දරුවකු ගේ වැඩෙන මොළයට හානිකර ප්‍රමාණය මෙන් 60 ගුණයක ඊයම් ප්‍රමාණයක්‌ පංති කාමරයක දුහුවිලි අතර !

දරුවකු ගේ වැඩෙන මොළයට හානිකර ප්‍රමාණය මෙන් 60 ගුණයක ඊයම් ප්‍රමාණයක්‌  පංති කාමරයක දුහුවිලි අතර !

ගෘහාශ්‍රිත දුහුවිලිවල අන්තර්ගත ඊයම් පිළිබඳ ජාතික වාර්තාවේ අනාවරණයක්‌

මෙරට පාසලක 1-2 ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපනය ලබන පංති කාමරයක්‌ ආශ්‍රිතව කළ විද්‍යාත්මක අධ්‍යයනයක දී වර්ග අඩියකට මයික්‍රොග්රෑම් 600ක ඊයම් ප්‍රමාණයක්‌ හමු වූ බව අනාවරණය වෙයි.

මේ ප්‍රමාණය දරුවකු ගේ වැඩෙන මොළයට හානි කරන ඊයම් මට්‌ටම මෙන් 60 ගුණයක අගයකි.

මේ බැව් අනාවරණය වූයේ පරිසර යුක්‌ති කේන්ද්‍රය විසින් ඉකුත් දා පවත්වන ලද මාධ්‍ය හමුවක දී ය.

මේ ප්‍රතිඵලය වාර්තා වී ඇත්තේ යුරෝපා සංගමයේ මූල්‍ය අනුග්‍රහය මත ප්‍රධාන වශයෙන් මෙරට පාසල් හා පෙර පාසල් ආශ්‍රිතව මේ වසර මුල දී පරිසර යුක්‌ති කේන්ද්‍රය මුල් වී සිදු කරන ලද පර්යේෂණයකිනි.

මේ පර්යේෂණයට බොරැල්ල සහ දෙහිඅත්තකණ්‌ඩිය යන ප්‍රදේශයන්හි පිහිටි පෙර පාසල් 16ක්‌ පාසල් 2ක්‌ සහ නිවාස 2ක්‌ ඉලක්‌ක කරගෙන ඇත. මේ ස්‌ථානවලින් ලබාගත් වර්ග අඩියක ප්‍රමාණයේ දුහුවිලි නියෑදි 66ක්‌ පර්යේෂණයට බඳුන් කර තිබේ.

දුහුවිලි ආශ්‍රිතව ඊයම් අංශු එක්‌රැස්‌ වීම සුලබ බැවින් පරීක්‌ෂාව පිණිස දුහුවිලි නියෑදි ලබාගැනීමට පර්යේෂකයන් කටයුතු කර ඇත. දුහුවිලි අතර තිබූ ඊයම් හඳුනාගැනීම සඳහා යොදාගෙන ඇත්තේ NIOSH 7082 Lead by Flame AAS නමැති පරීක්‌ෂණය ය.

මේ මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ පරිසර යුක්‌ති කේන්ද්‍රයේ අධ්‍යක්‌ෂ හේමන්ත විතානගේ මහතා පවසා සිටියේ මේ අධ්‍යයනය සඳහා ලබාගත් දුහුවිලි නියෑදි අතරින් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක අවදානම්සහගත ඊයම් ප්‍රමාණයක්‌ අඩංගු ව තිබූ බවයි.

දුහුවිලි ලබාගත් ස්‌ථාන අතරින් ස්‌ථාන 3ක නියෑදි එකක හෝ කිහිපයක වර්ග අඩියට මයික්‍රොග්රෑම් 47-600 අතර ප්‍රමාණයක්‌ ඊයම් අඩංගු ව තිබී ඇත. ස්‌ථාන 8ක නියෑදි එකක හෝ කිහිපයක වර්ග අඩියට මයික්‍රොග්රෑම් 10-39 අතර ඊයම් ප්‍රමාණයක්‌ වූ බව වාර්තාව පෙන්වා දෙයි.

ඉහත සඳහන් කරන ලද වර්ග අඩියට මයික්‍රොග්රෑම් 600ක උපරිම ඊයම් ප්‍රමාණය අඩංගු ව තිබී ඇත්තේ පංති කාමර පොළොවෙහි ඉසිරී වියළී තිබූ එනමල් තීන්නත පැල්ලමක්‌ ආශ්‍රිත ව ය.

මේ මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික සෞඛ්‍ය, වෘත්තීය සෞඛ්‍ය සහ ආහාර සුරක්‌ෂිතතා අධ්‍යක්‌ෂ වෛද්‍ය ටී. බී. ආනන්ද ජයලාල් මහතා කියා සිටියේ මෙරට සැලකිය යුතු පිරිසක ගේ බුද්ධි මට්‌ටම සාපේක්‌ෂව අඩු අගයක පැවතීමට මෙවැනි මූලාශ්‍ර හරහා ඊයම් ශරීරගත වීම හේතුවක්‌ ද යන්න වැඩිදුර අධ්‍යයන හරහා විමසා බැලීමට වටිනා කාරණයක්‌ බවයි.

ඊයම් ශරීරගත වීම හේතුවෙන් බුද්ධි වර්ධනයට බලපෑම් එල්ල වන බව මේ වන විටත් විද්‍යාත්මකව තහවුරු කරනු ලැබ ඇති කරුණක්‌ වේ. විශේෂයෙන් ම වැඩෙන දරුවන් මෙහි ගොදුරකි. කුඩා වියේ දී ඩෙසිලීටරයට මයික්‍රොග්රෑම් 5-40 පමණ ඊයම් ප්‍රමාණයකට නිරාවරණය වූ දරුවන් ගේ මොළයේ ධුසර ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වීමක්‌ දැකගත හැකි බව ඇතැම් විද්‍යාත්මක පර්යේෂණ ම`ගින් පෙන්නුම් කරයි. ඊයම්, දරුවන් ගේ ශරීරගත වීම ආඝ්‍රාණය, ආහාර හරහා වැනි මාර්ගවලින් සිදු වේ. වයස අවුරුදු 6ට අඩු දරුවන් කෙරෙන්, අත් මුව තුළ රුවාගැනීමේ පුරුද්දක්‌ දැකගත හැකි වේ. මේ නිසා ඊයම් එම වයස්‌වල දරුවන් ගේ දේහගත වීම පහසුවෙන් සිදු වේ. තව ද වැඩිහිටියන් ගේ මෙන් පස්‌ ගුණයක ඊයම් ප්‍රමාණයක්‌ කුඩා දරුවන් ගේ ආහාර මාර්ගය හරහා අවශෝෂණය වේ.

මොළයට අමතරව රුධිර සංසරණ පද්ධතියට, අස්‌ථි පද්ධතියට හා වකුගඩුවලට ඊයම් අහිතකර බලපෑම් ඇති කරයි. කුඩා කල ඊයම්වලට නිරාවරණය වීම ජානමය වෙනස්‌වීම් හා පසුකාලීන රෝගවලට ගොදුරු වීම සඳහා ද ඉවහල් වන බව පෙනී ගොස්‌ තිබේ.

මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේ දී අදහස්‌ දැක්‌වූ මේ අධ්‍යයනය සඳහා සක්‍රියව සහභාගි වූ පරිසර යුක්‌ති කේන්ද්‍රයේ පර්යේෂිකා චලනි රූබසිංහ මහත්මිය උද්ගත ව ඇති අවදානම පිටුදැකීම සඳහා නිර්දේශ මාලාවක්‌ ඉදිරිපත් කර සිටියා ය. එම නිර්දේශ පහත අයුරින් වේ.

 *  තීන්තවල ඊයම් අඩංගු විය යුතු ප්‍රමාණය සම්බන්ධයෙන් දැනට පවතින සම්මතය සියලු ම තීන්ත වර්ග සඳහා ලීටරයට මිලිග්රෑම් 90 මට්‌ටමට ගෙන ඒම සහ ඒ ආශ්‍රිත නීතිය ක්‍රියාත්මක කිරීම.

 *  සම්මත අගයට අනුකූලව තීන්ත නිෂ්පාදනය වන්නේ ද යන්න නිරන්තරව පරීක්‌ෂා කිරීම.

 *  ඊයම් රහිත තීන්ත නිපදවීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සහන සැලසීම හා තාක්‌ෂණික දැනුම ලබා දීම.

 *  ඊයම් රහිත බව හා ඊයම්වල විෂ හුවා දැක්‌වෙන සඳහනක්‌ තීන්ත අඩංගු බඳුනෙහි (ලේබලයෙහි) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීම.

 *  පාසල්, රෝහල්, ආපනශාලා, රජයේ කාර්යාල වැනි පොදු ස්‌ථානවල ආලේපනය සඳහා ඊයම් රහිත තීන්ත පමණක්‌ භාවිත කිරීම.

 *  තීන්ත නිෂ්පාදනය සඳහා ඊයම් රහිත අමුද්‍රව්‍ය පමණක්‌ යොදාගැනීම.

 *  තීන්ත මිල දී ගැනීමේ දී ඊයම් රහිත තීන්ත පමණක්‌ මිල දී ගැනීම.

 *  රුධිරගත ඊයම් ප්‍රමාණ මැනගැනීම සඳහා පහසුකම් සැලසීම.

 *  ඊයම් ශරීරගත විය හැකි කර්මාන්තවල නියෑළෙන්නන් ආරක්‌ෂිත ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම.

මේ මාධ්‍ය හමුවට පරිසර යුක්‌ති කේන්ද්‍රයේ අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ අයිරාංගනී සේරසිංහ මහත්මිය, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලයේ හර්ෂණී හලංගොඩ මහත්මිය, පාරිභෝගික අධිකාරිය, නිවාස ගොඩනැගිලි ඉදිකිරීම් ඉංජිනේරු ආයතනය ඇතුළු මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු ආයතන කිහිපයක නියෝජිතයන් සහ පරිසරවේදීන් පිරිසක්‌ ද සහභාගි වී සිටි අතර මේ ගැටලුවට මුහුණ දිය හැකි ආකාර පිළිබඳ අදහස්‌ ඔවුන් වෙතින් ඉදිරිපත් විය.

http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය