සිංහල වෙද මහතා අවිද්‍යාවේ රඳවා තබන නූගත්තු

සිංහල වෙද මහතා
අවිද්‍යාවේ රඳවා තබන නූගත්ත


ආචාර්ය නලින් ද සිල්වා මහතා "සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත් කරන උගත්තු" යන මැයෙන් ලිපියක්‌ ලියා ඇත (විදුසර 18.06.14). පුරුදු පරිදි ලිපියේ තුනෙන් දෙකක්‌ පුරවාගෙන ඇත්තේ මගේ ලිපිවල කොටස්‌ එහෙම පිටින් උපුටාගෙන ය. මෙසේ කරන්නේ මාතෘකාව යටතේ ඔහුට කීමට දෙයක්‌ නැති නිසා ය. මා මේ බව කිහිප විටක්‌ පෙන්වා දුන් නුමුදු ඔහුට වෙන කරන්නට දෙයක්‌ නැත. අදහස්‌වලින් බංකලොත් වූ විට වෙන කුමක්‌ කරන්න ද? කෙසේ වුවත් මගේ ලිපිවල සඳහන් අදහස්‌ නැවත නැවතත් විදුසර සඟරාවේ පළ කිරීමට ගන්නා මහන්සිය පිළිබඳව මම ඔහුට ස්‌තුති කරමි.

සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත්a කරන උගතුන් එසේ කරන්නේ කෙසේ ද යන්න නලින් මහතා පෙන්වා දී නැත. මා පෙන්වා දී ඇත්තේ සිංහල වෙදකම පදනම් වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත බව ය. මේ නිසා එය යම් තරමකට විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අනුගමනය කරයි. යම් කිසි රෝග ලක්‌ෂණයකට සුදුසු බෙහෙත් සිංහල වෙද මහතා ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි ම`ගින් සොයාගෙන ඇත. මේ බෙහෙත් එම රෝග ලක්‌ෂණ ඇති ව පැමිණෙන රෝගියකුට ලබා දුන් විට එම රෝග ලක්‌ෂණය සුව වන බව සිංහල වෙද මහතා අත්දැකීමෙන් දනී. එම බෙහෙත එම රෝග ලක්‌ෂණය ඇති රෝගීන් සිය දෙනකුට ලබා දුන් විට අඩු තරමින් අනූවට වැඩි දෙනකු ගේ රෝග ලක්‌ෂණ සුව වන බව ඔහු අත්දැකීමෙන් දනී. මෙය පරීක්‌ෂණ, නිරීක්‌ෂණ සහ නිගමන යන විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිත කරන ක්‍රමය මිස වෙන බහුභූතයක්‌ නො වේ. එම බෙහෙත සිංහල වෙද මහතා සොයාගෙන ඇත්තේ නාථ දෙවියන් ගෙන් හෝ එවැනි ලණු දෙන වෙනත් දෙවියකු ගෙන් නො වේ. එම සොයාගැනීම විද්‍යාත්මත සොයාගැනීමක්‌ වන්නේ ය. එය කවදත් කොතැනත් තිබුණු විද්‍යාව මිස වෙන දෙයක්‌ නො වේ. මෙලෙස බලන කල සිංහල වෙද මහතා තරමක විද්‍යාඥයෙකි. ඔහු සිටින්නේ විද්‍යාව භාවිත කරමිනි. සිංහල වෙද මහතා අවිද්‍යාවට තල්ලු කරන්නට දඟලන්නේ නලින් මහතා ය. ඔහු එසේ කරන්නේ සිංහල වෙද මහතාට විද්‍යාව සුදුසු නැති බව පෙන්වා දෙන්නට තැත් කිරීමෙනි. සිංහල වෙදකම දියුණු කළ හැක්‌කේ දියුණු විය යුත්තේ අවිද්‍යාව භාවිත කොට නො ව එය බිහි වූ දා පටන් භාවිත කළ විද්‍යාව මාර්ගයෙනි. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව මාර්ගයෙනි. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව අද වන විට දිගු ගමනක්‌ පැමිණ ඉතා ම දියුණු තත්ත්වය පවතී. සිංහල වෙද මහතා භාවිත කරන මුල් අවධියේ පැවැති විද්‍යාව දියුණු කොට අද පවතින තත්ත්වයට ගෙන ඒමේ වරද කුමක්‌ ද? එසේ නැති ව සිංහල වෙදකම දියුණු කළ හැක්‌කේ කෙසේ ද? නාථ දෙවියන් ගේ පිහිටෙන් ද? නාථ දෙවියන් ගෙන් උතුරුමැද පළාතේ පවතින වකුගඩු රෝගයට හේතු සොයාගත් අන්දමට ද එය කළ යුත්තේ? නැතිනම් නලින් මහතා කියන්නේ සිංහල වෙදකම දියුණු කළ යුතු නැත කියා ද?

මා පවසා ඇත්තේ ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද ඉතා අනගි බෙහෙත් හේත් ඇති බව ය. රෝග සුව කිරීමේ හැකියාවක්‌ මේ වෙදකම්වලට නැති බවක්‌ මා පවසා නැත. මේ වෙදකම් දියුණු වී නැත්තේ රෝගයකට හේතුව සොයාගැනීමේ විද්‍යාව ප්‍රගූණ කොට නැති නිසා ය. එසේ ම බෙහෙත්වල ඇති රෝගය සුව කිරීමේ හැකියාව ඇති රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමේ ක්‍රම දියුණු කොට නැති නිසා ය.

ලෝකයේ පැරැණි ශිෂ්ටාචාරවල මෙවැනි වෙදකම් තිබූ බවට සාක්‌ෂි ඇත. පැරැණි වෙද්දු රෝගවලට සුදුසු බෙහෙත් හේත් ඉන්ද්‍රිය ගෝචර මාර්ගයෙන් තම පරිසරයෙන් සොයාගත් හ. මේ ක්‍රම බොහෝ සෙයින් දියුණු වූයේ අරාබියේ ය. එම ක්‍රම පොත්පත්වල ලියවුණේ අරාබියේ ය. එම පොත්පත් ස්‌පාඤ්ඤ භාෂාවට පරිවර්තනය වී යුqරෝපයට සංක්‍රමණය විය. යුරෝපයේ හිපොක්‍රටිස්‌, ගේලන් වැනි වෛද්‍ය විද්‍යාඥයෝ මේ පොත්පත්වලින් විශාල ප්‍රයෝඡන ලබාගෙන වෛද්‍ය විද්‍යාව තවත් දියුණු කළ හ. විද්‍යාව සහ තාක්‌ෂණයේ දියුණුවත් සමඟ ශරීරයේ ව්‍යුහය, ක්‍රියාකාරීත්වය සහ රෝග සෑදෙන ආකාරය සොයාගැනීමට පුළුවන් විය. වෛද්‍ය විද්‍යාවේ මෙවැනි දියුණුවක්‌ ඉන්දියාවේ ද සිදු විය යුතු ව තිබිණි. ඉන්දියාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉතා දියුණු මට්‌ටමක පැවතියේ ය. එම තාක්‌ෂණය යුරෝපයට සංක්‍රමණය විය. එහෙත් අරාබිය ඉන්දියාව ආක්‍රමණය කිරීම නිසා මේ දියුණුව සිදු වූයේ නැත. මේ විස්‌තර මගේ ලිපිවල මීට පෙර දීර්ඝ ලෙස සඳහන් කොට ඇත.

නලින් මහතා කියන්නේ ආයුර්වේදය සහ සිංහල වෙදකම මෙලෙස ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ නමුත් දියුණු නො වූ විද්‍යාවක්‌ නො වන බව නම් ඔහු ගේ එම අදහස ඔප්පු කරන්නට සාක්‌ෂි ඉදිරිපත් කළ යුතු ය. සිංහල වෙද මහතා රෝග ලක්‌ෂණ සොයාගත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි භාවිත නො කර වෙන ක්‍රමයකින් නම් එම ක්‍රමය කුමක්‌ දැයි පෙන්වා දිය යුතු ය. එසේ නො කර මා විස්‌තර වශයෙන් ලියූ වෛද්‍ය විද්‍යාවේ ඉතිභාසය වැරැදි බව පෙන්වන්නට ප්‍රයත්නයක්‌ දැරීම ප්‍රශ්නය ම`ගහැරීමකි. අධික රුධිර පීඩනය, දියවැඩියාව, මධුමේහය පිළිබඳව නන් දෙඩවීම ද ඒ ප්‍රයත්නයේ කොටසකිs. මේවා ගැන කතා කියන්නේ ඇයි දැයි ඇසූ විට තවත් එවැනි ම දේ පවසයි. සිංහල විද්‍යාවේ දැනුම ලබාගැනීමේ මාර්ගය ඉන්ද්‍රිය ගෝචර වූ කවදත් කොතැනත් තිබූ විද්‍යාත්මක ක්‍රමවේදය නො වන්නේ නම් ඒ බව ඔප්පු කර පෙන්විය යුතු ය. මූලික ප්‍රශ්නය මෙලෙස අමතක කොට වැදගත්කමින් අඩු දේ ගැන මනස්‌ගාත කියවන්නේ මූලික ප්‍රශ්නයට ඔහු ළඟ උත්තර නැති නිසා ය.

සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ වෙනත් විද්‍යාත්මක ක්‍රමයක්‌ ඇතොත් එය පෙන්වා දිය යුතු ය. සිංහල වෙද මහතා නාඩි බලා අධික රුධිර පීඩනය සොයාගන්නවා නම් එය ඉන්ද්‍රිය ගෝචර වූ විද්‍යාත්මක ක්‍රමයකි. එය දියුණු කර ගත්තා නම් නවීන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවලට අනුව අධික රුධිර පීඩනය සොයාගැනීමේ ක්‍රම දක්‌වා දිගු ගමණක්‌ එන්නට තිබිණි. එහෙත් අද ශ්‍රී ලංකාවේ පමණක්‌ නො ව ඉන්දියාවේ පවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට අධික රුධිර පීඩනය මනින බටහිර ක්‍රමය උගන්වයි. වෙද්දු එම ක්‍රමය භාවිත කරති. අධික රුධිර පීඩනය මැනීම සාපේක්‌ෂ හෝ නිරපේක්‌ෂ මිනුම් ක්‍රමයක්‌ ලෙස සඳහන් කිරීම නලින් මහතා ගේ මෝඩ විකෘති කිරීමක්‌ මිස වෙන කුමක්‌ ද? ආයුර්වේද විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් නලින් මහතා තරම් අඥාන වූවා නම් විද්‍යාවේ දියුණුව විසින් ආයුර්වේදයට ළඟා කර දිය හැකි විශාල යහපත නැති වී යන්නට ඉඩ ඇත. වාසනාවකට මෙන් එම ගුරුවරු අඥානයෝ නො වූ හ. මේ නිසා අධික රුධිර පීඩනය හරිහැටි නිමාණය කොට බෙහෙත් මාත්‍රාව අඩු හෝ වැඩි කොට නියම ලෙස රෝගියාට ලබා දිය හැකි ය. මේ ගුරුවරුන් තවත් කළ යුතු කාර්යයක්‌ වන්නේa මේ බෙහෙත්වල ඇති රසායනික ද්‍රව්‍ය මොනවා දැයි සොයාගැනීම ය. මේ සඳහා නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කිරීමට ඔවුන් උනන්දු විය යුතු ය. මීට පෙර ලිපියක සඳහන් කළ ලෙස මේ දෙය ද දැන් සිදු වෙමින් පවතී. මෙය සිදු විය යුතු බව ය මගේ ලිපිවල සඳහන් කළේ. එය සිංහල වෙද මහතා බටහිර වෙදකමට යටත් කිරීමක්‌ වන්නේ කෙසේ ද? කවුරු හෝ කාගෙන් හෝ ප්‍රයෝජනවත් දෙයක්‌ ඉගෙනගැනීම යටත් වීමක්‌ ද? සිංහල සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට බටහිර වෛද්‍යවරුන් ගෙන් ඉගෙනගත හැකි බොහෝ පාඩම් ඇත. එසේ ම බටහිර වෛද්‍යවරුන්ට ද සිංහල සහ ආයුර්වේද වෛද්‍යවරුන් ගෙන් ඉගෙනගත හැකි බොහෝ දේ තිබේ. මේ ක්‍රම දෙක ම කවදත් කොතැනත් තිබූ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රම වන්නේ ය. එක්‌ ක්‍රමයකට විද්‍යාත්මක හා තාක්‌ෂණික දියුණුවේ එල ප්‍රයෝජන යහතින් ලැබී දියුණු වී ඇත. අනෙක්‌a ක්‍රමය ද එම මාර්ගයේ තව දුරක්‌ යා යුතු ය. විද්‍යාත්මක ක්‍රමවේදය කාටත් අයිති, කාගේත් උරුමයක්‌ වූ දැනුම ලබාගැනීමේ එක ම ක්‍රමය වන්නේ ය. එම ක්‍රමය භාවිත කිරීම කාට වත් යටත් වීමක්‌ හෝ නතු වීමක්‌ හෝ දාසයන් වීමක්‌ හෝ වහල් වීමක්‌ හෝ නො වන්නේ ය. ඒ ලෙස සිතන තරම් අප කුහක විය යුතු නැත. බටහිර අධිරාජ්‍යවාදී පිළිවෙතට අප විරුද්ධ විය යුතු ය. ඊට විරුද්ධ ව අප ගේ මුතුන් මිත්තන් සටන් කළා මෙන් අද රටේ ඉන්නා නායකයන් කරනවා මෙන් අප සැවොම සටන් කළ යුතු ය. එහෙත් බටහිර විද්‍යාව හෝ බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර කියා ඉවත දැමුව හොත් එය සිංහල ජාතියේ අවසානය බව අප වටහාගත යුතු ය. අප කළ යුත්තේ දියුණු කිරීමට අප ද දායක වූ විද්‍යාව භාවිත කොට අප ගේ රට ජාතිය න`ගා සිටුවීම ය. අපේ දේ විද්‍යාව මාර්ගයෙන්

රැකගෙන තවත් දියුණු කිරීම ය. එල්ටීටීඊයට විරුද්ධ යුද්ධය දිනුවේ විද්‍යාව විශාල ලෙස භාවිතා කොට ය. එසේ නො කළා නම් විද්‍යාව යොදා ඔවුන් අපව සුන්නත් දුහුවිලි කරනවාට සැක නැත.

නලින් මහතා පවසා ඇත්තේ සිංහල වෙදකමට අනුව අධික රුධිර පීඩනය රෝගයක්‌ නො වන බව ය. එසේ නම් එය කුමක්‌ ද? අධික රුධිර පීඩනයට විවිධ හේතු ඇති බව ඔහු පවසයි. මේ හේතු නිසා සෑදෙන්නේ රෝගයක්‌ නො වන්නේ නම් වෙන කුමක්‌ ද? එම හේතු සහ අධික රුධිර පීඩනය සම්බන්ධ වන්නේ කෙසේ ද? අධික රුධිර පීඩනයට ඒවා හේතු බවට සාක්‌ෂි තිබේ ද? මේ ප්‍රශ්නවලට නලින් මහතාට උත්තර සැපයිය නොහැකි ය. මක්‌ නිසා ද සිංහල වෙදකම තුළ එම උත්තර නැති බැවිනි. අධික රුධිර පීඩනය ඇතැයි සැක හැර දැන ගැනීමේ ක්‍රමයක්‌ සිංහල වෙදකමේ ඇතිනම් නලින් මහතා එය පෙන්වා දිය යුතු ය. නාඩිවලින් පමණක්‌ එය කළ හැකි ද යන්න සක්ෂි ඇති ව පෙන්වා දිය යුතු ය. මානසික හේතු හැරුණු විට ඇත්තේ වෙන මොන හේතු ද? එම හේතු සොයාගන්නේ කෙසේ ද?

සැම රෝගයකට ම රෝග ලක්‌ෂණ ඇත. එසේ ම රෝගයට හේතු එකක්‌ හෝ කිහිපයක්‌ හෝ ඇත. රෝගයක්‌ ලෙස හඳුනාගැනෙන්නේ රෝග ලක්‌ෂණ තිබෙන විට ය. තව ද එම රෝගය ශරීරයේ සෑදෙන ආකාරය ද වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. එසේ ම රෝගය නිසා රුධිරය, මුත්‍රා, අසුචි වැනි දේවල ඇති වන වෙනස්‌කම් නොයෙකුත් පරීක්‌ෂණ මාර්ගයෙන් සොයාගත හැකි ය. මෙලෙස ලබාගන්නා සාක්‌ෂි ගොන්න එකකට එකක්‌ ආධාරකයක්‌ ලෙස එකතු කොටගත හැකි ය. රෝගය සැක හැර ඇති බව දැනගන්නේ එසේ ය. එය බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමය වේ. සිංහල වෙදකම තවමත් රෝගයක්‌ හඳුනාගන්නේ රෝග ලක්‌ෂණවලින් පමණි. එසේ හඳුනාගන්නා රෝගය කුමන අන්දමේ වෙනසක්‌ ශරීරයේ පටකවල ඇති කරනවා දැයි සිංහල වෙදකම දන්නේ නැත. රුධිරය පරීක්‌ෂා කිරීමේ ක්‍රම කිසිවක්‌ ඒ ක්‍රමයේ නැත. ශරීරයේ ඇතුළේ සිදු වන වෙනස්‌කම් ශරීරය පිටතින් පමණක්‌ බලා සොයාගැනීම සම්පූර්ණ වූ සොයාගැනීමක්‌ නො වන්නේ ය. ශරීරයේ ඇතුළත සිදු වන බොහෝ දේවල් සොයාගත හැකි මාර්ග බටහිර වෛද්‍ය විද්‍යාව නිපදවා ඇත. එවැනි ක්‍රම සිංහල වෙදකමේ නැත. මොළය ඇතුලේ පිළිකාවක්‌ ඇතොත් එය සැක හැර සොයාගැනීමට සිංහල වෙද මහතාට පුළුවන්කමක්‌ නැත. එම පිළිකාව මොළයේ කොතැනක ඇති ද යන්න ශරීරය පිටතින් පමණක්‌ පරීක්‌ෂා කොට සොයාගත නොහැකි ය. මොළය ඇතුළ පරීක්‌ෂාවට ලක්‌ කිරීමේ ක්‍රම බටහිර වෛද්‍ය විද්‍යාව සතු ය.

මා මේ ලෙස මේ කරුණු සඳහන් කරන්නේ සිංහල වෙදකම පහත් කොට සැලකීමට නො වේ. අප ගේ පැරැණි වෙදැදුරන් කර ඇති විස්‌කම් පිළිබඳව මම හොඳ හැටි දනිමි. විශේෂයෙන් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පොළොන්නරු යුගයේ ඉතා ම දියුණු තත්ත්වයක තිබූ බව මා පෙර ලිපිවල පැහැදිලි කොට ඇත. එම ශල්‍ය වෛද්‍ය විද්‍යාව එකල තිබූ බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවට වඩා උසස්‌ තත්ත්වයක තිබිණි. භාරතයේ විසූ සුසෘත නමැති ශල්‍ය වෛද්‍යවරයාගේ ක්‍රම අද පවා යුරෝපයේ භාවිත කරනු ලැබේ. මින් පෙනී යන්නේ කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව බව ය.

මා පවසන්නේ රෝග ලක්‌ෂණවලට ප්‍රතිකාර කරන අවස්‌ථාව තෙක්‌ දියුණු වූ ආයුර්වේදය සහ සිංහල වෙදකම ඊට එහාට දියුණු නො වූ බවයි. රෝගවලට හේතු හැටියට නොයෙකුත් මතවාද ඉදිරිපත් විය. රෝග සෑදෙන ආකාරය පිළිබඳව ද මෙලෙස ම මතවාද ඉදිරිපත් විය. වාත, පිත, කප්හ යන මතවාදය ඉන් එකක්‌ පමණි. ලොකයේ පැරැණි ශිෂ්ටාචාරවල මේ අන්දමින් රෝග පිළිබඳ ව නොයෙකුත් මතවාද ඉදිරිපත් විය. වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්‌ රෝග කාරක පිළිබඳව නොයෙකුත් මත ඉදිරිපත් කළේ ය. මේ මතවාද විද්‍යාත්මක සාක්‌ෂි මත ඔප්පු වූයේ හෝ නො වූයේ විද්‍යාත්මක තාක්‌ෂණය දියුණු වූවාට පසු ව ය. ශරීරයේ ව්‍යුහය, පටකවල ව්‍යුහය, ක්‍රියාකාරීත්වය සොයාගත්තාට පසුව ලෙඩ රෝග සෑදෙන ආකාරය සොයාගන්නා ලදි. වාත, පිත, කප්හ යන මතවාදය ඔප්පු කිරීමට කිසි ම සාක්‌ෂියක්‌ සොයාගෙන නැත.

සිංහල වෙද මහතාට දනිස්‌ කැක්‌කුමට දිය යුතු බෙහෙත පිළිබඳ දැනුමක්‌ ඇත. ඔහු එම රෝගය වාත අමාරුවක්‌ යෑයි කියයි. වාත අමාරුවක්‌ යනු කුමක්‌ ද? ශරීරයේ වාත අමාරුවක්‌ ඇති විට සිදු වන වෙනස්‌කම් මොනවා ද? ඒවා සොයාගන්නා ක්‍රමයක්‌ ඇත් ද? එහෙත් සිංහල වෙද මහතා දෙන බෙහෙතෙන් දනිස්‌ කැක්‌කුම සුව විය හැකි ය. එම බෙහෙත ඔහු අත්දැකීමෙන් සොයාගත් දෙයකි. වාත, පිත, කප්හ යන සංකල්පය සහ වෙද මහතා දනිස්‌ අමාරුවට දෙන බෙහෙත අතර සම්බන්ධතාවක්‌ නැත. ඇත්තේ දනිස්‌ කැක්‌කුම සහ බෙහෙත අතර සම්බන්ධතාවයක්‌ පමණි. බෙහෙතේ ඇති රසායනික ගුණ පිළිබඳව ද ඔහුට තේරුමක්‌ නැත.

දනිස්‌ කැක්‌කුමේ හේතුව දනිස්‌ පටකවල ඇති වන වෙනස, ශරීරයේ ඇති වන තවත් වෙනස්‌කම්, ඊට දෙන බෙහෙත්වල ඇති රසායනික ද්‍රව්‍ය සහ එම ද්‍රව්‍ය ශරීරයට හෝ දනිස්‌වලට කුමන බලපෑමක්‌ ඇති කරනවා ද යන්න බටහිර වෛද්‍ය විද්‍යාවට සොයා ගත හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාව ද ආරම්භ වූයේ සිංහල වෙදකම මෙන් රෝග ලක්‌ෂණවලට අත්දැකීමෙන් සොයාගත් බෙහෙත් ලබා දීමෙන් ය. එහෙත් එම විද්‍යාව අනෙකුත් විද්‍යාවන් සහ තාක්‌ෂණය දියුණු වන විට ඒවායේ මාර්ගයෙන් ඉහත සඳහන් අංශයන් ද දියුණු කරගත්තේ ය. උදාහරණයක්‌ ලෙස එක්‌ස්‌ කිරණ සොයා ගත් විට එය උපයෝගි කරගෙන ශරීරය ඇතුළේ ඇති අස්‌ථි පිළිබඳව සොයාබැලීම කරන්නට තාක්‌ෂණය දියුණු කරගන්නා ලදි. ප්‍රකාශ තන්තු (fiber optic) තාක්‌ෂණය සොයාගත්තාට පසු බඩවැල තුළට බටයක්‌ යවා ඒ මාර්ගයෙන් ඇතුළේ ඇති වන රෝග සොයාගැනිණි. computer තාක්‌ෂණය සොයාගත් පසු CT scan වැනි පරීක්‌ෂණ ක්‍රම නිපදවා ගැනිණි.

මූලික ප්‍රශ්නය වන්නේ මේවා නො වේ. මූලික ප්‍රශ්නය වන්නේ ආයුර්වේදය හෝ සිංහල වෙදකම හෝ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් නො වන බව නලින් මහතා ඔප්පු කළ යුතු ව ඇත යන්න ය. එම වෛද්‍ය ක්‍රම වෙනත් විද්‍යාවක්‌ භාවිත කරනවා නම් එය කුමක්‌ දැයි සාක්‌ෂි ඇති ව පෙන්වා දිය යුතු ව ඇත.

ආයුර්වේදය සහ සිංහල වෙදකම ගැන කතා කරන්නට අවශ්‍ය වූයේ කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව බව මා පෙන්වා දුන් විට නලින් මහතා ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව අතර වෙනසක්‌ නැති ද යන ප්‍රශ්නය ඇසූ නිසා ය. තව ද මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමග ද ඔහු මේ ගැන වාද කර ඇති බවට පුරසාරම් දෙඩෙව් නිසා ය. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව බව ඔප්පු කිරීම පිණිස ආයුර්වේදය සහ සිංහල වෙදකම පදනම් වී ඇත්තේ හැම දා ම හැම තැන ම තිබූ විද්‍යාව පදනම් වූ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත බව මා පෙන්වා දී ඇත. මෙය බොරු කිරීමට නන් දොඩවන නලින් මහතා මේවා ගැන කිසිවක්‌ නො දන්නා බව තහවුරු කර ඇත. ඔහු ගේ ම විෂයයක්‌ වන සාපේක්‌ෂතාවාදය වත් හරිහැටි තේරුම් නො ගත් ඔහු මේවා කෙසේ තේරුම්ගන්න ද?

''අමරතුංග මහතා මහනුවර රැස්‌වීමෙන් පලා යයි'' යන මාතෘකාව යටතේ නලින් මහතා 2014 ජුලි මස 2 වැනි දින විදුසර සඟරාවේ ලිපියක්‌ ලියා ඇත. කවුරුන් හෝ පලා යන්නේ යම් තැනක ඉඳ එතැන ඉන්නට බැරි වූ විට ය. ඔහු කියන මහනුවර රැස්‌වීමේ මා සිටියේ නැත. පලා යනවා යන වචනවල නියම තේරුම වත් නලින් මහතා දන්නේ නැත. ඔහු ගේ ඉහත සඳහන් ලිපියට එම මාතෘකාව තෝරාගෙන ඇත්තේ මා වාද පිටියෙන් පැන යන ප්‍රශ්න ම`ගහරින පුද්ගලයකු බව පෙන්වා දීමට ය. පසුගිය වර්ෂයේ ඔක්‌තෝබර් මාසයේ සිට අද දක්‌වා විදුසර සඟරාව ම`ගින් ඔහුට මා කළ අභියෝගවලට පිළිතුරු දී ගන්නට නොහැකි ව බහුභූත ලියන ඔහු වෙන කුමක්‌ කරන්න ද? මගේ ලිපි කියවන පාඨකයන් මෙය වටහාගන්නවාට සැක නැත. මා දන්නා තරමින් මහනුවර පැවැති දේශනය මහාචාර්ය කීර්ති තෙන්නකෝන් මහතා විසින් සිදු කරන ලද්දකි. මා ඊට නො ගියේ ඒ මහතා ගේ අදහස්‌ මා හොඳින් දන්නා නිසාත් නලින් මහතාට කියන්නට දෙයක්‌ ඉතිරි වී නැති බව දන්නා නිසාත් සහ මට කියන්නට ඇති දේ එම රැස්‌වීමට පැමිණි අතළොස්‌සට කියනවාට වඩා දහස්‌ ගණනකට විදුසර ස`ගරාව මාර්ගයෙන් කිව හැකි නිසාත් ය. තව ද නලින් මහතා කෝප වී මහාචාර්ය තෙන්නකෝන් මහතාට පරිභව කරා වි යෑයි සිතූ නිසා එවැනි දෙයක්‌ දැකගැනීමට මා අකැමැති නිසාත් ය. නලින් මහතා තම ලිපිවලින් ඒ මහතාට පරිභව කොට ඇත.

මහාචාර්ය තෙන්නකෝන් මහතා තමා සමග එක`ග වූ බවක්‌ නලින් මහතා පවසා ඇත. ඔවුන් එක`ග වූයේ විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ය යන්න ගැන ද? නැතිනම් සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය කොට ඇත්තේ ගුරුත්වාකර්ෂණය ද ආවරණය වන පරිදි නො වේ කියා ද? මේ මූලික ප්‍රශ්න පිළිබඳ ව එකග වීමක්‌ නැත්නම් ඔවුන් එක`ග වූවා යෑයි පැවසීම මුසාවකි. මේ කරුණු සම්බන්ධ ව මහාචාර්ය තෙන්නකෝන් මහතා ගේ අදහස්‌ මම හොඳින් දන්නෙමි.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc

www.vidusara.com

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය