විද්‍යාවන්හි අව්‍යාජත්ව

විද්‍යාවන්හි අව්‍යාජත්වය

අප බොහෝ දෙනා විද්‍යාව යන නමින් පිරිනමන දැනුමට නිරාවරණය වී සිටියත් විද්‍යාව යනු කුමක්‌ ද යන්න පිළිබඳව ගැඹුරින් සිතා බලා තිබේ ද? සරලව ගත් විට විද්‍යාව යනු විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් ලබාගන්නා දැනුම වෙයි. පර්යේෂණාත්මක ක්‍රමයක්‌ අනුගමනය කිරීම විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රධාන සහ අත්‍යවශ්‍ය කරුණක්‌ වෙයි. අතීතයේ විද්‍යාත්මක ක්‍රමය සහ පර්යේෂණාත්මක ක්‍රමය ලෙස නිශ්චිතව හැඳින්වූ ක්‍රමවේදයක්‌ නො වුණත් නූතන විද්‍යාවේ මේ ක්‍රමවේද පැහැදිලි ලෙස විග්‍රහ කර ඇත. ඒ අනුව විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන්නේ යෑයි කියන විද්‍යාඥයෝ පළමුව අදාළ කරුණු පිළිබඳව මනා විමර්ශනයක්‌ කර දත්ත රැස්‌ කර ඒවා විශ්ලේෂණය කර බලා යම් කිසි කල්පිතයක්‌ නිර්මාණය කරති. අනතුරුව පර්යේෂණාත්මක ක්‍රමය මඟින් එම කල්පිතයේ සත්‍ය අසත්‍යතාව පිරික්‌සීම කරනු ලැබෙයි. විවිධ උපකරණ සහ විධික්‍රම උපයෝගී කරගෙන පර්යේෂණය සහ එහි ක්‍රමය සැලසුම් කරගත යුතු ය. ඉන්පසු එය ක්‍රියාත්මක කර නිරීක්‌ෂණ ලබාගෙන ඒවා විශ්ලේෂණය කර නිගමනවලට එළඹෙනු ලැබෙයි. පර්යේෂණ මඟින් කල්පිතය සත්‍ය බවට පෙන්වන්නේ නම් නැවතත් එම පර්යේෂණය කර එය සනාථ කළ හැකි ය. කල්පිතය අසත්‍ය බව තහවුරු වෙයි නම් නැවත මුල් පියවරවලට එළඹෙයි.

විද්‍යාව යනු මෙවැනි විධික්‍රමයක්‌ අනුගමනය කරන්නා වූ පද්ධතියක්‌ නම් ඇතැමකු බටහිර විද්‍යාව හෝ විද්‍යාවේ සාපේක්‌ෂ බවක්‌ පිළිබඳව කියන්නේ මන්දැයි ඔබට දැන් සිතෙනු ඇත. එය මෙසේ විග්‍රහ කළ හැකි ය.

ඉහත කී විද්‍යාත්මක විධික්‍රමය පැහැදිලි ක්‍රමවේදයකි. එය ඉදිරිපත් කර ඇති අයුරෙන් එම ක්‍රමවේදයෙන් ලැබෙන ප්‍රතිඵල (එයින් නිර්මාණය වන දැනුම) ස්‌වාධීන විය යුතු බව හැඟෙයි. එහෙත් එම ක්‍රමවේදය භාවිත කරන්නේ සෙච්තනික මිනිසුන් ය. යම් සිද්ධියක්‌ දැක එය ඇසුරෙන් කල්පිතයක්‌ නිර්මාණය කිරීම, පර්යේෂණ ක්‍රමය සැලසුම් කිරීම, නිරීක්‌ෂණ ගැනීම සහ අවසාන ලෙස නිගමනවලට එළඹීම එම පුද්ගලයන් සිතන ආකාරයට සාපේක්‌ෂ වෙයි. මිනිසුන් සිතන ආකාරය ඔවුන් ගේ සංස්‌කෘතිය මත බොහෝ සේ රඳා පවතින බැවින් ද අද අපට හමු වන විද්‍යාවේ මූලික කරුණු සහ දැනුම් විශාල ලෙස බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති බැවින් ද එම දැනුම බටහිර විද්‍යාව ලෙස හැඳින්වීම වඩා සුදුසු ය.

විද්‍යාවන් ලෙස ඇති දැනුම පිළිබඳ ගැටලුසහගත බව ඉන් අවසන් නො වෙයි. අද දින විද්‍යාව නමින් ඇති දැනුම් පද්ධති කෙතරම් දුරට මේ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරනවා ද යන්න සොයා බැලීම ද වැදගත් ය. තාරකා විද්‍යාවෙහි මූලික කරුණක්‌ වන පෘථිවිය ඇතුළු ග්‍රහයන් සූර්යයා වටා කක්‌ෂගත ව ඇතැයි යන දැනුම නිර්මාණයට යොදාගත්තේ පර්යේෂණ නො ව නිරීක්‌ෂණ මත පදනම් වූ ක්‍රියාවලීන් වෙයි. අදටත් තාරකා විද්‍යාව ආශ්‍රිතව කෙරෙන ක්‍රියාකාරකම්, නිරීක්‌ෂණ ඇසුරෙන් කෙරෙන දේ වෙයි. මේ නිරීක්‌ෂණ ක්‍රියාවලි පර්යේෂණයන් ගෙන් ප්‍රධාන ලෙස වෙනස්‌ වන්නේ නිරීක්‌ෂණය කරනු ලබන ක්‍රියා අපට අවශ්‍ය ලෙස පාලනය කළ නොහැකි වීමත්, අපට නැවත නැවත එම ක්‍රියා සිදු කළ නොහැකි වීමත් යන කරුණු නිසා ය. නැවත නැවත කළ හැකි වීමත් එම සැම වාරයක දී ම ප්‍රතිඵල පිළිබඳව පර්යේෂණ කිරීමට පෙර නිශ්චිතව කිව නොහැකි වීමත් පර්යේෂණවල ප්‍රධාන ලක්‌ෂණයක්‌ ලෙස සලකනු ලබයි. තාරකා විද්‍යාවෙහි ද පිටස්‌තර ග්‍රහ වස්‌තුවල කොටස්‌ ඇසුරෙන් කෙරෙන පරීක්‌ෂණ ආදී වූ පර්යේෂණ සුළු වශයෙන් කෙරෙන නමුත් තාරකා විද්‍යාවට අදාළ දැනුම විශාල ලෙස නිර්මාණය කර ඇත්තේ නිරීක්‌ෂණ මඟිනි. මේ කරුණු නිසා ඇතැම් අය තාරකා විද්‍යාව නිරීක්‌ෂණාත්මක විද්‍යාවක්‌ ලෙස හඳුන්වති.

භූ විද්‍යාව, පුරාවිද්‍යාව සහ සමාජීය විද්‍යාවන් ද (Social sciences) ගැනෙන්නේ නිරීක්‌ෂණාත්මක විද්‍යාවන් ගණයට ය. විශේෂයෙන් ගත් විට දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි ක්‌ෂේත්‍රයන්හි දී සජීවී සමාජයන් ඇසුරෙන් ප්‍රායෝගිකව පර්යේෂණයන් කර අත්හදා බැලීම් කළ නොහැකි ය. තව ද සජීවී සමාජයෙහි සංකීර්ණ ව්‍යුහයක්‌ සහ ක්‍රියාවලීන් පවතින බැවින් එහි පාලිත තත්ත්ව යටතේ පර්යේෂණයක්‌ නිර්මාණය කිරීම ද කළ නොහැකි ය. දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව ආදීන් ගේ දැනුම පවතින ව්‍යුහය ගත්ත ද භෞතික විද්‍යා, රසායන විද්‍යා ආදීන් ගෙන් වෙනස්‌ වන බව පෙනෙයි. භෞතික විද්‍යාවෙහි මූලික නියමයන් මත ක්‍රමානුකූලව ගොඩනැඟෙනා මනා ලෙස ව්‍යුහගත වූ දැනුමක්‌ පවතියි. කාලයෙන් කාලයට මේ ව්‍යුහයේ විශාල පෙරැළිවලට භාජන වෙමින් සුසමාදර්ශ වෙනස්‌වීම්වලට (Paradigm shift) බඳුන් වෙයි. එහෙත් දේශපාලන විද්‍යාව සහ සමාජ විද්‍යාවෙහි දැනුම මෙලෙස ක්‍රමානුකූලව ව්‍යුහයකට අනුව පවතින බවක්‌ දක්‌නට නො ලැබෙයි. එහි දැනුම ඒකක ලෙස පවතින අතර එකිනෙකට විරුද්ධ දැනුම් ඒකක ස්‌වායත්ත ව පැවතීම ද විශේෂ ලක්‌ෂණයකි. (එකිනෙකට වෙනස්‌ සහ ප්‍රතිවිරුද්ධ වූ ධනවාදය සහ සමාජවාදය පිළිබඳ දැනුම ද සමාජවාදයේ ප්‍රභේද රැසක්‌ පිළිබඳ දැනුම ද දේශපාලන විද්‍යාවේ අන්තර්ගත ය). එහෙත් මුල දී ඇති වූ විද්‍යාවන්හි දී මෙලෙස වෙනස්‌ දැනුම් පැවතීම නො පිළිගන්නා අතර පර්යේෂණ කිරීම මඟින් වඩාත් නිවැරැදි දැනුම හැර අනෙක්‌වා ප්‍රතික්‌ෂේප කරනු ලැබේ.

මෑත යුගයේ බිහි වුණු තවත් ක්‌ෂේත්‍ර දෙකකි ඉංජිනේරු විද්‍යාව සහ පරිගණක විද්‍යාව. මුල දී තාක්‌ෂණික ශිල්පයක්‌ ලෙස බිහි වුණු ඉංජිනේරු ක්‌ෂේත්‍රයට අවශ්‍ය දැනුම සැපයුණේ ප්‍රධාන ලෙස භෞතික සහ රසායන විද්‍යාවන් ගෙනි. එම දැනුම මත පදනම් වී ප්‍රායෝගික ලෝකයේ යන්ත්‍ර සූත්‍ර සහ වෙනත් නිර්මාණ කිරීම ඉංජිනේරු ශිල්පයේ අරමුණ විය. එහෙත් එය දියුණුවට පත් වෙත් ම ඉංජිනේරු ක්‌ෂේත්‍රයට අනන්‍ය වූ පර්යේෂණ සිදු කිරීමේ අවශ්‍යතාව නිසා ඉංජිනේරු තාක්‌ෂණයට අමතරව ඉංජිනේරු විද්‍යාවක්‌ බිහි විය. මෙහි ප්‍රධාන ලක්‌ෂණයක්‌ වන්නේ බටහිර චින්තනයේ ඇති අධි පරිභෝජන රටාව සෘජු ලෙස ම සහ ප්‍රබලව ක්‍රියාත්මක කරවන ක්‌ෂේත්‍රයක්‌ වීම ය. ඉංජිනේරු විද්‍යාවන් උපරිම ආර්ථික වාසි සහ යම් ක්‍රියාවලි සඳහා කාර්යක්‌ෂමව සහ නව නිර්මාණ සෙවීමේ අරමුණෙන් නිර්මාණය වී ඇත. අප රටෙහි බොහෝ තැන්වල ඇති පරිගණක විද්‍යාව උගන්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ඇති උපාධි පාඨමාලාවන්හි පවා විද්‍යාත්මක ක්‍රමයක්‌ අනුගමනය වන්නේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. අප රටෙහි මෙන්ම බොහෝ රටවල පරිගණක විද්‍යාවෙහි කරන්නේ පරිගණක තාක්‌ෂණය ආශ්‍රිත යෙදීම්, තාක්‌ෂණයට නව අංග එකතු කිරීම් සහ නව නිර්මාණ කිරීම් පමණි. එහි දී ඇල්ගොරිතම සහ සංකීර්ණ ගණිතමය යෙදීම් ඇතැම් විට භාවිත කෙරුණත් විද්‍යාත්මක ක්‍රමයක්‌ අනුගමනය කරමින් පර්යේෂණ සිදු කරන්නේ නැත. එහෙත් දෘඪාංග ඉංජිනේරු, දත්ත ගවේෂණ (Data mining) සහ සමාන්තර ක්‍රියාවලි (Parallel processing) ආදී ක්‌ෂේත්‍රවල පර්යේෂණ කිරීම සුළු වශයෙන් කෙරෙන අතර මෙය පරිගණක විද්‍යාව සම්බන්ධ ක්‍රියාවලි සමග ප්‍රතිශතයක්‌ ලෙස ගත් විට ඉතා ම සුළු ප්‍රමාණයක්‌ වෙයි.

තමා දකින ලෝකයේ ඇති සිදුවීම් පිළිබඳව කුතුහලයෙන් පිරි මිනිස්‌සු ස්‌වල්පයක්‌ අතීතයේ සිට වූ හ. බටහිර විද්‍යාවට ද මුල් පියවර තබන්නට ඇත්තේ මේ මිනිසුන් විය යුතු ය. අදටත් ගවේෂණශීලී මිනිස්‌සු තම ලැදියාව නිසා විද්‍යාත්මක, ගණිතමය ක්‌ෂේත්‍රයන්හි දැනුම නිර්මාණය කිරීමට වෙහෙසෙති. එහෙත් මේ දැනුම සෘජු ව ම මිනිස්‌ වර්ගයාට ප්‍රයෝජනවත් වන්නේ නැත. තවත් බුද්ධිමතුන් පිරිසක්‌ (ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්) එම දැනුම මිනිසාට ප්‍රයෝජනයට ගත හැකි භාණ්‌ඩ හා සේවා තැනීමට යොදා ගැනීමට උත්සාහ කරති. බටහිර විද්‍යාවට මෙතරම් පිළිගැනීමක්‌ ලැබෙන්නේ එසේ නිර්මිත භාණ්‌ඩ හා සේවාවන් මිනිසා විසින් පරිභෝජනය කෙරෙන නිසාත් මිනිසුන් එම නිර්මාණවලට කැමැති නිසාත් ය. තව ද බටහිර දේශපාලන ආධිපත්‍යයේ ක්‍රියාවලිය ද බටහිර විද්‍යාව සහ දැනුම ලෝකය පුරා ප්‍රචලිත කිරීමට උදව් වී ඇත. යම් කලාවක්‌, පුද්ගලයකු ආදී දෙයක්‌ ප්‍රසිද්ධියට පත් වූ විට බාල ගණයේ අනුකාරක එය අනුගමනය කිරීමට උත්සාහ කිරීම සාමාන්‍ය ක්‍රියාවලියකි. ඉහත දක්‌වන විද්‍යාත්මක ක්‍රමවේදයෙන් බොහෝ සේ ඈත් වූ දේශපාලන විද්‍යාව ඇතුළු සමාජීය විද්‍යාවන් සහ පරිගණක විද්‍යාවන් ආදීන් විද්‍යාවේ නම ඈඳාගන්නේ එම හේතුව නිසා ය. එම දැනුම ක්‌ෂේත්‍රයන් ද මානව වර්ගයාට සේවය කරන ලද ක්‌ෂේත්‍රයන් වෙයි. එහෙත් ඒවා ශාස්‌ත්‍රයන් සහ තාක්‌ෂණයන් ලෙස මිස විද්‍යාවන් ලෙස නම් කිරීම අනුමත කළ නොහැකි ය.

අප අවබෝධ කර ගත යුත්තේ මෙලෙස විද්‍යාව ලෙස අපට පිරිනමන දැනුම බටහිර විද්‍යාවක්‌ බවත් අප ගේ සංස්‌කෘතියට අවශ්‍ය දැනුමක්‌ අප නිර්මාණය කරගැනීම වඩා යෝග්‍ය බවත් ය. බටහිර විද්‍යාව සහ වෙනත් දැනුම නිර්මාණය වන්නේ ඊට ලැබෙන රාජ්‍ය අනුග්‍රහය නිසා ය. අප රටේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු වන්නේ එසේ නිර්මිත දැනුම අප ගේ සිසුන් වෙත ඉගැන්වීමයි. අප අප ගේ සංස්‌කෘතිය මත සිට හෝ බටහිර දැනුමට හෝ දායකත්වයක්‌ කරන්නේ නම් ඒ ඉතා අල්ප ලෙස බව කිව යුතු ය. අපේ සිසුන්ට උගන්වන දේශපාලන විෂය දැනුමට සප්ත අපරිහානීය ධර්ම සහ දස රාජධර්ම ආදී දේ ඇතුළත් විය යුතු නො වේ ද? බටහිරින් එන දැනුමට වන්දනා නො කර අපේ දැනුමක්‌ තනා අප එහි ගුරුවරුන් බවට පත් විය යුතු ය. එය අපට රටක්‌ ශක්‌තිමත් ජාතියක්‌ ලෙස නැඟී සිටීමටත් ඉවහල් වනු ඇත.

(මොරටුව විශ්වවිද්‍යාලයයේ අවසන් වසරේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්‌)

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය