නියෑන්ඩර්තාල් මානවයන් ශාකමය ආහාර ගත්තේද?

නියෑන්ඩර්තාල් මානවයන්
ශාකමය ආහාර ගත්තේද?


නියෑන්ඩර්තාල් මානවයා ලෙස හඳුන්වනු ලබන්න Homo neanderthalensis නම් මේ වන විට වඳ ව ගොස්‌ ඇති මානව විශේෂයකි. නූතන මිනිසාට පෙර අප්‍රිකාවෙන් නික්‌මුණු මේ මානවයා අදින් වසර 230,000ත් 30,000ත් අතර කාලයේ දී යුරෝපයේ හා බටහිර හා මධ්‍යම ආසියානු ප්‍රදේශවල වාසය කර ඇත. අදින් වසර 30,000කට පමණ පෙර මේ නියෑන්ඩර්තාල් මානවයන් මිහිතලයෙන් වඳ වී ගොස්‌ ඇතිs බව සාමාන්‍යයෙන් විශ්වාස කරනු ලැබේ. ඊට බලපෑවේ නූතන මානවයන් ගෙන් ඇති වූ තර්ජනය හෝ නූතන මානවයන් සමඟ මිශ්‍ර වීම බව විශ්වාස කෙරේ.

දිනෙන් දින සිදු කෙරෙන පර්යේෂණවලින් නියෑන්ඩර්තාල් මානවයා පිළිබඳ අප සතු දැනුම වර්ධනය වෙමින් ඇත. මේ මානවයන් ගේ ගෙනෝමය මෑත දී ප්‍රකාශයට පත් කරන ලද අතර, මේ මිනිසුන් හා නූතන මානවයන් අතර ඇති සම්බන්ධය පිළිබඳව ද පැහැදිලි සාක්‌ෂි ලැබෙමින් තිබේ. මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් ලැබුණු ප්‍රවේණික ලක්‌ෂණ බලපා ඇති බව මීට එක්‌ නිදසුනකි. (බලන්න විදුසර 2014 අප්‍රේල් 30). නියෑන්ඩර්තාල් මානවයන් ගේ ආහාර වේල ගැන මෑත දී හෙළි වූ කරුණු ද මෙවැනි වැදගත් පර්යේෂණයකි.

නියෑන්ඩර්තාල් ආහාරය

නියෑන්ඩර්තාල් මානවයන් විසින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ලද්දේ වෙනත් සතුන් ගේ මස්‌ බවට පිළිගැනීමක්‌ තිබේ. මේ නිසා ඔවුන් ගේ ජීවන චර්යාවේ ප්‍රමුඛස්‌ථානය හිමි වූයේ දඩයම් කිරීම සඳහා ය. මේ මානවයන් පිළිබඳව ඇති බොහෝ පුරාවිද්‍යාත්මක සාධක ම`ගින් අනාවරණය වන්නේ ද එවැනි ම දෙයකි. ඔවුන් වාසය කළ ස්‌ථානවලින් ඔවුන් විසින් මරා ආහාරයට ගන්නා ලද සතුන් ගේ අස්‌ථි ශේෂ හා දඩයම් කිරීම සඳහා ඔවුන් විසින් යොදාගන්නා ලද මෙවලම් විශාල ලෙසින් හමු වේ. ඒවායින් පෙනී ගියේ ඔවුන් විශාල ශාක භක්‌ෂක සතුන් දඩයම් කළ දක්‌ෂ දඩයක්‌කරුවන් වූ බව හා ඔවුන් ආහාරයට ගත් සතුන් ගේ විවිධත්වය අඩු වූ බව ය. නූතන මානවයන් හා නියෑන්ඩර්තාල් මානවයන් අතර ඇති වූ තරගයේ දී නූතන මානවයන් ජයග්‍රහණය කිරීමට මෙය හේතු වන්නට ඇති බවට විද්‍යාඥයන් පවසන්නේ මේ නිසාය. මස්‌ පමණක්‌ නො ව වෙනත් ආහාර ද ඇතුළත් වඩා පුළුල් ආහාර රටාවක්‌ හිමි ව සිටි නූතන මානවයන් අඛණ්‌ඩව පැවත ආ අතර අතර, අධික ලෙස මස්‌ ආහාරයට ගැනීමට පුරුදු වී සිටි නියෑන්ඩර්තාල් මානවයින් වඳ වී ගිය බව මෙහි දී පිළිගැනේ.

නියෑන්ඩර්තාල් මානවයන් ගේ ආහාර රටාව පිළිබඳව මින් ඉහත දී ද පර්යේෂණ සිදු කර ඇත. එහි අරමුණ වූයේ මේ මානවයන් කෙබඳු ආහාරයක්‌ ගන්නා ලද්දේ ද යන්න සොයාබැලීමයි. එහෙත් ඒ පිළිබඳව ඇති සාධක ප්‍රමාණය අල්ප ය. මේ අතරින් සෘජු සාධක නොමැති තරම් ය. නිදසුනක්‌ ලෙස ගත හොත් නියෑන්ඩර්තාල් අස්‌ථි ආශ්‍රයෙන් කළ එක්‌ අධ්‍යයනයක දී ඒවායේ දැකිය හැකි වූ කාබන් හා නයිට්‍රජන් සමස්‌ථානික පිළිබඳව අවධානය යොමු කර තිබිණි. මෙහි දී අනාවරණය වූයේ ප්‍රොaටීනමය ආහාර පිළිබඳව වූ අතර නියෑන්ඩර්තාල් මානවයන් වැඩි වශයෙන් ආහාරයට ගත්තේ කවර සත්ත්වයින් ද යන්න හෙළි කිරීමට එම`ගින් හැකියාව ලැබිණි. නියෑන්ඩර්තාල් මානවයන් යනු දඩයම්කරුවන් පමණක්‌ ම වූ බව තවදුරටත් තහවුරු විය.

මේ මානවයන් ගේ ආහාරයේ ශාකමය ආහාර තිබුණේ ද යන්න ගැන වැදගත් සාධකයක්‌ හමු වූයේ නියෑන්ඩර්තාල් මානවයන් ගේ දත්වල තිබී ශාකමය ක්‌ෂුද්‍ර ෆොසිල සොයාගැනීමෙනි. එම`ගින් මේ මානවයන් වඩා සංකීර්ණ ආහාර වේලක්‌ අනුභව කළ බවට සාධක මතු විය. ඒ පර්යේෂණවලින් පෙන්වා දී තිබුණේ ඔවුන් මාංශමය ආහාර මෙන්ම ශාකමය ද්‍රව්‍ය ලබා ගත් බව හා මේ ශාකමය ආහාර වර්ග ගින්නේ පලහා ආහාරයට ගත් බවයි. දත්වල ශාකමය ක්‌ෂුද්‍රෆොසිල තිබීම වැදගත් කරුණක්‌ වුවත් එසේ හමු වූ පමණින් ඔවුන් ඒවා ආහාරයට ගත්තේ ද යන්න නිසැක ව ම පැවසිය හැකි ද යන්න ඇතැම් අය ප්‍රශ්න කර තිබිණි.

මේ සොයාගැනීම් අතරට අලුතින් ම එක්‌ වන්නේ මේ අතීත මානවයන් ගේ ආහාරයේ ස්‌වභාවය පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයකි. ඉන් හෙළි ව ඇත්තේ මේ මිනිසුන් ප්‍රධාන වශයෙන් සත්ත්ව මාංශ ආහාරයට ගත්ත ද, ශාකමය ආහාර ගැනීම සඳහා ද පුරුදු වී සිටි බවයි. එනම් නියෑන්ඩර්තාල් මානවයන් සර්වභක්‌ෂකතාව පෙන්වා තිබේ.

ශාකමය ආහාර ගත් බවට සාධක

මේ සඳහා භාවිත කර ඇත්තේ දකණුදිග ස්‌පාඤ්ඤයේ අලිකන්ටේ ප්‍රදේශයේ එල් සාල්ට්‌ (El Salt) නම් ස්‌ථානයේ පිහිටා ඇති විවෘත වාසස්‌ථානයකින් ලැබුණු සාධක ය. මේ ස්‌ථානයෙන් නියෑන්ඩර්තාල් මානවයන් විවිධ කාලවකවානුවල විසූ බවට සාධක ලැබී ඇති අතර ඒ අදින් වසර 40,000ත් 60,000ත් අතර කාලයකට ඉහත දී ය.

මේ ස්‌ථානයෙන් විවිධ ස්‌තරවලින් ලබාගත් පස්‌ කැණීම්වලින් හමු වූ සාම්පල අධ්‍යයනය කිරීම පර්යේෂකයන් පිරිස විසින් සිදු කරනු ලැබ ඇත. මේ පස්‌ නියෑදි කුඩු කර කාබනික ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ඇති අතර ඉන් ලබාගත් කාබනික ද්‍රව්‍ය මිනිස්‌ මළ ද්‍රව්‍යවලින් පැමිණෙන්නේ ද යන්න දැනගැනීම සඳහා ජෛව සලකුණු (biomarker) පවතී ද යන්න හඳුනාගැනීමට ඉන්පසුව උත්සාහ කර තිබේ. ඒ සඳහා වායු වර්ණලේඛ ශිල්පය - ස්‌කන්ධ භේද දර්ශක (gas chromatography-mass spectrometry GC-MS) තාක්‌ෂණය යොදාගන්නා ලදී. මේ තාක්‌ෂණය විවිධ කාර්ය සඳහා යොදාගන්නා අතර පානීය ජලයේ මිනිස්‌ මළද්‍රව්‍ය හා වෙනත් කාබනික ද්‍රව්‍ය තිබේ ද යන්න හඳුනාගැනීමට ද යොදාගනු ලැබේ.

මෙහි දී පර්යේෂකයන් අවධානය යොමු කර ඇත්තේ කොප්‍රොස්‌ටනොල් (coprostanol) නම් රසායනික ද්‍රව්‍යය හඳුනාගැනීම සඳහා ය. මේ රසායනික ද්‍රව්‍යය නිපදවනු ලබන්නේ මිනිසුන් ගේ ආහාර මාර්ගයේ දී අන්ත්‍රවල දී සත්ත්ව මාංශවලින් ලැබෙන කොලෙස්‌ටරෝල් පරිවෘත්තියට ලක්‌ වන අවස්‌ථාවේ දී ය. ඊට ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය හේතු වේ. කොප්‍රොස්‌ටනොල් සාන්ද්‍රණයේ උපරිම අගයක්‌ පැවතීම ම`ගින් මිනිසුන් ගේ මළද්‍රව්‍ය හඳුනාගැනීමට හැකියාව ලැබේ. එසේ ම ඔවුන් මේ ක්‍රමවේදය ම යොදාගනිමින් තවත් රසායන ද්‍රව්‍යයක්‌ වන 5-ස්‌ටිග්මස්‌ටනොල් (5-stigmastanol) නම් රසායන ද්‍රව්‍ය පවතී ද යන්න හඳුනාගැනීමට ද උත්සාහ කර ඇත. එම රසායන ද්‍රව්‍යය ශාකවලින් ලබාගන්නා ෆයිටොස්‌ටනොල් (phytostanol) බිඳදැමීමේ ක්‍රියාවලියේ දී නිපදවන රසායන ද්‍රව්‍යයකි.

මේ නියෑදි පරික්‌ෂාවේ දී නියෑදි සියල්ලේ ම කොප්‍රොස්‌ටනොල් පැවැති බවට සාධක ලැබී ඇත. එය අදාළ මළද්‍රව්‍ය නිකුත් කළ සතුන් විශාල ලෙසින් සත්ත්ව මාංශ සහිත වූ ආහාරවේලක්‌ අනුභව කර ඇති බවට සාධකයකි. එහෙත් පර්යේෂණයට ලක්‌ කළ නියෑදි දෙකකින් 5 -ස්‌ටිග්මස්‌ටනොල් හමු වී ඇත. මෙය ශාකමය ද්‍රව්‍ය අනුභවය පිළිබඳව පැහැදිලි සාධක වේ. මස්‌වල ඇතුළත් කොලෙස්‌ටරෝල්වලට සාපේක්‌ෂව ශාක තුළ ෆයිටොස්‌ටනොල් හමු වන්නේ වඩා අඩු ප්‍රතිශතයකිනි. මේ අනුව 5 -ස්‌ටිග්මස්‌ටනොල් හමු වන්නේ සුළු ප්‍රමාණයකින් වුව ද, ඉන් අදහස්‌ වන්නේ ශාකමය ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයකින් ආහාරයට ගත් බවකි. ඒ ශාකමය ආහාර වර්ග අතර විවිධ අල වර්ග, ගෙඩි වර්ග හා ඇට වර්ග වැනි ආහාර තිබිය හැකි ය. අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට අදාළ ප්‍රදේශයේ පැවැති දේශගුණය හා අවට ස්‌ථානයේ පැවැති ආහාර ද්‍රව්‍ය මත මේ ආහාරය තීරණය වන්නට ඇත. (මූලාශ්‍රය( PLoSONE,DOI:10.1371/journal.pone.0101045)

ඉදිරි පර්යේෂණවල අවධානය

කෙසේ වෙතත් අධ්‍යයනයට ලක්‌ කළ මේ මළද්‍රව්‍ය පැමිණියේ නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් බවට තහවුරු කළ යුතු ව ඇති බව මේ වාර්තාව පිළිබඳ අදහස්‌ දක්‌වා ඇති ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස වේ. මේ පර්යේෂණයේ නියෑළුණු විද්‍යාඥයන්ට අනුව, කොලෙස්‌ටරෝල් කොප්‍රොස්‌ටනොල් බවට පත් කිරීමේ හැකියාව ප්‍රයිමේටාවන් හැර වෙනත් ක්‌ෂීරපායි සත්ත්ව විශේෂවලට නොමැත. ඒ නිසා මේවා ප්‍රයිමේටා සතකු ගේ මළද්‍රව්‍ය බවට සැකයක්‌ නොමැත. එසේ ම වෙනත් ප්‍රයිමේටාවන් ගේa අස්‌ථි ශේෂ මේ ස්‌ථානයෙන් හමු නො වන නිසා මේවා නියෑන්ඩර්තාල් මානවයන් ගේ බවට නිර්ණය කර ඇත. එසේ ම පසෙන් හමු වූ කොප්‍රොලයිට්‌ (coprolite) හෙවත් ෆොසිලගත මළද්‍රව්‍ය හා පළිබෝධකයන් ද මිනිසුන් ගේ හමු වන ඒවා හා සමාන වීම මේ සඳහා තවදුරටත් වැදගත් සාධකයකි. පසුකාලයක දී, මේ ස්‌ථානයේ ගැවසුණු වෙනත් සත්ත්ව විශේෂවලින් එක්‌ වුණු අපද්‍රව්‍යවලින් මේ නියෑදි දූෂණය වීමට අවස්‌ථාවක්‌ තිබුණේ ද යන්න පැහැදිලි කළ යුතු බව තවත් පිරිස්‌ පෙන්වා දී ඇත. කෙසේ වෙතත් පාරිසරික සාධකවලින් මේ ස්‌ථානයේ දූෂණයක්‌ ඇති වී නොමැති බව මේ පර්යේෂකයන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් මේ මළද්‍රව්‍ය පැමිණියේ නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් නම්, උක්‌ත පර්යේෂණයෙන් ලැබෙන්නේ නියෑන්ඩර්තාල් මානවයන් ශාකමය ද්‍රව්‍ය ද යම් පමණකින් හෝ ආහාරයට ගත් බවට මේ වන විට පවත්නා පළමු සෘජු සාධක වේ. ලෝකයේ වෙනත් ප්‍රදේශවල නියෑන්ඩර්තාල් මානවයන් පිළිබඳව මේ හා සමාන අධ්‍යයන සිදු කිරීමෙන් මේ ආකාරයෙන් ශාකමය ආහාර ලබාගැනීම හුදෙක්‌ ඉ`දහිට සිදු කරන ලද්දක්‌ ද එසේ නැත හොත් මේ මානවයන් ගේ ප්‍රධාන ආහාරයේ කොටසක්‌ වී ද යන්න ගැන කරුණු අනාවරණය කරගත හැකි වනු ඇත. එසේ ම නියෑන්ඩර්තාල් මානවයන් ගේ ආහාරයේ කෙබඳු කාර්යයක්‌ හා වැදගත්කමක්‌ මේ ශාකමය ආහාරවලට ලැබී තිබේ ද යන්න අනාගතයේ දී හෙළි විය හැකි ය.

ධනේෂ් විසුම්පෙරුම
http://www.vidusara.com/

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය