අපේ රටට ජාතික ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය ඇයි?

අපේ රටට ජාතික ජෛව තාක්‌ෂණ
ප්‍රතිපත්තියක්‌ අවශ්‍ය ඇයි?


හේතු හඳුනා නො ගත් රජරට වකුගඩු රෝගය පිළිබඳ වැදගත් අධ්‍යයන වාර්තාවක්‌ ඉකුත් දිනවල කතා බහට ලක්‌ විය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්‌ ව පවත්වන ලද එම අධ්‍යයනයෙන් අවධානය යොමු කර තිබූ එක්‌ කරුණක්‌ වූයේ කෘෂි රසායන භාවිතයේ ඇති බරපතළ ප්‍රතිවිපාකයන් ය.

හරිත විප්ලවය නමින් ඇරඹුණු නූතන කෘෂිකර්මාන්තයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ අස්‌වනු ඉහළ නැංවීම ය. පළිබෝධනාශක හා රසායනික පොහොර එහි ලා ර`ගදැක්‌වූයේ ප්‍රධාන භූමිකාවකි. එහෙත් මෙකී කෘෂි රසායන භාවිතයෙන් මේ වන විට පහසුවෙන් විසඳිය නොහැකි ගැටලු රාශියක්‌ නිර්මාණය වී තිබේ.

මේ සඳහා විවිධ විසඳුම් යෝජනා වී ඇත. ඉන් එක්‌ විසඳුමක්‌ වන්නේ නව ජීවවිද්‍යාව ඇසුරින් ලබා ගන්නා අදහස්‌ ඇතුළත් ජෛව තාක්‌ෂණයේ යෙදීම්වලින් කෘෂි බෝගවල ලක්‌ෂණ වැඩිදියුණු කළ හැකි ය යන්නයි. ඒ මගින් පරිසරයේ ගුණාත්මකභාවය ආරක්‌ෂා කළ හැකි ය. පරිසර හානි අවම කළ හැකි ය. එනම් පළිබෝධයන්ට ස්‌වාභාවිකව ම ඔරොත්තු දෙන, වැඩි අස්‌වනු ගෙන දෙන, වැඩි පෝෂණ ගුණයකින් යුතු බෝග නිර්මාණය කළ හැකි ය.

ජෛව තාක්‌ෂණයේ දී මූලික වශයෙන් සිදු කෙරෙන්නේ ජීවීන් ගේ ස්‌වාභාවික සෛලීය හෝ අණුක යාන්ත්‍රණය පලදායක කාර්යයන් උදෙසා පාලන තත්ත්ව යටතේ යොදාගැනීමයි. නිදසුනක්‌ ලෙස ස්‌වභාවයෙන් ම නිය`ගයට ඔරොත්තු දෙන කිසියම් ශාක විශේෂයක සෛලීය අණුක සැකැස්‌ම අධ්‍යයනය කර එහි ඇති අදාළ ජානමය ලක්‌ෂණ වෙනත් බෝග වගාවන් සඳහා ආදේශ කිරීම දැක්‌විය හැකි ය. එවිට එම බෝගය ද නිය`ගයට ස්‌වභාවයෙන් ම ඔරොත්තු දෙයි.

කෘෂිකර්මාන්තයේ දී පමණක්‌ නො ව ඖෂධ නිෂ්පාදනය, ෆොසිල ඉන්ධන අර්බුදයට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන නිෂ්පාදනය වැනි ක්‌ෂේත්‍රවල ද ජෛව තාක්‌ෂණික යෙදවුම් බෙහෙවින් දක්‌නට ලැබේ. රුධිර කැටි දිය කර හැරීම පිණිස ලබා දෙන Ecokinase එන්සයිමය, දියවැඩියාවට ලබා දෙන ඉන්සියුලින්, පියයුරු පිළිකා සඳහා ලබා දෙන හර්සෙප්ටින් යනු ජෛව තාක්‌ෂණයේ මහිමයෙන් ලොවට දායාද වූ ඖෂධ පිළිබඳ උදාහරණ කිහිපයක්‌ පමණි.

දැවෙන ප්‍රශ්නවලට පිළියම් ලෙස මෙවැනි ජෛව තාක්‌ෂණික යෙදවුම් නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක්‌ පෙලඹී ඇත. දියුණු යෑයි සම්මත රටවල් මෙන් ම කියුබාව, ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සමහරක්‌ ද මෙහි ලා පෙරමුණ ගෙන සිටියි. එකල උක්‌ වගාව (සීනි නිෂ්පාදනය) හා සුරුට්‌ටු නිෂ්පාදනය සඳහා ප්‍රකට ව තිබූ කියුබාව අද ජෛව තාක්‌ෂණික ඖෂධ නිපදවන ප්‍රමුඛ පෙළේ රටකි.

ඉන්දියාවේ අවුරුදූ 30කට පමණ පෙර ස්‌ථාපනය කරන ලද ජෛව තාක්‌ෂණ දෙපාර්තමේන්තුව (DBT) මගින් මෙය ජාතික වැඩපිළිවෙලක්‌ ලෙස සලකා ඉදිරියට ඉතා සාර්ථකව ගෙන යන බව පෙනී යයි.

ජෛව තාක්‌ෂණ පර්යේෂණ කටයුතු සඳහා අපේ රට තුළ ද ඉහළ විභවයක්‌ ඇත. එක්‌ අතකින් ශ්‍රී ලංකාව ජෛවවිවිධත්වයෙන් අනූන රටකි. එම ස්‌වාභාවික ජෛව සම්පත් ජෛවතාක්‌ෂණික අත්හදාබැලීම් සඳහා නොමිලයේ ම සැපයෙන බැවින් එය මහත් ආශිර්වාදයකි. අනෙක්‌ අතට ජෛවතාක්‌ෂණ ක්‌ෂේත්‍රය තුළ පලදායක කාර්යභාරයක්‌ ඉටු කළ හැකි උගතුන් රැසක්‌ අප රට සතු ය.

එහෙත් අවාසනාවකට මෙන් ජෛව තාක්‌ෂණ ක්‌ෂේත්‍රයෙන් ඉදිරි ගමනක්‌ යැමට මෙරට වගකිව යුතු අංශවලින් සැලකිය යුතු අනුග්‍රහයක්‌ මෙතෙක්‌ ලැබී නොමැත.

ජාතික විද්‍යා පදනම විසින් පත් කරන ලද ජාතික ජෛව තාක්‌ෂණ කමිටුව විසින් මෙරටට ගැලපෙන ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ සකසන ලද්දේ 2010 වසරේ දී ය. එයට කැබිනට්‌ අනුමැතිය ද ලැබිණි. එපමණකි.

ජාතික ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියෙන් ගෙනහැර දක්‌වන ලද එක්‌ වැදගත් යෝජනාවක්‌ වූයේ ජාතික ජෛව තාක්‌ෂණ කවුන්සිලයක්‌ පිහිටුවීමයි. මෙවැනි නීතිගත ආයතනයකින් තොර ව රටක සිදු කෙරෙන කවර ජෛව තාක්‌ෂණ පර්යේෂණයකින් හෝ උපරිම පල නෙළා ගැනීමට නො ලැබෙන බව ජාතික ජෛව තාක්‌ෂණ කමිටුවේ සභාපති ආචාර්ය අනිල් ජයසේකර පවසයි.

"දැනටත් අපේ රටේ මේ ක්‌ෂේත්‍රයෙන් උසස්‌ මට්‌ටමේ පර්යේෂණ නො කෙරෙනවා නො වෙයි. හැබැයි ඒවායේ අවසාන ප්‍රතිලාභ රටට භුක්‌ති විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඒ සඳහා අවශ්‍ය කරන බුද්ධිමය දේපළ පිළිබඳ නීති රාමුව, පර්යේෂණාගාර පහසුකම්, විශේෂඥ පුහුණුව වගේ දේ ජාතික මට්‌ටමේ දැක්‌මකින් යුතු ව සම්පාදනය නො වන නිසා" ආචාර්ය ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඒ මහතාට අනුව මෙරට ජෛව තාක්‌ෂණික ක්‌ෂේත්‍රයේ පර්යේෂණ කටයුතුවල නියෑළෙන පර්යේෂකයන් මුහුණ දෙන අභියෝග ඉමහත් ය. ඇතැම් විටක අවශ්‍ය කරන මූලික රසායන ද්‍රව්‍ය කලට වේලාවට ආයනයනය කිරීමට පවා නීතිමය බාධා ඇති වේ. තවත් විටක වෙනත් ආයතනයක පහසුකම් ඇති විද්‍යාගාර පරිහරණය කිරීමට අවහිරතා ඇති වෙයි. බොහෝ විට මෙවැනි අවස්‌ථා කළමනාකරණය කරගන්නට වන්නේ පෞද්ගලික දැනහැඳුනුම්කම් මත ය.

ජෛව තාක්‌ෂණය පිළිබඳ ජාතික ආයතනයක්‌ යටතේ මේ සියලු පර්යේෂණ කටයුතු සම්බන්ධීකරණය කළ හැකි නම් මෙවැනි ගැටලු මතු වන්නේ නැත.

දැනට පවතින අඩුපාඩු නිසා එක්‌ අතකින් පර්යේෂකයන් කලකිරීමට පත් වන අතර පිටස්‌තරයන්ට අපේ රටේ ජාන සම්පත් කොල්ල කෑමට ද වක්‍රාකාරයෙන් මේ පසුබිම අනුබලයක්‌ ලබා දෙයි. අපේ ජාන සම්පත් භාවිත කර ඇතැම් රටවල් නව වී ප්‍රභේද නිෂ්පාදනයට, නව ඖෂධ නිෂ්පාදනයට උත්සාහ දරා ඇති අවස්‌ථා උදාහරණ වේ.


හෙට ලොව අභියෝග ජයගැනීම සඳහා ජෛව තාක්‌ෂණය


ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ පුරෝකථනයට අනුව 2012 වසරේ දී වී වගාවේ හෙක්‌ටයාර 1කින් මිනිසුන් 27-30ක ගේ කුසගිනි නිවිය හැකි වුවත් 2050 වසර වන විට එම භූමි ප්‍රමාණය ම භාවිත කර මිනිසුන් 47කට ආසන්න ප්‍රමාණයක ගේ කුස පිරවීමේ අභියෝගයක්‌ ලොව හමුවේ පවතියි. දැනට තිබෙන සහල් ප්‍රභේද මේ අභියෝගය ජයගැනීමට සමත් නො වේ.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ වාර්තාවකට අනුව 1983 සිට 2005 දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වී වගාවට භාවිත වන පොහොර ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස්‌ ඇතත් අස්‌වනු දෙගුණයකින් ඉහළ නැංවීමට ඊට හැකියාව ලැබී නැත. අස්‌වනු වැඩි වී ඇත්තේ සියයට 9කින් පමණි.

මෙසේ වීමට එක්‌ හේතුවක්‌ ලෙස නියඟය දැක්‌විය හැකි ය. යල කන්නයේ අස්‌වැන්න මහ කන්නයට වඩා සියයට 40කින් අඩු වන්නේ මේ හේතුවෙනි. නියඟයට ඔරොත්තු දෙන වී ප්‍රභේද අප රටේ ඇත්තේ අඩුවෙනි. තිබුණ ද වැඩි පලදාවක්‌ දීමට ඒවා සමත් නො වේ.

මෙවැනි ගැටලු සඳහා ජෛව තාක්‌ෂණය සතු ව සතුටුදායක විසඳුම් තිබේ. නියඟයට ඔරොත්තු දෙන, රෝගවලට ප්‍රතිරෝධී, වැඩි අස්‌වනු ගෙන දෙන, පෝෂණ ගුණයෙන් ඉහළ පමණක්‌ නො ව පසු අස්‌වනු හානිය අවම කරන බෝග වර්ග ජෛව තාක්‌ෂණය විශේෂයෙන් ම ජාන තාක්‌ෂණය ඇසුරින් වැඩිදියුණු කළ හැකි ය.

බලශක්‌ති අර්බුදය

ඉන්ධන මිල නිරන්තරයෙන් ඉහළ යයි. ලොව අනාගත භාවිතය සඳහා ස්‌වාභාවික සංචිතවල ෆොසිල ඉන්ධන පවතින්නේ සීමාසහිත ප්‍රමාණයකි.

ජෛව ඉන්ධන සංකල්පය කරළියට එන්නේ මේ අර්බුදයට පිළියම් වශයෙනි. මේ වන විටත් ලොව ඇතැම් ගුවන් සේවා ජෛව ඉන්ධන භාවිතයට යොමු ව තිබේ. තිරසාර බව, පරිසර හිතකාමී බව වැනි ලක්‌ෂණ හේතුවෙන් ජෛව ඉන්ධන කෙරෙහි ඉදිරියේ දී විශාල ඉල්ලුමක්‌ නිර්මාණය වනු ඇත.

මෙහි ලා උපයෝගී කරගැනෙන එක්‌ ක්‍රමවේදයක්‌ වනුයේ ඇල්ගී යොදාගනිමින් ඩීසල් නිපදවීම ය. ශ්‍රී ලංකාව වැනි රටක ඇල්ගී, හිරු එළිය හා කාබන්ඩයොක්‌සයිඩ් යන අමුද්‍රව්‍ය වසර පුරා අඛණ්‌ඩව පහසුවෙන් ලබාගත හැකි බැවින් මේ ආකාරයේ ජෛව ඉන්ධන නිෂ්පාදන කටයුතු ඇරඹීමට මනා පසුබිමක්‌ මෙරට පවතියි.

සෞඛ්‍යය හා ඖෂධ කර්මාන්තය

මේ වන විට ලොව දියුණු රටවල් ජෛව තාක්‌ෂණය යොදාගනිමින් ඖෂධ නිෂ්පාදනය කිරීමෙහි පෙරමුණේ සිටින අතර කියුබාව, ඉන්දියාව වැනි රටවල් ද මේ අංශයෙන් කැපී පෙනෙන දියුණුවක්‌ ලබා තිබේ. බටහිර රටවල නිෂ්පාදනවලට වඩා සහනදායක මිලකට අදාළ ඖෂධ අපනයනය කිරීමට ද දෙවනුව කී රටවලට හැකි වී ඇත.

රෝග වළක්‌වා ගැනීමේ හා රෝග සුව කිරීමේ එන්නත්වල පටන් රෝගී අවයව වෙනුවට ආදේශ කළ හැකි පටක රෝපණයෙන් නිෂ්පාදිත නව අවයව දක්‌වා වන පරාසයක මෙකල ජෛව තාක්‌ෂණය උපයෝගි වේ.

මෙවැනි ඖෂධ ආනයනය කිරීම සඳහා අප රට වසරකට අති විශාල ධනස්‌කන්ධයක්‌ වැය කරයි. පිළිකා සඳහා ලබා දෙන ඖෂධ වර්ගයක්‌ වන Herceptin සඳහා එක්‌ රෝගියකු වෙනුවෙන් රු. මිලියන 2ක්‌ පමණ වැය කිරීමට රජයට සිදු වේ.

ඖෂධ අංශයේ ජෛව තාක්‌ෂණික පර්යේෂණ දැන් සිට ම අප රට තුළ ප්‍රවර්ධනය කිරීම මඟින් අනාගතයේ දී මේ අති විශාල ධනස්‌කන්ධය ඉතිරි කරගැනීමට මඟ සැලසෙනවා ඇත.

ජෛව තාක්‌ෂණය හානිකර ද?

ජෛව තාක්‌ෂණය විශේෂයෙන් ම ජාන තාක්‌ෂණය නිසා පරිසරයට හා සත්ත්වයන්ට අහිතකර බලපෑමක්‌ වේ යෑයි ඇතැම් පිරිස්‌ විරෝධයක්‌ පෑවත් එහි පිළිගත හැකි පදනමක්‌ නැත. කවර නිෂ්පාදනයක වුවත් අතුරු ප්‍රතිඵල තිබීම නොවැළැක්‌විය හැකි කරුණකි. උදාහරණයක්‌ වශයෙන් ජෛව තාක්‌ෂණයෙන් නිෂ්පාදනය නො වූ ඕනෑ ම ඖෂධයක වුව අතුරු ආබාධ තිබේ. එහෙත් එම අතුරු ප්‍රතිඵල අපේක්‌ෂිත ප්‍රතිලාභ ඉක්‌මවා පවතින්නේ නම් අප ඒ ගැන සැලකිsලිමත් වීම සුදුසු ය. ජෛව තාක්‌ෂණය නිසා ඇති විය හැකි අතුරු ප්‍රතිඵල අපේක්‌ෂිත ප්‍රතිඵල අභිබවා ගොස්‌ ඇති බවක්‌ ලෝකයේ කිසිදු රටකින් වාර්තා නො වේ.

නිදසුනක්‌ වශයෙන් ජෛව තාක්‌ෂණික බෝග වගාවන් නිසා ඒවාට අවශ්‍ය වූ කෘමිනාශක ප්‍රමාණය සියයට 60-70කින් අඩු කරගැනීමට හැකි වී ඇත. මේ හේතුවෙන් පමණක්‌ වුවත් පරිසරයට හා ආර්ථිකයට අත් වී ඇත්තේ ඉමහත් සහනයකි.

එක්‌ බෝගයකට යොදන කෘමිනාශක භාවිතය අඩු වීමෙන් වෙනත් බෝග වර්ගවලට හානි කරන පළිබෝධයන් ගොදුරු කරගන්නා සත්ත්වයන් මිය යැම වැළකීම ද අමතර වාසියක්‌ වී ඇත. එනම් ස්‌වාභාවික ජෛව පාලනයකට මඟ සැලසී ඇත.

ගොවියා ගේ සෞඛ්‍යය පැත්තෙන් බැලුව ද මේ ප්‍රවණතාව ඉමහත් අස්‌වැසිල්ලකි.

ජතික ජෛව තාක්‌ෂණ ප්‍රතිපත්තියක්‌ හා එම ප්‍රතිපත්තිය ක්‍රියාවේ යොදවන නීතිගත ආයතනයක්‌ අවශ්‍ය කරන්නේ මෙවැනි ගැටලු හා විසඳුම් දෙස තුලනාත්මකව බලා සාධාරණයක්‌ ඉටු කිරීම පිණිස ය.

2030 වසර වන විට ලෝකය ජෛව ආර්ථිකයකට පරිවර්තනය වී තිබෙනු ඇතැයි අනාවැකි පළ වී ඇත. ඒ යටතේ ආහාර නිෂ්පාදනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය, පරිසර සංරක්‌ෂණය වැනි මෙකල දැවෙන ප්‍රශ්න රැසකට ජෛව තාක්‌ෂණය මගින් සාර්ථක ලෙස පිළියම් යෙදීමට අපේක්‌ෂිත ය.

එම ඉලක්‌කය සපුරාගැනීම සඳහා අප සූදානම් ද?

ජාතික ජෛව තාක්‌ෂණ කමිටුවේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය
ආචාර්ය අනිල් ජයසේකර
සමග කළ සාකච්ඡාවකිනි


නව ජීවවිද්‍යාව

ජීවවිද්‍යාව වැඩි දෙනකු අසා හුරු පුරුදු විෂයයකි. එහෙත් නව ජීවවිද්‍යාව එසේ නො වේ. එම විෂය ක්‌ෂේත්‍රය කැපී පෙනෙන ඉදිරි ගමනකට යොමු වන්නේ මෑතක දී ය. ඒ අදියර දෙකකිනි. ඉන් එකක්‌ 1980 දශකයේ දී ඩීඑන්ඒ ප්‍රතිසංයෝජන තාක්‌ෂණය ඔස්‌සේත් අනෙක වසර 2000 දී මානව ගෙනෝම ව්‍යාපෘතිය ඔස්‌සේත් ඉදිරියට ගියේ ය.

නව ජීවවිද්‍යාවේ පදනම අණුක ජීව විද්‍යාවයි. පෙර දී ජාන අධ්‍යයනයන් සිදු කෙරුණේ සීමාසහිත ව ය. එහි දී ඒ ඒ ජානය වෙන් වෙන් වශයෙන් හදාරන ලදි. නව ජීවවිද්‍යාවේ දී කෙරෙන්නේ ජාන පද්ධතියක්‌ සාමූහික ව හැදෑරීම ය.


ජෛව තාක්‌ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව

නූතන ජීවවිද්‍යාෙච් දැනුමෙන් ලබා ගන්නා තාක්‌ෂණික දැනුම හා ඒවායේ යෙදීම් ජෛව තාක්‌ෂණය තුළ දක්‌නට ලැබේ. මේ යෙදීම් රක්‌ත (සෞඛ්‍ය) ශ්වේත (කර්මාන්ත, පරිසර හා බලශක්‌ති) හා හරිත (කෘෂිකාර්මික) ජෛව තාක්‌ෂණය යන ධාරා තුනකට වර්ග කළ හැකි ය.

ඒ අතර ශ්‍රී ලංකාෙච් ජෛව තාක්‌ෂණික යෙදීම් අමාත්‍යංශ 5කට සම්බන්ධ බව පෙනී යයි. ඒවා නම්,

1. සෞඛ්‍ය 2. කෘෂිකර්ම 3. කර්මාන්ත 4. පරිසර 5. බලශක්‌ති යන අමාත්‍යංශයන් ය.

එම නිසා මේ සියලු ම අමාත්‍යංශවලට බලපවත්වන පරිදි ජෛව තාක්‌ෂණයේ යෙදීම් ආවරණය වන ජාතික වැඩපිළිවෙළක්‌ අවශ්‍ය බව පෙනී යයි.

මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා අනිවාර්යයෙන් ම තාක්‌ෂණික හැකියාව ඇති (Technological capability) මානව සම්පත් අප රට තුළ ඇති බව මගේ විශ්වාසයයි. සමහර නවීන තාක්‌ෂණික යෙදීම් සම්බන්ධයෙන් යම් අඩුපාඩු තිබුණත්, ඒවා පහසුවෙන් මඟහරවා ගත හැකි ය. ලංකාෙච් මා දන්නා තරමින් ජෛව තාක්‌ෂණය උපයෝගී කරගන්නා විද්‍යාඥයෝ විශාල සංඛ්‍යාවක්‌ සිටිති. ඊට අමතරව ජෛව තාක්‌ෂණය හැදෑරූ උපාධිධාරීන් විශ්වවිද්‍යාලවලින් වසරක්‌ පාසා බිහි වේ. නිසි වැඩපිළිවෙළක්‌ නොමැතිකම නිසා ඔවුහු ජෛව තාක්‌ෂණයෙන් බැහැර ව වෙනත් අංශවලට යොමු වෙති. එසේ ම විශාල සංඛ්‍යාවක්‌ රට හැර යති. ඉතා විශාල බුද්ධිගලනයක්‌ සිදු ෙච්.

ජෛව සම්පත් යනු ජෛව තාක්‌ෂණය සාර්ථක කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයකි. ජෛව සම්පත්වලින් තොර ජෛව තාක්‌ෂණයක්‌ පිළිබඳව කතා කළ නොහැකි ය. ශ්‍රී ලංකාව ජෛව සම්පත්වලින් පරිපූර්ණ වූ රටක්‌ බව කවුරුත් දන්නා කරුණකි.

ජෛව තාක්‌ෂණයේ නව සොයාගැනීම් (innovations) හා තාක්‌ෂණික යෙදීම් සදහා මේ ජෛව සම්පත් ගැන කෙරෙන නූතන ජීව විද්‍යාෙච් ගවේෂණාත්මක කටයුතුවලින් ලබා ගන්නා දැනුම හා තාක්‌ෂණික අදහස්‌ මහෝපකාරී වේ.

මා ගේ පෞද්ගලික අදහස නම්, පවතින භෞතික සම්පත්, තාක්‌ෂණික පහසුකම් හා වෙනත් නොයෙකුත් අපහසුතා හමුවේ ශ්‍රී ලංකාව තුළ මූලික ගෙච්ෂණ කටයුතු සිදු වුව ද, ඒ තුළින් නව ඵලදායී නිපැයුමක්‌ කරා පියනැ`ගීමේ හැකියාව අප රට තුළ තවමත් ස්‌ථාපනය වී නොමැති බවයි.

එබැවින් ජෛව තාක්‌ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව පැහැදිලිව පෙනී යයි. එවැනි වැඩපිළිවෙළක්‌ ගොඩනැංවීම තුළින්, තාක්‌ෂණික යෙදීම් හමුෙච් අප රට තුළ පැනනැ`ගී ඇති බොහොමයක්‌ ගැටලු නිරාකරණය වනු ඇත. තව ද එසේ ජෛව තාක්‌ෂණය පිළිබ`ද ජාතික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වීම තුළින් මූලික ගෙච්ෂණාත්මක කටයුතුවලට පමණත් සීමා නො වී, ඒ ඇසුරින් ලබා ගන්නා දැනුම අනුසාරයෙන් ජෛව තාක්‌ෂණික නව නිපැයුම් බිහි කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව මා ගේ විශ්වාසයයි.

ජාතික ජෛව තාක්‌ෂණ කමිටුවේ සභාපති කොළඹ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය
ආචාර්ය අනිල් ජයසේකර

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය