අයිස්‌ යුගයේ විසූ දැවැන්තයන් ගේ වඳ වී යැමට මිනිසුනුත් වගකිව යුතුයි?

        ප්ලයිස්‌ටොසීන යුගය ලෙස පොදුවේ හඳුන්වනු ලබන අදින් වසර 12000කට පමණ පෙර අවසන් වූ පශ්චාත් චාතුර්ථක යුගයේ (late Quaternary period) අවසන් කාලයේ දී ලෝකයේ විශාල ක්‌ෂීරපායී විශේෂ රැසක්‌ ජීවත් වී තිබේ. ප්ලයිස්‌ටොසීන මහා සත්ත්වයන් (Pleistocene mega fauna) යනුවෙන් පොදුවේ මේ සතුන් අද ද ජීවත් වන ඔවුන්ට ඥාතිත්වයක්‌ ඇති අප දන්නා සතුන්ට වඩා තරමින් විශාල ය. මේ අතරින් වඩාත් ප්‍රකට සත්ත්ව විශේෂය වන්නේ මැමත් ය.





 අදින් වසර මිලියන දෙක හමාරකට පමණ පෙර පටන් වසර 12000ක්‌ පමණ පෙර කාලයක්‌ දක්‌වා පැවැති ප්ලයිස්‌ටොසීන භූවිද්‍යාත්මක කාල සීමාවේ දී වරින් වර පැවැති දැඩි ශීතල සහිත දේශගුණයට මේ සත්තු හොඳින් අනුවර්තනය වී සිටිය හ. මේ කාලයේ දී ලෝකයේ දේශගුණයේ බොහෝ විචල්‍යතා සිදු වී තිබේ. වරින් වර ඇති වූ පොදුවේ අයිස්‌ යුගය නම් වන ග්ලැසියර අවධිවලින් (glacial periods) හා වඩා උණුසුම් දේශගුණයක්‌ සහිත වූ අන්තර්ග්ලැසියර අවධි (interglacial periods) යුක්‌ත කාලවලින් මේ යුගය සමන්විත විය. අප අද ගත කරන්නේ ද අන්තර් ග්ලැසියර අවධියකි. ග්ලැසියර අවධි අප මාතෘකා කරගත් පෙර අයිස්‌ යුගයේ සතුන්ට ඉතා යහපත් විය. ඒ එම සතුන් ශීතල තත්ත්වවලට ඔරොත්තු දෙන සේ සකස්‌ වූ දේහවලින් යුක්‌ත වූ නිසා ය. එහෙත් මේ සත්තු සෙසු උණුසුම් කාලවල දී රක්‌ෂාස්‌ථානවල ස්‌ථානවල (refugia)ට සිමා වී දිවි රැකගත්හ. එහෙත් අවසන් අයිස්‌ යුගයේ උපරිම අවස්‌ථාවෙන් අනතුරුව, එනම් අදින් වසර විසි දහසකට පමණ කාලයකට පෙර පටන් මේ සතුන්ට ඇති වූයේ අවාසනාවන්ත තත්ත්වයකි. ඒ කාලයේ දී මේ සත්ත්ව විශේෂ අතරින් සමහරක්‌ වඳ වී ගොස්‌ තිබේ. නිදසුනක්‌ ලෙස යුරේසියාවේ විසූ මහා සත්ත්ව ගණ අතරින් 36%ක්‌ ද, ඇමෙරිකාවේ විසූ මහා සත්ත්ව ගණ අතරින් 72%ක්‌ ද වඳ වී ගොස්‌ ඇත. ඇතැම් විශේෂ වඳ වී යැමට බොහෝ සේ ආසන්න තත්ත්වයකට ළං වූ හ.

මේ සතුන්ට ඉන් පසු ඇති වූ උණුසුම් කාලය ගත කළ නොහැකි වූයේ, රක්‌ෂාස්‌ථාන සොයා ගත නොහැකි වූයේ මන්ද? එසේ වූයේ කූමක්‌ නිසා ද යන්න පිළිබඳව විවිධ අදහස්‌ පළ වී ඇත. මේ සඳහා විවිධ හේතු යෝජනා වී ඇත. දේශගුණයේ සිදු වූ වෙනස්‌වීම් නිසා පරිසර පද්ධති වෙනස්‌ වීම මින් ප්‍රධාන වේ. ඇතැම් ප්‍රදේශවල දී මිනිසුන් ගේ බලපෑම ද ඊට හේතු වූ බව යෝජනා වී තිබේ. මේ යුගය - එනම් මේ සතුන් ගේ ගහනය අඩු වෙමින් පවත්නා කාලය මිනිසුන් ගේ ව්‍යාප්තිය හොඳින් සිදු වීම ආරම්භ වූ කාලයයි. මේ නිසා මේ සතුන් ද විසූ පරිසරය සැලකිය යුතු තරම් වෙනස්‌ කරන්නට පියවර ගෙන තිබිණි. එහෙත් ඒ ගැන කිසිදු අවසන් එකඟතාවක්‌ ඇති වී නැත. මේ පිළිබඳව සිදු කරන ලද, Nature සඟරාවේ පූර්ව මුද්‍රණයේ පළ වී ඇති අධ්‍යයනයකින් මේ වඳ වී යැමට මිනිසුන් විසින් දක්‌වනු ලැබ ඇති දායකත්වය සැලකිය යුතු බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Nature,
DOI:10.1038/nature10574)

විශේෂ හයක ව්‍යාප්තිය විමසා බැලීම

මේ කියන කාල වකවානුවේ දී ජීවත් වූ සත්ත්ව විශේෂ හයක්‌ මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ ව ඇත. ඉන් ලොම් සහිත මැමත් (Woolly mammoth), ලොම් සහිත රයිනෝසිරස්‌ (Woolly rhinoceros) හා වල් අශ්වයන් (Wild horse) වඳ වී ගිය විශේෂ වේ. පිනිමුවන් (Reindeer/caribou), බයිසන් ගවයන් (ඊසිදබ) හා කස්‌තුරි ගවයන් (Musk
ox) තවමත් ජීවත් වන විශේෂ අතර වේ.

මේ පර්යේෂණය සඳහා යොදාගන්නා ලද එක්‌ වැදගත් මූලාශ්‍රයක්‌ වූයේ මේ සතුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ය. මේ වන විට වඳ වී ගිය සතුන් ගේ කාබන් 14 දින නියම කළ DNA නිදර්ශක 846ක්‌ යොදාගනිමින් ඔවුහු අදාළ විශේෂවල ව්‍යාප්තිය හා ගහන ඉහළ පහළ ගිය ආකාරය හා එය සිදු වූ කාලවකවානුව පිළිබඳව අදහසක්‌ ලබා ගැනීමට සමත් වූ හ. එසේ ම දින නියම කළ ෙµdසිල සාධක 1,439ක්‌ ද එසේ ම උෂ්ණත්වය හා වර්ෂාපතනය වැනි දේශගුණ දත්ත ආශ්‍රයෙන් ඒ වන විට පැවැති දේශගුණය පිළිබඳව අදහසක්‌ ද ලබා ගන්නා ලද අතර මානව පුරාවිද්‍යාත්මක දත්ත 6,291ක්‌ ආශ්‍රයෙන් මේ සතුන් ගේ වඳ වී යැමට මිනිසුන් දක්‌වා ඇති දායකත්වය අනුමාන කිරීමට උත්සාහ කර තිබේ. නිදසුනක්‌ ලෙස ඇතැම් ප්‍රදේශවල මිනිසුන් මේ සතුන් විවිධ ආකාරයෙන් පරිභෝජනය කර ඇති බව ඔවුන් ගේ අස්‌ථි පුළුස්‌සා ඇති ස්‌ථානවලින් හා ඒ අස්‌ථි භාවිත කර ආයුධ තනා ඇති ස්‌ථානවලින් පෙනේ. මිනිසුන් මේ සතුන් විසූ ප්‍රදේශ ආශ්‍රිතව වාසය කළේ නම් ඉන් මේ සතුන් ගේ පැවැත්මට ඇතැම් විට තීරණාත්මක වූ බලපෑමක්‌ ඇති වූ බව පැහැදිලි ය.

මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ දේශගුණයේ ඇති වූ වෙනස මේ සත්ත්ව විශේෂවල වඳ වී යැමට හා ගහන හායනයට ලක්‌ වීමට බලපෑ මූලික කරුණ වූ බව ය. මැමත් හා රයිනෝසිරස්‌ හැර අනෙක්‌ විශේෂ හතරේ සතුන්ට වාසය කළ හැකි වූ ප්‍රදේශ හා ඔවුන් ගේ ප්‍රවේණික විවිධත්වය වෙනස්‌ වීම අතර පැහැදිලි සම්බන්ධයක්‌ තිබේ. නිදසුනක්‌ ලෙස කස්‌තුරි ගවයන් යුරේසියානු කලාපයෙන් වඳ වී යැමට දේශගුණික සාධක පමණක්‌ ම බලපාන්නට ඇති බව පෙනේ. කස්‌තුරි ගවයන් ගේ ශේෂ මානව වාසස්‌ථානවලින් හමු වන්නේ ඉතා අඩු වශයෙන් වන අතර මේ විශේෂ දෙකෙහි ව්‍යාප්තිය සමපාත වන්නේ ද නැත.

එසේ ම දේශගුණය හා මිනිසුන් ගේ ක්‍රියාකාරකම් ඇතැම් සත්ත්ව විශේෂවල වඳ වී යැමට හේතු වී තිබේ. වල් අශ්වයන් හා ස්‌ටෙප් ප්‍රදේශයේ බයිසන් ගවයන් වඳ වී යැමට මේ සාධක දෙක ම හේතු වී ඇති බව උක්‌ත අධ්‍යයනයෙන් පැහැදිලි වේ. මේ බලපෑම ඇතැම් විට ප්‍රදේශවලට අනුව වෙනස්‌ වී තිබේ. එනම් ඇතැම් විශේෂ වාසය කළ ඇතැම් ප්‍රදේශවලින් වඳ වී යැම සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වය බලපෑමක්‌ වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් සයිබීරියාවේ ලොම් සහිත රයිනෝසිරස්‌ වාසය කළ ප්‍රදේශය පිළිබඳව සැලකූ විට එය මිනිසුන් වාසය කළ ප්‍රදේශය හා සමපාත වූයේ නැත. ඒ අනුව මේ විශේෂයේ සතුන් සයිබිරියාවෙන් වඳ වී යැමට හේතු වූ කරුණු අතර මිනිසුන් ගේ බලපෑම (අධික ලෙස දඩයම් කිරීම) ප්‍රබල නොමැති බව පැහැදිලි ය. එහෙත් යුරෝපයේ දී මිනිසුන් හා මේ රයිනෝසිරස්‌ ගේ වාස භූමි එකිනෙක සමපාත වී තිබේ. ඒ අනුව ඒ ප්‍රදේශයේ සිදු වී ඇති වඳ වී යැමට යම් බලපෑමක්‌ මිනිසුන් අතින් සිදු වූ බව විශ්වාස කළ හැකි ය.

ලොම් සහිත මැමත් වඳ වී යැම පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට තරම් දත්ත ප්‍රමාණවත් නො වන බව ද මෙහි දී පෙන්වා දී ඇත. යුරෝපීය හා සයිබීරියානු පුරාශිලා මානව වාසස්‌ථාන අතර සැලකිය යුතු ප්‍රමාණයක මැමත් ෙµdසිල හමු වී ඇතත් ඇතැම් විට සයිබිරියාව වැනි ප්‍රදේශවලින් පසුව ඒ ෆොසිල අඩු වීම නිසා මැමත් සතුන් උතුරුදිගට සංක්‍රමණය වූ බවක්‌ ද අනුමාන කළ හැකි ය. එසේ ම මිනිසුන් වෙනත් සත්ත්ව විශේෂ කෙරේ ප්‍රියතාවක්‌ දක්‌වන්නට ඇත.

මේ වඳ වී යැමෙන් වඩාත් හොඳින් ආරක්‌ෂා වූ විශේෂය වූ පිනිමුවන් (Rangifer tarandus) ඉතිරි වූයේ ආක්‌ටික්‌ ප්‍රදේශවල ය. මේ වන විට මේ සතුන්ට තර්ජනයක්‌ කළ හැකි විලෝපීයයන් ඒ ප්‍රදේශවල අඩු අතර ආහාර සඳහා තරග කළ හැකි වෙනත් විශේෂ ද නැත. උක්‌ත විශේෂ අතරින් අද වන විට වැඩි ම සුලබතාවක්‌ ඇත්තේ ද මේ සතුන් අතර ය. එසේ ම බයිසන් ගවයන් (Bison priscusl Bison bison) ආසියාවෙන් වඳ වී ගියත්, උතුරු ඇමෙරිකාවේ ඔවුහු ඉතිරි වූ හ. කස්‌තුරි ගවයන් (Ovibos moschatu)-පවා අද ස්‌වාභාවිකව ජීවත් වන්නේ උතුරු ඇමෙරිකාවේ හා ග්‍රීන්ලන්තයේ ආක්‌ටික්‌ ප්‍රදේශවල පමණි.

වඳවීම් සඳහා බහුවිධ හේතු බලපෑම

මේ අනුව උක්‌ත සතුන් ගේ වඳ වීම සඳහා එක්‌ තනි හේතුවක්‌ පමණක්‌ බලපෑවේ ය යනුවෙන් පැවැති මතයට අභියෝගයක්‌ එල්ල වී තිබේ. මෙවන් මහා වඳ වීමකට එක්‌ තනි හේතුවකට වඩා හේතු කිහිපයක්‌ මුල් වීම ප්‍රායෝගිකව සිදු විය හැක්‌කකි. විද්‍යාත්මක දැනුම සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය වන දැනුම් පද්ධතිය පිළිබඳව යම් අදහසක්‌ ද මේ අධ්‍යයනයෙන් සැපයෙන බව පෙනේ.

මේ බහුවිධ හේතු පිළිබඳ සංකල්පය අතීතයට පමණක්‌ නො ව වර්තමානයේ දී ලෝකයේ සිදු වෙමින් පවත්නා ජීවී විශේෂ වඳ වී යැම් සඳහා බලපාන හේතු තේරුම් ගැනීමට හා ඊට පිළියම් යෙදීමේ දී වැදගත් බව අමුතුවෙන් කිව හැකි ය. ඇතැම් අවස්‌ථාවල දී එතෙක්‌ අවධානයකට ලක්‌ නො වූ හේතුවක්‌ යම් ජීවී විශේෂයක වඳ වී යැම සඳහා බලපාන සමාන හේතුවක්‌ විය හැකි ය. අනෙක්‌ අතට මේ බහුවිධ හේතු නිසි ලෙස හඳුනා නො ගත හොත් අනාගත දේශගුණ වෙනස්‌වීමක දී වඳ වී යා හැකි සත්ත්ව විශේෂ හඳුනා ගැනීම තවදුරටත් අසීරු විය හැකි බව ය.

අප අමතක නො කළ යුතු අනෙක්‌ කරුණ වන්නේ එදා ජීවත් වූ මිනිසුන් ප්‍රමාණයට වඩා අද ජීවත් වන මානව ජනගහනය බෙහෙවින් අධික බව ය. එසේ ම මිනිසුන් අද ලෝකයේ සිදු කරන බලපෑම ද විශාල ය. මිනිසා ලෝකයේ සැම ප්‍රදේශයක්‌ ම විවිධ ආකාරයෙන් ආක්‍රමණය කරමින් සිටියි.

ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය