ව්‍යාජ පුනර්ජනනීයත්වය හොඳින් හෙළිදරව් වනු ඇත්තේ ෆොසිල ඉන්ධන අහවර වූ දාට ය



මිට දශක කීපයකට පමණ පෙර සිට බලශක්‌ති අර්බුදය යන්න අතිශය වැදගත් මාතෘකාවක්‌ වී ඇත. විශේෂයෙන් විද්‍යාත්මක කතිකාවත්වල දී මේ මාතෘකාව සුවිශේෂී වේ. බලශක්‌ති සංරක්‍ෂණය, විකල්ප බලශක්‌ති ප්‍රභව සෙවීම, පුනර්ජනනීය බලශක්‌ති කෙරෙහි අවධානය වැඩි වීම ආදිය මේ සමග ම දැඩි කතාබහට ලක්‌ කෙරී ඇත. ඉතා සරලව ගත හොත් මේ බලශක්‌ති අර්බුදයේ ප්‍රධාන පැතිකඩ දෙකක්‌ ඇත. එකක්‌ නම් ෆොසිල ඉන්ධන තැන්පතු අවහිර වී යැම ය. අනෙක ෆොසිල ඉන්ධන දැවීම තුළ ගැනෙන ගෝලීය උණුසුම ඉහළ යැමේ අර්බුදය ය.

බටහිර යාන්ත්‍ර විද්‍යාවට අනුව ශක්‌තිය (Energy) යනු කාර්ය (Work) කිරීමේ හැකියාව ය. එය බලය සහ අදාළ විස්‌ථාපන දෛශිකය අතර තිත් ගුණිතයෙන් (Vector Dot product) මඟින් ලැබේ. ශක්‌ති වර්ග ගණනාවක්‌ ඇත. තාප ශක්‌තිය, විදුලි ශක්‌තිය ආදි වශයෙනි. යාන්ත්‍රික ශක්‌තිය, චාලක සහ විභව වශයෙන් නැවත බෙදේ. චාලක ශක්‌තිය යනු යම් ස්‌කන්ධයක්‌ සඳහා යම් වේගයක්‌ ලබා දුන් විට එම චලනය නිසා එහි ඇති ශක්‌තියයි. මේ ශක්‌තිය ලබා දීමට එම ස්‌කන්ධය මත කාර්ය කළ යුතු ය. මෙසේ ම යම් මට්‌ටමකට සාපේක්‌ෂව ඉහළට එසැවූ ස්‌කන්ධයක ද (ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය) ශක්‌තියක්‌ ඇත. එනම් එය එම මට්‌ටමට එසැවීමට ඒ සඳහා යෙදිය යුතු කාර්ය ය. දුන්නක්‌ වැනි දෙයක්‌ ඇදීමේ දී ද මෙසේ එහි විභව ශක්‌තිය තැන්පත් කෙරේ. මෙසේ මේ "කාර්ය" යන්න විවිධ ශක්‌ති ප්‍රභේද ලෙස පවතී. තව ද මේවා එකිනෙකට හුවමාරු විය හැකි ය. තාප ගති විද්‍යාවේ පළමු නියමයෙන් කියෑවෙන්නේ මේ ශක්‌ති ප්‍රමාණ යම් සංවෘත පද්ධතියක්‌ ගත් කල සැම විට ම නිශ්චිත අගයන් ගන්නා බව ය. තාප ගති විද්‍යාවේ දෙවැනි නියමයෙන් ශක්‌ති හුවමාරුව පිළිබඳව ද යම් කොන්දේසියන් ඉදිරිපත් කෙරේ. එහි දී සඳහන් වන්නේ තාප ශක්‌තිය චක්‍රීය ක්‍රියාදාමයක්‌ මඟින් වෙනත් ශක්‌තියක්‌ බවට මුළුමනින් ම පෙරැළිය නොහැකි බව ය. එනම් යම් චක්‍රීය ක්‍රියාදාමයක්‌ තුළ ක්‍රියා කරන පද්ධතියකට බාහිරින් තාප ශක්‌තිය ලබා දෙමින් ඉන් දිගට ම පිටතට යාන්ත්‍රික (හෝ වෙනත්) ශක්‌තියක්‌ ලබාගත නොහැකි ය. මෙහි දී මේ පද්ධතියට ලබා දෙන තාප ශක්‌තියෙන් කොටසක්‌ එම ලබා දෙන උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක දී පද්ධතියෙන් බැහැර කළ යුතු ම ය. මේ සඳහා හොඳ ම උදාහරණය අභ්‍යන්තර දහන ඇන්ජිම ය. එහි දී තෙල් දහනයෙන් ජනනය වන තාප ශක්‌තියෙන් කොටසක්‌ පමණක්‌ යාන්ත්‍රික ශක්‌තිය බවට පෙරැළේ. ඉතිරිය තාපය ලෙස ඇන්ජින් සිසිලනය සහ දුම් ලෙස පිට වේ. එහෙත් යාන්ත්‍රික සහ අනෙක්‌ ශක්‌ති විශේෂ තාපය බවට නම් මුළුමනින් ම පෙරැළිය හැකි ය. ගමන් කරන වාහනයක තිරිංග යෙදූ විගස එහි අඩංගු ව තිබූ චාලක ශක්‌තිය තිරිංග පද්ධතියේ තාප ශක්‌තිය බවට පෙරැළේ.

සෛද්ධාන්තිකව ගත් කල විදුලි ශක්‌තිය සහ යාන්ත්‍රික ශක්‌තිය එකකින් අනෙකට මුළුමනින් ම පෙරැළිය හැකි ය. මේ අනුව තාප ශක්‌තියට වඩා යාන්ත්‍රික, විදුලි ආදි ශක්‌ති ප්‍රභේද ගුණාත්මක භාවයෙන් ඉහළ ලෙස සැලකේ. අපට මේ ලෝකයේ සංචිත වශයෙන් ලැබී ඇති ෆොසිල ඉන්ධන දැවීමෙන් ලැබෙන්නේ තාප ශක්‌තිය ය. අනතුරුව අප ඒවා අභ්‍යන්තර දහන ඇන්ජින් වැනි මෙවලම් මඟින් යාන්ත්‍රික (අවශ්‍ය නම් අනතුරුව විදුලි ජනක මඟින් විදුලිය බවට) ශක්‌තිය බවට පරිවර්තනය කර ගත යුතු ය. මෙහි දී පරිසරයට තාපයක්‌ මුදා හැරෙන අතර කාබන්ඩයොක්‌සයිඩ් වැනි වායුන් ද මුදා හැරේ. වායුගෝලය උණුසුම් වන්නේ මේ නිසා ය.

නූතන සංවර්ධන රාමුව තුළ සියලු ම පාහේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන්නේ විදුලි ශක්‌තියයි. එහි දී ප්‍රධාන වශයෙන් ෆොසිල ඉන්ධන දැවීමෙන් මේ විදුලිය ශක්‌තිය නිපැදේ. ෆොසිල ඉන්ධන යනු වසර මිලියන ගණන් තුළ පොළොවේ තිබූ ශාක, සත්ත්ව කොටස්‌ විවිධ ක්‍රියාවලිවලට භාජන වීමෙන් සෑදුණු ද්‍රව්‍යයකි. අපි දැන් වසර 150-200ක පමණ කාලයක සිට මේ ෆොසිල ඉන්ධන මිනිස්‌ ඉතිහාසයේ කෙදිනක වත් නො වූ විරූ ලෙස ගොඩගසමින් සහ පුළුස්‌සමින් සිටිමු. නූතන සංවර්ධන රාමුව මුළුමනින් ම රඳා පවතින්නේ මේ ඛනිජ තෙල් දහනය මත ය. ඛනිජ ද්‍රව්‍ය පුළුස්‌සමින් ක්‍රියාත්මක වන මේ සමස්‌ත සංවර්ධන රාමුවට තවමත් සමස්‌ත ඉතිහාසයේ හිමි වන්නේ අසුරු සැණක්‌ බඳු කාලයකි. මේ අසුරු සැණෙහි අපි ඇස්‌ නිලංකාර කරගෙන සිටිමු. වසර මිලියන ගණනක්‌ සූර්ය ශක්‌තිය ලෙස පොළොවේ සංචිත වූ ඉන්ධන අපි වසර 150-200ක්‌ වැනි කාලයක්‌ තුළ නිමාවේ සීමාව පෙනෙන ඉම තෙක්‌ පුළුස්‌සමින් සිටිමු. ඉතින් මෙහි ඇති තිරසාර බවක්‌ වේ ද? මෙයට අපට සංවර්ධන යෑයි කිව හැකි ද? මේ තෙල් පිළිස්‌සීම හා පංෙච්න්ද්‍රියන් පිනවීම අතීතයෙන් ණයට ගෙන අනාගත පරපුරට ද ඉන්න හිටින්නට තැනක්‌ අහිමි කෙරුමට වැඩි දෙයක්‌ නො වේ. අප අද බලශක්‌ති අර්බුදය ලෙස දකින්නේ මේ සීමාන්තික පංෙච්න්ද්‍රිය පිනවීම සඳහා ෆොසිල ඉන්ධන පිළිස්‌සීමේ අර්බුදය ය. පෙර සඳහන් කළ පරිදි එය දෙයාකාර ය.
ෆොසිල ඉන්ධන දැවීමෙන් කර ගන්නා කටයුතු එලෙස ම කර ගැනීමට අද අපි විකල්ප සොයමින් සිටිමු. එහෙත් ෆොසිල ඉන්ධන දැවීම මත පදනම් වූ මේ සංවර්ධන රාමුව ප්‍රශ්න නො කරමු. මේ සංවර්ධන රාමුව මෙලෙස ම පවත්වා ගැනුමට තිරසර මං සොයමු. තිරසාර බවත් අහලක වත් නොමැති ව බිහි වූ සංවර්ධනයක්‌ තවදුරටත් කර ගසාගෙන යැමට තිරසාර ක්‍රමවේද කොයින් සොයන්න ද?
ෆොසිල ඉන්ධන සීමාන්තිකව දැවීම මත පදනම් වූ නූතන සංවර්ධන රාමුව (දිවි පැවැත්ම) කෙතරම් නිවැරැදි ද? සාධාරණ ද? ආදිය පිළිබඳව විමසිලිමත් නො වී අද අපි එම කටයුතු අඩු ඉන්ධන දැවීමක්‌ මඟින් කර ගැනීමට බොහෝ සේ මහන්සි වෙමු. C.F.L බල්බ, Hybrid වාහන ආදී මෙකී නො කී මෙවලම් බිහි වන්නේ මේ උත්සාහයන්හි ප්‍රතිඵල ලෙස ය. එහෙත් මේ සියල්ල යොමු වී ඇත්තේ අවසානයේ ෆොසිල ඉන්ධන භාවිතය අඩු කෙරුම කෙරෙහි පමණ ය. එහෙත් ඇත්තට ම එම මෙවලම් නිෂ්පාදනය, ප්‍රමාණය, ආදිය සහ ඒවාට වැය වන තෙල් ප්‍රමාණ ආදිය ද සැලකිල්ලට ගත හොත් මෙමඟින් ඇත්තට ම පිළිස්‌සෙන තෙල් ප්‍රමාණ අඩු වී ඇත් ද යන්න ද ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් මේවා නිෂ්පාදනයේ දී යොදාගන්නා ද්‍රව්‍ය නිසා වන බලපෑම් අප දන්නේ ද? ෆොසිල ඉන්ධන දහන කාර්යක්‍ෂමතාව වැඩි කෙරුමේ දී පරිසරයට දිගුකාලීනව වන බලපෑම් මොනවා ද? බලශක්‌ති අර්බුදය නමැති කඩතුරාව ඉදිරියේ අනෙක්‌ සියලු ම ගැටලු මඟහැරී ඇත.

අනෙක්‌ අතට අද ෆොසිල ඉන්ධන සීමාන්තිකව දහනය කර පංෙච්න්ද්‍රිය පිනවීම වුව අදාළ වන්නේ ලෝකයේ කීයෙන් කී දෙනාට ද? අවම වශයෙන් විනාශය පෙනි පෙනී වුව සමස්‌ත ලෝකවාසීන්ට ම මේ කාලකන්නි සංවර්ධනය වුව ලබා දීමට මේ තාක්‍ෂණයට හැකි ද? අද ලෝකය ක්‍රියාත්මක වන්නේ වෙළෙඳාම මත ය. පාරිසරික, භෞතික, පද්ධතිය පිළිබඳව එහි දී වැදගත් නැත. ඒවා වැදගත් වන්නේ ද වෙළෙඳාමට ඉන් බලපෑමක්‌ වන්නේ නම් පමණි. ෆොසිල ඉන්ධන භාවිතය අඩු කෙරෙන තාක්‌ෂණයන් වුව ඉදිරිපත් කෙරෙන්නේ වෙළෙඳාමට ගැලපෙන පරිදි ය. එම නිසා එමඟින් පෙර සඳහන් කළ පරිදි සමස්‌ත ලෝක ජෛව පද්ධතියට වන බලපෑම කවරක්‌ දැයි නිශ්චිත නැත.

"තිරසර" යන්න ද අද ඉතා ජනප්‍රිය වචනයකි. එහෙත් සැබැවින් ම තිරසර යනු කුමක්‌ ද? "හරිත" යන්න ද එවැන්නකි. අද බටහිර ලෝකයේ මේ වදන් භාවිත කෙරෙන්නේ ඛනිජ තෙල් (ෆොසිල ඉන්ධන) අඩුවෙන් භාවිත කෙරෙන දෑ සඳහා ය. ලෝකයේ අතිශය සුළු පිරිසකට හෝ මේ සංවර්ධනයේ ඵල තවත් සෑහෙන කාලයක්‌ භුත්කි විඳීමට නම් සෙසු ලෝකයා ෆොසිල ඉන්ධන භාවිතය අඩු කළ යුතු ය. එසේ නොමැති වුව හොත් එක්‌ අතකින් ෆොසිල ඉන්ධන අහවර වනු ඇති අතර අනෙක්‌ අතින් වායුගෝල උණුසුම වැඩි වී ලෝකය ම වැනසෙනු ඇත. ඉතින් මේ තිරසර බව, හරිතවත් බව ආදිය ඇති කෙරුමට උත්සාහ ගැනුමේ දී ලොව අනෙක්‌ සම්පත්වලට, පරිසර පද්ධතිවලට සිදු වන්නේ කවරක්‌ ද යන්න මේ බටහිර ලෝකයට වැදගත් නැත.

මේ කෙසේ වුවත් "තිරසර පැවැත්ම" සඳහා අපට අපේ පැරැණි, වසර දහස්‌ ගණනක්‌ පැවැති එසේ ම අදටත් ඇතැම් තැන්වල පවතින සංවර්ධන ජීවන රාමුව/ඉංජිනේරු සම්ප්‍රදාය තුළින් කදිම නිර්වචනයක්‌ ඉදිරිපත් කළ හැකි ය. එහි දී තිරසාර පැවැත්ම යනු ඉර-හඳ පවතින තුරු පැවැත්ම ය. ඉරේ සහ හඳේ බලපෑමත්, පසෙහි වෙසෙන විවිධ ජීවීන් මඟින් සහ පසෙහි වැඩෙන තුරු වැල් මඟින් මේ තිරසර බව සුරැකේ. මේ තිරසාර බවට හේතු වන්නේ ඉහත ක්‍රියාවලි තුළ අදාළ පරිසර පද්ධතියේ චක්‍රීයත්වය (Cyclisity) ක්‍රියාත්මක වීම ය. එය නූතන ජලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය වැනි පිටින් බල ශක්‌තිය ලබා දී කෙරෙන කෘත්‍රිම චක්‍රීයත්වයක්‌ නො වේ. මෙය සිදු වන්නේ ඉර-හඳ වර්තමාන බලපෑම හේතු කරගෙන ය. පසෙහි වැඩෙන ශාක මඟින් සියලු සතුනට අවශ්‍ය ප්‍රධාන දෑ සැපයෙන අතර මිනිසා ඇතුළු සියලු සතුන් ගේ ක්‍රියා කලාපයන් නිසා ඉතිරි වන බැහැර ලන දෑ නැවත පරිසරයේ වෙසෙන ක්‍ෂද්‍රජීවීන් මඟින් ප්‍රතිචක්‍රීයරණය වේ. අපේ වැඩකටයුතු මේ සීමාව තුළ පවත්වා ගත හොත් එය සැබෑ තිරසාර පැවැත්මකි. මේ තිරසාර පැවැත්ම සියයට සීයයක්‌ අද එකවර ම ක්‍රියාත්මක කළ නොහැකි වනවා විය හැකි ය. එහෙත් අද අපට අපේ පැරැණි වැව් ආශ්‍රිත එල්ලංගා පද්ධතිය පැවැති (දැනටත් පවතින) ජීවන රටාව සහ පාරිසරික ක්‍රියාවලිය අධ්‍යනයෙන් මේ චක්‍රියත්වය පිළිබඳ සෑහෙන වැටහීමක්‌ ලද හැකි ය. එමඟින් අද ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක තිරසාරභාවය පිළිබඳව අදහසක්‌ ලද හැකි ය. එනම් මේ නව ව්‍යාපෘති කොපමණ ප්‍රමාණයට චක්‍රීයත්වය තුළ ඇත් ද යන්න නිගමනය කළ හැකි ය.

අද ඇත්තට ම ඕනෑ ම ව්‍යාපෘතියක්‌ සම්බන්ධයෙන් ගත් කල අප විමසිය යුත්තේ ඒ සඳහා ෆොසිල ඉන්ධන කොපමණ භාවිත කෙරෙනවා ද යන්නට වඩා එය කොපමණකින් චක්‍රීයත්වය තුළ පවතිනවාද යන්න ය. ෆොසිල ඉන්ධන භාවිතය අවම කෙරුම පමණක්‌ අද කොහෙත් ම ප්‍රමාණවත් නැත. වැදගත් වන්නේ චක්‍රීයත්වයයි. තිරසාර පැවැත්ම සඳහා අවශ්‍ය වන්නේ එයයි.

චක්‍රීයත්වය යන්න ඉතා සරලව ගත් කල මෙලෙස දැක්‌විය හැකි ය. එනම් සොබාවික ජල චක්‍රය, වාත චක්‍රය ආදිය තුළ එමෙන්ම ඉර හඳේ බලපෑම් තුළ යම් පරිසර පද්ධතියක ඇති ද්‍රව්‍ය (සම්පත්) කාලය සමග කොපමණ ප්‍රමාණයකට ස්‌ථානීයව සහ ගුණාත්මකව වෙනස්‌ නො වී (චක්‍රීයත්ව වෙනස්‌ වෙමින්) පවතී ද යන්න ය.

මෙහි දී යම් ක්‍රියාවලියක දී වැය කෙරෙන බලශක්‌තිය පමණක්‌ සැලකීම ද ප්‍රමාණවත් නැත. උදාහරණයක්‌ ලෙස යම් පරිසර පද්ධතියක ඇති වියළීමක්‌ (Drying) සඳහා එහි ඇති පසෙහි ජීවී බවට තර්ජනයක්‌ වන ගසක දැව භාවිත කළ හොත් වැය වන දැව කිලෝග්රෑම් ගණනට වඩා එහි ම (එම පරිසර පද්ධතියේ ම) ඇති පසෙහි ජීවී බව වඩවාලන ගසක දැව කිලෝග්රෑම් ගණන වැඩි වූයේ යෑයි සිතන්න. එහෙත් මෙහි දී අප හුදු දැව කිලෝ ගණනට සීමා නො වී පද්ධතියේ චක්‍රියත්වය (තිරසාර භාවය) පිළිබඳව සැලකිය යුතු ය. පද්ධතියක තිරසාර බව (චක්‍රීයත්වය) පිළිබඳව සැලකීමේ දී එහි පසෙහි ජීවී බව රඳවා ගැනීම අතිශය වැදගත් සාධකයකි. අපේ පැරැණි වැව් පද්ධතිය සහ අනෙකුත් ජල කළමනාකරණ විධි ක්‍රම සියල්ල යොමු කෙරී ඇත්තේ පසෙහි ජීවී භාවය සුරැකීම වෙනුවෙනි.

මේ චක්‍රීයත්වය යන්න වැදගත් වන්නේ අපේ මුතුන් මිත්තන් ඒ තුළ ජීවත් වූ නිසා ම නො වේ. අප මිනිසුන් ලෙස ලෝ වැසි සියලු සත්ත්වයන් ගේ වර්තමාන මෙන්ම අනාගත යහ පැවැත්ම පිළිබඳව ද සැලකීමට තරම් සදාචාර සම්පන්න නම් සහ කරුණික නම් ඒ සඳහා අප විසින් අප ගේ ජීවිත මේ ලෝක පරිසරය තුළ පවත්වා ගත් අයුරු පිළිබඳව කදිම ආදර්ශයක්‌ ඒ මඟින් සැපයෙන නිසා ය.

දැනට ඇති බලශක්‌ති අර්බුදය වූ කලී කිසි ලෙසකින් වත් තිරසාර නො වූ බලශක්‌ති සංචිතයක්‌ භාවිතය මත ගොඩනැඟුණ ජීවන පැවැත්මත් (සංවර්ධන රාමුවත්) එකී තිරසාර නො වූ බලශක්‌ති සංචිතය අවසාන වීමත් සමග අර්බුදයට යැමත් පිළිබඳව වන්නකි. මේ ෆොසිල ඉන්ධන සංචිත පිළිස්‌සීම ඇරඹීමට පෙර මෙලොව බලශක්‌ති අර්බුදයක්‌ තිබුණේ නැත.

ෆොසිල ඉන්ධන මත ගොඩනැඟුණ මේ සංවර්ධන රැල්ල වර්තමානයේ භාවිත කෙරෙන පුනර්ජනන බලශක්‌ති (Renewable Energy) මඟින් පවත්වාගත නොහැකි ය. දැනට මේ පුනර්ජනන බලශක්‌තිය ක්‍රියාත්මක වන්නේ තිරය පිටුපස සිට ෆොසිල ඉන්ධන මඟින් ලබා දෙන්නා වූ විශාල පිටුබලයන් නිසා ය. ඒවා හුදු බලශක්‌ති ලෙස පුනර්ජනනීය ලෙස පෙනී ගිය ද ඒ සඳහා අවශ්‍ය අනෙක්‌ සියලු අංගෝපාංග සමග ගත් කල ඒවා පුනර්ජනනීය නැත. මෙහි දී ෆොසිල ඉන්ධනවලට අමතරව තවත් විශාල සම්පත් ප්‍රමාණයක්‌ ද පුනර්ජනනීය (චක්‍රීය) නො වන ලෙස වැය වේ. මේ ව්‍යාජ පුනර්ජනනීයත්වය හොඳින් හෙළිදරව් වනු ඇත්තේ ෆොසිල ඉන්ධන අහවර වූ දාට ය. එවිට අපට සැබෑ ලෙසට ම චක්‍රීයත්වය තුළ ජීවත් වීමට සිදු වනු ඇත. මේ ලොවේ සැබෑ චක්‍රීයත්වයට වින කෙරී ඇත්තේ ෆොසිල ඉන්ධන මඟිනි. ඒ නිසා ඒවා අවහිර වීමත් සමග නැවත චක්‍රීයත්වය තුළට යැමට අපට සිදු වනු ඇත. එදාට ෆොසිල ඉන්ධන සමග ම උපත ලද බලශක්‌ති අර්බුදය පිsළිබඳ කතිකාවත ද අවසාන වනු ඇත.

කපිල පීරිස්‌

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය