සාපේක්‌ෂ වූ බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමය

සාපේක්‌ෂ වූ බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමය

අප කවුරුත් දන්නා විද්‍යාව, බටහිර විද්‍යාව ලෙසින් හැඳින්වීම ඇතැමකුට ප්‍රශ්නයක්‌ විය හැකි ය. එහෙත් බුදු දහමේ ද විද්‍යාවක්‌ වෙයි. ත්‍රිවිද්‍යා, විද්‍යාව පහළ වීම වැනි වචන බුදු දහමේ ද අපි අසා ඇත්තෙමු. එබැවින් නූතන විද්‍යාව, එනම් අප අද පාසල්වල විශ්ව විද්‍යාලවල උගන්වන සහ ඉගෙන ගන්නා විද්‍යාව "බටහිර" විද්‍යාව යන විශේෂණයෙන් හැඳින්වීම එතරම් ගැටලුවක්‌ නො විය යුතු ය.

බටහිර විද්‍යාව තුළ දැනුම නිර්මාණය කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්‌ යොදාගැනෙන්නේ යෑයි කියවෙයි. යම් කිසි දැනුමක්‌ මේ විද්‍යාත්මක ක්‍රමය නම් වූ මිනුම් දණ්‌ඩට අනුකූල වන්නේ නම් එහි විද්‍යාත්මක කරුණක්‌ හෝ විද්‍යාත්මක සත්‍යයක්‌ හෝ වන අතර එසේ නො වන දැනුම් ප්‍රතික්‌ෂේප වෙයි.

මේ බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමය පහත දැක්‌වෙන පරිදි සාරාංශගත කළ හැකි ය.

1. ප්‍රශ්නයක්‌ අර්ථ දක්‌වා ගැනීම.

2. ඒ ප්‍රශ්නයට අදාළ නිරීක්‌ෂණ රැස්‌ කිරීම.

3. එකී නිරීක්‌ෂණ පැහැදිලි කිරීමට යම් උපකල්පනයක්‌ (යහචදඑයෑsසි) නිර්මාණය කර ගැනීම.

4. නැවත නැවතත් කළ හැකි පරීක්‌ෂණයක්‌ මඟින් එකී උපකල්පනය පරීක්‌ෂාවට ලක්‌ කර ඊට අදාළ දත්ත ලබා ගැනීම.

5. පරීක්‌ෂණයෙන් ලැබුණු දත්ත විශ්ලේෂණය කිරීම.

6. එසේ විශ්ලේෂණය කර මුල් උපකල්පනය පිළිබඳ යම් නිගමනවලට එළඹීම.

7. මේ ප්‍රතිපත්ති එළි දැක්‌වීම (පරීක්‌ෂණ පත්‍රිකාවක පළ කිරීම).

8. නැවත නැවතත් පරීක්‌ෂණය කිරීම (අනෙකුත් විද්‍යාඥයන් විසින්).

මේ පියවර අනුගමනය කිරීමෙන් ලැබෙන දැනුම විද්‍යාත්මක සත්‍යයන් ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙයි. එසේ ම එය වාස්‌තවික දැනුමක්‌ වන අතර විශ්වීය දැනුමක්‌ ලෙස පිළිගැනෙයි. එය ඕනෑ ම පුද්ගලයකුට, රටකට, සංස්‌කෘතියකට පොදු දැනුමක්‌ වන බව සාමාන්‍ය පිළිගැනීම වෙයි. එසේ ම යම් දැනුමක්‌ සත්‍ය දැයි පරීක්‌ෂා කිරීමට නම් එය මේ විද්‍යාත්මක ක්‍රමයට අනුකූල දැයි බැලීම වර්තමානයේ සාමාන්‍ය පිළිගැනීම වෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් විද්‍යාත්මක ක්‍රමය නිරපේක්‌ෂ වන අතර සියලු ම දැනුම්වල සත්‍යතාව පරීක්‌ෂා කරන එක ම සහ පොදු ක්‍රමය මෙය බව බොහෝ දෙනෙක්‌ පිළිගනිති.

එහෙත් මේ විද්‍යාත්මක ක්‍රමයේ එබඳු නිරපේක්‌ෂ බවක්‌ දැකීම අසීරු ය. එක්‌ අතකින් ගත් විට කිසිදු දැනුමක්‌ (සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌) එසේ නිරපේක්‌ෂව ගත නොහැකි ය. විද්‍යාත්මක ක්‍රමය ද දැනුමකි. එනිසා එය ද සාපේක්‌ෂ විය යුතු ය. එහෙත් අපි මොහොතකට එය අමතක කරමු. අපේ ප්‍රශ්නය නම් මේ එක්‌ එක්‌ පියවර එකී විද්‍යාත්මක ක්‍රමය ක්‍රියාවට නංවන පුද්ගලයන් ගෙන් ස්‌වායත්ත වන්නේ ද යන්න ය. එසේ ස්‌වායත්ත නො වන්නේ නම් විද්‍යාත්මක ක්‍රමය (අඩු ම තරමින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරෙන මට්‌ටමේ දී) ඒ ඒ පුද්ගලයාට සාපේක්‌ෂ වෙයි. පුද්ගලයා යනු මනස, ඉන්ද්‍රිය සහ බාහිර පරිසරයේ (සංස්‌කෘතිය ද ඇතුළුව) නිපැයුමක්‌ බැවින් විද්‍යාත්මක ක්‍රමය ද ඒ තුනට ම සාපේක්‌ෂ විය යුතු ය. අපි මෙය තවදුරටත් විස්‌තරාත්මකව සලකා බලමු.

ඒ සඳහා මේ එක්‌ එක්‌ පියවර අපට වෙන් වෙන් ව සැලකීමට සිදු වෙයි. අපි මෙහි දී මුල් පියවර තුන පමණක්‌ සලකා බලමු. පළමු පියවර ප්‍රශ්නයක්‌ අර්ථ දක්‌වා ගැනීම ය. අප හැමෝට ම එක ම ප්‍රශ්න නැත. එක්‌ එක්‌ අයට ඇත්තේ විවිධාකාර ප්‍රශ්න ය. දිනපතා දුම්රියෙන්

රැකියාවට යන කෙනකුට ලංකාවේ දුම්රිය ප්‍රමාද වන්නේ ඇයි ද යන ප්‍රශ්නයක්‌ පැන නැඟිය හැකි ය. එය සමහර විට මෝටර් රථයෙන් රැකියාවට යන අයකුට හෝ වෙනත් රටක ඉන්නා කෙනකුට හෝ පැන නඟින ප්‍රශ්නයක්‌ නො විය හැකි ය. අපට ප්‍රශ්න ඇති වන්නේ ද අප දන්නා දේ ආශ්‍රයෙනි. ඒ අප මවුපියන් ගෙන්, ගුරුවරුන් ගෙන්, පොතපතෙන් හෝ රූපවාහිනියෙන් අසා දැන ගන්නා දේ ආශ්‍රයෙන් විය හැකි ය. "කර්මය කියා දෙයක්‌ තිබෙනවා නම් සමහර වැරැදි කරන අයත් හොඳින් ඉන්නේ කොහොම ද?" වැනි ප්‍රශ්නයක්‌ පැන නඟින්නේ කර්මය නම් සංකල්පය ඇති සමාජයක ජීවත් වූවකුට පමණි. වෙනත් වචනවලින් කියන්නේ නම් එහි දී අප ජීවත් වන පරිසරය, සංස්‌කෘතිය සහ අපේ සිතුම් පැතුම් (මනස) ආදිය වැදගත් වෙයි. එක ම පරිසරයේ ජීවත් වන්නවුන්ට වුව ද විවිධ ප්‍රශ්න පැන නඟින්නේ ඔවුන් ගේ මනස්‌ වෙනස්‌ බැවිනි. සමහර විට ලංකාවේ ජීවත් වන මනුෂ්‍යයකුට ඇති වන ප්‍රශ්නයක්‌ බටහිර විද්‍යාව පිළිබඳ පිළිගත් සඟරාවක සංස්‌කාරකවරුන්ට එතරම් වැදගත් ප්‍රශ්නයක්‌ ලෙස නො පෙනිය හැකි ය. ඒ ඔවුන් ගේ සංස්‌කෘතිවල සහ මනස්‌වල ඇති වෙනස නිසා ය.

ඊළඟට නිරීක්‌ෂණ එක්‌රැස්‌ කිරීම ගනිමු. බටහිර විද්‍යාඥයෝ මනුෂ්‍යයෝ වෙති. ඒ ඒ පුද්ගලයා ගේ නිරීක්‌ෂණ ඒ ඒ පුද්ගලයාට සාපේක්‌ෂ වෙයි. අප දකින දෑ ප්‍රධාන වශයෙන් ම තීරණය වන්නේ අප දැකීමට උත්සාහ කරන දේ මත ය (උය්එ ඇ see deචැබාs ප්සබකහ දබ අය්එ ඇ කදදන දෙර) යන බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සාමාජිකයකු වූ ප්‍රකට විද්වතකු වන ශ්‍රීමත් ජෝන් ලුබොක්‌ (Sසර Jදයබ ඛමඉඉදජන) මහතා ගේ කියමන මෙහි දී සිහියට නැඟෙයි. අප තුළ ඇති යම් මතිමනාත්නර, දෘෂ්ටි අනුව අප නිරීක්‌ෂණය කරන දෑ ද වෙනස්‌ වෙයි. අපේ දෘෂ්ටිවලට අනුගත නො වන දෑ "දැකීම" අපට එතරම් පහසු නො වේ. සාමාන්‍යයෙන් බටහිර විද්‍යාඥයන් ගේ මමත්වය (අන් අය විසින් ඔවුන් ඉතා උසස්‌ ලෙස සලකනු ලබන නිසා ම) අන් අයට ද වැඩි නිසා මෙසේ තම දෘෂ්ටීන්ට අනුගත නො වන දෑ දැකීම ඔවුනට ඉතා අපහසු විය හැකි ය. කීර්තිමත් බටහිර විද්‍යාඥයන් ගේ ජීවන තතු කියවීමේ දී ඔවුන් තම දෘෂ්ටිවලට කෙතරම් තදින් බැඳී සිටියේ දැයි සිතාගත හැකි ය. එබැවින් කිසි ම විද්‍යාඥයෙක්‌ සම්පූර්ණ සාධාරණ ලෙස නිරීක්‌ෂණ කරත් දැයි කිසිවකුට සහතිකයක්‌ දිය හැකි ද? නොහැක්‌කේ ම ය.

ඊළඟට එන්නේ උපකල්පනයක්‌ නිර්මාණය කිරීම ය. මෙය ඉතා වැදගත් අවස්‌ථාවකි. මේ උපකල්පන කෙසේ නිර්මාණය විය යුතු දැයි විද්‍යාත්මක ක්‍රමය අපට කියා නො දෙයි. එය සමහර විට නිකම් සිතේ පහළ වූ සිතිවිල්ලක්‌ විය හැකි ය. නැත හොත් සිහිනෙන් පෙනුණ දෙයක්‌ විය හැකි ය. නැත හොත් මෑතක දී මහත් ආන්දෝලනයකට ලක්‌ වූ රජරට වකුගඩු රෝගයට හේතු වන ආසනික්‌ පිළිබඳ ප්‍රවාදයේ දී මෙන් දෙවියන් ගෙන් ලැබුණක්‌ විය හැකි ය. බටහිර විද්‍යාත්මක ක්‍රමයට මේ කිනම් ආකාරයට උපකල්පනයක්‌ පහළ වුව ද එය කිසි ම ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් උපකල්පනය පහළ වීම ඒ බටහිර විද්‍යාඥයා පමණක්‌ කරන ක්‍රියාවක්‌ ද? බොහෝ විට මේ උපකල්පනය එතෙක්‌ ඒ විද්‍යාඥයා අසා දැනගත් දෑ, වෙනත් විද්‍යාඥයන් ගේ ප්‍රවාද ආදිය එකතු වී පැනනඟින සිතිවිල්ලකි. හුදු පෞද්ගලික ක්‍රියාවලියක්‌ නො වේ. (අපේ පැරැන්නන් ඔවුන් නිර්මාණය කළ දැනුම්වලට ලේබල් ගසා නො ගත්තේ මේ සාමූහික බව දුටු නිසා ද?) කෙසේ වෙතත් මෙය ඉතා සාපේක්‌ෂ ක්‍රියාවලියක්‌ බව කිව යුතු ය. විද්‍යාඥයන් වුව ද සැම දෙනාට ම මෙබඳු උපකල්පන පහළ නො වෙයි. ඒ සඳහා ඔවුන් ජීවත් වන සංස්‌කෘතිය මෙන්ම ඔවුන් ගේ ප්‍රතිභාව ද බෙහෙවින් බලපාන බව රහසක්‌ නො වේ. එක ම නිරීක්‌ෂණ කරන විද්‍යාඥයන් දෙදෙනකුට පහළ වන්නේ වෙනස්‌ උපකල්පන ය. ඒ අනුව දෙදෙනා නිර්මාණය කරන දැනුම් ද වෙනස්‌ වන බව පැහැදිලි ය. කෙසේ වෙතත් කවර දා හෝ අප අපේ විද්‍යාත්මක ක්‍රමයක්‌ තනා ගත හොත් එයට මේ උපකල්පනය පහළ වූ ආකාරය ද ඇතුළත් විය යුතු යෑයි අපි සිතමු. මන්ද යත් එකී උපකල්පනය නිර්මාණය කර ගැනීමට ආධාර වූ සියල්ලන් ම (එය අනන්ත සංඛ්‍යාවක්‌ විය හැකි ය.) කෙසේ වෙතත් මූලික කිහිප දෙනා වත් හඳුනාගැනීමට එය ආධාර වන බැවිනි. එනයින් එබඳු විද්‍යාත්මක ක්‍රමයකින් නිර්මාණය කෙරෙන ප්‍රවාදවල ගෞරවය හුදු එක්‌ පුද්ගලයකුට වඩා සාමූහිකව හිමි වන්නක්‌ විය හැකි ය. එයින් එකී උපකල්පනවල ඇති සංසකෘතික පදනම වඩ වඩාත් තහවුරු වෙයි.

ඉතිරි සැම පියවරක ම ද මේ සාපේක්‌ෂ බව අපට දැකිය හැකි ය. උදාහරණයක්‌ ලෙස පරීක්‌ෂණ පත්‍රිකාවක්‌ පළ කිරීමට නම් ඒ සඳහා සාම්‍ය සමාලෝචනයක්‌ (චැeර රුඩසැඅ) සිදු වෙයි. සාමාන්‍යයෙන් එකී ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතුන් යෑයි හැඟවෙන විද්‍යාඥයන් දෙදෙනෙක්‌ එකී පත්‍රිකාව පරීක්‌ෂා කරති. එය කෙතරම් සාපේක්‌ෂ ක්‍රියාවලියක්‌ දැයි පරීක්‌ෂණ පත්‍රිකා ඉදිරිපත් කළ ඇත්තෝ දනිති. අප මෙහි දී අවධාරණය කිරීමට තැත් කරන්නේ බටහිර විද්‍යාත්මක ක්‍රමය හුදු සාපේක්‌ෂ දැනුම් පද්ධතියක්‌ (අපට බටහිර විද්‍යාත්මක ක්‍රමය ගැන මෙබඳු සංවාදයක්‌ කිරීමට සිදු වී ඇත්තේ ද ඒ සාපේක්‌ෂ බව නිසා ම ය) බවත් ක්‍රමවේදයක්‌ ලෙස එය ක්‍රියාවේ යෙදවීමේ දී ද එය එකී විද්‍යාඥයන් ගේ මනසට, ඉන්ද්‍රියනට සහ සංස්‌කෘතියට සාපේක්‌ෂ බවත් ය. එකී සාපේක්‌ෂ බවින් මිදීමට බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ක්‍රමයට නොහැකි ය.

දර්ශන කස්‌තුරිරත්න
මොරටුව විශ්වවිද්‍යාලයය

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය