මුල් පෙළේ විද්‍යා ජර්නල යළිත් අර්බුදයක



සයන්ස්‌, නේචර්, සෙල් වැනි ජර්නල සැලකෙන්නේ විද්‍යාවේ දේව මන්දිර ලෙසිනි. විද්‍යාවේ දෙවිවරුන් නැතත් විද්‍යාව ආගමක්‌ ලෙස සලකත හොත් එහි වන්දනාමාන කරන රන් දෙවොල් ලෙස මේ ජර්නල සැලකිය හැකි බව විද්වතුන් ගේ මතයයි. මේ ජර්නල විද්‍යාත්මක ප්‍රජාව තුළ කෙතරම් දුරකට සිය ආධිපත්‍යය පතුරුවා ඇත් ද කිව හොත් බොහෝ රටවල විශ්වවිද්‍යාල හෝ විද්‍යාත්මක ආයතන යම් අයකු විද්‍යාඥයකු ලෙස පිළිගන්නේ අවම වශයෙන් මේ ජර්නලවලින් එකක වත් නිබන්ධයක්‌ පළ කරවාගෙන ඇත්නම් පමණි. එනිසා ම විද්‍යාඥයන් ගේ බහුතරයක්‌ මෙවැනි ඉහළ පෙළේ ජර්නලයක නිබන්ධයක්‌ පළ කරවා ගැනීමට නො කරන දෙයක්‌ නැත. එම ජර්නලවල ඉහළ පුටුවල සිටින අයට විවිධ අන්දමේ අල්ලස්‌ දීමට පවා විද්‍යාඥයෝ පෙලඹෙති. ලොව වෙසෙන බොහෝ තරුණ විද්‍යාඥයන් ගෙන් තමන් ගේ ලොකු ම සිහිනය කුමක්‌ දැයි විමසුව හොත් ලැබෙන පිළිතුර වන්නේ මුල් පෙළේ ජර්නලයක නිබන්ධනයක්‌ පළ කරවාගැනීම යන්නයි.

කෙසේ වෙතත් නොබෙල් ත්‍යාගලාභී ජෛව විද්‍යාඥයකු වන ඇමෙරිකානු ජාතික

රැන්ඩි ෂෙක්‌මන් (Schekman) පවසන්නේ මේ මුල් පෙළේ විද්‍යා ජර්නල වර්ජනය කරන්නට ලොව පුරා විද්‍යාඥයන් පෙළගැසිය යුතු බවයි. මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි කරගත් රැන්ඩි ෂෙක්‌මන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ තමා මෙතෙක්‌ කලක්‌ මුල් පෙළේ ජර්නල වෙත නිබන්ධ යෑවූ මුත් මින් ඉදිරියට ඒවා වර්ජනය කරන බවයි.

"නේචර්, සෙල්, සයන්ස්‌ වැනි මුල් පෙළේ ජර්නල විද්‍යාව විනාශ කර දමනවා. මේ මුල් පෙළේ ජර්නලවලින් නියෝජනය වන්නේ යහපත් දැක්‌මක්‌ නො වෙයි. එම එකතුව හරියට කුරිරු දුර්දාන්ත රජුන් රැළක්‌ වගෙයි. මේ ක්‍රමය බිඳ දමන්න ඕනේ" යෑයි ඔහු වැඩිදුරටත් කීවේ ය. මේ මුල් පෙළේ ජර්නලවල සේවය කරන කතුවරුන් ක්‍රියාකාරී විද්‍යාඥයන් නො වන නිසා මේ ගැටලුව තවත් උග්‍ර වන බව ඔහු චෝදනා කරයි. සුවිශාල ඖෂධ සමාගම් පවා ඉහළ පෙළේ ජර්නල්වල කතුවරුන්ට අල්ලස්‌ දී තමන්ට පක්‌ෂපාතී නිබන්ධන පත්‍රිකා පළ කරගන්නා බව පසුගිය දා ද ගාඩියන් (The Guardian) පුවත්පත පෙන්වා දුන්නේ ය. මේ වෙනුවෙන් එම ජර්නල්වල කතුවරුන්ට සෘජු ව ම මුදල් ලබා දීම මෙන්ම දැන්වීම් ලබා දීම ද කෙරෙන බව ගාඩියන් පවසයි. පසුගිය දා ද ගාඩියන් පුවත්පත අනාවරණය කළ එක්‌ වැදගත් කරුණක්‌ වුයේ ලොව සුප්‍රකට ම ඖෂධ සමාගමක මෙවැනි අල්ලස්‌ සිද්ධින් හෙළි වීමෙන් පසු ඔවුනට දඩ ගෙවන්නට ද වූ ආකාරයයි. බොස්‌ටන් දිස්‌ත්‍රික්‌ උසාවිය මඟින් මේ ලෝ ප්‍රකට ඖෂධ සමාගමට ඩොලර් බිලියන 3ක දඩයක්‌ නියම කරන ලද්දේ අල්ලස්‌ දෙමින් ජර්නල්වල සාවද්‍ය පර්යේෂණ ප්‍රතිඵල (මහජනයා නොම`ග යවන) පළ කරවීම, වෛද්‍යවරුන්ට හා අලෙවි නියෝජිතයන්ට අල්ලස්‌ දෙමින් බාල ඖෂධ සඳහා රෝගීන් පෙලඹවීම, විද්‍යාඥයන්ට අල්ලස්‌ දෙමින් ඔවුන් තමන්ට හිතකර සාවද්‍ය පර්යේෂණ සඳහා යොමු කරවීම වැනි

වැරැදිවලට ය. ජර්නල්වලට මෙලෙස ඉහළ පෙළේ සමාගම්වලින් මෙන්ම විද්‍යාඥයන් ගෙන් ද අල්ලස්‌ ලැබේ. මේවා ලියා පළ කරවාගත් විට, සමහර විද්‍යාඥයන්ට විවිධ ආයතනවලින් අල්ලස්‌ ලැබේ. සමහර විද්‍යාඥයන්ට අල්ලස්‌ ලැබෙන්නේ සෘජු ව ම සමාගමකිනි. නැත්නම් ඒ සමාගමේ සම්බන්ධතා පවතින විද්‍යාත්මක ආයතනයකිනි. මෙලෙස ජර්නලයක්‌ හරහා අල්ලස්‌ ජාලයක්‌ ක්‍රියාත්මක වේ.

"මම මගේ නොබෙල් ත්‍යාගයට අදාළ නිබන්ධයත් පළ කළේ මේ වගේ මුල් පෙළේ ජර්නලයකයි. එත් ආයෙත් එහෙම කරන්නේ නැහැ"

රැන්ඩි කියයි.

රැන්ඩි විද්‍යාඥයකු මෙන්ම eLife නමැති අන්තර්ජාල ජර්නලයේ කතුවරයා ද වේ. එය මහා පරිමාණ පාඨක පිරිසක්‌ හෝ ප්‍රසිද්ධියක්‌ සහිත හෝ ජර්නලයක්‌ නො වන මුත් ජීව විද්‍යාවේ උන්නතිය පිණිස සැලකිය යුතු මෙහෙයක්‌ ඉටු කරන්නකි. මෙය ඉතා වැඩි පිරිසක්‌ අතරට ගමන් නො ගන්නා ජර්නලයක්‌ වුව ද පළ කරන දැ ස්‌වාධීන විද්වතුන් ලවා නැවත පරීක්‌ෂා කරවා ගැනීම (Peer review) මුල් පෙළේ ජර්නල්වලටත් වඩා හොඳින් සිදු කිරීමට රැන්ඩි කටයුතු කරයි. මේ ජර්නලය වෙත ලැබෙන සියලු නිබන්ධ විද්‍යාඥ මණ්‌ඩලයක්‌ වෙත යෑවේ. පළ කරන්නේ ඒ මණ්‌ඩලයේ සියල්ලන් ගේ ම අනුමැතිය ඊට ලැබුණ හොත් පමණි. තමා ගේ ජර්නලයේ ලිපි පළ කරවාගැනීමට කිසිදු නිල හෝ නොනිල මුදලක්‌ අය නො කරන බව රැන්ඩි කියයි. බොහෝ සුප්‍රකට ජර්නල් නිල ගාස්‌තු ද (විවිධ හේතු මත) පර්යේෂකයන් වෙතින් අය කරයි. එහෙත් රැන්ඩි ගේ ජර්නලය කිසිදු මුදලක්‌ අය නො කරයි. එපමණක්‌ නො ව එය කියවන්නට දී ඇත්තේ ද නොමිලයේ ම ය. එසේ වුව ද රැන්ඩි ගේ මේ ජර්නලයට තවමත් සිටින්නේ ඉතා අඩු පාඨකයන් හා ලේඛකයන් පිරිසකි.

සෙල්, නේචර් හා සයන්ස්‌ සතු ආටෝපය නිසා ඒ වෙත විද්‍යාත්මක ප්‍රජාව ආකර්ෂණය වී ඇති බව පෙනේ. දිගු කලක්‌ තිස්‌සේ ගොඩනැඟී ඇති කීර්තිය මෙන්ම කෘත්‍රිම ව ගොඩන`ගාගන්නා බලාධිපත්‍යය හේතු කොටගෙන ඒවා වටා විද්‍යාඥයන් රොක්‌ වන බව රැන්ඩි කියයි. මේ ජර්නල් ක්‍රියාත්මක වන්නේ විද්‍යාත්මක ආයතන ලෙස නො ව දැන්වීම්කරණ ආයතන හෝ මෝස්‌තර නිරූපණ ආයතන ලෙස බව ඔහු එල්ල කරන තවත් චෝදනාවකි. අත්බෑග් නිපදවන සමාගම් මෝස්‌තර නිරූපණ සමාගම් සමග එක්‌ ව ඇතැම් වර්ෂවල දී නවතම අත්බෑග් හඳුන්වා දීමේ ව්‍යාපෘති දියත් කරයි. මෙහි දී බෑග් එකක්‌ හඳුන්වා දෙන අතර එය හඳුන්වා දෙන්නේ සුරූපී නිළියක හරහා ය. විශේෂත්වය නම් මේ බෑග් ඉතා ම සීමිත ප්‍රමාණයක්‌ පමණක්‌ නිෂ්පාදනය වීම ය. එවිට එය හඳුන්වන්නේ Limited Edition යනුවෙනි. මේ නිසා ම සල්ලිකාර කාන්තාවෝ පොරකමින් ඒවා මිල දී ගනිති. මෙලෙස ම සෙල්, නේචර් හා සයන්ස්‌ වැනි ජර්නල තමන් බාර ගන්නා නිබන්ධ ප්‍රමාණය කෘත්‍රිම ලෙස සීමා කරන බවට රැන්ඩි චෝදනා කරයි.

මෙවැනි මුල් පෙළේ ජර්නල හැම විට ම ඉදිරිපත් කරන කරුණක්‌ වන්නේ තමන් ගේ ජර්නල Highly cited ඒවා බවයි. එනම් වෙනත් අධ්‍යයනවල දී පෙර කරන ලද අධ්‍යයනවලට අදාළ ලිඛිත විමර්ශන (Literary review) ලෙස ඒවා සඳහන් කෙරෙන බවයි.

යම් ජර්නලයක පළ වූ බවට සඳහන් වීමක්‌ වන්නේ පර්යේෂණ සඳහා පාවිච්චියට ගන්නා විට පමණක්‌ නො වේ. යම් පර්යේෂණයක දොසක්‌ දකිමින් සාමාන්‍ය පත්තරයක ලිපියක්‌ පළ වන විට දීත් ඒ ජර්නලය ගැන සඳහන් වෙයි.

"මේ Highly cited කියන එක මහ දෙයක්‌ නො වෙයි. යම් අධ්‍යයනයක්‌ ගැන වැඩියෙන් කතා වීමට එම අධ්‍යයනය ඉතා වැදගත් එකක්‌ වීම වගේ ම තනිකර ම බොරුවක්‌ වීම ද හේතු වන්න පුළුවන්." රැන්ඩි කියයි.

කෙසේ වෙතත් ද ගාඩියන් පුවත්පත හරහා රැන්ඩි එල්ල කළ හේ චෝදනාවලට පිළිතුරු බඳින නේචර් ජර්නලයේ ප්‍රධාන කර්තෘ පිලිප් කැම්බල් මෙසේ කියයි.

"නේචර් ජර්නලය විද්‍යාත්මක ප්‍රජාව හා කටයුතු කිරීම අරඹා දැන් වසර 140ක්‌ වනවා. අපි මේ අවුරුද්දේ සමීක්‌ෂණයක්‌ කළා. විද්‍යාඥයන් ජර්නලයක ලිපි පළ කරවා ගන්නට උනන්දු වන්නේ ඒ ජර්නලය සතු කුමන ලක්‌ෂණ සලකා බලමින් ද කියා. මේ සඳහා විද්‍යාඥයන් 20,000කට ආසන්න පිරිසක ගේ දත්ත රැස්‌ කළා. එහි දී හෙළි වුණේ ප්‍රධාන කරුණු 3ක්‌ ගැනයි. ඒවා නම් ජර්නලය සතු කීර්තිය, ජර්නලයේ අන්තර්ගතය හා ජර්නලයේ බලපෑම් කිරීමේ හැකියාව (ෂපච්ජඑ ෙaජඑදර) යන කරුණුයි. අපි සැලකිලිමත් වන්නේ ඒ කරුණු ගැන පමණයි. අනෙක්‌ චෝදනා අප ප්‍රතික්‌ෂේප කරනවා"

සයන්ස්‌ ජර්නලයේ ප්‍රධාන විධායක කතුවරිය වන මොනිකා බ්‍රැඩ්ෆර්ඩ් පවසන්නේ ඡැeර රුඩසැඅ ක්‍රමවේදයකින් ඉතා ම සුදුසු ලිපි පමණක්‌ තෝරා පළ කරන බවත් කෘත්‍රිම ව ප්‍රසිද්ධිය ලැබීමට කිසිවක්‌ නො කරන බවත් ය. මේ සම්බන්ධයෙන් සෙල් ප්‍රධාන කතුවරිය වන එමිලි මාක්‌ස්‌ කියන්නේ මෙවැන්නකි. "අවුරුදු 40කට පෙර සෙල් බිහි වූ දා සිට අද වන තුරු අපට හොඳ දැක්‌මක්‌ තිබෙනවා. අප ගේ උත්සාහය විද්‍යා ප්‍රජාවට හොඳ සේවයක්‌ ලබා දීමයි. අප අප ගේ පාඨකයන්ට ඒ සේවය නිසි ලෙස ලබා නො දුන්නා නම් මේ තරම් ප්‍රසාදයකට අප ලක්‌ වන්නේ නැහැ."

මනෝඡ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය