මොළය හා මනස



මොළය හා මනස

වියුක්‌ත දැනුම ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වෙයි. සංයුක්‌ත දැනුමේ සාපේක්‍ෂත්වය පිළිබඳව බොහෝ දෙනාට වැටහීමක්‌ ඇතැයි සිතමි. සංයුක්‌ත දැනුම සාපේක්‍ෂ වන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව නිරීක්‍ෂකයන් එක සමාන නො වීම ය. මනසක්‌ ඇති ඕනෑ ම අයෙක්‌ නිරීක්‍ෂකයෙක්‌ වෙති. මිනිසුන් නිරීක්‍ෂකයන් ගෙන් කොටසක්‌, උපකුලකයක්‌ පමණක්‌ වෙති. මිනිසුන් හැරෙන්නට දෙවිවරු ද, බ්‍රහ්මයෝ ද, තිරිසන් සත්තු ද, අමනුෂ්‍යයෝ ද නිරීක්‍ෂකයෝ වෙති. කෙටියෙන් කිව හොත් බෞද්ධ සාහිත්‍යයෙහි සත්ත්ව ලෙස හැඳින්වෙන සියල්ලෝ නිරීක්‍ෂකයෝ වෙති.

එහෙත් ඒ එක්‌ එක්‌ වර්ගය නිරීක්‍ෂණය කරන්නේ එක්‌ එක්‌ ආකාරයෙනි. එයට ප්‍රධාන හේතුව ඒ ඒ වර්ගයේ මනස්‌ හා සිරුරු සමාන නො වීම ය. මිනිසුන්ට මනස හැරුණු විට ඉන්ද්‍රිය පහක්‌ ඇත. එහෙත් ඇතැම් තිරිසනුන්ට මිනිසුන් විසින් චුම්බකත්වය ලෙස හැඳින්වෙන ගුණය නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්ද්‍රියක්‌ ඇතැයි කියෑවේ. සියලු නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහක්‌ පමණක්‌ තිබීම අනිවාර්ය නො වේ. ඇතැම් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට වැඩියෙන් ද, වෙනත් නිරීක්‍ෂකයන්ට ඉන්ද්‍රිය පහට අඩුවෙන් ද වෙයි. ඉන්ද්‍රිය පහට වැඩි නිරීක්‍ෂකයන්ට (සත්ත්වයන්ට) මිනිසුන්ට ඇති ඉන්ද්‍රිය පහ අනිවාර්යයෙන් ම තිබිය යුතු ද නො වේ. එවැනි නිරීක්‍ෂකයන්ට මිනිසුන් ගේ ඉන්ද්‍රිය වැනි ඉන්ද්‍රිය කිහිපයක්‌ ද, එයට අමතරව වෙනත් ඉන්ද්‍රියන් ද තිබිය හැකි ය. මේ අතර දෙවියන්ට ඇත්තේ ඉන්ද්‍රිය තුනක්‌ පමණක්‌ යෑයි ඇතැම්හු කියති.

ඒ කෙසේ වෙතත් මේ සියලු නිරීක්‍ෂකයන්ට නැති ව ම බැරි ඉන්ද්‍රිය මනස වෙයි. එයින් කියෑවෙන්නේ සියලු සත්ත්වයන්ට, නිරීක්‍ෂකයන්ට එක ම ආකාරයේ මනස්‌ ඇති බව නො වේ. ඒ ඒ සතුන් ගේ මනස්‌ අනිවාර්යයෙන් ම වෙනස්‌ විය යුතු ය. බ්‍රහ්ම ලෝකවල වෙසෙන්නන් ගේ මනස්‌ මිනිසුන් ගේ මනස්‌වලට සමාන කිරීමට යැම විහිළුවකි. එමෙන් ම මිනිසුන් අතර ද එක සමාන මනස්‌ ඇත්තෝ නො වෙති. මනස යනුවෙන් අප අදහස්‌ කරන්නේ ඇති වන නැති වන, ඉපදෙන, මැරෙන සිත් පේළියකි. එකිනෙකා ගේ සිත් වෙනස්‌ වන විට, ඇතැම් විට මනස ද වෙනස්‌ වෙයි. එහෙත් මෙයින් කියෑවෙන්නේ ඒ ඒ අය ගේ සිරුරෙහි මනස යනුවෙන් යමක්‌ එක්‌ තැනක පවතින බවක්‌ නො වේ.

බෞද්ධ සාහිත්‍යයෙහි මනස ඇත්තේ හෘදය වස්‌තුවෙහි යෑයි කියෑවෙයි. මෙය බුදුන් වහන්සේ වදාළ ධර්ම දේශනාවකින් ලබාගත්තේ යෑයි නො සිතමි. ඒ පිළිබඳ සූත්‍ර දේශනාවක්‌ ගැන මම නො දනිමි. අපේ රටේ ඇත්තේ සිංහල ථෙරවාදය ය. ඉතා පැහැදිලිව කියන්නේ නම් අපට ඇත්තේ තුන්වැනි ධර්ම සංගායනාවේ දී තෝරා ගැනුණු සූත්‍ර හා පසුව එකතු කරනු ලැබූ වෙනත් සූත්‍ර ය. මේ අතර අටුවා, ටීකා, ටිප්පණී ආදිය වෙයි. එයට අමතරව සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අපේ වංශකතා හා වෙනත් ග්‍රන්ථ ද ඇතුළත් වෙයි. මනස හා හෘදය වස්‌තුව අතර ඇති සම්බන්ධය බුදුන් වහන්සේ ගේ දේශනාවකින් තොර ව එකතු වූවක්‌ යෑයි සිතමි. එමෙන් ම ක්‍ෂණවාදය හා ධර්මවාදය ද තුන්වැනි සංගායනාවට ආසන්න අවධියක දී එකතු කරනු ලැබූ කරුණු යෑයි සිතීමට ඉඩ ඇත.

මනස මොළය හා සම්බන්ධ යෑයි බටහිර විද්‍යාඥයෝ කියති. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණ ද බොහෝ යෑයි ඔවුහු කියති. එහෙත් ඒ පරීක්‍ෂණ සියල්ල මනසේ ඇති වන හැඟීම් සමඟ මොළයේ යම් කොටසක්‌ ක්‍රියාත්මක වීම පිළිබඳව වෙයිs. මනසෙහි සතුට ඇති වන විට මොළයෙහි යම්කිසි කොටසක්‌ ක්‍රියාත්මක වන බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහෙත් මේ බටහිර විද්‍යාඥයන් ම කියන්නේ ඇතැම් අවස්‌ථාවල යම්කිසි හැඟීමකට අදාළ මොළයේ කොටස ඉවත් කළ විට හෝ එහි ආබාධයක්‌ වූ කල හෝ මොළයේ ම වෙනත් කොටසක්‌ ක්‍රියාත්මක වන බව ය. අලුතෙන් ක්‍රියාත්මක වන කොටස මුල් කොටස මෙන් "කාර්යක්‍ෂමව" ක්‍රියාත්මක නො වනවා විය හැකි ය. එහෙත් මෙහි දී වැදගත් වන්නේ මොළයේ යම් කොටසක්‌ අක්‍රීය වුව ද වෙනත් කොටසකට ඒ කාර්යය කළ හැකි බව ය.

බටහිර විද්‍යාඥයන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයකි. මොළය නැති වූ විට මනස ද නැත. බොහෝ සතුන්ට ද මොළ වෙයි. එසේ වුවත් ඉතා මෑතක්‌ වනතුරු ම බටහිර විද්‍යාඥයෝ සමස්‌තයක්‌ ලෙස ගත් කල මිනිසුන් හැරෙන්නට අනෙක්‌ සතුන්ට මනස්‌ නැතැයි කීවෝ ය. දැනුදු එසේ කියන්නෝ වෙති. බොහෝ බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසුන් හැරෙන්නට අනෙක්‌ සත්තු නො සිතති. ඔවුන් ගෙන් (අනෙක්‌ සතුන් ගෙන්) ඇතැමකුට මොළයක්‌ තිබුණ ද මනසක්‌ නැත. බටහිර විද්‍යාඥයන් කියන අන්දමට නම් සත්තු නො සිතති. ඔවුන්ට අනුව සතුන් කරන්නේ ප්‍රතිචාර දැක්‌වීමක්‌ පමණකි. ඒ ප්‍රතිචාර සිතා මතා කරන ප්‍රතිචාර නො වේ යෑයි ඔවුහු විශ්වාස කරති. බටහිර විද්‍යාඥයන්ට අනුව බල්ලකුට ගලකින් ගැසු කල ඌ දුවන්නේ සිතා මතා නො ව ප්‍රතිචාරයක්‌ ලෙස ය. ඒ නටුවෙන් ගිsලිහුණු පොල් ගෙඩිය පොළොවට වැටෙන්නාක්‌ මෙනි.

පොල් ගෙඩිය පොළොවට වැටෙන්නේ සිතා මතා නො වේ. නිව්ටන්ට අනුව ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙනත්, අයින්ස්‌ටයින්ට අනුව අවකාශ කාලයේ වක්‍රතාව හේතු කොටගෙනත් පොල්ගෙඩිය පොළොවට වැටෙයි. පොල් ගෙඩියට සිතීමෙන් පසු උඩට යැමට නො හැකි ය. බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පොල් ගෙඩියක්‌ හා බල්ලකු අතර, මනස සම්බන්ධයෙන් ගත් කල වෙනසක්‌ නැත. බයිබලයේ පරණ තෙස්‌තමේන්තුවට අනුව හිරු, සඳු, තාරකා, ගස්‌, ගල්, සතා සිවුපාවා මැවූ දෙවියන් වහන්සේ අවසානයේ දී තමන් වහන්සේ ගේ ප්‍රතිබිම්බයට (In the image of God) අනුව මිනිසා මැවී ය.

යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පැහැදිලිව ම මිනිස්‌සු අනෙක්‌ සතුන් ගෙන් වෙන් වෙති. මිනිසුන් පමණක්‌ දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී ඇත. දෙවියන් වහන්සේට මනසක්‌ ඇත. එබැවින් උන් වහන්සේ අනුව මවනු ලැබූ මිනිසුන්ට ද මනස්‌ වෙයි. එහෙත් බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අනෙක්‌ සතුන් දෙවියන් වහන්සේ අනුව මවනු ලැබී නොමැති බැවින් ඒ සතුන්ට මනස්‌ නැත. බටහිර විද්‍යාව නිර්මාණය වන්නේ ද, පෝෂණය වන්නේ ද ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය පදනම් කරගනිමින් යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. එබැවින් බටහිර විද්‍යාඥයන්ට අනුව මිනිසුන් හැර අනෙක්‌ සතුන්ට මනස්‌ නැති වීම පුදුමයක්‌ නො වේ. ඕනෑ ම විද්‍යාවක්‌ යම් සංස්‌කෘතියක අංගයක්‌ වෙයි. බටහිර විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අංගයක්‌ වෙයි.

එහෙත් අප බටහිර විද්‍යාඥයන් සිතන ආකාරයෙන් ම සිතිය යුතු නො වේ. අපේ සංස්‌කෘතියෙහි, මිනිස්‌සු ද සත්තු වර්ගයකට අයත් වෙති. මිනිසුන්ට තම සිත් උපේක්‍ෂාවට පත් කරගැනීමට අනෙක්‌ සත්ත්වයන්ට වඩා හැකියාවක්‌ ඇත. ඒ මිනිසුන් දෙවියන් මෙන් සැප නො විඳිනා බැවින් හා අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් ආදීන් මෙන් වේදනාවට පත් නො වන බැවින් ය. එහෙත් මිනිස්‌සු ද සසර සැරිසරන සත්ත්වයෝ පමණක්‌ වෙති. මේ භවයෙහි මිනිසකු වන සත්ත්වයා මීළඟ භවයෙහි තිරිසන් සත්ත්වයකු වීමේ හැකියාව ඇත. සසරෙහි දී මිනිසුන් මෙන් ම අනෙක්‌ සත්තු ද කුසල් අකුසල් රැස්‌ කරති. මිනිස්‌ භවයක්‌ ලත් අයකු නැවතත් මනසක්‌ ලබාගැනීමට නැවතත් මිනිස්‌ භවයක උත්පත්තිය ලැබිය යුතු නො වේ. සසරෙහි කිනම් භවයක වුව ද ඒ සත්ත්වයා මනසක්‌ සහිත උත්පත්තියක්‌ ලබයි.

සිංහල ථෙරවාද බෞද්ධ සංස්‌කෘතියෙහි සියලු සත්ත්වයන්ට, එනම් සියලු නිරීක්‍ෂකයන්ට මනස්‌ ඇත. මිනිසුන් ද අනෙක්‌ සතුන් ද ඇතැම් අවස්‌ථාවල ප්‍රතිචාර දක්‌වනවා විය හැකි ය. එහෙත් මිනිස්‌සු ද අනෙක්‌ සත්තු ද සිතති. ඒ සියල්ලන්ට ම සිත් පහළ වෙයි. ඔවුන් දැනුවත් ව කරන කියන දෑ වෙයි. එවිට සිත් පහළ වන්නේ කොහේ ද යන ප්‍රශ්නය මතු වෙයි. සිත් පහළ වන්නේ මනසෙහි යෑයි කීව ද ඊළඟ ප්‍රශ්නය වනුයේ මනස ඇත්තේ කොහේ ද යන්න ය. මනස හෘදය වස්‌තුව ආශ්‍රිතව වේ ආදිය එයට දී ඇති පිළිතුරු වෙයි. මිනිසුන්ට පමණක්‌ මනස්‌ ඇතැයි කියන බටහිර විද්‍යාඥයෝ මනස යනු මොළයේ ක්‍රියාකාරීකම්වල ප්‍රතිඵලයක්‌ ය යනුවෙන් ඒ ප්‍රශ්නයට පිළිතුරු සපයති.

එහෙත් අප බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි විද්‍යාඥයන් මෙන් සිතිය යුතු නො වේ. මොළය යන්න එසේ මොළය නැමැති අවයවය ඇති සත්ත්වයනට සිත් පහළ වීමෙන් ක්‍ෂණයකට පසුව යොදා ගැනෙන අවයවයක්‌ විය හැකි ය. ඉතා ම දැඩි ද්‍රව්‍යවාදීන් මනස යන්නට කිසි ම ඉඩක්‌ නො දීම සඳහා ගෙනෙන තර්කයක්‌ වෙයි. ඔවුන් අතර ඇතැම් පශ්චාත්නූතනවාදීහු ද පශ්චාත්මාක්‌ස්‌වාදීහු ද වෙති. ඔවුන් ගෙනහැර දක්‌වන පර්යේෂණවලට අනුව මනස විසින් යමක්‌ සිතීමට පළමුව මනුෂ්‍ය ශරීරය ඒ බව "දැනගනියි". උදාහරණයක්‌ වශයෙන් යමකු සිනාසෙන්නේ යෑයි සිතමු. එවිට සිනාසීම පිළිබඳව මොළයේ අදාළ කොටසෙහි සනිටුහන් වීමට (ඉලෙක්‌ට්‍රොaඩ ඔස්‌සේ හෝ වෙනත් ක්‍රමයකට හෝ) ඉතා කුඩා ක්‍ෂණයකට පෙර අදාළ මස්‌පිඬු ක්‍රියාත්මක වන්නේ යෑයි මේ දැඩි ද්‍රව්‍යවාදීහු කියා සිටිති.

එය ඇත්ත නම් එයින් ඊනියා ද්‍රව්‍යවාදයක්‌ සනාථ නො වේ. අප කියා සිටින්නේ මනස සිරුරෙහි හැම තැනමත් ඇතැම් විට සිරුරෙන් බාහිර වත් තිබෙන බව ය. සිනාසීම පිළිබඳ සිත පහළ වන්නේ මුවෙහි ය. ඒ අතර අප පාදයක්‌ සොලවන්නේ නම් අදාළ සිත පහළ වන්නේ පාදයෙහි ය. පාදයෙහි හෝ මුවෙහි හෝ සිත පහළ වීමෙන් ඉතා කුඩා ක්‍ෂණයකට පසුව ඒ බව මොළයට දැනුම් දෙන බව පෙනී යයි. මේ මොහොත කොපමණ දැයි ගණනය කිරීම් අඩුම තරමෙන් සෛද්ධාන්තිකව අපහසු නො වේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාවට අනුව නම් තොරතුරු සම්ප්‍රේෂණය කරන නියුරෝනවලට අදාළ ස්‌ථානයේ සිට මොළයට ගමන් කිරීමට ගත වන කාලය දැන ගැනීම ය. එය නියුරෝනවල වේගය හා නියුරෝනවලට අදාළ අවයවයේ සිට මොළයට ඇති දුර දැන ගැනීමෙන් කළ හැකි ය. මනස යනු ඒ ඒ අවයවයෙහි ඇති වන සිත් පන්ති හෝ පේළි හෝ වෙයි. මනස ඇති වීම සම්බන්ධයෙන් සිංහල බෞද්ධ මනස යන ලිපිය, කාලය වෙබ් අඩවියෙන් ලබාගෙන කියවිය හැකි ය.

දැඩි ද්‍රව්‍යවාදීන්ට අවශ්‍ය නම් අප කියන දෙය තවදුරටත් පරීක්‍ෂා කළ හැකි ය. එහි දී අවශ්‍ය නම් පොපර් ගේ අසෙත්‍යක්‍ෂණය ද යොදාගත හැකි ය. අසෙත්‍යක්‍ෂණය යනු යම් ප්‍රවාදයක සත්‍ය අසත්‍ය බව දැනගැනීම නො වන බව ද මෙහි ලා සඳහන් කළ යුතු ය. අප යෝජනා කරන්නේ අදහස්‌ වශයෙන් ගත් කල ඉතා සරල පරීක්‍ෂණයකි. එහෙත් එය ප්‍රායෝගිකව කිරීමේ දී ප්‍රශ්න රාශියකට පිළිතුරු සෙවීමට සිදු වනු ඇත. අපේ පරීක්‍ෂණය නම් අවයව කිහිපයක සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරිමට ගත වන කාල ප්‍රාන්තරය මැනගැනීම ය. මේ කාල ප්‍රාන්තරය අවයවයේ සිට මොළයට ඇති දුර අනුව වෙනස්‌ විය යුතු ය.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු