ශාන්තිකර්මවල මනෝ විද්‍යාත්මක පදනම

"ඉතිං සෙත් ශාන්තියක්‌
 වත් කර ගත්තෙ නැද්ද?"


ඒ අසනීපයක්‌ ගැන කතා බහ කරන අතරතුර අසන්නට ලැබෙන සුලබ ප්‍රශ්නයකි. යම් අසනීපයකට දිගින් දිගට ම බටහිර හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමෙන් සුවයක්‌ නො ලද තැන සැලකිය යුතු පිරිසක්‌ ගුප්ත ප්‍රතිකාරවලට යොමු වෙති. මේ ගුප්ත ප්‍රතිකාර සමන්විත වන්නේ සෙත් ශාන්ති, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි දෙයිනි.

විද්‍යාත්මක චින්තනය ප්‍රමුඛ වූ අද වැනි යුගයක මෙවැනි ගුප්ත ක්‍රමවේද ගැන උනන්දු වීම මුග්ධ ක්‍රියාවකැයි ඇතැමකු පවසන්නට ඉඩ තිබේ. එහෙත් මේ ගුප්ත ක්‍රමවේද තුළ කිසිදු විද්‍යාත්මක පදනමක්‌ නොමැති යෑයි කීමට තරම් අප සැහැසි විය යුතු ද? අනෙක්‌ අතට විද්‍යාත්මක ක්‍රමවේද හිසින් දරා ගත් අය පවා තමන්ට උපද්‍රව පැමිණි අවස්‌ථාවල මේ ගුප්ත ක්‍රමවල පිහිට පැතීම සුලබ දෙයකි.

මෙවැනි සිද්ධිවලින් පෙනී යන්නේ කුමක්‌ ද? අප කෙතරම් විද්‍යාත්මක වුවත් අප ගේ හදවතෙහි ඇතුළු කොනක කුඩා ඉඩක්‌ මේ ගුප්ත විශ්වාස හා ක්‍රියාකාරකම් සඳහා වෙන් ව පවතින බවයි. මේ ඉඩෙහි ප්‍රමාණය පුද්ගලයා ගෙන් පුද්ගලයාට වෙනස්‌ වේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ශාන්තිකර්ම නම් වූ ගුප්ත පිළිවෙත් පිළිබඳව හා එමඟින් රෝග සමනයට යම් මෙහෙයක්‌ ඉටු වේ ද යන්න පිළිබඳව ය.

අප රටේ ශාන්තිකර්ම පිළිබඳ මෙන්ම විදේශ සංස්‌කෘතීන්හි ක්‍රියාත්මක වන පර්යාය සෙත් ශාන්ති ගැන ද විමර්ශනය කරන්නට මේ ලිපියෙන් අපේක්‌ෂා කරමි. ශ්‍රී ලාංකිකයන් අතර පවත්නා ශාන්තිකර්ම විධි බොහෝ ය. ඒ ශාන්තිකර්ම සබරගමු, උඩරට, පහතරට, ඌව, නුවරකලාවිය ආදි ලෙසත් පළාත් ආශ්‍රිතව විවිධ ගුරුකුල ප්‍රධාන කොටගෙනත් ව්‍යාප්ත ව ඇත. යක්‌ෂයන්, පිශාචයන්, භූතයන්, ග්‍රහයන් ඇතුළු විවිධ අදෘශ්‍යමාන බලවේග වෙතින් සිදු කෙරෙතැයි විශ්වාස කෙරෙන රෝග විපත්වලින් සහනය ලැබීම එකී ශාන්තිකර්ම පැවැත්වීමේ අරමුණයි. මේ ශාන්තිකර්මවල දී පුද පූජාවලට අමතරව කන්නලව් හා සෙත් කවි ද කියවේ.

ශාන්තිකර්මයක දී ආතුරයකුට (රෝගියකුට) සහනය ලැබේ යෑයි අනුමාන කළ හැකි ආකාර කීපයකි. මේ සහනය ප්‍රධාන වශයෙන් මානසික හා කායික ලෙස බෙදිය හැකි වේ. ආතුරයා ගේ මනසට මෙවැනි ශාන්තිකර්මයක දී විශාල බලපෑමක්‌ ඇති වන බව පැහැදිලිව ම පෙනෙන්නට තිබේ. සැබැවින් ම බටහිර වෛද්‍යවරුන් බොහෝ දෙනකු ගේ අදහස වන්නේ ද රෝගියකු ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමට මෙවැනි සාම්ප්‍රදායික ක්‍රමවේදවල පිහිට පැතීම වරදක්‌ නො වන බව ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමයේ වර්තමාන සභාපති මහාචාර්ය වජිර දිසානායක ඒ ගැන දක්‌වන්නේ මෙවැනි අදහසකි.

"මං කියන්නේ මිනිසුන්ට යම් මානසික සහනයක්‌ මෙයින් ලැබෙනවා නම් එය ධනාත්මකව පරිහරණය කිරීමේ වරදක්‌ නැති බවයි. රෝගවලට හා වෙනත් ප්‍රශ්නවලට විසඳුම් සොයන මිනිසුන් ශාන්තිකර්ම පැත්තට යොමු වෙනව නෙ. අප දන්නා දෙයක්‌ තමයි ව්‍යාජ ඔසු ආචරණය (Placebo effect). ඒ කියන්නේ ව්‍යාජ ඔසුවලටත් රෝගීන් සුව වන අවස්‌ථා තිබීම. මෙතැනත් ඒ වගේ දෙයක්‌ ක්‍රියාත්මක වනවා විය හැකියි. මේ ගැන මේ රටට අදාළව කළ සායනික වාර්තා සහිත අධ්‍යයන ගැන නම් මා දන්නේ නැහැ"

මානසික සුවය සදන්නේ මෙලෙසයි

ආවැඩීම අපේ ශාන්තිකර්මවල මූලිකාංගයකි. ඉහත ද සඳහන් කර ඇති පරිදි මේ හැම ශාන්තිකර්මයක දී ම සෙත් ශාන්ති, කාව්‍ය ගීත අඩුවැඩි වශයෙන් ගායනා කරනු ලැබේ. ගායනාවලට අමතරව ගද්‍යමය ආශිර්වාද ද ඇතුළත් වේ. ශාන්තිකර්මයක අභිප්‍රාය ශාන්තිය සාක්‌ෂාත් කිරීමයි. තත් අරමුණ ඉටු කර ගැනීමට කාව්‍යාවලී රාශියක්‌ යොදා ගැනේ. ආතුරයා ගේ හිසේ සිට දෙපතුල දක්‌වා වූ සියලු ශරීර කොටස්‌වල ඇති දෝෂ දුරු කිරීමට එකී කාව්‍යවලට හැකි බව විශ්වාස කෙරේ. ඡේ. ඊ. සේදරමන්, ලයනල් බෙන්තරගේ වැනි පුරෝගාමී පර්යේෂකයන්ට අනුව මේ කාව්‍ය රචනා භාවිතයේ අරමුණ වන්නේ ශරීරයේ විවිධ කොටස්‌වල දෝෂ (රෝග) සමනයයි. මේවා සිරසපාද කවි ලෙස ද, තිරසපාද කවි ලෙස ද හඳුන්වනු ලැබේ. තොටගමු හා වීදාගම යතිවර පරම්පරාවේ හා උන්වහන්සේලා ගේ ඇසුර ලද විදග්ධ ගිහි පඬිවරයන් වෙතින් ද එම නිර්මාණ බිහි වූ බවට සැකයක්‌ නැත. එසේ වුව ද යකැදුරන් බොහෝ අවස්‌ථාවල මේ නිර්මාණවල මුල් කර්තෘ නිරවද්‍ය ලෙස හඳුන්වා දෙන්නට උත්සුක නො වන අතර පෙලඹී ඇත්තේ එවා තම පරම්පරාවේ නිර්මාණ බව පෙන්වා දෙන්නට ය. මෙවැනි සුළු සුළු නො තකා හැරීම් කළ අය අතින් මුල් සිරස පාද කව්වල පැවතියා ය කියන බලගතු බව රැකුණා ද යන්න සැබැවින් ම ගැටලුවකි.

කෙසේ වෙතත් සිරසපාද කාව්‍යවලින් ලද ආශිර්වාදය හේතු කොටගෙන රෝග සුව වූ අවස්‌ථාවලට දෘෂ්ටාන්ත ජනශ්‍රැතියෙහි එයි. මහනුවර සමයේ දී මහරජකු ගේ උදහසට ලක්‌ වූ හිමිනමක්‌ රජු ගේ හිසරදය සුව කිරීමට (සිපිරිගෙය තුළ සිටිමින් ම) සිරසපාද කාව්‍යයක්‌ ගෙතූ බවත්, එමඟින් රජු සුවපත් ව හිමිනමට නිදහස දුන් බවත් එවැනි එක්‌ කතාවකි. සිරසපාද කාව්‍ය නිර්මාණයේ දී ශූභ ශාන්තියට උචිත ගණ පිහිටුවීමට හා සුවිශේෂ කාව්‍යාලංකාර යොදා ගැනීමට අවධානය යොමු කර තිබේ. විවිධ මාත්‍රා රටා විවිධ විරිත් හා එළිසමය භාවිත කොටගෙන ඇත. අණවින, කොඩිවිණ කැපීමේ දී මේ සිරසපාද කවි යොදා ගැනේ. සූනියම් කැපීමේ යාගවල දී හිස සිට දෙපතුළ දක්‌වා වැල් වළලු පළඳවා ඒවා කැපීම සිදු කරන අතර මේ ක්‍රියාවේ දී ද සිරසපාද කවි භාවිත වේ.

එවැනි එක්‌ කවියක්‌ පහත දැක්‌වේ

ලකුණු බලා වෙස්‌සන්තර වංග ගිරියෙ ඉඳ තපසට

ලකුණු එසක්‌ රජ වැඩලා සිටියේ හිමයේ වට කොට ලකුණු ඇති ව ගත්තු වරම් එම සක්‌ දෙවි අනුහසයට

දකුණු උරේ වළලු ලමින් වින දොස දුරුවෙයි පොඩි කොට

මේ කවියෙන් කෙරෙනුයේ දකුණු උරේ දෝස දුරු කිරීම ය. මෙලෙස ම වැළමිට, වකුගඩු, ඇටමිදුලු ආදියට සෙත් පතන කවි ඇත. පහත දැක්‌වෙන්නේ එවැනි පද්‍ය කොටසකි.

"වකුටු වෙලා කුමරුන් ගොස්‌ විලකට පැනපුව වකුගඩු සහ ඇටමිදුල ග්‍රහ දොස බැසපුව" මෙවැනි සිරසපාද කාව්‍ය ගැයීමේ දී වාදනය කරනු ලබන බෙර පද ද බොහෝ විට කාව්‍ය රචනා ශෛලියට අනුගත වේ.

සිරස පාද කවි බොහෝ විට ඉදිරිපත් කෙරෙනුයේ ශාන්තිකර්මයක අවසාන භාගයේ දී ය. මේවා හැම විට ම ඉතා පැහැදිලිව මිහිරි හඬින් ගායනා කෙරේ. ඒවා හොඳින් සවන් දීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය ය. සිරසපාද ඉදිරිපත් කිරීමේ දී ඇදුරෝ ඇතැම් විට කවියේ අර්ථයට ගැළපෙන අවස්‌ථා නිරූපණවල (රංගය) ද යෙදෙති. සමහර විට අවස්‌ථානුකූලව වැළපෙති. මේ සියලු දේ කරන්නේ රෝගියා ගේ හෙවත් ආතුරයා ගේ මනස පුබුදු කරවීමට බව ලයනල් බෙන්තරගේ මහතා සිය ශාන්තිකර්ම නාද මාලාවලින් ඔපවත් වන සිරසපාද කවි නමැති නිබන්ධයෙහි (මෙය 2004 ලෝක නර්තන දිනයට සමගාමීව නිකුත් කළ සංඛ ශාස්‌ත්‍රීය ලිපි සංග්‍රහයෙහි ප්‍රකාශ කෙරිණි) සඳහන් කරයි. බෙන්තරගේ මහතා සිය නිබන්ධය අවසානයෙහි විශේෂයෙන් සඳහන් කරන දෙයක්‌ වන්නේ "බෞද්ධයන් වශයෙන් අපේ ආතුර පක්‌ෂය (රෝගීන්) මේ ශාන්තිකර්ම ක්‍රමවලින් ලබාගත්තේ ඉමහත් අස්‌වැසිල්ලකි." යන්නයි.

බෙන්තරගේ මේ යොදන අස්‌වැසිල්ල නම් වදන සායනික සන්දර්භයක දී මානසික සහනය ලෙස වෙනස්‌ කරගන්නට හැකි ය. කෙසේ වෙතත් සිරස පාද කවිවලට අමතරව තවත් බොහෝ ක්‍රම හරහා ආතුරයාට ආසිරි, සෙත් පැතීම කෙරේ. අප ගේ ශාන්තිකර්මවලට අදාළව ම නො වුණත් ජාත්‍යන්තර වශයෙන් කෙරුණ වෙනස්‌ අධ්‍යයනවල දී පෙනී ගොස්‌ ඇත්තේ ආසිරි පැතීමේ (Blessing) වත් පිළිවෙත් මඟින් රෝගියකු ගේ මානසික ශක්‌තිය වර්ධනය වන බවත් එය රෝගවලට මුහුණ දීමේ දී සුවිශාල උදව්වක්‌ වන බවත් ය.

මිනිසා ගේ යටි සිතෙහි පවත්නා රාගයට අදාළ ආතති සමනය කර ගැනීමේ එක්‌ ක්‍රමවේදයක්‌ ලෙස ද ශාන්තිකර්ම සඳහන් කළ හැකි ය. ශාන්තිකර්මවල පැනෙන ඇතැම් පද්‍ය රාගය පිළිබඳ චිත්තරූප ජනනය කරයි.

මහාචාර්ය සරච්චන්ද්‍රට අනුව මෙවැනි සංවාද නාගරිකයන්ට අසභ්‍ය යෑයි හැඟී ගිය ද ගැමියන්ට එසේ නො වේ. ගැමියෝ මේවා ශ්‍රවණයෙන් විශාල මානසික සුවයක්‌ ලබති. ඇතැම් සිංහල ශාන්තිකර්මවල සංවාද මෙන් ම චර්යා මඟින් ද රාගය නියෝජනය/ නිරූපණය කෙරේ. ලිංගික කරුණු ගැන අසන්නට ලැබීම නිසා ඇතැමුන් තුළ පවත්නා මානසික අසමතුලිතතාවන්ට විසඳුම් ලැබෙන බව ඇතැම් බටහිර පර්යේෂණවලින් ද පෙනී ගොස්‌ තිබේ.

අපේ ශාන්තිකර්ම මෙන්ම වෙනත් රටවල කෙරෙන වත් පිළිවෙත්වල ද ප්‍රධාන අංගයක්‌ වන්නේ බෙර නාදයයි. බෙර නාදය ආශ්‍රය කොටගෙන රෝගියකු ගේ මානසික හා කායික සෞඛ්‍යයට විශාල ලෙස බලපෑම් කළ හැකි බව හෙළි ව ඇත. මේ ගැන වැඩි විස්‌තර පසුව ඉදිරිපත් කෙරේ.

අපේ ශාන්තිකර්මවල දී කෙරෙන තවත් ක්‍රියාවක්‌ වන්නේ දුම්මල භාවිතයයි. බෝ වන රෝගවලට අදාළව කෙරෙන ශාන්තිකර්මවල දී මුළු ගෙය පුරාමත්, අවට පරිසරයේත් දුම්මල ගැසීම සිදු කෙරේ. විෂබීජ නාශනයට මෙය වැදගත් වේ. ශාන්තිකර්ම කරන අවස්‌ථාවල දී රාත්‍රී කාලයේ දී පත්තු කරන ලද පහන්/පන්දම් වර්ගවලට ගන්නා ලද්දේ විෂබීජ නාශක ගුණය ඉහළ දේවල් ය. කැකුණ, ඊට හොඳ ම නිදසුනකි. ශාන්තිකර්මයෙන් පසු ආතුරයාට පරෙස්‌සම් විය යුතු ආහාර ගැන මෙන්ම චර්යා ගැන ද යකැදුරා උපදෙස්‌ දෙයි. මේ උපදෙස්‌ තුළ ද විද්‍යාත්මක චින්තනයක සේයා ඇතැම් විට ගැබ් ව තිබේ. කෙසේ වෙතත් මගේ හැඟීම නම් අප ගේ ශාන්තිකර්ම මඟින් වන සෞඛ්‍යමය මෙහෙය පිළිබඳ පුළුල් මට්‌ටමේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක විශ්ලේෂණ සහිත ප්‍රවේශයකින් යුතු පර්යේෂණ සිදු ව නැති බවයි. ශාන්තිකර්ම පිළිබඳ පුරෝගාමී පර්යේෂකයන් රැසක ගෙන් මේ පිළිබඳව විමසුව ද ඔවුන් කිසිවකු සතු ව සුව වූ රෝගීන් සම්බන්ධ පැහැදිලි දත්ත වැනි දේ පැවතියේ නැත. ඔවුන් ඇතමෙකු ශාන්තිකර්මවල සෞඛ්‍යමය වටිනාකම් ගැන සඳහන් කර පැවතිය ද ඒවා හුදු සම්මුඛ සාකච්ඡාවකට හෝ සුව වීමක්‌ ගැන කෙරෙන සරල සඳහනකට සීමා විය.

මා පෞද්ගලිකව මේ යාගවල යෙදෙන ඇදුරන් හා කතාබහ කළ ද ඒ කිසිවකු සතු ව ද එවැනි තොරතුරු නො වී ය. කෙසේ වෙතත් මේ සම්බන්ධව වෙනත් රටවල කෙරුණ අධ්‍යයන වාර්තා රැසක්‌ පරිහරණය කිරීමේ ඉඩකඩ මට ලැබිණි. ශාන්තිකර්ම වැනි ආගමික වත් පිළිවෙත් හේතු කොටගෙන රෝග සමනය සිදු වන බව ඉතා ම පැහැදිලිව ස්‌ඵුට කළ පර්යේෂණයක්‌ පහත දැක්‌වේ. මේ අධ්‍යයනය මෙහෙයවන ලද්දේ (2002 දී) ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි National Institute of Mental Health and Neurosciences හි Raguram ඇතුළු පිරිස විසිනි. මේ අධ්‍යයනයේ විශේෂත්වය හුදු ගුණාත්මක විශ්ලේෂණාත්මක ක්‍රියාදාමයකට පමණක්‌ සීමා නො වී ප්‍රමාණාත්මක විශ්ලේෂණාත්මක ක්‍රියාදාමයකට ප්‍රවේශ වීමයි. එසේ ම සායනික වාර්තා කෙරෙහි ද මේ අධ්‍යයනයේ දී විශේෂ අවධානයක්‌ යොමු කොට තිබේ. දකුණු ඉන්දියාවේ එක්‌තරා හින්දු දේවාලයක කෙරෙන ශාන්තිකර්මයක්‌ මේ අධ්‍යයනය සඳහා පාදක කොටගෙන ඇත. මේ අධ්‍යයනය මෙහෙයවූ ඉන්දියාවේ බැංගලෝරයේ ජාතික මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයෙහි ආචාර්ය රාමනාදන් රගුරාම් පෙන්වා දෙන්නේ යම් යම් මානසික ආබාධ සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ලබා දෙන ඖෂධ හා චිත්ත වර්ධන ප්‍රතිකාරවලට කිසිසේත් නොදෙවැනි මෙහෙයක්‌ මේ හින්දු ශාන්තිකර්ම මගින්ද සිදුවන බවයි.

ඔහු මේ අධ්‍යයනය සඳහා තෝරාගත් තමිල්නාඩුවේ වෙලායුදම් පලයම් පුදුර්හි මුත්තුසාමි දේවාලය ලොව පුරා හින්දු බැතිමතුන් ගේ අතිශය ගෞරවයට බඳුන් වූවකි. මේ සුවිශේෂිත දෙවොල ගොඩනංවා ඇත්තේ අතීතයේ විසූ රෝග සුව කිරීමේ බලය සතු වූ පූජකයකු ගේ සොහොන් කොත මත ය. මෙහි දී ආචාර්ය රගුරාම් භින්නොන්මාද රෝගීන් 23ක්‌ ද, මායා රෝගීන් 6ක්‌ ද, ද්විධ්‍රැව රෝගයට ගොදුරු වූවන් 2ක්‌ ද තම අධ්‍යයනයට යොදා ගත්තේ ය. ඔවුන් ගේ මානසික රෝග ලක්‌ෂණ (Bprs අගය)??? සියයට විස්‌සකින් අඩු වීමට (දේවාලය තුළ ගත කළ කාලයේ දී) මෙය හේතු වූ බව ආචාර්ය රාගුරාම් ස්‌ඵුට කළේ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් කීප දෙනකු ගේ ද සහාය ඇති ව ය.

මෙහි දී ඔවුන්ට ලැබුණේ ගෞරවය, ආදරය හා පිළිගැනීමයි. "තර්ජනයක්‌ අභියෝගයක්‌ නොමැති සාමකාමී පරිසරයක දී තම විශ්වාස හිතේ දරාගෙන සතුටෙන් ජීවත් වෙන්න ඉඩ ලැබෙනවා." එසේ පවසන්නේ ආචාර්ය රගුරාම් ය. රගුරාම් මෙහි දී විශේෂ අවධානය දක්‌වන්නේ දෙවොලේ සාමකාමී පරිසරය කෙරෙහි ය. එහෙත් සාමකාමී පරිසරයට අමතරව මේ ස්‌ථානය සතු යෑයි ජනතාව පිළිගන්නා සුවිශේෂී බලය ගැන ද සැලකිල්ල යොමු කළ යුතු ය."රෝගීන්ට සුව සෙත සැදූ බලවේගය මත රෝගියකු අත තැබීමෙන්, එනම් ස්‌පර්ශයෙන් රෝගියා සුව කිරීමේ හැකියාව තිබූ බව විශ්වාස කෙරේ. දැන් මේ දෙවොලෙහි සෙත් ශාන්තීන්හි යෙදෙන්නේ එම පුද්ගලයා ගේ පරම්පරාවෙන් පැවතෙන්නන් ය. ආචාර්ය රගුරාම් පෙන්වා දෙන්නේ මේ පිරිස උක්‌ත ශාන්තිකර්මයෙන් සැලකිය යුතු ප්‍රගතියක්‌ ලබා ඇති බවයි. මේ පර්යේෂණය පිළිබඳ ප්‍රතිඵල 2002 ජූලි මස පස්‌ වැනි දා නිව් සයන්ස්‌ටිස්‌ට්‌ සඟරාවෙහි පළ ව තිබිණි. බටහිර ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය Assen Jableìky මේ ප්‍රතිඵල විශ්ලේෂණයට බඳුන් කරමින් මෙසේ පවසයි. "මේ ප්‍රතිඵල ඉන්දියාවේ මුත්තුසාමි දෙවොලට විශේෂිත වූ එකක්‌ නො වෙයි. ඉන්දියාවට විශේෂිත වූ එකකුත් නො වෙයි. කිසි ම ධර්මයකට හෝ විශ්වාසයකට හෝ පමණක්‌ සීමා වූවකුත් නො වෙයි. නයිජීරියාවේ අරෝ ගම්මානයේ කෙරෙන සාම්ප්‍රදායික යාතුකර්මයක්‌ මඟිනුත් මේ ප්‍රතිඵල ලැබෙන්නට ඉඩ තිබෙනව. කෙසේ වෙතත් මෙය විකල්ප ක්‍රමවේදයක්‌ සේ නො සලකා ඌනපූරක??? ප්‍රවිෂ්ටයකින් ඉදිරිපත් විය යුතු බව ද ඔහු අවධාරණය කරයි. කෙසේ වෙතත් ඉන්දීය වෛද්‍යවරයකු වන අනිල් ආනන්දස්‌වාම් පවසන්නේ මෙහි මහාචාර්ය ජබ්ලන්ස්‌කි දකිනවාට වඩා ලොකු බලයක්‌ ඇති බවයි.

ආචාර්ය මර්ෂියා ලන්ඩන් ඇල්බට්‌ නමැති අධ්‍යාපන මනෝවිද්‍යාඥවරිය ආධ්‍යාත්මික වත්පිළිවෙත් මඟින් රෝග සුව කිරීමේ හැකියාව ගැන ඉතා ඵලදායි පර්යේෂණ රැසක්‌ පවත්වා තිබේ. 1998 දී ඇය මේ පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක්‌ කැලිෙµdaනියා විශ්වවිද්‍යාලයයට ඉදිරිපත් කළා ය. පිළිකාවලට හා ඒඩ්ස්‌වලට අදාළව ආගමික වත්පිළිවෙත් මඟින් සැලකිය යුතු සහනයක්‌ ලද හැකි බව ඇගේ පර්යේෂණ පත්‍රිකාවෙන් අවධාරණය කරන කරුණයි.

ආගමික විශ්වාස හා වත්පිළිවෙත් නිසා මනුෂ්‍යයා ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයට ද හානි වෙතැයි යන්න ඇල්බර්ට්‌ එලිස්‌ (Albert Ellis), වෙන්ඩෙල් වොටර්ස්‌ (Wendell Watters) වැනි මනෝවිද්‍යාඥයන් ගේ අදහස විය. එනිසා ම තමන් වෙත මානසික ප්‍රතිකාර ගන්නට ආ අය ආගමික වත් පිළිවෙත් හරහා ප්‍රතිකාර ලබා ගැනීම බටහිර මනෝ විද්‍යාඥයන් බොහෝ දෙනකු දුටුවේ විහිළුවක්‌ ලෙසට ය. එහෙත් ඩියුක්‌ වෛද්‍ය විද්‍යාලයයේ මනෝ වෛද්‍ය විද්‍යා හා චර්යා විද්‍යා මහාචාර්ය හැරල්ඩ් ජී. කොඉනිග් පවසන්නේ මෙවැනි මතයක්‌ ප්‍රචලිත වුවත් (1930 දශකයේ සිට මේ දක්‌වා ම) මේ පිළිබඳ පර්යේෂණ දත්ත සහිත පදනමක්‌ නොමැති බවයි. හුදෙක්‌ මනෝ විද්‍යා ක්‍ෂෙත්‍රයේ ප්‍රකට එමෙන්ම බලවත් පුද්ගලයන් ගේ පෞද්ගලික සායනික අත්දැකීම් හා ප්‍රකාශ පමණක්‌ පදනම් කර ගනිමින් මේ අදහස්‌ ව්‍යාප්ත වී තිබේ. කෙසේ නමුත් වත්පිළිවෙත් හා බැඳුණු ආගමික විශ්වාසවලට රෝග සුව කිරීමේ බලයක්‌ නැතැයි එක හෙළා කිව නොහැකි බව මහාචාර්ය කොඉනිග් පවසයි.

Desouza ඇතුළු පිරිස විසින් 2002 දී ඕස්‌ටේ්‍රලියාවේ දී කරන ලද අධ්‍යයනයක තොරතුරු මෙහි දී මහාචාර්ය කොඉනිග් උපුටා දක්‌වයි. එම අධ්‍යයනයට සහභාගි වූ මානසික රෝගීන් ගෙන් සියයට හැට හතක්‌ ම පවසා තිබුණේ ආගමික වත්පිළිවෙත් මඟින් තමන් ගේ රෝගය සමනයට සහයක්‌ ලැබෙන බවයි. පුගෙට්‌ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයකු වන බ්‍රැන්ඩන් ජඡ් ශාන්තිකර්ම පිළිබඳ පර්යේෂණ රැසක්‌ කළ අයෙකි. ඔහු කෙන්යාවේ පවතින පෙපෝ නමින් හඳුන්වන ශාන්තිකර්ම ප්‍රභේදය ගැන දීර්ඝකාලීනව හැදෑරීම් කළේ ය. 2003 දී කෙන්යාවට ගිය ඔහු එහි ටයිටා ප්‍රදේශයේ මොරෙනෝ ඇතුළු ගම්මාන රැසකට ගොස්‌ අධ්‍යයන කටයුතුවල යෙදුණේ ය. මේ ශාන්තිකර්ම ක්‍රමවේදය සංගීතය හා නැටුම පාදක කරගත්තක්‌ බව ඔහු තම අධ්‍යයනය මඟින් පෙන්වා දෙයි. මේ ටයිටා ජනයා අතර මේ ශාන්තිකර්මයේ ම කොටසක්‌ ලෙස ශාකසාර ඔසු ලබා දීම ද, පිළිකා, උදරාබාධ, චර්ම රෝග ආසාත්මිකතා වැනි දෙයට මේ ප්‍රතිකාරවලින් සහනය ලද අය ගැන තමාට අසන්නට ලැබුණු බව ද සඳහන් කරයි. එසේ වුවත් මේ තොරතුරුවල සත්‍ය අසත්‍යතාව ගැන ඔහු පසු විපරමක්‌ කර ඇති බව නො පෙනේ. ඔහු ගේ අධ්‍යයනයෙහි ඇත්තේ සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කරන ලද පුද්ගලයන් විසින් දෙන ලද තොරතුරු ය. ඒ මිස ප්‍රමාණාත්මක විශ්ලේෂණ
ඔහු ගේ අධ්‍යයනයට ඇතුළත් නො වේ. රෝගියාට සෙත් පතමින් ශාන්තිකර්මයේ යෙදීමෙන් පසු විවිධ ශාක සාර දෙන බව ඔහු පෙන්වා දෙයි. ඒ ඒ රෝගයට අදාළ වන ශාක වර්ග ද ඔහු විස්‌තර කරයි. නිදසුනක්‌ දක්‌වත හොත් මස්‌ කෑමෙන් ආසාත්මිකතාවට ලක්‌ වන අයට Kififa ශාක පත්‍ර ආහාර සඳහා දෙයි. Kififa යනු ඖෂධිය ගුණයක්‌ ඇති ශාකයකි. කෙසේ වෙතත් ඔහු ගේ අධ්‍යයනයෙහි වාර්තා පරිපූර්ණ නො වන බව වෙනත් විද්වතුන් ගේ මතයයි. වත්පිළිවෙත්හි යොදාගන්නා ශාක වර්ග හා ශාක සාර යනු මෙහි දී අප ගේ දැඩි අවධානයට ලක්‌ විය යුතු දේ ය.

තුල්සි (Holy Basil) යනු ඉන්දියාවේ Ritual සඳහා බහුලව භාවිත කරන ශාකයකි. lamiaceae කුලයට අයත් මේ ශාකය ශාඛා සහිතව වර්ධනය වන උසින් 60cm පමණ වන්නකි. රූපීය ප්‍රභේද දෙකක්‌ (morphotypes) පවතින අතර ඉන් එකක්‌ හඳුවන්නේ ශ්‍රී ලක්‌ෂ්මි තුල්සි යනුවෙනි. මෙහි පත්‍ර තද කොළ පැහැති ය. අනෙක දම් පැහැ පත්‍රවලින් සමන්විත වන අතර එය විෂ්ණු තුල්සි ලෙස හැඳින්වේ. මරණාසන්න පුද්ගලයන්ට ශාන්තිය ලබා දීම පිණිස ඉන්දියාවේ ඇතැම් පළාත්වල කෙරෙන එක්‌ පිළිවෙතක්‌ වන්නේ තුල්සි පත්‍ර පෙඟවූ ජලය පානය කරන්නට දීමයි. එහි අරමුණ මිය යන කෙනා ගේ ආත්මය ස්‌වර්ගය වෙත ප්‍රවාහනය බව කියවේ.

ඉන්දියානු මහාචාර්ය සී. වෙන්කටේෂ්වරන් තම අධ්‍යයනයක්‌ මඟින් පෙන්වා දී ඇත්තේ තුල්සි යුෂ පානය කළ ආතතියට ගොදුරු ව සිටි පුද්ගලයන් ගෙන් සියයට අනූවකට ම සහනය ලැබුණු බවයි. මේ ශාන්තිකර්ම ආදියෙහි දී යොදා ගන්නා පුද සිරිත් මෙන් ම ලබා දෙන ඖෂධ ද අප ගේ අවධානයට යොමු විය යුතු ය. Navojo (ඇමෙරිකානු ස්‌වදේශීය ජනවර්ගයකි) ප්‍රජාව තුළ ශාන්තිකර්මවල දී ඖෂධ භාවිතය බහුලව සිදු කෙරේ. Navojo ප්‍රජාව විශ්වාස කරන්නේ රෝග වැළඳෙන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් මඟින් හෝ වෙනත් රෝගකාරක මඟින් හෝ නො ව භූතයන් නිසා කියා ය. එම නිසා ඔවුහු රෝගවල දී අද්භූත බලවේගවල පිහිට පතති. කෙසේ වෙතත් මෙවැනි ශාන්තිකර්මවල දී ප්‍රබල දේශීය ඔසු භාවිතයට ගන්නා යම් පිළිවෙත් අනුගමනයට යකැදුරෝ අමතක නො කරති. සමහර විට මේ යකැදුරෝ වෙදකමේ යෙදෙන්නෝ ද වෙති. එසේ ම ඔවුහු මේ ප්‍රජාව තුළ නව දැනුම නිර්මාණය කරගන්නෝ ද වෙති. කැලිෙµdaනියා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ඩොබිකින් ඩි රියොස්‌ මේ Navogo ප්‍රජාව ගැන Peru හි යකැදුරන් ගැන අධ්‍යයන මෙහෙයවූ විද්වතෙකි. තමාට හමු වූ එක්‌ යකැදුරකු ගැන ඔහු මෙසේ කියයි. "ඩාන් හටිඩ් කියන යකැදුරා හුඟක්‌ ප්‍රසිද්ධ කෙනෙක්‌. ඔහු සෙත් ශාන්තිවල දී අලුත් අලුත් ඖෂධ දෙනව. ආතරයිටිස්‌ වැළඳුණ අය නිතර ම මේ මිනිසා ළඟට ඇවිත් ශාන්තිකර්ම කර ගන්නවා. මොහු මේ අයට යාතිකා කියා ආසිරි පැතීමෙන් පසු බෝතලයකින් ජෙලි වගේ දෙයක්‌ කන්න දෙනව. ශුද්ධ වූ ආහාරය කියල දෙන මේවා රම්වල දැමූ රතු කූඹි.

මී මැස්‌සන් ඇති කරන අය අතරේ ආතරයිටිස්‌ අඩු බව නවතම පර්යේෂණවලින් හෙළි ව තිබෙනව." ඔහු කියයි.

මේ ඔසුවලට අමතරව "නවයො ශාන්තිකර්මවලට" බොහෝ දේ ඇතුළත් ය. ගී හා නර්තනය ඒ අතරින් වැදගත් වේ. ලෝහ හා පාෂාණ ස්‌පර්ශ කිරීම ද කෙරේ. මේ ගී ගයන්නේ නවයො ගම්මානයේ සිටින යකැදුරා ය. ඔහු ගේ මේ ගී බොහෝ විට අපේ සෙත්කවිවලට සමාන ය. නවයො ශාන්තිකර්මයක දී ආතුරයා වැලි සිත්තමක්‌ මත (වැල්ලෙහි අඳින ලද චිත්‍රයක්‌) වාඩි කරවනු ලැබේ. ගෝත්‍රික ප්‍රජාව අතර ශාන්තිකර්මවල දී කෙරෙන තව ක්‍රියාවක්‌ වන්නේ ආතුරයා ඔසු සහිත/ශාක සාර ජලයෙහි හෝ උණු ජලයෙහි බහා තැබීමයි. කුඩා දිය අගල්වලට රත් කළ ගල් දැමීමෙන් සකසා ගත් උණු ජලය ස්‌නානය කළ යුතු බවට යකැදුරෝ උපදෙස්‌ දෙති. එවිට පාෂාණයේ ඇති ගුණ ද ජලයට එක්‌ වෙතැයි සිතිය හැකි ය.

නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් ජර්නලය පෙන්වා දෙන්නේ දිනපතා උණු ජලයෙහි (උණු ජලය සහිත නාන බේසමක රැඳෙමින්) ස්‌නානය කරන කෙනකුට දියවැඩියාවෙන් සහනයක්‌ ලැබෙන බවයි.

උණු ජලය සහිත නාන බේසමක මිනිත්තු 30ක්‌ රැ`දී සිටින කෙනකු ගේ රුධිර සීනි මට්‌ටම සියයට දහ තුනකින් පහළ බසින බව එම අධ්‍යයනය පෙන්වා දෙයි. මේ අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ කැලිෙµdaනියා විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසකි.

නර්තනය නවායො ප්‍රජාවේ ශාන්තිකර්මවල සුවිශේෂී අංගයක්‌ බව කලින් සඳහන් කරන ලදී. නැටුම්වලට සහභාගි වීම මෙන්ම නැටුම් නැරඹීම ද ඉතා ඉහළ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි කර දෙන ක්‍රියාවලියකි. 2003 දී නිව් එංග්ලන්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින්හි පළ වූ වාර්තාවක සඳහන් වූයේ වෙනත් බෙහෝ විනෝදය දනවන ක්‍රියා හා සසඳන විට නැටුම්වලින් ලැබෙන මානසික සහනය ඉහළ බවයි. මේ පර්යේෂණය මෙහෙයවූ අය අල්සයිමර් රෝගීන් පිරිසක්‌ තෝරාගෙන ඔවුන්ට නැටුම්, කියවීම, ලිවීම, ප්‍රහේළිකා විසඳීම, කාඩ් සෙල්ලම වැනි විවිධ ක්‍රියාකාරකම්වලට ඉඩ සලසා ඉන් ලැබෙන මානසික සහනය විමර්ශනය කරන ලදී.පෙන්සිල්වේනියානු විශ්වවිද්‍යාලයයේ පර්යේෂිකාවක වන ඩිත්. එල්. බී. ටර්නර් ද වත්පිළිවෙත් මඟින් රෝග සුව කිරීමේ හැකියාව ගැන පුළුල් මට්‌ටමේ අධ්‍යයන සිදු කර ඇත. සැම්බියාවේ ගෝත්‍රික ජනයා අතර ඉතා දිගු කලක්‌ ජීවත් වෙමින් (1980 දශකයේ දී) ඇය මේ ගැන පර්යේෂණ පැවැත්වුවා ය. එම අධ්‍යයන පාදක කර ගනිමින් ඇය පෙන්වා දෙන්නේ එම සැම්බියානු වත්පිළිවෙත් (ශාන්තිකර්මවලට සමාන) මඟින් මානසික රෝග හා ඇතැම් කායික රෝග ද යම් මට්‌ටමකට සුව වන බවයි. කොලරාඩෝ විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා මහාචාර්ය මෙන්ම කාන්තා අධ්‍යයන ව්‍යාපෘතියේ අධ්‍යක්‌ෂිකාව ද වන ජැනෙට්‌ ජාකොබේ ද වත්පිළිවෙත් මඟින් ලබාගත හැකි මානසික සහනය පිළිබඳ අධ්‍යයන මෙහෙයවා ඇත. ඇය තම අධ්‍යයනයේ දී අවධානය යොමු කළේ අපචාරවලට ගොදුරු වූ ස්‌ත්‍රීන්ට මේ ක්‍රමවේදය මඟින් සහනයක්‌ ලැබේ ද යන්න ගැනයි. මෙහි දී ඇය එවැනි විපත්වලට මුහුණ දුන් කතුන් 25ක්‌ අධ්‍යයනයට සහභාගි කර ගත්තා ය.

එම කතුන් ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීමටත් සමාජ වෛර දුරු කරලීමටත් මේ පිළිවෙත් බෙහෙවින් ම මහෝපකාරී වී ඇත. ශාන්තිකර්මයේ වාණිජකරණය කෙසේ වෙතත් සංචාරකයන් ආකර්ෂණය කරවා ගැනීමේ අරමුණ හෝ මුදල් ඉපැයීමේ වෙනත් ක්‍රියා පෙරදැරි කරගත් Healing temples ඉන්දියාව වැනි රටවල බහුලව තිබේ. එසේ ම සාමාන්‍ය නීතියට පටහැනි ව පවත්වාගෙන යන සුව මධ්‍යස්‌ථාන ද තිබේ. ඉන්දියාවේ දර්ශාහි එර්වාදි ගම්මානයේ මසෙ???? සුව මධ්‍යස්‌ථානයේ එවැනි මෙහෙයක දී ගින්නකට හසු වී පුද්ගලයන් 25ක්‌ පමණ මරණයට පත් වූ බව වාර්තා විය. මෙසේ මේ අය මරණයට පත් වූයේ ඔවුන් එකිනෙකා දම්වැල්වලින් බැඳ දමා තිබීම නිසා ය. මේ රෝගීන් ඒ මේ අත දැඟලීම වළක්‌වා ලීම පිණිස මසෙ මධ්‍යස්‌ථානයේ බලධාරීන් විසින් ඔවුන් මෙසේ බැඳ දමා තිබේ. එනිසා ගින්න හටගත් වෙලාවේ පැනගන්නට ඔවුන්ට බැරි විය.

ඉන්දියාවේ හා වෙනත් රටවල ශාන්තිකර්මවල වෛද්‍යමය ප්‍රතිලාභ ගැන යම් යම් මට්‌ටමේ පර්යේෂණ පැවතිය ද ඒවා නැවත විමර්ශනයට ලක්‌ කළ යුතු මට්‌ටමේ ඒවාය. මේ පර්යේෂණ බෙහොමයක පසු විපරම් හෝ Peer Review හෝ නොවු බවද කිව යුතුව ඇත. මා දන්නා තරමින් හා මා හා සාකච්ඡාවල නිරතවු තත් විෂයෙහි ප්‍රමාණිකයන්ට ද අනුව එවැනි මට්‌ටමක හෝ පර්යේෂණ අපේ රටේ සිදුව නැත. එනිසා ශාන්තිකර්ම සතුව විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි මානසික සහනයක්‌ හෝ ඇත්ද නැද්ද යන්න ස්‌ථිරවම ප්‍රකාශ කළ නොහැකිය. මේ ලිපියේ සමාප්තියත් සමග මා යෝජනා කරන්නේ වෛද්‍ය විද්‍යා දැනුම හා ශාන්තිකර්ම පිළිබඳ දැනුම ඇති අය එක්‌ව මේ පිළිබඳව පර්යේෂණ ඇරඹිය යුතු බවයි. ශාන්තිකර්ම අරභයා කරන ලද එවැනි (සෞඛ්‍ය විද්‍යා ප්‍රතිලාභ ගැන) සංඛ්‍යාත්මක දත්ත ලබා දිය හැකි පර්යේෂණ ගැන ඔබ දන්නේ නම් ඒවා ගැන දන්වා එවන ලෙසද කරුණාවෙන් ඉල්ලමි.

මනෝජ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය