වාසනාව උරගා බැලීමට කපාගන්නා වල්ලපට්‌ටා ශාකවලින් සියයට 75ක ම ආර්ථික වටිනාකමක්‌ නැහැ



මෙරට පහතරට තෙත් කලාපීය වනාන්තරවල ඉතා සරුවට වැඩෙන ශාකයක්‌ වන වල්ලපට්‌ටා ශාක ගහනය වනසාලමින් (Gyrinops walla ) වර්තමානයේ යම් විනාශකාරී වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන බැව් නිතර නිතර ජනමාධ්‍ය මඟින් අනාවරණය කෙරේ.

මේ ශාකය වසර කීපයක්‌ වැඩීමේ දී ගහේ යම් කඩතොලු වීමක්‌ ඇති වුව හොත් ස්‌වාභාවිකව දිලීරයක්‌ හටගන්නා අතර එම දිලීරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් එහි සෛල වින්‍යාසයේ වයනය වෙනස්‌ වී යම් බලපෑමක්‌ සිදු වේ. එවැනි ශාකවලින් ලබාගන්නා නිස්‌සාරණයක්‌ හෙවත් රෙසිනය (Agarwood) සඳහා වෙළෙඳපළේ වැඩි ඉල්ලුමක්‌ පැවතීම හේතුවෙන් දකින දකින ස්‌ථානවල තිබෙන වල්ලපට්‌ටා ගස්‌ කැපීමට ඇතැම් පිරිස්‌ පුරුදු ව සිටිති.

සත්‍ය වශයෙන් ම වල්ලාපට්‌ටා ශාකයේ ආර්ථික වටිනාකමක්‌ තිබෙනුයේ දිලීරයේ බලපෑමට ලක්‌ වූ ශාකවල පමණක්‌ වන අතර සෙසු වල්ලපට්‌ටා ශාකවල එවැනි කිසිදු ක්‌ෂණික වටිනාකමක්‌ නැත. එහෙත් මිනිසුන් ගේ නොදැනුවත්කම හේතුවෙන් කපා දමන වල්ලපට්‌ටා ගස්‌වලින් සියයට 75ක ම එවැනි කිසිදු ආර්ථික වටිනාකමක්‌ නැති බව අවධාරණය කළ හැකි ය. එමඟින් තමන්ට කිසිදු ප්‍රතිඵලයක්‌ නැති වනවා මෙන්ම එමඟින් පරිසරයට වන හානිය ද බරපතළ ය.

මේ වල්ලාපට්‌ටා ශාකය රැකගැනීම සඳහා නව ප්‍රායෝගික වැඩපිළිවෙළක අවශ්‍යතාව මත පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ පැවැත්විණ. මේ අවස්‌ථාවේ දී වල්ලාපට්‌ටා ශාකයේ වටිනාකම පිළිබඳ වත්, ශාකයේ පිට පොත්තට යම් හානියක්‌ වූ විට එය ආරක්‌ෂා කරගැනීම සඳහා උත්පාදනය වන රෙසිනය පිළිබඳ වත්, විද්‍යාත්මක පර්යේෂණයක නිරත වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වන විද්‍යා හා පාරිසරික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය උපුල් සුභසිංහ මහතා තම පර්යේෂණයේ තොරතුරු ඉදිරිපත් කළේ ය.

මේ ශාකයේ ව්‍යාප්තිය සලකා බලන විට මෙරට පහතරට තෙත් කලාපයේ කළුතර, රත්නපුර, හා ගාල්ල දිස්‌ත්‍රික්‌කවල බහුලව දැකිය හැකි බවත්, ඊට අමතර ව තායිලන්තය, තායිවානය, ඉන්දුනීස්‌යාව, චීනය වැනි රටවල මේ ශාකයේ ඇතැම් ගස්‌වලින් නිකුත් කරන රෙසිනය භාවිතයෙන් සුවඳ විලවුන් නිෂ්පාදනය කරන බවත් ඔහු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ ශාක සැම එකක ම අදාළ රෙසිනය නොමැති නිසා ඒ පිළිබඳ දැනුමක්‌ නොමැති ව ශාක කපා දැමීමෙන් මෙරට පාරිසරික වශයෙන් වටිනා ශාකයක්‌ මුළුමනින් ම විනාශ වී යා හැකි බවයි.

මෙහි දී අදහස්‌ දක්‌වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියේ වල්ලාපට්‌ටා ශාකය වානිජ මට්‌ටමින් වගා කිරීමේ වැඩපිළිවෙළක්‌ යොජනා කරමින් හා ඒ පිළිබඳ ව සමස්‌ත වැඩසටහනක්‌ සකසා ව්‍යාපෘති යෝජනාවක්‌ ලෙසින් ඉදිරිපත් කළ හැකි නම් මේ ශාකය සංරක්‌ෂණය කරන අතර ම රටට ආදායමක්‌ උත්පාදනය කළ හැකි නව ව්‍යාපෘතියක්‌ කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සම්පූර්ණ සහය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලබා දිය හැකි බව යි.

ඊට සමගාමී ව මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් කාර්යාලය ඊට අනුයුක්‌තව සේවය කරන ප්‍රදේශීය නිලධාරීන් මගින් මේ ශාකය සංරක්‌ෂණය කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම අවධාරණය කළේ ය.

(මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ඒකකයේ දැනුවත්කිරීමකි)

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය