වැරැදි තොරතුරු පැතිරවීමට එරෙහි ව සටන් කිරීමේ කලාව

පියාඹන පීරිසියක්‌ කඩා වැටුණු බව, පිටසක්‌වළ ජීවීන් දෙතුන් දෙනකු තුරු වදුළක්‌ තුළින් මතු වනවා දුටු බව, තව මාස දෙකකින් ලෝකය විනාශ වන බව ආදි කතා පැතිර යන්නේ හරි පුදුම වේගයකිනි. මෙවැනි වැරැදි තොරතුරු සහිත කතා ඇතැම් විට භීතිකාව වැනි විශාල ගැටලුවලට මුලපුරන්නක්‌ විය හැකි ය. ඊට හේතුව ඇතැමුන් මේවා ගැන විමර්ශනය නො කොට විශ්වාස කරන්නට පෙලඹීමයි. එනිසා වැරැදි තොරතුරු ජනතාව අතර ව්‍යාප්ත වන්නේ කෙලෙස ද යන්න මෙන්ම ඒවා පාලනය කළ යුතු වන්නේ කෙලෙස ද යන්න ගැනත් දැන සිටීම වැදගත් ය.

බටහිර ඕස්‌ටේ්‍රලියා විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්‌ටීවන් ලෙවන්ඩොව්ස්‌කි පසුගියදා, මිනිසුන් වෙත වැරැදි තොරතුරු ළ`ගා වන්නේ කෙලෙස ද? ඒවාට මිනිසුන් ප්‍රතිචාර දක්‌වන්නේ කෙසේ ද? ආදී කරුණු ගැන අධ්‍යයනයක්‌ සිදු කළේ ය.

එහි දී දේශපාලනික තොරතුරුවලට වැරැදි අර්ථකථන ලැබීම ගැන මෙන්ම වෛද්‍යමය හා වෙනත් තොරතුරුවලට වැරැදි අර්ථකථන සන්නිවේදනය වීම ගැන ද ඔහු අධ්‍යයන කළේ ය. ඉරාක යුද්ධය ගැන වැරැදි තොරතුරු ව්‍යාප්ත වූයේ කෙලෙස ද යන්න ගැන ද ඔහු දීර්ඝව අධ්‍යයනය කළේ ය. එසේ ම සාවද්‍ය තොරතුරු සම්ප්‍රේෂණයට එරෙහි ව ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ඔහු එහි දී අධ්‍යයන කොට ඇත. එවැනි ක්‍රම අටක්‌ ගැන ඔහු විස්‌තර කරයි. වැරැදි තොරතුරු අප වෙත ළ`ගා වන ආකාර කීපයක්‌ ගැන ද ඔහු විස්‌තර කරයි.

වර්තමාන සමාජය තුළ වැරැදි තොරතුරු ව්‍යාප්ත වන ප්‍රධානතම ක්‍රමයක්‌ වන්නේ කටකතා මගිනි. කට කතා මගින් ව්‍යාප්ත වන ඕපාදූපවලට අද ලොකු ඉල්ලුමක්‌ ඇත. ඕපාදූප ව්‍යාප්ත වන්නට පුවත්පත් ඇතුළු ජනමාධ්‍යයන් ද වගකිව යුතු වෙයි.

මිනිස්‌සු ස්‌වභාවයෙන් ම සංවේදී කතා අසන්නට ප්‍රිය කරති. තමන්ට සවන් දෙන අය සතුටු වන, බිය වන මෙන්ම ත්‍රාසයට පත් වන කතා නිර්මාණය කරන්නට ඕපාදූප නිර්මාණකරුවෝ උනන්දු වෙති. මේ කුමන හෝ හැ`ගීමක්‌ තම අසන්නා තුළ ප්‍රබලව ජනිත කළ හැකි නම් ඕපාදූප නිර්මාණකරුට එය සතුටකි. ඕපාදූප නිර්මාණය කරන්නන් අතැම් විට මේ දේවල් කරන්නේ වාසි අරමුණ කොටගෙන ය. ඇතැම් විට එවැනි කිසිදු ප්‍රතිලාභයක්‌ නොමැති වත් මේවා නිර්මාණය කෙරේ.

සාවද්‍ය තොරතුරු බිහි වීමට හා ව්‍යාප්තියට මුල් වන කැපී පෙනෙන පුද්ගලයන් පිරිසක්‌ වන්නේ දේශපාලනඥයන් ය. දේශපාලනඥයන් බොහෝ දෙනකු තම පැවැත්ම තහවුරු කර ගන්නේ බොරුව හරහා ය. තමන් ගේ ඡන්ද දායකයන් ගේ හිත් දිනා ගැනීමට ඔවුහු ආකර්ෂණීය බොරු ගොතති. ඇතැම් විට විරුද්ධවාදීන්ට එරෙහි ව ජනතාව පෙළගස්‌වනු පිණිස ද ඔවුහු බොරු ගොතති. ජනතාව දේශපාලකයන් කියන්නේ බොරු බව නො දන්නවා නො වේ. එහෙත් ඔවුහු දේශපාලකයන් ගේ බොරුවලට රැවටෙති. නිදසුනක්‌ ලෙස රටේ යම් භාණ්‌ඩයක මිල සුවිශේෂී ලෙස ඉහළ ගිය විට දේශපාලකයෝ ඒ අරභයා විවිධ බොරු කියති. ජනතාව ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක්‌ මේ බොරු විශ්වාස කරති.

සමාජය තුළ වැරැදි තොරතුරු ව්‍යාප්ත වීමට වැඩියෙන් ම හේතු වන්නේ ජනමාධ්‍ය ය. ජනමාධ්‍ය සතු ජනතාවට බලපෑම් කිරීමේ හැකියාව ඉහළ ය. බොහෝ දෙනෙක්‌ කිsසිදු වග විභාගයකින් තොර ව ජනමාධ්‍ය පවසන දේ විශ්වාස කරති. අතීතයේ දී සත්‍ය පැවසීම ජනමාධ්‍යයේ වගකීමක්‌ වුව ද අද එය පවතින්නේ බොහෝ විට ජනමාධ්‍ය ආචාර ධර්ම ඇතුළත් පත්‍රිකා තුළ පමණි. ඉතා සුළු පිරිසක්‌ සත්‍යය ජනතාවට දීමට උත්සාහ කළ ද බහුතරයක්‌ මාධ්‍ය ආයතනවලට වුවමනා සත්‍යය සම`ග අමතර යමකුත් දෙමින් තම ග්‍රාහකයන් ආකර්ෂණය කර ගැනීමට ය.

විද්‍යාත්මක තොරතුරු වාර්තා කිරීමේ දී පමණක්‌ නො ව සමාජ දේශපාලනික හෝ සංස්‌කෘතික තොරතුරු වාර්තා කිරීමේ දීත් ජනමාධ්‍ය සමතුලිත ව කටයුතු නො කරන බව පෙනී ගොස්‌ තිබේ.

මේ අතර අද වන විට වැරැදි තොරතුරු ව්‍යාප්ත කරවන ප්‍රධානම මෙවලමක්‌ බවට අන්තර්ජාලය පත් වී ඇත. රෝග සම්බන්ධයෙන් උපදෙස්‌ දෙන, අන්තර්ජාල වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක්‌ පවතින අතර එවායින් බහුතරය සාවද්‍ය තොරතුරු ව්‍යාප්ත කරවන බව පෙනී ගොස්‌ තිබේ. ලෝක විනාශය ගැන කියමින් ලෝකය රැවැටීමට මුල් වී ක්‍රියා කළ අන්තර්ජාල වෙබ් අඩවි ගැන ද අපට මතක ය.

ඕනෑ ම මොහොතක්‌ තුළ අන්තර්ජාලයෙහි අලුතෙන් ම බොරු තොරතුරු විශාල සංඛ්‍යාවක්‌ නිර්මාණය වෙමින් පවතී. පසුගිය සමයෙහි 2012 ලෝක විනාශය ගැන වෙබ් අඩවි කළ බොරු ප්‍රචාරවලට එරෙහි ව විශාල සටනක්‌ සිදු කරන්නට නාසා ආයතනයට සිදු විය. එයට හේතුව එම බොරු පතුරුවන්නේ නාසා නාමය ද වැරැදි විදිහට භාවිත කරමින් වීමයි.

පැතිර ගිය බොරුවකට / වැරැදි තොරතුරකට එරෙහි ව සටන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නො වේ. මන්ද යත් යම් මාධ්‍යයකින් බොරුවක්‌ කී පසු එය ග්‍රහණය කරගෙන විශ්වාස කරන්නට පටන් ගන්නා අය විශාල ප්‍රතිශතයකි. එය යළි නිවැරැදි කළ විට පවා එය බොරුවක්‌ යෑයි විශ්වාස කරන්නට සමහරු අකැමැති වෙති. ඒ බව මීට පෙර ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි ව තිබේ. එහෙත් සමාජයක පුරවැසියන් ලෙස මෙවැනි වැරැදි තොරතුරු ව්‍යාප්ත වීම වළක්‌වා ගැනීමේ වගකීමක්‌ අප හැම දෙනා සතු වේ. අප එය කරන්නේ කෙලෙස ද?

එය කළ හැකි ක්‍රම අටක්‌ මහාචාර්ය ලෙවන්ඩොව්ස්‌කි පෙන්වා දෙයි. ඒ අට මෙබඳු ය.

1. හොඳ පැහැදිලි කිරීමක්‌ කරන්න.

යම් සාවද්‍ය තොරතුරක්‌ පැතිර යද්දී එය බොරුවක්‌ බව පමණක්‌ කිsයා නිහ`ඩ වීම ප්‍රමණවත් නො වේ. එය බොරුවක්‌ බව කී පමණින් මිනිස්‌සු ඔබව විශ්වාස නො කරති. විකල්ප පැහැදිලි කිරීමක්‌ ඔවුන් වෙත ලබා දිය යුතු වේ.

2. පැහැදිලි කිරීම කෙටි හා රසවත් එකක්‌ විය යුතු යි.

පැහැදිලි කිරීම සංකීර්ණ එකක්‌ නො විය යුතු ය. එය ඉතා කෙටි විය යුතු අතර ඉතා සරල විය යුතු ය. අනවශ්‍ය බැරෑරුම් කරුණුවලින් ග්‍රාහකයන් ගේ ඔළු පුරවන්න එපා. එසේ ම ඔබේ පැහැදිලි කිරීම ආකර්ෂණීය විය යුතු ය. මීට කලින් බොරුව ව්‍යාප්ත කළ කෙනා එය කරන්නට ඇත්තේ ද ආකර්ෂණීය උපක්‍රම භාවිතයෙනි.

3. මිථ්‍යාව පුනරුච්චාරණය නො කරන්න. මිථ්‍යාව පතුරුවන පුද්ගලයන් එය පැතිරවීමට භාවිත කරන එක්‌ ක්‍රමයක්‌ වන්නේ නිරන්තරයෙන් පුනරුච්චාරණයයි. (Repeating). ගීතයක්‌ වුවත් නිතර නිතර වාදනය වන විට / ඇසෙන විට කෙනකුට ආසා සිතේ. බොරුවක්‌ ව්‍යාප්ත කරන කෙනා ද කරන්නේ වැඩි වාර ගණනාවක්‌ එය අනෙකාට දකින්නට අසන්නට සැලැස්‌වීමයි.

එනිසා ඔබ ගේ පැහැදිලි කිරීමේ දී යළිත් මිථ්‍යාව නිරන්තරයෙන් පුනරුච්චාරණයෙන් වළකින්න.

4. වැරැදි තොරතුරු නිකුත් වූ විට ම එය ජනාතාවට දැනුම් දෙන්න.

වැරැදි තොරතුරක්‌ ව්‍යාප්ත වන බව දැනගත් වහා ඒ ගැන අන් අය දැනුවත් කරන්න.

මෙන්න මෙහෙම බොරුවක්‌ පැතිරෙනවා. කියා අසන්නන්ට දැනුම් දෙන්න.

5. සත්‍ය තොරතුරු පුනරුච්චාරණය කරන්න.

මිථ්‍යාව වපුරන්නා ඒ සඳහා උදව් කරගන්නේ බොරුව නැවත නැවත කීම / ප්‍රසිද්ධ කිරීමයි. සත්‍යය තහවුරු කිරීමට ද ඒ ක්‍රමය යොදා ගන්න.

ඒ සඳහා සිද්ධියට අදාළ තොරතුරු (සත්‍ය) වැඩි වැඩියෙන් සොයා ගන්න. නිවැරැදි තොරතුරු බහුලව අනාවරණය කරගත් විට මිථ්‍යාව බිඳ හෙළීම පහසු යි.

ඔබ සොයා ගත් සත්‍ය තොරතුරු නිරන්තරයෙන් පුනරුච්චාරණය කරන්න. මෙලෙස වැඩි වාර ගණනාවක්‌ සත්‍ය ශ්‍රවණය කරන / දකින අය ගේ සිත්වල විශ්වාසය ද වැඩි වේ.

6. මිථ්‍යාවේ මූලාශ්‍රවලට පහර දෙන්න. මිථ්‍යාව පතුරුවන්නන්ට බොහෝ විට මූලාශ්‍ර නැත. ඇතත් ඒ සත්‍ය මූලාශ්‍ර නො වේ. බොරුවක්‌ ඉදිරිපත් වන විට එහි මූලාශ්‍ර ගැන සැලකිලිමත් වන්න. සමහර විට මේ බොරුකාරයෝ තම ලිපියට බොරු මූලාශ්‍රයන් එක්‌ කරති. ඒවා ඇතැම් විට ලොව කොහේ වත් නොමැති ආයතන වේ. සමහර විට ඔවුන් මූලාශ්‍රයේ සඳහන් කර අති පොත් මෙතෙක්‌ පළ වී ඇති ඒවා නො වේ.

යම් තොරතුරක්‌ සත්‍ය වීමට නම් ඊට අදාළ මූලාශ්‍ර සවිමත් විය යුතු බව වටහා ගන්න. අන්‍යයන් ද ඒ ගැන දැනුවත් කරන්න.

7. ලෝක දෘෂ්ටිය ගැන අවධානය යොමු කරන්න.

ඔබ ඇත්තක්‌ කීවත් ඒ ඇත්තට පාදක වන සත්‍ය තොරතුරු සියල්ල හෙළි කළත් ඇතැම් විට ඒ සියලු උත්සාහයන් නිරර්ථක විය හැකියි. ඊටහේතුව ඔබ පවසන ඇත්ත පිළිගැනීමට අසන්නා ගේ මනස හැඩ ගැසී නො තිබීමයි.

බොහෝ දෙනා පහසුවෙන් විශ්වාස කරන්නේ තමා ගේ ලෝක දෘෂ්ටිය හා අනන්‍ය වන කරුණු ය. (පුද්ගලයකු ගේ ලෝක දෘෂ්ටිය යනු සරලව කිව හොත් ඔහු ලෝකය දකින හැටියි. ලෝකය තුළ සිද්ධීන් ක්‍රියාත්මක වන ආකාරය ගැන කෙනකු තුළ ඇති දැක්‌මයි. සමහර පුද්ගලයෝ කිසිදු හේතුවක්‌ නිසා තම ලෝක දෘෂ්ටිය වෙනස්‌ නො කරති. එම ලෝක දෘෂ්ටියට එරෙහි ව කියෑවෙන කිසිදු දෙයක්‌ ඔවුන් තුළට අවශෝෂණය නො වේ.

මෙවැනි අය තුළ පැළපදියම් වූ බොරුවක්‌ ඉවතට ඇද දැමීම ඉතා අපහසු ය. නිදසුනක්‌ ලෙස X නමැති දේශපාලනික පක්‌ෂය ගැන අන්ධ භක්‌තියකින් යුතු ව පසු වන්නකුට එම දේශපාලන පක්‌ෂයට අයත් මන්ත්‍රීවරයකු කියන ඕනෑ ම බොරුවක්‌ ඇත්ත වේ.

මෙවැනි විට ඇත්ත තහවුරු කිරීමට විශාල වෙහෙසක්‌ දරන්නට සිදු වේ. මේ අවස්‌ථාවේ දී සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නන්ට උපක්‍රමශීලී වන්නට සිදු වේ.

ඔවුන් දැනට විශ්වාස කරන දේ වැරැදි බව පළමුවෙන් පහදා දිය යුතු වේ.

එවැනි අවස්‌ථාවක කෙටි ක්‍රම ඉක්‌මවා පුළුල් විස්‌තරවලට යැමට සිදු වේ.

8. ප්‍රශ්නය ඔවුන් ගේ එකක්‌ බවට පත් කරන්න.

සමහරු ඔබ සත්‍ය පවසන විට එයට එක්‌කෝ විරෝධය පාති. නැතිනම් අවධානය නො දක්‌වා සිටිති.

එවිට කළ යුත්තේ මිථ්‍යාව සත්‍යය විදිහට ක්‍රියාත්මක වීම ඔවුන්ට පාඩුවක්‌ ගෙන දෙන බව පෙන්වා දීම ය. සිද්ධියට අදාළ සත්‍යය මතු වීම ඒ අයට ද ඒ අය ගේ පවුල්වලට ද වැදගත් වන බව ඒත්තු ගන්වන්න. එවිට ඔවුහු එය පිළිගන්නවා ඇත.

මනෝඡ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය