නැනෝ අංශුවල තවත් බලපෑම් හෙළි වේ



ලෝකයේ අධික අවධානයක්‌ යොමු වෙමින් පවත්නා නැනෝ අංශුවලින් ඇති විය හැකි පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධව අප මේ විමසුම ඔස්‌සේ මින් පෙර ද සාකච්ඡා කර තිබේ. (බලන්න ජගත් පරිසර විමසුම, විදුසර 2011 ජනවාරි 5 හා ජුනි 22). එහෙත් මේ හා සම්බන්ධව මෑත කාලයේ දී වාර්තා වූ ඇතැම් පර්යේෂණ වාර්තාවලින් හෙළිවන වැදගත් කරුණු කිහිපයක්‌ පිළිබඳව ද සටහනක්‌ තැබීම යෝග්‍ය බව සිතමු.

නැනෝ අංශු පෙනහලුවලින් අක්‌මාවට

ඩීසල් ඉන්ධනවල කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීම සඳහා යොදාගන්නා සීරියම් ඔක්‌සයිඩ් (CeO2) නම් රසායන ද්‍රව්‍යයේ නැනෝ පරිමාණයේ අංශු සතුන්ගේ පෙනහළුවලට එක්‌ වීමෙන් පසුව අක්‌මාවට ගමන් කළ හැකි බව මෑත දී ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.

මීයන් යොදාගනිමින් සිදුකරන ලද මේ අධ්‍යයනයේ දී අනාවරණය වී ඇති ආකාරයට නැනෝ අංශුවලට නිරාවරණය වූ සතුන්ගේ අක්‌මාවේ සීරියම් සාන්ද්‍රණය ඉහළ ගොස්‌ ඇත. මේ නිසා අක්‌මාවේ නිපදවනු ලබන එන්සයිම ආදියේ වෙනස්‌වීම් දැකිය හැකි වී තිබේ. ඒ අතර ඇලනයින් ට්‍රාන්ස්‌ඇමයිලේස්‌ මට්‌ටම ඉහළ යැම ඇල්බියුමින් මට්‌ටම අඩු වී, සෝඩියම්-පොටෑසියම් අනුපාතය අඩු වීම, ට්‍රයිග්ලිසරැල්ඩිහයිඩ් මට්‌ටම පහළ යෑම වැනි දේ නිරික්‌ෂණය කර තිබේ. එසේම අක්‌මාවේ බර අඩුවීමථ යාකෘතික ප්‍රමාණයෙන් විශාල වීම හා කණිකාමය ද්‍රව්‍ය සාන්ද්‍රණය වීම පිළිබඳ විවිධ වෙනස්‌කම් ද ඇති වී තිබේ. මේ අනුව පර්යේෂණයේ අවසන් නිගමනය වන්නේ සීරියම් ඔක්‌සයිඩ් නැනෝ අංශු ඉහළ යාම නිසා අක්‌මාවට හානි සිදුවන බව ය.

සීරියම් ඔක්‌සයිඩ් යනු විවිධ කාර්යය කිහිපයක්‌ සඳහා යොදාගන්නා ද්‍රව්‍යයකි. නිදසුනක්‌ ලෙස වීදුරු දර්පණ ඔප දැමීමට රූපවාහිනී තිර නිපදවීමට හා කාච නිපදවීමට මේ රසායන ද්‍රව්‍යය යොදාගැනේ. එහි නැනෝ පරිමාණ අංශු වාහන ඉන්ධන ආකලනයක්‌ ලෙස යොදා ගැනෙන්නේ එන්ර්න් කාර්යක්‌ෂමතාවය වර්ධනය කිරීම සඳහා හා අංශුමය ද්‍රව්‍ය විමෝචනය වීම අඩු කර ගැනීම සඳහා ය. මේ කරුණු දෙකම ඉන්ධන සඳහා මෙන්ම පාරිසරික වශයෙන් යම් වැදගත්කමකින් යුක්‌ත බව ද සැලකිය යුතු වේ. (මූලාශ්‍රය( International Journal
of Nanomedicine, DOI: 10.2147/IJN.S25119)

හරිත ඇල්ගාවලට නැනෝ අංශුවලින් බාධා

මිනිසුන් විසින් භාවිත කරන නැනෝ අංශුවල තවත් පාරිසරික බලපෑමක්‌ මෑත දී වාර්තා විය. ඒ අනුව කාබන් නැනෝටියුබ වර්ගයේ නැනෝ අංශු පරිසරයට එක්‌ වීම නිසා හරිත ඇල්ගීවලට විෂ සහිත බලපෑමක්‌ ඇති නොවූවත් ඉන් හරිත ඇල්ගා වර්ධනය සඳහා වන අවකාශය හා ආලෝකය පිළිබඳ ගැටලූ ඇති වේ.

ජලාශ හා ජල මාර්ගවලට එක්‌වන කාබන් නැනෝටියුබ මගින් මෙවැනි තත්ත්වයක්‌ ඇති විය හැකිය. ඇල්ගී විශේෂ දෙකක්‌ යොදාගනිමින් රසායනාගාර පරීක්‌ෂණ මගින් සිදුකරන ලද මේ අධ්‍යයනයේ දී උක්‌ත නැනෝ අංශු මගින් හරිත ඇල්ගාවල ප්‍රභාසංස්‌ලේෂණ වේගයේ අඩුවීමක්‌ සිදු නොකරන නමුත් වර්ධන වේගය අඩු කළ බව පෙනී ගොස්‌ ඇත. ඊට හේතු සෙවීමේ දී හෙළි වී ඇත්තේ කාබන් නැනෝටියුබ අධික වීම නිසා හරිත ඇල්ගී හා කාබන් නැනෝටියුබ එකිනෙකට ලංව ගොමු සෑදීම හා සෙවණ සහිත ස්‌වභාවය නිසා ආලෝකය ලැබීම අඩු වීම මීට හේතු වන බව ය. මේ අනුව කාබන් නැනෝ ටියුබ සාන්ද්‍රණය ලීටරයකට මිලි ග්‍රෑම් එකක්‌ පමණ දක්‌වා වැඩි වුවහොත් නිසා ඇල්ගී එකිනෙකට ලංව ඇසිරී පිහිටීම (පිණ්‌ඩනය වීම) හා සෙවන වීම නිසා හරිත ඇල්ගීවලට ලැබෙන ආලෝකය අඩු වීමක්‌ සිදුවන බව නිගමනය කර තිබේ. වාසනාවකට මෙන් මෙවැනි සාන්ද්‍රණයක්‌ තවමත් පරිසරයේ දැකීම අසීරු ය.

ඉතා කුඩා හා ඉතා සැහැල්ලූ මේ නැනෝ අංශුවල ඇති විවිධ ප්‍රයෝජනවත් ලක්‌ෂණ නිසා ඒවා විවිධ කාර්ය සඳහා පුළුල්ව යොදා ගනු ලැබේ. ඉහළ ආතන්‍යභාවය, ඉතා දැඩි බව හා අධික සන්නායකතාවය මෙවැනි ලක්‌ෂණ අතර වේ. අධික ලෙස භාවිතයට ගැනීමත් සමඟ පරිසරයට එක්‌ වන කාබන් නැනෝටියුබ වර්ගයේ අංශු ප්‍රමාණය ද ඉහළ යයි. (මූලාශ්‍රය( Environmental Science & Technology, DOI:
10.1021/es200506b)

මේ කරුණු පිළිබඳව විමසා බැලීමේ දී අපට පෙනෙන්නේ නැනෝ හෙවත් නිනිති තාක්‌ෂණය භාවිත කිරීම බොහෝ සැලකිල්ලෙන් කළ යුතු බවයි. ප්‍රායෝගික වශයෙන් එහි ඇති වැදගත්කම නිසා නැනෝ තාක්‌ෂණය භාවිතයට ගත යුතු වේ. එහෙත් ඉන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව අවධානයෙන් පසුවීම හා තවදුරටත් පර්යේෂණ පැවැත්වීම ද ඉතා වැදගත් වේ.

ඩර්බන් දේශගුණ සමුළුවේ සිදු වන්නේ කුමක්‌ද?

මේ වන විට දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි දී වාර්ෂික ජගත් දේශගුණ සමුළුව පැවැත්වෙමින් තිබේ. මේ සටහන තබන මොහොත වන විටත් ලැබෙන පුවත්වලට අනුව මේ දක්‌වා තීරණාත්මක අංශවල සිදු වූ සැලකිය යුතු ප්‍රගතියක්‌ දැකිය නොහැකි තරම් බව පෙනේ.

මෙහි දී ඇති වූ වැදගත් වර්ධනයක්‌ වන්නේ දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධව නෛතික වගකීමක්‌ ඇති ගිවිසුමක්‌ කඩිනමින් ඇති කර ගත යුතු බවට රටවල් රැසක්‌ විසින් ඉල්ලා සිටීම ය. දුප්පත් රටවල් හා කුඩා දූපත් රාජ්‍ය විසිකන් ඉල්ලා සිටියේ වසරක්‌ තුළ ගිවිසුමක්‌ ඇති කර ගත යුතු බව ය. එය සියලූ රටවල් ආවරණය වන එකක්‌ විය යුතු බව ලෝකයේ දුප්පත්ම රටවල් විසින් පෙන්වා දී ඇති බව පෙනේ. මේ රටවල් දේශගුණ වෙනස්‌වීමේ අහිතකර ප්‍රතිවිපාක ලබන රටවල් වීම මීට හේතුව වේ. ඒ සඳහා හේතුව ලෙස ඔවුන් දක්‌වා සිටියේ ප්‍රමාද කිරීමට තරම් කාලයක්‌ නොමැති වීම ය. කෙසේ වෙතත් ඔවුන්ගේ මේ මතය ඇතැම් දියුණුවෙමින් පවත්නා රටවල් එකඟ නොවීමට අවස්‌ථාවක්‌ තිබේ. විශේෂයෙන් වේගවත් කාර්මීකරණයක්‌ ඇති රටවල් වන ඉන්දියාව, චීනය හා බ්‍රසීලය වැනි රටවල් මීට එකඟ නොමැති රටවල් සේ සැලකේ. එහෙත් ඉන්දියාව මේ පිළිබඳව එතරම් දැඩි විරෝධයක්‌ දක්‌වා නොමැති බවක්‌ වාර්තා විය. චීනයෙන් ලැබෙන ආරංචි මාර්ගය පෙන්වා දෙන්නේ 2020 වර්ෂයෙන් පදුව එ රට විමෝචන අඩු කිරීමක්‌ සිදු විය හැකි බව ය. එහෙත් එය තීරණය වන්නේ එරට සංවර්ධනය මත බවක්‌ පෙනෙන්නට තිබේ. මේ අතර යුරෝපා සංගමයේ රටවල් පළමු දිනයේ දී ප්‍රකාශ කර තිබුණේ කිසියම් ගිsවිසුමක්‌ 2015 වර්ෂයේ දී සකස්‌ කළ යුතු බවත්a 2020 වන විට එය ක්‍රියාත්මක වී තිබිය යුතු බවත් ය.

අනෙක්‌ වැදගත් කරුණ වන්නේ කියෝටෝ සන්ධානයේ දෙවැනි අදියරක්‌ පිළිබඳව වන සංවාදයයි. කැනඩාව වැනි ඇතැම් රටවල් සමුළුවේ දී මේ සඳහා තමන්ගේ ඇති අකමැත්ත විවෘතව පළ කර ඇත. ජපානය පවසා තිබුණේ කියෝටෝ සන්ධානය අලූත් කිêම පමණක්‌ ප්‍රමාණවත් නොවන බව ය. ඔවුන්ගේ අදහස අනුව මේ සඳහා සියලූ ප්‍රධාන පෙළේ විමෝචකයන්ගේ දායකත්වය ලබා ගත යුතු වේ. කෙසේ වෙතත් එක්‌සත් ජාතීන්ගේ දේශගුණ බලධාරීන්ගේ අදහස වන්නේ දියුණු රටවල් දෙවැනි අදියරක්‌ සඳහා තම විමෝචන සීමා කිරීමේ ඉලක්‌ක පිළිබඳව යම් අදහසක්‌ පළකරනු ඇති බව ය.

මේ අතර ජගත් මට්‌ටමේ ජනමාධ්‍යවල ඩර්බන් සමුළුව පිළිබඳව ඇති උනන්දුව අඩු වීම කැපීපෙනෙන කරුණක්‌ වී තිබේ. ඊට සහභාගි වන මාධ්‍යවේදීන් ප්‍රමාණය ද අඩු ව ඇති බවක්‌ වාර්තා විය. මෙයින් පෙනෙන්නේ ලෝකයේ මේ පිළිබඳ අවධානයේ අඩුවීමක්‌ ද නැතහොත් මේ මාධ්‍ය සියල්ලම පාහේ දියුණු රටවල් පදනම් කරගත් මාධ්‍ය නිසා සිදුවූවක්‌ ද යන්න මඳක්‌ විමසා බැලිය යුතු කරුණක්‌ වේ.

පුවත් සැකෙවින්

ඇට්‍රාසීන් මගින් ඇති වන ගැටලූ

ලෝකයේ රටවල් රැසක විශාල වශයෙන් භාවිත වන කෘෂි රසායනික ද්‍රව්‍යයක්‌ වන ඇට්‍රාසීන් (Atrazine) නම් රසායනික ද්‍රව්‍යය නිසා සතුන්ගේ ප්‍රජනන පද්ධතිය ආශිත ගැටලූ ඇති විය හැකි බව සමාලෝචනයක්‌ මගින් හෙළි වී තිබේ.

මෙහි දී හෙළි වී ඇති පරිé මත්ස්‍යයන්, උභය ජීවීන්, උරගයන් හා ක්‌ෂීරපායින් යන සත්ත්ව කාණ්‌ඩවල එක හා සමාන ආකාරයේ ප්‍රජනන ගැටලූ ඇති වී තිබේ. මෙවැනි එක්‌ බලපෑමක්‌ වන්නේ පිරිමි සතුන් තුළ ගැහැනු ලක්‌ෂණ මතු වීම ය. අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කරන ඇට්‍රාසීන් මගින් වැඩෙන පිරිමි සතුන්ගේ ප්‍රජනන පටකවලට බලපෑම් සිදුකිරීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇති වේ. මේ වාර්තාව ලෝකයේ කලාප රැසක මේ රසායනික ද්‍රව්‍යය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයන සමාලෝචනය කරමින් මේ වාර්තාව සකස්‌ කර තිබේ. (මූලාශ්‍රය( The Journal of Steroid Biochemistry and Molecular Biology, DOI: 10.1016/j.jsbmb.2011.03.015)

වනාන්තර කැබැලි වුවත් පාරිසරික වශයෙන් වැදගත්

වනාන්තර කැබලිකරණය වීම හෙවත් කුඩා කොටස්‌වලට වෙන්ව හුදෙකලා වීම ඒවායේ ජෛව විවිධත්වයට තර්ජනයකි. මෙය වර්ෂා වනාන්තර සම්බන්ධව බරපතළ තත්ත්වයක්‌ වන්නේ අධික ජනගහනයක්‌ සහිත මේ රටවල වනාන්තර දැඩි සේ තර්ජනයට ලක්‌ව ඇති නිසා ය. එහෙත් වනාන්තර කැබලිකරණය වූ පමණින් ඒවායේ පාරිසරික ක්‍රියාකාරිත්වය අඩු නොවන බව පසුගියදා ප්‍රකාශයට පත් අධ්‍යයන වාර්තාවක්‌ අනුව පෙනේ.

කෙන්යාවේ වසර ගණනාවක්‌ තිස්‌සේ සිදුකරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයක්‌ ලෙස මේ වාර්තාව පළ වී තිබේ. ඒ අනුව සතුන්ගේ සම්බන්ධයක්‌ ඇතිව සිදුවන බොහෝ පාරිසරික ක්‍රියාකාරිත්ව කැබලිකරණය වූ වනාන්තරවල වෙනස්‌කම් සහිතව වුවත් අඛණ්‌ඩව සිදුවන බව පෙනී ගොස්‌ තිබේ. වියෝජනය, පරාගණය හා බීජ ව්‍යාප්තිය වැනි ක්‍රියාවලී ස්‌ථාවර තත්ත්වයක පැවතී තිබේ. මේ අනුව මිනිසුන්ගේ බලපෑම් සීමා සහිත වන්නේ නම් කැබලිකරණය වූ වනාන්තරයක පාරිසරික ක්‍රියාකාරිත්වය ඉන් අඩු නොවන බව පෙනේ. එහෙත් මේ තත්ත්වය දිගු කාලීන වශයෙන් විමසා බැලිය යුතු ව ඇත. මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ ඇතැම් විට අමතක කර ඇති කුඩා ප්‍රමාණයේ හුදෙකලා වූ වනාන්තර සංරක්‌ෂණය කිරීමේ ඇති වැදගත්කමයි. (මූලාශ්‍රය( PLoS ONE, DOI: 10.1371/journal.pone.0027785)

බේයර් සමාගම ජාන විකරණය නොකළ තිරිඟු ප්‍රභේදයක්‌ සොයයි

ඉදිරි වසර දහයක කාලය තුළ ජාන ඉංජිනේරු තාක්‌ෂණය යොදා නොගනිමින් උෂ්ණත්වයට හා නියඟයට ඔරොත්තු දෙන තිරිඟු ප්‍රභේද නිපදවීමට සැලසුම් කරන බව ජර්මනියේ ප්‍රධාන පෙළේ කෘෂි සමාගමක්‌ වන බේයර් සමාගම පවසා තිබේ. ලැබෙන වාර්තාවලට අනුව ඒ සඳහා සාමාන්‍ය අභිජනන ක්‍රම යොදා ගන්නා බව පෙනෙන්නට තිබේ.

මේ සඳහා එක්‌ හේතුවක්‌ වන්නේ යුරෝපා රටවල් අතර ජාන වෙනස්‌ කළ ආහාර වර්ගවලට ඇති විරෝධය බව පෙනේ. මේ නිසා රටවල් ගණනාවක්‌ ජාන විකරණය කරන ලද භෝග වර්ග වගා කිරීම තහනම් හෝ සීමා කර හෝ තිබේ. කෙසේ වෙතත් මින් අදහස්‌ වන්නේ අදාළ සමාගම උක්‌ත තාක්‌ෂණයෙන් ඈත්වන බව නොවේ. ඉහත කරුණු අනාවරණය කරමින් ඔවුන් පවසන්නේ යුරෝපා රටවල් ජාන ඉංජිනේරු තාක්‌ෂණයෙන් නිපද වූ ආහාර පිළිබඳ ඇති බිය අත්හළ යුතු බව ය.


ධනේෂ් විසුම්පෙරුම

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු