නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී පඹගාලක ද පැටලී ඇත



නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පැවසීමෙන් නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී ඇත. එය ඔප්පු කර ගත නොහැකි ව වළෙන් ගොඩ ඒමට දඟලන ඔහු වකුගඩු රෝග, මී උණ වැනි නො දන්නා දේවල් ගැන දෙවියන් ද ඈඳගෙන නන් දොඩවා බොරු වළ තුළ වූ පඹගාලක ද පැටලී ඇත. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන මෙන් මා කළ ඉල්ලීමට පිළිතුරු සපයන ඔහු බටහිර විද්‍යාවේ උපන් ගෙයි දෝෂය නමින් ලිපියක්‌ ලියා ඇත. (විදුසර - 18. 12. 2013). එහෙත් ඔහු නවීන විද්‍යාව බොරුවක්‌ යෑයි ඔප්පු කොට නැත. ඔහු පවසන්නේ නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව ය. එහෙත් එය එසේ වන්නේ කෙසේ දැයි පහදා දී නැත. මේ ලෙස කටමැත දෙඩීමෙන් සිදු වන්නේ ඔහු පඹ ගාලේ තවත් පැටලී වැටී ඇති බොරු වළෙන් ගොඩ ඒමට බැරි වීම ය.

බටහිර චින්තනයේ හෝ සංස්‌කෘතියේ බලපෑම් හේතු කොටගෙන නවීන විද්‍යාව භාවිත කරගන්නේ කුමක්‌ සඳහා දැයි තීරණය විය හැකි ය. නවීන විද්‍යාව මිනිසා ගේ සැපතට ද විපතට ද භාවිත කළ හැකි ය. එය එසේ වන්නේ විද්‍යාවේ ඇති වරදක්‌ නිසා නො වන බව නලින් ද සිල්වා මහතා තේරුම්ගෙන නැත. මුළු ලොව ම ග්‍රහණයට ගැනීම සඳහා බටහිර රටවල් විද්‍යාව භාවිත කරන බව නොරහසකි. එහෙත් එය සිදු වන්නේ විද්‍යාවේ වරදක්‌ නිසා නො වේ. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව නලින් ද සිල්වා මහතා ඔප්පු කොට පෙන්විය යුතු ය.

ඔප්පු කිරීම යන්නෙන් මා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි ඔහු අසයි. මෙය ප්‍රශ්නයෙන් ගැලවී යැමට දරන ප්‍රයත්නයක්‌ බව පැහැදිලි ය. ඔහු කළ යුතු ව ඇත්තේ ඔහු දන්නා ක්‍රමයක්‌ භාවිත කොට විද්‍යාව බොරුවක්‌ බව පැහැදිලි කිරීම ය. විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ඇති අවිනිශ්චිතභාවය (inconsistency) විවේචනයට ලක්‌ කිරීම කළ හැකි, කළ යුතු දෙයකි. එනමුත් විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීම කට මැත දෙඩවීමක්‌ පමණි.

විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ඇති අවිනිශ්චිතභාවය අවම කළ හැකි බවට උදාහරණ රාශියකි. අහස්‌ යානාව ඉන් එකකි. හඳ ගැන ලබාගෙන ඇති දැනුම උපයෝගී කර ගනිමින් අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය භාවිත කොට හඳට පා තැබීම විද්‍යාව බොරුවක්‌ නම් කළ නොහැකි දෙයකි. තම ජීවිත පරදුවට තබා ගගනගාමීන් හඳට යන යානාවට ඇතුළු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය ගැන ඇති විශ්වාසය නිසා ය. බොරුවක්‌ යෑයි කියන නිව්ටන් ගේ න්‍යාය ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය විසින් අද දවසේ පවා දිනකට දහස්‌ වාරයකට වඩා ඔවුන් ගේ පර්යේෂණ සඳහා භාවිත කරනු ලබන බව සඳහන් වී ඇත. අන් රටවල ද එය එසේ ම සිදු වේ.

ඔප්පු කිරීම යන්නෙන් නලින් ද සිල්වා මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි රජරට වකුගඩු රෝගය පිළිබඳව ඔහු ගොතා ඇති ප්‍රලාපය මඟින් පැහැදිලි වේ. ඔප්පු කිරීම යන්නෙන් මුළු ලොව ම අදහස්‌ කරන්නේ පිළිගත හැකි සාක්‌ෂි ඉදිරිපත් වීමයි. එහෙත් නලින් ද සිල්වා මහතා ගේ ප්‍රලාපය ඔප්පු කිරීම සඳහා පිළිගත හැකි සාක්‌ෂි ඉදිරිපත් වී නැත. සාක්‌ෂි නොමැති ව එය ඔප්පු කරන ක්‍රමයක්‌ ලෙස ඔහු පවසා සිටින්නේ ඔහුට දෙවි කෙනකු ගෙන් සාක්‌ෂි ලැබුණු බව ය. මෙය සිනහවට කාරණයක්‌ නො වන්නේ විපතට කාරණයක්‌ වන හෙයිනි. මෙය පිළිගන්නා කෙනකු නොමැති වීම ගැන අප සතුටු විය යුතු ය. මෙවැනි මිථ්‍යා මත නිසා මේ රටට සිදු වන විනාශය නැවතිය යුතු ය. රජරට ජීවත් වන මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමට ගත් තීරණය පිළිබඳව ලැබිය යුතු ප්‍රශංසාව තම බැරට දමාගැනීමට නලින් ද සිල්වා මහතා තැත් කරයි. ගිලෙන මිනිසා පිදුරු ගහේ වුවත් එල්ලෙන බවට කතාවක්‌ ඇත.

විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නො වන බව ඔප්පු කරන මෙන් නලින් ද සිල්වා මහතා මට අභියෝග කරයි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බැරි වූ විට වෙන කුමක්‌ කරන්න ද? විද්‍යාව බොරුවක්‌ යෑයි පුqන පුනා පවසන්නේ ඔහු ය. එය ඔප්පු කොට පෙන්වන්නට පුළුවන් යෑයි හඬන`ගා කියන්නේ ඔහු ය. දිවයින පුවත්පතේ ද, The Island පුවත්පතේ ද නොයෙකුත් රූපවාහිනි වැඩසටහන් මඟින් ද ඔහු කිසි ම බයක්‌ නැති ව මේ බව පවසයි. එහෙත් අද වන තෙක්‌ ඔහු එය සිදු කොට නැත. නවීන විද්‍යාව බොරුවක්‌ වශයෙන් ඔප්පු වුව හොත් එය අලුත් දැනුමක්‌ වන්නේ ය. නැත හොත් එය කට මැත දෙඩවීමක්‌ පමණක්‌ වන්නේ ය.

දැනුම යන්න කුමක්‌ දැයි එමානුවෙල් කාන්ට්‌ නමැති දාර්ශනිකයා අර්ථ දක්‌වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක්‌ (belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක්‌ යෑයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසය සමග එකඟ වන සිද්ධාන්ත කිසිවක්‌ ඔහු ඉදිරිපත් කොට නැත.

මීට අවුරුදු 2600කට පමණ පෙර ජීවත් වූ බුදුරදුන් දැනුම ලබාගන්නට උපයෝගී කරගත් ක්‍රමය භාවිත කොට ද නලින් ද සිල්වා මහතා සිදු කරන අවිද්‍යාත්මක

වැරැද්ද පෙන්වා දිය හැකි ය. බුදුරදුන් ගේ කාලයේ ද ඥන විභාගය පිළිබඳව ඉතා ම උද්‍යෝගිමත් විවාදයක්‌ පැවතුණු බව අපි දනිමු. මුල් උපනිෂද් ග්‍රන්ථවල දැනුම ලබාගැනීමේ ක්‍රම කීපයක්‌ සඳහන් වී ඇත. බුදුරදුන් ගේ සමකාලීන දාර්ශනිකයෝ සහ ආගමික කර්තෘවරු වෙනත් අදහස්‌ දැරුවෝ ය. අෙඥ්‍යවාදියකු වූ (sceptic) සංජය බෙල්ලට්‌ඨ§පුත්ත පැවසුවේ කිසි ම දැනුමක්‌ ලබාගත නොහැකි බව ය. භෞතිකවාදියකු වූ අත කේශකම්බල ගේ අදහස වූයේ ඔප්පු කළ හැකි දැනුම ලබාගත හැක්‌කේ අත්දැකීම් නැත හොත් ආනුභූතික ක්‍රම (empiricism)වලින් බව ය. දැනුම ලබාගැනීමට හැකි වූ ගුප්ත බලයක්‌ තමාට ඇති බව ආර්වක ගුරුතුමා වූ මක්‌ඛලී ඝෝසාල පැවසුවේ ය. දෙවියන් ගෙන් ලැබුණු බලයක්‌ පිළිබඳව ද සමහරු කටමැත දෙඩූ හ.

දැනුම ලබාගැනීමේ ක්‍රම තුනක්‌ මෙකල පැවතුණු බව බුදුහු හැඳිනගත් හ. ඒවා නම් 1) ආධිපත්‍යයට (authority) අනුකූලව පැරැණි ග්‍රන්ථ (scripture) මඟින් ලබාගන්නා දැනුම, 2) තර්කය (reason) මඟින් ලබාගන්නා දැනුම, 3) අත්දැකීම් නොහොත් ආනුභූතිකය මත පදනම් ව දැනුම ලබාගැනීම විය. බුදුරදුන් පැවසුවේ තමා භාවිත කරන්නේ තුන්වැනි එනම් ආනුභූතික (empiricism) ක්‍රමය බව ය. පැරැණි ග්‍රන්ථ සහ තර්කය භාවිත කොට දැනුම ලබාගැනීමේ අවදානම කාලාම සූත්‍රයේ සහ ලිච්ඡවී රජ දරුවන්ට කළ දේශනාවල සඳහන් වී ඇත. තමා ගේ ධර්මය වුව ද හොඳින් නිරීක්‌ෂණය කොට පිළිගත යුතු බව උන්වහන්සේ වදාළ හ.

බුදුරදුන් නිර්වාණය පිළිබඳ දැනුම ලබා ගත්තේ දෙවි කෙනකු ගෙන් හෝ ගුප්ත බලයකින් හෝ නො වන බව උන්වහන්සේ පැවසූ හ. (අංගුත්තර නිකාය). සංයුක්‌ත නිකායේ එන සබ්බම් (everything) නමැති සූත්‍රයේ බුදුරදුන් පවසන්නේ ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගන්නා දැනුම මිස වෙනත් දැනුමක්‌ නැති බව ය. තව ද නිඝණ්‌ඨනාථපුත්ත, මක්‌ඛලී ඝෝසාල වැනි සමකාලීන ආගමික කර්තෘන් මෙන් උන්වහන්සේ තමන් සියල්ල දන්නා (omniscient) බව නො පිළිගත් හ.

(කෙවිඡ්ජ වච්ච ගොත්ත සූත්ත). එසේ ම බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වන අන්දමට බුදුරදුන් මිථ්‍යා මත බැහැර කොට ඇත.

මේ නයින් බලන විට පැහැදිලි වන්නේ බුදුරදුන් ගේ ධර්මයට අනුව අත්දැකීම් මාර්ගයෙන් ලබාගන්නා ආනුභූතික දැනුම (empirical knowledge) හැරෙන්නට වෙනත් අදහස්‌ මතවාද දැනුම ලෙස පිළිsගත නොහැකි බව ය. එම නිසා විද්‍යාව, වකුගඩු රෝගය, මී උණ වැනි දේවල් පිළිබඳව නලින් ද සිල්වා මහතා දරන අදහස්‌ බුදුරදුන් ගේ ධර්මයට අනුව ද පිළිගත නොහැකි ය.

විදුසර සඟරාවේ 11.12.2013 වැනි දින පළ වූ මා ගේ ලිපියෙහි එක්‌තරා කොටසක්‌ කර්තෘ මණ්‌ඩලයෙහි දී සිදු ව ඇති සංස්‌කරණ දෝෂයක්‌ නිසා වැරැදි ආකාරයකින් පළ වී ඇත. එය නිවැරැදි කරන්නට අවශ්‍ය වී ඇත්තේ නලින් ද සිල්වා මහතා එහි එල්බගෙන පුරුදු පරිදි වැල්වටාරම්වල යෙදෙන හෙයිනි. මී උණ නමැති රෝගය පිළිබඳ සාකච්ජාවේ දී - කෘෂි රසායනික භාවිතයට පෙර මීයන් මුත්‍රා කළේ නැද්ද යන ප්‍රශ්නය මා විසින් අසන ලදැයි යන්න එකී සංස්‌කරණ දොaෂය වේ. මා ගේ ලිපියේ මා පැවසුවේ මී උණ පිළිබඳව පවතින වෛද්‍ය විද්‍යාත්මක මතය බොරු කිරීම පිණිස නලින් ද සිල්වා මහතා එම ප්‍රශ්නය ඇසූ බව ය. තව ද එය විහිළුවක්‌ නො වන්නේ මී උණ රෝගය වැළඳුණු රෝගීන් ඔහු ගේ බොරු විශ්වාස කොට ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කොට ජීවිතය නැති කර ගැනීමට ඉඩ ඇති බැවින් යෑයි ද මම පැවසුවෙමි.

බටහිර වෛද්‍ය විද්‍යාවද බොරුවක්‌ බව නලින් ද සිල්වා මහතා පවසා ඇත. ඔහුට අනුව බටහිර වෛද්‍ය විද්‍යාව විසින් කරනු ලබන්නේ රෝග සුව කිරීම නො ව පාලනය කිරීම ය. මී උණ නිට්‌ටාවට සුව කළ හැක්‌කේ බටහිර වෛද්‍ය විද්‍යාවට පමණි. වෙනත් වෙදකම් කරන්නට ගොස්‌ මිය ගිය සංඛ්‍යාව සුළු පටු නො වේ. ක්‍ෂුද්‍ර ප්‍රාණීන් නිසා ඇති වන රෝග බොහොමයක්‌ බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රම මගින් සුව කළ හැකි ය. ක්‌ෂය රෝගයට වෙනත් වෙදකම් ගත හොත් මිය යැම වැළැක්‌විය නොහැකි ය. වසූරිය නැමැති භයානක රෝගය ලොවෙන් ම තුරන් වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවට පින් සිද්ධ වන්නට ය. පෙර කල සුව කළ නොහැකි යෑයි සැලකූ රෝග බොහොමයක්‌ දැන් සුව කළ හැක්‌කේ බටහිර වෛද්‍ය විද්‍යාවේ වර්ධනය නිසා ය. ඉදිරි අනාගතයේ දී ද මෙය මෙලෙස ම සිදු වනු ඇත. දැනට මාරාන්තික ලෙස සැලකෙන පිළිකාව, හෘදයාබාධ වැනි රෝග අනාගතයේ දී සුව කළ හැකි රෝග බවට පත් වන ලකුණු දැනටමත් දැකිය හැකි බව කිව යුතු ය. ජාන (genes) පිළිබඳව කෙරෙන පර්යේෂණ, පියවි සෛල (stem cell) තාක්‌ෂණය වැනි ක්‍රමවලින් ලබාගන්නා දැනුම මෙවැනි රෝග සුව කිරීම පිණිස අනාගතයේ දී යොදාගත හැකි බව කිව යුතු ය. රෝගයක්‌ මතුපිටට එන්නට පෙර සෛලවල ඇති වන වෙනස්‌කම් හඳුනාගෙන පිළියම් කොට රෝගය සුව කිරීමේ තාක්‌ෂණය වර්ධනය වෙමින් පවතින බව කිව යුතු ය. මෙවැනි දැනුම් සම්භාරයකින් අනාගත පරපුරට සිදු විය හැකි යහපත කියා නිම කළ නොහැකි ය. මේ රටේ ජනතාවට ද ඉන් යහපතක්‌ සිදු විය හැකි ය. නලින් ද සිල්වා මහතා ගේ වෑයම එය නැවැත්වීම ය.

මේ අතර නලින් ද සිල්වා මහතා 'ගැලිලියෝ බොරු කීවේ ඇයි? යන මැයෙන් ලිපියක්‌ ලියමින් තවත් විහිළුවක්‌ කර ඇත - විදුසර-25-12-13 - කොපර්නිකස්‌ නිරීක්‌ෂණය සහ ගණිත මාර්ගයෙන් විශ්වය පිළිබ`දව ලබාගත් දැනුම ගැලීලියෝ තම ටෙලස්‌කෝපය භාවිත කොට ලබාගත් දැනුම නිසා තහවරු වූ බව අපි දනිමු. ගැලීලියෝ තම සොයාගැනිම් ඉතාලියේ ප්‍රචාරය කරන විට ඊට විරුද්ධ ව නැ`ගී සිටියේ ඇරිස්‌ටෝටලියානු මතවල එල්බගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු වූ හ. මා වැනි අය එකල ඉතාලියේ සිටියා විය හැකි බව නලින් ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මින් අදහස්‌ කරන්නේ ගැලීලියෝ ගේ මතවාදවලට එකල මහාචාර්යවරුන් විරුද්ධ වූවා සේ මෙකල මහාචාර්යවරුන් ද නලින් ද සිල්වා මහතා ගේ මතවාදවලට විරුද්ධ වන බවයි. මේ ගැන මට කිව හැක්‌කේ ලඡ්ජාවක්‌ නැති ව නලින් ද සිල්වා මහතා ගැලීලියෝ ගේ තත්ත්වයට තමා පත් කරගෙන ඇති බවයි. කොපර්නිකස්‌ විප්ලවය වැනි විප්ලවයක්‌ නලින් ද සිල්වා මහතා ලක්‌දිව ඇති කරන තෙක්‌ අපි බලා සිටින්නෙමු. එහෙත් වෙනසකට ඇත්තේ එකල ඉතාලියේ මහාචාර්යවරුන් විරුද්ධ වූයේ සාක්‌ෂි සහිතව ඉදිරිපත් වූ මතවාදවලට ය. අද ලක්‌දිව අප විරුද්ධ වන්නේ සාක්‌ෂි නොමැති ව ඉදිරිපත් වන නලින් ද සිල්වා මහතා ගේ ප්‍රලාපවලට ය.

තව ද ඒ මහතා පවසන්නේ අප වැන්නන් කිසිදු සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ ගොඩන`ගා නැති බව ය. මට කියන්නට ඇත්තේ 'අපේ පුවාද' වැනි ප්‍රලාප ගොතනවාට වඩා අපට කළ හැකි දෙයක්‌ කිරීම යහපත් ක්‍රියාවක්‌ බව ය. තව ද ගැලිලියෝ ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රම මඟිත් කිසිවක්‌ සොයාගත්තේ නැත. මේ බව ඔහු ගේ ජීවිතයේ - උපත1564 - අවසාන කාලයේ වර්ෂ 1634 දී පළ කළ "Dialogue Concerning Two Sciences" නමැති ග්‍රන්ථය මඟින් සනාථ වී ඇත. ගැලීලියෝ බොරුවක්‌ කීවත් ඔහු විද්‍යාවට කළ මහැඟි සේවය බොරුවක්‌ වන්නේ වත් විද්‍යාව බොරුවක්‌ වන්නේ වත් නැත.

මා නලින් ද සිල්වා මහතා ගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ පඹ ගාලේ තවත් පැටලෙන්නේ නැති ව වැටී සිටින බොරු වළෙන් ගොඩ ඒම පිණිස නවීන විද්‍යාව බොරු බව ඔප්පු කරන ලෙස ය.

මහාචාර්ය 
එන්. ඒ. ද. එස්‌. අමරතුංග DSc

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය