කැඩුණු බිඳුණු දේහ කොටස්‌ අලුත්වැඩියා කරගැනීමේ සත්‍යාසන්න සිහිනය...

වලිගය කැඩුණු හූනකු නැවත වලිගයක්‌ වර්ධනය කරගන්නා බව ඔබ දනියි. පුනර්ජනනය (Regeneration) නම් මේ අසිරිමත් ක්‍රියාවලිය විවිධ සතුන් යොදාගනිමින් විද්‍යාගාරයක්‌ තුළ ක්‍රියාවට නගමින් එය නො නැවතී මිනිසා සම්බන්ධයෙන් පවා යොදාගත හැකි පරිදි වැඩිදියුණු කිරීමට උත්සාහ කරන පර්යේෂකයකු ලෙස මැසචුසෙට්‌ස්‌හි, මෙඩ්ෆෝඩ්හි ටෆ්ට්‌ස්‌ සරසවියේ පුනර්වර්ධන සහ සංවර්ධනාත්මක ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්‌ෂ, ජීව විද්‍යාඥ මයිකල් ලෙවින්ස්‌ හඳුන්වාදිය හැකි ය. මෙහි පළ වන්නේ ඔහු සමග නිව් සයන්ටිස්‌ට්‌ සඟරාව පැවැත්වූ සාකච්ඡාවක දී අනාවරණය වූ තොරතුරු ය.

ඔබ දේහ කොටස්‌ යළි වර්ධනය කරවීම සම්බන්ධ උනන්දුවක්‌ දක්‌වනවා. බොහෝ සත්ත්ව විශේෂවලට ස්‌වාභාවිකව ම ගාත්‍රා පුනර්ජනනය කරගැනීමේ හැකියාව පවතිනවා ද?

සතුන් ගණනාවකට ම, නැති වූ ගාත්‍රා කොටස්‌ නැවත වර්ධනය කරගත හැකියි. විලෝපිකයෙක්‌ හූනකු වලිගයෙන් ඩැහැගත් අවස්‌ථාවක හූනා දුවන අතර ගොදුරු කරගැනීමට ඉතිරි වන්නේ වලිගය පමණයි. ඊට හේතුව වලිගය කඩා දමා පැන යැමට හූනා දක්‌වන අපූරු සමත්කමයි. එමෙන් ම අහිමි වූ වලිගය නැවත වර්ධනය කරගැනීමේ හැකියාවත් හූනාට තිබෙනවා. ඇතැම් කෘමීන් ද මෙසේ ගාත්‍රා උපාංග නැවත වර්ධනය කරගන්නවා. සැලමැන්දරාවන්, පසැඟිල්ලන් සහ පොකිරිස්‌සන් වැනි සතුන්ට ද මෙවැනි හැකියාවන් තිබෙනවා. සීබ්‍රා මාළුවා (Zebrafish) ගේ වරල් ද පුනර්ජනනය සිදු වන අවයවයක්‌ ලෙස ප්‍රසිද්ධයි. අපූරුතම සිදුවීම නම් මේ මත්ස්‍යයා ගේ හෘදය ද සීමාසහිත ප්‍රමාණයක්‌ දක්‌වා පුනර්ජනනය වීමයි. මුවා ගේ අංවල අස්‌ථි, ස්‌නායු සහ සම සැම වසරක ම නැවත වර්ධනය වෙනවා.

මෙවැනි අවයවයක්‌ පුනර්ජනනය වූ විට එය වෙන් වී ගිය අවයවයට සැම අතින් ම සමාන ද?

සමහර විට එසේ විය හැකි වුවත් සැම විට ම එසේ නො වෙයි. සැලමන්දරාවන් ගේ ගාත්‍රා සම්පූර්ණයෙන් ම පුනර්ජනනය වෙනවා. එහෙත් ඉස්‌ගෙඩියන් ගේ නැවත සෑදුණ වලිගය ව්‍යුහාත්මකව ඉතා හොඳ වුවත් ස්‌නායු වර්ග කිහිපයක්‌ ම දක්‌නට ලැබෙන්නේ නැහැ. Planaria පැතලි පණු විශේෂය පුනර්ජනනය සම්බන්ධ "විශේෂඥයන්" ලෙස හැඳින්විය හැකියි. ඔවුන් ගේ පුනර්ජනනය පරිපූර්ණයි. ඔවුන් ගේ හිස ඇතුළු සියලු කොටස්‌ යළි වර්ධනය වෙනවා. මෑත දී කරන ලද අධ්‍යයනයකට අනුව මේ පැතලි පණුවා ගේ හිස පුනර්ජනනය වන්නේ හිස අහිමි වීමට පෙර හිසෙහි තැන්පත් ව තිබූ තොරතුරු සම්භාරය ද සමගයි.

ඔබ ළාබාල ගෙම්බන් ගේ පාද පුනර්ජනනය කිරීමේ කටයුත්තට මුලපුරා තිබෙනවා. ඒ සඳහා යොමු වූයේ කෙසේ ද?

වසර කිහිපයකට පෙරාතුව මගේ විද්‍යාගාරය තුළ ළාබාල ඉස්‌ගෙඩියන් ගේ වලිග පුනර්ජනනය කිරීමට සමත් ජෛවවිද්යුත් සංඥා - විශේෂයෙන් ම සෛලයක්‌ විද්යුත් ආවේග සම්ප්‍රේෂණය නො කරන අවස්‌ථාවේ දී එනම් විවේකී විභව අවස්‌ථාවේ දී එතුළ සහ සෛලය අවට පරිසරයේ පවත්නා විද්යුත් ආරෝපණ අතර වෙනස - පරීක්‌ෂාවට ලක්‌ කළා. අප සොයාගත් පරිදි පුනර්ජනනය සඳහා අවශ්‍ය කරන ජෛව විද්යුත් තත්ත්වය ඇති කිරීම සඳහා සෛලය මතුපිට සංරචක දෙකක්‌ පැවතිය යුතුයි. එකක්‌ නම් සෛලය මතුපිටින් පිටතට හයිඩ්‍රජන් පොම්ප කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රොaටෝන පොම්පයයි. අනෙක සෝඩියම් අයනවලට සෛල පටලය හරහා ගමන් කිරීමට ඉඩ සලසන විශේෂිත සෝඩියම් නාළිකාවයි. මේ ජෛවවිද්යුත් තත්ත්වය, නැවත අදාළ ව්‍යුහය ගොඩනැංවීමට ප්‍රමාණවත් තරමින් සෛලවලට ගුණනය වීමට, පුනර්ජනන - විශේෂී (Regenaration-speific) ජාන පණගැන්වීමට සහ වර්ධනය වන අවයවය දෙසට ස්‌නායු සෛල වර්ධනය වීමට මං සැලසීමට ඉතා වැදගත්.

මේ විශේෂිත ජෛව විද්යුත් තත්ත්වය පරිණත ඉස්‌ගෙඩියන් සහ ගෙම්බන්ට අදාළව ප්‍රතිනිර්මාණය කිරීමට හැකි වන්නේ කෙසේ ද?

අපේ අදහස වන්නේ ගාත්‍රා ගොඩනැ`ගීමේ "මොඩියුලයක්‌" නිර්මාණය කිරීමටයි. මෙවැනි මොඩියුල, දේහ පටකයක්‌ පුරා පවතින සෛලවල විවේකී විභව රටාව තුළ කේතකරණය වී පවතින බව පසුගිය දශකය පුරා අප කළ අධ්‍යයනවලින් ලද දත්ත ම`ගින් අනුමාන කළ හැකියි. කුමන පටක සහ අවයව සෑදෙන්නේ ද, ඒවා සෑදෙන්නේ කොහේ ද යන්නත් මේ රටාව ම`ගින් නිර්ණය වනවා. ස්‌වාභාවිකව කැඩී ගිය වලිග නැවත සාදාගැනීමේ හැකියාව නැති පරිණත ඉස්‌ගෙඩියන් තුළ පුනර්ජනන ජෛව විද්යුත් තත්ත්ව ප්‍රේරණය සඳහා අප කළේ යීස්‌ට්‌වල ඇති ප්‍රොaටෝන පොම්පයක්‌ ඉස්‌ගෙඩියන්ට හඳුන්වා දීමේ ජාන චිකිත්සාවක්‌ සිදු කිරීමයි. සුෂුම්නාව ද ඇතුළත් සම්පූර්ණ ක්‍රියාකාරී වලිගයක්‌ පුනර්ජනනය කිරීම එම`ගින් උත්ප්‍රේරණය කළා. අනතුරුව අපි ජාන චිකිත්සාව වෙනුවට ඉහත ප්‍රේරණ කටයුත්ත සඳහා කළේ අප විසින් ම සාදන ලද ඖෂධයක්‌ භාවිත කිරීමයි. එම ඖෂධ ලබා දුන් පසු වියපත් ඉස්‌ගෙඩියන් ගේ පසුපස ගාත්‍රා සෑදීම උත්ප්‍රේරණය වී තිබුණා.

අනෙක්‌ සතුන් තුළ පුනර්ජනනය සිදු කරවමින් ඔබ උගත් දේ මිනිසුන් කෙරෙහි ද යොදාගැනීමට හැකි වේ ද?

මිනිසා සහ සරලතම සතුන් අතර පවා වන බොහෝ සෛලවල ජීවවිද්‍යාත්මක ගුණ එකිනෙකට සමාන වන අතර සංකීර්ණ අවයව පුනර්ජනනය සඳහා හේතු වන රටා ඇති වීමේ යාන්ත්‍රණ (පියවරෙන් පියවර සිදු වන මූලික ක්‍රියාවලි) ද මීට ඇතුළත්. එසේ ම ජෛව-විද්යුත් පාලනය සම්බන්ධ මූලික යාන්ත්‍රණ ද එකිනෙක සමානයි. ජර්මන් කායික විද්‍යාඥ එමිල් ඩු බොයිස්‌ - රේමන්ඩ් 1843 වසරේ දී මුලින් ම මානව සමෙහි සහ තුවාලවල විද්යුත් ධාරාවන් මැනීම සඳහා ගැල්වනෝමීටරය භාවිත කළ තැන සිට මේ දක්‌වා සතුන් සමග පර්යේෂණ සිය ගණනක්‌ සිදු කරමින් අධ්‍යයන සිදු වී තිබෙනවා. මේ ධාරා, තුවාල සුව වීම සම්බන්ධ වැදගත් භූමිකාවක්‌ ඉටු කරනවා. ඩේවිඩ් කැප්ලන් ගේ ජෛව ඉංජිනේරු විද්‍යාගාරය තුළ මෑත දී කරන ලද මානව පරිණත පියවි සෛල (Adult stem cells - දේහයේ පවතින පටකයක හෝ අවයවයක ඇති එම පටකයට හෝ අවයවයට විශේෂිත වූ සෛල අතර තිබෙන තවමත් විශේෂීකරණය නො වූ එහෙත් එසේ වීමේ හැකියාවක්‌ සහිත සෛල මෙනමින් හැඳින්වේ. මේ සෛලවල ප්‍රාථමික කාර්යය වන්නේ පටකය නඩත්තුවට හා අලුත්වැඩියාවට දායක වීමයි). අධ්‍යයන ම`ගින් පෙන්වා දී ඇත්තේ සෛල මතුපිට පුරා ඇති වන, විවේකී විභවයන්ට, අදාළ පරිණත පියවි සෛල සතු විශේෂීකරණය වීමේ හැකියාව පාලනය කළ හැකි බවයි.

කෙසේ වෙතත් යම් දිනෙක මානව ගාත්‍රා පුනර්ජනනය කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි සිතමු. එය සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය කරන්නේ මොනවා ද?

අපට කරුණු දෙකක්‌ අවශ්‍යයි. පළමුවැන්න විශේෂිත අවයව නිර්මාණය සඳහා ජෛව විද්යුත් රටා බලපාන්නේ කෙසේ ද යන්න වටහාගැනීමයි. අප මෑත දී පෙන්වා දී තිබෙනවා ගෙඹි කලලයක ඕනෑ ම ප්‍රදේශයක්‌ සම්පූර්ණ ඇසක්‌ බවට වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බව. එය ප්‍රතිවැඩසටහන්කරණයක්‌ ලෙස හඳුන්වන්න පුළුවන්. එසේ ම අපි පැතලි පණුවා ගේ අපර ප්‍රදේශයේ පටක සම්පූර්ණ හිසක්‌ බවට පත් විය හැකි වන සේ ප්‍රතිවැඩසටහන්කරණය කර තිබෙනවා. එහෙත් අප තවමත් සිටින්නේ විශාල අභියෝගයක පාමුලයි. මිනිස්‌ දේහ අවයවවල ජ්‍යාමිතිකමය සැලසුම්කරණයෙහි ලා දායක වන සංඥා තේරුම්ගැනීමේ ආරම්භක අවස්‌ථාවේයි අපි සිටින්නේ. දැන් අපේ ඉලක්‌කය වන්නේ "ගාත්‍රා සාදනු" ලෙස විධාන දෙන ජෛව විද්යුත් රටා හඳුනාගැනීමයි.

ඊට අමතරව අවශ්‍ය මොනවා දැයි සඳහන් කළොත්?

දෙවැන්න නම් අපට තුවාලයක වූ සෛල මත නිවැරැදි ජෛව විද්යුත් තත්ත්වය ඇති කිරීමට උපක්‍රමයක්‌ අවශ්‍යයි. උදාහරණයක්‌ ලෙස කැප්ලන් ගේ විද්‍යාගාරයේ ජෛව ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද BIODOME උපාංගය දැක්‌විය හැකියි. එය කලලාවාරික තරලය (භ්‍රෑණය වටා පිහිටි කලලාවාරය මඟින් කලලාවාරික කුහරය තැනෙයි. එම කුහරය තුළ පිහිටි තරලය කලලාවාරික තරලයයි) වැනි ජලීය පරිසරයක්‌ නිර්මාණය කරන ජෛව ප්‍රතික්‍රියකයක්‌. අපට එම`ගින් තුවාලය සහ නව පටක තුළ අයන ධාරා ප්‍රේරණය කළ හැකියි.

ඉදිරි දිනක අත්පාවලට සිදු වන දරුණු අනතුරුවල දී අහිමි වූ කොටස්‌ නැවත ලබා දීමට මේ ක්‍රමය යොදාගත හැකි වේ වි.

පුනර්ජනනය සම්බන්ධ මෙවැනි පර්යේෂණවල පර්යේෂකයන් බොහෝ දෙනා නියෑළෙනවා ද?

මේ ක්‌ෂේත්‍රයේ තවමත් නියුතු ව ඉන්නේ ඉතා සුළු පිරිසක්‌. සෛලවල හැසිරීමට බලපාන අයුරින් විද්යුත් ක්‌ෂේත්‍ර ඇති කිරීම සම්බන්ධව සතුටුදායක පර්යේෂණ සිදු කර තිබෙනවා. එහෙත් ප්‍රධාන කොට ම අවශ්‍ය වන්නේ අණුක මට්‌ටමින් ස්‌වාභාවික වෝල්ටීයතා වෙනස්‌වීම් හඳුනාගැනීම සහ පාලනය කිරීමයි. (මේවා ගාත්‍රා, ඇස්‌ සහ මොළය වැනි සංකීර්ණ අවයවවල ව්‍යුහය සහ ස්‌ථානගත වීම පාලනය කරන පාලක උපකරණ ලෙස දැක්‌විය හැකියි).

බොහෝ පර්යේෂකයන් පියවි සෛල ජෛව රසායනික සහ යාන්ත්‍රික ලෙස පාලනය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර එම`ගින් ඔවුන් අවයව බද්ධ කිරීම සඳහා උචිත පරිදි ඒවා ගොඩන`ගාගැනීමටත් ජෛව ඉංජිනේරුකරණයට ලක්‌ කිරීමටත් සමත් ව තිබෙනවා. ඔබ මේ පියවි සෛල විද්‍යාවට අදාළ ගැටලු සහමුලින් ම විසඳාගෙන පියවි සෛලයක්‌ වෙනත් සෛල වර්ගයක්‌ බවට අපේ ඕනෑකම අනුව වෙනස්‌ කරගැනීමට සමත් වූ දිනෙක වුව ද මුහුණ දෙන අභියෝගය වන්නේ එය වඩා සංකීර්ණ ගාත්‍රා වැනි අවයවයක්‌ බවට පත් කරන්නේ කෙසේ ද යන්නයි. පියවි සෛල එකලස්‌ කර සෘජු ව ම සංකීර්ණ අවයව බවට පත් කිරීම ක්‌ෂුද්‍ර පරිමාණයෙන් කළමනාකරණය කිරීම ඉඳුරා ම අසීරු කටයුත්තක්‌. එහෙත් අප පෙර කතා කළ ජෛව විද්යුත් ක්‍රියාවලිය හුදෙක්‌ පියවි සෛල විශේෂිත සෛල බවට පරිවර්තනය කිරීමට පමණක්‌ සීමා නො වී මහා පරිමාණයේ ප්‍රතිවැඩසටහන්කරණයකට මං සලසනවා. එනිසායි මා සිතන්නේ තම අවයව ගොඩන`ගාගන්නා, ධාරක ජීවියා දැනටමත් යොදාගන්නා උපායමාර්ගයක්‌ මේ සඳහා අනුගමනය කළ යුතු බව.

මේ තාක්‌ෂණයේ වෙනත් විභවතාවන් මොනවා ද?

අපට පෙර සඳහන් කළ රටා ඇති වීම සම්බන්ධ පාලනයක්‌ ඇත්නම් අපට තුවාලයක්‌, රෝගයක්‌, පරිහානියට පත් වීමක්‌, පිළිකා තත්ත්වයක්‌ හෝ වයස්‌ගත වීම නිසා පවා හානි සිදු වූ අවයවයක්‌ අලුත්වැඩියා කිරීම ප්‍රේරණය කළ හැකියි. නිදසුනක්‌ ලෙස වයස්‌ගත වීමත් සමග පටක පුනර්ජනනය කරගැනීමට ඇති හැකියාව නිසා planaria‌ පණුවා ගේ නිශ්චිත ආයු කාලයක්‌ පවා පැවසිය නොහැකියි.

මූලිකව ම ජෛව-වෛද්‍ය විද්‍යාවේ බොහෝ ගැටලුවලට විසඳුම වන්නේ පුනර්ජනනය කෙරෙහි පවත්වාගන්නා පුළුල් පාලනයයි. එමෙන් ම එම`ගින් සමාජයට විශාල ආර්ථිකමය බලපෑමක්‌ ද සිදු කරනවා. ජීවිතයේ අවසාන වසර කිහිපය කල් දමාගැනීම සඳහා අද අපට දිනෙන් දින වැඩි වෙමින් පවතින වියදම් සහිත ප්‍රතිකාර වෙත යොමු වීමට බොහෝ සෙයින් සිදු වනවා. දිනෙන් දින ඇති වන සැම ප්‍රවණතාවක්‌ ම`ගින් ම "ගිලෙමින් පවතින වයස්‌ගත වීමේ නෞකාවට" පිළියම් කෙරෙන අවධියක මීළඟ නව ප්‍රවණතාව වෙත යොමු වී ජීවිතය නො මැරී පවත්වාගැනීමට ගෙවන්නට වන්නේ අධික මිලක්‌. එහෙත් ජීවිත කාලය මුළුල්ලේ ම නිරෝගී අවයව පුනර්ජනනය කිරීම ම`ගින් මේ චක්‍රය බිඳ දැමිය හැකියි.

ඔබට යැමට මාර්ගයක්‌ තිබෙනවා. එහෙත් අපව එතැනට ගෙන යැම සඳහා තව කොපමණ කාලයක්‌ ගත වේ ද?

මේ සම්බන්ධව වැඩි යමක්‌ අනුමාන කළ නොහැකියි. එය විද්‍යාවේ ඉදිරි දිශානතිය සහ මේ මිල අධික පර්යේෂණ සඳහා යන අධික වියදම දැරීම යන කරුණු මත රඳා පවතිනවා. එහෙත් මා සිතන්නේ ගෙම්බන් වැනි සතුන් භාවිතයෙන් කරන පර්යේෂණ ම`ගින් අවසානයේ ජෛව විද්යුත් කේත හඳුනාගැනීමටත් සෛල කාණ්‌ඩ, ඒවා අනාගතයේ දී පරිවර්තනය වන අවයවවල "ජ්‍යාමිතික මතකය" හෝ "අච්චුව" ගබඩා කරගෙන ඇති අයුරු තේරුම්ගැනීමටත් හැකි වනු ඇති බවයි. අපට මේ විද්යුත් භාෂාව එක්‌ වරක්‌ කථා කිරීමට හැකි වුව හොත් එහි වාසිසහගත තත්ත්ව අනුව අවශ්‍යතාව අනුව එය යොදාගත හැකියි. එසේ ම මේ සංඥා ම යොදාගනිමින් ස්‌වාභාවික අවයව අලුත්වැඩියාව ඉක්‌මවූ කෘත්‍රිම ජෛව ඉංජිනේරුකරණයක්‌ හරහා කැමැති ආකාරයේ විශේෂීකරණයකින් යුත් නව දෙමුහුම් රොබෝවන් (Biobots) නිර්මාණයටත් එය යොදාගත හැකි වනු ඇති. කෙසේ වෙතත් මේ තාක්‌ෂණය වෛද්‍ය විද්‍යාවේ දී යොදාගැනීමේ අභියෝගය ජයගන්නා දිනය ගැන නම් තවම නිශ්චිත නැහැ. එහෙත් සමස්‌තයක්‌ ලෙස මේ ප්‍රවේශය ගැන මගේ ඇත්තේ සුබවාදී දැක්‌මක්‌.

මනෝජ නදීශන

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු