ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ වන අයුරු

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාරය ආසියානු කලාපයේ මානව ඉතිහාසයේ වැදගත් ශිෂ්ටාචාරයකි. මේ ශිෂ්ටාචාර නාගරික ලක්‌ෂණ තිබූ ශිෂ්ටාචාර අතර වැදගත් එකක්‌ වේ. එය පොදු වර්ෂ පූර්ව 3200 පමණ සිට 1000 පමණ දක්‌වා පැවැති බව මෙතෙක්‌ හෙළි වී ඇති කරුණු අනුව පැහැදිලි ය. අදින් වසර 3,900කට පමණ පෙර (එනම් පොදු වර්ෂ පූර්ව 1900 දී පමණ) මේ ශිෂ්ටාචාරයේ අවනතිය ආරම්භ වී තිබේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ ආසියාවේ මෝසම් වැසි වැටෙන සීමාවේ මායිමේ හා ඉන් ඔබ්බෙන් පිහිටා ඇති ශුෂ්ක කලාපයේ ය. මේ ප්‍රදේශය හරහා ගමන් කරන ඉන්දු නදියේ නිම්නය ඔස්‌සේ මේ ශිෂ්ටාචාරය පැතිර තිබිණි. මේ වන විට කරුණු අනාවරණය වී ඇති ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශය සමකාලීන ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ සමස්‌ත ජනාවාස පැතිර තිබූ ප්‍රදේශයට වඩා විශාල ය. එය වර්ග කිලෝමීටර් මිලියනයකටත් වැඩි ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබිණි. එහි සමෘද්ධිමත් ම අවධියේ ජනගහනය මිලියන පහකට අධික වූ බව සැලකේ. වර්තමාන පාකිස්‌තානය, ඊසානදිග ඉන්දියාව හා ඇෆ්ඝනිස්‌තානයෙන් කොටසක්‌ පුරා මේ ශිෂ්ටාචාරයේ නටබුන් හමු වේ. එය හරප්පා ශිෂ්ටාචාරය ලෙස හැඳින්වෙන්නේ මේ පිළිබඳ මුලින් ම කරුණු අනාවරණය වූ ප්‍රදේශය හරප්පාව නිසා ය. ඇතැම් විට මොහෙන්දොජාරෝ-හරප්පා ලෙස ද මෙය හැඳින්වේ.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ලෝකයේ මුල් ම නාගරික සංස්‌කෘතීන් අතරින් එකක්‌ වේ. ගඩොලින් තැනූ නගර, ජලවහන පද්ධති හා තට්‌ටු කිහිපයකින් යුක්‌ත නිවාස මේ ශිෂ්ටාචාරයෙන් හමු වී තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල සඳහා පදනම වූයේ කෘෂිකර්මයයි. කෘෂිකර්මයෙන් ලැබුණු අතිරික්‌තයෙන් සේ සියලු සමාජ සංවිධාන නඩත්තු කළ හැකි වීම ඉන්දු නිම්නයේ පැවැත්මට බලපෑ මූලික හේතුව විය. සංකීර්ණ සමාජ ව්‍යුහයක්‌ ගොඩනඟාගැනීමට ද ඔවුන්ට හැකියාව ලැබුණේ මේ කෘෂිකර්මයෙන් ලැබුණු ආර්ථික දියුණුව නිසා ය.

කෘෂිකාර්මික කටයුතු සඳහා ගංගා ජලය මත වැඩි වශයෙන් යෑපෙන්නට සිදු වූ බව පැහැදිලි ය.මේ ප්‍රදේශයට ජලය සැපයෙන්නේ ඉන්දු නදිය හා එහි අතු ගංගාවලිනි. ඒවා හිමාලය ප්‍රදේශයේ ග්ලැසියර දිය වීමෙන් හා මෝසම් වැසිවලින් පෝෂණය වේ. එය බෙහෙවින් වෙනස්‌ වනසුලු කරුණක්‌ වූ අතර නියඟය හා ගංවතුර මේ නදියේ ශිෂ්ටාචාරයට බෙහෙවින් බලපාන්නට ඇත. මේ අනුව දේශගුණික වෙනස්‌වීම් ඔවුන්ට අභියෝගාත්මක එකක්‌ වූ බව පැහැදිලි ය.

මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය බිඳ වැටුණේ කෙසේ ද යන්න කලක පටන් සාකච්ඡාවට ලක්‌ ව තිබූ කරුණකි. සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලබන ආකාරයට ඒ සඳහා විවිධ හේතු බලපා තිබේ. ඉන් වැඩි සාකච්ඡාවකට ලක්‌ ව ඇති කරුණු අතර, විදේශ ආක්‍රමණ, සමාජයේ අස්‌ථාවරත්වය හා වෙළෙඳාම අඩු වීම දක්‌වා ඇත. එසේ ම මේ සඳහා විවිධ පාරිසරික සාධක ද හේතු වූ බව යෝජනා කර ඇත. මේ අතර ශුෂ්කභාවයක්‌ ඇති වීම, ජලවිද්‍යාත්මක වෙනස්‌ වීම් ඇති වීම හා මිනිසුන් විසින් සිදු කරන ලද වෙනස්‌වීම්වල බලපෑම් වැනි කරුණු මෙහි දී වැදගත් වේ. එහෙත් මේ පිළිබඳව මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවැත්ම හා අවනතිය සඳහා දේශගුණයේ ඇති වූ වෙනස්‌වීම් බෙහෙවින් වැදගත් සාධකයක්‌ වේ.

දේශගුණ බලපෑම් අධ්‍යයනය

අප මාතෘකා කරගත් අධ්‍යයනයේ දී සිදු කර ඇත්තේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ භූදර්ශනය නැවත ගොඩනැඟීමකි. එහි දී අදින් වර්ෂ 5,200කට පමණ පෙර ආරම්භ වී අදින් වසර 3,900ත් 3,000ත් අතර කාලයක දී ක්‍රමයෙන් විනාශයට පත් වන ශිෂ්ටාචාරයේ පැවැත්මට බලපා ඇති සාධක හඳුනාගැනීමට උත්සාහ කර තිබේ. එහි දී අවධානය යොමු කර ඇත්තේ ගංගාවේ ජල ප්‍රවාහයේ ඇති වූ වෙනස්‌වීම් හා එය ශිෂ්ටාචාරයට බලපෑම් කළ ආකාරයයි. පළමුව චන්ද්‍රිකා ඡායාරූප මඟින් භූදර්ශනය පිළිබඳ විශ්ලේෂණයක්‌ සිදු කර ඇති අතර ඉන්පසුව වසර පහක පමණ කාලයක්‌ තිස්‌සේ විවිධ ප්‍රදේශවලින් අවසාදිත තැන්පතු නියෑදි ලබාගෙන ඇත. අරාබි මුහුදේ වෙරළ තීරයේ සිට ඉන්දු නදියේ හා එහි අතු ගංගාවල නිම්න ආදී විවිධ ස්‌ථානවලින් මේ තැන්පතු ලබාගෙන තිබේ. එසේ ම ඒවායේ කාලය නිර්ණය කිරීමෙන් පසුව මේ ප්‍රදේශයේ භූදර්ශනයේ වෙනස්‌කම් ගොඩනැඟීමට හැකි විය.

මේ සියල්ල මත ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ක්‍රියාවලී ගොඩනඟාගැනීමට හැකියාව ලැබී ඇත. වගා කරන ලද භෝග වර්ග මොනවාද, එසේ ම කෘෂිකර්මය හා ගොවිතැන වෙනස්‌ වූ ආකාරය පිළිබඳ නිර්ණයක්‌ කිරීමට හැකි වී තිබේ. එය එක්‌තරා ආකාරයකට අද වන විට දන්නා දේ නැවත විමසා බැලීමකි.

ඉන් හෙළි වන තොරතුරු අනුව මෝසම් වැසි දුර්වල වීම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වර්ධනයට මෙන්ම අවනතියට ද බලපායි. මෝසම් වැසි නැඟෙනහිර දෙසට ව්‍යාප්ත වීමත් සමඟ ඉන්දු ගංගාවේ ජලප්‍රවාහය අඩු විය. අදින් වසර 5,000කට පමණ පෙර මේ ආකාරයෙන් සිදු වූ වර්ෂාපතනය අඩු වීමත් සමඟ මෙතෙක්‌ ගංවතුරින් යට වූ විශාල ප්‍රදේශයක්‌ වගා කළ හැකි විය. එහි ජලය තිබූ අතර රොන්මඩ මඟින් පෝෂිත ව තිබිණි. නිම්න වැසියන් දැක්‌වූ මේ අනුහුරු වීම නිසා ඉන්දු නදී ශිෂ්ටාචාරය නාගරික සංස්‌කෘතියක්‌ කරා ක්‍රමයෙන් වර්ධනය විය.

කෙසේ වෙතත් අදින් වර්ෂ 3,900කට පමණ පෙර සිට මේ ප්‍රදේශයේ මෝසම් වර්ෂාපතනය තවදුරටත් අඩු වීමත් සමඟ ඇති වූ දැඩි ශුෂ්කතාව නිසා මේ ශිෂ්ටාචාරය විනාශ වීම පටන් ගන්නට ඇති බව මේ අධ්‍යයනයෙන් ද අනාවරණය වී තිබේ. නිදසුනක්‌ ලෙස මෝසම් වැසි මත බෙහෙවින් යෑපුණු ප්‍රදේශ අත්හැර දමන්නට ඇති බවක්‌ පෙනී යයි. මෝසම් වැසි මත පෝෂණය වූ ගංගාවලින් ජලය සැපයුණු ගග්ගර්-අක්‍රා ප්‍රදේශය අත්හැර දැමීම මේ සඳහා යෝග්‍ය නිදසුනක්‌ වේ. එසේ ම වගා කරනු ලබන කාලයේ හා භෝග වර්ගවල බොහෝ වෙනස්‌කම් ඇති වී තිබේ. නිදසුනක්‌ ලෙස වැඩි වියළි කාලයකට ගැලපෙන භෝග වර්ග වගා කිරීම ඉහළ ගොස්‌ ඇති අතර වර්ෂාව මත පදනම් ව සිදු කරන වගා කටයුතු ග්‍රීෂ්ම සෘතුවේ ලැබෙන වර්ෂාවට සීමා වේ.

ඒ තත්ත්වය හමුවේ මේ ජනතාව ඉන්දු නදියේ ඉහළ ප්‍රදේශවලට හා නැඟෙනහිර දෙසට සංක්‍රමණය වූ බවට සාධක තිබේ. ඒ වඩා තෙත් දේශගුණයක්‌ සහිත වගා කටයුතු සඳහා යෝග්‍ය වූ ප්‍රදේශවලට ය. මේ සංක්‍රමණ මාර්ගයේ කුඩා ප්‍රමාණයේ ජනාවාස ඇති කරගන්නට ඇතත් ඒවායේ භෝග අතිරික්‌තය සංකීර්ණ නාගරික පද්ධති නඩත්තු කිරීමට ප්‍රමාණවත් නො වී ය.

මෙවැනි වෙනසක්‌ වූ බවට පුරාවිද්‍යාත්මක සාධක ද තිබේ. මේ කාලයේ පටන් නාගරිකකරණයේ අඩුවක්‌ දැකිය හැකි අතර වඩා කලාපීය විවිධත්වයකින් යුක්‌ත පුරාවස්‌තු නිර්මාණය වන ආකාරයක්‌ දැකගත හැකි ය. ඉන් පෙනෙන්නේ කලාපීය වශයෙන් වැදගත් වූ මධ්‍යස්‌ථාන ඇති වන බව හෙවත් මධ්‍යගත ව තිබූ පාලනය අසංවිධිත වන ආකාරයකි. එසේ ම මේ කාලයේ දී හරප්පා අක්‌ෂර භාවිතය ද ක්‍රමයෙන් අඩු වෙමින් යන බවට සාධක හමු වී තිබේ. ඉන් පැහැදිලි වන්නේ කෘෂිකර්මයේ පිරිහීම නිසා ශාස්‌ත්‍රීය හා කලා කටයුතු වැනි නිෂ්පාදන නො වන අංශවල පිරිහීමක්‌ ඇති වන බව ය. හරප්පා ශිෂ්ටාචාරය යළිත් ක්‍රමයෙන් ග්‍රාමීය මධ්‍යස්‌ථාන මත පදනම් වූවක්‌ වී ඇත. මෙය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අවසානය සේ ද සැලකිය හැකි ය. එය ඇති වන්නේ අදින් වසර තුන් දහසකට පමණ පෙර දී ය.

මේ අනුව පෙනෙන වැදගත් ම කරුණ වන්නේ වර්තමානයේ ඉන්දු නිම්නය ආශ්‍රිත ව ඇති වන මෝසම් වැසි ආශ්‍රිත ගංවතුර තත්ත්ව ඇති වීම වර්ධනය වුව හොත්, වර්තමාන ඉන්දු නිම්නයේ පිහිටා ඇති ලෝකයේ විශාලතම වාරිමාර්ග පද්ධතිවලට යම් තර්ජනයක්‌ ඇති විය හැකි බව ය. 2010 වර්ෂයේ දී ඇති වූ ගංවතුර තත්ත්වය මේ සඳහා නිදසුනක්‌ වේ. ඉන් ප්‍රදේශයට පමණක්‌ නො ව ඇතැම් පුරාවිද්‍යාත්මක ස්‌ථානවලට ද බලපෑමක්‌ සිදු විය. මේ තත්ත්වය සැලකිය යුතු කරුණක්‌ බව මේ අධ්‍යයනය පෙන්වා දී තිබේ.

සරස්‌වතී ගංගාව හඳුනාගැනුණේ ද?

මේ අධ්‍යයනයෙන් සරස්‌වතී ගංගාව පිළිබඳ ගැටලුව නිරාකරණය කළ බවක්‌ දක්‌වා තිබේ. හින්දු වේද සාහිත්‍යයේ එන ගංගාවක්‌ වන මෙහි ආරම්භය මෙන්ම ගංගාවට සිදු වූයේ කුමක්‌ ද යන්න පිළිබඳව ද බොහෝ මතභේද තිබේ. මේ ගංගාව පිළිබඳව සඳහන් වන්නේ අනෙක්‌ සියලු ගංගාවලට වඩා විශාල වූ ගංගාවක්‌ ලෙස හා එහි ආරම්භයේ සිට අවසානය දක්‌වා පවිත්‍ර ව පැවැති ගංගාවක්‌ ලෙස ය. මේ පුරාකථාවලට අනුව සරස්‌වතී නදිය ද හිමාලයෙන් ආරම්භ වූ බව විශ්වාස කරන ලදි. මේ සාහිත්‍යයේ සඳහන් වන සප්ත මහා ගංගා යනු ඉන්දු නදිය හා එහි අතු ගංගා සේ සැලකිය හැකි බව පෙන්වා දී තිබේ.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන ආකාරයට සරස්‌වතී ගංගාව කුමක්‌ දැයි හඳුනාගත හැකි විය. එය ඉන්දු නදියට නැඟෙනහිර දෙසින් පිහිටා ඇති වර්තමාන ගග්ගර් නම් ගංගාව විය හැකි ය. එහෙත් එය සාහිත්‍යයේ හා පුරාකතාවල සඳහන් වන ආකාරයට හිමාලයෙන් ජනිත වූවක්‌ නො ව මෝසම් වැසි මඟින් පෝෂණය වන ගංගාවකි. එය හක්‍රා නිම්නය ඔස්‌සේ ගලා ගොස්‌ කාන්තාරයකින් අවසන් වේ. මේ ගංගාව මෝසම් වැසි අක්‍රිය වීමෙන් පසුව අක්‍රිය වී ගොස්‌ තිබිණි. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව මේ නදිය අවට ප්‍රදේශය මෝසම් වැසි ප්‍රබල ව පැවැති කාලවකවානුවල දී බෙහෙවින් ජනාවාස වී පැවැති අතර වැසි අක්‍රිය වීමෙන් පසු මේ ජනාවාස බෙහෙවින් අත්හැර දැමිණි.

(මූලාශ්‍රය Proceedings of the NationalAcademy of Sciences, DOI: 10.1073/pnas.1112743109)
ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2