මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

මානව සංවර්ධන වාර්තාව හා
ශ්‍රී ලංකාවේ සංවර්ධනය

ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව එක්‌ ව ඇති බව මේ මාසයේ මුල් සතියේ පමණ වාර්තා විය. ඒ සඳහා පදනම් ව තිබුණේ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කරනු ලබන 'මානව සංවර්ධන වාර්තාවේ' නවතම වාර්තාව ය. 2012 වර්ෂය සඳහා වූ මානව සංවර්ධන දර්ශකයට අනුව ලෝකයේ රටවල් 187ක්‌ අතරින් ශ්‍රී ලංකාවට 92 වැනි ස්‌ථානය හිමි වී තිබිණි. අපේ රටට මානව සංවර්ධන දර්ශකයේ ලැබී තිබුණු අගය 0.715ක්‌ වූ අතර ලෝකයේ සාමාන්‍යය වූයේ 0.694කි. කෙසේ වෙතත් අපේ රට සෙසු දකුණු ආසියාතික රටවල් සියල්ලටම ට වඩා ඉදිරියෙන් පසු විය.

අපේ රටේ සංවර්ධනය පිළිබඳව සිදු කරන සාකච්ඡා රැසක්‌ අපට දිනපතා අසන්නට කියවන්නට ලැබේ. මේ ඇතැම් දේ හුදෙක්‌ අපේ භෞතික සංවර්ධනය පිළිබඳව ය. නිදසුනක්‌ ලෙස මාර්ග, ගොඩනැ`ගිලි ආදි යටිතල පහසුකම් හා සම්බන්ධව ඇති වන සංවර්ධනය හා ආර්ථික සංවර්ධනය දැක්‌විය හැකි ය. මේ ඇතැම් සංවර්ධන කටයුතු පිළිබඳව අපට බරපතළ ගැටලු පවතී. ඒ අදාළ භෞතික සංවර්ධනය අත්පත් කරගැනීමට යැමේ දී අපේ රටේ කෙතරම් සම්පත් අහිමි කරගන්නේ ද යන්න පිළිබඳව ය. නිදසුනක්‌ ලෙස සංවර්ධනයේ නාමයෙන් ඇති වන පාරිසරික බලපෑම් කෙතරම් ද යන්න ගත හැකි ය. (අප අනුගමනය කරන භෞතික සංවර්ධන රාමුව කෙතරම් තිරසර ද යන්න පිළිබඳව ගැටලු ඇති බව අප විදුසර ඔස්‌සේ වරින් වර සාකච්ඡා කර ඇත.)

කෙසේ වෙතත් රටක හෝ ජනතාව ගේ සැබෑ දියුණුව යනු හුදෙක්‌ ආර්ථිකය හා බැඳුණු සංවර්ධනය පමණක්‌ ද යන්න ගැටලුවක්‌ බව ලෝකය පිළිගෙන බොහෝ කලකි. 'සැබෑ සංවර්ධනය' මැනීම සඳහා වූ වෙනස්‌ ආකාරයක මිම්මක්‌ කලකට පෙර පටන් ලෝකයට අවශ්‍ය ව තිබිණි. 'මානව සංවර්ධන දර්ශකය' යනු ජගත් මට්‌ටමෙන් විවිධ රටවල මානව සංවර්ධනය සංසන්දනය කිරීම සඳහා යොදාගත හැකි හා යොදාගන්නා වූ මිනුමකි. මේ පිළිබඳව ම`දක්‌ විමසීමට අපි සිතුවෙමු.



මානව සංවර්ධන වාර්තාව

රටක සැබෑ සංවර්ධනය මැනීම සඳහා යොදාගත හැකි වඩාත් සාධාරණ මිනුමක්‌ සේ පුළුල් ලෙස සැලකෙන 'මානව සංවර්ධන දර්ශකය' (Human Development Index) ඇතුළත් වන්නේ 'මානව සංවර්ධන වාර්තාව' (Human Development Report) නම් ප්‍රකාශනයේ ය.

මානව සංවර්ධන වාර්තාව මුලින් ම ප්‍රකාශයට පත් වන්නේ 1990 වර්ෂයේ දී ය. ඒ සඳහා මුල් වූයේ පාකිස්‌තාන ජාතික ආර්ථික විද්‍යාඥයකු වන මහ්බබ් උල් හක්‌ හා ඉන්දීය ජාතික අමාර්ත්‍ය සෙන් හා තවත් පිරිසකි. ඔවුන් ගේ අරමුණ වූයේ, සංවර්ධනය පිළිබඳව වන සාකච්ඡාවේ දී හුදෙක්‌ ආර්ථික කරුණු පිළිබඳව පමණක්‌ නො ව ජනතා කේන්ද්‍රීය සංවර්ධන ක්‍රියාවලියක්‌ ප්‍රවර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දීමයි. මේ අනුව සංවර්ධනය යනු හුදෙක්‌ ආර්ථික සංවර්ධනයෙන් පමණක්‌ නො ව මානව යහපැවැත්ම මගින් ද ඇගැයිය යුතු බව පෙන්වා දෙන වාර්තාවක්‌ සේ සැලකේ.

මානව සංවර්ධන වාර්තාව වාර්ෂිකව සම්පාදනය කරනු ලබන්නේ එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ම`ගිනි. විවිධ රටවල මුල්පෙළේ විද්‍යාඥයන් හා වෙනත් ප්‍රවීනයන් පිරිසක්‌ විසින් සකස්‌ කරනු ලබන මේ ප්‍රකාශනය බෙහෙවින් ස්‌වාධීන ප්‍රකාශනයක්‌ සේ සැලකෙන්නකි. මෙය මානව සංවර්ධනය සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව සාපේක්‌ෂ හා සාධාරණ සංසන්දනයක්‌ සිදු කළ හැකි වාර්තාවක්‌ සේ ද සැලකේ. එසේ ම අද්‍යතන විශේෂිත ගැටලුවක්‌ හෝ ප්‍රවණතාවක්‌ පිළිබඳව එහි දී අවධානයක්‌ යොමු කෙරෙයි. ගත වූ කාලය ඇතුළත වාර්තාව සකස්‌ කරන ක්‍රමවේදයේ විකාශනයක්‌ සිදු ව ඇතත් එය මානව සංවර්ධනය සංසන්දනය කිරීමට ඇති හොඳ ම දර්ශකය අපට සපයා දෙයි. මේ වන විට විවිධ රටවල් ලෙස ද මානව සංවර්ධන වාර්තා ප්‍රකාශයට පත් වන ආකාරය දැකිය හැකි ය.

මානව සංවර්ධන දර්ශකය

මානව සංවර්ධන දර්ශකය යනු මානව සංවර්ධනයේ මූලික මාන තුනක ඇති ව තිබෙන සාමාන්‍ය වර්ධනය මැනීම සඳහා සකස්‌ කර ඇති සංකීර්ණ දර්ශකයක්‌ ලෙස දක්‌වා ඇත. එහි දී උක්‌ත මාන එක්‌ ව ගෙන දැක්‌විය හැකි තනි දර්ශකයක්‌ සකස්‌ කර තිබේ.

1. ආයු අපේක්‌ෂාව - දිගු සෞඛ්‍යසම්පන්න ජීවිත කාලයක්‌ තිබීම හෙවත් උපතේ දී අපේක්‌ෂිත ආයු කාලය මීට අයත් ය. ආයු අපේක්‌ෂාව තීරණය වන්නේ රටක ජනතාව සඳහා සපයා ඇති සෞඛ්‍ය පහසුකම් ආදි කරුණු රැසක්‌ මත ය. මේ නිසා අදාළ අංශ පිළිබඳ බොහෝ කරුණු මේ තුළින් නිරූපණය වන බව සැලකිය හැකි ය.

2. අධ්‍යාපනයේ තත්ත්වය - පාසල් යන සාමාන්‍ය වර්ෂ ප්‍රමාණය හා පාසල් යනු ඇතැයි අපේක්‌ෂිත වර්ෂ ගණන මේ තුළින් අදහස්‌ වේ. එය අදාළ රටේ පවත්නා අධ්‍යාපන පහසුකම් පිළිබඳව මෙන්ම අධ්‍යාපන මට්‌ටම පිළිබඳව ද තොරතුරු රැසක්‌ සපයයි.

3. ආදායම් දර්ශකය - ගෞරවනීය තත්ත්වයකින් ජීවත් වීම සඳහා ප්‍රමාණවත් වන ඒක පුද්ගල දළ ජාතික ආදායම මෙහි දී වැදගත් සේ සැලකේ. මෙය ජනතාව ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහසක්‌ සපයන්නකි.

අවසානයේ මානව සංවර්ධන දර්ශකය සේ සලකනු ලබන්නේ ඉහත දක්‌වන දර්ශක තුනේ සංකලනයකින් සකස්‌ කරනු ලබන අගයකි. එය බින්දුවත් එකත් අතර අගයක්‌ ගන්නා අතර ඒ අගය අනුව ලෝකයේ රටවල් කාණ්‌ඩ හතරකට වෙන් කරනු ලැබේ. ඒ ඉතා ඉහළ (very high), ඉහළ (high), මධ්‍යම (medium) හා පහළ (low) මානව සංවර්ධනයක්‌ ඇති රටවල් ලෙස ය. 2012 මානව සංවර්ධන දර්ශකය අනුව මේ පළමු කාණ්‌ඩ 3ට රටවල් 47 බැගින් ද, අවසන් කාණ්‌ඩයට රටවල් 46ක්‌ ද අයත් වේ.

කෙසේ වෙතත් මානව සංවර්ධන දර්ශකය පිළිබඳ ගැටලු නැතිවා ම නො වේ. ඉන් පළමුවැන්න වන්නේ පාරිසරික කරුණු පිළිබඳව ප්‍රමාණවත් තරම් වූ අවධානයක්‌ යොමු කර නො තිබීමයි. පරිසරය පිළිබඳ කරුණුවල වැදගත්භාවය ඒ අනුව අවතක්‌සේරු කර ඇතැයි සැලකිය හැකි ය. එසේ ම දර්ශකය සකස්‌ කිරීමේ දී අදාළ රටේ හෝ රටවල දැකිය හැකි තත්ත්වය පිළිබඳව පමණක්‌ සලකා බැලීම මේ පිළිබඳව ඇති තවත් විවේචනයකි. නිදසුනක්‌ ලෙස ගත හොත් අදාළ සංවර්ධන තත්ත්වය දෙස සමස්‌තයක්‌ ලෙස ජගත් මට්‌ටමින් සංසන්දනය නො කිරීSම දැක්‌විය හැකි ය. එසේ ම මේ සඳහා යොදාගන්නා දත්තවල ඇති ගැටලු සහ දර්ශකය ගණනය කිරීමේ සූත්‍රයේ ඇති ගැටලු පිළිබඳවද විවේචන තිබේ. එසේ ම මෙහි දී යොදාගෙන නොමැති අංශ ගැන ද අදහස්‌ දැක්‌වූ අවස්‌ථා තිබේ. මේ කරුණු අතර වුවත්, සංවර්ධනය පිළිබඳ සංසන්දනයක්‌ සිදු කිරීමේ දී ලෝකයේ භාවිත වන වඩාත් සාධාරණ දර්ශකය සේ මෙය සැලකිය හැකි ය.

ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනය

ශ්‍රී ලංකාව මානව සංවර්ධන දර්ශකයේ සිටින ස්‌ථානය කාලයත් සමග වෙනස්‌ වූ ආකාරය මේ සමඟ ඇති වගුවේ දැක්‌වේ. ඉන් පැහැදිලි වන ආකාරයට අපේ රට ඉහළ මට්‌ටමේ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් කාණ්‌ඩයට අයත් වන්නේ මේ පළමු වතාවට ය. එසේ ම වැඩි රටවල් ගණනක්‌ දර්ශකයට ඇතුළත් ව ඇති අවස්‌ථාවක දී, දර්ශකයේ ඉහළ ම ස්‌ථානයකට පැමිණ ඇත්තේ මේ වර්ෂයේ දී බව පෙනේ. (2010 වර්ෂයේ දී මේ දර්ශකය සකස්‌ කරන ක්‍රමවේදයේ වෙනස්‌කම් සිදු වූ බව මෙහි දී සඳහන් කළ යුතු ය).

එමෙන්ම 2012 දර්ශකය අනුව අපේ කලාපයේ සෙසු රටවලට සාපේක්‌ෂව ශ්‍රී ලංකාව ඉහළ මට්‌ටමක සිටියි. නිදසුනක්‌ ලෙස 2012 අගය අනුව ඉන්දියාව (136), පාකිස්‌තානය (146), මාලදිවයින (104), බංග්ලාදේශය (146), භූතානය (140) හා නේපාලය (157) යන රටවල් සියල්ල ඇත්තේ අපේ රටට පසුපසිනි.

ශ්‍රී ලංකාව මානව සංවර්ධනය අතින් ඉදිරියට පැමිණ ඇති බවක්‌ උක්‌ත වාර්තාවේ සඳහන් ය. ඇත්තෙන් ම කලාපීය වශයෙන් ගත්ත ද ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන මානව සංවර්ධනයක්‌ දැකිය හැකි ය. දේශපාලන දෘෂ්ටිය කුමක්‌ වුවත් ශ්‍රී ලංකාවේ මානව සංවර්ධනය පිළිබඳව ශ්‍රී ලාංකික සැමට ආඩම්බර විය හැකි ය යන්න සත්‍යයකි. සෙසු රටවල් හා සාපේක්‌ෂව ගත හොත්, ශ්‍රී ලංකාව වැඩි මානව සංවර්ධනයක්‌ අත්පත් කරගෙන ඇති බව මේ වාර්තා කිහිපයක ම පෙන්වා දී තිබේ. අපේ රටේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි අංශවල මෑත දශක කිහිපයක කාලයක්‌ තුළ ඇති වූ වර්ධනය පිළිබඳව සහ ඒ සඳහා වූ රාජ්‍ය අංශයේ දායකත්වය ජගත් මට්‌ටමේ වෙනත් වාර්තා ගණනාවක විශේෂයෙන් සඳහන් කර ඇත.

මේ තත්ත්වය සඳහා අපේ රට පාලනය කළ සැම ආණ්‌ඩුවක්‌ ම පාහේ දායකත්වය ලබා දී ඇති බව මෙහි දී සඳහන් කළ යුතු ය. වෙනත් අයුරකින් පවසන්නේ නම්, දේශපාලනික වශයෙන් කුමන වෙනස්‌කම් පැවතිය ද, කෙතරම් ගැටලු තිබුණ ද අපේ රටේ බලයේ සිටි සියලු ආණ්‌ඩු මානව සංවර්ධනයට අයත් වන අංශවල වර්ධනයක්‌ සඳහා සිය දායකත්වය ලබා දී ඇති බව සඳහන් කළ යුතු වේ.

ධනේෂ් විසුම්පෙරුම


Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු