ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොම


එක්‌තරා ගොවියෙක්‌ කිරි මුට්‌ටියක්‌ කදක බැඳගෙන ගමනක්‌ යැමට පිටත් වූයේ ය. අතරමඟ දී ගසක අත්තක වැදී මේ මුට්‌ටිය බිඳිණි. එහෙත් ගොවියා නතර නො වී ඉදිරියට ම ගියේ ය. ඔහුට අතරමඟ දී මිතුරු ගොවියකු හමු විය. කිරි මුට්‌ටිය බිඳී ඇති බව නො දැන මේ තැනැත්තා ඉදිරියට යනවා යෑයි සිතු අනෙකා ඔහුට කතා කර මෙසේ කීවේ ය.

"ඔබේ කිරි මුට්‌ටිය බිඳිලා"

"මං දැක්‌කා" කිරි මුට්‌ටිය හිමි ගොවියා උත්තර දුන්නේ ය.

"ඒත් මං හිතුවෙ ඔබ එය දන්නේ නැහැ කියායි. ඔබේ මුහුණේ කණගාටුවක පෙනුමක්‌ වත් නැහැ නේ. කිසි ම දෙයක්‌ නො වුණ විදිහට නේ ඔබ ඉදිරියට යන්නේ."

සිනහවක්‌ පාමින් ගොවියා මෙසේ කීවේ ය. "කිරි මුට්‌ටිය බිඳිල ඉවරයි නෙ. ඒ නිසා ඒ ගැන දුක්‌ වීම නිෂ්ඵලයි. යමක්‌ සිදු වීමෙන් පසු දුක්‌ වීම වැඩකට ඇති දෙයක්‌ නො වෙයි. කිරි මුට්‌ටිය බිඳීමෙන් යම් පාඩුවක්‌ වුණු බව ඇත්ත. මං දුක්‌ වුණා කියල කිරි ආයෙ ලැබෙනව ද? නැහැ නේ. කිරි නැති වීම ස්‌ථිරව ම සිදු වුණා. ඊට අමතරව ඒ ගැන දුක්‌ වෙමින් කාලය නාස්‌ති කළොත් මට තව පාඩු වෙනවා. ඒ නිසා ඒ ගැන දුක්‌ වීම තේරුමක්‌ නැහැ."

මේ චීන ජනකතාව අපට කියා දෙන සරල පාඩම නම් යම් පාඩුවක්‌ වූ විට ඒ ගැන තැවි තැවී හිඳීම නිෂ්ඵල බවයි. මෙහි පැනෙන ගොවියා මුහුණ දුන් ප්‍රශ්නය එතරම් බැරෑරුම් එකක්‌ නො වේ. එය කිරි මුට්‌ටියක්‌ බිඳී යැමකි. කිරි මුට්‌ටියක මිල වැඩි ම වුව හොත් රුපියල් 200ක්‌ වනු ඇත. එනිසා කෙනකු මෙසේ තර්ක කරන්නට ඉඩ ඇත.

"කිරි මුට්‌ටියක්‌ බිඳී යැම වගේ පොඩි දෙයක්‌ අමතක කළ හැකි වුණත් අපට සිදු වන ලොකු පාඩු අමතක කරන්නේ කොහොම ද? විශේෂයෙන් ම ආදරය අහිමි වීම, විභාග අසමත් වීම වගේ දේ එහෙම ලේසියෙන් නො සලකා ඉන්නේ කොහොම ද?"

මෙහි කිරි මුට්‌ටිය යනු භෞතික කිරි මුට්‌ටියක්‌ පමණක්‌ ම නො වේ. එය එක්‌ අතකින් සංකේතයකි. කිරි මුට්‌ටිය සෞභාග්‍යයේ, සශ්‍රීකත්වයේ, වාසනාවේ සංකේතයකි. කිරි මුට්‌ටිය බිඳී යැම යනු ආර්ථික අලාභයක්‌ වීම පමණක්‌ නො වේ. එය වාසනාව ද අහිමි වීමකි. විශාල ව්‍යවසනයක දී වුව ද ඉක්‌මනින් හිත හදාගත යුතු බව මේ කතාව අපට කියා දෙයි.

අනෙක්‌ අතට ප්‍රශ්නවලට මුහුණ දෙන එක ම ක්‍රමය ප්‍රශ්නය අමතක කිරීම නො වේ. ප්‍රශ්නයේ ස්‌වභාවය අනුව ඊට මුහුණ දිය යුතු වේ. සමහර ප්‍රශ්නවලට නො තැවී විසඳුම් සෙවීමේ නිරත විය යුතු ය. සමහර ප්‍රශ්නවලට විසඳුම් දෙන්නට කාලයට ඉඩ දිය යුතු ය. සමහර ප්‍රශ්න සමග ගැටිය යුතු ය. තවත් සමහර ප්‍රශ්න සමඟ නො ගැටිය යුතු ය.

යොවුන් වියේ දරු දැරියන්ට පොදුවේ ඇති ප්‍රශ්න කීපයක්‌ පහත දැක්‌වේ.

i. පාඩම් අමතක වීම.

ii. මාපිය ආදරය අහිමි වීම.

iii. පෙම්වතා පෙම්වතිය සම්බන්ධ ගැටලු.

iv. සෙසු අය ගෙන් සිදු වන පීඩා

v. ආර්ථික ප්‍රශ්න.

vi. ලිංගික හා මානසික අතවර.

vii. රෝග.

viii. ඇසුරට සුදුසු අය නොමැති වීම.

ix. ලිංගික ගැටලු.

පාඩම් කරන දේ අමතක වීම පාසල් වියේ දරු දැරියන් මුහුණ දෙන සුවිශාල ගැටලුවකි. මේ පිළිබඳ සවිස්‌තර උපදේශනාත්මක ලිපියක්‌ විදුසර පසුගිය කලාපයක (ජූනි 22) පළ වූ හෙයින් ඒ ගැන ලොකු විස්‌තරයක්‌ මෙහි දී නො කෙරෙයි.

පාඩම් අමතක වීම ගැන මැසිවිලි නඟන බොහෝ දෙනකු තුළ පවතින සමාන්තර ගැටලුවක්‌ වන්නේ ආදරය පිළිබඳ ගැටලුව ය. විශේෂයෙන් ම පාසල් වියේ ගැහැනු ළමයින් තුළ ආදරය සම්බන්ධ මානසික, සමාජීය හා කායික ගැටලු බහුලව බලපවත්නා බව පෙනේ. ගැහැනු ළමයින්ට පවත්නා මෙවැනි පොදු ගැටලුවක්‌ වන්නේ තමන්ට විශේෂයෙන් ආදරය දක්‌වන පුද්ගලයකු තමා අමතක කළ විට එය දරා ගැනීම අපහසු වීමයි. එයට මූලික හේතුව වන්නේ ගැහැනු ළමයින් පිරිමින්ට සාපේක්‌ෂව ආදරය ගැන වැඩි විශ්වාසයක්‌ තැබීම විය හැකි ය.

ආදරය සම්බන්ධ අධ්‍යයනයන්හි දී පෙනී ගොස්‌ ඇත්තේ ගැහැනු ළමයින් පිරිමි ළමයින්ට සාපේක්‌ෂව ආදරය මත වැඩියෙන් යෑපෙන බවයි. එනිසා ම ආදරයෙන් පැරැදීම ඔවුනට වැඩි වේදනාවක්‌ ගෙන දීමට හේතු වනවා විය හැකි ය. Jeama Bryner විසින් 2007 දී කරන ලද අධ්‍යයනයක දී හෙළි වූයේ කාන්තාවන් (ගැහැනු ළමයින් ද ඇතුළුව) සබඳතාවලට යොමු වන්නේ ආදරය හා රැකවරණය පතමින් වුව ද පිරිමින් සබඳතාවලට යොමු වන්නේ බහුලව ම ලිංගිකත්වය පදනම් කරගෙන බවයි. පිරිමින් ආදරවන්තියක තෝරා ගැනීමේ දී බොහෝ විට මුල් තැන දෙන්නේ ලස්‌සනට (ශරීරයේ) හා ලිංගික ආකර්ෂණයට බව එම අධ්‍යයනය පවසයි. එහෙත් ගැහැනු යහපත්, ආදරණීය සහකරුවකු, (හොඳ රැකියාවක්‌ කරන, හොඳට ඉගෙන ගත්) පතති. ගැහැනු ළමයි තම ආදරවන්තයා විසින් අතහැර දමනු ලබන අවස්‌ථාවක දී ඉතා අසරණ වන අතර සාමාජීය හා කායික ගැටලුවලට අමතරව මානසික ගැටලුවලට ද උග්‍ර ලෙස ගොදුරු වෙති.

අහිමි ආදරය අමතක කරන්නේ කොහොම ද?

ගැහැනු ළමයකුට වුවත් පිරිමි ළමයකුට වුවත් අහිමි ආදරය අමතක කිරීමට පහත දැක්‌වෙන ක්‍රියාකාරකම්වල නිරත විය හැකි ය. එහෙත් එසේ අමතක කළ යුතු වන්නේ ආදරය පිළිසකර කර ගැනීමට යොදන ලද උත්සාහයන් සියල්ල අසාර්ථක වූ පසු ය.

* තමා හැර ගිය තැනැත්තා/ තැනැත්තියට වඩා වටිනා කෙනකු තමාට අනාගතයේ දී ලැබේ යෑයි සිතීමට උත්සාහ ගන්න.

* ඔබ පාසල් වියේ පසු වන්නකු නම් ඔබ මුලින් ම සිතිය යුතු වන්නේ පාසල් සමයේ ප්‍රේමය අහිතකර දෙයක්‌ බවත් එමඟින් සිදු වන යහපතට වඩා අයහපත වැඩි බවත් ය. එනිසා ඔබේ හිතවතා/හිතවතිය ඔබ හැර යැම ඔබේ හොඳට ම සිදු වූවක්‌ බව සිතන්න.

* ඔබ ඔහුට/ඇයට ආදරය කළේ ඇයි දැයි අසාගන්න. ඔබ ඒ කෙනා ගේ රුවට ආදරය කළේ නම් යළි ඒ රුව මතකයට ගෙන ඒ රුවෙහි ඇති අඩුපාඩුවක්‌ සොයා ගන්නට උත්සාහ ගන්න. මෙය එක්‌ අතකින් ඔබේ සිත රවටා ගැනීමක්‌ යෑයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මෙවැනි පොඩි පොඩි රවටා ගැනීම්වලින් පවා ඔබට යම් සහනයක්‌ ලැබේ.

* අහිමි ආදරය අමතක කිරීමේ තවත් ඵලදායි ක්‍රියාමාර්ගයක්‌ වන්නේ ඒ අත්දැකීම්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීමයි. ලොව බිහි වූ විශිෂ්ට නිර්මාණ අතර සැබැවින් ම ප්‍රේමය අහිමි වූවන් ගේ අත්දැකීම් බහුල ය. කවි, කෙටිකතා, නවකතාවලට පමණක්‌ නො ව චිත්‍ර මූර්තිවලට ද මේ අහිමි ප්‍රේමයේ අනුභූති එක්‌ කරන්න.

* නිර්මාණයක අරමුණ ඇති ව හෝ නැති ව ඇයට/ඔහුට ඔබ තුළ ඇති ආදරය ලියන්න. එසේ ම ඔහු ඇය අහිමි වීමෙන් ඔබට ඇති වූ දුක ද ලියන්න. ඒවා ලියා පෙට්‌ටගමකට හෝ කුඩා පෙට්‌ටියකට හෝ දමා අගුලු ලන්න. මේ විධියට ම පැරැණි ආදරයට ද තමන්ට අගුලු ලන්නට වුවමනා බව සිතට කියන්න. අවුරුදු ගණනකට පසු මේ පෙට්‌ටගම විවෘත කළ විට ඇතැම් විට ඔබට ම හිනා යන්නට ඉඩ තිබේ.

* අහිමි වූ ආදරවන්තයා/ආදරවන්තිය වෙනුවෙන් කිසි දිනක දිවි නසා ගන්නට, ශරීරයට තුවාල කරගන්නට හෝ නො කා නො බී ඉන්නට එපා. එයින් ඔබට වන සෙතක්‌ නොමැත.

* අහිමි ආදරයට/වියෝ දුකට හොඳ ම ඔසුවක්‌ වන්නේ කාලයයි. සාමාන්‍යයෙන් සංකීර්ණ ආදරයක මතකය පවා යම් කලකට පසු අමතක ව යයි. අඩු ම වශයෙන් වේදනාව හෝ තුනී වී යයි. ඔබට මෙය විශ්වාස කළ නොහැකි නම් මරණයක දී ළඟ ම ඥතීන්, තමන්ට ද ජීවත් වී පලක්‌ නැතැයි කියමින් විලාප දී හඬා වැටෙන ආකාරයත්, වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් සුපුරුදු ආකාරයට සමාජය තුළ ප්‍රසන්නව හැසිරෙන ආකාරයත් නිරීක්‌ෂණය කරන්න. පසුව ඔවුන් එවැනි හැසිරීමක්‌ පෙන්වන්නේ ඔවුන් ගේ අකෘතඥ බවක්‌ නිසා නො ව, කාලයත් සමග සොබාදහමින් ඉබේට ම ඔවුන් ගේ මනස්‌ සුවපත් කර ඇති නිසා ය.

* මෙවැනි දුක්‌ සහගත මතකයන් මර්දනයට තවත් හොඳ පිළියමක්‌ වන්නේ භාවනාවයි. විවිධ භාවනා ක්‍රම ඇත. එයින් ඔබට සුදුසු එකක්‌ තෝරාගත හැකි ය. භාවනාව ආගමකට සීමා වූවක්‌ නො වේ. භාවනා කිරීමෙන් ඔබේ ආගමික විශ්වාසයන්ට බාධාවක්‌ සිදු නො වේ. භාවනා පිළිබඳව ලියෑවී ඇති පොතපත කියවන්න. දේශනවලට සවන් දෙන්න. වැඩමුළුවලට සහභාගි වන්න. (ඉදිරි කලාපයක, මනසට සුව සලසන භාවනා ක්‍රම ගැන ලිපියක්‌ පළ කිරීමට බලාපොරොත්තු වෙමු).

* වෙනත් ඉලක්‌කයක්‌ ගොඩනඟා ගන්න. ඔබ අහිමි වූ කෙනා ගැන නො කා නො බී තැවෙන්නේ ඔබ ගේ එක ම ඉලක්‌කය ඔබ ගේ සියලු ආරම්මණයන් ගේ කේන්ද්‍රය ඔහු හෝ ඇය හෝ වූ බැවිනි. මේ නිසා වහා ම ඉලක්‌ක අලුතෙන් හඳුනා ගන්න. එක්‌කෝ පාඩම් වැඩ ගැන, ඔබ කරන්නට යන රැකියාව ගැන, අනාගතයේ දී ලියන පොත, කරන උපාධිය, විදේශගත වීම, උසස්‌ අධ්‍යාපනය, නිවසක්‌ / ඉඩමක්‌ ගැනීම වැනි දෙයක්‌ ගැන වහා ම කටයුතු අරඹන්න.

* ඒ මොහොතේ පමණක්‌ ජීවත් වීම (Live in Present) පුරුදු පුහුණු වන්න. එය ඔබට අහිමි ආදරය අමතක කරන්නට පමණක්‌ නො ව තව බොහෝ ගැටලුවලට ද විසඳුමකි. මේ ගැන පසු ලිපියකින් තවදුරටත් විස්‌තර කතා කරමු.

* ඕනෑ ම ඇලීමක්‌ වියෝවකින් කෙළවර වීමේ අවදානමක්‌ ඇති බව කල් තබා ම දැන සිටින්න. එවිට හදිසි වෙනස්‌ වීමක දී ඔබට දැනෙන කම්පනය අඩු ය.

* පෙම්වතා / පෙම්වතිය අහිමි වීම වෙනුවෙන් දිවි නසා ගත යුතු යෑයි ඔබ සිතනවා නම් ඔබ මහා ආත්මාර්ථකාමියෙකි. පෙම්වතා / පෙම්වතිය හමු වීමට පෙර සිට ම ඔබට ආදරය කළ අම්මා, තාත්තාට ඔබ අහිමි වීමට සැලැස්‌වීම කෙතරම් දුරට සාධාරණ දැයි සිතෙන් අසන්න. අනෙක, දිවි නසා ගැනීමෙන් ඔබට ඔහු හෝ ඇය හෝ හිමි නො වන බව ද කල්පනා කරන්න. සමහර විට අද ඔබට ඇය/ඔහු හිමි නො වුණත් තව අවුරුදු 10 කින් ඒ හිමි වීම සිදු වන්නට ද ඉඩ තිබේ. දෛවය අපූර්ව දේ කරයි. සමහර අවස්‌ථාවල දී අපට ඉවසා බලා සිටින්නට සිදු වේ. "බොඩිගාඩ්" චිත්‍රපටයේ (ඔබ නරඹා ඇත්නම්) හදිසි සිදුවීමක්‌ නිසා බොඩිගාඩ් හා දිව්‍යා වසර 12කට ආසන්න කාලයක්‌ වෙන් වෙති. එහෙත් යළි අහඹු ලෙස ඔවුනට ළං වන්නට ලැබේ. මෙවැනි සිදුවීම් හුදු සිනමා පට පමණක්‌ නො ව සැබෑ ලෝකයේ ද සිදු වී ඇති ඒවා වේ. මෙලෙස කවර දා හෝ ඔබේ අහිමි ප්‍රේමය ද යළි ඔබ සොයා එන්නට ඉඩ තිබේ. ඔබ දිවි තොර කර ගත හොත් ඒ අවස්‌ථාව ගිලිහී යයි.

ආර්ථික ගැටලුවලට මුහුණ දීම

මානසික ප්‍රශ්නවලට මුහුණ දෙන තරම් ආර්ථික ගැටලුවලට මුහුණ දීමට පහසු නැතැයි කෙනකු තර්ක කරන්නට ඉඩ තිබේ. අද ඔබ හරියට කන්නට අඳින්නට නැති කෙනකු විය හැකි ය. එහෙත් හෙට ඔබ මේ නගරයේ ලොකු ම ධනවතා විය හැකි ය. පළමුවෙන් ම ඔබ තුළ ඇති කලකිරීම පහ කරගත යුතු ය. ඔබ, ඉකුත් දා මිය ගිය, ප්‍රකෝටිපති ව්‍යාපාරික ස්‌ටීව් ජොබ්ස්‌ ගැන අසා තිබේ ද? ඔහු දිළිඳුකමෙන් පමණක්‌ නො ව, අම්මකු තාත්තකු නැතිකමෙන් ද පීඩා වින්දේ ය. ඔහු උපදින්නටත් පෙර ඔහු ගේ මව ස්‌ටීව් අන් මාපිය යුවළකට හදාගන්නට දෙන්නට තීරණය කළා. ඔහු හදාගත් අය ද එතරම් සල්ලිකාරයන් වූයේ නැත. ඇතැම් දිනවල කුසගින්නේ සිටි ස්‌ටීව් නොමිලයේ දෙන ආහාර ලබා ගැනීම සැතපුම් ගණනක්‌ පයින් ඇවිද්දේ ය. පසු කලක ලෝකයෙන් කොටසක්‌ සල්ලිවලට ගත හැකි කෙනකු බවට පත් වූයේ ද ඔහු ම ය.

පොදුවේ ඕනෑ ම ගැටලුවකට සහනය
ලබා දෙන ධනාත්මක ස්‌වයංකථනය

උග්‍ර මානසික ගැටලු ජයගැනීම සඳහා විවිධ අභ්‍යාස හා උපක්‍රමවල ද සහාය ලබැගැනීමට සිදු වන අවස්‌ථා ඇත.

ස්‌වයංකථනය එවැන්නකි. පළමුවෙන් ම ස්‌වයංකථනය යනු කුමක්‌ දැයි වටහාගත යුතු ය. ස්‌වයංකථනය ලෙස විස්‌තර කෙරෙනුයේ තමා විසින් තමාට ම කියාගනු ලබන, තමන්ට ම අදාළ සිතිවිලි මාලාවකි. බොහෝ වෙලාවල අපි නොදැනුවත් ව ම මේ ස්‌වයංකථනයේ යෙදෙමු. අප එදිනෙදා ලබන අත්දැකීම්, අප කියවන පොතපත, අප කැමැති දේ ආදිය මේ ස්‌වයංකථන සඳහා මාතෘකා ලබා දෙයි.

ස්‌වයංකථනය ප්‍රධාන කොටස්‌ දෙකකි. ඒ ධනාත්මක හා සෘණාත්මක යනුවෙනි. අපට වැදගත් වන්නේ ධනාත්මක ස්‌වයං කථන අභ්‍යාස කිරීමයි. එහෙත් මෙහි දී සෘණාත්මක ස්‌වයංකථනය යනු කුමක්‌ දැයි දැන සිටීම ඉතා වැදගත් ය. "මට බැරි වෙයි. මා පැරදෙයි. මා අවාසනාවන්තයි" අදි ලෙස තමා ගැන සෘණාත්මකව සිතීම සෘණාත්මක ස්‌වයංකථනයයි. ධනාත්මක ස්‌වයංකථනය මීට ප්‍රතිවිරුද්ධ ය. "ඔව් මට පුළුවන්" වැනි සිතිවිලි එහි දී ඔබ තුළ මතු වේ. ඔබ කළ යුතු වන්නේ අද සිට හෝ සෘණාත්මක පැත්තේ සිට ධනාත්මක පැත්තට මාරු වීමයි. මෙය අද ඔබට අත්හදාබැලිය හැකියි. ඔබට ඇති ගැටලුව පාඩම් අමතක වීම, කරන කරන කටයුත්ත අසාර්ථක වීම, ගුරුවරුන් ගේ, මාපියන් ගේ අප්‍රසාදයට ලක්‌ වීම ආදී ඕනෑ ම වර්ගයක එකක්‌ විය හැකි ය.

ඔබට පාඩම් අමතක වනවා යෑයි සිතන්න. එවිට ඔබට පහත අභ්‍යාස කළ හැකි ය. "මට පාඩම් මතක හිටිනවා. මං කොහොම හරි පාඩම් මතක තියා ගන්නවා." යෑයි ඔබට ම කියා ගන්න. හැබැයි එසේ වචනයෙන් කියා නතර වීම නො කළ යුතුයි. ඊට අදාළ වෙනත් ක්‍රියාකාරකම්වල ද යෙදෙන්න. පාඩම් කරන වෙලාව වැඩි කරන්න. පාඩම් වටහා ගන්නට අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කරන්න.

ධනාත්මක ස්‌වයංකථන බලගැන්වීම සඳහා මෙවලම් ඇත. ඉන් එකක්‌ වන්නේ උදාන වාක්‍ය (Slogan) හා පරමාදර්ශී පිංතූර ය.

"අධ්‍යාපනය තරම් වටිනා දෙයක්‌ තවත් නැත".... "මම දිනමි".... "විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම මගේ අරමුණයි"...

වැනි වැකි ඔබේ මේසය මත හෝ අසල බිත්තියක හෝ අලවාගත හැකි ය. ඔබ ඇතුළත් වීමට පතන සරසවියේ, වෛද්‍ය විද්‍යාලයයේ හෝ ආයතනයේ ඡායාරූපයක්‌ ද ඔබේ මේසය අසල තබාගත හැකි ය. මා අවාසනාවන්ත ය කියන සිතිවිල්ලට ඔබ ආක්‍රමණය කරන්නට කිසිවිට ඉඩ දෙන්න එපා. මොන තරම් අහිතකර දේ සිදු වුණත් තමා අවාසනාවන්ත යෑයි සිතන්නට එපා. එවැනි දෙයක්‌ කල්පනා වන විට ම ඒ කල්පනාව වෙනස්‌ කරන්න. පීඩාකාරී කල්පනා නිසා ශාරීරික ගැටලු පවා ඇති විය හැකි ය. එනිසා ධනාත්මක ස්‌වයංකථන හරහා සුබදායි සිතිවිලි ම ඇති කර ගන්න. සෘණාත්මක ප්‍රකාශ ඔබ නො කරනවා පමණක්‌ නො ව අන් අයට ද ඒ ගැන උපදෙස්‌ දෙන්න. ඔබේ ගෙදර සාමාජිකයන් නිතර සෘණාත්මක ප්‍රකාශ නිකුත් කරයි නම් ඒ වැළැක්‌වීමට උපදෙස්‌ දෙන්න. පාසලේ දී මෙය ක්‍රීඩාවක්‌ විදිහට අත්හදා බැලිය හැකි ය. පංතියේ කෙනකු යම් සෘණාත්මක ප්‍රකාශයක්‌ කළ විට වහා ම එයට එරෙහි ව එපා, හරි නැහැ, වැරැදියි, වැනි වදනක්‌ කියන්න. ලකුණු කැපීමක්‌ වැනි දෙයක්‌ ද කළ හැකි ය.
ඉහළ තලයකට ආ පසු ව ද වරින් වර ඔහුට ආර්ථික ගැටලු මතු විය. ඔහු ඒවායින් සැලුණේ නැත. ආර්ථික ගැටලු මානසික ගැටලු දක්‌වා වර්ධනය කරගත්තේ නැත.

මෙවැනි චරිත ආදර්ශයට ගන්නට ඔබ ඉටා ගත යුතු ය. ඔබ "ගුරු" (හින්දි) චිත්‍රපටය නරඹා තිබෙනවා ද? එහි ප්‍රධාන චරිතය වන ගුරු, ඉන්දියාවේ ප්‍රධාන ව්‍යාපාරිකයකු වන්නේ අන්ත දිළිඳු තත්ත්වයේ සිට ය. ඔහු විවාහයට පෙලඹෙන්නේ බිරිය ගේ දෑවැද්දට ලැබෙන මුදල ව්‍යාපාරයක යෙදවීමේ අරමුණෙනි. ධන කුවේරයකු වන නමුත් වරින් වර ඔහු ද ඇද වැටේ. ඒ හැම විටක ම යළි ඔහු නැඟිටියි. ආර්ථික ගැටලු හමුවේ ශක්‌තිමත් වීමේ හැකියාව නැති අය මේ චිත්‍රපටය එක්‌ වරක්‌ හෝ නැරඹීම සුදුසු ය. එය ප්‍රබන්ධ කථාවක්‌ වුවත් සැබෑ ජීවිතයේ දී ඒ අකාරයට කටයුතු කර ලොව ජයගත් අය එමට සිටිති. ඉහත ආකාරයේ ප්‍රබන්ධ කතාවකින්, සැබෑ චරිත කෙසේ හැසිරී ඇත් දැයි ඔබට මනා චිත්‍රයක්‌ සිතෙහි ඇඳගැනීමේ හැකියාව ලැබේ.

පාසල් වියේ, යොවුන් වියේ දරු දැරියන්ට ආර්ථික ගැටලු විවිධ මුහුණුවරින් ඉදිරිපත් වේ. අද උසස්‌ පෙළ හදාරන සිසු සිසුවියන්ට බාහිර පංතිවලට සහභාගී නො වී විභාගය ලියන්නට බැරි තත්ත්වයක්‌ අද උද්ගත වී තිබේ. මසක පංති ගාස්‌තු බොහෝ විට රුපියල් 2000 ද ඉක්‌මවයි. හැම දරුවකුට ම මෙවැනි වියදම් දරාගන්නට බැරි ය. මෙවැනි වියදම් ඔබට දරාගන්නට බැරි නම් ඔබ කළ යුත්තේ කුමක්‌ ද? ඒ ගැන තැවෙමින් හිඳීම කිසිදු ඵලක්‌ ඇති දෙයක්‌ නො වේ. එවැනි ප්‍රශ්නයකට ඇති විසඳුම් දෙකක්‌a පහත දක්‌වමු.

* පළමුවෙන් ම ඔබට මේ ප්‍රශ්නය ඔබේ යහළු යෙහෙළියන් සමග සාකච්ඡා කළ හැකි ය. එවිට ඔවුන් තමන්ට වැටහෙන විසඳුමක්‌ ඉදිරිපත් කරනු ඇත.

දෙවනුව ඔබට මෙවැනි පෞද්ගලික පංති පවත්වන ආයතනයකින් නිදහස්‌ ප්‍රවේශ පත්‍රයක්‌ (Free card) ඉල්ලා සිටිය හැකි ය. මෙවැනි ඉල්ලීමකට යැමට ඔබ

ලැඡ්ජා විය යුතු නැත. අධ්‍යාපනය ලබන අවධියේ දී Free Card වල පිහිට ලද අය අද මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, සංගීතඥයන් වැනි ඉහළ වෘත්තිකයන් ව සිටින බව මම පෞද්ගලිකව දනිමි. අනෙක්‌ අතට පෞද්ගලික පංති මෙහෙයවන ගුරුවරුන් බහුතරය අසරණ ළමයකුට උදව් කරන්නට පැකිළෙන්නේ ද නැත. ඔබ ආර්ථික ගැටලුවලින් පීඩා විඳින්නකු නම් ඔබට එය මානසික වදයක්‌ වන්නට ඉඩ ඇත. එහෙත් ඒ මානසික ගැටලුවට ඉස්‌මතු වන්නට ඉඩ දිය යුතු නැත.

මාපිය ආදරය නැති වීම

පසුගිය දිනක සාමාන්‍ය පෙළ පංතියක යෑයි සැලකිය හැකි වයසේ දරුවකු මහ මඟ හඬමින් සිටිනු දැකගත හැකි විය. මිනිස්‌සු ද එතන පිරී සිටිය හ. මම ද ළඟ සිටි අයකු ගෙන් කාරණය කිම් දැයි විමසීමි. එවිට දැනගන්නට ලැබුණේ ඔහු ගේ ජංගම දුරකථනය අතරමඟ දී නැති වී ඇති බවයි. තාත්තා නපුරු නිසා බියට හඬන බව දැනගන්නට ලැබිණි. මෙහි දී මතුපිටින් ඇත්තේ ආර්ථික (මූල්‍යමය) ගැටලුවක්‌ වුවත් යටි පෙළ දිවෙන්නේ මවුපිය දූ දරු සබඳතා පිළිබඳ ගැටලුවකි. ළමයකු අතින් කුඩා දෙයක්‌ නැති වූ විට නොසෑහෙන සේ තලන මවුපියෝ සිටිති. මේ වැනි ගැටලු විසඳිය හැක්‌කේ දරුවන්ට නො ව මවුපියන්ට ය. මේ ලිපිය කියවන අම්මාවරුන්, තාත්තාවරුන් අද සිට හෝ තම දරුවන් ගේ ක්‍රියාකලාප හා චර්යාවන් ගැන වඩාත් පුළුල්ව සිතනවා නම් හොඳ ය.

අම්මා ගේ හෝ තාත්තා ගේ නිසි ආදරය නො ලැබීම නිසා විවිධ මානසික රෝගවලට දරුවෝ ගොදුරු වෙති. "අම්මා මට ටිකක්‌ වත් ආදරේ නැහැ. මං ගැන හොයන්නට එයාට වෙලාවක්‌ නැහැ" කියනා දරුවෝ සිටිති.

සමහර විට මේ ගැටලුවට හේතුව මවුපියන් ගේ ම වරද විය හැකි ය. තවත් විටක දරුවා ගේ ක්‍රියාකලාපය ද මාපිය-දූදරු සබඳතා වැනසෙන්නට හේතු වේ. දරුවන්-මාපියන් එකිනෙකා ගෙන් ඈත් වන තරමට මේ දෙපිරිසට ම ගැටලු මතු වේ. විශේෂයෙන් ම පාසල් වියේ දරු දැරියන්ට අම්මා ගෙන් තාත්තා ගෙන් ආදරය හා සහයෝගය නිරන්තරයෙන් අවශ්‍ය ය.

දරුවන්ට සිය ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර දීමේ දී ප්‍රධාන මාර්ගෝපදේශකයන් හා සහාහකයන් වන්නේ මවුපියන් ය. එහෙයින් ඔවුන් ප්‍රශ්නයක්‌ කරගත යුතු නැත. මාපිය ආදරය අහිමි වන්නට පෙර එය නිසි ලෙස රැක ගැනීම දරුවන් වන ඔබ ගේ ද යුතුකමකි. ඔවුන් ඔබට ආදරය දක්‌වන්නා සේ ඔබ ද පෙරළා ඔවුන්ට ආදරය කළ යුතු ය. දරුවන් වන ඔබට මෙන්ම මවුපියන්ට ද ප්‍රශ්න තිබේ. ඔබේ ප්‍රශ්නවලට ඔවුන් උදව් කළ ද ඔවුනට තම ප්‍රශ්න විසඳා ගන්නට වන්නේ තනි ව ම ය. එනිසා මාපියන් දෙස ආදාරයෙන් මෙන්ම සානුකම්පිතව ද බලන්නට දරුවන් වන ඔබ හුරු විය යුතු ය.

පොදු උපදෙස්‌

අවසන් වශයෙන් සඳහන් කළ යුත්තේ අභියෝගවලින් තොර ව සුමටව ගලා යන ජීවිතයක්‌ මොලොව වෙසෙන අප කිසි ම කෙනකුට හිමි නැති බව ය. අඩු ම තරමින් රෝගාබාධයකට හෝ ලක්‌ වීමට ඕනෑ ම කෙනකුට සිදු වේ. මේ ජීවිතය මල් යහනාවක්‌ කරගන්නේ කෙසේ ද යන්න මෙන්ම ඒ මල් යහනාවට ගල් මුල් එල්ල වන විට ඊට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ගැන ද සැලැස්‌මක්‌ කල් තබා ම ඔබ සතු ව තිබිය යුතු වේ. බොහෝ අය ගැටලු ඇති කරගන්නේ ජීවිතය යනු නිරන්තරයෙන් ම හැලහැප්පීම් සහිත දෙයක්‌ ය යන ප්‍රායෝගික සත්‍යය අමතක කර සැම විට ම සුඛිත මුදිත ජීවිතයක්‌ පැතීමට යැම නිසා ය.

නවකවධයට හා හිංසනයට මුහුණ දීම නිසා ඇති වන ගැටලු

විශ්වවිද්‍යාලවලවල, කාර්මික විද්‍යාලවල, උසස්‌ අධ්‍යාපන ආයතනවල පමණක්‌ නො ව බොහෝ පාසල්වලත් නවකවධය ක්‍රියාත්මක වන බව රහසක්‌ නො වේ. නවකවධය පැවැත්වෙන කාලවල නවක සිසු දරු දැරියෝ කායික පීඩාවලට මෙන්ම මානසික පීඩාවලටත් විශාල ලෙස ගොදුරු වෙති. පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ විද්වතුන් පිරිසක්‌ විසින් කරන ලද පර්යේෂණයක දී හෙළි වූයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගෙන් සියයට විසි පහකට පමණ හානිකර බලපෑම් ඇති කිරීමට නවක වධය හේතු වන බවයි. නවකවධය මෙන්ම පාසල්වල දී මුහුණ දෙන හිංසාවන් ද ඉත උග්‍ර ආතතීන් කරා ශිෂ්‍යයන් යොමු කරවන්නට ඉඩ තිබේ. විශ්වවිද්‍යාලවල නම් ශිෂ්‍ය උපදේශක සේවා හා ශිෂ්‍ය සහන සේවා ක්‍රියාත්මක වන අතර මෙවැනි ආතතිමය ගැටලුවලට එවැනි මධ්‍යස්‌ථානවලින් සහනයක්‌ ලද හැකි ය. එසේ ම විශ්වවිද්‍යාලවල වෛද්‍ය මධ්‍යස්‌ථානවල වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ද මෙවැනි දේ ගැන උපදෙස්‌ දීමට මනා පුහුණුවක්‌ ලබා සිටිති. මෙහි පහත විස්‌තර කෙරෙන්නේ ඔබට මෙවැනි අවස්‌ථාවක ආතතියෙන් මිදෙන්නට කළ හැක්‌ දේවල් කීපයක්‌ පිළිබඳව ය.

* නවකවධය තුළ ඇති විහිළුමය කටයුතු ගැන එතරම් කෝප වන්නට එපා. සිංදුවක්‌ කීම, විකට චරිතයක්‌ රඟපෑම, හූවක්‌ කීම වැනි දේ ගැන කෝප වන්න එපා. කෙසේ වෙතත් අහිතකර ශාරීරික වධ හෝ ලිංගික හිංසා ඉවසා සිටිය යුතු නැත. එවැනි දෙයට එරෙහි වීමට ඔබට අයිතියක්‌ තිබේ. එසේ ම මේ අවස්‌ථාවක දී විශාල ආතතියක්‌ ඇති විය හැකි ය. නවකවධය හා හිංසාවන් ඉවසනු නොහැකි ව සිසු සිසුවියන් දිවි නසා ගත් අවස්‌ථා මෙන්ම අධ්‍යාපනයට සමු දුන් අවස්‌ථා ද වාර්තා වේ. නවකවධය දීමේ දී බොහෝ විට ජ්‍යෙෂ්ඨයන් ඔබට යම් යම් අපහාස වදන්වලින් ඇමතිය හැකි ය. මෙසේ කිරීමට ඔවුනට නෛතික අයිතියක්‌ නැත. එහෙත් ඔබ එක්‌වර කෝප වී ඔවුනට ප්‍රතිචාර දක්‌වන්නට ගිය හොත් විශාල අවුලක්‌ ඇති විය හැකි ය. මෙවැනි ගැටුම් නිසා උසස්‌ අධ්‍යාපන ආයතන වසා දැමූ අවස්‌ථා පවා වාර්තා වේ. මෙවැනි අවස්‌ථාවක ඔබ කෝපය පාලනය කරගන්නේ කොහොම ද?

පොදුවේ කෝපයට පත් වන ඕනෑ ම වෙලාවක භාවිත කළ හැකි 1 සිට 10 ගණන් කිරීම මේ සඳහා උදව් කරගන්න. ඉදිරියේ සිටින කෙනාට බැණ වැදීමට හෝ පහර දීමට හෝ ආවේගයක්‌ ඇති වූ විට එකේ සිට දහයට සිතෙන් ගණින්නට පටන් ගන්න. එවිට ආවේගය පහ කර ගැනීමට කාලය ලැබේ.

උසස්‌ පෙළ හා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ආතතියට වැඩියෙන් ගොදුරු වන තවත් කාලසීමාවක්‌ වන්නේ විභාග සමයයි. මේ විභාග කාලවල දී විශ්වවිද්‍යාලවල ළමයින් වැඩිපුර බෙහෙත් ගන්නට එන බව විශ්වවිද්‍යාල අසල ප්‍රතිකාර කරන මනෝවෛද්‍යවරුන් කීප දෙනකුම මා සමග කියා ඇත. මෙසේ එන බොහෝ සිසු සිසුවියන් පවසන්නේ දැඩි හිසරදයක්‌ තමන්ට ඇති බවයි. මේ ගැන විමසීමේ දී පෙනී යන්නේ විභාගය ආතතියකට වර්ධනය වී ඇති බවයි. උපදේශනය මෙන්ම කායික ප්‍රතිකාර ද මෙවැනි අවස්‌ථාවල දී ලබා දේ. හිසරදයත් සමග එන ආතතියකට ශීර්ෂ සම්බාහනය හොඳ විසඳුමකි. මෙය (හිස සම්භාබනය) ඔබට ම වුවත් කරගත හැකි ය. තමාට සමීප කෙනකු (මිතුරකු/ඥාතියකු) ලවා කරවා ගත හැකි නම් වඩාත් හොඳ ය.

අද සතියේ විමසුම
මනෝඡ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය