ආසනික්‌ කතාව 2

ආසනික්‌ කතාව 2

නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් යනුවෙන් හැඳින්වෙන ප්‍රාණීන් ගෙන් අපට දැනගැනීමට ලැබුණේ රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ බව ය. එයට තවත් හේතු දෙකක්‌ සම්පූර්ණ විය යුතු බවත් කියෑවිණි. එනම් කුඹුරු පස යනුවෙන් හැඳින්වෙන පස හා කිවුල් ජලය ය. ආසනික්‌ පොළොවට ලැබෙන්නේ කෘෂිරසායන ද්‍රව්‍යයන් ගෙන් බව ද කියෑවිණි. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසි ම වෛද්‍ය ක්‍රමයක්‌ පිළිබඳ දැනුමක්‌ ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් ලැබුණේ ඇය දෙවියන් ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් හෝ ලත් දැනුමකි. රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ව අපට දැනුම් දුන් වෛද්‍ය චන්න ජයසුමන මහතා මා විසින් ඇය වෙත යොමු නො කරන්නට මේ දැනුම අපට නො ලැබෙනන්ට තිබිණි.

දෙවියන් ගෙන් භූතයන් ගෙන් දැනුම ලබාගැනීම අපේ සංස්‌කෘතියට ආගන්තුක දෙයක්‌ නො වේ. එය පැරැණි සංස්‌කෘතීන් බොහොමයක්‌ ම දැනුම ලබාගත් ක්‍රමයක්‌ විය. පැරැණි ග්‍රීකයෝ ද, වෛදිකයෝ ද, යුදෙවුවෝ ද එලෙස දැනුම ලබාගත් හ. එහෙත් ඒ ඒ අයට ලැබුණේ ඒ ඒ අය ගේ දෙවියන් ගේ දැනුම ය. ඒ දැනුම ද සාපේක්‍ෂ විය. ඒ ඒ දෙවියන් ගේ ආකල්ප හා වෙනත් ලක්‍ෂණ ඒ ඒ දැනුම්වල දැකිය හැකි ය. යුදෙව් දෙවියෝ? ලෝකය මැවූ දෙවියකු ගැන විශ්වාස කළ හ. ඔවුන්ට සදාකාලික නිරයක්‌ හා සදාකාලික ස්‌වර්ගයක්‌ විය. ඔවුන් ලබා දුන්නේ වියුක්‌ත දැනුමක්‌ යෑයි විශ්වාස කළ හැකි ය. අපේ සම්‍යග්දෘෂ්ටික දෙවියන් ගේ දැනුම නිවනට සාපේක්‍ෂ විය. අපට ඔවුන් ලබා දුන් දැනුම නිවන් අවබෝධ කරගැනීමට රුකුල් දෙන්නක්‌ විය. අපට ලබා දෙන දැනුම බොහෝ විට සංයුක්‌ත දැනුමක්‌ වෙයි. කිනම් සංස්‌කෘතියක වුව ද දෙවියන් ගෙන් ලත් දැනුමෙහි ද අඩුපාඩුකම් තිබූ බව හා තිබෙන බව අමතක නො කළ යුතු ය.

ඉතා මෑතක ජීවත් වූ සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතික ගණිතඥයා වූ රාමනුජන් විද්වතා ද හින්දු දේවතාවියක ගෙන් දැනුම ලබාගත්තේ ය. ඔහු බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන ප්‍රමේය සාධනය පිළිබඳ නො දැන සිටියේ ය. එහෙත් ඔහුට අනන්තය පිළිබඳ ඉතා විශිෂ්ට වූ දැනුමක්‌ තිබුණේ ය. එය විශ්ලේෂණයෙන් ලබාගත් දැනුමක්‌ නො ව දෙවියන් සමග ආධ්‍යාත්මික ව (අන්තර්ඥානයෙන්) කරන ලද සන්නිවේදනය ඔස්‌සේ ලබාගත් දැනුමක්‌ විය. අද පවා ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් දෙවියන් ගෙන් හා භූතයන් ගෙන් දැනුම ලබාගන්නා බවට සැකයක්‌ නැත.

අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. මේ සංස්‌කෘතියෙහි ඇතමුනට, විශේෂයෙන් ම යුදෙව්වනට දැනුම ලබා දෙන යුදෙවු දෙවියන් තවමත් සිටින්නට ඉඩ ඇත. බටහිර විද්‍යාව ඉහත සඳහන් චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණය වන්නකි. නොබෙල් ත්‍යාග දිනාගන්නා අය ගෙන් විශාල ප්‍රමාණයක්‌ යුදෙව්වෝ වෙති. ඔවුන් වියුක්‌ත චින්තනයෙන් දක්‍ෂයන් වන්නා සේ ම ඔවුන් සමහරකුට යුදෙව් දෙවියන් ගෙන් දැනුම ලැබෙන්නේ ය යන්න බැහැර කළ හැකි නො වේ. යුදෙව් විද්‍යාඥයන් ඇසුරු කරන පිටරට වසන සිංහලයන්ට මේ සම්බන්ධයෙන් විස්‌තර දැනගත හැකි නම් එය අප සියලු දෙනාට ම වැඩදායක වනු ඇත.

එසේ වුවත් ඒ සංස්‌කෘතියෙහි යුදෙවු නො වන්නන්ට එවැනි දැනුමක්‌ නො ලැබෙන්නේ යෑයි සිතිය හැකි ය. ගැලීලියෝ නිවුටන් ආදීන් විසින් බටහිර විද්‍යාව නිර්මාණය කරනු ලැබීමට ප්‍රධාන හේතුව ද ඔවුන්ට ආධ්‍යාත්මික ව දැනුමක්‌ ලබාගැනීමට නොහැකි වීම යනු මගේ පිළිගැනීම ය. කෙසේ වෙතත් අපට ආධ්‍යාත්මික ව වුව ද ලැබෙන්නේ සංයුක්‌ත දැනුමකි. වකුගඩු රෝගය හා ආසනික්‌ සම්බන්ධ දැනුම ද සංයුක්‌ත දැනුමකි.

අපට එම දැනුම ලැබුණු විට අපි එය එක්‌ විට ම ප්‍රසිද්ධ නො කළෙමු. මෙරට සිටින පුහු විද්‍යාඥයන් හා බටහිර වෛද්‍යවරුන් එය නො පිළිගන්නා බව අපි දැනු සිටියෙමු. එබැවින් අපි ඒ සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට අනුකූල පර්යේෂණ කැලණිය විශ්වවිද්‍යාලයෙහි දී ආරම්භ කළෙමු. එහි දී මහාචාර්ය මාලා අමරසිංහ හා මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මීහු විශාල මෙහෙයක්‌ ඉටු කළ හ. විශේෂයෙන් ම මහාචාර්ය පරණගම මහත්මිය මහත් කැප වීමකින් තම සෞඛ්‍ය තත්ත්වය පවා නො සලකමින් බොහෝ දිනවල අලුයම තුන හතර පමණ වන තෙක්‌ පර්යේෂණවල නියෑළුණා ය. එහෙත් මෙරට කුහක විද්‍යාඥයෝ ඇයට ජාතික සම්මානයක්‌ දීම වෙනුවට කුඩුකේඩුකම් කළ හ. අපේ උපකරණ ක්‍රියා විරහිත බව එක්‌ මහාචාර්යවරියක කියන විට ඇගේ මහාචාර්ය සැමියා අපට පිස්‌සු යෑයි කීවේ ය. තවත් අයකුට ෆ්ලුවොරයිඩ් සිහිනයෙන් අවදි වීමට නොහැකි විය. ඔහු ඇතැම් කරුණුවල දී උසස්‌ පෙළ දැනුම වත් භාවිත නො කරන බව පෙනී ගියේ ය. එක්‌ ආහාර තාක්‍ෂණවේදියකු අපේ පරීක්‍ෂණාගාර ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන නැතැයි කීවේ ඔහු ගේ පර්යේෂණාගාර ද එලෙස පිළිගැනීමකට ලක්‌ වී නොමැති බව අමතක කරමිනි.

කෙසේ නමුත් ඒ සියලු දෙනා පාහේ කියා සිටියේ ආසනික්‌ රජරට හා අදාළ වෙනත් පෙදෙස්‌වල නොමැති බවත්, වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නො වන බවත් ය. ආසනික්‌ ඇතැයි කී අය ද එය නෛසර්ගිකව පොළොවේ ඇති බව කී හ. ආසනික්‌ එකතු වී ඇත්තේ කෘෂි රසායනික ද්‍රව්‍යවලින් බව ඔහුවු නො පිළිගත් හ. ඇතැමුන්ට අනුව අපි පර්යේෂණ නො කර හුදෙක්‌ දෙවියන් කී දෙයක්‌ යෑයි කියමින් ආසනික්‌ ගැන කතා කළ කට්‌ටටියෝ වූයෙමු. එසේ කී අය අතර බටහිර විද්‍යාඥයෝ ද, බටහිර වෛද්‍යවරු ද වූ හ. මෙරට කට්‌ටඩියන්ට හෙවත් ගුරුන්නාන්සේලාට බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට මෙන් සමාජ තත්ත්වයක්‌ නො ලැබී ඇත්තේ සමාජ ආධිපත්‍යය බටහිර විද්‍යාවට ඇති බැවිනි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, සමාජ විද්‍යාවට මෙන් ම ඉංජිනේරු විද්‍යාවට ද තුන්වැනි පංතියේ උපාධි ලබාගත් අයකු ගේ මැදිහත් වීමෙන් මගේ අවිද්‍යාව හා මිථ්‍යාව පිළිබඳ ප්‍රකාශයක්‌ නිකුත් කළේ ය. එතැනින් නො නැවතුණු ඔවුහු මහාචාර්ය පරණගම හා මහාචාර්ය අමරසිංහ මහත්මීන් මා සමග එක්‌ ව කටයුතු කිරීම නතර නො කළ හොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීම ප්‍රශ්නයක්‌ වන බවට තර්ජනය කළ හ. ජීවිතයේ කිසි ම දිනෙක නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නිර්මාණය කර නොමැති වුවත් ශ්‍රී ලංකා විද්‍යා ඇකඩමිය නම් ව්‍යාජ ගාම්භීර සංවිධානයක අධිසාමාජික පදවි ලද්දෝ ද ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන තමන් නො දන්නා බහුබූත දෙඩවූ හ.

අප මේ පර්යේෂණ බොහොමයක්‌ කර සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමෙන් පසු ඒ බව පුවත්පත් ම`ගින් ජනතාවට කීවෙමු. මට කසිකබල් පත්‍රිකා සත පහක්‌ වත් නො වටියි. මට අවශ්‍ය වූයේ හැකි ඉක්‌මනින් අපේ ප්‍රතිඵල ජනතාවට දැන්වීමට ය. අපේ දැනුම අප ජනතාවට ප්‍රකාශ කළේ 2011 ජනවාරියේ පමණ ය. එහෙත් පුහු විද්‍යාඥයෝ අපේ පර්යේෂණාගාරවල අඩුපාඩුකම් ඇතැයි ද ඒවා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී නැතැයි ද කී හ. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනී ඇතැයි කියන පරමාණු බලශක්‌ති අධිකාරියේ පර්යේෂණාගාරයට ද මහාචාර්ය විජය කුමාර් මහතා ගේ සභාපතිත්වය යටතේ වූ තාක්‍ෂණ පර්යේෂණ ආයතනයට ද ආසනික්‌ හසු නො වී ය. පරමාණු බලශක්‌ති අධිකාරිය චම්පික රණවක මහතා යටතේ වූ ආයතනයකි. ඒ මහතා විද්‍යාඥයන්ට පූර්ණ නිදහස දී ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් ඒ මහතා ගේ ම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මේ කටයුතුවලට මැදිහත් වූයේ 2011 මාර්තු මාසයෙන් පමණ පසුව ය. ඒ වන විට බටහිර රසායන විද්‍යාව අනුව අප කළ පර්යේෂණ බොහෝමයක්‌ අවසන් වී තිබිණි. උන්වහන්සේ ඇතැම් නියෑදි මලයාසියාවේ පර්යේෂණාගාරයක පරීක්‍ෂා කරවීමට පවා කටයුතු කළ හ. එහෙත් පර්යේෂණ ආරම්භ කළේ උන්වහන්සේ ගේ මැදිහත් වීමෙන් නො වේ. ආසනික්‌ නැති බව කී තවත් ආයතනයක්‌ වූයේ දිනේෂ් ගුණවර්ධන මහතා යටතේ ඇති අමාත්‍යංශය ය. ඒ අමාත්‍යංශය ඉන්දියාවෙන් තරුණ විද්‍යාඥවරියන් දෙදෙනකු ගෙන්වා ඔවුන් මගින් ආසනික්‌ නැතැයි කීවේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ද ඇස කණ පියාගෙන සිටීමට නොහැකි විය. ඔවුහු ද පර්යේෂණ ආරම්භ කළ හ. ඔවුන් ගේ අවසාන වාර්තාව සති කිහිපයකට පෙර නිකුත් විණි. බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයේ තවත් උපකරණයක්‌ පමණක්‌ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයට අප අපේ දෙවියන් ගෙන් ලත් දැනුම අනුමත කිරීමට නොහැකි විය. එහෙත් ඔවුන්ට ද නිදන්ගත වකුගඩු රෝගය හා ආසනික්‌ අතර සම්බන්ධයක්‌ ඇති බව ද කෘෂිරසායනික ද්‍රව්‍යවලින් ආසනික්‌ එකතු වන බව ද පිළිගැනීමට සිදු වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නේ ආඳා මාළු ඉරට්‌ටෙන් කෑමට ය. ඔවුන් තම වාර්තාවෙන් ඉඟි කරන්නේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් බවත්, ආසනික්‌ එහි දී උත්ප්‍රේරකයක්‌ විය හැකි බවත් ය. අපි එය එසේ නො වේ යෑයි කියමු. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ ය. එහි දී කිවුල් ජලය යම් කාර්යයක්‌ ඉටු කරයි. ආසනික්‌ කිවුල් ජලයේ වූ කැල්සියම් හා මැග්නීසියම් ලවණවල අණු අතර "සැඟවී" ඇත. අදාළ පෙදෙස්‌වල කිවුල් ජලයෙහි ආසනික්‌ ඇති බව කසිකබල් විද්‍යාඥයන්ට තවමත් පරීක්‍ෂණවලින් දැනගැනීමට නොහැකි වී ඇත්තේ ආසනික්‌ එසේ "සැඟවී" ඇති බැවිනි. ඇතැම් අවස්‌ථාවල කැඩ්මියම් උත්ප්‍රේරකයක්‌ ලෙස ක්‍රියා කරයි. තමන් ගේ පරීක්‍ෂණවලට ආසනික්‌ හසු නො වන බැවින් ආසනික්‌ නැතැයි කීම කසිකබල් විද්‍යාත්මක ක්‍රමය විය හැකි ය. මේ විද්‍යාඥයන් දෙවියන් නැතැයි කියන්නේ ද ඔවුන් ගේ උපකරණවලට දෙවියන් හසු නො වන බැවිනි. මේ උද්ධච්ඡයන්ට අනුව යමක්‌ ඔවුන් ගේ ඉන්ද්‍රියවලට හෝ උපකරණවලට හෝ ගෝචර නො වන්නේ නම් ඒ නො පවතී. එවිට ඔවුන් ගේ ප්‍රවාදවල හෙවත් කතාන්දරවල කියෑවෙන ගුරුත්වාකර්ෂණය වැනි ඉන්ද්‍රියගෝචර නො වන සංකල්ප ගැන කුමක්‌ කියමු ද? ඉලෙක්‌ට්‍රොaනයක්‌ දැක ඇති අයකු ඉදිරිපත් වන්නේ ද?

නොයෙකුත් වර්ගවල වකුගඩු රෝග ඇත. ඇතැම් වකුගඩු රෝගවලට හේතුව කැඩ්මියම් වෙයි. එසේ වුවත් රජරට වැව්වල මාළුන් ගේ හා නෙලුම් අලවල කැඩ්මියම් තිබූ පමණින් රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් යෑයි නිගමනය කළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව රජරට වකුගඩු රෝගයට හේතුව කිව නොහැකි ය. එයට හේතුව කැඩ්මියම් නම්, කැඩ්මියම් නිසා ඇති වන වකුගඩු රෝග ගැන දන්නා බටහිර වෛද්‍ය විද්‍යාවට ඒ හඳුනා ගැනීමට හැකි විය යුතු ව තිබිණි. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට ඒසේ කළ නොහැකි විය. එයින් කියෑවෙන්නේ රජරට වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් නො වීම ය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එය වසං කළ නො හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාව තවමත් රජරට වකුගඩු රෝගයට හේතුව කුමක්‌ දැයි නො දනියි. එයට ප්‍රධාන හේතුව ආසනික්‌ යෑයි අපි නිර්භය ව කියමු. එපමණක්‌ නො ව ආසනික්‌ පසට, ජලයට හා වාතයට එකතු වන්නේ කෘෂිරසායනික ද්‍රව්‍ය නිසා බව ද අපි කියමු.

දැන් කළ යුත්තේ හැකි ඉක්‌මනින් කෘෂිරසානික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වී දේශීය පොහොර (කොම්පොස්‌ට්‌ නො වේ) යොදා සිංහල ගොවිතැන් ක්‍රම භාවිත කිරීමත්, වකුගඩු රෝගීන්ට දෙවියන් ගෙන් ලබාගත් ප්‍රතිකාර හෝ සිංහල පාරම්පරික ප්‍රතිකාර හෝ ලබා දීමට කටයුතු කිරීමත් ය. මෙරටට ගැලපෙන්නේ සිංහල වෙදකම හා සිංහල ගොවිකම මිස විදයම් අධික විදේශීය විනිමය නාස්‌ති කරන බටහිර වෙදකම හා බටහිර කෘෂිකර්මය නො වේ. බටහිර වෙදකමට ප්‍රතිකාර නැත. එහි කෙරෙන්නේ රෝග කළමනාකරණය මිස රෝග සුව කිරීම නො වේ. අද රජරට ගොවීන් මිය යන්නේ බටහිර විද්‍යාවේ හා දැනුමේ ආධිපත්‍යය, කෘෂිරසායන ආනයනය කරන්නන් හා ඔවුන්ට අත හිත දෙන කසිකබල් නිලධාරීන් හා දේශපාලනඥයන් නිසා ය. බටහිර විද්‍යාවට හා දැනුමට බිය නො වී සිංහල දැනුමට වහා ම යමු. ආසනික්‌ පිළිබඳ දැනුම ලැබුණේ මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙනි. අද ආසනික්‌ හා වකුගඩු රෝගය අතර සම්බන්ධයක්‌ ඇති බව බටහිර විද්‍යාවට ද පිළිගැනීමට සිදු වී ඇත. බටහිර විද්‍යාවට තවමත් දෙවියන් සිටින බව පිළිගැනීමට නො හැකි ද?

නලින් ද සිල්වා

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය