ශ්‍රී ලංකාවෙන් හමු වූ උස ම ගොයම් ගස ගැන වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු ව තිබෙනවා

ශ්‍රී ලංකාවෙන් හමු වූ උස ම ගොයම් ගස ගැන
වැඩිදුර විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු ව තිබෙනවා





වර්තමානයේ ශ්‍රී ලංකාවේ වගා කෙරෙන ගොයම් විශේෂ සම`ග සැසඳීමේ දී ඊට වඩා වෙනස්‌ ආකාරයක ගොයම් ගසක්‌ සබරගමුව විශ්වවිද්‍යාලයයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී. අයි. යාපා මහතාට හමු වූ පුවතට ඉකුත් දිනවල ජනමාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක්‌ ලැබිණි. මේ එම සොයාගැනීම සම්බන්ධයෙන් ආචාර්ය යාපා මහතා විදුසර වෙත කළ කරුණු දැක්‌වීමකි.

"ක්‍ෂේත්‍ර චාරිකාවක්‌ සඳහා තන්තිරිමලේ ප්‍රදේශයට ගිය අවස්‌ථාවක දී තමයි මේ වී බීජ මට ලැබුණේ. මේ වී බීජ මට ලබා දුන්නේ තන්තිරිමලේ රේණුකා රත්නගේ කියන ගොවි මහත්මියයි. ඇය මේ ගොයම් ගස්‌ වගා කර තිබෙනවා. මම මෙයින් වී බීජ කීපයක්‌ ගෙනැවිත් සබරගමු විශ්වවිද්‍යාලයයේ වගා කළා. ක්‍රමයෙන් සරුවට වැඩුණා. මේ වන විට ගසේ උස අඩි 12ක්‌ පමණ වෙනවා. කරල් පැහිලා පීදිලා පහළට නැමුණු විට ගසේ උස අඩි 11ක්‌ පමණ වෙනවා. පත්‍රයක්‌ අඩි දෙක හමාරක්‌ පමණ දිගයි. අ`ගල් දෙක හමාරක්‌ පමණ පළලින් යුක්‌තයි. බ`ඩ ඉරි`ගු ගසේ පත්‍රවලට බෙහෙවින් සමානයි. මේ ගොයම් ශ්‍රී ලංකාවට ආවේනික විශේෂයක්‌ වනවාට සැකයක්‌ නැහැ. ඒත් පසුගිය කාලේ කරපු පර්යේෂණවලට අනුව නිය`ගයට ඔරොත්තු දෙන වී වර්ගයක්‌ ලෙසටයි මේ වී බීජ වර්ගය හඳුනා ගන්න ලැබුණේ. මේ සම්බන්ධව තවදුරටත් විද්‍යාත්මක පර්යේෂණ කළ යුතුයි."

ආචාර්ය යාපා වැඩිදුරටත් පවසන පරිදි වර්ෂ 1998 දී ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රදේශයෙන් මෙවැනි ම උස ගොයම් ශාකයක්‌ හඳුනා ගැනීමට ඉන්දියාවේ Khadi and Village Industries Commisionys විද්‍යාත්මක නිලධාරියකු වන විශ්වා ගන්ගූර්ඩිට හැකි විය. ඔහුට මේ වී බීජ ලබා දී ඇත්තේ බැප්ටිස්‌ට්‌ දේවස්‌ථානයක 78 හැවිරිදි දේවගැතිවරයකු වන මෙල්හින් කෙනීන්ස්‌ නැමැත්තෙකි. මේ බීජවලින් හටගත් ගොයම් ගසෙන් ලබා දුන් බීජ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 800කි. Graminiae කුලයට අයත් මේ ගොයම් ගස ද අපට හුරු පුරුදු Oryza sativa යන විශේෂයට අයත් වේ. මේ සියලු ම කරුණු සලකා බලා වර්ෂ 1998 ඔක්‌තෝබර් 01 දින මේ ගොයම් ශාකය ගිනස්‌ වාර්තාවට ඇතුළත් කර ඇත.

මේ ඉන්දියානු ගොයම් විශේෂයට කාන්තාර දේශගුණයටත්, දැඩි උණුසුම් සහිත දේශගුණයටත්, සාමාන්‍ය වියළි දේශගුණයටත්, තෙත් සහිත ශීත දේශගුණයටත් ඔරොත්තු දී හොඳින් වැඩීමේ හැකියාවක්‌ ඇත.

මේ ඉන්දියානු ගොයම් විශේෂයත් ශ්‍රී ලංකාවෙන් හමු වූ ගොයම් විශේෂයත් අතර දක්‌නට ලැබෙන ප්‍රධාන සමාන ලක්‌ෂණය වන්නේ උසින් වැඩි වීම පමණකි. එහෙත් අනෙකුත් බාහිර ලක්‌ෂණ සහ ජාන ලක්‌ෂණ පිළිබඳව තවමත් පර්යේෂණ කර නොමැත. එහෙයින් ශ්‍රී ලංකාවේ තන්තිරිමලෙන් සොයා ගත් ගොයම් විශේෂය පිළිබඳව තවදුරටත් උද්භිද විද්‍යාත්මකව මෙන්ම කෘෂි විද්‍යාත්මක පදනමකින් යුත් පර්යේෂණ කළ යුතු ව ඇති බව ආචාර්ය යාපා ගේ අදහසයි.

අමල් උඩවත්ත
ඡායාරූප ආචාර්ය පී. අයි. යාපා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය