නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක යෙදෙන නලින් ද සිල්වා මහතා "පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට" (විදුසර- 01-01-2014)- යන මැයෙන් ලිපියක්‌ ලියමින් ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සංයුක්‌ත වියුක්‌ත දැනුම පිළිsබඳ ව පුරුදු පරිදි වැල්වටාරමක යෙදෙයි. එහෙත් නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් නො කරයි. ඔහු පවසන්නේ ඔහු කියන දෙය මට වැටහෙන්නේ නැති බවයි. මට වැටහෙන්නේ මා ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණක්‌ බව ඒ මහතා පවසයි. වාසනාවට අප බොහෝ දෙනකු සිටින්නේ ඒ ලෙස නිර්මාණය කරගත් ලෝකයක වීම සතුටට කාරණයකි. නැත හොත් මෙය පිස්‌සන් ගේ ලෝකයක්‌ වීමට ඉඩ ඇත.

ගැලීලියෝ පෘථිවියේ චලනය පිළිsබඳ තම අදහස්‌ ඔප්පු කිරීම පිණිස මුහුදේ ගමන් කරන නැවක්‌ තුළ කළ හැකි පරීක්‌ෂණයක්‌ ගැන විස්‌තරයක්‌ කර ඇත. එම අදහස්‌ පසු කලක අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය වර්ධනය කරගැනීමට උපකාර වූ බව සඳහන් වී ඇත. කෙසේ වුවත් අපට මෙතැන දී අදාළ වන්නේ ගැලීලියෝ බොරුවක්‌ කීවේ ඇයි ද යන්න නො ව එය බොරුවක්‌ බව ඔප්පු කරන්නේ කෙසේ ද යන්න ය. එය බොරුවක්‌ බව ඔප්පු කළ හැක්‌කේ විද්‍යාවට මිස දෙවියන්ට නො වේ. වෙන මොන ම ක්‍රමයකින් වත් එය කළ නොහැකි ය. විද්‍යාව බොරුවක්‌ නම් විද්‍යාවට එය කළ නොහැකි ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කළ හැක්‌කේ සත්‍යයට පමණි. විද්‍යාව විසින් ගැලීsලියෝ බොරුවක්‌ කී බව ඔප්පු කරන විට සිදු වන්නේ විද්‍යාව සත්‍ය බව තවත් තහවුරු වීම මිස විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු වීම නො වේ. ගැලීලියෝ ගේ මතය බොරු බව ඔප්පු කරන්නට විද්‍යාවට හැකි නම් ඉන් පෙනී යන්නේ විද්‍යාවේ ඇති සත්‍යතාව මිස එහි ව්‍යාජත්වය නො වේ. මා මුලින් ම නලින් ද සිල්වා මහතා ගෙන් ඉල්ලා සිටියේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීම පිණිස විද්‍යාව ම භාවිත කර නො ගන්නා ලෙස ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කිරීමට බොරුවක්‌ යොදාගත නොහැකි බව ඒ මහතා නො දන්නවාට පහ වසරේ සිසුන් පවා දන්නවා විය යුතු ය. කරුණු තේරුම් කොට නො ගෙන ඇත්තේ මා නො ව ඔහු ය. විද්‍යාව බොරුවක්‌ නම් විද්‍යාව භාවිත කොට ගැලීලියෝ බොරුවක්‌ කී බව ඔප්පු කළ නොහැකි බව නලින් ද සිල්වා මහතා තේරුම් කරගෙන නැත. එනමුත් මට නො තේරෙන බව කියමින් ඔහු කටමැත දොඩවයි. අදහස්‌වලින් බංකොලොත් වූ විට, විරුද්ධවාදියා නො දත් පුද්ගලයකු බව පවසා අප්‍රසන්නතාව ඇති කොට අනෙකා නිශ්ශබ්ද කරවීමට ඔහු තැත් කරයි. එහෙත් ඔහුට දැන් ඉතිරි ව ඇත්තේ ගැලීලියෝ පමණක්‌ නො ව නිව්ටන්, අයින්ස්‌ටයින්, බෝහොර් වැනි අග්‍ර ගණයේ විද්‍යාඥයන් ද පවසා ඇත්තේ බොරු බව ඔහු ගේ මිත්‍ර දෙවිවරුන් ගේ මාර්ගයෙන් ඔප්පු කර පෙන්වා දීම ය. ඊට පෙර ඔප්පු කරනවා යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි වටහාගත හොත් මැනවි. 

මීට අමතරව නලින් ද සිල්වා මහතා ඔහු ගේ වැල්වටාරම් ම`ගින්a විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විද්‍යාත්මක පර්යේෂණ සිදු වන අන්දම, ඒවා ඇගයීමට ලක්‌ කරන ආකාරය, පශ්චාත් උපාධි පිරිනැමෙන ක්‍රමය වැනි දේ ගැන අදහස්‌ දක්‌වා ඇත. මේවා අප ගේ මුල් ප්‍රශ්නයට එනම් විද්‍යාව බොරුවක්‌ ද යන්නට අදාළ නැත. එනමුත් ඔහුට එක්‌ දෙයක්‌ අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්‌ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක්‌ නිසා ද නැතිනම් මහාචාර්යවරයා ගේ සහජ දුර්වලතාවක්‌ නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක්‌ අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්‌සේරුවට ලක්‌ කරන්නේ මිදි ඇඹුල් බව පැවසූ උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක වී ඇත. 

ඔහු සමග එකඟ නො වන ඕනෑ ම පුද්ගලයකු බටහිර ගැත්තෙකු හෝ බටහිර සංස්‌කෘතියේ කි`දා බැසගත්තකු බවට හංවඩු ගැසීම නලින් ද සිල්වා මහතා ගේ සිරිත වී ඇත. මෙය කටමැත දෙඩවීමක්‌ මිස තර්කාන්විත කියමනක්‌ නො වේ. අප වැන්නන්ට ඔහු කියන දෙය නො තේරෙන්නේ අප ලැබූ බටහිර ආකෘතියට නිමවූ අධ්‍යාපනය නිසා බව ඔහු පවසයි. තව ද මේවා මට නො තේරෙන්නේ මා මහාවිහාරික සම්ප්‍රදායේ පතාක යෝධයකු නිසා බව ද සාක්‌ෂි නැති ව ඔහු ඉදිරිපත් කරයි. මට ඇසිය හැක්‌කේ මෙවැනි බහුබූත තේරෙන්නේ කාට ද යන්න ය. බටහිර සංස්‌කෘතියේ කි`දා බැසගත්තකු මහාවිහාරික සම්ප්‍රදායේ පතාක යෝධයකු වන්නේ කෙසේ දැයි මා නො අසන්නේ අපේ මුල් ප්‍රශ්නයෙන් පැන යන්නට ඔහු එය අවස්‌ථාවක්‌ කරගන්නා නිසා ය.

නලින් මහතාට අනුව නවීන විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ප්‍රත්‍යක්‌ෂය සිදු නො වන නිසා එය වියුක්‌ත පට්‌ටපල් බොරු ගොතන ක්‍රමයක්‌ මිස දැනුම ලබා දෙන්නක්‌ නො වේ. ප්‍රත්‍යක්‌ෂය යන්නෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පහදා දී නැත. කෙසේ නමුත් එම වචනයේ තේරුම කුමක්‌ දැයි සොයා බැලීම මේ ප්‍රශ්නයට අදාළ විය හැකි ය. එම වචනය සෑදී ඇත්තේ ප්‍රති (ඉදිරියේ - before) අක්‌ෂි (ඇස හෝ අන් ඉන්ද්‍රිsයයන්) යන වචන එකතු වීමෙනි. ඒ නයින් බලන විට පෙනී යන්නේ ප්‍රත්‍යක්‌ෂය යන වචනයේ අරුත වන්නේ ඇස්‌ ඉදිරිපිට පැහැදිලි ( obvious explicit) යන්න ය. එම නිසා විද්‍යාව තුළ ප්‍රත්‍යක්‌ෂය සිදු නො වන බව කිව නොහැකි ය. 

නලින් මහතා හැම අංශයක ම විශාරදයකු හෙයින් ඔහු භාෂා විශාරදයකු ද විය හැකි ය. එසේ නම් ප්‍රත්‍යක්‌ෂය යන වචනයෙන් ඔහු අදහස්‌ කරන්නේ වෙනත් දෙයක්‌ විය හැකි ය. එම අරුත කුමක්‌ දැයි පවසා එය භාෂාත්මකව හරි දැයි පහදා දීම ඒ මහතා ගේ වගකීම ය. තව ද ඔහු අදහස්‌ කරන තේරුම ඇති ප්‍රත්‍යක්‌ෂය ක්‍රියාකාරී වන්නේ ශරීරයේ කුමන ඉන්ද්‍රියක හෝ අවයවයක ද? වකුගඩු රෝගය, මී උණ වැනි රෝග පිළිබද ව නලින් මහතා ලබාගත් දැනුම ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ ද? එසේ නො වන්නේ නම් එය බොරුවක්‌ ද? 

බුදුරදුන් ජීවත් වූ කාලයේ දැනුම ලබාගැනීමේ ප්‍රධාන ක්‍රම තුනක්‌ වූයේ ය. (1) පැරැණි ග්‍රන්ථවලින් (2) තර්කය ම`ගින් (3) අත්දැකීම් නොහොත් ආනුභූතික මාර්ගය. තමන් භාවිත කළේ ආනුභූතික මාර්ගය බව උන්වහන්සේ වදාළ හ. (සංඝූරාව සුත්ත). උන්වහන්සේ මනුෂ්‍ය ශරීරයේ ඉන්ද්‍රියන් හයක්‌ හැ`දිනගත් සේක. මනස ඉන් එකක්‌ විය. මනස තුළ අදහස්‌ ජනිත වීම සහ අනෙකුත් ඉන්ද්‍රියයන් තුළ සංඥා ඡනිත වීම සමාන වැදගත්කමක්‌ ඉසිලී ය. ප්‍රඥාව ඇති කරගැනීම විශේෂ වූ ක්‍රිsයාදාමයක්‌ විය. ප්‍රත්‍යක්‌ෂය පිළිබඳව බුදුරදුන් විශේෂ වූ සඳහනක්‌ කළ බවට සූත්‍ර පිටකයේ ලියවී නැත. බුදුරදුන් භාෂා විශාරද වහන්සේ නමක්‌ වූ හ. ධර්මය පහදා දීම පිණිස උන්වහන්සේ අලුත් වචන නිර්මාණය කළ සේක. එනමුත් ප්‍රත්‍යක්‌ෂය යන වචනය විශේෂ අරුතකින් යුතු ව භාවිත කිරීමේ අවශ්‍යතාවක්‌ උන්වහන්සේට තිබුණේ නැත. උන්වහන්සේ නිවන අවබෝධ කරගැනීම පිළිබඳ ව දේශනා කරන අවස්‌ථාවල දී ද ප්‍රත්‍යක්‌ෂය යන වචනය භාවිත කොට නැත. 

නිව්ටන් ගේ බොරුවක්‌ වූ න්‍යාය යොදාගනිමින් හඳට යැම අරුමයක්‌ වන්නේ අප වැනි අයට බව නලින් මහතා පවසා ඇත. (දිවයින ඉරිදා සංග්‍රහය- 

05-01-2014). මිනිසා හඳට යැම අරුමයක්‌ වන්නේ විද්‍යාව කෙරෙහි විශ්වාසයක්‌ තබන අපට නො ව ව්ද්‍යාච බොරුවක්‌ යෑයි කියන අයට විය යුතු ය. පට්‌ටපල් බොරුවක්‌ භාවිත කොට හඳට යා හැකි බව කියන අය යෑවිය යුත්තේ හඳට නො ව පිස්‌සන් කොටුවට ය. 

මා පවසා සිටින්නේ නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බැරි නම් ඒ බව පිළිගෙන බොරු වළෙන් ගොඩ එන ලෙස ය. ගැලීලියෝ වැනි අග්‍ර ගණයේ විද්‍යාඥයන්, බටහිර වූ පලියට, නලින් මහතා වැනි අය ගේ ගර්වය, උඩ`ගුකම පිරවීම, පිනවීම සඳහා බොරු වළට ඇද දමන්ට ඉඩ දිය යුතු නැත.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc

නලින් ද සිල්වා මහතා ගේ ලිපිය නොවැළැක්‌විය හැකි හේතුවක්‌ මත මෙවර පළ නො වේ. එය ලබන සතියේ පළ කෙරෙන බව කරුණාවෙන් සැලකුව මැනවි.

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය