද්‍යාව නො කියයි. එසේ නම් එහි දිග අඩු වැඩි වන්නේ ඇයි? බටහිර විද්‍යාවට අනුව රසදිය කඳේ දිග වෙනස්‌ වීම පහදා දිය හැක්‌කේ උෂ්ණත්වය සහ වස්‌තුවල ප්‍රසාරණය පිළිබඳ බටහිර තාප භෞතික විද්‍යාවේ ගෙතෙන කථාවක්‌ උපයෝගී කරගෙන ය. ඒ අනුව පෙනෙන්නේ උෂ්ණත්වය මනින උපකරණයට වත් සංකල්පයකින් තොර ව උෂ්ණත්වයක්‌ දැනගත නොහැකි බව ය. එසේ නම් එම උපකරණයෙන් මනින වස්‌තුවට ඒ කථාවෙන් තොර ව උෂ්ණත්වයක්‌ තිබිය හැකි ද? නොහැකි ය. කොටින් ම එම කථාව නැති ව උෂ්ණත්වය යන බටහිර සංකල්පය ම නැත. එසේ නම් උෂ්ණත්වය පිළිබඳ බටහිර සංකල්පය ඊනියා වාස්‌තවික වූ යථාර්ථයක්‌ නො වේ. වාස්‌තවික නො වන්නේ එය ඒ පිළිබඳ කථාවට සාපේක්‌ෂ බැවිනි. යථාර්ථයක්‌ නො වන්නේ ඒ පිළිබඳ කථාව නැති ව උෂ්ණත්වය පිළිබඳ බටහිර සංකල්පයට පැවැත්මක්‌ නැති නිසා ය.

උෂ්ණත්වය වාස්‌තවික වූ යථාර්ථයක්‌ නො වේ නම් ඒ සංකල්පය මත ගොඩනැඟුණු පිළිස්‌සීම ද වාස්‌තවික වූ යථාර්ථයක්‌ නො වේ. එහෙත් උෂ්ණත්වය හා පිළිස්‌සීම පිළිබඳ සංගත කථාවක්‌ බටහිර විද්‍යාවේ ඇත. අවම ස්‌පර්ශ කාලය එහි අංගයකි. ඒ කථාව අළලා කෙරෙන මිනුම් සුළු අඩුපාඩු තිබුණත් බොහෝ මිනිසුන්ට සාධාරණ විය හැකි ය. ඒ පොදුවේ මිනිසුන් අතර ඇති භෞතික වෙනස්‌කම් අඩු නිසා විය යුතු ය. එහෙත් බටහිර විද්‍යාඥයන් පවසන්නේ මේ කථාව සියලු මිනිසුන්ට සත්‍ය බව ය. එහෙත් උෂ්ණත්වය හා පිළිස්‌සීම වාස්‌තවික වූ යථාර්ථ නො වේ නම් එය සියලු මිනිසුන්ට සත්‍ය යෑයි කීමට පදනමක්‌ නැත.

සිංහල බෞද්ධ විද්‍යාවට අනුව පයට දැනෙන වේදනාවන් ඇතුළු මේ සියලු සංකල්ප මනසේ නිර්මාණ වේ. මේ සංකල්ප වාස්‌තවික වූ යථාර්ථ නො වේ නම් ඒවා මනසේ නිර්මාණය විය යුතු ය. වේදනාව, උෂ්ණත්වය හා පිළිස්‌සීම යන සංකල්ප නිර්මාණය වන්නේත් ඒවාට ප්‍රමාණාත්මක අගයන් ලැබෙන්නේත් ඒ ඒ අය ගේ මනසට සාපේක්‌ක්‍ෂව ය. මනස්‌ දියුණු කළ අයටත් දෙවියන් ගේ අනුහස්‌ ඇති අයටත් ඒ ඒ අය ගේ මනසට සාපේක්‍ෂව මේ සංකල්ප නිර්මාණය කර හසුරුවාගත හැකි නම් එය උෂ්ණත්වය, පිළිස්‌සීම පිළිබඳ බොහෝ මිනිසුන්ට පොදු සම්මත කථාවකින් වෙනස්‌ වනු ඇත. එසේ නිර්මාණය කෙරෙන උෂ්ණත්වය හා පිළිස්‌සීම පිළිබඳ කථාව බටහිර කථාව මෙන් වියුක්‌ත එකක්‌ නො ව එය ඔහුටත්, දෙවියන් ගේ අනුහස ඇත්නම් දෙවියන්ටත් අදාළ වූ සංයුක්‌ත කථාවක්‌ වනු ඇත. එහි වියුක්‌ත බවක්‌ නොමැති නිසා යමකුට එහි සත්‍ය අසත්‍යය පරීක්‍ෂා කිරීමට නම් ඔහු ඒ මනස්‌ දියුණු කළ හෝ දෙවියන් ගේ අනුහස්‌ ඇති අය හෝ ගිය මඟ අනුගමනය කිරීම හැර වෙන කළ හැකි දෙයක්‌ නැත.

ආචාර්ය ජානක වංශපුර

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය