" ජීවිතය යනු ඉගෙනුම් ක්‍රියාවලියකි "


අසංග අබේගුණසේකර මහතා වර්තමානයේ ලංකාවේ ජාතික පර්යේෂණ හා අධ්‍යයන ආයතනයක්‌ වන ජාත්‍යන්තර සබඳතා සහ උපායමාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්‌ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ (Lakshman Kadirgamar Institute for International Relations and Strategic Studies) විධායක අධ්‍යක්‌ෂවරයා වේ. එමෙන් ම ඔහු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මැතිතුමා ගේ උපදේශකවරයකු හා බණ්‌ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික නිsයෝජිත කටයුතු පිළිබඳ අධ්‍යයනායතනයේ (Bandaranayake International Diplomatic Training Institute) අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වේ. මීට පෙර ඔහු ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපතිවරයා විය. ශ්‍රී ලංකාවේ ධීවර වරායන් විශාල සංඛ්‍යාවක්‌ විනාශ කළ සුනාමි ව්‍යසනයෙන් පසු 2004 දී ඔහු ශ්‍රී ලංකා ධීවර වරාය සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස පත් විය. වයස 27 දී එම තනතුරට පත් වූ ඔහු 2010 තෙක්‌ එහි සේවය කළේ ය. ඇත්තෙන් ම ඔහු ඉහත සඳහන් කළ රාජ්‍ය තනතුරු තුනට ම පත් වූ ළාබාලතම පුද්ගලයා විය. රාජ්‍ය අංශයට එක්‌ විමට පෙර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සහ හචිසන් යන ආයතනවල සේවය කළේ ය.

ඕස්‌aටේ්‍රලියාව තුළ උසස්‌ අධ්‍යාපනය හැදැරූ අසංග අබේගුණසේකර මහතා එහි දී පරිගණක විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක්‌ සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ලබා ගත්තේ ය. එමෙන් ම විධායක සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ අධ්‍යාපනය ඔහු ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හාර්වඩ් කෙනඩි අධ්‍යයනායතනයෙන් (Harvard Kennedy School) සහ සිංගප්පූරුවේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්‌වාන් යූ අධ්‍යයනායතනයෙන් (Lee Kuan Yew School of Public Policy) ලබාගත්තේ ය. ගෝල්ඩන් කී ජාත්‍යන්තර සමාජය (Golden Key International Honour Society) විසින් ඔහු ගේ ශාස්‌ත්‍රීය කුසලතා ඇගයීමට ලක්‌ කරන ලද අතර සම්මානයක්‌ ද පිරිනමන ලද්දේ ය. අසංග අබේගුණසේකර මහතා කොළඹ ශාන්ත තෝමස්‌ විද්‍යාලයයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ස්‌විට්‌සර්ලන්තයේ ලෝක ආර්ථික සංසදය (World Economic Forum) වෙතින් අසංග අබේගුණසේකර මහතාට තරුණ ලෝක නායකයා (Young Global Leader) යන සම්මානය 2012 දී ලැබුණේ ය. ඔහු ලෝක ආර්ථික සංසදයේ Global Shapers Colombo Hub ආරම්භක පාලක තනතුර (Founding Curator) හොබවන අතර නෝර්වේ රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු විසින් ආරම්භ කරන ලද Global Dignity සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති ලෙස ද කටයුතු කරයි. ප්‍රංශයේ ලෝක ව්‍යවසායකත්ව සංසදයේ (World Entrepreneurship Forum) සාමාජිකයකු ලෙස ද ඔහු සේවය කළේ ය. එමෙන් ම ඔහු ඇමෙරිකා එක්‌සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනේ (International Visitors Leadership Program) ආදි සාමාජිකයෙක්‌ ද වේ.

ඔහු විවිධ ජාත්‍යන්තර වේදිකා හා සම්මන්ත්‍රණවල ප්‍රවීණ දේශකයකු ලෙස සමාජ ආර්ථික ප්‍රගමණය වෙනුවෙන් ක්‍රියා කරයි. SL2College Voices 2013 උසස්‌ අධ්‍යාපන සම්මන්ත්‍රණයේ දී අසංග අබේගුණසේකර මහතා විසින් පවත්වන ලද දේශනයේ සිංහල සාරාංශය අපේ ලාංකීය සිසු දරු දැරියන් ගේ උසස්‌ අධ්‍යාපනය සඳහා මහ`ගු පිටුබලයක්‌ වේ යෑයි අපි සිතමු.

ජාත්‍යන්තර සබඳතා හා උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්‌ෂ්මන් කදිර්ගාමර් ආයතනයෙහි විධායක අධ්‍යක්‌ෂක ධූරය හොබවන අසංග අබේගුණසේකර මහතා ජීවිතය තුළ හමු වන තීරණ හා අභියෝග හමුවේ ක්‍රියා කළ යුතු නිවැරැදි පිළිවෙත් පිළිබඳව සිය අත්දැකීම් මත පදනම් වූ විග්‍රහයක්‌ කළේ මෙලෙසිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ කාලසීමාව ඇරඹීම යනු අප ජීවිතය තුළ වන ඉතා වැදගත් සන්ධිස්‌ථානයකි. ඒ හා සම්බන්ධ තීරණ ගැනීමෙහි දී මතකයේ තබා ගත යුතු කරුණ නම්, ඔබ යොමු විය යුත්තේ ඔබ තුළ ලැදියාවක්‌ පවතින විෂය ක්‌ෂේත්‍රයක්‌ වෙතට ය. ඕනෑ ම විෂය ධාරාවක්‌ ඉගෙනීම සඳහා මූලික චින්තනය අවශ්‍ය වන්නේ ය.

මා හට ඇත්තේ දේශපාලනික පවුල් පසුබිමකි. එබැවින් යොමු විය යුතු උසස්‌ අධ්‍යාපනික ක්‌ෂේත්‍රය ලෙස යෙදී පැවතුණේ නීතිවේදයයි. එහෙත් මා තුළ විද්‍යා විෂයන් සඳහා මහත් වූ ලැදියාවක්‌ විය. එබැවින් මා විසින් තෝරා ගනු ලැබූවේ එයයි. උසස්‌ අධ්‍යාපනය ලැබීමට අදාළ වූ තීරණය ගත යුත්තේ අප විසිනි. එය නිරවද්‍ය විය යුතු අතර එසේ නොමැති වුව හොත්, එනම් ඔබ තුළ ඔබ ගේ එම තෝරාගැනීම කෙරෙහි එතරම් ලැදියාවක්‌ නොමැති වුව හොත්, පසු කාලයක දී සංතාපයට පත් වීමට සිදු වන්නේ ඔබට ම ය. මා ගේ ජීවිතය දෙස නැවතත් අවධානය යොමු කළ හොත්, ඒ ගනු ලැබූ තීරණය නිවැරැදි වූවකි.

ජීවිතයෙහි එළැඹෙන යම් යම් අවධීන්හි දී, ඔබ විසින් ඔබ වඩාත් හොඳ තලයකට රැගෙන යැමේ අවශ්‍යතාව පැනනැ`ගිය හැකි ය. එවන් කාල පරිච්ඡේද තුළ දී ඔබ කළ යුතු එක්‌ දෙයක්‌ නම් නව නිපැයුම් සඳහා යොමු වීම වේ. කැපවීමෙන් කටයුතු කිරීමට ඔබ නො පසුබට විය යුතු ය. කිසි විටෙකත් නො නැවතිය යුතු ය. ජීවිතය යනු අඛණ්‌ඩ ඉගෙනුම් ක්‍රියාවලියකි. එසේ ම මේ අතරතුර දී, නිවැරැදි සිතිවිලි සහිත මනසක්‌ පවත්වාගැනීම ඉතා වැදගත් වේ.

2005 වසරෙහි ජනවාරි මස දී ඉතා ම වැදගත් වූ තීරණයකට එළඹීමට මා හට සිදු විය. එනම් තවදුරටත් පෞද්ගලික අංශයෙහි රැඳී සිටින්නේ ද එසේත් නැත හොත් රාජ්‍ය අංශයට එක්‌ වන්නේ ද යන්නයි. මෙය මා ගේ ජීවිතයෙහි සුවිශාල වූ වෙනසක්‌ ඇති කිරිමට හේතු විය. පරිගණක විද්‍යා ක්‌ෂේත්‍රයෙහි සිටි මා, රාජ්‍ය අංශය යටතෙහි ධීවර වරායන් නංවාලීම සඳහා යොමු වූයේ එවකට සුනාමි ව්‍යසනය නිසාවෙන් බොහොමයක්‌ ධීවර වරායන් විනාශයට පත් වී තිබූ බැවිනි. මෙය මා අභියෝග රැසක්‌ හමුවට ගෙන ගිය තීරණයකි. නමුදු පැහැදිලි වන එක්‌ කරුණකි. එනම් වඩාත් වැදගත් වනුයේ, ඔබ එම අභියෝග හමුවේ නො සැලී සිට ක්‍රියා කරන ආකාරයයි. අභියෝග යනු ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය සාධකයකි.

එලෙසින් ක්‍රියා කිරීමෙහි දී සිතට ගත යුතු තවත් කරුණක්‌ නම්, හමු වන ඕනෑ ම පුද්ගලයෙකු ඵලදායී මාර්ගෝපදේශකත්වයක්‌ ලබා දීමට සුදුසුකම් ඇති අය විය හැකි බවට පිළිගැනීමයි. ඒ සඳහා පංතිය හෝ තරාතිරම හෝ කිසිසේත් ම බලපෑමක්‌ ඇති නො කරයි. විශේෂඥයන් ගෙන් ම පමණක්‌ නො ව, දෛනික අත්දැකීම් හා සබැඳි දැනුමින් අනූන පිරිස්‌ ද ඔබට ඉතා ප්‍රයෝජනවත් වන්නේ ය.

විදේශ අධ්‍යාපනය ලබා සංක්‍රමණය වීමේ හැකියාව මා සතු ද විය. එනමුදු මා ගේ තීරණය වූයේ නැවතත් මවුබිමට පැමිණ සේවය කිරීමයි. අප රට තුළ බොහෝ ගැටලු, අකටයුතුකම් තිබීමට පිළිවන. එහෙත් අප කළ යුතු වන්නේ ඒවා නිරාකරණය කරගැනීම සඳහා ඇවැසි ක්‍රමවේද ගොඩනැ`ගීම විනා දොස්‌ පවරමින් රට හැර යැම නො වේ. ඔබට අධ්‍යාපනය සඳහා විදේශගත වීමට පෙර කළ හැකි එක්‌ ක්‍රියාකාරකමක්‌ නම්, උපාධිය ලැබීමෙන් අනතුරුව ස්‌වකීය මවුබිම උදෙසා සිදු කිරීමට කැමති දෑ කඩදාසියක්‌ මත සටහන් කර තැබීමයි. පසුව අධ්‍යාපනය ලබා විදේශයකට සංක්‍රමණය වීමේ තීරණය ගැනීමට ප්‍රථමයෙන් එම කඩදාසිය දෙසට නැවත වරක්‌ අවධානය යොමු කර බැලීම, තම තීරණය නිරවද්‍ය වන්නේ ද නැති ද යන්න නිසැකයෙන් ම අවබෝධ කර ගැනීමට දායක වනු ඇත. ඉන් පසුව ආත්ම කථනයක යෙදීම තුළින් තීරණයෙහි නිරවද්‍යභාවය සනාථ කරගත හැකි වේ.

අවසාන වශයෙන් සිත තබා ගත යුතු කරුණ නම්, අප ජීවිතය හමුවට එන විවිධාකාර වූ තීරණාත්මක අවස්‌ථාවන්හි දී, නිරවද්‍ය තීරණයකට එළඹිය යුත්තේ ස්‌වකීය ලැදියාවන් හා අනෙකුත් නිරවද්‍ය වූත් සහේතුක වූත් කරුණු මත පදනම් ව විනා අන් අය ගේ බලපෑම් මත නො වන බවයි. එලෙස ම හදවතට එක`ග ව එම තීරණය ගැනීම ද වඩාත් වැදගත් වන්නකි. පැහැදිලි සිතිවිලි සමුදායක්‌ සහිත මනසක්‌ පවත්වාගැනීම ද අවශ්‍ය වේ.

තව ද, ගුණාත්මක නායකත්ව පුහුණුවක යෙදීමට යොමු වී, අනාගතය තුළ ජාත්‍යන්තර තලයෙහි නායකත්වයක්‌ කරා පියමැනීම වැදගත් වේ. එම ගුණාංග වර්ධනය කරගත යුතු වන්නේ ක්‍රම ක්‍රමයෙනි. අනුවර්තක නායකයෙකු (Adaptive leader) වීම බොහෝ වටින්නේ ය. ලොව සම`ග නිසි සේ සම්බන්ධ වෙමින් අප රට ජාත්‍යන්තරය තුළ නියෝජනය කරලීමට ඇවැසි දැනුම, අප තරුණ පිරිස්‌ විසින් නිරන්තරයෙන් ම ලබා ගත යුතු ය.

අසංග අබේගුණසේකර මහතා ගේ දේශනයේ මේ සිංහල සාරාංශය නිර්මාණය කරන ලද්aදේ දිනිති සුමනවීර විසිනි.

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය