විදු පත් ඉරුව

විදු පත් ඉරුව

ශ්‍රී ලංකාව දූපතක්‌ ලෙස පැවතීම බොහෝ වාසි ගෙන දෙන්නක්‌ වුව ද ඒ නිසා ම අකරතැබ්බවලට ලක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. අවට කලාපයේ ඇති වන විවිධ විපර්යාසයන් නිසා සුනාමි, තද වැසි, භූ කම්පා ආදියට අප රට මුහුණ පායි. එපමණක්‌ නො වේ. වායුගෝලයේ සිදු වන විපර්යාසයන් aහේතුවෙන් ඇති වන සුළි කුණාටුවලට අප වරින් වර මුහුණ දෙන්නේ ඒ හේතු කොටගෙන ඇති වන දරුණු කාලගුණික තත්ත්වයන්ට ද හසු වෙමිනි.

වසර අවසාන සමයේ ශ්‍රී ලංකාව අවට සුළි සුළං තත්ත්ව වර්ධනය වීමේ වැඩි ප්‍රවණතාවක්‌ ඇති නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරීම කාලීන අවශ්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකි ය.

සමකාසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට බලපාන මෙවැනි සුළි කුණාටු නිර්මාණය වන්නේ ප්‍රධාන කොට ම අරාබි මුහුදේ සහ ඉන්දියන් සාගරය ද, එහි බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ ද ඉහළින් වූ වායුගෝලයේ ඇති වන සංකුලතා හේතු කොටගෙන ය.

සුළි කුණාටුවක්‌ යනු කුමක්‌ ද? වායුගෝලයේ ඇති වන අවපාත තත්ත්වයන් හේතු කොටගෙන ඇති වන ඉතා වේගයෙන් කරකැවෙන වායු ධාරාවන් ලෙස සුළි කුණාටු හැඳින්විය හැකි ය. මේ සුළි කුණාටුවල මධ්‍යයේ අවපීඩන තත්ත්වයකි. බොහෝ විට සර්පිලාකාර අකුණු කුණාටු ද මේ සමග සම්බන්ධ වේ. මෙවැනි සුළිකුණාටු තත්ත්වයන් ඇති වන්නට මූලිකව ම හේතු වන්නේ සමකාසන්න නැත හොත් නිවර්තන කලාපීය සාගරවල මතුපිට ජලය අධිකව උණුසුම් වීම ය. වාෂ්පීකරණයෙන් ඉහළ නගින ජලවාෂ්ප සහිත වායුධාරවන් ඉහළ අහසේ දී ක්‍රමයෙන් සිසිල් වෙමින් වලාකුළු ඇති කරන අතර පසුව එය වර්ෂාව ඇති කරන්නට හේතු වෙයි. සුළි කුණාටු සමග දරුණු වැසි ඇති වන්නේ ද මේ නිසා ය.

මේ සුළි කුණාටුවල ප්‍රබලතාව අනුව ප්‍රධාන වර්ග තුනක්‌ හඳුනාගත හැකි ය. එනම් නිවර්තන අවපාත, නිවර්තන කුණාටු සහ නිවර්තන සුළි කුණාටු ලෙසිනි. අවසානයට පැවසූ වර්ගය එය ඇති වන කලාපය අනුව වෙනස්‌ ව නාමකරණය වේ. උපරිම සුළෙග් වේගය පැයට කිලෝමීටර 63ක්‌ පමණ වන්නේ නිවර්තන අවපාතවල ය. නිවර්තන කුණාටුවල සුළෙග් වේගය පැයට කිලෝමීටර 63 සිට 119ක්‌ පමණ වූ අගයක්‌ ගනී. නිවර්තන සුළි කුණාටුවල සුළෙග් වේගය පැයට කිලෝමීටර 119 ඉක්‌ම යන අතර එහි උපරිමය පැයට කිලෝ මීටර 314ක්‌ පමණ වෙතැයි ගණන් බලා ඇත. මෙපමණ වූ සුළං වේගය හේතු කොටගෙන ඇතිවන්නා වූ මේ නිවර්තන සුළි කුණාටුවල මධ්‍යයේ වන අවපාත ප්‍රදේශය හඳුන්වන්නේ "කුණාටු අක්‌ෂිය" ලෙසිනි. කරකැවෙන සුළං ධාරා "අක්‌ෂි බිත්තිය" ලෙස නම් කෙරෙන අතර එහි විෂ්කම්භය කිලෝ මීටර 16 සිට 80ක්‌ පමණ පළල් වූ ප්‍රදේශයක්‌ පුරා පැතිර යා හැකි බව නිරීක්‌ෂණය කර ඇත. වයඹදිග පැසිෆික්‌ කලාපයේ ඇති වන මෙවැනි සුළි කුණාටු "ටයිපූන්" ලෙස ද, ඊසානදිග පැසිෆික්‌ කලාපයේ ඇති වන ඒවා "හරිකේන්" ලෙස ද හදුන්වයි.

නිවර්තන සුළි කුණාටු එයට හසු වන්නා වූ සියලු දේ ඔසවාගෙන යන අතර ක්‍රමයෙන් කුණාටුවේ ශක්‌තිය හීන වන විට වෙනත් ප්‍රදේශයකට අත හරියි. මුහුදේ ඇති වන මේ සුළි කුණාටු අතිවිශාල මුහුදු රැලි නංවමින් සුනාමි වැනි තත්ත්වයන් ඇති කරන්නට හේතු වෙයි. මේ සුළි කුණාටු විටෙක සාගර ජල කඳන් ඔසවාගෙන යන අතර ඒ නිසා සමහර අවස්‌ථාවල දී මාළු වැසි වැනි මහා පුදුමාකාර සිදුවීම් ඇති කරන්නට ද හේතු වෙයි. එපමණක්‌ නො වේ. එනිසා ගොඩබිම වූ මිරිදිය ජලාශවල ජලයේ ලවණතාව වැඩි කර භාවිතයට ගත නොහැකි තත්ත්වයට ද පත් කරයි. එපමණක්‌ නො වේ. ගොඩබිම වූ ජනාවාස, වගාවන් සහ කර්මාන්තවලට ඉතා දරුණු හානි ඇති කරයි. 1926 දී ඇති වූ "මියාමි" සුළි කුණාටුව ද 2005 දී ඇති වූ "කත්රිනා" සුළි කුණාටුව ද ඇමෙරිකා එක්‌සත් ජනපදයට මෙතෙක්‌ ඇති කරන ලද සුළි කුණාටු හානි අතින් ඉහළින් ම සිටී.

වාර්තා වන අන්දමට අනූව දශකයේ සිට ශ්‍රී ලංකාව සුළි කුණාටු තත්ත්ව 7කට පමණ මුහුණ දී ඇත. 1992, 1998, 2000 සහ 2008 දී මෙවැනි තත්ත්වයන් වාර්තා වන අතර 2009 දී දෙවතාවක්‌ සුළි කුණාටු ව්‍යසනයට ලක්‌ වී ඇත. "නිලාම්" නම් වූ සුළි කුණාටුව 2012 දී අපට බලපෑම් කර ඇත. මේ කුණාටුවලින් බොහෝ හානි සිදු වී ඇත්තේ ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයට ය. නිවර්තන කලාපීය දූපතක්‌ වන අප රටට බලපාන්නාවූ එල්-නිනෝ ඇති වන්නා වූ වසරවල දී සුළි කුණාටු ඇති වන්නේ නම් එය තරමක්‌ ප්‍රබල වන්නට හේතු වේ.

වර්තමානයේ බිහි ව ඇති විද්‍යාවේ සහ තාක්‌ෂණයේ දියුණුවත් සමග ඇති වන්නා වූ අවපාත නිරීක්‌ෂණය කර එහි ලක්‌ෂණ සහ විකසනය තේරුම්ගැනීමේ හැකියාව ඇත. මේ සදහා බොහෝ විට චන්ද්‍රිකා තාක්‌ෂණයේ පිහිට ලබාගනී. එනිසා කුණාටු හෝ සුළි කුණාටු තත්ත්වවලට වර්ධනය වන්නේ ද, බලපාන්නේ කුමන ප්‍රදේශයට ද යන්න කල් ඇති ව පැවසීමට පිළිවන. එසේ කල් ඇති ව දැනගත්ත ද එයින් යම් ප්‍රදේශයකට සිදු වන හානිය අවම කරගැනීමට හැකි වී ඇත්තේ ඉතා අඩුවෙනි. කෙසේ වෙතත් කල් ඇති ව දැනගැනීමෙන් යම් ප්‍රදේශයක සිටින ජනයා ඉවත් කරගැනීමට හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාව ද සුළි සුළං ව්‍යසනයට මුහුණ පාන නිසා යම් පෙර සූදානමක්‌ ඇති කරගැනීම ඉතා වටියි. දැනට එවැනි නිසි වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නොමැති වුව ද එවැන්නක්‌ සකස්‌ කරගන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීම යුහුසුලුව සිදු විය යුත්තකි. අවදානමට පෙර සූදානම ද ඒ සදහා අවධානය ද තිබෙන්නේ නම් එවැනි වැඩපිළිවෙළක්‌ සකස්‌ කරගැනීම අපහසු නො වේ. දළ වශයෙන් ඒ පිළිබඳව අප සලකා බලන්නේ නම් ප්‍රධාන ආකාර කිහිපයකට මේ සදහා ක්‍රියාත්මක විය හැකි ය. ඒ කෙටිකාලීන වැඩපිළිවෙළක්‌ සහ දිගුකාලීන වැඩපිළිවෙළක්‌ ඔස්‌සේ ය. කෙටි කාලීන වැඩපිළිවෙළේ දී ජනතාව ගේ ආරක්‌ෂාව කෙරෙහි අවධානය ආකාර දෙකකින් යොමු කළ හැකි ය. පළමු වැන්න වන්නේ ඒක පුද්ගල ආරක්‌ෂාවයි. දෙවැන්න සාමූහික (පාසල්, රෝහල් ආදී) ආරක්‌ෂාවයි. දිගුකාලීන වැඩපිළිවෙළේ දී ආරක්‌ෂණය සදහා යටි තල පහසුකම් දියුණු කිරීම ප්‍රධාන පරමාර්ථය විය යුතු ය. මෙහි දී සුළි කුණාටු සදහා ඔරොත්තු දෙන ගොඩනැගිලි නිර්මාණය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. ගොඩනැගිලි නිර්මාණයේ දී නිශ්චිත සම්මත තත්ත්වයන් මොනවා විය යුතු දැයි යන්න ද පර්යේෂකයන් ගේ අවධානය යොමු විය යුතු මූලික ම කාරණයකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු