අපට අප ගේ විද්‍යාවක්‌ අවශ්‍ය ඇයි?

අපට අප ගේ විද්‍යාවක්‌ අවශ්‍ය ඇයි?

ශ්‍රී ලංකාවට අවශ්‍ය දැනුම කෙබඳු ද? බටහිර විද්‍යාව පරාජය කිරීමට අපට අවශ්‍ය ද? ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර වෙනස කුමක්‌ ද? බුද්ධිමතුන් සිටින්නේ නගරවල පමණ ද? අප ගේ බුද්ධිමතුන් පිටරට යන්නේ ඇයි? මේ සියල්ලට ම පිළිතුරු එක ම නො වූවත් එකිනෙකට බැඳී ඇත. ඉහත දේ ගැන බොහෝ කරුණු තිබිය හැකි වුවත්, පිළිතුරක්‌ විය හැකි යමක්‌ සාකච්ඡා කිරිම මේ ලිපියෙන් සිදු වනු ඇත.

බටහිර විද්‍යාවේ අනර්ථකාරී ස්‌වරූපය ම අපට එය හෙළාදැකීමට ප්‍රමාණවත් වුවත්, මේ ලිපියේ දී අපි ඒ බව මඳක්‌ අමතක කරමු.

දියුණුව යනු කුමක්‌ ද යන්න විවාදාත්මක ය. එය බොහෝ උපකරණ සහිතව ජීවත් වීම ද? අඩු උපකරණ සහිතව අප ගේ මුතුන් මිත්තන් ගෙවූ ජීවිත අතෘප්තිකර යෑයි අප නො පවසන්නේ ඔවුනට ඇති ගෞරවය නිසා පමණක්‌ ද? මෙතරම් ප්‍රතිකාර ක්‍රම සොයා ගත්තේ ජනතාව අතීතයේ පෙළුE රෝගාබාධවලට ම ද?

ලක්‌ වැසියන් ජීවිතයේ උපරිම තෘප්තිය ලෙස හඳුන්වන්නේ නිවී සැනසිල්ලේ කල් ගෙවීමයි. එය අලසකමින් වෙන් කර හඳුනා ගන්නා සැටිත්, බහු භාණ්‌ඩිකත්වයෙන් වෙන් කර හඳුනා ගන්නා සැටිත් ලක්‌ වැසියෝ හොඳින් දනිති.

ලාංකිකයන් ගේ ජීවන රටාව තුළට බටහිර ආධිපත්‍යය විවිධාකාර අයුරින් ඇතුළු වීම නිසා ලාංකිකයන් ඔවුන් ගේ තෘප්තිකර ජීවිතයෙන් ඈත් වී ඇත. තවදුරටත් ඈත් වෙමින් ද පවතී. මේ තත්ත්වයෙන් මිදීමට ආකාර කීපයක්‌ මගේ මනැසට නැඟේ. ඉන් එක්‌ ආකාරයක්‌ වන බටහිර විද්‍යාව හා ආධිපත්‍යය මුළුමනින් ම ප්‍රතික්‌ෂේප කිරීමට මා මෙන්ම ඔබ ද එකඟ නො වනු ඇත. තවත් ක්‍රමයක්‌ වනුයේ විද්‍යාව හා එහි ආධිපත්‍යය එලෙසින් ම පිළිගැනීමයි. අප දැන් කරමින් සිටින්නේ එයයි. අපි (බටහිර) විද්‍යාව රට පුරා පතුරුවන්නෙමු. සියල්ලන්ට ම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බල කරන්නෙමු. මෙවලම් බොහෝ සෙයින් භාවිතය අගයන්නෙමු.

ඉහත ක්‍රම දෙකේ ම අන්තගාමී බව මධ්‍යම ප්‍රතිපදාව හුරු මනැසකට වැටහේ. එසේ නම් අප කළ යුත්තේ බටහිර විද්‍යාව මධ්‍යම ප්‍රතිපදාව අනුව යෑයි කියමින් අර්ධ වශයෙන් රට තුළ ව්‍යාප්ත කිරීම ද? අර්ධ වශයෙන් ව්‍යාප්ත කිරීමෙන් සිදු වන දෑ දැනට ඔබට අත්විඳිය හැකි ය.

බටහිර විද්‍යාව වැඩි වශයෙන් ව්‍යාප්ත කොට මෙයින් ගැලවිය හැකි දැයි සලකා බලමු. එය කළ හැකි වුවොත් අපටත් අඩු ම තරමින් බටහිර රටක්‌ මෙන් වත් (තාවකාලික වුව ද) වැජඹෙනු හැකි ය.

ලාංකිකයන් විද්‍යාවේ පදනම වන ගණිතයට ඉතා ම දුර්වල ය. ගණිතය මහ ඉහළින් සමත් වූවන් ඉගෙන ගන්නා අප ගේ විශ්වවිද්‍යාලවල ද ගණිත කොටස්‌ මඟහරිමින් විද්‍යාව උගන්වන්නේ තොග ගණනින් සිසුන් අසමත් කිරීමට නොහැකි නිසා ය. විද්‍යාවේ භාෂාව වූ ගණිතය ප්‍රගුණ නො කොට සෛද්ධාන්තික භෞතික විද්‍යාවට අත නො තබා එයින් බටහිරයන් ලැබූ ඵල මත අප කටයුතු කිරීමෙන් සිදු වන්නේ අප රූකඩ බවට පත් වීම පමණි. බටහිර විද්‍යාව වෙනුවෙන් මෙරට පෙනී සිටින්නන් බහුතරය තමන් ගේ ක්‌ෂේත්‍ර තෝරාගෙන ඇත්තේ ගණිතය මිශ්‍ර සෛද්ධාන්තවලින් ගැලවීමට තරම් අවශ්‍ය දුරින් සිටගෙන ය.

විදේශයන් ගේ රූකඩ නො වී රට තුළ විද්‍යාව පැතිරවීමට නම් රටට ප්‍රමාණවත් තරම් ගණිත හා සෛද්ධාන්තික විද්‍යා විශේෂඥයන් බිහි කළ යුතු ය. තම තමන් ගැන දන්නා වියත්තු ඒ සඳහා ඉදිරිපත් නො වෙති. එම නිසා අප රට කිසි දිනෙක බටහිර රටක්‌ මෙන් නො වැජඹෙනු ඇත. ප්‍රශ්නය විසඳීමට ප්‍රශ්නය හඳුනාගත යුතු ය. ඒ සඳහා අවංකකම ද අවශ්‍ය ය. (මේ ලිපියේ අදහස සෛද්ධාන්තික බටහිර විද්‍යාව ප්‍රගුණ කිරීමට උත්සාහ දරන්නන් මන්දෝත්සාහි කිරීම නො ව අනෙක්‌ අය නව මඟක්‌ අත්හදා බැලීමට පෙලැඹවීමයි.)

ලාංකිකයෝ බුද්ධිමත් නො වෙත් ද? නිවන් අවබෝධ කර ගැනීමට තරම් සියුම් ඥානයක්‌ ඇති ලාංකිකයන්ට ගණිතය හා සෛද්ධාන්තික විද්‍යාව අවබෝධ කර ගැනීමට අපහසු ඇයි? වර්තමානය අමතක කළත් රුවන්වැලි මහ සෑය, ලෝවාමහාපාය, ජය ගඟ වැනි දෑ ඉදි කළ මුතුන් මිත්තන් එක ම සෛද්ධාන්තයක්‌ වත් අප වෙත ඉතිරි නො කළේ ඇයි? ලාංකිකයන් ක්‍රියා කරනුයේ අනිත්‍ය, දුඃඛ, අනාත්ම මෙනෙහි කරමින් අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමට ය. එදිනෙදා ජීවිතයේ දී අවශ්‍ය යමක්‌ සාදා ගන්නවා මිස ඒ ගැන ලෞකික සිද්ධාන්ත සාදා එහි එල්බ ගැනීමෙන් සසර දිගු කර ගැනීමට අප ගේ මුතුන් මිත්තන්ට අවශ්‍ය නො විණි.

එය එසේ නමුත් අප හට වැදගත් ම සිද්ධාන්ත ඉතිරි වී ඇත. ඒවා නිවනට පිවිසීම සඳහා ය. පරම න්‍යායයන් අප සතු ව පවතිද්දී ඊට අඩු මට්‌ටමක න්‍යාය ඉගෙනීමට අප සැබැවින් ම අදක්‌ෂ වන්නට ඇත. උදාහරණයක්‌ වශයෙන් පරමාර්ථ ධර්ම දන්නා අයට පරමාණුක භෞතිකය ගැන සිතීමේ අවශ්‍යතාවක්‌ නො තිබෙන්නට ඇත. ප්‍රත්‍යක්‌ෂයෙන් දන්නා අයට ද යමක්‌ අවබෝධ කර ගැනීමට න්‍යාය අවශ්‍ය නැත. එය ගහ දන්නා අයට කොළ කඩා පෑමකි.

දේශීය චින්තනය අද ගෝලීයකරණය නිසා දැඩි අවදානමකට ලක්‌ව ඇත. එය රැක ගත යුතු ය. අපි බටහිර සංස්‌කෘතිය තුළ, භෞතික යථාර්ථයක්‌ සෙවීම සඳහා ගොඩනැඟුණු සෛද්ධාන්ත ප්‍රගුණ කිරීමට දක්‌ෂයන් ද නො වෙමු. අප ගේ චින්තනය රැක ගැනීම සඳහා අපට බටහිර විද්‍යාව හා තරග කළ හැකි, අප ගේ හැකියාවන් මත ඔප් නැංවිය හැකි අප ගේ විද්‍යාවක්‌ අවශ්‍ය ය. එය සාම්ප්‍රදායික ලාංකීය චින්තනයට මඳක්‌ වෙනස්‌ වුවත් සාම්ප්‍රදායික ලාංකික චින්තනයේ පැවැත්මට අද එය අවශ්‍ය වී ඇත.

අප ගේ විද්‍යාව බටහිර විද්‍යාව මෙන් ආක්‍රමණකාරී නො වනු ඇත. කෙතරම් බලවත් වුවත්, අතීතයේ අපේ මුතුන් මිත්තන් විදේශ ආක්‍රමණවලින් රට ආරක්‌ෂා කළා මිස, වෙන රටවල් ආක්‍රමණය කොට අත්පත් කර ගැනීමට තැත් කළේ නැත. අප ගේ විද්‍යාව අතු ඉති ලියලමින් නො වැඩෙනු ඇත. පරම විද්‍යාව දැනටමත් අප සතු බැවින් ආරක්‌ෂක උපක්‍රමයකින් ඔබ්බට එය වැඩීම අවශ්‍ය නො වනු ඇත.

දැන් අපි අපට ගැලපෙන විද්‍යාවක්‌ ගැන කතා කරමු. මෙහි දී ද අපට හුරු මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමු. අප ගොඩනඟනා විද්‍යාව ලාංකිකයන්ට වැටහෙන, ඒ තුළ දැනුම නිර්මාණය කළ හැකි එකක්‌ විය යුතු ය. දැනට යම් පමණකට හෝ නිර්මාණය වී ඇති දැනුම, බටහිර නිර්ණායකයන්ට යට නො වී

රැක ගැනීමටත්, ඔප් නැංවීමටත් නව දැනුම නිර්මාණය කිරීමටත් යොමු විය යුතු ය. ඒ සඳහා අප බටහිර විද්‍යාත්මක ක්‍රමයට කොටු නො වී අප ගේ නිර්ණායක සාදාගත යුතු ය. අප නිර්ණායක සාදාගත යුත්තේ අප දැනුම විනාශ වන පරිදි නො ව ඒවා ආරක්‌ෂා වන පරිදි ය. බටහිර විද්‍යාත්මක ක්‍රමය ඇත්තේ බටහිර විද්‍යාව ආරක්‌ෂා කිරීමට මිස එය විනාශ කිරීමට නො වේ. බටහිර විද්‍යාත්මක ක්‍රමය යන්න ද වෙනස්‌ වන්නකි. විවිධ උගතුන් විසින් මත ඉදිරිපත් කරමින් එය කලින් කලට වෙනස්‌ කෙරෙයි. ඔවුන් එය වෙනස්‌ කරන්නේ ද ඔවුන් ගේ විද්‍යාව රැකෙන පරිදි ය. එය ක්‍රමයකට වඩා අර්ථකථනයකි.

පරමාර්ථ ධර්ම හා ත්‍රිලක්‌ෂණ පසුබිම් වූ චින්තනයක සිටින අපට කුමන විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කළත් ලෞකික න්‍යායක්‌ පිළිගත හැක්‌කේ සම්මුති සත්‍යයක්‌ පමණක්‌ ලෙස බව ද අප ගේ නිර්ණායක සෑදීමේ දී සිහි තබාගත යුතු ය. සම්මුති සත්‍යය මුළාවක්‌ ලෙස දැකීම අප ගේ ක්‍රමයයි. ආලෝකයේ වේගයට වැඩි වේගයෙන් යන අංශුවක්‌ සොයා ගැනීම අප මවිත නො කරන්නේ උපරිම වේගය ආලෝකයේ වේගය යයි යන්න අප ගේ දැනුම් පද්ධතිය තුළ සම්මුති සත්‍යයක්‌ වත් නො වන නිසා ය. ආලෝකයේ වේගය අභිබවන වේග ගැන ලාංකිකයෝ ඇති තරම් අසා ඇත.

න්‍යායක වලංගුභාවය එහි ප්‍රායෝගිකත්වයෙන් මැනීම වඩා සුදුසු ය. න්‍යායක ප්‍රයෝගිකත්වය ප්‍රායෝගික වූ තවත් න්‍යායක්‌ ගොඩනැඟීමට හේතු වීම වශයෙන් ද සලකා බැලිය යුතු ය. දැනුමේ ප්‍රායෝගිකත්වය ඉතා වැදගත් සාධකයකි. බටහිර විද්‍යාවේ ඉතිහාසය ගැන බලන විට, දැනුම ප්‍රායෝගිකව වැදගත් වීමට ආරම්භයේ දී ඉතා දීර්ඝ කාලයක්‌ ගත වී ඇත. අපට අප ගේ දැනුම ප්‍රයෝගිකව යොදාගැනීමට එතරම් කාලයක්‌ බලා සිටිය නොහැකි ය. ඉතිහාසය තුළ විද්‍යාව දියුණු වූ ආකාරය සලකා බැලීමෙන් අප ගේ දැනුම ප්‍රායෝගික කිරීමට ගත වන කාලය අඩු කරගත හැකි ය.

තිලක්‌ ලක්‌සිරි
(ඉංජිනේරු විද්‍යාවේදී - ගෞරව)

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය