විද්යුත් කෝෂවල පරිසර සලකුණ

විද්යුත් කෝෂවල පරිසර සලකුණ

එදිනෙදා ජීවිතයේ විවිධ වූ අවශ්‍යතා සඳහා විදුලි බලය ලබාගැනීමට අපි බැටරි හෙවත් විද්යුත් කෝෂ භාවිත කරමු. සියුම් උපකරණවලට බලය ලබාගැනීමට යොදාගන්නා ඉතා කුඩා ප්‍රමාණයේ කෝෂවල සිට කාමරයක්‌ තරම් විශාල ප්‍රමාණයේ කෝෂ දක්‌වා විවිධ වර්ගවලට හා ප්‍රමාණවලට අයත් විද්යුත් කෝෂ වර්ග මෙසේ භාවිතයට ගැනේ.

රසායනික ශක්‌තිය විද්යුත් ශක්‌තිය බවට පරිවර්තනය කරනු ලබන විද්යුත් කෝෂයක්‌ මුලින් ම නිර්මාණය කරන ලද්දේ වර්ෂ 1800 දී පමණ ඇලෙක්‌සැන්ඩර් වෝල්ටා විසිනි. එදා-මෙදා අතර විද්යුත් කෝෂ පිළිබඳ තාක්‌ෂණය බෙහෙවින් වර්ධනය වී ඇත. මේ කාලයේ දී අපේ විවිධ අවශ්‍යතා සඳහා විවිධ වර්ගවලින්, ප්‍රමාණවලින් හා ආකාරවලින් යුක්‌ත කෝෂ වර්ග නිෂ්පාදනය කර තිබේ. මේ විවිධත්වය ඇති වන්නේ අප ඒවා කුමන ආකාර භාවිතයක්‌ සඳහා යොදා ගන්නේ ද යන්න මත ය.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් අප භාවිත කරන සියලු කෝෂ වර්ග කාණ්‌ඩ දෙකකට අයත් වේ. එනම්, වරක්‌ භාවිත කිරීමෙන් පසු ඉවත දැමීමට සිදු වන ප්‍රාථමික කෝෂ හා නැවත නැවතත් ආරෝපණය කරමින් වැඩි වාර ගණනක්‌ භාවිත කළ හැකි ද්විතීයික කෝෂ යනුවෙනි.

පරිසර බලපෑම්

මේ විද්යුත් කෝෂ වර්ග තිරසර ලෙස භාවිතය සම්බන්ධව සැලකිය යුතු කරුණක්‌ ලෙස ඒවායේ පරිසර පියසටහන දැක්‌විය හැකි ය. එනම් අදාළ කෝෂ වර්ග නිෂ්පාදනයේ සිට භාවිතයෙන් පසුව බැහැර ලීමේ ක්‍රියාවලිය දක්‌වා වූ සමස්‌ත ජීවන චක්‍රය ඇතුළත ඒවායින් සිදු වන පරිසර බලපෑම ය.

ඇතැම් කෝෂ වර්ග සඳහා යොදාගන්නා ලෝහ වර්ග නිස්‌සාරණයේ දී හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී යම් පරිසර දූෂණයක්‌ සිදු වේ. කෝෂවල ඇති මෙවැනි ලෝහ වර්ග අතර රසදිය, ඊයම්, නිකල්, කැඩ්මියම්, තුත්තනාගම් හා ලිතියම් දැක්‌විය හැකි ය. එසේ ම ලෝකයේ පවත්නා සියලු සම්පත් සේ ම මේ ලෝහ වර්ග ද සීමා සහිත සම්පතකි. එසේ ම කෝෂ නිෂ්පාදනය සඳහා බලශක්‌තිය යොදාගැනෙන බැවින් එය ද පරිසරයට යම් බලපෑමක්‌ ඇති කරන්නකි. මේ නිසා විද්යුත් කෝෂ පරිහරණයෙ අඩු කිරීමෙන් සම්පත් ක්‌ෂය වීම පමා කළ හැකි අතර බලශක්‌ති පරිභෝජනය ද අඩු කළ හැකි ය.

අනෙක්‌ අතට විද්යුත් කෝෂ භාවිතයෙන් පසුව බැහැර කිරීමේ දී ද විෂ සහිත බැර ලෝහ පරිසරයට එක්‌ විය හැකි ය. බොහෝ රටවල භාවිතයෙන් පසු ඉවත ලන කෝෂ විශාල ලෙස බිම් පිරවුම්වලට යවනු ලැබේ. ඉන් සිදු වන්නේ මේ විෂ සහිත ලෝහ පරිසරයට එක්‌ වී පස හා ජලය දූෂණය වීම ය. මේ ඇතැම් බැර ලෝහ වර්ග ජීවීන් ගේ දේහවලට එක්‌ වීමෙන් පසුව ජෛව සාන්ද්‍රණයට ලක්‌ වීමට ද අවස්‌ථාව පවතී.

තිරසර භාවිතයකට ම`ග

මේ තත්ත්වය නිසා විද්යුත් කෝෂ වර්ග බැහැර ලීම සම්බන්ධව ඇතැම් දියුණු රටවල යම් යම් සීමා පනවා ඇත. රසදිය වැනි ද්‍රව්‍ය ඇතුළත් ඇතැම් කෝෂ වර්ග තහනම් කර ඇති අතර, සෙසු කෝෂ වර්ග බැහැර කිරීමේ දී අනුගමනය කළ යුතු සුවිශේෂ ක්‍රියාමාර්ග පවතී. විශේෂයෙන් මේවා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු කිරීම එහි ඉලක්‌කයකි.

කෝෂ වර්ගවල ඇතුළත් ප්ලාස්‌ටික්‌ හා ලෝහමය කොටස්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. ඒවා නැවතත් විද්යුත් කෝෂ හෝ වෙනත් දේ නිෂ්පාදනය සඳහා යොදාගනු ලැබේ. වාහනවල භාවිත වන ලෙඩ්-අම්ල බැටරි ලෝකයේ වඩාත් ප්‍රතිචක්‍රිකරණය කරනු ලබන ද්‍රව්‍ය අතර වේ. කෙසේ වෙතත් සෙසු වර්ගවල කෝෂ වර්ග ආරක්‌ෂිතව ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම හා සම්බන්ධව අපේ රටේ ඇති මෙවැනි පහසුකම් තවමත් සීමා සහිත ය.

පුනර්ජනනය කළ හැකි ද්විතීයික කෝෂ වර්ග වැඩි වශයෙන් යොදාගැනීම විද්යුත් කෝෂවලින් සිදු වන පාරිසරික බලපෑම අඩු කළ හැකි ක්‍රමයකි. මේ ඇතැම් කෝෂ වර්ග දහස්‌ වතාවක්‌ හෝ ඊටත් වැඩි වාර ගණනක්‌ නැවත නැවත ආරෝපණය කරමින් භාවිත කළ හැකි ය. ඒවා පරිසර හිතකාමී වන අතර දිගුකාලීන භාවිතයේ දී මුදල් ද ඉතිරි කර දෙයි. එසේ ම ඔබ විසින් පරිසරයට එක්‌ කරනු ලබන භාවිත කළ බැටරි ප්‍රමාණය ද අඩු කරයි. පුනර්ජනනය කළ හැකි කෝෂවල පාරිසරික බලපෑම සාපේක්‌ෂව අඩු බව පර්යේෂණාත්මකව පෙන්වා දී ඇත.

අප කළ යුතු දේ

* විද්යුත් කෝෂ භාවිතය අවම කළ යුතු ය. අපට කෝෂ අවශ්‍ය නො වන උපකරණ භාවිතය වැඩි කළ හැකි ය. උදා( වයින් කරන ඔරලෝසු

* කෝෂ භාවිතයේ දී අදාළ පිළිවෙත් අනුගමනයෙන් ඒවා වැඩි කාලයක්‌ භාවිත කළ හැකි ය.

* පුනර්ජනනය කළ හැකි කෝෂ වර්ග හැකිතාක්‌ භාවිත කිරීම යෝග්‍ය ය. එහි දී(

- කෝෂයක්‌ භාවිතයට පෙර මුලින් ම ආරෝපණය කිරීමේ දී අදාළ උපදෙස්‌ ඒ අයුරින් ම පිළිපැදීමෙන් කෝෂයේ උපරිම ධාරිතාව ලබා ගත හැකි ය.

- කෝෂයක්‌ ආරෝපණය වී අවසන් වූ පසු ආරෝපකයෙන් ඉවත් කළ යුතු ය. ආරෝපණය වූ පසුවත් දිගට ම ආරෝපණය කිරීම කෝෂයක ආයු කාලය කෙටි කිරීමට හේතු වේ.

* අප භාවිත කළ බැටරි බැහැර ලීමේ දී ඒ සඳහා සකසා ඇති ස්‌ථානවලට බැහැර කිරීමට සැලකිලිමත් විය යුතු ය. ජංගම දුරකථන කෝෂ වැනි කෝෂ වර්ග ප්‍රතිචක්‍රිකරණය සඳහා එකතු කරන ස්‌ථාන අපේ රටේ පවතී.

* බොහෝ බැටරි වර්ග පොළොවේ වැළලීම යෝග්‍ය නො වේ.

* කෝෂ වර්ග විවෘත ව දහනය කිරීමෙන් වැළකිය යුතු ය. කෝෂ වර්ග දහනය කිරීමේ දී විවිධ විෂ සහිත වායු වර්ග නිකුත් විය හැකි අතර ඉතිරි වන අ`ඵ අතර ද හානිකර ද්‍රව්‍ය තිබිය හැකි ය.

ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්‌ dhaneshw@ymail.com

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය