නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත් ගුණ සමර-

නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත් ගුණ සමර-



දයල් බතී,  මහ ඇදුරු සුචරිත ගම්ලත් ගැන නොලීවොත් එය දයල් බතී  සිය දෙමාපියන් අමතක කිරීම හා සමය, මන්ද දයල් බතී  අභාශයන් ලැබූ පුද්ගලයින් අතර එතුමා ප්‍රධාන ස්තානයක් ගන්නා බැවිනි.

අවුරුදු 78 ආයු වලඳා අපෙන් සමුගත් සුචරිත ගම්ලත් මහ ඇදුරු තුමාට  කල හැකි උත්තම ගෞරවය ලෙස දයල් බතී හිතන්නේ එතුමා අපට කියා දුන් පෙන්වා දුන් අදීනත්වය ඉදිරියට ගෙන යාමට හැකි තරමින් දායක වීමයි.  එතුමා ගැන පලමුව දැන ගත්තේ 84 -85 කාලයේ විප්ලව වාදී කොමියුනිස්ට් සංගමය විසින් සංවිධානය කල දේශන අදියට සහභාගී වීමෙනි. එමෙන්ම ඔවුන්ගේ පුවත් පත් කියවීමෙනි.
සුචරිත ජනතාව අතර ප්‍රසිද්ධ දෙඤ්ඤං බැටේ විචාරය දෙන මහචාර්‍ය වරයා ලෙසය. එතුමා සහභාගී වන සම්මන්ත්‍රණ වැඩ මුලු රැස්වීම් වලදී එතුමාගේ වාරය එනතුරු අප බලා සිටියේ නොඉවසිල්ලෙනි.  ඒ ජාතිවාදීනට පහර දෙන සැටි අසා සතුටු වන්නටය. බඩගෝස්තරයට ප්‍රසිද්ධියට ජාතිය විකුණාගෙන කන ගී ගැයූ සමහර කෝකිලාවියන් වේදිකාව මත කඳුලු වගුරවන්නට ජාතිවාදීන් පතුරු හැරිය  ඒ විචාර වාග් ප්‍රහාර සමත් විය. බඩගෝස්තරය උදෙසා ඒ විචාර නොකල බැවින් ඒ ගායක ගායිකාවන් ඒ ගීත ගැයීම නවතා දැමුවා මිස කෙදිනකවත් එතුමා සමග උරන නොවීය.

මාටින් වික්‍රමසිංහ ප්‍රිය කල, විශ්වාස කල, සරල බව හා ගැමි ගතියත් සරත්චන්ද්‍රගේ කලා කාමී විදග්ධ භාවයත්, රවීන්ද්‍රනාත් ටාකුරයන්ගේ ජාතික සීමා අතික්‍රමණයත් ලෝක දැක්මත්,ජාතිවාදයට විරුද්ධව මුත් ප්‍රභාකරන්ගේ සම්මුති විරහිත සටන් කාමි බවත් තොටගමුවේ රාහුල හිමියන්ගේ විචිත්‍ර වාග් කෞශල්‍යත් ඔහු තුලින්  දුටිමි.


අවසන් වරට එතුමා සම්බන්ද දෙයක් මා කලේ නම් ඒ එතුමාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වූ මහා ශබ්ද කෝශය මිලදී ගැනීමයි. පිටු 2404 කින් වෙලුම් දෙකකින් යුත් මෙය මහා නිර්මානයකි. සිංහල බසට දායාදයකි. මහ ආලෝකයකි. කුමාරතුංග මුණිදාස , මලලසේකරාදීන් ආරම්භ කල හෙළ බස ගොඩනැගීමේ ක්‍රියාවලිය තව ගව් දහසකින් ඉදිරියට ගෙන යාමකි.


 මහ ඇදුරු මල ගිය දින, දැක්ම, චින්තනය අතින්  ඔහුගේ ප්‍රතිමල්ලවයෙක් වන නලින් ද මහ ඇදුරු තුමා නිතැතින්ම මගේ මතකයට එන අතර ඔහු (නලින්) වඩාත් දුක්වන්නටත් ඇති. මන්ද ඔහුගේ චින්තනයේ සාරත්වය, තීක්ශනත්වය, මුවහත් කරන්නටත් උරගා බලන්නටත් තිබූ මහ උරගලක් අහිමි වූ බැවිනි.

මේ මහ ඇදුරුන් මතවාදීව වේදිකාව මත හැප්පෙනු මා කීප වාරයක් දැක තිබෙනවා. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් විසින් නායකත්වය ගෙන ජයග්‍රහනය කරා ගෙන ගිය,  පානදුරා වාදය අබෞද්ධ අයත් බුද්ධාගම වැළඳ ගන්නට යොමු කලේ යම් සේද මේ වාද විවාද ජාතිවාදයෙන් මා ගලවා ගත්තේය. එහි ප්‍රමුඛ කාර්‍යභාරයක් කලේ මහ ඇදුරු සුචරිත ගම්ලත්  බව කියන්නේ ස්තූති පූර්වකය. එතුමා ජාතිවාදය නැමති මහා සුළඟට නොසෙල්වුනු මහ පවුරක් විය.

මට හිතෙන හැටියට, මේ බටහිර විද්‍යාවන් පට්ට්පල් බොරුය කියමින්, නලින් කටයුතු කරගෙන යන්නේ බටහිර විද්‍යාවත් අන්ධ ලෙස  අප විසින් වන්දනා මාන කරන එක නවතන්නටයි. විද්‍යාත්මක යයි කියන තාක්ශණය සංකල්පයන් හා දැනුම විසින් පසු ගිය අවුරුදු 500 පුරා අපව වහල් කිරීම කරා ගෙන ගිය බව මතක් කර දෙන්නටය. බටහිර ජාතීන් විසින් කොන්ද කඩා දමා ඇති ශ්‍රී ලාංකික ජාතියේ කොන්ද කෙලින් කරන්නටයි.


ඒත් මට ප්‍රශ්නයක් තිබේ.

මේ තත්වය මට සිහිගන්වන්නේ වීර මොණරවිල කැප්පෙටිපොල චරිතයයි. වෙන නමකින් කියනව නම් ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරී කැප්පෙටිපොල දිසාව ඉංග්‍රීසීන් විසින් 1818 කැරල්ල මැඬලීමට යවන ලදුව, සිය ජාතියට එරෙහි වීමට නොහැකිව කැරලි කාරීනට සම්බන්ධ විය. එසේ කිරීමට ප්‍රථම ඉංග්‍රීසීන්ගේ ආයුධ වලින් ඔවුනටම පහර දීම තමනට නොතරම් යයි කියා ඒවා නැවත ඔවුන් වෙත යවා ලූයේය.

අද අප සතුව ඇති ඔවුන්  විසින් අපට දී තිබෙන ආයුධය විද්‍යාත්මක ක්‍රමයයි.

----end-------

නලින් ගේ දර්ශනය ගැන ලිපියක් මයියාගෙන්

http://maiyyagelokaya.blogspot.com.au/2011/01/blog-post.html

----------------------------------------------------
පහත අමුණා ඇත්තේ,  මහ ඇදුරු සුචරිත ගම්ලත් ශූරීන් ගැන පුවත් පත් වාර්තා එකතුවකි


ප්‍රශස්‌ත පඬිරුවන මහාචාර්ය සුචරිත ගම්ලත්

සිංහල සාහිත්‍ය කලාව පෝෂණය කිරීමේ යුග මෙහෙවරක නිරතව සිටි මෙරට බිහිවූ කීර්තිමත් විද්වතෙකු හා වාග් විද්‍යාඥයකු වූ ප්‍රවීණ ලේඛක මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා පෙරේදා (30 වැනිදා) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

1934 වර්ෂයේ මාර්තු 16 වැනිදා උපත ලැබූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වැනි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා "දිවයින"ට පැවැසුවේ පෙනහළු පිළිකාවකින් පීඩා විඳිමින් මසක පමණ කාලයක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිsටි මහාචාර්ය ගම්ලත් මහතා පෙරේදා උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි.

මෑත යුගයේ මෙරට බිහි වූ පුරෝගාමී භාෂා විශාරදයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා 1959 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඔහු පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක්‌ සහිතව උපාධිය ලබමින්, අනතුරුව එම විශ්වවිද්‍යාලයේම සිංහල අංශයේ සහකාර කථිකාචාර්යවරයකු බවට පත් විය.

1969 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය (චයසකදිදචයහ) පිළිබඳව ආචාර්ය උපාධිය හිමිකරගත් ඒ මහතා 1970 දී කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයට පත් විය.

1975 දී යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයා වූ ඒ මහතා එහි මානව ශාස්‌ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා ද විය. යාපනය විශ්වවිද්‍යාලයේ එවකට ශිෂ්‍ය කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස සිංහල දෙමළ සිසුන් අතර සහෝදරත්වය සහජීවනය වර්ධනය කිරීමට පෙරමුණ ගත් ගම්ලත් මහතා එහි දර්ශනය, ඉංග්‍රීසි, සිංහල යන අංශයන් හි අංශාධිපතිවරයා සහ 1977 දී එහි කලා හා විද්‍යා පීඨවල සමාරම්භක පීSඨාධිපතිවරයා ලෙස ද සේවය කළේය.

1979 දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවයට එක්‌ වූ ඒ මහතා අලුතින් පිහිටු වූ රුහුණ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති ධුරයට පත්කරන ලදී.

භාෂා දහයක්‌ චතුර ලෙස හැසිරවීමට හැකියාවක්‌ තිබූ, සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂා ප්‍රමුඛව පෙරදිග භාෂා ශාස්‌ත්‍ර පිළිබඳව මෙරට බිහි වූ විශිෂ්ට ගණයේ බුද්ධිමතෙකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ඉංග්‍රීසි හා සංස්‌කෘත භාෂාවලින් ලියෑවුණු ග්‍රන්ථ රැසක්‌a පරිවර්තනය කොට සිංහල පාඨක ප්‍රජාව හමුවට ගෙන ආවේය.

විචාරකයකු ලෙස සාහිත්‍යකරණයේ යෙදෙමින්ද. දර්ශනය, භාෂාව, දේශපාලනය, නාට්‍ය කලාව, විචාර, සමාජ විද්‍යාව යන විෂය ක්‍ෂේත්‍රයන් ඔස්‌සේ ග්‍රන්ථ 80 ක්‌ පමණ රචනා කරමින්ද, මෙරට සරසවි අධ්‍යාපනය ඉහළ තලයකට රැගෙන යැමට කැපවෙමින්ද, මෙරට මාක්‌ස්‌වාදී සාහිත්‍ය පෝෂණය කිරීමේ නියමුවකු වෙමින්ද ඒ මහතා සිංහල සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයන්හි දශක පහක්‌ පුරා පුරෝගමී මෙහෙවරක නිරත විය.

90 දශකයේදී "දිවයින ඉරිදා සංග්‍රහය" ටද, "දිවයින" දිනපතා පුවත්පතට ද සාහිත්‍ය ලිපි සම්පාදනය කළ සුචරිත ගම්ලත් මහතා රෝගී වන තුරුම මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් හා වාර ප්‍රකාශන, ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකා සඳහා සාහිත්‍ය විචාර ලිපි, වැඩසටහන් පිටපත් රචනා කරමින් සුවිශේෂී මෙහෙවරක නිරත විය.

සිය ගුරු දේවයාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පිළිබඳව ලියෑවුණු "ගුරු ගුණ සමර" ග්‍රන්ථය සකස්‌ වූවේද මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් 1996 - 97 යුගයේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට ලියූ ලිපි පෙළක්‌ ඇසුරෙනි.

මෙතෙක්‌ මෙරට ප්‍රකාශයට පත් වූ ප්‍රශස්‌තම ශබ්ද කෝෂය ලෙස සැලකෙන "ඉංග්‍රීසි - සිංහල මහා ශබ්ද කෝෂය" ද සුචරිත ගම්ලත් මහතාගේ දැවැන්තම ශාස්‌ත්‍රීය කාර්යභාරයක්‌ ලෙස සැලෙක්‌.

ඒ මහතාගේ අභාවය පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවැසුවේ සිංහල විචාර කලාව තුළ විප්ලවයක්‌ සිදුකරමින් විචාර කලාව නව මානයකට රැගෙන ගිය පුරෝගාමියා සුචරිත ගම්ලත් මහාචාර්ය වරයා බවත් රටට එතුමන්ගේ අහිමි වීම කිසිදා පිරවිය නොහැකි වනු ඇති බවත්ය.

දෙදරු පියෙකු වූ අභාවප්‍රාප්ත සුචරිත ගම්ලත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ප.ව. 3 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය. දේහය දැනට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබේ.

සචිත්‍ර නේරංජන ඇල්වලගේ



බුද්ධි සද්දන්තයා සුචරිත ගම්ලත්

PDFPrintE-mail
මහැදුරු - මහපඩිවර , සූක්ෂමඥානාර්ථදර්ශී, සුචරිත ගම්ලතුන්ගේ වියෝව සවන්පත් සැණින් මගේ මතකයට ආවේ හෙළ ව්‍යාකරණඥ මුනිදාස කුමාරතුංගයන් දැයෙන් සමුගත් කල් හි පී. මලල්ගොඩ කවියාණන් ලියූ කවියක  පහත දැක්වෙන කොටසයිS.-G'lath01
ඔබෙන් හිස් වුණු - නිසා සත් රඟ 
මඩල මින් පසු නැතිවැ විළි  පිළි
ඉතින් කාටත් බැලිය හැකිවෙයි 
මහදවල් බකමුහුණු නළු කෙළි
රෑට දෑස් පෙනෙන- බකමූණන් දවල්
සැඟවී සිටී තැන්වලින් නොබා - එළි
බැස උඩින්, උඩින් - අඩි තබමින් රඟන කළ කවරනම් අරුමයක්- මැවේද?

 සක් දෙවිඳුගේ සබෙහි සිටින පංචශිඛ දිව්‍ය වීණාවෙන් මියැසි රසය මවන අයුරින් හෙළ බස වීණාවක් සේ භාවිත කරමින් මියැසිරස මැවූ මහැදුරු ගම්ලතුන්නේ පසු හඩුබසින් යකඩ තලන අමිහිරි හඬට සවන්දීමේ අභාග්‍ය අපට හිමිවනු ඇත.
ගම්ලතුන්ගේ පන්හිඳෙන් හෙළ බසේ සුලලිත සුමට පද වැල් ගලා ගියේ අපගේ මනස් ඉන්ද්‍රිය සියුම් අරුත් රසයෙන් සුසිනිඳු කරවමිනි.
ගම්ලත් මහප¾ඩිවරයාණෝ වියරණ, පද, ඈද දොස්වලින් මිදී බස, භාවිත කළහ. සමහර සරසවි ඇදුරෝද ඔවුන්ගේ බස නොලිහිල් යැයි මැසිවිලි නැගූහ. එවැනි ඇදුරෙකුට  ගමලත් හු මෙසේ පිළිතුරු දුන්හ.
‘මෙකී කථිකාචාර්ය තැන වැනි පුහු පුද්ගලයන්ට බුදීමට සරල බසින් ලියූ පහත සඳහන් මානසික ආහාර ඇත.
අරලිය, සුව½ද, තරුණයා - සඳ රේණු,
කිංකිණි, තරුණි, සිනෙරු, සීදේවි, චිත්‍රකතා, ක්‍රිකට් ලොව, තිරතරු, ගීතා, ශ්‍රියාවි, මධුරී, සදාවාසනා, නවලිය, සිරිකත, සිව්රස, කැදැලල, සිත්තර සත්සර
(ගුරු ගුණ සමර - පි. 135)
මහාචාර්ය සුචරිත ගම්ලත් යනු මෙරට පාරිවේණික අධ්‍යාපාන ‍පෝෂණයෙන් සහ සම්භාව්‍ය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර සේවනයෙන් බිහි වූ අග්‍ර ඵලයකි. ගම්ලතුන් පේරාදෙණියේ ලංකාවිශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ 1959දීය. එකව පේරාදෙණිය සරසවිය ගැන ඔවුහුම මෙසේ තැනෙක සඳහන් කරති. 
‘එසමයෙහි පේරාදෙණිය සරසවිය නම් මිහි බට සුරපුරකි. එය පිහිටා සිටි සුවිසල් උයන නම්  බිහිබට නඳුනුයනයි. ඒ පේරාදෙණියේ බාහිරි පරිසර  වර්ණනාවය. බාහිර පරිසරය තරමටම එකල එහි ශාස්ත්‍රවිද්‍යා පරිසරයද සුවිචිත්‍ර විය.
පුරා විද්‍යාඥ මහාචාර්ය සෙනරත් පරණවිතාන, භාරතවේද විශාරද මහාචාර්ය ඕ.එච්.ද. ඒ. විජේසේකර,  භාෂාන්තර විශාරද මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි,  මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ග්‍රන්ථ විශාරද ඉයන් ගුණතිලක සාහිත්‍ය කලා විශාරද මහාචාර්ය සිරි ගුණසිංහ, මෙරට පුරෝගාමී වාග් විද්‍යාඥ මහාචාර්ය සුගත පාල ද සිල්වා, ඉංගිරිසි සාහිත්‍ය  විශාරද සහ මාක්ස් වාදයේ පරතෙරපත් ඩොරික් ද සුසා, මහාචාර්ය කේ.එන්. ජයතිලක, මහාචාර්ය ඇම්.ශ්‍රී රම්මණ්ඩල, ආදි සුධීමත් හු එකල පේරාදෙණියේ වියත් ගණ ගගන බැබැලූ තරු මණ්ඩලයට අයත් වූහ. 
ගම්ලත් නමැති සුධීමතාණන් බිහි වූයේ එකී වියත් තරු මඬලෙන් ප්‍රභා සම්පන්න වූ පිය සටහන් ඔස්සේය.
වෙසෙසින් ගම්ලතුන්ට ශාස්ත්‍රීය මාර්ගෝපදේශකත්වය ලබා දුන්නෝ ඇම්.බි ආරියපාල හා එදිරිවීර සරච්්චන්ද්‍ර ආදී පුරෝගාමි මහැදුරෝය.
පසුකාලයේ දී න්‍යායාත්මකව වෙනස් ආස්ථාන දැරුවද ගම්ලතුන්ගේ සමීපස්ථ ගුරුවරයා මහාචාර්ය එදිරිවීර සරච්්චන්ද්‍රයෝ වෙති. ගම්ලතුන් සිංහල, සාහිත්‍යකලා, අධ්‍යයනට යොමු වූයේ සරච්චන්ද්‍රයන් නිසාය. මහාචාර්ය 
සරච්චන්ද්‍රයන්ගෙන් ලැබුණු දායාද ගම්ලත්හූ මෙසේ නොපැකිළව දක්වති.
‘එතුමාණන්ගේ ඇසුරින් මාගේ සාහිත්‍ය කලා සංවේදීතාව සියුම් විය. විචාර ශක්තිය නිපුණ විය. සෞන්දර්ය කාමය ලියලීය. බොහෝ චිරාගත අවිද්‍යාත්මක මිථ්‍යා විශ්වාස වලින්ද අගතීන්ගෙන්ද මම මිදුණෙමි. ශාස්ත්‍රයට කැප වී වැඩ කරන ආකාරයත් සම්පූර්ණ නිරාකුල භාවය ලැබෙන තෙක් කිසි දෙයක් නොපිළි ගැනීමේ මහඟු ගුණයත් මම එතුමාණන්ගෙන් උගතිමි.
(ගුරු ගුණ සමර පිටු 98)
ආචාර්ය සරච්චන්ද්‍ර නමැති මහා විද්වතාණන්ගේ ඥානරශ්මි ප්‍රභාවෙන් ගම්ලත් නමැති පුෂ්පය සුවිිකසිත වූ අයුරු ඉහත උපුටනයෙන් පැහැදිලි වෙයි.
මහ ප¾ඩිවර ගම්ලතුන්ගේ වියෝව අපගේ හද කම්පා කරනවන්නේ ඇයි? ගම්ලත්හු වෙහෙස මහන්සියෙන් යුතුව කාය ජීවිත නිරපේක්ෂව අඛණඩව, අනලස්ව අනවරතයෙන්, ලාභ, සත්කාර, කීර්තිය, ප්‍රශංසා ආදී පටු අපේක්ෂාවලින්  තොරව ඥානයයේ මූලාශ්‍රම පරිහරණය කරමින් ශාස්ත්‍ර සේවනයට කැප වූ පරපුරේ අවසන් සාමාජිකයෙක් වෙති. එවැනි පරපුරක සුධීමතකු සමුගැනිමෙන් කම්පා නොවන හදින් කරවනම් වැඩෙක්ද?
හේතු, යුක්ති පදනම් කරගෙන විචාරයේ යෙදුණු ඔහු අපට සිටි එබඳු එකම අදීන විචාරකයාණෝය. විචාරයේදී ගුරුකුල පක්ෂපාතකම්, පෞද්ගලික , හිතවත්කම් ගම්ලතුන් තඹදොයිතුවකට හෝ මායිම් කළේ නැත.
මාක්ස්වාදී අ‍පෝහක  තර්ක ක්‍රමය පදනම් කරගත්  ගම්ලත් සුධීමතුන්ගේ විචාර කලාව නො ඉවසූ සමහරු  එය ‘ තෝ කඤ්ඤං විචාරය යනුවෙන් හැඳින් වූහ. ඊට හේතුව ගම්ලතුන් කාගේ හෝ පිටි කැසීමට විචාර කලාව නොයොදා ගැනීමය.
පේරාදෙණිය සරසවියෙන් ගම්ලතුන් ලැබූ ශාස්ත්‍රීය පන්නරය ඔපවත් වූයේ ලන්ඩන් සරසවියේ බර්ක්බෙක් විද්‍යායතයේ දී සිදු කළ පශ්චාත් උපාධි පර්යේෂණ නිසාය.
ආචාර්ය රූබි මීගර්. මහාචාර්ය ඩේවිඩ් වෝල්ට හැම්ලින් ආදී ගුරුවර ගුරුවරියන් යටතේ ගම්ලත් හූ දාර්ශනික අධ්‍යයනයේ නිරත වූහ. 
ලන්ඩන් සරසවියේදී ගම්ලත් හූ බටහිර දර්ශනවාද, බටහිර සෞන්දර්ය විද්‍යාව හා භාරතීය සෞන්දර්ය විද්‍යාව   පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක නිරත වූය. ආචාර්ය උපාධියට සූදානම් වීමට  ගොස් ගම්ලත්හු   ලන්ඩනයේදී ඉහළ විදග්ධ භාවයක් ලැබූහ.
ලන්ඩනයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන අතරේ ගම්ලත්හු දිවිගැට ගසා ගැනීම සඳහා පුරාණ භාරතීය ශිලාලිපි ඉංගිරිසියට නගමින් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ අර්ධකාලීන රැකියාවක නිතර වූහ. ගම්ලතුන්ගේ විදග්ධ භාවය කෙරෙහි පැහැදුණු  බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ පෙරදිග පුස්තකාලයේ අධ්‍යක්ෂ ශ්‍රීමත් කෙනත් ගාඩ්නර් මහත්මා එහි සහායක අධ්‍යක්ෂ ධුරයකට  ඉල්ලුම් කරන්නැයි ඔවුන්ට කියා තිබේ. එහෙත් ගම්ලතුන් එම ධුරය ඉල්ලුම් කළේ නැත. ඊට හේතුව ඔවුහුම මෙසේ දක්වති.
‘ලංකාවේ දුප්පත් ජනයාගේ ශ්‍රමයේ අතරික්තයෙන් ඉගෙන ගත් මම ලංකාවටම පෙරළාවිත් ඔවුන්ගේ දරුවන්ට ඉගැන්විම මගේ පරම යුතුකම ලෙස සිතීමි. 
(ගුරුගුණ සමර - පි. 80)
මේ රටේ දුප්පතුන්ගේ මුදලින් ඉගෙන පිටරට නතර වී ඉසුරු සොයන ඇදුරෝ, දොස්තරලා, ඉන්ජිනේරුවෝ කොපමණ නම් සිටිත්ද?
1966 දී පමණ ලන්ඩන් ගිය ගම්ලත්හු 1970 දී යළි ලංකාවට ආහ. නිරන්තරයෙන් ධර්ම ශාස්ත්‍රීය පර්යේෂණවලටම කාලය වැය කළ ඔවුහු ග්‍රන්ථ සංශෝධකයකු විවරණ කරුවකු ‍ලේඛකයකු, පරිවර්තකයකු, විචාරකයකු, සමාජ, දේශපාල, ක්‍රියාධරයකු ආදී වශයෙන් භූමිකා රැසක ක්‍රියා කළහ.
ගම්ලතුන්ගේ සාහිත විචාර ග්‍රන්ථාවලියෙන් ඔහු කළ කව්සිළුමිණ, විනිස  මහරු තැනක් ගනී. එයම ඔහුගේ උත්තෘෂ්ඨ සාහිත්‍ය සේවයටත්, සුනිශිත විචාර කෞශල්‍යටත්, දෙස්දෙයි. එයට අමතරව  ගුත්තිල විනිස උම්මග්ගජාතක ප්‍රවේශය, සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප, කව්සේකර විනිස, මේ මියුරු පදැති සැළලිහිණිය, සාහිත්‍ය කලාදී සමීක්ෂා, සුබස්මිණිආර, මහගමසේකර හා සමාජ  යථාර්ථය, ගී රස වින්දන, සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාසනය ආදී සාහි්‍ය කලා විචාර ග්‍රන්ථත් ශෝකයත් රසයක්ද?  බෝල් ශෙවික් වාදය හා සාහිත්‍ය කලා, කලාව හා විඤ්ඤාණවාදය, ඓතිහාසික  භෞතිකවාදය හා කලාව, සෞන්දර්්‍ය විද්‍යා ඉතිහාසය, රසවාද විවරණ, සාහිත්‍ය න්‍යාය, ඇතැම් ප්‍රශ්න වැනි සාහිත්‍යයේ න්‍යායාත්මක පාර්ශ්වය පිළිබඳ ග්‍රන්ථාවලියකුත් ගම්ලත්හු මතුපරපුරට ශේෂ කර ඇත්තාහ. 
ගම්ලතුන්ගේ පරිවර්තන අතර මහාභාරතය, නාට්‍ය ශාස්ත්‍රයේ රසස්වාදය, සිංගප්පූරු දරුවා, ශ්‍රී ජය දේවයන්ගේ ගීත ගෝවින්දය, ලුඩ්විග් ෆොයාබක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය, අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය, මොස්කව් නුවර අවනඩු ආදී ග්‍රන්ථයෝ ප්‍රමුඛ තැනක් ගනිති.
සිංහල ථූපවංශය, වෙස්සන්තර ජාතක කාව්‍ය, යශෝදරාවත, ගිරා සඳෙශ හා විනිස, නිකාය සංග්‍රහය, සිංහල  බෝධිවංසය වැනි ග්‍රන්ථ ඔවුන් කළ සංශෝධන හා විවරණය. 
අභාවප්‍රාප්ත වීමට නොබෝ කලකට පෙර ඔහු කළ මහගු සේවයයේ ඉංගිරිසි, සිංහල මහා ශබ්ද කෝෂය එළිදැක්වීම දැක්විය හැක. 
එයම ඔහුගේ භාෂා ශාස්ත්‍ර පාරගත ඥාන සම්භාරය සනාථ කිරීමට ප්‍රමාණවත්ය. එවැනිම මහරු ශාස්ත්‍රීය කාර්යයන් කිහිපයකටම ඔහු දැයෙන් සමුගන්නා විටත් අතගසමින් සිටියේය.
මෙසේ සහසක් නය ප්‍රතිමණ්ඩිත විශාරද ඥානයකින් යුක්ත වූ හා නන් ඉසව් මගින් දස්කම් දැක් වූ මානව ශාස්ත්‍ර විෂය යෙහි පතළ පණ්ඩිත්‍යයකින් හෙබියා වූ පඩිවරයෙක් මේ දූපතේ වෙන කොතැන්හි වෙසෙද්ද?  එවැනි මහපඩිවරයකු යළි බිහිකළ හැකි සුජාත පරිසරයක් අද මෙහි තිබෙන්නේ නම් ඒ කවර සරසවියේද? පක්ෂ පාර්ශ්ව නොගෙන බස්දොස්, දෘෂ්ටි දෝෂ, ආදිය පෙන්වා දෙන හොඳ කශේරුකාවක් සහිත හෝමෝසේපියන් වර්ගයේ අදීන විචාරකයෙක් වෙන කොහි වෙද්ද? ගාල කඩාගෙන යන්න වුන්ට ගම්ලතුන් නිතර සිහිපත් කළේ අමාවතුර, බුත්සරණ ආදී අපේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති මැනවින් හදාරා දූපත් මානසිකත්වයෙන් මිදෙනු වස් ඉංගිරිසි ආදි සාහිත්‍යයද ඇසුරු නිසරු කළ යුතු බවය. මෙවැනි පුළුල් මඟ පෙන්වීමක් කළ හැකි ගුරුවරයකු මින් පසු අපට නොමැත. අද රටම ශෝක විය යුතු වුවද නළු නිළියන්, ක්‍රීඩකයන්, දේශපාලකයන් ආදීන් වීරයන් කරගත් රටකින් එවැන්නක් අපේක්ෂා කළ හැකිද? 
ගම්ලතුන්ගේ ගුරුවරයාණන් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1988 සැප්තැම්බර් 13 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයට ඔහු ගැන කළ සටහනකින් මේ සටහන අවසන් කරමි.
‘මහාචාර්ය සුචරිත ගම්ලත් එක් කලෙක මගේ ගෝලයෙක් විය. එහෙත් ඔහු ගුරුවරයා අභිභවා සිටි ගෝලයෙකි. මගෙන් ඉගෙන ගැනීමට ඔහුට කිසිවක් තිබිණැයි නොසිතමි. ඔහු අද්විතීය ගණයේ බහුශ්‍රැත පණ්ඩිතයෙකි. සිංහල, පාලි , සංස්කෘත යන භාෂා  
ක්‍ෂේත්‍රයන්හි ඔහු තරම් ප්‍රවීණයකු සංඝයා වහන්සේල අතරවත් ඇතැයි මම නොසිතමි. ඔහු පෙර අපරදිග දර්ශන විෂයෙහිද කෙළ පැමිණියෙකි. සාහිත්‍යය නාට්‍යය, විචාරය වැනි විෂයන් ගැන ඔහු විසින් අගනා ‍පොත් ගණනාවක් ලියන ලදී.
වරුණ අබේසේකර 
ඔවුහු සුචරිත ගම්ලත් නම් වුහ.

by Krishantha Fedricks (Notes) on Sunday, March 31, 2013 at 9:26pm




මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ වියෝව කන වැකෙත්ම එය මා තුළ තිගැස්මක් ඇති නොකළත් යම් කිසි කම්පාවක් ජනිත කෙළේය. ඊට හේතුව යම් කෙනෙකුගේ රූපකායක භෞතික වියෝවත් සමග ඔහු හෝ ඇය කළ කී දෑ සියල්ල ද ඒ සමග වියෝවේ යැයි අප තුළ වන අස්ථාන බිය නිසා විය හැකි ය. තමන් ගේ සිරුරට අමතරව, ජිවතුන් අතර සිටිද්දී තමන් ගොඩනැගු වටිනාකම් ද අයිති වන කිසිවකු මරණයට බියවන්නේ නැතිවාක් මෙන්ම එවන් අයකුගේ භෞතික වියෝව සමාජීය අර්ථයෙන් දුක් ගෙන දෙන්නක් ද නොවෙයි.



මහාචාර්ය ගම්ලත් සමග මා කිසි දවසක එකදු වචනයක්වත් දොඩා නැත. ඔහු අසල ගැවසුණු අවස්ථාවල පවා ඔහු සමග දෙඩිමේ අභිලාශයක් මා තුළ නුවූයේ මා හමුවේ ඔහුට කිව හැකිව තුබූ සියලු දෑ ඔහු ඊට පෙර ලියා කියා තිබූ බැවිනි. ඇරත්, 2000 දශකය වන විට ඔහු අපට කිවයුතු සියලු දෑ කියා අවසන්කොට තිබු බව මාගේ තක්සේරුවයි. ඉන් අනතුරුව ඔහු ලියු කියූ බොහෝ දෑ සිහි කැඳවන්නේ වැලිමඩ ප්‍රදේශයේ අර්තාපල් ගොවීහු ය. ඔවුහු ද කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව ද, කලක් තිස්සේ තමන්ට හුරු එකම රැකියාව එය වන බැවින්ද ඵලදායිතාවකින් තොරවම කාෂ්ඨක පොළොව සමග හැප්පෙති, පරණ බීජම වපුරති, නිසරු වූ බිමකින් මහත් නොවූ පල ලබා ඉන් සැනසෙති, අනුනුත් සනසවති.



කෙසේවතත්, ගම්ලත් නම් පෞරුෂය කිහිපාකාරයකින් මගේ පරම්පරාවේ ජිවන හා බුද්ධිවිෂයික වෘත්තීය දෘෂ්ටිය වර්ධනය කර ගැනීමට බලපෑවේ ය. එක් කලෙක ඔවුහු ශාස්ත්‍රාලීය බුද්ධිමය සබදතාවල ආදර්ශ රූපය වුහ. පැටිවියේ සිටම ගම්ලතුන් හා ඔහු ප්‍රිය ගුරුදේව සරච්චන්ද්‍රයන් අතර වූ ගුරු-සිසු සබදතාව ළඟින් නිරීක්ෂණය කළ ම'සිත අරා සිටි ගම්ලතුන් වනාහි සිය ගුරුන් සමතික්‍රමණය කළ පරමාදර්ශී ශිෂ්‍ය රත්නය විය. එකල ගම්ලතුන් අතින් සරච්චන්ද්‍ර අනුදත් විචාර මග කෙරෙහි එල්ල වුණු විවේචනය, "කල්පනාලෝකවාදය" කෙරෙහි මා තදින් ආශක්තව සිටියෙමි. සරච්චන්ද්‍රයන් ගේ අභාවයෙන් පසු ඔහු "දිවයින" ට ලී "ගුරු ගුණ සමර" ලිපි පෙළ ඔහු කෙරෙහි අපතුළ වූ භක්තිය ද්විගුණ කෙළේ ය. සරච්චන්ද්‍ර අරභයා ගම්ලතුන් කළ විවේචනය මහා පෞරුෂ ඉදී කටු තුඩුවලින් කුප්පන වර්ගයේ එකක් නොවුණු අතර ඒ වනාහි ට්‍රොස්ට්කිවාදී විචාරමහද්වීපයෙන් ලිබරල්මානවවාදී සහ පෙරදිග සෞන්දර්යවාදී විචාර මහද්වීප ඉලක්ක කොට එල්ල වූ අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලමය විවේචනයක් විය.



මහාචාර්ය සරච්චන්ද්‍රට "ස්ත්‍රීත්වය" ගුඪකරණිත විෂයක් වූයේ යම් සේ ද මහාචාර්ය ගම්ලත් තම සාහිත්‍ය න්‍යායික ජීවිතය පුරා "පිතෘ" අනන්‍යතාව වෙනුවෙන් අරගල කෙළේය. අන්වචනවලින් පවසතොත් සරච්චන්ද්‍ර තම සාහිත්‍ය නිර්මාණ මතු නොව පෞද්ගලික ජිවිතයේ දී ද "ස්ත්‍රිය යනු කුමක් ද?" යන පැනයට පිළිතුරු සොයමින් සිටියෙ වී නම්, ගම්ලත් තමා "පියකු වන්නේ කෙසේ ද?" යන ගැටලුව සමග පොර බැදුවේය. සාහිත්‍ය විචාරයේ, භාෂා විචාරයේ මතු නොව සමාජ විචාරයේ දී ද තමන් ගේ පිතෘත්වය අහිමිවන සැම අවස්ථාවකම හේ කිපුණේය, නොදැමුණේය, සකු තත්සම වාග්බාහුල්‍යයෙන් යුත් පණ්ඩිතප්‍රිය භාෂාවෙන් බැණ වැදුණේ ය; තම න්‍යායික/විචාරක පිතෘත්වය තර්ජනයට ලක් කළ වුන් මස්තිෂ්ක ඛාදක බුද්ධි ඝාතක ගවමහිසාදීන් ට සම කෙළේය. ඔහු ගේ න්‍යායික පිතෘත්වය දැඩිව තර්ජනයට ලක් කළ එක් ගැහැණියක් සිටියා ය. ඒ මහාචාර්ය පියසීලි විජේගුනසිංහයි. ඉන් අනතුරුව එවක පැවතී "x" කණ්ඩායම ගම්ලත් ගේ විචාරවිධික්‍රමවල සිමා පෙන්වා දුන් අතර ආචාර්ය ලියනගේ අමරකීර්ති බැරෑරුම් ලෙස ඔහුව සටනට කැඳවූ අවසානතමයා බැව් මාගේ තක්සේරුව යි.



මිට වසර අටකට හො දහයකට පමණ පෙර අචාර්ය අමරකීර්ති මහාචාර්ය ගම්ලත් ගේ විවේචක අක්ෂය විවේචනය කරමින් Amarasekara Vs. Gamlath නමින් දීර්ඝ ලිපියක් Dailynews පුවත්පතෙහි පළකළ අතර එහි පළමු කොටස ම'මිතුරු චින්තක රණසිංහ සමග ද දෙවන කොටස මා තනිව ම ද පරිවර්තනය කොට 'සිළුමිණෙ'හි හෝ 'දිනමිණෙ'හි පළකෙළෙමු. ඉන් කිපුණු ගම්ලත්හු අමරකිර්තිට එරෙහි ව සියලු අවි එසවූහ. අමරකීර්ති ගේ "අටවකපුත්තු" නවකතාව පිළිබඳ ගම්ලතුන් ගේ කර්කශ විවේචනය එහි අවසන් ප්‍රතිඵලය විය. එසේම එවක පැවැති "x" කණ්ඩායම සමග ඔහු පැවති න්‍යායික ආරෝව කෙතරම් බරපතල වී ද යත් 'පශ්චාත්නුතනවාදය' නිවැරදිව තේරුම් ගෙන ඇත්තේ විදර්ශන පොත් ගෙදරාධිපති ජනක ඉනිමංකඩ සහ සරසවි පොත්ප්‍රකාශානායතනයෙහි සේවයෙහි නියුතු සමුද්‍ර වෙත්තසිංහ පමණක් බවට ප්‍රසිද්ධියේ කීමට තරම් හේ නිර්භය විය.



මහාචාර්ය ගම්ලත් තමා දත් සියල්ල නිවැරදිව දැන සිටියේ ය. ඊට අලගු තබන්නට පවා කෙනෙක් අප අතර වී දැයි නොදනිමි. අවාසනාවට ඔහු තමන් නොදන්නා දේ පවා තමා සතු ප්‍රඥා කඩතුරාවෙන් වසා දැමීමට උත්සහ දැරීය. භාෂා 5ක් හො ඊට වැඩි ප්‍රමාණයක ප්‍රවීණතාව ලබා සිටි ඔහු වාග්විද්‍යාව හදාරා නොතිබුණේ අපගේ අවාසනාවට ය. එනිසාම සාහිත්‍ය හා සමාජ විචාරයේදී ප්‍රගතිශීලි වූ ඔහු භාෂා විචාරයේ දී ප්‍රතිගාමී විය. එසේ නොවන්නට සාහිත්‍ය නිර්මාණයේ භාෂා භාවිතය පිළිබඳව දශක ගණනාවක් පුරා ඇවිලෙමින් පවතින න්‍යායික ගැටුමට ඔහු වෙතින් විද්‍යාත්මක මෙන්ම වඩා නූතන ප්‍රතිදානයක් සිදුවීමට ඉඩ තිබිණි. එහෙත් යට කි ඌණතාව කරණකොට ගෙන අද්‍යතන නිර්මාණාත්මක සිංහලය "හඩු බසක්" ය යන සරලමතික තිසියෙන් ඔහු ද අපි ද සෑහීමකට පත් වීමු.



කෙසේවතුදු, භාෂාව දේශපාලනයේ අඩවියක් වන කල නම් ගම්ලත්හු යළිත් ප්‍රගතිශීලි කඳවුරෙහි ලැගුම් ගති. භාෂාව යනු ජාතිකත්වයක අනන්‍යතාවක් වන බව පිළිගත් නමුත් එය ජාතියේ අනන්‍යතාව විය යුතු බැව් ක්‍රියාවෙන් පවා නොපිළිගත්තේ ය. දෙමළ ජනයා ගේ ස්වයං තීරණ අයිතියට පමණක් නොව ඔවුන් ගේ සංස්කෘතික, කලා හා භාෂා අයිතියට ද හිස නමා අචාර කළ ඔහු එවක හෙළ උරුම දාමරිකයන් ගේ ප්‍රහාරවලට ලක්වුණු දෙමළ සංස්කෘතික උළෙලවල ප්‍රධාන කථිකයකු ද විය. එමතු නොව, ඉංග්‍රීසි භාෂාව ඉගැනීමේ විපුල පල නිතර අවධාරණය කළ ඔහු ඉංග්‍රීසිය අධ්යාපන මාධ්‍ය නොවීමේ අහිතකර ප්‍රතිඵල අවධාරණය කිරීම නිසා විරවංශියානු භාෂා ආකල්ප දැඩි තර්ජනයකට ලක් විය.මහාචාර්ය සුචරිත ගම්ලත්හු නිසැකවම ග්‍රාම්ස්චියානු අර්ථයෙන් ඓන්ද්‍රිය බුද්ධිමතකු වුහ. මා දන්නා පරිදි ඔහු කිසිවිටෙකත් උදර පෝෂණය වෙනුවෙන් හෘද සාක්ෂ්‍ය පාවා නොදුන්ණේ ය. ඒ වෙනුවට සාහිත්‍ය කලා ඈ හෘදමය වූ විෂය මනසින් තේරුම් ගැනීමට අවශ්‍ය අහරින් කුදු මහත් හුදී ජන මනස්කුස් පිරවීය.



අදුරුතුමනි ඔබට මාගේ ආචාරය!



ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස්.

31/03/2013.



නුගේගොඩ දී ය

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය