සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

පරිසර දූෂණයේ තවත් වැදගත් අංශයක්‌ ලෙස සාගර දූෂණය පෙන්වා දිය හැකි ය. සාගරය යනු මිනිසුන් වන අපට බොහෝ සේ ප්‍රයෝජනවත් වන පරිසර පද්ධතියකි. මේ නිසා සාගර දූෂණය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු ය.

සාගර දූෂණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාගරයට හානිකර විය හැකි ද්‍රව්‍ය එකතු වීමෙන් ඇති වන බලපෑමයි. මිනිසුන් විසින් සාගරයට එකතු කෙරෙන එවැනි ද්‍රව්‍ය අතර රසායන ද්‍රව්‍ය, විවිධ අංශුමය ද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය, ශබ්දය වැනි ශක්‌තිය ද වේ. එසේ ම ආක්‍රමණික ජීවීන් ව්‍යාප්ත වීම ද සාගර දූෂණයත් ඇති කළ හැකි සාධකයකි.

සාගර දූෂණය සඳහා හේතු වන සාධක අතරින් වැඩි ප්‍රමාණයක ප්‍රභවය ගොඩබිම ප්‍රදේශයේ වේ. එක්‌ ගණන්බැලීමකට අනුව එය මුළු දූෂක ප්‍රමාණයෙන් සියයට 80ක්‌ පමණ වේ.

සාගර දූෂක හා එවායේ බලපෑම්

සාගරයට එක්‌ වන ඝන අපද්‍රව්‍ය බරපතළ දූෂකයකිs. විවිධ ද්‍රව්‍ය මේ ආකාරයෙන් සාගරයට එක්‌ වන අතර, ප්ලාස්‌ටික්‌ එ අතර මුල් තැනක්‌ ගනියි. ප්ලාස්‌ටික්‌ හා කුඩා ප්‍රමාණයේ ප්ලාස්‌ටික්‌ අංශු පරිසරයට එක්‌ වීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ එවා සාගරයට එක්‌ වීමයි. ප්ලාස්‌ටික්‌ ශරීරගත වීමෙන් විශාල සාගර ජීවීන්ට මෙන්ම කුඩා ජීවීන්ට ද ගැටලු ඇති විය හැකි ය. ප්ලාස්‌ටික්‌ කැබැලි හා කුඩා අංශු ආහාරයට ගැනීමෙන් සාගර ජීවීන් තුළ සෞඛ්‍යමය ගැටලු ඇති වේ. ඇතැම් විට එවායේ ඇතුළත් රසායන ද්‍රව්‍ය අදාළ ජීවීන් ගේ මරණය ඉක්‌මන් කිරීම සඳහා ද හේතු විය හැකි ය.

කෘෂිකර්මයේ දී යොදාගන්නා පොහොර වැනි රසායන ද්‍රව්‍ය ද ජල මාර්ග ඔස්‌සේ අවසානයේ දී සාගරයට එක්‌ වේ. මේවායින් වෙරළාසන්න සාගර පරිසරයට වැඩි බලපෑමක්‌ ඇති කරයි. මේ නිසා බොකු වැනි සාගර ප්‍රදේශවල සුපෝෂණ තත්ත්ව ඇති විය හැකි ය. ඇතැම් සාගර කලාප මේ නිසා මළ තත්ත්වයට ද පත් ව ඇත. පස සෝදා යැම ද සාගරයට බලපෑම් කරන්නකි. ජල මාර්ග ඔස්‌සේ සාගරයට එක්‌ වන පස්‌ නිසා ඇතැම් සාගර පරිසර පද්ධති හායනයට ලක්‌ වේ.

මේ අතර විවිධ කර්මාන්ත ආදියෙන් බැහැර කරනු ලබන රසායන ද්‍රව්‍ය සාගරයට එක්‌ වීම ද සාගර දූෂණයට හේතුවකි. මෙවැනි අධික විෂ සහිත ද්‍රව්‍ය නිසා සිදු විය හැකි බලපෑම බොහෝ සේ බරපතළ ය. මේවා නිසා සාගර ජීවීන් මරණයට පත් වීම හා සාගර පරිසර පද්ධති විනාශ වීම සිදු විය හැකි අතර, ආහාර දාම ඔස්‌සේ යළිත් මිනිසුන් ගේ ශරීරගත වීමට පවා ඉඩ තිබේ.

සාගර දූෂක අතරින් වඩාත් ප්‍රකට වන්නේ නැව් හා වෙනත් සාගර යාත්‍රාවලින් බැහැර කරනු ලබන හා අනතුරුවල දී කාන්දු වන තෙල් ය. තෙල් කාන්දු වීම් නිසා බරපතළ හා දිගුකාලීන ව බලපාන හානි ඇති විය හැකි ය. එසේ ම නැව්වලින් තුලබරු ජලය බැහැර කිරීමෙන් ද සාගර දූෂණයක්‌ ඇති විය හැකි ය.

පිළියම් නො කරන ලද අපජලය සාගරයට එක්‌ වීම ද සාගර දූෂණයට හේතු වී තිබේ. මේවා අතර ඇති ගෘහස්‌ථ ව භාවිත කරන විවිධ රසායන ද්‍රව්‍ය, මළ ද්‍රව්‍ය ආදිය නිසා සාගර දූෂණයක්‌ ඇති වීමට අවස්‌ථාව පවතී.

අපට ගත හැකි පියවර

සාගර දූෂණය අවම කිරීම සඳහා අපට දායක විය හැකි ආකාර කිහිපයක්‌ මෙසේ ය.

 -  පිළියම් නො කරන ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය හා අපජලය සාගරයට එක්‌ වීමට ඇති අවස්‌ථා ඇහිරීම.

* අප බැහැර කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම.

* පිළියම් නො කළ අපජලය සාගරයට එක්‌ වීම වැළැක්‌වීම.



 -  ප්ලාස්‌ටික්‌ සාගරයට එකතු වීම වැළැක්‌වීම සඳහා -

* වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලන ප්ලාස්‌ටික්‌ භාවිතයෙන් වැළැකීම.

* ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කිරීම.

 -  විෂ සහිත අපද්‍රව්‍ය සාගරයට එකතු වීම වැළැක්‌වීම.

 -  පොහොර භාවිතය අවම කිරීම.

-  නිවසේ හෝ ගොවිපොළේ පස සෝදා යැම අවම කිරීම.

 -  අපේ බලශක්‌ති භාවිතය අවම කිරීම තුළින් හරිතාගාර වායු විමෝචන අඩු කර සාගරය ආම්ලික වීම වැළැක්‌වීමට දායක වීම.

 -  අප ජීවත් වන ප්‍රදේශයට ආසන්න වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන සංවිධානය කිරීම.

 -  සාගරයට එකතු වන ජලමාර්ගවල තත්ත්වය පිළිබඳව විමසිලිමත් වීම හා එවායේ ගැටලු ඇති විට බලධාරීන් දැනුම්වත් කිරීම.

 -  සාගරයට තෙල් වැනි ද්‍රව්‍ය එක්‌ ව ඇති අවස්‌ථා සම්බන්ධව බලධාරීන් දැනුම්වත් කිරීමෙන් ඉන් පරිසරයට ඇති විය හැකි හානිය අඩු කරගැනීමට හැකියාවක්‌ ලැබේ.

 -  සාගර දූෂණය හා එහි බලපෑම් පිළිබඳව අන් අය දැනුම්වත් කිරීම.

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌ dhaneshw@ymail.com

http://www.vidusara.com/

Popular posts from this blog

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය