වෙනස්‌ වීම



වාස්‌තවිකත්වය යනු හුදෙක්‌ සාධාරණීකරණයක්‌ වන්නේ කෙසේ ද යන්න තවත් පැහැදිලි කළ යුතු ය. අපට ලෝකය යනු මූලික වශයෙන් මිනිසුන් විසිsන් දකිනු ලබන ලෝකය ය. විවිධ සතුන් දකින ලෝකවලින් ලෝකය දැනගැනීමට හැකි යෑයි අපි නො සිතමු. එයට ප්‍රධාන හේතුව අධිපතිවාදී බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මෑතක්‌ වන තුරු ම සතුන්ට මනස්‌ ඇතැයි නො පිළිගැනීම ය. අද වුවත් සතුන්ට මනස්‌ ඇතැයි පිළිගන්නා බටහිරයන් ඇත්තේ ස්‌වල්ප දෙනකු පමණ ය. දෙවියන් දකින ලෝක, බඹුන් දකින ලෝක ගැන කතා කිරීම මෙහි දී අනවශ්‍ය වන්නේ දෙවියන් බඹුන් ඇතැයි සිතීමට පවා අධිපතිවාදී යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය විරුද්ධ වන බැවිනි. එහෙත් ඒ සංස්‌කෘතියෙහි සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනකු ගැන ඉගැන්වෙයි. ඒ දෙවියන් වහන්සේට රූපයක්‌ පවා නැත. ඒ එතරම් ම වියුක්‌ත සංකල්පයකි. එහෙත් එකී දෙවියන් වහන්සේට හැරෙන්නට වෙනත් දෙවි කෙනකුට ඒ සංස්‌කෘතියෙහි ඉඩක්‌ නැත.

මිනිසුන් සියලු දෙනාට ම ඇත්තේ සාධාරණ වශයෙන් ගත් කල එක ම ආකාරයේ ඉන්ද්‍රිය ය. අපට මල් පෙනෙයි. ගස්‌ පෙනෙයි. මේස ස්‌පර්ශ කළ හැකි ය. එක ම ආකාරයේ ඉන්ද්‍රිය ඇති බැවින් අප සියලු දෙනාට ම එක ම දේ පෙනෙන්නේ යෑයි එසේත් නැත්නම් අප එක ම දේ ග්‍රහණය කරගන්නේ යෑයි සිතමු. එමෙන් ම අප ඉපදෙන්නට කලින් ද අප මිය යැමෙන් පසුව ද මල් ගස්‌ ආදිය තිබිණ, තිබෙන්නේ යෑයි අපි සිතමු. ඩාවින් ගේ පරිණාමවාදය අනුව ලෝකාරම්භය හෙවත් බටහිර විද්‍යාවේ මහා පිපිරුම දක්‌වා මල් නො තිබුණ ද අප ඉපදෙන්නට පෙර ඉතා විශාල කාල

පරිච්ඡේදයක මල් තිබුණේ යෑයි අපි බටහිරයන්ට අනුව විශ්වාස කරමු. අපේ මරණයෙන් පසුව ද එලෙස ම ඉතා විශාල කාල පරිච්ඡේදයක මල් පවතින්නේ යෑයි අපට කියා දී ඇත.

මෙයින් බටහිරයන් ලබාගන්නා නිගමනය කුමක්‌ ද? අප ඇතත් නැතත් මල් ගස්‌ ආදිය පවතින්නේ නම් ඒවා අපෙන් තොර ව පවතින්නේ යෑයි බටහිරයෝ නිගමනය කරති. මෙය බටහිරයන් ගේ පමණක්‌ නො ව පෙරදිග ද ඇතැම් දාර්ශනිකයන් ගේ නිගමනය වෙයි. එහෙත් ඒ ඒ අය එවැනි නිගමනයකට එළඹෙන්නේ කෙසේ ද? එය තර්ක කිරීමෙන් අපෝහනය නිගමනය (Deduce) කළ හැකි දෙයක්‌ නො වේ. අපත් අපේ මුතුන් මිත්තනුත් මල් දැක ඇති පමණින් මල් අති විශාල කාල පරිච්ඡේදයක අපෙන් තොර ව අපෙන් ස්‌වායත්ත ව පැවැතියේ යෑයි අප නිගමනය කරන්නේ කෙසේ ද?

එය නිගමනයක්‌ යෑයි කීව ද තර්කයෙන් ලබාගන්නා වූ නිගමනයක්‌ නො වේ. එය අපෝහනයක්‌ නො ව අභ්‍යqහනයක්‌ (Induction) පමණකි. කළු කපුටන් සියයක්‌ දෙ සියයක්‌ දැකීමෙන් පසු සියලු කපුටන් කළු පාට යෑයි අප නිගමනය කරන්නේ යෑයි කී ද එය ද අභ්‍යqහනයක්‌ පමණකි. පරම්පරා කිහිපයක්‌ මල් ගස්‌ ආදිය දැක ඇති බවට සාක්‍ෂි තිබූ පමණින් සැම දා මත් මල් ගස්‌ ආදිය තිබුණේ යෑයි අපට කිව හැකි නො වේ. කෙසේ වෙතත් ඩාවින් ගෙන් පසුව බටහිරයන් පවසන්නේ පරිණාමයේ යම්කිසි අවස්‌ථාවක දී ගස්‌, මල් ආදිය ඇති වූ බවත් ඉන් පසුව අපෙන් ස්‌වායත්තව ඒ පවතින බවත් ය. එහෙත් එය ද අභ්‍යqහනයක්‌ පමණකි. මෙහි දී නො කියා සිටීමට බැරි දෙයක්‌ නම් මුළු මහත් ඩාවිනීය පරිණාමවාදය ම අභ්‍යqහනයක්‌ පමණක්‌ බව ය. එය ප්‍රත්‍යක්‍ෂයක්‌ වත් අපෝහනයක්‌ වත් (නිගමනයක්‌ වත්) නො වේ. එහි ඇති තර්කයක්‌ නැත.

අප තර්කයට හා අපෝහනයට විශේෂ තැනක්‌ දෙන්නේ යෑයි මෙයින් සිතාගත නො යුතු ය. මෙහි දී සඳහන් කළ යුතු විශේෂ කරුණක්‌ වෙයි. එනම් අපෝහනය ද අභ්‍යqහනයක්‌ ආශ්‍රයෙන් කෙරෙන්නක්‌ වීම ය. අපෝහනය යනු තර්කය ආශ්‍රයෙන් සිදු කෙරෙන්නකි. තර්කය යොදා ගැනෙන්නේ යම් න්‍යායක (Logic) ය. ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි A = A , A=B හා B = C නම් A = C යනුවෙන් ස්‌වසිද්ධි වෙයි. මුළු මහත් බටහිර ගණිතය ම මෙවැනි ඇරිස්‌ටෝටලීය ස්‌වසිද්ධි මත පදනම් ව කෙරෙන අපෝහනවලින් හා අභ්‍යqහනවලින් යුක්‌ත වෙයි. A >B හා B >C නම් A > C යනු තවත් එවැනි ස්‌වසිද්ධියකි. බටහිර ගණිතයෙහි අපෝහනය සඳහා යොදාගන්නා මේ ස්‌වසිද්ධි අභ්‍යqහනයන් බව බොහෝ දෙනා නො දනිති. අභ්‍යqහනය යනු උපකල්පනයකින් මිස අන් කිසිවකින් සිදු වන්නක්‌ නො වේ.

A = A යනුවෙන් ගැනීමේ දී අප කරන්නේ කුමක්‌ ද? පළමුවෙන් ම A යනුවෙන් යමක්‌ පවතින්නේ යෑයි අපි සිතමු. මෙහි A යනු ඕනෑ ම දෙයක්‌, සත්ත්වයකු වෙනුවෙන් යෙදිය හැකි ය. ඕනෑ ම ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී හෝ වූවක්‌ අපි A යනුවෙන් හඳුන්වමු. A යනු දිනිඳු විය හැකි ය. එසේත් නැත්නම් අප වත්තේ ඇති පොල්ගසක්‌ විය හැකි ය. එසේත් නැත්නම් අසවල් තාරකාව විය හැකි ය. ඒ සැම අවස්‌ථාවක දී ම දිනිඳු හෝ පොල්ගස හෝ තාරකාව හෝ පවතින්නේ යෑයි අපි සිතමු. එහි දී අපි පැවැත්ම උපකල්පනය කරමු. මෙහි තවත් කරුණු දෙකක්‌ කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතු ය. අපි ඒ කරුණු ද උපකල්පනය කරමු. උපකල්පනය හැරෙන්නට, අපේ මනස්‌වලින් අප නිර්මාණය කරන දැ හැරෙන්නට වෙනත් ලෝකයක්‌ අපට නැත.

දිනිඳු හෝ අප දන්නා පොල් ගස හෝ තාරකාව හෝ වියුක්‌ත දේ නො වේ. ඒවා සංයුක්‌ත දේ වෙයි. අපි දිනිඳු හඳුනමු. අපේ වත්තේ ඇති අසවල් පොල්ගස දනිමු. එසේ ම අසවල් තාරකාව ද දනිමු. ඒ අපේ මනස සමඟ පංෙච්න්ද්‍රියයන් ගෙන් එකකට හෝ වැඩි ගණනකට හෝ ගෝචර වෙයි. (මනස නොමැති ව කිසි ම වෙනත් ඉන්ද්‍රියයකට ඒ ගෝචර නො වන බව අවධාරණය කළ යුතු ය). අපි දිනිඳු පවතින බව දනිමු. එමෙන් ම අපි පොල්ගස ද පවතින බව දනිමු. එහෙත් අපි මෙහි දී තවත් දෙයක්‌ උපකල්පනය කරමු. එනම් අප නැතත් දිනිඳු පවතින බව ය. අප අද මළත් බොහෝ විට දිනිඳු හෙටත් අනිද්දාත් ඉන් පසු වත් කාලයක්‌ ජීවත්වන බව අපි දනිමු. පොල්ගස හා තාරකාව ද එලෙස ම අප නැතත් තවත් යම් කාලයක්‌ පවතින බව අපි දනිමු. එහෙත් එසේ පවතින්නේ අප දන්නා දිනිඳු ද? වෙනත් අයකු දන්නා දිනිඳු ද? එසේත් නැත්නම් අප කවුරුවත් නො දන්නා වාස්‌තවික දිනිඳු කෙනෙක්‌ ද?

මෙහි දී අපි දිනිඳුට, පොල්ගසට හා තාරකාවට වාස්‌තවික පැවැත්මක්‌ ලබා දී ඇත්තෙමු. එහි දී මා දන්නා දිනිඳු ඔබ දන්නා දිනිඳු නො වන බව අපි අමතක කරමු. පොල්ගස හා තාරකාව සම්බන්ධයෙන් ද ඒ එසේ ය. අපි සාපේක්‍ෂය නිරපේක්‍ෂයක්‌ බවට පත් කර ඇත්තෙමු. ඒ කිසිදු තර්කයක්‌ න්‍යායක්‌ අනුව සිදු වන්නක්‌ නො වේ. එය ද අභ්‍යqහනයක්‌ පමණ ය. අපට සාපේක්‍ෂ වූ දිනිඳු අපට සාපේක්‍ෂ නො වූ නිරපේක්‍ෂ දිනිඳු කෙනකු බවට පත් කිරීම අභ්‍යqහනයක්‌ පමණ ය. පුදන කොට ම කාපි යකා වැනි ඒ නිරීක්‍ෂණයට පසුව අප A යන්නෙන් දිනිඳු මෙන් ම පොල්ගස ද තාරකාව ද හඳුනාගන්නා බව මතක්‌ කර දිය යුතු ය. A යනු එවිට වියුක්‌ත සංකල්පයකි. එය මනසින් වත් මවාගත හැකි නො වේ. එය ඕනෑ ම පොල්ගසක්‌ විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑ ම තාරකාවක්‌ විය හැකි ය. එසේත් නැත්නම් ඕනෑ ම පුද්ගලයකු විය හැකි ය.

ඉන්පසු අප කියන්නේ එයටත් වඩා භයානක දෙයකි. A පවතින බව උපකල්පනය කර අනතුරුව අපි A = A යෑයි කියමු. එහි පදනම කුමක්‌ ද? A = A වන්නේ යම් ක්‍ෂණයක ද? නැත්නම් දිගින් දිගට ම ද? දිනිඳු තමන්ට සමාන වේ ද? එසේ නම් ඒ කොපමණ කාලයකට ද? දිනිඳු තමන්ට සමාන වන්නේ ජීවත් ව සිටින තාක්‌ කල් පමණ ද? මරණින් පසු වෙනත් භවයක ඇත්තේ දිනිඳු ද? වෙනත් අයකු ද? දිනිඳු හා වෙනත් අයකු ද? දිනිඳුත් නො වේ ද වෙනත් අයකුත් නො වේ ද?

පොල්ගස සම්බන්ධයෙන් කිව හැක්‌කේ කුමක්‌ ද? පොල්ගස එයට සමාන වන්නේ එක්‌ ක්‍ෂණයක දී ද? එය එයට ගස්‌ මැරෙන තෙක්‌ ම සමාන වන්නේ ද? පොල් ගසේ මරණයෙන් පසු පොල්ගස සමාන වන්නේ කුමකට ද? පොල්ගස සම්බන්ධයෙන් ගත් කල A = A යන්න ගසෙහි අභාවයත් සමඟ අවසන් වන්නේ ද? තාරකාව ඇතුළු අනෙක්‌ සියලු දෑ සම්බන්ධයෙන් ඒ අයුරෙන් සමානත්වය ප්‍රශ්න කළ හැකි ය.

දිනිඳු ඊළඟ භවයේ දී නොව මේ භවයෙහි ද දිගින් දිගට ම තමන්ට සමාන වන්නේ ද? බිළිඳු දිනිඳු, ළමා දිනිඳුට හෝ තරුණ දිනිඳුට හෝ වැඩිමහලු දිනිඳුට සමාන නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. දිනිඳු ගේ හැඩරුව දිනෙන් දින ම වෙනස්‌ වෙයි. ඔහු ගේ හැකියාවන් වෙනස්‌ වෙයි. බිළිඳු දිනිඳුට කළ නො හැකි දේ තරුණ දිනිඳුට කළ හැකි ය. තරුණ දිනිඳුට නොමැති අත්දැකීම් වැඩිමහලු දිනිඳුට වෙයි. එසේ නම් දිනිඳු තමාට සමාන යෑයි පවසන්නේ කිනම් අරුතකින් ද?

ඉතා පැහැදිලිව වෙනස්‌ වන ඊනියා ප්‍රපංචයක විවිධ අවස්‌ථා සමාන යෑයි ගැනීමට අප නිරර්ථක උත්සාහයක යෙදෙන බව පෙනී යා යුතු ය. වෙනස්‌ වන ප්‍රපංචය යන්න ද වැරැදි අරුත් ගෙන දෙයි. වෙනස්‌ වන දිනිඳු තමාට සමාන යෑයි ගැනීම පිටුපස ආත්මවාදයක්‌ ඇති බව පැහැදිලි ය. දිනිඳු ගේ කෙස්‌, හම හෝ වෙනත් එවැන්නක්‌ හෝ නො ව වෙනස්‌ නො වන ආත්මයක්‌ පමණක්‌ දිගින් දිගට ම එයට ම සමාන විය හැකි ය. ඒ ආත්මය අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර නො වීම හේතුවෙන් එයට ද වියුක්‌තයක්‌ යෑයි කිව හැකි ය. දිනිඳු තමන්ට ම සමාන විය හැක්‌කේ එවැනි වෙනස්‌ නො වන නිත්‍ය ආත්මයක්‌, සදාකාලික ආත්මයක්‌ ඇත්නම් ය. අප තේරුම් නො ගත්ත ද A = A යනු ආත්මවාදී ප්‍රකාශයකි.

දැන් යමකුට ප්‍රශ්නයක්‌ විය හැක්‌කේ දිනිඳු තමන්ට ක්‍ෂණයක දී සමාන විය හැකි ද යන්න ය. අප එයට ඔව් යෑයි පිළිතුරු දුන්න ද, ඊළඟ ක්‍ෂණයෙහි දී පවතින්නේ වෙනස්‌ වූ දිනිඳු කෙනකු බව පැහැදිලි විය යුතු ය. එහෙත් අපට දිනිඳු යම් ක්‍ෂණයක දී තමන්ට සමාන විය හැකි ද යන ප්‍රශ්නය අප හමු වේ වෙයි. මෙහි දී අපට නැඟෙන පළමු ප්‍රශ්නය නම් ක්‍ෂණය යනු කුමක්‌ ද යන්න ය. අප ක්‍ෂණයක්‌ යනුවෙන් අර්ථ දක්‌වන්නේ කුමක්‌ ද? දිනිඳු ක්‍ෂණයකට පමණක්‌ පවතින්නෙක්‌ ද? ඊළඟ ක්‍ෂණයෙහි දී දිනිඳු වෙනස්‌ වුවත් එක්‌ කුඩා ක්‍ෂණයකට පමණක්‌ දිනිඳු පවතින්නේ ද? අප විසින් පණවන ලද සංකල්පයක්‌ වූ, පඤ්ඤත්තියක්‌ පමණක්‌ වූ කාලයෙන් කොටස්‌ කඩා ඒ කොටස්‌ ඉතා කුඩා කර ඒ පවතින බව අපට කිව හැකි ද? එසේත් නැත හොත් ක්‍ෂණයක්‌ යනු කාලයෙන් විනිර්මුක්‌ත වූ කුඩා කොටසක්‌ ද?

කාලයෙන් විනිර්මුක්‌ත වූ ක්‍ෂණ නමින් හැඳින්විය හැකි එවැනි කුඩා කොටස්‌ පවතින්නේ ද? එසේ නම් ඒ පවත්නා කුඩා කොටස්‌ මොනවා ද? එවැනි ක්‍ෂණ වාස්‌තවික ද? නිරීක්‍ෂකයන් ගෙන් ස්‌වායත්ත ද? ඒ ක්‍ෂණවලට වාස්‌තවික පැවැත්මක්‌ ඇත් ද? ක්‍ෂණයෙන් ක්‍ෂණයට ඇත්තේ සන්තතික වූ සම්බන්ධයක්‌ ද? එසේත් නැත්නම් අසන්තතික ක්‌වොන්ටම් සම්බන්ධයක්‌ ද? එසේත් නැත හොත් වෙනත් ම වූ සම්බන්ධයක්‌ ද? යම් ක්‍ෂණයක දී තමන්ට ම සමාන වූ දිනිඳු ඊළඟ ක්‍ෂණයට වෙනස්‌ වී පනින්නේ ද? වෙනස සිදු වන්නේ ක්‍ෂණය ඇතුළත ම ද? එසේත් නැත්නම් ක්‍ෂණයෙන් පිටත දී ද? වෙනස සිදු වන්නේ ක්‍ෂණය ඇතුළත නම් දිනිඳු ක්‍ෂණයක දී තමන්ට සමාන වන්නේ යෑයි කීමේ තේරුම කුමක්‌ ද?

මහාචාර්ය නලින් ද සිල්වා

Popular posts from this blog

පෞරුෂය වර්ධනය කරගන්නේ කොහොම ද? - 2

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු