මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ - "පාෂාණ"

කෙනකු විසින් පරීක්‍ෂාවට ලක්‌ කරනු ලබන
පාෂාණය අනුව ප්‍රතිඵල රඳා පවතිනවා

මහාචාර්ය වික්‍රමසිංහ පේරාදෙනියේ භූවිද්‍යාඥයනට පිළිතුරු දෙයි

අරලගන්විල උල්කාෂ්මය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් දක්‌වන අදහස්‌ සම්බන්ධව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමග විදුසර කළ සාකච්ඡාවකි මේ.

මහාචාර්යතුමනි, අරලගන්විල උල්කාෂ්මය සම්බන්ධයෙන් උදා වී ඇති අලුත් ම සංවාදය ගැන ඔබ ගේ අදහස්‌ පැහැදිලි කළ හැකි ද?

ඉතා කණගාටුවෙන් වුව ද, මට ප්‍රකාශ කර සිටින්නට වන්නේ භූ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් සමග එකඟ වන්නට නොහැකි බවයි.

මගේ පර්යේෂණ කණ්‌ඩායම පුළුල් විවිධත්වයකින් යුත් අකුණු සැර වැදී නිර්මාණය වුණු පාෂාණ නැතිනම් අකුණු පාෂාණ (Fulgurite) විශාල සංඛ්‍යාවක්‌ ආලෝක අණ්‌වීක්‍ෂය යටතේත් (Light microscope) පරිලෝකන ඉලෙක්‌ට්‍රොන අණ්‌වීක්‌ෂය (Scan Electron Microscope) යටතේත් පරීක්‍ෂා කර බැලුවා. අප තෝරාගත් එම අකුණු පාෂාණ, නියෑදි විවිධත්ව අනුව පුළුල් පරාසයකට අයත් වුණා. ආලෝක අණ්‌වීක්‍ෂය යටතේ අප පරීක්‍ෂා කළ එම අකුණු පාෂාණවල ව්‍යුහය අරලගන්විල උල්කාෂ්මයේ ව්‍යුහයට යම් සමානකම් පෙන්නුම් කළා. එහෙත් පරිලෝකන ඉලෙක්‌ට්‍රොන අණ්‌වීක්‍ෂය යටතේ දකින්නට ලැබුණේ සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ නිරීක්‍ෂණයන්. ඒ වගේ ම පැහැදිලි ව ම පෙනෙන වෙනස්‌කම් ප්‍රතිඵල වුණේ එක්‌ස්‌ කිරණ විවර්තන (X ray diffraction studies) පරීක්‌ෂණවලින්. (Study of crystal structures)

අකුණු පාෂාණ නියෑදි හුදෙක්‌ සිලිකන් ඩයොක්‌සයිඩ් (SiO2) හෙවත් සිලිකා පෙන්නුම් කළ අතර උල්කාෂ්ම නියෑදියේ දකින්නට ලැබුණේ ස්‌ඵටිකරූපී ක්‌වා(ර්)ට්‌ස්‌ (CCrystalline Quartz) හා ඕපල් (Opal) යන ඛනිජ ආකාරයයි.

මූලද්‍රව්‍ය විශ්ලේෂණයේ දී අකුණු පාෂාණ ප්‍රධාන වශයෙන් ම සමන්විත වූයේ සිලිකන් (Si) හා ඔක්‌සිජන් (O2)වලින් වන අතර උල්කාෂ්ම නියෑදිය කාබන් (C) ප්‍රමුඛ විශාල පරාසයකින් යුත් විවිධ මූලද්‍රව්‍යයන් ගෙන් සමන්විත වුණා. ඒ වගේ ම කාබන් දක්‌නට ලැබුණේ විශාල වූ අණුක ආකාරයකින් (macromolecules).

පසුගිය විදුසර කලාපයක පළ වී තිබුණු වී ඇටයක පොත්තේ සලකුණ සහිත ඡායාරූපය මා දුටුවා. ඒ අනුව පේරාදෙණිය භූ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් පරීක්‍ෂාවට ලක්‌ කළ පාෂාණ නියෑදිය ම පරීක්‍ෂාවට ලක්‌ කළා නම් මා ද ඔවුන් හා එකඟ වන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

එහෙත් අප පරීක්‍ෂා කළ නියෑදියේ අප එවැන්නක්‌ නිරීක්‌ෂණය කළේ නැහැ. අපි පරිලෝකන ඉලෙක්‌ට්‍රොaන අණ්‌වීක්‌ෂයත් (SEM) ආලෝක අණ්‌වීක්‌ෂයත් යන දෙක ම භාවිත කර එම නියෑදි පරීක්‌ෂාවට ලක්‌ කර තිබෙනවා.

එසේ ම මා මෙය ද පැවසිය යුතුයි. අප පසුගිය දා අරලගන්විල ගිය අවස්‌ථාවේ දී එම කුඹුරු යායෙන් පාෂාණ කැබැලි බොහොමයක්‌ එකතු කරගත්තා. එහෙත් පරීක්‍ෂා කර බැලූ විට ඒ අතරින් උල්කාෂ්ම ලෙස සලකන්නට හැකි වූයේ එයින් 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්‌. අනෙක්‌ 90% ම පාහේ කිසිසේත් ම උල්කාෂ්ම ගණයේ ලා සැලකීමේ හැකියාවක්‌ තිබුණේ නැහැ.

මේ අනුව කෙනකු පරීක්‍ෂාවට ලක්‌ කරනු ලබන පාෂාණය අනුව ප්‍රතිඵල රඳා පවතිනවා. මා කථා කරන්නේ ආරම්භයේ දී ම මට ලැබුණු උල්කාෂ්ම නියෑදිය පරීක්‍ෂාවෙන් මා ලද ප්‍රතිඵල අනුව එළැඹුණු නිගමනයන් ගැනයි.

අරලගන්විල පාෂාණය උල්කාෂ්මයක්‌ බව සනාථ කරලීම සඳහා ඔබ සතු ව අලුත් සාක්‍ෂි තිබෙනවා ද?

ඔව්. ආචාර්ය ඡේමි වොලිස්‌ (Dr. Jamie Wallis) හා ආචාර්ය ඩැරිල් වොලිස්‌ (Dr. Daryl Wallis) විසින් ඔක්‌සිජන් සමස්‌ථානිකය සම්බන්ධයෙන් මීට දෙසතියකට පෙර කරන්නට යෙදුණු පර්යේෂණවලින් මේ බව තවදුරටත් සනාථ වී තිබෙනවා.

අරලගන්විල උල්කාෂ්ම නියෑදියේ හමු වූ O16, O17 හා O18 යන සමස්‌ථානිකයන්හි අනුපාතය පෘථිවිය මත හමු වන එම සමස්‌ථානිකයනට හාත්පසින් ම වෙනස්‌ ස්‌වරූපයක්‌ උසුලනවා. මේ අනුව අප පරීක්‍ෂා කළ අරලගන්විල පාෂාණ නියෑදිය අනිවාර්යයෙන් ම උල්කාෂ්මයක්‌ බව සැක සංකාවකින් තොර ව හඳුන්වන්නට පුළුවන්.

ඒ වගේ ම මේ තාක්‌ අප සිදු කළ පර්යේෂණවලින් පෙනී යන්නේ මෙය දුර්ලභ ගණයේ උල්කාෂ්මයක්‌ වන්නට බොහෝ ඉඩකඩ ඇති බවයි. මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහාද අප තවදුරටත් පර්යේෂණ සිදු කරගෙන යනවා.

ජර්නල් ඔෆ් කොස්‌මොලොජි (Journal of Cosmology) නම් ඔන්ලයින් ජර්නලයේ ප්‍රධාන කර්තෘ වන හාවඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රුඩ් ස්‌කිල්ඩ් ((Professor Rudy Schild) විසින් එහි 22 වැනි වෙළුම අරලගන්විල පාෂාණයේ සම්භවය සම්බන්ධව වෙන් කර තිබෙනවා.

ඉදින් මේ අනුව ඕනෑ ම අයකුට විද්‍යාත්මක වූ සංවාදයක්‌ සඳහා සිය අදහස්‌ හා මතවාදයන් ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව එයින් උදා වී ඇති බැව් සිහිපත් කරන්නට මා සතුටුයි.

එක්‌සත් රාජධානියේ බකිංහැම් අභ්‍යවකාශ ජීව විද්‍යා (Astrobiobgy) මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ, බකිංහැම් විශ්වවිද්‍යාලයයේ හා කාඩිෆ් විශ්වවිද්‍යාලයයේ

මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ
සමග සාකච්ඡා කළේ
මදාරා සරසි ද සිල්වා
(එක්‌සත් රාජධානියේ සිට)

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය