නිලාවැලි මුහුදු වෙරළට දිස්‌ වූ සිකුරු සංක්‍රාන්තිය

නිලාවැලි මුහුදු වෙරළට දිස්‌ වූ
සිකුරු සංක්‍රාන්තිය


නැඟෙනහිර පිහිටි නිලාවැලි යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීර අතරින් දර්ශනීය වෙරළ තීරයකි. ඈත ක්‍ෂිතිජයෙන් නැඟෙන හිරු සාගර රළ අතරේ වරින් වර සැඟවෙන ආකාරය ද, දැකුම්කලු ය. දිනපතා සිදු වන මේ සිදු වීම දෙස විමසිලිමත් ව බලන්නේ ප්‍රදේශයට ආගන්තුකයකු පමණි. ප්‍රදේශවාසීන්ට මෙය සාමාන්‍ය සිදු වීමකි. එහෙත් වෙන දා බලන ආකාරයට වඩා කුතුහලයකින් යුතු ව හිරු දෙස නො ඉවසිල්ලෙන් ප්‍රදේශවාසීන් මෙන්ම, පාසල් සිසුන් ද බැලූ 2012 ජුනි 06 වැනි දින ඵෙතිහාසික දිනයක්‌ වශයෙන් සනිටුහන් වන්නේ අවකාශයේ කලාතුරකින් සිදු වූ සංසිද්ධියක්‌ නිසාවෙනි. සියවසක්‌ තුළ දෙවරක්‌ පමණක්‌ සිදු වන මේ සංසිද්ධිය සිකුරු සංක්‍රාන්තිය හෙවත් සිකුරු ගේ පිරිබැමිය යනුවෙන් හැඳින්වෙයි. ඉංග්‍රීසියෙන් මෙය Venus Transit යනුවෙන් හැඳින්වෙයි. කිසියම් ග්‍රහලොවක්‌ හිරු ගේ මුහුණත හරහා හෙවත් මුහුණත ඉදිරියෙන් ගමන් කිරීමේ ආකාරයක්‌ පෙන්නුම් කරන්නේ නම් එය අදාළ ග්‍රහ ලොවේ සංක්‍රාන්තිය (Transit) නම් වෙයි.

මෙදින උදෑසන වෙන දාට වඩා පාසල් දරුවන් ගුරුවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් නිලාවැලි වෙරළ තීරයට එක්‌ වූයේ හිරු ගේ මුහුණත හරහා සිකුරු ග්‍රහලොව ගමන් කරන ආකාරය දැක ගැනීමට ය.

වෙනදාට වඩා වලාකුළුවලින් අහස බර වී තිබුණු හෙයින් අප සැම ගේ බලාපොරොත්තු ක්‍රමයෙන් සුන් වන ආකාරයක්‌ දක්‌නට ලැබිණි. ඒ වන විටත් මොරටුවේ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ විද්‍යාඥයන් මෙන්ම කාර්මික ශිල්පීන් සංක්‍රාන්තිය නිරීක්‍ෂණය කිරීම සඳහා දුරදක්‌න, පරිගණක යන්ත්‍ර ඇතු`ඵ අනෙකුත් තාක්‍ෂණික උපකරණ සියල්ල සූදානම් කර තිබුණේ වේගවත් ව හමන සුළඟින් ඇති කරන බාධා මධ්‍යයේ ය. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාශංයේ මහාචාර්ය මෙන්ම ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ උපදේශක චන්දන ජයරත්න, ආතර් සී. ක්‌ලාක්‌ ආයතයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ අංශ ප්‍රධානී, පර්යේෂණ තාරකා විද්‍යාඥ සරාඡ් ගුණසේකර, පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ සහ ප්‍රවෘත්ති නිලධාරී චින්තන

විඡේවර්ධන ඇතු`ඵ සියලු ම නිලධාරීහු අවශ්‍ය සැලසුම් සකස්‌ කරති. ඒ වන විටත් පැමිණ සිටි දහසකට ආසන්න පාසල් සිසු දරුවන් හා ගුරුවරුන් මේ සංසිද්ධිය හා සම්බන්ධව දැනුවත් කිරීමක මහාචාර්ය චන්දන ජයරත්න මහතා නිරත විය. චමත්කාරජනක දර්ශනයක තොරතුරු ඉංග්‍රීසි බසින් විස්‌තර කරද්දී, එම විස්‌තර පාසල් ගුරුවරයෙක්‌ දෙමළ භාෂාවට පරිවර්තනය කළේ ය. සියල්ල ඉතා හොඳින් සිදු වෙයි. තවමත් හිරු ක්‍ෂිතිජයෙන් ඉහළට පැමිණ නැත. අප සිටි නිලාවැලි වෙරළ තීරයට මහ සයුර මැද පිහිටි ශ්‍රී ලංකාවේ කුඩා ම අභය භූමිය වන පරවි දූපත කුඩා ගල් කුළක්‌ සේ දිස්‌ වෙයි. ගල්පර ලිහිණියන් ගේ නිත්‍ය වාස භූමියක්‌ වන පරවි දූපත ලෝකයේ දක්‌නට ලැබෙන සුවිශේෂි පරිසර පද්ධතියකි. මේ වන තෙක්‌ කිසි ම දිනක දුරදක්‌නයකට ඇස තබා අහස නිරික්‍ෂණය කර චමත්කාරය විඳ නො ගත් සිසු පිරිසකට මෙන්ම ගුරුවරුන්ට ද මේ සිකුරු සංක්‍රාන්ති නිරීක්‍ෂණය පාඨමාලාවක්‌ බ`දු විය. අපට ද එසේ ම ය. යටපත් වූ දැනුම අලුත් කර ගැනීමට මා හට මෙය මහඟු උපකාරයක්‌ විය. දැඩි සුළඟට දුර දක්‌න සෙලවෙයි. ඒ වන විටත් ඇතුළාන්ත ආකාශ වස්‌තු නිරීක්‍ෂණය කළ හැකි අඟල් 11 සෙල්ස්‌ට්‍රොන් වර්ගයේ දුරදක්‌නයක්‌ අඟල් 6 පරාවර්තක දුරේක්‍ෂයක්‌ හා වයික්‌සන් නම් තාක්‍ෂණ පහසුකම් සහිත දුරදක්‌නයක්‌ හා පරිගණක මෙන්ම රූපවාහිනි තිරයක්‌ ජාලගත කර අවසන් ය.

මේ අවස්‌ථාවේ දී, විදුසර වෙනුවෙන් පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා මෙසේ අදහස්‌ දැක්‌වී ය. "මෙහි දී දුරදක්‌න හා පරිගණක ඇසුරෙන් විශාල රූපවාහිනි තිරයකට සිකුරු සංක්‍රාන්තියේ ඡායාරූප අරගෙන එය නැරඹීමට මහජනතාවටත් පාසල් සිසු දරුවන්ටත් පහසුවෙන් නරඹන්න ඉඩ සලසා දෙනවා. ප්‍රදේශයේ ජනතාවට මෙවැනි අවස්‌ථාවක හැර සිකුරු සංක්‍රාන්තියක්‌ දැක ගන්න ලැබෙන්නේ නෑ. අපටත් එහෙමයි. මොකද නැවතත් සිකුරු සංක්‍රාන්තිය එන්නේ වසර 115කට පසුවයි. ඊට අමතරව තාරකා විද්‍යාඥයන් හැටියට අපි කියන්න ඕනේ සිකුරු සංක්‍රාන්තිය වැදගත් වෙන්නේ නිරීක්‍ෂණය සඳහා පමණක්‌ නො වෙයි. හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර මැනීමටත් උපකාරී වෙනවා. මෙහි තිබෙන අඟල් 11 සෙල්ස්‌ට්‍රොන් දුරදක්‌නය වික්‌සන් දුරදක්‌නයට සම්බන්ධ කර එයට විශේෂ කැමරාවක්‌ සවි කර එයින් ලැබෙන පැහැදිලි දර්ශන තමයි රූපවාහිනි තිරයට ලබා දී තිබෙන්නේ. මේ කැමරාව හරහා විනාඩි පහෙන් පහට වෙන ම ඡායාරූප ගැනීමක්‌ සිදු කරනවා. මේ සියලු ම ඡායාරූප ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා ඕනෑ ම කෙනකුට ලබාගන්න සලස්‌වනවා."

මොකක්‌ ද, මේ සිකුරු සංක්‍රාන්තිය

අහස නිරීක්‍ෂණයට උනන්දු වන අයකුට තාරකා රාශි නිරීක්‍ෂණයට අමතරව කළ හැකි නිරීක්‍ෂණය වන්නේ ග්‍රහලෝක නිරික්‍ෂණයයි. බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්‌පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පියවි ඇසින් නිරීක්‍ෂණය කළ හැකි ය. බුධ ග්‍රහලොව හිරු උදාවට පෙරත් හිරු බැස ගිය පසුත් ඉතා කෙටි කාලයක දී නිරීක්‍ෂණය කළ හැකි ය. ඕනෑ ම ග්‍රහලොවක්‌ සැම විට ම තාරකා රාශි චක්‍රයට අයත් තාරකා රාශි 12න් කවර හෝ තාරකා රාශියකට අයත් වී පිහිටයි. මෙයට හේතුව ප්ලූටෝ හැර අනෙක්‌ ග්‍රහලෝක සියල්ල ම පාහේ, එක ම තලයක චලනය වීම ය. තාරකා රාශි හොඳින් හඳුනා ගැනීමෙන් පසු හා එම තාරකා රශිවලට අයත් තරු සංඛ්‍යාව පිළිබඳව හොඳින් අධ්‍යයනය කර අවබෝධයක්‌ ලබා ගැනීමෙන් පසු තාරකා රාශිය තුළට පැමිණෙන හෝ තාරකා රාශිය තුළින් ගමන් කරන ග්‍රහලොව පහසුවෙන් හඳුනාගත හැකි ය. මෙසේ තරකා රාශිය තුළට පැමිණෙන වස්‌තුවක්‌ ග්‍රහලොවක්‌ බවට නිවැරැදිව හඳුනා ගැනීමට දින කීපයක්‌ නිරීක්‍ෂණය කරමින් තාරකා රාශියේ තිබෙන තරු අතරින් සිදු වන වස්‌තුවේ චලිතයේ නිරික්‍ෂණ සටහන් කළ යුතු ය.

මේ අයුරින් ක්‍රමානුකූලව අහස නිරික්‍ෂණයේ යෙදෙන විට ග්‍රහලෝක චලිතය පිළිබඳ නිවැරැදි ප්‍රායෝගික දැනුමක්‌ ලබා ගැනීමට හැකි වනු ඇත. මෙසේ චලිතයේ යෙදෙන ග්‍රහලෝක අහසේ හිරු පිහිටන දිශාවේ ම පිහිටන අවස්‌ථාවක්‌ උදා වෙයි. මෙය ග්‍රහ හමුවක්‌ (Conjunction) යනුවෙන් හැඳින්වෙයි. මෙහි දී හිරුත් පෘථිවියත් අතර කිසියම් ග්‍රහලොවක්‌ පිහිටියේ නම් හෝ ගමන් කළොත් එය සුළු හමුවක්‌ (Inferior Conjunction) යනුවෙන් හැඳින්වෙයි. ග්‍රහලොවක්‌ හිරුට පිටුපසින් එනම් පෘථිවිය, හිරු සහ ග්‍රහලොව යන අකාරයට පිළිවෙළින් පිහිටියේ නම් එය මහ හමුවක්‌. (Superior Conjunction) යනුවෙන් හැඳින්වෙයි. සුළු හමුවක දී හිරු මතුපිට මුහුණත හරහා එම ග්‍රහලොව ගමන් කරන ආකාරයට පෙනීම අනිවාර්ය නො වත අතර වස්‌තුව හිරුට ආසන්න ව පිහිටීම ද ප්‍රමාණවත් ය. මෙසේ හිරු මතුපිට ග්‍රහලොවක්‌ පිහිටන ආකාරයට දිස්‌ වීම ද සංක්‍රාන්තියක්‌ Transit යනුවෙන් හැඳින්වෙයි. මෙවන් සංක්‍රාන්ති ඉතා දුර්ලභ සිදු වීමක්‌ වන අතර පෘථිවිය මතුපිට සිටින අපට නිරීක්‍ෂණය කළ හැක්‌කේ බුධ හා සිකුරු සංක්‍රාන්ති පමණි.

2012 ජුනි 06 වැනි දින හටගත් සිකුරු සංක්‍රාන්තිය සුළු හමුවක්‌ (Inferior Conjunction) වූ අතර, මෙහි දී සිකුරු ග්‍රහලොව හිරු සහ පෘථිවියත් අතරින් ගමන් කළේ ය. පෘථිවිය මතුපිට සිට කරන නිරික්‍ෂණවල දී හිරු මතුපිට සිකුරු කළු පැහැති ගෝලාකාර වස්‌තුවක්‌ ආකාරයට එය දක්‌නට ලැබිණි. කළු පැහැයෙන් දිස්‌ වීමට හේතුව සිකුරු ග්‍රහලොsවේ හිරුට මුහුණ ලා තිබෙන පැත්තට විරුද්ධ පැත්ත පෘථිවියට දිස්‌ වීම ය.

මෙහි දී සිදු වන විද්‍යාත්මක සංසිද්ධිය නම් සිකුරු ග්‍රහලාව, හිරු හා පෘථිවිය පිහිටි තලයට පැමිණ හිරුත්, සිකුරුත් හා පෘථිවියත් එක ම සරල රේඛාවක පිහිටීම ය. පෘථිවිය හිරු වටා පරිභ්‍රමණය වන කක්‍ෂ තලයත් සිකුරු හිරු වටා පරිභ්‍රමණය වන කක්‍ෂ තලයත් අතර පවතින ඇල වීමේ කෝණය හෙවත් ආනත කෝණය අංශක 3.4කි. මේ ආනත කෝණය සිකුරු සංක්‍රාන්තිය සුලබව ඇති වීම සීමා කර ඇත. එනම් සිකුරු හා පාථිවිය එක ම සරල රේඛාවක්‌ ඔස්‌සේ හමු වීම මෙන්ම හිරුත්, සිකුරුත්, පෘථිවියත් එක ම සරල රේඛාවක්‌ ඔස්‌සේ හමු වීම ද, සීමා කර ඇත.

සිකුරු සංක්‍රාන්ති නිරීක්‍ෂණය

2012 ජුනි 06 වැනි දින නිලාවැලි මුහුදු වෙරළ ආසන්නයේ සිට කළ නිරීක්‍ෂණවලින් හිරු ගේ උතුරු අර්ධ ගෝලයේ සිට ගමන් ඇරැඹූ සිකුරු ග්‍රහලොව හිරු ගේ මුහුණත හරහා ගමන් කරන ආකාරය දැකගන්නට ලැබිණි. මේ සිකුරු සංක්‍රාන්තිය ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 3 පසු වී විනාඩි 39 තත්පර 29ට ආරම්භ වුව ද, එම අවස්‌ථාවේ ශ්‍රී ලංකාවට හිරු පායා නොමැති බැවින් එම අසිරිමත් අවස්‌ථාව ශ්‍රී ලංකාවාසීන්ට දැක ගැනීමට නො හැකි වුවත් හවායි දූපත්වාසීන්ට දැක ගත හැකි විය. මෙදින ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළ තීරයට හිරු උදාව පෙ.ව. 5යි විනාඩි 54ට සිදු වුවත් ඒ වන විටත් හිරු ක්‍ෂිතිජයෙන් ඉහළට පැමිණ නො තිබුණෙන්, සිකුරු සංක්‍රාන්තියේ එම අවස්‌ථාව ද, ශ්‍රී ලංකාවාසීන්ට නිරික්‍ෂණය කිරීමට නො හැකි විය. එහෙත් සිකුරු සංක්‍රාන්තියේ උපරිම අවස්‌ථාවේ සිට අවසානය දක්‌වා වූ කාල සීමාව තුළ සිදු වන සංක්‍රාන්ති අවස්‌ථා නිරික්‍ෂණය කිරීමට හැකි විය. උපරිම අවස්‌ථාව යනු සිකුරු ග්‍රහලොව හිරු ගේ මුහුණ හරහා ගමන් කරන අතරේ හිරු ගේ කේන්ද්‍රයට ආසන්න පිහිටීමට පැමිණීම ය. මේ අවස්‌ථාව පෙ.ව 7.03ට උදා විය. ඒ වන විට නිලාවැලි ක්‍ෂිතිජයෙන් ඉහළට අංශක 20ක්‌ වැනි ප්‍රමාණයක්‌ හිරු පැමිණ සිටිය ද, අහස අඳුරු වලාකුළින් බර වී තිබුණු බැවින් හිරු පැහැදිලි ව නො පෙනිණි. ක්‍රමයෙන් අඳුරු වලා ඉවතට ඇදී යැමත් සම`ග හිරු ගේ මුහුණත ක්‍රමයෙන් පැහැදිලිව දක්‌නට ලැබිණි. ඒ සම`ග ම අඳුරු කවාකාර ලපයක්‌ ලෙසින් හිරු මතුපිට සිකුරු ග්‍රහලොව දක්‌නට ලැබිණි. මේ සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තිය වන මෙය නැවත වරක්‌ දැකගත හැක්‌කේ වර්ෂ 2117 දෙසැම්බර් 10 සහ 11 යන දෙදින සහ වසර 2125 දෙසැම්බර් මස තුළ ය. ඒ සඳහා තවත් ඉදිරියට වසර 105ක්‌ තිබෙන බැවින් මේ සිකුරු සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවාසීන්ට ඵෙතිහාසික සිදුවීමක්‌ විය.

ක්‍රමයෙන් සිකුරු සංක්‍රාන්තියේ අවසන් කාල සීමාව එළඹිණි. පෙරවරු 10.21ට යෙදී තිබුණු මේ චමත්කාරජනක අවස්‌ථාව නිරික්‍ෂණය කිරිමට පාසල් දරුවෝ මෙන්ම පැමිණ සිටි සියලු දෙනා ම උනන්දුවක්‌ දැක්‌වූ හ. තත්පරයට කිලෝ මිටර් 35.02ක කක්‍ෂීය ප්‍රවේගයක්‌ සහිත ව ගමන් කරන සිකුරු, පෙරවරු 10.21 වන විට හිරු ගේ මුහුණතින් ක්‍රමයෙන් ඉවතට ගමන් කළේ ය. මේ සිදුවීමත් සම`ග ශ්‍රී ලංකාවාසීන්ට මේ සියවසේ අවසන් සිකුරු සංක්‍රාන්තියේ අවසානය ද, දැක ගැනීමට හැකි විය.

හිරුට තිබෙන දුර මැනීම

මේ සිදුවීම සියවසකට දෙවරක්‌ පමණක්‌ සිදු වුවත් තාරකා විද්‍යාඥයන්ට ඉතා ම වැදගත් සංසිද්ධියක්‌ වන්නේ මේ සංසිද්ධිය ඇසුරු කොට පෘථිවියේ සිට හිරුට තිබෙන දුර මැන ගැනීමට හැකි වීම ය. මෙරට බොහෝ දෙනා ගේ කුතුහලයට හේතුව වූයේ සිකුරු සංක්‍රාන්තියට අනුව පෘථිවියේ සිට හිරුට තිබෙන දුර මැනීම සිදු කරන්නේ කෙසේ ද, යන්න ය. මේ ක්‍රියාවලියේ අතීතය ක්‍රි.ව. 1639 වැනි ඈත යුගයක්‌ කරා දිව යයි. සිකුරු සංක්‍රාන්තිය නිරික්‍ෂණය කළ ප්‍රථම පුද්ගලයා ලෙස ඉතිහාසගත ව ඇත්තේ ජෙරමියා හොරොක්‌ස්‌ නැමැත්තෙකි. ක්‍රි.ව. 1639 දෙසැම්බර් මස 04 වැනි දින එනම්, එවකට එංගලන්තයේ භාවිත කළ ජුලියන් දින දර්ශනයට අනුව 1639 නොවැම්බර් 04 වැනි දින සිදු වූ සිකුරු සංක්‍රාන්තියක්‌ නිරීක්‍ෂණය කළ බැව් ස`දහන් ව ඇත. එසේ ම පෘථිවියත් හිරුත් අතර තිබෙන දුර ඔහු මේ සිකුරු සංක්‍රාන්තියට අනුව ගණනය කර ඇත. ඔහු ගේ ගණනය කිරිම්වලට අනුව හිරුත්, පෘථිවියත් අතර දුර සැතපුම් මිලියන 59.4ක්‌ හෙවත් නක්‌ෂත්‍ර ඒකක 0.639ක්‌ (0.639 A.U.) ලෙස සටහන් ව ඇත. මේ දුර ප්‍රමාණය හිරුත්, පාථිවිය අතර සත්‍ය දුර වන සැතපුම් මිලියන 93ක්‌ හෙවත් කිලෝමීටර් මිලියන 149.9ට තුනෙන් දෙකකින් ආසන්න වීමකි. එහෙත් මේ නිරීක්‍ෂණ වාර්තාව ජෙරමියා හොරොක්‌ස්‌ වර්ෂ 1661 දී මිය යන තෙක්‌ එළි නො දැක්‌විණි.

ක්‍රි.ව.1676 දී එවකට තරුණ තාරකා විද්‍යාඥයකු ලෙස නම් දැරූ එඩ්මන්ඩ් හේලි සිකුරු සංක්‍රාන්තියක්‌ නිරික්‍ෂණය කර හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර ගණනය කළේ ය. මෙහි දී හේලි විසින් කරන ලද ගණනය කිරීම්වලින් සූර්ය අසම්පාත කෝණය අංශක 45ක්‌ ලෙස නිවැරැදිව ගණනය කර ඇත. මේ පර්යේෂණ වාර්තාව වර්ෂ 1691 දි එඩ්මන්ඩ් හේලි විසින් ඉදිරිපත් කරන ලදී. මේ වාර්තාවට සිකුරු සංක්‍රාන්තියේ ගණනය කිරිම් රැසක්‌ ඇතුළත් විය. එසේ වුවත් වර්ෂ 1761 ජුනි 06 වන සිදු වූ සිකුරු සංක්‍රාන්තිය නිරික්‍ෂණ කිරීමට ඔහුට නො හැකි විය. හේතුව වර්ෂ 1742 දී එඩ්මන්ඩ් හේලි මිය යැම ය.

ක්‍රි.ව. 1874 දෙසැම්බර් 09 වැනි දින ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වූ සයිමන් නිව්කොම්බ් එදින සිදු වූ සිකුරු සංක්‍රාන්තිය නිරික්‍ෂණය කර ලබාගත් දත්තවලට අනුව හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර ගණනය කර ඇත. ඔහු ගේ ගණනය කිරීම්වලට අනුව හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර කිලෝ මීටර් මිලියන 149.59ක්‌ බැව් අනාවරණය විය. මේ ගණනය කිරීම් ස`දහා අභ්‍යවකාශ යානාවක රේඩියෝ ටෙලිමෙටි්‍ර උපකරණ මෙන්ම රේඩාර් මිනුම් භාවිත කර ඇත.

වසර 2004 ජුනි 08 වැනි දින හටගත් සිකුරු සංක්‍රාන්තියේ දී යුරෝපීය දක්‌ෂිණ නිරීක්‍ෂණාගාරය (ESO) විසින් ක්‍රියාත්මක කරන ලද නිරික්‍ෂණ ජාලයක්‌ ඔස්‌සේ ආධුනික තාරකා විද්‍යාඥයන් විසින් හිරුත්, පෘථිවියත් අතර තිබෙන දුර ගණනය කරන ලදී. ඔවුන් ගේ ගණනය කිරිම්වලට අනුව මේ දුර කිලෝමීටර් 149608708 කිලෝමීටර් 11835 (km ± 11835 km) බැව් අනාවරණය විය. මේ දුර ප්‍රමාණය හිරුත්, පාථිවියත් අතර තිබෙන දුරට සියයට 0.007ක වෙනසකි.

වසර 2004 ජුනි 08 වැනි දින සිදු වූ සිකුරු සංක්‍රාන්තිය ශ්‍රී ලංකාවට දිස්‌ වුණු බැවින් මොරටුවේ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ තාරකා විද්‍යාඥයෝ නවීන උපකරණ ඇසුරෙන් හිරුත් පාථිවියත් අතර තිබෙන දුර ගණනය කිරීමට සමත් වූ හ. ඔවුන් ගේ ගණනය කිරිම්වලින් ලද අගය හිරුත් පෘථිවියත් අතර තිබෙන දුරට සියයට 98.8කට ආසන්නව නිවැරැදි විය. මෙවර එනම් 2012 ජුනි 06 වන දින ශ්‍රී ලංකාව දිස්‌ වූ මේ සිකුරු සංක්‍රාන්තියට අනුව කළ ගණනය කිරිම්, 2004 ජූනි 8 වන දින සිදු වූ සිකුරු සංක්‍රාන්තියට අනුව කළ ගණනය කිරීම් සමග සැසැ`දීමක්‌ කළ යුතු ව ඇත.

මොරටුවේ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ ප්‍රධානී, පර්යේෂණ තාරකා විද්‍යාඥ සරාඡ් ගුණසේකර මහතා මේ සම්බන්ධයෙන් විදුසර වෙනුවෙන් අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි. "මේ සංක්‍රාන්තියේ වැදගත් කාර්යය වන්නේ ආසන්න ස්‌ථානවල දී නිවැරැදි වේලාව ලබා ගැනීමයි. මේ නිවැරැදි වේලාව ලබාගෙන සූර්ය අසම්පාත කෝණය ගණනය කරනවා. මේ කෝණයට අනුව හිරුත්, පෘථිවියත් අතර තිබෙන දුර ගණනය කරන්න පුළුවන්. සිකුරු සංක්‍රාන්තිය ඇසුරෙන් හිරුත්, පාථිවියත් අතර තිබෙන දුර මැනීම අද ඊයේ කරපු දෙයක්‌ නො වෙයි. දිගු ඉතිහාසයක්‌ තිබෙනවා. අතීත විද්‍යාඥයන් උපකරණ රහිත ව කොළයක්‌ මත කරන ලද ගණනය කිරිම්වලින් තමයි හිරුත් පෘථිවියත් අතර තිබෙන දුර සොයා ගත්තේ. නමුත් අද මේ දුර මැනීමට ඉතාමත් නිවැරැදි තාක්‍ෂණික ක්‍රමවේද භාවිත කරනවා. මේ සඳහා අපි අඟල් 6 වික්‌සන් දුරදක්‌නය යොදා ගත්තා. මේ දුරදක්‌නයට HR පෙරහනක්‌ (HR Filters) සවි කර කැනොන් කැමරාවක්‌ ආධාරයෙන් ඡායාරූපගත කර ඒ වගේ ම මේ කාර්ය සඳහා ම ගෙන්වූ විඩියෝ ටයිමිං ඉන්සර්ටර් (Video Timming Inserter) නම් උපකරණය භාවිත කරනවා. මේ උපකරණය භාවිත කරන්න ප්‍රධාන හේතුව තමයි මේ හරහා නිවැරැදිව තුන්වැනි සහ හතර වැනි ස්‌ථානවල කාලය සටහන් කරගන්න හැකි වීම. ඒ අනුව රූපයට අනුව (රූපය බලන්න) ශ්‍රී ලංකාවට දිස්‌ වන ආකාරයට M හෙවත් උපරිම අවස්‌ථාවෙන් පසු C3ල C4 යන ස්‌ථානවල කාලයන් නිවැරැදිව මැනගෙන හිරු ගේ අසම්පාත කෝණය නිවැරැදිව ගණනය කරන්න හැකියාව තිබෙනවා. මේ ලබා ගන්නා දත්තවලින් තමයි අපි වඩාත් නිවැරැදිව සිකුරුත්, පෘථිවියත් අතර දුර මැන ගන්නේ."

මේ සම්බන්ධව කොළඹ විශ්වවිද්‍යාලයයේ භෞතික විද්‍යා අධ්‍යයනංශයේ මහාචාර්ය සහ මොරටුව ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශයේ උපදේශක චන්දන ජයරත්න මහතා නිලාවැලියේ දී විදුසරට අදහස්‌ දැක්‌වුයේ මේ ලෙසිනි.

"ඕනෑ ම තරුවක්‌ ඉදිරියෙන් ග්‍රහ ලොවක්‌ ගමන් කිරීම සංක්‍රාන්තියක්‌ යනුවෙන් හඳුන්වන්න පුළුවන්. හිරුත්, තරුවක්‌. ඒ නිසා හිරු ඉදිරියෙන් සිකුරු ගමන් කරන විට සිකුරු සංක්‍රාන්තිය කියලත්, බුධ ග්‍රහලොව ගමන් කරන විට බුධ සංක්‍රාන්තිය කියලත් හඳුන්වන්න පුළුවන්. හිරු හා පෘථිවිය අතර සිකුරු හා බුධ යන ග්‍රහලෝක දෙක පිහිටා තිබෙන නිසා බුධ ගේ සංක්‍රාන්තියත් සිකුරු ගේ සංක්‍රාන්තියත් පෘථිවිවාසීන්ට නිරීක්‍ෂණය කරන්න පුළුවන්. මේ සංක්‍රාන්ති නිරික්‍ෂණයට පමණක්‌ සීමා වන්නේ නෑ. මේ සංක්‍රාන්ති අධාරයෙන් විශ්වයේ තිබෙන වෙනත් සෞරග්‍රහ මණ්‌ඩල හඳුනා ගැනීමටත් ඒ වගේ ම පෘථිවියත් හිරුත් අතර තිබෙන දුර මැනීමටත් හැකි වෙනවා.

සංක්‍රාන්තිය නිසා අදාළ තරුවේ දීප්තිය අඩු වීමක්‌ සිදු වෙනවා. මේ දීප්තියේ අඩු වීම ආධාරයෙන් තරුවේ ස්‌වභාවය, පරිභ්‍රමණය වන ග්‍රහ ලොවේ ප්‍රමාණය, උෂ්ණත්වය වගේ ම පරිභ්‍රමණය වන කාලය වැනි ඉතා ම වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. සාමාන්‍යයෙන් සිකුරු සංක්‍රාන්තියක්‌ ඉතා ම දුර්ලභ සංසිද්ධියක්‌. වසර 105.5කට වරක්‌ වසර 8ක පරතරයක්‌ ඇති ව දෙවරක්‌ හෝ වසර 121.5කට වරක්‌ වසර 8ක පරතරය ඇති ව දෙවරක්‌ සිදු වෙනවා. ඒ අනුව වසර 243කට වරක්‌ (8+121.5+8+105.5 = 243) සිකුරු සංක්‍රාන්තිය නැවතත් ඒ අයුරින් ම සිදු වෙනවා.

සොබාදහමට අනුව සියවසක්‌ තුළ දෙවරක්‌ පමණක්‌ සිදු වන අසිරිමත් සිකුරු සංක්‍රාන්තියක්‌ නිරීක්‍ෂණය කර ඒ පිළිබඳව වාර්තා සටහනක්‌ තැබීමට විද්‍යා ලේඛකයකුට හැකි වීම ද ඉතිහාසගත සිද්ධියකැයි හැඟේ.
ඡායාරූප අනුග්‍රහය - ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය

විශේෂ ස්‌තූතිය
ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ සියලු නිලධාරීන්ට
අද සතියේ විමසුම
අමල් උඩවත්ත

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය