දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි


දැනුම දිනා ගැනීමට නම් පර්යේෂණ අත්‍යවශ්‍යයි
මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ

පර්යේෂණ යනු ඕනෑ ම විෂය ක්‍ෂෙත්‍රයක ප්‍රගමනය සඳහා අත්‍යවශ්‍ය ම සාධකයකි. එහෙත් අපේ රටේ ඵලදායි පර්යේෂණ සිදු වන්නේ ද යන ප්‍රශ්නය මතු වේ. අතීතයේ දී සාර්ථක පර්යේෂණයන්හි තෝතැන්න වූයේ විශ්වවිද්‍යාලයයි. අද අපේ විශ්වවිද්‍යාල ඇදුරන්ට එරෙහි ව නැඟෙන ප්‍රධාන චෝදනාවක්‌ වන්නේ ඔවුන් ප්‍රාමාණික පර්යේෂණවල නියෑළෙන්නේ නැති බවයි. මේ චෝදනාවට නිදහසට කාරණා සපයමින් ඇතමුන් පවසන්නේ දේශන පැවැත්වීමට කාලය යොමු කළ විට පර්යේෂණ සඳහා කාලය ඉතිරි නො වන බවයි. එහෙත් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්‌ටගොඩ මහතා පසුගිය දා පර්යේෂණ නිබන්ධයක්‌ ඇතුළු ග්‍රන්ථ තුනක්‌ පළ කරමින් පෙන්වා දුන්නේ පර්යේෂණ සඳහා කාලය ගැටලුවක්‌ නො වන බවයි.



            

උපකුලපතිවරයකු මෙවැනි පර්යේෂණ කාර්යය සඳහා යොමු වන බව ශ්‍රවණය කරන්නට ලැබීම ද සතුටකි.

මීට වසර 2350කට පමණ පෙර ලයිසියම් විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය තනතුර හෙබවූ ඇරිස්‌ටෝටල් පඬිවරයා නම් පරිපාලන කටයුතු දේශන පැවැත්වීම ග්‍රන්ථ සම්පාදනය යන දේට අමතරව විවිධ ශාස්‌ත්‍රීය පර්යේෂණයන්හි නියෑළුණේ ය. එහෙත් වර්තමාන මහෝපාධ්‍යායවරුන් වෙතින් මෙවැනි ශාස්‌ත්‍රීය පර්යේෂණ සිදු වන බවක්‌ පෙනෙන්නට නැත. මහාචාර්ය ජයසේන කෝට්‌ටෙගොඩ ගේ මේ පරිශ්‍රමය ප්‍රශංසාවට බඳුන් විය යුත්තේ එවැනි සන්දර්භයක්‌ තුළ ය.

පසුගිය දෙසැම්බර් 22 වැනි දා එළිදුටු පහත රට රංග කලාවේ ලේඛන රීතිය ග්‍රන්ථය කෝට්‌ටගොඩ විද්වතා ගේ සුනිශ්‍රිත බුද්ධියටත් පර්යේෂණාත්මක චින්තනයටත් දෘෂ්ටාන්ත සපයයි.

මේ පර්යේෂණ කෘතියෙහි විශේෂත්වය වන්නේ හුදු වාර්තාකරණයකට සීමා නො වී ප්‍රායෝගික ප්‍රවේශයකට යොමු වී අදාළ ක්‍ෂෙත්‍රයේ නව මං සොයා යැමට උත්සාහ දරා තිබීමයි. පහත රට රංග කලාවේ ලේඛන රීතිය නම් වූ පර්යේෂණ නිබන්ධය පිළියෙල කිරීමට වසර තුනක්‌ පමණ කාලයක්‌ ගත ව තිබේ. තම පර්යේෂණයේ අරමුණ හා පර්යේෂණ සිදු කළ ආකාරය පිළිබඳ කෝට්‌ටෙගොඩ මහාචාර්යවරයා පැහැදිලි කළේ මෙලෙසිනි.

"නර්තන ශාස්‌ත්‍රය කියන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ පරපුරෙන් පරපුරට උරුම වෙමින් ප්‍රායෝගික භාවිතයෙහි පවතින රංග කලාවක්‌. මෙවැනි ශිල්ප ශාස්‌ත්‍ර ලේඛනගත කිරීමේ අවශ්‍යතාව අද මතු වී තිබෙනවා. විශේෂයෙන් පහතරට රංග කලාවේ චලනක නිසි පරිදි ලේඛනගත වී තිබුණේ නැහැ. මේ පිළිබඳව තොරතුරු සොයා පර්යේෂණයක්‌ කර නව ක්‍රමවේදයක්‌ හඳුන්වා දිය යුතු ය යන අදහස දිගු කාලයක සිට මා තුළ පැවතියා. බටහිර නර්තන කලාව ලේඛනයට හසු කර ගැනීම එතරම් අසීරු වන්නේ නැහැ. එහි පවතින්නේ සීමිත ඉරියව්. එහෙත් පහතරට රංග කලාවේ පාද චලන, හස්‌ත චලන උරහිස්‌ චලන, ශිර්ෂ චලන හා අක්‌ෂි චලන රැසක්‌ පවතිනවා. ඒවා ලේඛනයට හසු කර ගැනීම ලේසි පහසු කටයුත්තක්‌ නෙවෙයි. අප ගේ දීර්ඝකාලීන පර්යේෂණ තුළ දී හස්‌ත භේද හැට අටක්‌, පාද භේද හැට හතරක්‌, ශීර්ෂ භේද විසිපහක්‌, කටී භේද හෙවත් ඉඟටි චලන විසි හතරක්‌, දෘෂ්ටි භේද දහ අටක්‌, හා උරහිස්‌ භේද දහ හතක්‌ හඳුනා ගත්තා. මේ හඳුනා ගත් ඒවාට නම් තිබුණේ නැහැ. ඊට නම් ලබා දෙන්නට කටයුතු කළා.

ශ්‍රී ලාංකේය නර්තනයෙහි භාවිතයට පත් ව ඇති විවිධාකාර චලන ආදිය සඳහා කිසිදු නාම භාවිතයක්‌ මේ දක්‌වා නො පැවති අතර කෝට්‌ටෙගොඩ මහතා ගේ මේ අධ්‍යයනයෙන් පසුව නර්තන ප්‍රභේදයන්ට නාම මාලාවක්‌ හිමි වේ. පහතරට නර්තන චලන සඳහා නාමකරණයක්‌ පමණක්‌නො ව, සංකේත පද්ධතියක්‌ ද එතුමා විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. නර්තනය ලියා දැක්‌වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේදය සහ ලේඛන විධිය හඳුන්වා දීම සඳහා ප්‍රබන්ධිත \කාව්‍ය පංතියකින් ද මේ නිබන්ධය සමන්විත වේ. කාව්‍ය පන්තිය පාඩම් කර ගැනීමෙන් මේ ක්‍රමවේදය මතක තබා ගැනීම ද පහසු වේ.

මේ අධ්‍යයනයෙහි දත්ත නර්තනය හදාරන සිසු දරු දැරියන්ට මෙන්ම ආචාර්යවරුන්ට ද ඵලදායි වනු ඇත. ජයසේන කෝට්‌ටේගොඩ මහතා නර්තනය ලේඛනගත කිරීමේ සිය නව ක්‍රමවේදය හඳුන්වන්නේ ජයකුරු ලේඛන රීතිය යනුවෙනි. මෙය කිසියම් අත්හදාබැලීමක්‌ වන අතර කෙනකුට අවශ්‍ය නම් මෙය තව ඉදිරියට වර්ධනය කළ හැකි බව ද කෝට්‌ටගොඩ පඬිවරයා ඉතා නිහතමානී ව පෙන්වා දෙයි.

මහාචාර්ය කෝට්‌ටගොඩ මෙවැනි පර්යේෂණවලට උනන්දුවක්‌ දැක්‌වුවත් ඇතැම් සරසවි ඇදුරන්ට පර්යේෂණ යනු කතා කරන්නටත් අකැමැති මාතෘකාවකි. එසේ වුව ද, කෝටටේගොඩ මහතා අවධාරණය කරන්නේ පර්යේෂණ යනු ආචාර්යවරයකු ගේ ජීවිතයේ කොටසක්‌ විය යුතු බවයි.

මේ ඒ පිළිබඳව ඔහු කී දෙයයි.

"ශිල්ප ශාස්‌ත්‍ර මතු පරපුරට දායාද කිරීම ගුරුවරයා ගේ වගකීමක්‌. විශ්ව විද්‍යල ආචාර්යවරයකු නම් විශේෂයෙන් ම තම විෂය පථය පර්යේෂණ ඇසුරෙන් පෝෂණය කළ යුතුයි. ගුරුවරයෙක්‌ කරන්නේ රැකියාවක්‌ නො ව උත්තම සේවාවක්‌. සමහර ආචාර්යවරුන් තම වැටුප වැඩි කරගන්නට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නට පෙලඹෙනවා. වරක්‌ එවැනි ක්‍රියාමාර්ගයක දී රජය පර්යේෂණ දීමනාවක්‌ දෙන්න තීරණය කළා. එවිට ආචාර්යවරුන් කිව්වේ පර්යේෂණ දීමනාව පර්යේෂණ කරන අයට විතරක්‌ නොවෙයි හැමෝට ම දෙන්න කියලයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයා ගේ කාර්යභාරය ඉගැන්වීම විතරක්‌ නො වන බව මා ජනාධිපතිතුමා ඉදිරියේ ම පවසා තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට දේශන පවත්වා ඉවර වෙලා අත පිහදාගෙන හිඳින්නට ඉඩක්‌ නැහැ. ඔහු හෝ ඇය නිරන්තරව පර්යේෂණ කර තම විෂය ක්‍ෂෙත්‍රය පෝෂණය කළ යුතුයි. අනාගතයට නව දැනුම සපයා දීමට පර්යේෂණ කිරීම අත්‍යවශ්‍යයි නෙ. සමහරු මැසිවිලි නගනවා දේශන පවත්වන අතර පරිපාලන කටයුතු කරන අතර පර්යේෂණ කරන්නට බැහැ කියලා. ඒක බොරුවක්‌.

දැන් මම මගේ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරුන්ට කියා තියෙන්නේ වැටුප් වර්ධක ලබා ගන්නට, ඉදිරි උසස්‌ වීම් ලබා ගන්නට අනිවාර්යයෙන්ම පර්යේෂණ කටයුතුවල නියෑළිය යුතු බවයි."

අප හා කළ පිළිසඳරේ දී කෝට්‌ටගොඩ මහතා අවධානය දැක්‌වූ තවත් කරුණක්‌ වූයේ තරුණ පරපුරේ හා ළමා පරපුරේ පොතපත කියෑවීම ගැනයි.

"අපේ තරුණ පරපුර හා දරුවන් කියවීමෙන් ඈත් වී තිබෙන බව මා පවසන්නේ ඉතා කණගාටුවෙන්. මේ බොහොම ෙ€දනීය තත්ත්වයක්‌. අධ්‍යාපනයේ නියෑළෙන දරු දැරියන් ගෙන් සියයට අනූවක්‌ පමණ ම තමන් ගේ විෂය පෙළ පොත්වලට අමතරව වෙනත් දේවල් කියවන්නේ නැහැ. දැනුම කියන දේට අද වන විට විශාල වටිනාකමක්‌ ලැබී තිබෙනවා.

දැනුම සපයා ගත හැකි ප්‍රධානම ක්‍රම වන්නේ කියෑවීම හා ක්‍ෂෙත්‍ර අධ්‍යයනයයි. ක්‍ෂෙත්‍ර අධ්‍යයනය තරමක්‌ අසීරු බව කෙනකුට හැඟෙන්න පුළුවන්. එහෙත් කියවීම එබඳු අසීරු දෙයක්‌ නො වෙයි.

එහෙත් අවාසනාවකට වාගේ අපේ තරුණ දරු දැරියන් පොතපත කියවන්නේ නැහැ. විශ්වවිද්‍යාල දරු දැරියන් පවා පොත්පත්, පත්තර කියවන්නේ නැහැ. මං යෝජනා කරන්නේ පත්තර බලන්නේ නැත්නම් අවම වශයෙන් අන්තර්ජාලය පරිහරණය කරමින් හෝ දැනුම සොයා ගන්න කියලයි. සමහර තරුණ දූ දරුවන් පොතපත නො කියවීමට හේතුව ලෙස දැක්‌වෙන්නේ වෙලාව නැතිකමයි. එය පිළිගැනීමට නොහැකි හේතුවක්‌.

මා උපකුලපති විදිහට පරිපාලන කටයුතුවල යෙදෙනවා. දේශනත් පවත්වනවා. ඒ අතර ම පර්යේෂණ කටයුතුත් කරනවා. පොතුත් ලියනවා පොත් කියවීමෙත් යෙදෙනවා.

1971 වසරේ දී සෞන්දර්¨ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කෝට්‌ටගොඩ ක්‍රමිකව විශ්වවිද්‍යාල සහාය කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශිෂ්‍ය උපදේශක හා ප්‍රධාන ශිෂ්‍ය උපදේශක, අංශාධිපති හා පීඨාධිපති තනතුර හොබවා විශ්වවිද්‍යාලයක ඉහළ ම පරිපාලන තනතුර වන උපකුලපති ධුරයට ද පත් වූයේ පර්යේෂණ ග්‍රන්ථ සම්පාදනයේ ද යෙදෙන අතරතුර ය. පහතරට රංගකලාවේ ලේඛන රීතිය ඔහු ගේ පළමු පර්යේෂණ නිබන්ධය නො වේ.

මීට අමතරව,

1. පහතරට ශාන්තිකර්ම සාහිත්‍යය

2. සබරගමු කිරිමඩු ශාන්තිකර්මය

3. ප්‍රායෝගික පහතරට නර්තනය - 1

4. ප්‍රායෝගික පහතරට නර්තනය - 2

5. මැණික්‌පාල ශාන්තිය හෙවත් සූනියම් කැපිල්ල

6. ක`ඵ කුමාර පුද ලබන දාරක වත්පිළිවෙත්

7. රිද්දියාගය හෙවත් රට යකුම

8. සම්භාව්‍ය නර්තන සමීක්‌ෂා

9. භාරතීය සම්භාව්‍ය නර්තන කලාව

10. ප්‍රායෝගික කථක්‌ නර්තනය

ඇතු`ඵ පර්යේෂණ කෘති රාශියක්‌ ඔහු විසින් සම්පාදනය කරනු ලැබ ඇත. ඔහු ගේ පර්යේෂණ ග්‍රන්ථයක්‌ වූ පහතරට ශාන්තිකර්ම ස`දහා 1997 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි විය.

ශිෂ්‍ය අවධියේ සිට ම පර්යේෂණ මෙහෙයවීමද පර්යේෂණ ලිපි සැපයීම ද එතුමා සිදු කළේ ය.මෙසේ ශාස්‌ත්‍රීය කාර්යයන්හි යෙදෙන අතරතුර ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත් හා බාහිර දේශන මගින් සිය දැනුම ජාතික තලයෙහි බෙදා හැරීමට කටයුතු කරන්නට ද චිත්‍රපට නර්තන අධ්‍යක්‌ෂණයේ යෙදෙන්නට ද හැකි පරිදි ඔහු කාලය කළමනාකරණය කර ගත්තේ ය. ඔහුට සිය මහඟු ශාස්‌ත්‍රීය හා කලා කටයුතු ඉදිරියටත් මෙහෙයවන්නට ලැබේ වායි අපි සුබ පතමු.

මනෝජ් රත්නායක

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය