බටහිර විද්‍යාවේ සංස්‌කෘතික ස්‌වභාවය සහ විද්‍යාවාදය

බටහිර විද්‍යාවේ සංස්‌කෘතික ස්‌වභාවය සහ විද්‍යාවාදය
විද්‍යාව යනු විශ්ව ඥානයක්‌ බවත් එය "බටහිර විද්‍යාව" ලෙසින් හැඳින්වීම අඥාන ක්‍රියාවක්‌ බවත් කියන්නෝ වෙති. මේ "බටහිර" විශේෂණය ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පසුගිය කාලයේ දී නිකුත් කරන ලද නිවේදනයකින් ද ප්‍රශ්න කොට තිබිණි. ඒ නිසා "බටහිර" විශේෂණය භාවිත කිරීම කෙතරම් සාධාරණ දැයි යමකුට සිතෙනු ඇත.

ඇත්තෙන් ම විද්‍යාව නමින් වර්තමානයේ හැඳින්වෙන දැනුම් සමුදාය "බටහිර" විශේෂණයෙන් නම් කිරීම අද ඊයේ සිදු කළ එකක්‌ නො වේ. එසේ ම, එය අපේ රටේ "විද්‍යා විරෝධීන්" විසින් පමණක්‌ කරන ලද එකක්‌ ද නො වේ. මෙයින් අවුරුදු 44කට පමණ පෙර එනම් 1967 දී, "අප්‍රිකානු සාම්ප්‍රදායික චින්තනය සහ බටහිර විද්‍යාව" මැයින් පත්‍රිකාවක්‌ පළ කළ රොබින් හෝටන් ඒ මාර්ගයෙන් අප්‍රිකානු චින්තනයේ ආවෘත බවත් බටහිර විද්‍යාවේ විවෘත බවත් ගැන කරුණු දැක්‌වී ය. හෝටන් ගේ එම අදහස්‌ පසුකාලීන ව බොහෝ දෙනකු ගේ අවධානයට හා ඇසුරට පාත්‍ර විය. "විධික්‍රමයට එරෙහි ව" ග්‍රන්ථය ලියා පළ කළ පෝල් ෙµයරබන්ඩ් පවා හෝටන් ගේ අදහස්‌ සාකච්ඡාවට ලක්‌ කළේ ය. කෙසේ වෙතත් මේ ලිපියෙන් කෙරෙන්නේ "බටහිර" විශේෂණය පිළිබඳව ඵෙතිහාසික හා භූගෝලීය විග්‍රහයක්‌ කිරීම නො වේ. එම විශේෂණය භාවිත කරමින් විද්‍යාව ගැන කරුණු කී ජපන් ජාතික විද්වතකු ගේ අදහස්‌ කිහිපයක්‌ සිංහල පාඨකයා හමුවට ගෙන ඒම පමණක්‌ මෙයින් සිදු කෙරෙයි.

මහාචාර්ය මසකාටා ඔගාවා ජපානයේ කෝබේ විශ්වවිද්‍යාලයයට අනුබද්ධ මානව සංවර්ධන සහ පරිසර විද්‍යායතනයේ සේවය කරන්නෙකි. මෙයට පෙර ඉබරාකි සහ හිරෝෂිමා යන විශ්වවිද්‍යාලවල ද සේවය කර ඇති ඔහු 1980 ගණන්වල සිට ම විද්‍යා අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ වූ මතවාද ඉදිරිපත් කොට ඇත. ඔහු ඉදිරිපත් කර ඇති මතවාදවල කේන්ද්‍රයෙහි වන්නේ "බටහිර විද්‍යාවේ සංස්‌කෘතික" ස්‌වභාවය සහ "විද්‍යාවාදය" පිළිබඳව පළ කොට ඇත්තා වූ අදහස්‌ සමුදායකි. මේ ලිපියෙන් කෙරෙන්නේ මහාචාර්ය ඔගාවා විසින් ඒ ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති අදහස්‌ කිහිපයක්‌ සිංහල පාඨකයන් හමුවේ තැබීම ය.


විද්‍යාව යනු කුමක්‌ ද?

බොහෝ දෙනකුට විද්‍යාව යනු විද්‍යාව ම වුවත් මහාචාර්ය ඔගාවාට අනුව විද්‍යාව යනු "ජපනුන් සඳහා ආගන්තුක වූ" විදේශීය සංස්‌කෘතියකි. ඒ ගැන ඔහු මෙලෙස පවසයි. "සාමාන්‍යයෙන් බටහිර විද්‍යාව වශයෙන් හැඳින්විය හැකි විද්‍යාව ජපාන සංස්‌කෘතියේ නිෂ්පාදනයක්‌ නො වේ. එය 19 වැනි සියවස මැද භාගයේ පටන් බටහිර ලෝකයෙන් ජපානයට ආනයනය කරන්නකි." කෙසේ වෙතත් එම පටු අර්ථ දැක්‌වීම ඉක්‌මවා ගොස්‌ "පුළුල්" අර්ථ දැක්‌වීමක්‌ ඉදිරිපත් කිරීමට ද මහාචාර්ය ඔගාවා කටයුතු කර ඇත. එම අර්ථ දැක්‌වීමට අනුව විද්‍යාව යනු "යථාර්ථය සහේතුක ව ප්‍රත්‍යක්‌ෂ කිරීමකි." "යථාර්ථය ගොඩනැංවීමේ ක්‍රියාවලිය සහ යථාර්ථයේ නිමැවුම" යන කාරණා දෙක ම මේ "ප්‍රත්‍යක්‌ෂ කිරීම" යන්න තුළට අන්තර්ග්‍රහණය කළ හැකි බව ඔහු පවසයි. තව ද ඔහු "සහේතුක" යන්න ද පැහැදිලි කරයි. මහාචාර්ය ඔගාවාට අනුව "සහේතුක බව" යනු කිසිසේත් ම බටහිර පිළිගත් සහේතුක බව පමණක්‌ නම් නො වේ. "සහේතුක බව" යනු කිසියම් නීති රීති සමුදායකට අනුකූල ව හැසිරීම නම් ඒ ඒ සංස්‌කෘතියට වලංගු වූ විවිධාකාර "සහේතුක හැසිරීම්" පැවතිය හැකි ය. එබැවින් විශ්ව ව්‍යාප්ත "සහේතුක බවක්‌ ගැන කතා කිරීම අහේතුක ය.

මහාචාර්ය ඔගාවාට අනුව "විද්‍යාව" ආකාර තුනක්‌ ගනියි.

එයින් පළමුවැන්න වනුයේ "දේශජ" විද්‍යාවයි. ඔගාවාට අනුව එමඟින් කෙරෙන්නේ "සංස්‌කෘතිය මත රඳා සිටිමින් සාමූහිකව සහේතුක ආකාරයෙන් යථාර්ථය ග්‍රහණය කර ගැනීමයි. එය කිසිසේත් ම එක්‌ පුද්ගලයකු ගේ විද්‍යාවක්‌ නො වේ. එය එක්‌ ව ජීවත් වන එක්‌ ව අත්දැකීම් ලබන මිනිසුන් පිරිසක ගේ විද්‍යාවකි. ගොවියන්, වෛද්‍යවරුන්, වඩුවන්, පෙදරේරුවන් ආදී සමාජ කුලක විසින්a සම්පාදිත දැනුම මේ ගණයෙහි ලා සැලකිය හැකි ය.

දෙවැනි ආකාරය වන්නේ "පුද්ගල" විද්‍යාවයි. අප, අප ගේ පුද්ගල අත්දැකීම් මත රඳා සිටිමින් "යථාර්ථය සහේතුක ව ග්‍රහණය කර ගැනීම සඳහා" ගොඩනඟා ගන්නා දැනුම මේ යටතට වර්ග කෙරෙයි. මේ පුද්ගලානුබද්ධ විද්‍යාව ඒ ඒ පුද්ගලයාට ආවේනික ය. කලාවේ දී, දේශපාලනයේ දී සහ ව්‍යාපාරික කටයුතුවල දී මේ පුද්ගලානුබද්ධ දැනුම භාවිතයට ගන්නා ආකාරය අපි දනිමු.

ඔගාවා බටහිර විද්‍යාව ගොනු කර දක්‌වන්නේ විද්‍යාවේ තුන් වැනි ආකාරය තුළ ය. ඔහු එය අර්ථ දක්‌වා ඇත්තේ "යථාර්ථය ප්‍රත්‍යක්‌ෂ කිරීම සඳහා විද්‍යාවේදීන් ගේ ප්‍රජාව අනුදත් සහ හවුලේ බෙදා හදාගන්නා වූ" දැනුම් පද්ධතියක්‌ ලෙසිනි. ඔහුට අනුව "බටහිර විද්‍යාව සාධාරණීකරණය කරනු ලබන්නේ බටහිර විද්‍යාඥ ප්‍රජාව විසින් ම ය. විද්‍යාත්මක සාධාරණීකරණය පරීක්‌ෂා කර බැලීමේ කාර්යයෙන් අනෙක්‌ සියලු දෙනා ම බැහැර කරනු ලැබෙත්. අන්‍යයන් වෙතින් විද්‍යාඥ ප්‍රජාව අපේක්‌ෂා කරන්නේ එක ම කාර්යයකි. එනම් තමන් විසින් හඳුන්වා දෙනු ලබන දැනුම සැක කිරීමෙන් හෝ ප්‍රශ්න කිරීමෙන් හෝ තොර ව පිළිගැනීමයි.

මුල් ආකාර දෙක තුළ ගෙනහැර දැක්‌වූ විද්‍යා දැනුම එදිනෙදා ව්‍යවහාර දැනුම තුළට තල්ලු කර හරින බටහිර විද්‍යාඥයෝ තමන් විසින් බලාත්මක කරනු ලබන දැනුම ඔසවා තබති. ඌනිතවාදී සහ යාන්ත්‍රික රාමුවක්‌ තුළ විග්‍රහ කෙරෙන කාටීසියානු භෞතිකවාදී ලෝකයක්‌ තුළ බටහිර නූතන විද්‍යාව රජ කරයි. දේශජ විද්‍යාව සහ පුද්ගලානුබද්ධ විද්‍යාව එදිනෙදා ජීවිතයට සෙත සලසන අතර බටහිර විද්‍යාව විද්‍යාඥයන් ගේ න්‍යායික ලෝකයට සේවය කරයි.


විද්‍යාව යනු විද්‍යාඥ ප්‍රජාවේ සංස්‌කෘතිය ද?

බටහිර විද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්ය ඔගාවා ඉදිරිපත් කරන අර්ථ දැක්‌වීමට අනුව එය හැඳින්විය යුත්තේ බටහිර විද්‍යාඥයන් වශයෙන් හඳුන්වනු ලබන්නා වූ වෘත්තිකයන් ගේ විද්‍යාව වශයෙනි. ඒ අනුව ගත් කල බටහිර විද්‍යාව යනු බටහිර විද්‍යාඥ ප්‍රජාවේ සංස්‌කෘතියයි. දැන් මතු වන ගැටලුව වන්නේ "සංස්‌කෘතිය" යන සංකල්පයෙන් මේ කාරණය විස්‌තර කළ හැකි ද යන්න ය. පොදු අදහස්‌ සමුදායක්‌, පොදු වූ සංකල්පීය ලෝකයක්‌, එකිනෙකා අතර බෙදාහදාගත හැකි අර්ථ දැක්‌වීම් සමුදායක්‌ සහ විද්‍යාඥයන් වශයෙන් හඳුන්වන්නා වූ මිනිසුන් ගේ චර්යා තුළට සංස්‌කෘතිය යන්න කැටි කොට දැක්‌වීමට මහාචාර්ය ඔගාවා ක්‍රියා කරයි. මේ කාරණයේ දී ඔහු තම මතවාදය නිරවුල් ව හා ප්‍රබලව ඉදිරිපත් නො කරයි. බටහිර විද්‍යාව සංස්‌කෘතියක්‌ ලෙසින් සැලකීමට උත්සුක නො වී එය හුදෙක්‌ ආගමක්‌ ලෙසින් සැලකුවේ නම් මේ ගැටලුසහගත තත්ත්වය උද්ගත නො වීමට ඉඩ තිබිණි. ආගමක්‌ තුළ ද සංස්‌කෘතියක්‌ වන නිසා ඔගාවා ගේ හඳුනාගැනීම සහේතුක ද වෙයි. කෙසේ වෙතත් එය තියුණු ලෙසින් කරුණු ඉදිරිපත් කිරීමක්‌ නො වේ. ඇදහීම් පද්ධතියක්‌ ඇති බැවින් හා අන්ධ අනුගාමිකයන් විශාල පිරිසක්‌ සිටිනා බැවින් බටහිර විද්‍යාව "ආගමක්‌" ලෙසින් හඳුන්වා දීම වඩාත් නිවැරැදි වෙයි. කෙසේ වෙතත්, මෙය මහාචාර්ය ඔගාවා ගේ අදහස්‌ පිළිබඳ විවේචනයක්‌ නො වන නිසා මෙහි දී ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස්‌ ඉදිරිපත් කරන්නේ නැත.

තව ද අද්‍යතන සමාජය තුළ විද්‍යාඥයන් යනු තවත් වෘත්තිකයන් පිරිසක්‌ පමණක්‌ ම ය. ඔවුහු ඥාන ගවේෂණයේ දී තමන් ගේ දේශජ සංස්‌කෘතියෙන් බැහැර වෙති. බටහිර විද්‍යා කාර්යයෙහි තත්පර ව ඇත්තේ බටහිර මිනිසුන් පමණක්‌ ම නොවේ. අනෙකුත් සංස්‌කෘතීන් විසින් බිහි කරන ලද පිරිස්‌ ද බටහිර විද්‍යා දැනුම නිපදවීමෙහි හා සේවනයෙහි නිරත ව සිටිති. ඔවුහු එදිනෙදා ජීවිත කාර්යයේ දී විද්‍යාඥයෝ ලෙසින් නො හැසිරෙති. ඔවුන් ඔවුන් ගේ පවුල්වල සාමාජිකයන් ගෙන් සහ අසල්වැසියන් ගෙන් වෙන් කොට හඳුනාගත නොහැකි ය. මහාචාර්ය ඔගාවා පෙන්වා දෙන ආකාරයට ඒ සැවොම එක හා සමාන ව හැසිරෙති. එබැවින් නවීන විද්‍යාව ඒ විද්‍යාඥයන්ට ආගන්තුක එකකි. එය කිසි සේත් ම ඔවුන් ගේ දේශජ සංස්‌කෘතිය විසින් නිෂ්පාදිත එකක්‌ නො වේ. එය හුදෙක්‌ ම බටහිර සංස්‌කෘතිය මත, එහි අගයන් මත ගොඩනැඟූ එකකි. එබැවින් නවීන විද්‍යා ඥානය නිපදවීමේ හා සේවනයේ නිරත ව සිටින පිරිස්‌ ඒ කාර්යය වෙනුවෙන් පමණක්‌ වෙන ම සංස්‌කෘතියක ජීවත් වෙති. ඒ අන් කිසිවක්‌ නො ව විද්‍යාඥ ප්‍රජාවේ සංස්‌කෘතියයි.


විද්‍යාඥ සංස්‌කෘතියෙහි ස්‌වභාවය

රොබින් හෝටන් පෙන්වා දී ඇති ආකාරයට බටහිර විද්‍යාව අනෙකුත් දැනුම් පද්ධතිවලින් වෙන් වන්නේ එහි ඇති විවෘතභාවය නිසාවෙනි. මේ අදහස මහාචාර්ය ඔගාවා මුළුමනින් ම ප්‍රතික්‌ෂේප කරයි. ඔගාවා පෙන්වා දෙන ආකාරයට බටහිර විද්‍යා දැනුම් පද්ධතිය තරම් ආවෘත තවත් දැනුම් පද්ධතියක්‌ නැත. එය එහි සාමාජිකයන් සඳහා පමණක්‌ ම සීමා වූ පූර්ණ ලෙසින් ආවරණය වූ දැනුම් පද්ධතියකි. හෝටන් කියා ඇත්තේ බටහිර විද්‍යාව විකල්ප සඳහා විවෘත බවකි. එයට ප්‍රතිපක්‌ෂ වූ, සාම්ප්‍රදායික දැනුම් පද්ධති තුළ විකල්ප සඳහා ඉඩක්‌ නැත. ඒ නමුත්, සත්‍යයට එය පටහැනි ය. ඇත්තෙන් ම එවන් විකල්ප යෝජනා කිරීමේ බලය ඇත්තේ කා හට ද? එය කළ හැක්‌කේ විද්‍යාඥයන්ට පමණකි. විද්‍යාඥයන් නො වන පිරිස්‌වලට ඒ සම්බන්ධයෙන් කළ හැකි කිසිදු කාර්යයක්‌ නැත. බටහිර විද්‍යා න්‍යාය විමසීමේ බලයක්‌ ඔවුනට නැත.

විද්‍යාඥයන් සැම විටෙක ම අවධාරණයෙන් ප්‍රකාශ කර සිටින්නේ "නවීන" විද්‍යාව ඕනෑ ම කෙනකුට විවෘත බව ය. විද්‍යා න්‍යාය ඕනෑ ම කෙනකු ගේ විවේචනවලට විවෘත බව ය. එම න්‍යාය සංශෝධනය කිරීමේ හෝ වැඩිදියුණු කිරීමේ අයිතිය ඕනෑ ම කෙනකුට ඇති බව ය. මහජනයා පවා මේ ප්‍රකාශ

නිවැරැදි බව විශ්වාස කරති. කෙසේ වෙතත් මහාචාර්ය ඔගාවා කියන්නේ එය හුදෙක්‌ මායාවක්‌ බව ය. ඔහු ඉතා පැහැදිලිව පෙන්වා දෙන ආකාරයට මේ කී දේවලින් ඕනෑ ම දෙයක්‌ කිරීමේ අයිතිය ලැබෙන්නේ යම් ආකාරයක "සුදුසුකම්" ඇති පිරිසකට පමණ ය. ඒ සුදුසුකම ලැබීම සඳහා විද්‍යාඥ ප්‍රජාව විසින් අනුදැන වදාරන නීතිරීති, චාරිත්‍ර විධි, නියාමන හා සංස්‌කෘතික මූලධර්ම පිළිපදින බව ඕනෑ ම කෙනකු ප්‍රසිද්ධියේ කියා සිටිය යුතු ය. එමඟින් ඕනෑ ම කෙනකුට අදාළ සුදුසුකම සපුරා ලිය හැකි ය. ඒ අනුව බටහිර විද්‍යා ඥානයට දායක වීමේ "අයිතිය" හිමි වන්නේ විද්‍යාඥ ප්‍රජාව පිළිගත් පිරිස්‌වලට පමණකි. ඔබ ඒ චාරිත්‍ර විධි, නීතිරීති ආදියට එරෙහි ව යන්නේ නම් ඔබට ඒ හා සම්බන්ධ කිසිදු අයිතියක්‌ හිමි නො වනු ඇත. එවැනි අයිතියක්‌ තිබූ කෙනකු තම වරිගයෙන් නෙරපා හැරීමේ බලය හා ශක්‌තිය ද විද්‍යාඥ ප්‍රජාව සතු ය. පසුගිය දා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් නිකුත් කරන ලද පුවත්පත් නිවේදනය මඟින් ද මහාචාර්ය ඔගාවා ගේ අදහස සනාථ කෙරෙයි.

විද්‍යාඥ ප්‍රජාව සතු මේ මූලික බලය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකි ය. එය සාකච්ඡාවට හෝ විවාදයට හෝ ලක්‌ කිරීමේ ඉඩක්‌ නො ලැබෙයි. ඒ අනුව, බටහිර විද්‍යාව තුළ ඇතැයි කියන "විවෘත බව" හුදෙක්‌ මතුපිටින් පමණක්‌ දක්‌නට ඇති ව්‍යාජයක්‌ බව පැහැදිලි ය. මේ කරුණු පැහැදිලිs කිරීමෙන් අනතුරුව මහාචාර්ය ඔගාවා ප්‍රකාශ කරන්නේ ලොව පවත්නා වඩාත් ම සංවෘත සංස්‌කෘතිය ඇත්තේ විද්‍යාඥ ප්‍රජාව තුළ බව ය. එය කිසි සේත් ම අන් අයකුට විවෘත නො කරන එකක්‌ බව ය.

විද්‍යාඥයෝ තමන් කරන කාර්යය විශ්වාස කරති. තමන් ගේ නිපැයුම් (එනම් විද්‍යාත්මක ප්‍රවාද හා සංකල්ප) අදහති. ඒ තමන් සත්‍යය හඹා යමින් සිටින බවක්‌ ඔවුන් විශ්වාස කරන බැවිනි. එහෙත් තමන් අනුදැන වදාරන අගය පද්ධතිය ගැන වැටහීමක්‌ විද්‍යාඥ ප්‍රජාවට ම නැත. එ ලෙස ඒ ගැන නො දැන ම, ඒ අගය පද්ධතියට අනුගත ව කටයුතු කරන ලෙස ඔවුහු මහජනතාවට බල කරති. ඇත්තෙන් ම අනෙකුත් ඕනෑ ම අගය පද්ධතියක්‌ මෙන් ම මේ අගය පද්ධතිය ද වලංගු වන්නේ අදාළ ප්‍රජාව සඳහා ම පමණකි. එහෙත් විද්‍යාඥ ප්‍රජාව කරන්නේ "බටහිර විද්‍යා දැනුම" නිපදවීමේ අධිකාරි බලය තමන් වෙත තබාගෙන අනෙක්‌ අය නිහඬ කරවීම සඳහා තම අගය පද්ධතිය අන් අය මත පැටවීමයි.


විද්‍යාවාදයේ බලය

මහාචාර්ය ඔගාවා ගේ අවධානයට ලක්‌ වන තවත් ඉසව්වක්‌ වනුයේ විද්‍යාවාදයයි. විද්‍යාවාදය ආකාර දෙකකින් ඉස්‌මතු ව එන බව ඔහු පෙන්වා දෙයි. එයින් පළමු වැන්න වනුයේ කොන්දේසි රහිත ව විද්‍යාව ගැන විශ්වාස කිරිමයි. දෙවැන්න වනුයේ, විද්‍යාවේ නිපැයුම් විවේචන විරහිත ව ලෝකයට ආරූඩ කරවීමට දක්‌වන්නා වූ සැක නැති බවයි.

"විද්‍යාව අවබෝධ කර ගැනීම" සහ "විද්‍යාව විශ්වාස කිරීම" පැහැදිලි ව වෙන් කොට හඳුනාගත යුතු බව මහාචාර්ය ඔගාවා පවසයි. නවීන විද්‍යාව බිහි වී ඇත්තේ බටහිර අගය පද්ධතියක්‌ මත නිසා, එය විශ්වාස කිරීමට ඇති නැමියාව විසින් එය අවබෝධ කර ගැනීමට ඇති අවස්‌ථා අවුරාලනු ලැබේ. විශ්වාසය මත පදනම් ව කටයුතු කිරීම බටහිර සංස්‌කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගත්තකි. ඒ බැවින් අනුල්ලංඝනීය ආකාරයකින් එය බටහිර විද්‍යාව තුළ ද වෙයි.

"විද්‍යාත්මක ලෝක දර්ශනය" යනු "විද්‍යාඥයන්" යනුවෙන් හඳුන්වන්නා වූ මිනිසුන් පිරිසක්‌ විසින් නිපදවා පවත්වා ගෙන යනු ලබන්නා වූ එකකි. එය තවත් එක්‌ ලෝක දර්ශනයක්‌ පමණකි. එහෙත් එය ලෝකයේ පවත්නා සත්‍යය වූ එක ම ලෝක දර්ශනය ලෙසින් සැලකීම සහ විද්‍යාව විශ්වාස කිරීම විද්‍යාවාදය ලෙසින් හැඳින්විය හැකි ය. මේ විද්‍යාවාදය බලාත්මක කරනු ලැබ ඇත්තේ විද්‍යාඥයන් විසින් ම ය. එය පිළිගන්නා ලෙසට හා බෙදා හදාගන්නා ලෙසට බල කර සිටින්නේ ද විද්‍යාඥයෝ ය. බටහිර විද්‍යාව විසින් මවා පෙන්වනු ලබන ලෝකය එක්‌තරා ආකාරයක නියෝජනයකි. එය කිසිසේත් ම යථාර්ථය නො වන අතර එය ඒ ආකාරයෙන් ම පිළිගැනීමට බල කිරීම සිදු නො කළ යුත්තකි.

විද්‍යාවාදයේ දෙවැනි ආකාරය ලෙසින් ඔගාවා පෙන්වා දී ඇත්තේ බටහිර විද්‍යාවේ විවිධ නිපැයුම් ලෝකය මත පැටවීමට කරනු ලබන උත්සාහයයි. බටහිර ලෝක දර්ශනයට අනුව, ස්‌වභාවයේ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා මිනිසාට බලයක්‌ ඇති බව පිළිගැනෙයි. බටහිර විද්‍යාව ගොඩනැඟී ඇත්තේ එම ලෝක දර්ශනය මත ය. එහෙත් අනෙකුත් ලෝක දර්ශනයන් ගේ එබඳු පිළිගැනීම් නැත. ඒ අනුව ගත් කල බටහිර ලෝක දර්ශනය මත පිහිටා සත්‍යය සෙවීමේ අධිකාරීත්වය තමන් වෙත පවරා ගත් මිනිසුන් කොට්‌ඨාශයක්‌ විසින් එලෙස සොයා ගනු ලැබූ "සත්‍යය" අනෙක්‌ අය මත පැටවීම ඒ යටතේ සිදු වෙයි. කෙසේ වෙතත් අනෙකුත් දාර්ශනික පසුබිම් මත ගොඩනැඟුණු සංස්‌කෘතීන් මත බටහිර විද්‍යා දැනුම පැටවීම කළ නොහැක්‌කකි.

ඇත්තෙන් ම 17 හා 18 සියවස්‌වල දී බටහිර විද්‍යාවට යුරෝපයේ පැවතියේ වෙනත් ආකාරයක පිළිගැනීමකි. ඒ කාලයේ දී එය සැලකුණේ "ප්‍රායෝගික" විද්‍යාවක්‌ වශයෙනි. බටහිර විද්‍යාව විසින් ඥාන විභාග කාර්යය පවරා ගැනුණේ එයින් අනතුරුව ය. ඒ විශ්වවිද්‍යාල ක්‍රමය වැඩී යැමත් සමඟිනි. ඒ හෙයින් "විද්‍යාව" සහ එහි "වැඩ ගත හැකි බව" අතර ඇති අවියෝජනීය සම්බන්ධය දිගු කාලයක්‌ තිස්‌සේ පැවත එන්නකි. මුල දී "ප්‍රායෝගික විද්‍යාව" වැඩට යොදාගත් විද්‍යාඥ ප්‍රජාව දැන් තමන් ගේ "න්‍යායික ලෝක දැක්‌ම" ද වැඩට යොදා ගැනීමට උත්සාහ කරයි. විද්‍යාවාදීන් විසින් බටහිර විද්‍යා ලෝක දර්ශනය අනෙකුන් මත පැටවීමට උත්සාහ කරනු ලබන්නේ මේ සන්දර්භය තුළ ය. මහාචාර්ය ඔගාවා පවසන්නේ මේ "දෙක" එකිනෙකින් වෙන් කළ යුතු බවකි.


අප සිටින්නේ කො තැන ද?

මාහාචාර්ය ඔගාවා "බටහිර විද්‍යාව" ගැන පවසන බොහො අදහස්‌ අපට ආගන්තුක ඒවා නො වේ. පසුගිය දශක දෙකකට වැඩි කාලයක්‌ තුළ විදුසර පුවත්පත තුළින් එම අදහස්‌ දීර්ඝ වශයෙන් හා ඉතා ගැඹුරින් සාකච්ඡාවට ලක්‌ කෙරී ඇත. එයින් ද නො නැවතී අපේ විද්‍යාවක්‌ ගොඩනඟා ගැනීම දක්‌වා ම එම සාකච්ඡාව වර්ධනය කෙරී ඇත. මෙහි දී අපේ විද්‍යාවක්‌ ලෙසින් හැඳින්වෙන්නේ මහාචාර්ය ඔගාවා පවසන ආකාරයේ "වැඩ ගත හැකි දේශජ විද්‍යාවක්‌" පමණක්‌ ම නම් නො වේ. එය න්‍යායික තලයට නැඟුණු ඥාන විභාග කාර්යයේ නියුතු අපේ ම විද්‍යාවක්‌ බව අපි දනිමු. එවන් ඉදිරි තැනෙක සිටින අපි ඔගාවා ගේ ප්‍රාථමික අදහස්‌ ගැන වද වන්නේ ඇයි දැයි පාඨක ඔබට හැඟී යා හැකි ය. ඇත්තෙන් ම මේ ලිපිය ඒ ආකාරයෙන් සිතන ප්‍රගතිශීලී පාඨකයන් සඳහා ලියෑවුණු එකක්‌ නො වේ. මෙයින් දැනුමක්‌ ලබා දෙන්නේ ඔගාවා විසින් පෙන්වා දෙනු ලබන මට්‌ටමට හෝ ළඟා නො වූ අය වෙනුවෙනි. ඥාන ගවේෂණ කාර්යය උදෙසා මේ ලිපියෙන් කියෑවෙන කරුණු ඔවුනට හිනිමඟක්‌ වනු ඇත.

වරුණ චන්ද්‍රකීර්ති

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු