රසදිය පාලනය සඳහා වූ 'මිනමාටා සම්මුතියට' එකඟතාව


රසදිය පාලනය සඳහා වූ
'මිනමාටා සම්මුතියට' එකඟතාව


රිසරයට රසදිය විමෝචන හා මුදාහැරීම වැළැක්‌වීම සඳහා වූ නිසි ජගත් මට්‌ටමේ නෛතික වගකීමක්‌ ඇති සම්මුතියකට එළැඹීමට ලෝකයේ රටවල් 140කට අධික ප්‍රමාණයක්‌ සිය එකඟතාව පළ කර තිබේ. මේ එකඟතාවට එළැඹී ඇත්තේ පසුගිය දා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ දී අවසන් වූ එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් සංවිධානය කළ සමුළුවක දී ය. මේ සමුළුවේ අවසන් දිනයේ රාත්‍රිය පුරා ඇදී ගිය සාකච්ඡාවලින් පසුව මේ එකඟතාව ඇති වී තිබේ. 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහනේ සමුළුවක දී ගත් තීරණයක්‌ මත වසර හතරක පමණ කාලයක්‌ තිස්‌සේ කළ සාකච්ඡාවලින් පසුව මේ එකඟතාවට එළැඹී ඇත.

මේ නව සම්මුතිය 'රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය' (ඵසබ්ප්ඒ ඤබඩැබඑසදබ දබ පැරජමරහ) ලෙස හැඳින්වේ. ඒ, ලෝකයේ මෙතෙක්‌ ඇති වී තිබෙන බරපතළ ම පරිසර විනාශයක්‌ සේ සැලකෙන මිනමාටා ෙ€දවාචකය සිහිපත් කරමිනි. ජපානයේ පිහිටා ඇති නගරයක්‌ වන මිනමාටා ප්‍රදේශයේ 1950 දශකයේ දී නිරාවරණය වූ රසදිය දූෂණයකින් මිනිසුන්ට විශාල ආකාරයේ සෞඛ්‍ය බලපෑම් ඇති විය. එය රසදිය නිසා ඇති වන ගැටලු පිළිබඳව අවධානය යොමු වීමට මුල් වූ සිදු වීමකි. රසදිය නිසා ඇති වන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු ඉතා බරපතළ තත්ත්වයේ ඒවා ය. එසේ ම අප භාවිත කරන විවිධ ද්‍රව්‍ය රාශියක විවිධ ප්‍රමාණවලින් රසදිය අන්තර්ගත වන නිසා මේ තත්ත්වය නො තකා හළ නොහැකි ය. මෙවැනි ද්‍රව්‍ය අතර වෛද්‍ය උපකරණ, විදුලි උපකරණ, සිමෙන්ති හා ගල් අඟුරු වැනි ද්‍රව්‍ය ද තිබේ.

රසදිය පරිසර දූෂණය පාලනය

අධික ලෙස විෂ සහිත රසායන ද්‍රව්‍යයක්‌ වන රසදිය පරිසරයට එක්‌ වීම පාලනය කිරීමෙන් රසදිය ම`ගින් ඇති වන පරිසර දූෂණය පාලනය කිරීම මේ සම්මුතියේ අරමුණ වේ. මේ අනුව විවිධ නිෂ්පාදන, සැකසුම් ක්‍රියාවලි හා කර්මාන්ත අංශයේ භාවිතයට ගැනෙන හා එහි දී මුදාහරින හා විමෝචනය වන රසදිය ප්‍රමාණය පාලනය කිරීම මෙම`ගින් අපේක්‌ෂා කරනු ලැබේ. අදාළ සම්මුතිය යටතේ රසදිය කැණීම්, අපනයනය, ආනයනය හා භාවිතයෙන් ඉවත් කරන ලද රසදිය ආරක්‌ෂිත ලෙස ගබඩා කිරීම වැනි කරුණු ද ඇතුළත් වේ. ඒ අනුව රසදිය සැපයුම හා අලෙවිය ද යම් පාලනයකට නතු වන බව පෙනේ.

මේ අනුව 2020 වර්ෂය වන විට පහත සඳහන් වර්ගවල රසදිය ඇතුළත් නිෂ්පාදන නිදපවීම, අපනයනය හා ආනයනය රසදිය ඇතුළත් වීම තහනම් වනු ඇත.

* වෛද්‍ය උපකරණවල භාවිත වන ඉතා කුඩා Button cell වර්ගයේ බැටරි හැර අනෙක්‌ බැටරි

* ස්‌විච හා පිළියවන වැනි උපකරණ

* ඇතැම් සංගෘහිත ප්‍රතිදීපන පහන් (CFL බල්බ) වර්ග

* සබන් හා වෙනත් සුවඳ විළවුන් වැනි ද්‍රව්‍ය

* ඇතැම් වර්ගවල වෛද්‍ය උෂ්ණත්වමාන හා රුධිර පීඩනමාන

කෙසේ වෙතත් මේ වන විට වෙනත් විකල්ප දියුණු කර නොමැති ඇතැම් උපකරණවල රසදිය භාවිත කිරීමට අවසර ලැබේ. දත් පිරවීම සඳහා රසදිය යොදාගැනීමට අඩු කිරීමට නියමිත ය.

මෑත කාලයේ දී විශාල ලෙස රසදිය භාවිත කිරීමට හේතු වූ සුළු පරිමාණයේ රන් කැණීම් සිදු වන රටවල් තම රටවල එය අඩු කිරීම හා අවසන් කිරීම සඳහා වූ වැඩසටහන් සැකසීමට මේ සම්මුතිය ක්‍රියාත්මක වී වසර තුනක්‌ ඇතුළත සැලසුම් සකස්‌ කළ යුතු ය. රසදිය නිකුත් කරනු ලබන කර්මාන්තවල හා ගල් අඟුරු බලාගාරවලට ද මේ අනුව සීමා පැනවේ. ඒ අනුව මේ වන විට යොදාගන්නා තාක්‌ෂණික ක්‍රම දියුණු කිරීමෙන් විමෝචන අඩු කිරීමට අපේක්‌ෂා කරනු ලැබේ.

සම්මුතියේ ඉදිරි කටයුතු

මිනමාටා සම්මුතිය ලබන ඔක්‌තෝබර් මාසයේ දී ජපානයේ පැවැත්වෙන විශේෂ සමුළුවක දී රටවල නියෝජිතයන්ට අත්සන් කිරීම පිණිස ඉදිරිපත් කිරීමට නියමිත ය. එය බලාත්මක තත්ත්වයට පත් වීමට වසර තුනත් පහත් අතර කාලයක්‌ ගත වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලබන අතර ඒ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට රටවල් කිහිපයක්‌ පොරොන්දු වී තිබේ. සම්මුතිය ක්‍රියාත්මක වන විට දියුණු වන රටවලට අවශ්‍ය සහයෝගය සැපයීම සඳහා ජගත් පරිසර පහසුකම ඔස්‌සේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට නියමිත ය.

මිනිසුන්ට හා පරිසරයට හානිකර විය හැකි රසදිය වැනි අනතුරුදායක ද්‍රව්‍යයක්‌ පාලනය කිරීමට මෙවැනි සම්මුතියක්‌ ඇති කර ගැනීම එක්‌තරා ආකාරයකට ජයග්‍රහණයකි. කෙසේ වෙතත් රසදිය යනු ජෛව සාන්ද්‍රණයට ලක්‌ වන මූලද්‍රව්‍යයක්‌ වන නිසා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් ක්‌ෂණිකව පරිසරයේ ඇති රසදිය ඉවත් වී ආරක්‌ෂිත තත්ත්වයක්‌ ඇති වෙතැයි සිතීම අසීරු ය. එහෙත් මෙය යහපත් මූලාරම්භයකි. මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන එක්‌ කරුණක්‌ වන්නේ සැම රටක ම කැප වීමයි. මොන්ටි්‍රයල් සන්ධානය වැනි ඇතැම් සන්ධාන සඳහා ලැබුණු සුබවාදී සහයෝගය මෙයට ද ලැබෙතැයි අපි අපේක්‌ෂා කරමු.


ජගත් මට්‌ටමේ ජෛවවිවිධත්ව නිරීක්‌ෂණ පද්ධතියක්‌

ජෛවවිවිධත්ව සංරක්‌ෂණය, පරිසරය පිළිබඳ මාතෘකා අතර වැදගත් කොට සලකන කරුණකි. ඒ නිසා පරිසර පද්ධතිවලට මෙන්ම මානව යහ පැවැත්ම සඳහා ද ඇති විය හැකි බලපෑම පිළිබඳව බොහෝ දේ ලියෑවී තිබේ. මේ ජෛවවිවිධත්වයේ ඇති වන වෙනස්‌කම් හා අහිමි වීම පිළිබඳව ඇති දැනුමෙහි යම් යම් අඩුපාඩු හා හිදැස්‌ පවතී. ජෛවවිවිධත්වය මානනය කිරීමේ හා වාර්තා කිරීම සඳහා වූ ජගත් මට්‌ටමේ ක්‍රමවත් පද්ධතියක්‌ නොමැති වීම මේ සඳහා හේතුව බව විද්‍යාඥයන් ගේ අදහස ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ආක්‍රමණික ජීවීන් පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු ඇත්තේ රටවල් අතරින් 11%ක්‌ තරම් අඩු ප්‍රමාණයක පමණි. එසේ ම වනාන්තර සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රචලිත ව ඇතත් නීතිවිරෝධී ලෙස සිදු වන දැව අලෙවිය සැලකිය යුතු තරම් විශාල ය. මෙවැනි කරුණු පිළිබඳව ප්‍රමාණවත් තරම් දැනුමක්‌ ලෝකයට නොමැත.

පසුගිය දා ප්‍රකාශයට පත් ලිපියක්‌ මගින් විද්‍යාඥයෝ පිරිසක්‌ මේ අඩුව පිරවීම සඳහා නව යෝජනාවක්‌ ඉදිරිපත් කර සිටිය හ. මෙහි දී 'අත්‍යවශ්‍ය ජෛවවිවිධත්ව විචල්‍යයන්' (essential
biodiversity variables&) ලෙස හඳුන්වනු ලබන සාධක කිහිපයක්‌ යොදාගනිමින් ජෛවවිවිධත්ව නිරීක්‌ෂණ පද්ධතියක්‌ ගොඩනැ`ගීමට යෝජනා කෙරිණි. ජෛවවිවිධත්වය අහිමි වීම නිවැරැදි ආකාරයෙන් වාර්තා කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධක වන මේවා අතර වල්, භෝග හා ගෘහාශ්‍රිත ආදි ජෛවවිවිධත්වයේ ඇති ප්‍රවේණික විවිධත්වය, ඇතැම් ජීවී කාණ්‌ඩවල ගහන සුලබතාව, වාසස්‌ථානවල ව්‍යාප්තිය හා ත්‍රිමාන ව්‍යුහය හා සංවේදී පරිසර පද්ධතිවල පෝෂක භාවිතය හැකි කරුණු ඇතුළත් වේ. ජගත් මට්‌ටමින් මේවා මානනය කිරීමෙන් ජෛවවිවිධත්වය අහිමි වීම පිළිබඳව යම් අදහසක්‌ ලබාගත හැකි බව පෙනේ. එහෙත් එවැන්නක්‌ ක්‍රියාත්මක වීමට නම් ජගත් මට්‌ටමෙන් එය මනාව සම්බන්ධීකරණය විය යුතු ය.

මේ ලිපියේ පෙන්වා දී ඇති ආකාරයට ජෛවවිවිධත්වය පිළිබඳ දැනුමේ වැඩි හිදැසක්‌ පවතින්නේ දියුණු වන රටවල ය. එසේ ම වැඩි පාරිසරික තර්ජනයක්‌ පවත්නා කලාපවල ද එවැනි තත්ත්වයක්‌ ඇති අතර දියුණු වන රටවල් විසින් මේ තර්ජනය සඳහා සැලකිය යුතු දායකත්වයක්‌ සපයනු ලබයි. මේ වන විට දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මෙවැනි සම්බන්ධීකරණය කරන ලද ජගත් මට්‌ටමේ නිරීක්‌ෂණ පද්ධතියක්‌ තිබේ. (මූලාශ්‍රයScience,
DOI: 10.1126/science.1229931)


පුවත් සැකෙවින්

2012 වර්ෂය උණුසුම අධිකතම වර්ෂ අතර

වඩාත් නිවැරැදි ලෙස උෂ්ණත්වය මැනීම ආරම්භ වූ 1880 වර්ෂයෙන් පසුව ගත වූ කාලය ඇතුළත වාර්තා වූ උණුසුමෙන් අධිකතම වර්ෂ දහය අතර 2012 වර්ෂය ද ඇති බව ඇමෙරිකානු පර්යේෂණායතන දෙකක ම වාර්තා අනුව පෙනේ.

ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) පෙන්වා දෙන ආකාරයට උෂ්ණත්වය අනුව 2012 වර්ෂය නව වැනි තැනට එන අතර ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) අනුව ඊට දස වැනි තැන හිමි වේ. භASA ආයතනයේ ගණනය කිරීම් අනුව 2012 දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය විසි වැනි සියවසේ මධ්‍ය භාගයේ පැවැති අගයට වඩා අංශක 0.6ක්‌ අධික ය. NOAA ආයතනයේ දත්ත අනුව විසිවැනි සියවසේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා එය සෙල්සියස්‌ අංශක 0.57කින් ඉහළ ය. මේ වෙනසට හේතු වන්නේ විශ්ලේෂණයේ ඇති වෙනස්‌කම් බව පෙනේ.

කෙසේ වෙතත් ගත වූ වර්ෂය තුළ පැවැති ලා නිනා තත්ත්වය නිසා සාමාන්‍ය උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් අඩු වී ඇත. එසේ නොමැති වූයේ නම් ලෝකයේ උෂ්ණත්වය මීටත් වඩා ඉහළ යා හැකි ව තිබිණි. එහෙත් ඉන් පැවසෙන්නේ ලෝකය සිසිල් වෙමින් ඇති බවක්‌ නම් නො වේ. 2000 වර්ෂයෙන් පසුව ගත වී ඇති වර්ෂ 12 ම ලෝකයේ 1880 වර්ෂයෙන් පසු වාර්තා වී ඇති වඩාත් උණුසුම් වර්ෂ 14 තුළ තිබීම ලෝකයේ උෂ්ණත්වය අඛණ්‌ඩව ඉහළ යමින් ඇති බවට ඇති සාධකයකි. ලා නිනා තත්ත්වය වැනි හේතු නිසා මෙවැනි සාපේක්‌ෂව සිසිල් කාල වකවානු තිබිය හැකි ය.


වායු දූෂණය වැඩි නම් ජනතාව අසතුටින්

වායු දූෂණය සහ ජනතාව ගේ සතුට අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව මෑතක දී ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. සරලව පවසන්නේ නම්, වායු දූෂණය නිසා ජනතාව අතර අසතුටක්‌ ඇති වන අතර, යම් රටක ජනතාව අසතුටින් පසු වන්නේ නම්, ඒ රටේ වැඩි වායු දූෂණයක්‌ ඇති බව ද පෙනේ. එසේ ම වායු දූෂණය අඩු කිරීමට හැකියාවක්‌ තිබේ නම් එය ජනතාව ගේ සතුට වර්ධනය කිරීමට හේතු වේ.

මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ යුරෝපා රටවල් 14ක දත්ත භාවිත කරමිනි. මෙහි දී ඒ රටවල වායු දූෂණ වාර්තා භාවිත කර ඇති අතර සමස්‌ත පරිසර දූෂණයේ තරම පෙන්වා දෙන සාධකයක්‌ ලෙස, ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය යොදාගෙන ඇත. ජනතාව ගේ සතුට පිළිබඳව තීරණය කර ඇත්තේ සමීක්‌ෂණ දත්ත මගිනි. (මූලාශ්‍රයInternational Journal of Green Economics,DOI: 10.1504/IJGE.2012.051492)


ඔස්‌ට්‍රේලියාවේ වාර්තාගත උෂ්ණත්වය හා ලැව් ගිනි

පසුගිය සති කිහිපයක කාලය පුරා ඔස්‌ට්‍රේලියාවේ පැවැති අධික උණුසුම් දේශගුණය ජාත්‍යන්තර පුවත් වාර්තාවල මුල් තැනක්‌ ගෙන තිබිණි. එරට සිඩ්නි නගරයේ මෙතෙක්‌ කලක්‌ වාර්තා වූ වැඩි ම උෂ්ණත්වය පසුගිය දා වාර්තා විය. ඒ සෙල්සියස්‌ අංශක 45.6ක අගයක්‌ වන අතර ඇතැම් ප්‍රදේශවල මීටත් වඩා අධික උෂ්ණත්වයක්‌ වාර්තා කර ඇත. මේ වන විට සෙල්සියස්‌ අංශක 50ක්‌ ඉක්‌මවූ අගයක්‌ දැක්‌වීමට හැකි ලෙස එරට උෂ්ණත්ව වක්‍රයට නව වර්ණ සංකේත එක්‌ කර සංශෝධනය කර තිබේ.

එරට ඇතැම් ප්‍රදේශවල පැවැති අධික උෂ්ණත්වය නිසා දකුණුදිග ඔස්‌ට්‍රේලියාවේ හා තස්‌මේනියාවේ විශාල ප්‍රදේශයක ලැව් ගිනි ඇති විය. එය වනාන්තරවලට, නිවාස හා මහාමාර්ග වැනි යටිතල පහසුකම්වලට හානිකර වී ඇති අතර ජනතාව ගේ සෞඛ්‍යයට ද යම් යම් ගැටලු පැන නැ`ගුණු බව වාර්තාවල සඳහන් විය.

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය