සාධාරණීකරණයක්‌ පමණක්‌ වූ වාස්‌තවිකත්වය


අපට බොහෝ විට වස්‌තුවක්‌ එක්‌ ඉන්ද්‍රියකට වඩා ගෝචර වෙයි. අප ඉදිරියේ ඇති පොතක්‌ අපට ස්‌පර්ශ කළ හැකි ය. එය අපේ ඇස්‌වලට ද ගෝචර වෙයි. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ රස ආදිය ද දැනගත හැකි ය. එයින් පිට වන ශබ්දයක්‌ අපට නො දැනුණ ද, පොත අඩු තරමෙන් මනස සමඟ එකතු වූ ඉන්ද්‍රිය හතරකට දැනෙයි. ඒ ඉන්ද්‍රිය හතරට ම ගෝචර වන්නේ එක ම එක පොතකි. එපමණක්‌ නො ව බටහිර දැනුම අනුව පොතෙන් නිකුත් වන ඊනියා සංජානන, ඉන්ද්‍රිය හතරකට ගෝචර වෙයි. බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පොත අපෙන් තොර ව ඇති බවත් එයින් අපට යම් සංජානන ලැබෙන බවත් කියෑවෙයි. ඒ සංජානන සියල්ල එක ම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි ඉගැන්වෙයි.

එහෙත් ඒ සංජානන සියල්ල එක්‌ වර ලැබිය යුතු යෑයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නො කියෑවෙයි. අපට ආසන්නයෙහි ඇති විට නිතර ම පොත පෙනෙන නමුත් අපට එය ස්‌පර්ශ නො වෙයි. අප පොත ස්‌පර්ශ කිරීමෙන් පමණක්‌ අපට ස්‌පර්ශය ඔස්‌සේ පොත ඇති බව, එනම් පවතින බව, දැනගත හැකි ය. ආලෝකය ඇත්නම් අපට සමගාමී ව පොත දැකගත හැකි ය. එහෙත් අඳුරෙහි අපට පොත නො පෙනුණත් පොත ස්‌පර්ශ කළ හැකි ය. එපරිදි ම පොතෙහි ගඳ සුවඳ රස ආදිය දැන ගැනීම සමගාමීව විය යුතු නො වේ. එසේ සමගාමීව නො වුණත් බටහිර දැනුමට අනුව ඒ සංජානන ලැබෙන්නේ එක ම පොතකින් යෑයි අපි කියමු. මෙහි දී වැදගත් වන්නේ ඒ ඒ ඉන්ද්‍රියට එක ම වස්‌තුවකින් ලැබෙන සංජානන සමගාමී නො වුණ ද ඒ එක ම වස්‌තුවක්‌ යෑයි බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි නිගමනය වීම ය.

මෙය එක්‌ අතකින් ගත් කල බටහිර ද්‍රව්‍යවාදී දැනුමට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. අපෙන් තොර ව වස්‌තු ඇතැයි ගන්නා ඕනෑ ම දැනුම් පද්ධතියක විවිධ ඉන්ද්‍රියයන්ට දැනෙන සමගාමී නො වන සංජානන මඟින් එක ම වස්‌තුවක්‌ ඇති බව නිගමනය වෙයි. අනෙක්‌ අතට එක ම ඉන්ද්‍රියයකට දැනෙන සමගාමී නො වන සංජානන ද එක ම පොතකින් ලැබෙන්නේ යෑයි ඒ දැනුම් පද්ධතිවල නිගමනය වෙයි. අප පොත ඇති බව ඇසින් දැක තවත් පැයකින් පසුව පැමිණ පොත දුටුව ද ඒ පොත් දෙකක්‌ නො ව එක ම පොතක්‌ යෑයි අපි නිගමනය කරමු.

ඇතැම් විට අප ආපසු පැමිණෙන විට වෙනත් කිසිවකු එය වෙනත් තැනකින් තබා තිබෙන්නට හැකි ය. එහෙත් යම් යම් ලකුණුවලින් ඒ එක ම පොත යෑයි හඳුනාගැනීමට අපට බාධාවක්‌ නො වේ. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි මේ වෙනස්‌ නො වන වස්‌තුව යන්නට වැදගත්කමක්‌ ඇත. නිව්ටෝනීය යාන්ත්‍රිකයට අනුව යම් වස්‌තුවකට බලයක්‌ යෙදූ විට යම් අවස්‌ථිති රාමුවක වස්‌තුව ත්වරණයක්‌ සහිත ව චලනය වෙයි. වස්‌තුවේ පිහිටීම වෙනස්‌ වුව ද අපෙන් තොර ව වස්‌තුවක්‌ ඇති බව හා වස්‌තුව වෙනස්‌ නො වන බව අපි උපකල්පනය කරමු.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඇතැම් විට වෙනස්‌ වන ස්‌කන්ධ සහිත වස්‌තු පිළිබඳව අධ්‍යයනය කෙරෙයි. එහෙත් ස්‌කන්ධය වෙනස්‌ වුව ද මුල සිට අග දක්‌වා ම ඇති යම් ස්‌කන්ධයක්‌ සහිත වස්‌තුවක්‌ ඇතැයි එහි දී උපකල්පනය කෙරෙයි. ඇතැම් විට අවසානයේ දී වස්‌තුවේ ස්‌කන්ධය ශූන්‍ය විය හැකි ය. එහෙත් ඒ දක්‌වා ම වෙනස්‌ නො වන වස්‌තුවක්‌ ඇතැයි නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි උපකල්පනය කෙරෙයි. වෙනස්‌ නො වන වස්‌තුවල වාස්‌තවික පැවැත්ම, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව හුදු වස්‌තු ලෙස පැවැත්ම බටහිර විද්‍යාවෙහි මුල් ගලක්‌ ලෙස සැලකිය යුතු වෙයි.

එක්‌ විට නො ලැබුණ ද විවිධ ඉන්ද්‍රිය හා ඇතැම් විට යම් කාල පරාසයක එක ම ඉන්ද්‍රියයක්‌ ඔස්‌සේ ලැබෙන සංජානන වෙනස්‌ නො වන එක ම වස්‌තුවකින් ලැබේ ය යන්න තවත් විස්‌තර කළ යුතු වෙයි. යම් වස්‌තුවක්‌ දිරාපත් වී ඇතැයි අපි කියමු. මෙයින් අදහස්‌ වන්නේ කුමක්‌ ද? වස්‌තුවේ දෘශ්‍යමානය වෙනස්‌ වී ඇතැයි මෙහි දී උපකල්පනය කෙරෙයි. එහෙත් දිරාපත් වූ වස්‌තුව හා කලින් තිබූ වස්‌තුව යනු වස්‌තු දෙකක්‌ නො ව එක්‌ වස්‌තුවක්‌ පමණක්‌ බව අපි දිගින් දිගට ම උපකල්පනය කරමු. දිරාපත් වන වස්‌තුව යන්නෙන් වස්‌තුවේ වෙනස්‌ වීමක්‌ ගැන කියෑවෙන්නේ යෑයි කිසිවකුට සිතෙන්නට හැකි ය. එහෙත් ඒ එසේ නො වේ.

දිරාපත් වන වස්‌තුව යන්නෙන් වෙනස්‌ වීමක්‌ හැඟුණ ද ඒ වෙනස්‌ වීම පිටුපස වෙනස්‌ නො වන ආත්මයක්‌, සාරයක්‌ ඇතැයි මෙයින් කියෑවෙයි. ඒ සාරය හෙවත් ආත්මය වෙනස්‌ නො වෙයි. වෙනස්‌ වන්නේ සාරය හෙවත් ආත්මය නො ව ඒ වටා ඇති යම් දෘශ්‍යමානයක්‌ බව මෙහි දී උපකල්පනය කෙරෙයි. වස්‌තුවක වෙනස්‌ වීම යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ ම වෙනස්‌ නො වන වස්‌තුවක්‌ සාරයක්‌ ආත්මයක්‌ ඇති බව ය. බටහිර විද්‍යාව ඇතුළු බටහිර ද්‍රව්‍යවාදී දැනුමෙහි පමණක්‌ නො ව සියලු ආත්මවාදී දැනුම්වල මේ වෙනස්‌ නො වන ආත්මය යන්න අන්තර්ගත වෙයි. එපමණක්‌ නො ව ඊනියා ක්‍ෂණයකට හෝ පවතින වස්‌තුවක්‌, පුද්ගලයකු, චිත්තයක්‌, මනසක්‌ විඤ්Æණයක්‌, ධර්මයක්‌ ගැන ඉගැන්වෙන සියලු ආගම්, ධර්ම ක්‍ෂණවාදීව වුවත් ආත්මවාදී වෙයි. 

ක්‍ෂණවාදී ආත්මවාදී දහම් හා අනෙක්‌ ආත්මවාදී දැනුම් අතර මූලික වෙනස්‌කමක්‌ නැති බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. ඒ දැනුම් අතර ඇති වෙනස ආත්මය පවතින්නේ, එනම් වස්‌තුවක හෝ සත්ත්වයකු ගේ හෝ සාරය පවතින්නේ කෙතරම් කාලයකට ද යන්න පිළිබඳව ය. සදාතනික ආත්මවාදීහු නො නැසෙන සදාකාලික ආත්මයක්‌ ගැන කියති. ඒ ආත්මය පුද්ගලයන්, සත්ත්වයන් සම්බන්ධයෙන් නම් මරණයෙන් මතු ද වෙනස්‌ නො වෙයි. ඇතැම් ආගම්වලට අනුව ඒ ආත්මය සදාකාලික ස්‌වර්ගයේ හෝ සදාකාලික අපායේ හෝ සැපත් වෙයි. තවත් ආගමක ඒ ආත්මය බ්‍රහ්මන් සමඟ එක්‌ වෙයි. ඇතැම්හු, අද්වෛත වේදාන්තවාදීහු එසේ ආත්මය හා බ්‍රහ්මන් යනුවෙන් දෙකක්‌ ලෙස සැලකීම ප්‍රතික්‌ෂේප කරති. ඔවුන්ට අනුව එසේ වෙනස්‌ වන්නේ යෑයි ගැනීම නිසා ම සත්ත්වයා සංසාරයේ සැරිසරයි. එසේ වෙනස්‌ යෑයි සැලකෙන්නේ මායාව නිසා ය. අවශ්‍ය වන්නේ මායාව නැති කිරීම ය. මායාව නැති කිරීමෙන් බ්‍රහ්මන් හා ඊනියා පුද්ගල ආත්මය අතර වෙනසක්‌ නොමැති බව වැටහෙයි. එය අද්වෛත වේදාන්තවාදීන් ගේ විමුක්‌තිය වෙයි.

ක්‍ෂණයකට වුව ද ආත්මයක්‌, ධර්මයක්‌, චිත්තයක්‌ ආදී වශයෙන් පවතින්නේ යෑයි ගැනීම මහත් මුළාවකි. එහි දී පැන නඟින ප්‍රධාන ම ප්‍රශ්නය නම් ක්‍ෂණයක්‌ යනු කුමක්‌ දැයි දැන ගැනීම ය. ක්‍ෂණයක්‌ ඇති වීමට, තිබීමට නම් කාලය යනුවෙන් යමක්‌ පැවතිය යුතු ය. ක්‍ෂණයක්‌ යනු අනන්ත හෝ පරිමිත හෝ කාලයක කුඩා කොටසක්‌ විය යුතු ය. එය කෙතරම් කුඩා දැයි කිව හැකි අයකු නැත. එහෙත් ක්‍ෂණය කෙතරම් කුඩා වුවත් එය පරිමිත හෝ අපරිමිත හෝ යම් කාල පරාසයක කොටසකි. දැන් ප්‍රශ්නය වනුයේ කාලය යනු කුමක්‌ ද යන්න ය. බුද්ධඝෝෂ හිමියන්ට අනුව කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණකි. එය අප විසින් පණවනු ලබන්නකි. කාලය යන්න අප විසින් පණවනු ලබන්නක්‌ වන විට ක්‍ෂණය යනු කුමක්‌ ද? එවිට ඊනියා ධර්ම පවතින්නේ ද අප විසින් පණවනු ලබන කාල පරිච්ඡේදයක ය. අප විසින් පණවනු ලබන කාල පරිච්ඡේදයක අපෙන් තොර ඊනියා ධර්ම පවතින්නේ කෙසේ ද? අනෙක්‌ අතට එසේ පැවතුණු ධර්මයට ක්‍ෂණය අවසානයේ දී කුමක්‌ සිදු වේ ද? එය වැනසෙන්නේ ද? එවිට ඒ දැනුම උච්ඡේදවාදී වෙයි.

වස්‌තුවක පැවැත්ම, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව වස්‌තුවක පැවැත්ම කිසියම් ආකාරයකට වුව ද ගැනීම ආත්මවාදී වෙයි. එහෙත් විවිධාකාර ද්‍රව්‍යවාදීහු එසේ වස්‌තු පවතින්නේ යෑයි ගනිති. මේ ඊනියා වස්‌තු පිළිබඳ හැදෑරීම බටහිර විද්‍යාවේ විද්‍යාත්මක ව කෙරෙන්නේ යෑයි කියනු ලැබේ. අප බොහෝ අවස්‌ථාවල පෙන්වා දී ඇති පරිදි මනසක්‌ සහිත නිරීක්‍ෂකයකු ගෙන් තොර ව ඊනියා වාස්‌තවික යථාර්ථයක පැවැත්ම මනසකින් තොර ව පෙන්වා දිය හැක්‌කකු මෙදියත නැත. වාස්‌තවිකත්වය යන්න ම සංකල්පයකි. සංකල්ප සංස්‌කරණය කෙරෙන්නේ මනසෙහි ය. එවිට මනසකින් තොර ව වස්‌තුවක්‌ පවතින්නේ යෑයි පෙන්වීම ම යනු සංකල්පයකින් තොර ව වස්‌තුවක පැවැත්ම පෙන්වීම ය.

එහෙත් වස්‌තුව, පැවැත්ම ආදිය ම සංකල්ප වෙයි. සංකල්ප නොමැති ව පෘථග්ජන අපට කළ හැකි කිසිවක්‌ නැත. සංකල්පවල කිසි ම හරයක්‌ (සාරයක්‌) නොමැති වුවත් සංකල්පීය ලෝකය ශූන්‍ය වුවත් අපට සංකල්ප සංස්‌කරණය නො කර සිටිය නො හැකි ය. ඒ අපේ අවිද්‍යාව හේතු කොටගෙන ය. එම අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම අනවබෝධය හේතු කොටගෙන ය. අපේ අවිද්‍යාව හේතු කොටගෙන අපි සංකල්ප නිර්මාණය කරමු. ඉන්පසු අපේ ඒ නිර්මාණ අපෙන් තොර ව පවතින ඊනියා වාස්‌තවිකත්වයක්‌ බවට පත් කර ගන්නෙමු.

මේ වාස්‌තවික පැවැත්ම යන්න සාධාරණීකරණයෙකි. නිරීක්‍ෂකයා ගෙන් තොර ව යම් යම් දේ (වස්‌තු) පවතින්නේ යෑයි ගැනීම පදනම් වන්නේ ම නිරීක්‍ෂණ මත ය. එසේ වස්‌තු පවතින්නේ යෑයි ගන්නෝ ද නිරීක්‍ෂකයෝ ම වෙති. අපෙන්, එනම් නිරික්‍ෂකයා ගෙන් තොර ව වස්‌තු ඇතැයි ගැනීමට ඉඩ සලසා ඇත්තේ පංෙච්න්ද්‍රිය සහිත මිනිසුන්ට මනස ආධාරයෙන් එක ම දේ පෙනෙන්නේ යෑයි ගෝචර වන්නේ යෑයි සැලකීම ය. උදාහරණයක්‌ ලෙස මල යන සංකල්පය අප සියලු දෙනාට ම පොදු යෑයි අපි සිතමු. අපි සියලු දෙනා ම මල් දකිමු. එහි සුසිනිඳු බව ප්‍රත්‍යක්‍ෂ කරමු. මල් දකින සියලු දෙනා ම එක ම මල් දකින්නේ යෑයි අප උපකල්පනය කරන්නේ අප සියලු දෙනා ට ම එක ම ඉන්ද්‍රිය ඇති බැවින් හා බොහෝ විට එක ම ආකාරයේ මනස්‌ ඇති බැවිනි.

අප එකිනෙකා දකින්නේ එක ම මල් නො වන බව අපි නො දනිමු. බෞද්ධයන්ට මල් යනු බුදුන් වහන්සේට පූජා කෙරෙන දෙයකි. එහෙත් ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ට මල් එලෙස නො පෙනෙයි. එසේ තිබිය දී අපි සියලු දෙනාට ම එක ම මල් පෙනෙන්නේ යෑයි අපි කියමු. එපමණක්‌ නො ව මේ මල් අප ඉපදීමට පෙර ද පසුව ද ඇතැයි අපි ගනිමු. මලක්‌ යනු අප සමඟ ඇති වී අප සමඟ නැති වී යන්නක්‌ නො වේ. මේ නිරීක්‍ෂණ කෙරෙන්නේ ද මනස ආශ්‍රිතව සංකල්පීය වශයෙන් බව අපට අමතක වෙයි. දැන් අපි සාධාරණීකරණයක්‌ කරමු. ඒ සාධාරණීකරණය මෙසේ ය. ඕනෑ ම සාධාරණීකරණයක්‌ යනු වියුක්‌ත දැනුමක්‌ බව ද අමතක නො කළ යුතු ය.

අප සියලු දෙනාට ම එක ම මල් ගෝචර වන්නේ නම්, අප නැති කල ද මල් පවතින්නේ නම් මල් අපේ නිරීක්‍ෂණයක්‌ වුව ද එය අපෙන් ස්‌වායත්ත විය යුතු ය. අපට පමණක්‌ නො ව අපට පෙර උපන් අයට ද අපෙන් පසුව උපදින අයට ද මල් ගෝචර වන්නේ අපට ගෝචර වන ආකාරයට ය. ඒ හේතුවෙන් මල්වලට අපෙන් ස්‌වායත්ත පැවැත්මක්‌ ඇත. එනම් මල්වලට ස්‌වායත්ත නිරපේක්‍ෂ වාස්‌තවික පැවැත්මක්‌ වෙයි. එහෙත් මෙහි ඇති සරදම නම් අපෙන් තොර ව ද මල්වලට ඇති පැවැත්ම අපට නිරීක්‍ෂණය වන ආකාරයෙන් ම වීම ය. අපට පෙනෙන විවිධ පැහැය සහිත මල් ඒ විවිධ පැහැයෙන් ම සුසිනිඳු බවකින් යුක්‌ත ව අපෙන් තොර ව ද පවතින්නේ යෑයි අපි සිතමු. අප කර ඇත්තේ අපේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්‌ කිරීමක්‌ පමණකි. ඊනියා වාස්‌තවිකත්වය යනු මනස්‌ සහිත අපේ නිරීක්‍ෂණවල ම සාධාරණීකරණයක්‌ වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය