පොක්‍රටීස්‌ සහ ග්‍රීක දෙවියෝ

පොක්‍රටීස්‌ සහ ග්‍රීක දෙවියෝ

පසුගිය දිනක ලොව පිළිගත් ඉහළ ම පෙළේ ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයකු මුණ ගැසීමේ අවස්‌ථාව මට හිමි විය. එහි දී විවිධ මාතෘකා සම්බන්ධයෙන් අප අදහස්‌ හුවමාරු කර ගත් අතර රජරට ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව ද සාකච්ඡා විය. එහි දී මා පැවසුයේ රෝගයට හේතු කාරකය අප දන්නා බවත් එය අප දැන ගත්තේ බෞද්ධ දෙවි කෙනකු හරහා බවත් ය. තව ද ආසනික්‌ පිළිබඳ හෙළිදරව්ව කළ පසු මෙරටේ විද්‍යාඥයන් යෑයි කියාගත් අය අපට පහර පිට පහර ගැසු අයුරු ද මම ඔහුට පැවසුවෙමි.

අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ (සහ කිවුල් ජලය) බව පවසන විට (2010 ජනවාරි) ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝග මිනිසුන්ට ඇති වන බවට දැනුමක්‌ බටහිර වෙදකමේ නො වී ය. අපට පහර ගැසූ බොහෝ දෙනා කළේ ආසනික්‌ නිසා වකුගඩු රෝග වැළඳෙනවා ද යන්න අන්තර්ජලයේ සොයාබලා එවැන්නක්‌ නොමැති නිසා අප බොරුවක්‌ කරන බව පැවසීමයි. එහෙත් දැන් අප ගේ හෙළි කිරීමෙන් වසර 2කට පමණ පසුව මේ ගැන සොයා බැලීම් කළ ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක්‌ පවසන්නේ ආසනික්‌ නිසා නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන බවට සාධක ලැබෙමින් පවතින බවයි. ඒ ගැන විස්‌තරයක්‌ වකුගඩු රෝග පිළිබඳ ඇමෙරිකානු ජර්නලයේ 2013 ජනවාරි කලාපයේ පළ වී ඇත.

මා කලින් සඳහන් කළ යුදෙව් ජාතික ඊශ්‍රායල් වෛද්‍ය විශේෂඥයා පැවසුයේ දෙවියන් ගෙන් දැනුම ලබා ගැනීමේ කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් අදටත් තම ජාතියට (යුදෙව්වන්ට) දෙවියන් හරහා පණිවිඩ ලැබෙන බවත් විද්‍යාත්මක පර්යේෂණ බොහොමයකට පාදක කරගන්නේ එම පණිවිඩ බවත් ය. එහෙත් ඔහුට ප්‍රශ්නයක්‌ විය. ඔහු පැවසුවේ දෙවියන් පණිවිඩ ලබා දෙන්නේ යුදෙව්වන්ට පමණක්‌ බවත්, තෝරාගත් ජාතිය තමන් පමණක්‌ බවත්, නුඹලාට (සිංහලයන්ට) ඒ ආකාරයෙන් පණිවිඩ ලැබිය නොහැකි බවත් ය. මා ඔහුට පැහැදිලි කළේ නුඹලා එක්‌ දෙවි කෙනකු ගැන විශ්වාස කළ ද අප බෞද්ධයන් ලෙස දෙවියන් බොහෝ දෙනකු ගැන දන්නා බවත් නුඹ ගේ දෙවියන් නුඹලාට පණිවිඩ ලබා දෙන ලෙස අප ගේ දෙවියන්ට එසේ කළ නොහැක්‌කේ මන්ද යන වගත් ය.

අවසානයේ ඔහු එසේ වීමට හැකි බව පිළිගත් අතර ආසනික්‌ පිළිබඳ අනාවරණය මෑත ඉතිහාසයේ යුදෙව්වන් නො වන පිරිසක්‌ සිදු කළ විශිෂ්ටතම අනාවරණයක්‌ ලෙස ඉතිහාසයට එක්‌ වනු ඇති බවට අනාවැකියක්‌ ද පළ කළේ ය. එතැනින් නො නැවතුණු ඔහු අද බටහිර වෛද්‍ය විද්‍යාව නමින් හඳුන්වන දැනුම් පද්ධතිය වර්ධනය වීම කෙරෙහි දෙවියන් ගේ දායකත්වය දීර්ඝ ලෙස පැහැදිලි කළේ ය. හෙතෙම මට පැවසුයේ ආසනික්‌ කතාවට අවමන් කරන අයට හිපොක්‍රටිස්‌ ගේ කතාන්දරය කියා දෙන ලෙසයි. ඒ අනුව හිපොක්‍රටීස්‌ පිළිබඳ කරුණු සොයා බැලීමක්‌ කළ අතර එහි දී දැනගත් තොරතුරු විදුසර පාඨකයන්ට ද වැදගත් වේ යෑයි හැඟුණු හෙයින් මෙසේ සටහන් කරමි.

"හිපොක්‍රටීස්‌ යනු ග්‍රීසියට දකුණින් පිහිටි කෝස්‌ නම් දූපතක උපත ලද අයෙකි. හෙතෙම ක්‍රි.පූ. 460-370 කාලයේ ජීවත් වූ ලෙස සැලකේ. එනම් අනුරාධපුරයේ පණ්‌ඩුකාභය රජතුමා රාජ්‍ය විචාළ කාලයට සමාන්තර කාලයකි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස ලොව පුරා හිපොක්‍රටීස්‌ සම්භාවනාවට පාත්‍ර වේ. දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස සැලකෙන හිපොක්‍රටීස්‌ අනාවරණය කළ තොරතුරු අදටත් බටහිර විද්‍යාවේ ඉගැන්වෙන අතර ඒවා වැඩිදියුණු කිරීම පසුගිය වසර 500ක කාලය තුළ භෞතවේදීන් ගේ ප්‍රධාන කාර්යභාරයක්‌ විය.

හිපොක්‍රටීස්‌ට මේ දැනුම ලබා දුන්නේ ඇස්‌ක්‌ලිපියස්‌ නම් ග්‍රීක දෙවි කෙනකු බව පැවසේ. ග්‍රීක පුරාවෘත අනුව ඇස්‌ක්‌ලිපියස්‌ යනු වෙදකමට අධිපති දෙවියා ය. ඇස්‌ක්‌ලිපියස්‌ ගේ කතාව ද රසවත් එකකි. ඇස්‌ක්‌ලිපියස්‌ යනු මුල දී කොරෝනිස්‌ නම් කාන්තාවක ගේ කුසට පැමිණි දරුවකු ය. එම දරුවා ඇපලෝ දෙවියන් ගේ ආශිර්වාදයෙන් කොරොනිස්‌ ගේ කුසට පැමිණි බවත්, පසුව ඇපලෝ දෙවියන් ගැන කොරෝනිස්‌ ගේ සිතේ විශ්වාසය නැති වූ හෙයින් දරු ප්‍රසූතියට පෙර දේව ශාපයෙන් ඇය මිය ගිය බවත් සඳහන් ය. කෙසේ වෙතත් තම ආශිර්වාදය ලත් දරුවා ගැන සෙනෙහසක්‌ ඇති වී කොරෝනිස්‌ ගේ කුස විවර කර දරුවා එළියට ගැනීමට ඇපලෝ දෙවිඳු කටයුතු සලස්‌වා ඇත. අද සීසේරියන් සැත්කම ලෙස හඳුන්වන ක්‍රමවේදය මනුෂ්‍ය ඉතිහාසයේ පළමුවරට සිදු කළේ ඇස්‌ක්‌ලිපියස්‌ බිහි කිරීමට ය.

ඇපලෝ දෙවියන් ඇස්‌ක්‌ලිපියස්‌ට වෙදකමේ දැනුම ලබා දුන් අතර ඒ හේතුවෙන් ඔහු ප්‍රසිද්ධ වෛද්‍යවරයකු බවට පත් විය. එකල ග්‍රීසියේ සර්ප දෂ්ඨ කිරීම යනු කිසි ලෙසකින් වත් සුව කළ නොහැකි දෙයක්‌ ලෙස සැලකිණි. එහෙත් ඇස්‌ක්‌ලිපියස්‌ සතු ව විෂ අවශෝෂණය කරගත හැකි සුවිශේෂී දණ්‌ඩක්‌ විය. මේ හේතුවෙන් ජීවත් ව සිටිය දී ම හෙතෙම දෙවියකු ලෙස සලකන්නට ග්‍රීක වැසියෝ පෙලඹුණ හ. ඇස්‌ක්‌ලිපියස්‌ ගේ දණ්‌ඩ බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරූ කිසිවකුට හෝ අමතක වන දෙයක්‌ නො වේ. අදටත් සර්පයකු එතුණු දණ්‌ඩ බටහිර විද්‍යාවේ සංකේතය ලෙස සලකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිට ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය දක්‌වා බටහිර වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ සැම ජාත්‍යන්තර හා දේශීය සංවිධානයක ම මේ සලකුණ දැකගත හැකි ය.

ඇස්‌ක්‌ලිපියස්‌ට පුතුන් සය දෙනකු සහ දූවරුන් තිදෙනකු සිටි අතර ඔවුන් ද වෙදකමට සම්බන්ධ විය. ඇය ගේ වැඩිමහල් දියණිය "හයිජියා" නම් විය. ඉංග්‍රීෂි භාෂාවේ සනීපාරක්‍ෂාව, පිරිසිදුකම හැ`ගවීමට යෙදෙන හයිජින් (Hygiene) යන වචනය ගොඩනැ`ගී ඇත්තේ ඒ අනුව යමිනි. ඇස්‌කිලිපියස්‌ ගේ අසාමාන්‍ය දක්‍ෂතා හා සුව කිරීමේ හැකියාව ගැන තවත් ලෞකික දෙවි කෙනකු වූ සියුස්‌ වෛරයෙන් පසු වූ බවත් සියුස්‌ ගේ ශාපයට ලක්‌ ව ඇස්‌ක්‌ලිපියස්‌ට අකුණු පහරක්‌ වැදී මිය ගිය බවත් සඳහන් ය.

මිය යැමෙන් පසු ඇස්‌කිලිපියස්‌ එම නමින් ම දෙවි කෙනකු වී උපත ලැබී ය. ඔහු ගේ ආශිර්වාදය ලබා ගැනීමට ග්‍රීකයෝ "ඇස්‌කිලිපියන්" නමින් හැඳින්වූ ඉතා උස්‌ වූ දේවස්‌ථාන ග්‍රීසිය පුරා ඉදි කළ හ. වෙදකම උගන්වන ආයතන බිහි වූයේ ද ඇස්‌කිලිපියන් දේවස්‌ථාන ඇසුරු කොටගෙන ය. හිපොක්‍රටීස්‌ අධ්‍යාපනය ලැබුවේ කෝස්‌ නම් දූපතේ පිහිටි ඇස්‌කිලිපියන් දේවස්‌ථානයක ය. හිපොක්‍රටීස්‌ට ඇස්‌කිලිපියන් දෙවියන් සතු වූ දැනුම ලබා දුන් බවත් සිය දරුවකුට මෙන් කරුණාවෙන් ම`ග පෙන්වූ බවත් සඳහන් වේ. මේ සම්බන්ධය සැ`ගවීමට හිපොක්‍රටීස්‌ කිසි විටක උත්සාහ නො දැරී ය. අදටත් ලොව පුරා බටහිර වෛද්‍යවරු සිය ධුරයේ රාජකාරිය ඇරඹීමට පෙර දිවුරුමක්‌ ලබා දෙති. සියලු වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම සීමාවාසික පුහුණුවේ යෙදෙන වෛද්‍යවරු ද මේ දිවුරුම ලබා දීම සිය සිහිනයක්‌ ලෙස සලකති. මේ දිවුරුම හැඳින්වෙන්නේ "හිපොක්‍රටීස්‌ දිවුරුම ලෙසයි. එය ආරම්භ වන්නේ මේ ලෙසයි

"I Swear by Apollo the Physcician and by Asclepius and by Hygieia and Panacea and by all the gods...."

එනම් ඇපලෝ, ඇස්‌ක්‌ලිපියස්‌ ඇතුළු දෙවිවරුන් ඉදිරිපිට දී පොරොන්දු වන බවයි.

ආයුර්වේදයට එම දැනුම ලැබුණේ බ්‍රහ්ම, දිව්‍ය, ආදි වූ මනුෂ්‍ය නො වන ජීව කොට්‌ඨාශවල අනුග්‍රහයෙන් බව ප්‍රකට කරුණකි. එහෙත් බටහිර ඇලෝපති වෙදකමේ පියා ලෙස සලකන හිපොක්‍රටීස්‌ට ද එම දැනුම ලැබී ඇත්තේ මනුෂ්‍ය නො වන පිරිසක ගේ උපකාරය ඇති ව බව අප බොහෝ දෙනා නො දැන සිටි කරුණකි. එපමණක්‌ නො ව බටහිර වෙදකමේ අද යොදාගැනෙන ඖෂධ, තාක්‍ෂණික ක්‍රමවේද සඳහා අවශ්‍ය මුල් ඉඟිය බොහෝ විට ලැබී ඇත්තේ මෙවැනි ප්‍රභවයකින් බව මට මුණගැසුණු ඊශ්‍රායල ජාතික වෛද්‍යවරයා උපහැරණ සහිතව පැහැදිලි කළේ ය. එපමණක්‌ නො ව මොසාට්‌ වැනි ප්‍රබල ඔත්තු සේවා මනුෂ්‍ය නො වන ජීව කොට්‌ඨාශ සමග ගනුදෙනු කළ හැකි, පණිවිඩ හුවමාරු කළ හැකි පුද්ගලයන් ගේ සේවා ලබා ගැනීමට විශේෂ ඒකක පිහිටුවා ඇති බව ද හෙතෙම හෙළි කළේ ය.

වෛද්‍ය චන්න ජයසුමන
jayasumanalk@yahoo.com

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය