මිනිස්‌ ජාලයක්‌ සහ පරිගණක ජාලයක්‌ අතර වෙනස කුමක්‌ ද?

මිනිස්‌ ජාලයක්‌ සහ පරිගණක ජාලයක්‌
අතර වෙනස කුමක්‌ ද?


මිනිස්‌ ජාලයක්‌ අධ්‍යයනයේ දී මෙන්ම පරිගණක ජාලයක්‌ අධ්‍යයනයේ දී ද පොදුවේ ඕනෑ ම ජාලයක්‌ අධ්‍යයනයේ දී යොදාගන්නා සමස්‌ත විශ්ලේෂණ ක්‍රමවේදයන් භාවිත කරනු ලබන බව මා දැක ඇත. එම ක්‍රමවේදයන් බොහොමයක්‌ ගණිතමය සහ සංඛ්‍යානමය ආකෘතීන් පදනම් කරගත් බව ද පැහැදිලිව පෙනී යන කාරණයකි. තව ද පරිගණක ජාලයක්‌ අධ්‍යයනය කොට එහි ක්‍රියාකාරීත්වය ගැන අනාවැකි (පුරෝකථනය) පළ කිරීම මිනිස්‌ ජාලයක හැසිරීම ගැන අනාවැකි පළ කිරීමට වඩා නිරවද්‍යව මෙන්ම පහසුවෙන් කළ හැකි ය. මීට හේතු වන්නේ පරිගණක ජාලයක ඇති පරිගණක උපාංග මිනිස්‌ ජාලයක සිටින මිනිසුන්ට වඩා තාර්කිකව ක්‍රියාත්මක වීම යන කාරණය විය හැකි ය. පරිගණකයක්‌ බොහෝ දුරට එහි නිර්මාපකයන් බලාපොරොත්තු වූ ආකාරයට නිශ්චිත මෙන්ම තාර්කික හැසිරීමක්‌ සහිත ව ක්‍රියාත්මක වීම නිසා පරිගණක ජාලයන්හි ක්‍රියාකාරීත්වය පිළිබඳව නිරවද්‍යව අනාවැකි පළ කිරීම පහසු වන්නට වැඩි ඉඩක්‌ ඇත. එම නිසා අපේක්‌ෂිත අවශ්‍යතාවන් සඳහා පරිගණක ජාලයක්‌ නිරවද්‍යව නිර්මාණය කිරීම, මිනිස්‌ ජාලයක්‌ නිරවද්‍යව නිර්මාණය කිරීමට (හෝ ඒ ගැන අනාවැකි පළ කිරීමට) වඩා පහසු දෙයක්‌ බව පෙනෙන්නට තිබේ. මිනිසුන් ගෙන් සමන්විත ජාලයක හැසිරීම අධ්‍යයනය සංකීර්ණ වීම, මිනිසුන්ට මනසක්‌ තිබීම නිසා මිනිස්‌ ජාලයේ හැසිරීමට අතාර්කිකභාවයක්‌ එකතු වීමෙන් සිදු වන්නක්‌ බව පෙනී යයි. මිනිසුන් ගේ ඇතැම් අතාර්කික හැසිරීම් නැවත නැවතත් සිදු වන පුරෝකථනය කළ හැකි (අනාවැකි පළ කළ හැකි) ආකාරයට සිදු වන ඒවා බව සොයාගන්නට ලැබුණ හොත් එහි දී අනාවැකි පළ කිරීම තවදුරටත් පහසු කාරණයක්‌ වනු ඇත.

1969 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් මරේ ගෙල්මන් නමැති විද්‍යාඥයා වරක්‌ ප්‍රශ්න කොට ඇත්තේ භෞතික විද්‍යාවේ සඳහන් වන අංශුවලට යම් හෙයකින් හිතන්නට පුළුවන් වූයේ නම් භෞතික විද්‍යාව කෙතරම් දුෂ්කර හැදෑරීමක්‌ වීමට ඉඩ තිබුණේ ද යන්නයි. ((Nobel laureate Murray Gell-Mann once said, Think how hard physics would be if particles could think).

(තවමත්) සිතන්නට නොහැකි බොහෝ දුරට තාර්කිකව ක්‍රියාත්මක වන පරිගණක සහිත ජාලයක්‌ ගැන අනාවැකි කීමට වඩා සිතන්නට හැකි මිනිසුන් සහිත මිනිස්‌ ජාලයක්‌ ගැන අනාවැකි කීම අපහසු වන්නේ කුමක්‌ නිසා ද යන්න මේ කියමන අනුව තරමක්‌ දුරට වත් අපට සාකච්ඡා කළ හැකි ය. මිනිසුන් ගේ ක්‍රියාකාරීත්වය පුරෝකථනය කිරීමට අපහසු වී ඇත්තේ ප්‍රධාන වශයෙන් ම මිනිසුන්ට සිතන්නට හැකියාවක්‌ සහිත මනසක්‌ තිබීම නිසා ය. සිතන්නට මනසක්‌ තිබුණ පමණකින් ම මිනිසුන් ගැන අනාවැකි පළ කිරීම පහසු වන බව උපකල්පනය කළ නොහැකි ය. මිනිසුන් තාර්කිකව හෝ අවම වශයෙන් පුරෝකථනය කළ හැකි ආකාරයට හෝ සිතන්නේ නම් සහ ඒ අනුව හැසිරෙන්නේ නම් මිනිස්‌ ජාලයක්‌ ගැන වුව ද නිරවද්‍ය වූ අනාවැකි පළ කළ හැකි ය. එනමුත් මිනිස්‌ ජාලයක හැසිරීම පිළිබඳව අනාවැකි පළ කිරීම සාපේක්‍ෂව අපහසු වී ඇත්තේ මිනිසුන් ගේ ඇතැම් අතාර්කික සිතීම් සහ හැසිරීම් සහිත ක්‍රියාකාරකම් පැවතීම නිසා ය.

බටහිර දාර්ශනිකයන් මනස ගැන පළ කළ අදහස්‌ සහ ඒත් සමග ම පරිගණකය පිළිබඳ සංකල්පය එම මතයන්ට ඈඳී ඇති ආකාරය අපට යම් ප්‍රමාණයකට මෙහි දී සාකච්ඡා කළ හැකි ය.

රෙනේ ඩේකාර්ට්‌ස්‌ නම් ප්‍රංශ ජාතික දාර්ශනිකයකු (1596-1650) විසින්, මිනිසා යනු භෞතික (ශරීර) සහ භෞතික නො වූ (මනස) යන දෙකොට්‌ඨාසයක නිර්මිතයක්‌ බව පවසන ලදී. එනමුත් 1643 දී එලිසබෙත් නම් වූ බොහිමියර් රජ කුමරියක විසින් ඔහු වෙත ලිපියක්‌ ලියා විමසන ලද්දේ, භෞතික ශරීරයක්‌ භෞතික නො පවත්නා වූ මනසක ඇති වන සිතිවිලි ම`ගින් ක්‍රියාත්මක වන ආකාරය (හේතු ඵල සම්බන්ධය) පැහැදිලි කළ හැකි ද යන්නයි. එවැනි දෙයක්‌ සිදු විය නොහැකි බවට ලිපියේ දී වැඩිදුරටත් කරුණු දක්‌වන ලද ඇය ඊට සාධකයක්‌ ලෙස දක්‌වන ලද්දේ භෞතික වස්‌තුවක්‌ චලනය කිරීමට තවත් භෞතික වස්‌තුවකින් ම බලපෑමක්‌ (තල්ලුවක්‌ හෝ ඇදීමක්‌) අවශ්‍ය වන බවයි. පසුකාලීනව බටහිර දාර්ශනිකයන් මේ එලිසබෙත් කුමරිය විසින් මතු කරන ලද එම ප්‍රශ්නය පහසුවෙන් ම විසඳීම සඳහා මිනිසා ගේ ශරීරය පමණක්‌ නො ව සිතීම ද භෞතික ක්‍රියාවලියක්‌ බවට උපකල්පනය කරන ලදි. ඒත් සමග ම මනස සහ ශරීරය යන දෙක ම භෞතික වූ පැවැත්මකට පමණක්‌ ඌනනය වන බව කියවෙන භෞතිකවාදයන්හි පෙරට පැමිණීම සිදු විය. මේ අනුව සුළු වෙනස්‌කම් සහිත ව විවිධාකාර භෞතිකවාදයන් ඇති වූ අතර ඒවා අතරින් තදාත්ම්‍යවාදය (Identity Thoery) නම් දාර්ශනික මතයක්‌ කලක්‌ ප්‍රකට ව පැවතිණ. තදාත්ම්‍යවාදයේ හරය වූයේ කිසියම් මානසික මට්‌ටමක්‌ ඊට අනන්‍ය වූ මොළයේ කිසියම් නිශ්චිත භෞතිකව නිර්මිත පැවැත්මකින් නිරූපනය වන බවයි. මානසික අවස්‌ථාවක්‌ මොළයේ කිසියම් නිශ්චිත වූ භෞතික පැවැත්මකට ඌනනය වන බව එහි අදහසයි. තදාත්ම්‍යවාදය මේ නිසා ඌනිතවාදයක්‌ (Reductionist View) ලෙස ද හැඳින්විය හැකි ය. තව ද තදාත්ම්‍යවාදයේ මූලික ම පදනම වූයේ මනස යනු භෞතික ශරීරය නිර්මාණය වී ඇති අමුද්‍රව්‍යයන් ගේ ම කිසියම් නිර්මිතයක්‌ බවයි.

1967 වසරේ දී හිලරි පට්‌නම් නමැති දාර්ශනිකයා තදාත්ම්‍යවාදය ගැන විවේචනයක්‌ කරමින් කියා සිටියේ එකිනෙකට වෙනස්‌ වූ සත්ත්වයන් ගේ හෝ සත්ත්ව වර්ගයා ගේ භෞතික ශරීරයේ නිර්මිතයන් එකිනෙකට වෙනස්‌ වන බැවින් එකිනකට සමාන වූ මානසික අවස්‌ථාවන් ඔවුන් අතර පැවතීම පැහැදිලි කිරීමට තදාත්ම්‍යවාදය අසමත් වන බවයි. උදාහණයක්‌ ලෙස මිනිසුන් සහ බූවල්ලන් යනු එකිනෙකට සහමුලින් ම වෙනස්‌ වූ සත්ත්ව විශේෂ දෙකකි. එහෙත් මේ සත්ත්ව විශේෂ දෙකට ම අයත් සත්ත්වයන්ට වේදනාව යන මානසික තත්ත්වය පොදුවේ දැනෙන බව පෙනෙන්නට තිබේ. එනම් සත්ත්ව විශේෂ දෙකට ම අයත් සත්ත්වයන් ගේ ශරීරවලට හානියක්‌ කළ විට වේදනාවක්‌ දැනෙන බව ඔවුන් ගේ බාහිර ප්‍රතිචාරවලින් (ක්‍රියාකාරීත්වය ඇසුරින්) හඳුනාගත හැකි ය. මේ අනුව ශාරීරික වශයෙන් එකිනෙකාට අසමාන වුව ද මේ සත්ත්ව විශේෂ දෙකට ම පොදුවේ වේදනාව දැනීම නම් මානසික (පීඩන) අවස්‌ථාව ඇති වන බව පෙනී යයි. එනමුත් මිනිසුන් ගේ සහ බූවල්ලන් ගේ භෞතික ශරීරය සහ මොළය නිර්මාණය වී ඇති අමුද්‍රව්‍යයන් සහමුලින් ම එකිනෙකට වෙනස්‌ වේ. මේ අනුව සත්ත්ව විශේෂ දෙකට ම එකිනෙකට සමාන ව ඇති වන මානසික තත්වයන් නිරූපනය සඳහා සර්වසම අමුද්‍රව්‍යවලින් නිර්මිත භෞතික ශරීරයක්‌ හෝ සර්වසම වූ මොළ නොමැති වුව ද හැකියාවන් ඇති බව පෙනී යයි. එකිනෙකාට ශාරීරිකව වෙනස්‌ සත්ත්වයන් අතර පොදුවේ සමාන ව ඇති වන මානසික තත්ත්වයන්ට අනුරූප වශයෙන් සර්ව සම වූ භෞතික අවස්‌ථා පැවතීමක්‌ ගැන තදාත්ම්‍යවාදය වැනි පටු දැක්‌මක්‌ ඇසුරින් විග්‍රහ කළ නොහැකි බව හිලරි පට්‌නම් විසින් මෙලෙස විග්‍රහ කරමින් පෙන්වා දෙන ලදි. ඔහු ඒ වෙනුවට යෝජනා කරන ලද්දේ මානසික අවස්‌ථාවන් නිරූපනය කිරීමට භෞතික ශරීරයේ හෝ මොළයේ හෝ භෞතික අවස්‌ථාවන් අනුයුක්‌ත කිරීමටකට උත්සාහ දරනු වෙනුවට ක්‍රියාවන් ඒ සඳහා අනුයුක්‌ත කිරීම සලකා බැලිය හැකි බවයි. මේ අනුව කෘත්‍යවාදය ((Functionalism) නම් තවත් භෞතිකවාදයක්‌ බිහි විය. මානසික අවස්‌ථාව කුමකින් (කුමන අමුද්‍රව්‍යයකින්) සෑදුණි ද යන්න නො සලකා ඒ වෙනුවට මානසික අවස්‌ථාවෙන් කුමක්‌ කෙරෙන්නේ ද යන්න සලකා බැලීම වඩාත් සුදුසු බව ඔහු විසින් පෙන්වා දෙන ලදි. එනම් එක ම (එක සමාන) මානසික තත්ත්වයක්‌ එකිනෙකට වෙනස්‌ භෞතික ශරීර සහිත සැකසුම් ම`ගින් ද නිරූපනය විය හැකි බව ඔහු ගේ මතය විය. එහි දී මිනිසා මෙන්ම බූවල්ලා ද භෞතික ශරීර ස්‌වභාවයෙන් වෙනස්‌ වුව ද වේදනාව වැනි එක ම මානසික තත්ත්වයක්‌ සඳහා සමාන වූ ප්‍රතිචාරයන් දැක්‌වීමක්‌ සිදු විය හැකි ය.

තවත් භෞතිකවාදයක්‌ වුව ද කෘත්‍යවාදයේ දී වඩා වැදගත් වන්නේ, මනස භෞතිකව කුමකින් සෑදී ඇත් ද යන කාරණයට වඩා මනසින් කුමක්‌ කෙරෙන්නේ ද යන කාරණයයි.

මනස පිළිබඳ කෘත්‍යවාදයේ දී මෙන්ම පරිගණක විද්‍යාවේ දී ද වඩා වැදගත් ලෙස සැලකෙන්නේ පරිගණකය හෝ එහි මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit) කුමන අමුද්‍රව්‍යයකින් සෑදී ඇත්තේ ද යන්නට වඩා එහි ක්‍රියාකාරීත්වය කෙසේ සිදු වන්නේ ද යන්නයි. තවදුරටත් මෙය පැහැදිලි කළ හොත්, පරිගණකයේ මධ්‍යම සැකසුම් ඒකකය සිලිකන් හෝ වෙනත් අමුද්‍රව්‍යයකින් සෑදී තිබේ ද යන කාරණයට වඩා පරිගණකයට ආදානයක්‌ (Inputs) ලබා දුන් විට ඊට අනුකූලව දත්ත සැකසීමේ ක්‍රියාවලියක්‌ හරහා විශ්වාසදායී ආකාරයට ප්‍රතිපාදනයන් (Outputs) ලබා දීමේ කාර්යය සලකා බැලීම වඩාත් වැදගත් බව මෙහි අදහසයි. එනම් තොරතුරු හෝ දත්ත සැකසුම් යන්ත්‍රයක්‌ හෙවත් පරිගණකයක්‌ යන්න හඳුන්වා දීමේ දී වඩාත් වැදගත් වන්නේ එහි දත්ත සැකසීමේ කාර්යය සිදු කරන්නේ කෙසේ ද යන්න මිස එය නිමවා ඇති අමුද්‍රව්‍ය කුමක්‌ ද සඳහන් කිරීම නො වේ.

කෘත්‍යවාදය ඇසුරින් මිනිස්‌ මනසක පැවැත්ම සඳහා කිසියම් සංකීර්ණ මට්‌ටමක ක්‍රියාකාරීත්වයක්‌ එතුළ සිදු විය යුතු බව සඳහන් විය. එම කෘත්‍යය (කාර්යය) වශයෙන් සංකීර්ණත්වය කුමන මට්‌ටමක පැවතුණ හොත් එය මනසක්‌ ලෙස හැඳින්විය හැකි ද යන්න ඒ ඇසුරින් නැ`ගුණ තවත් ප්‍රශ්නයකි. තව ද "පරිගණකයකට හෝ වෙනත් එවැනි යන්ත්‍රයකට සිතිය හැකි ද?"Êසහ "පරිගණකයක්‌ සහ මනසක්‌ අතර වෙනස කුමක්‌ ද?" යනාදී ප්‍රශ්න ද බටහිර දාර්ශනිකයන් අතර එලෙසින් ම සාකච්ඡා වී ඇත. උදාහරණයක්‌ ලෙස, 1950 දී පමණ ඇලන් ටියුරින් (1912-1954) නමැති දාර්ශනිකයා පවසා සිටියේ යන්ත්‍රයක්‌ (පරිගණකයක්‌) සහ මිනිස්‌ මනසක්‌ අතර වෙනස හඳුනාගත නොහැකි තරමට ම යන්ත්‍රයට මිනිසා අනුකරණය කළ හැකි වුව හොත් එහි දී එම යන්ත්‍රයටත් මිනිස්‌ මනස තරමේ ම සංකීර්ණ ක්‍රියාකාරීත්වයක්‌ ඇති බව සඳහන් කළ හැකි බවයි. තව ද ඔහු විසින් මේ සඳහා චිත්ත පරීක්‌ෂණයක්‌ ද යෝජනා කරන ලදි. මිනිසකු සහ යන්ත්‍රයක්‌ එකිනෙකා ගෙන් වෙන් කොට බාහිරින් හඳුනාගත නොහැකි පරිදි සඟවා තබාගෙන තවත් මිනිසකුට විවිධ ප්‍රශ්න ඇසීමට ඉඩ ලබා දෙනු ලැබේ. මෙහි දී ප්‍රශ්න අසන මිනිසා හට එහි දී පිළිතුරු දෙන යන්ත්‍රය හෝ පිළිතුරු දෙන මිනිසා බාහිර ස්‌වරූපයෙන් හඳුනාගැනීම වළක්‌වා ලමින්, හැකි නම් ප්‍රශ්න සහ පිsළිතුරු ම`ගින් පමණක්‌ එම වෙනස හඳුනාගැනීමට ඉඩකඩ ලැබෙන පරිදි එකිනෙකා ගෙන් සැඟවීම කරනු ලැබේ. මෙලෙස ප්‍රශ්න අසන මිනිසා හට පිළිතුරු දෙන මිනිසා සහ යන්ත්‍රය එම ප්‍රශ්නෝත්තර ක්‍රමය හරහා එකිනෙකා ගෙන් වෙන් කොට හඳුනාගත නොහැකි වන අවස්‌ථාවක්‌ උදා වුව හොත් එහි දී එම යන්ත්‍රයටත් මිනිස්‌ මනසටත් එක සමාන සංකීර්ණ මට්‌ටමේ ක්‍රියාකාරීත්වයක්‌ ඇති බව උපකල්පනය කළ හැකි බව ටියුරින් විසින් පවසන ලදී. මෙය ටියුරින් පරීක්‌ෂණය ලෙස පසුකාලීනව ප්‍රකට විය. මෙහි දී ටියුරින් පරීක්‌ෂණයක්‌ සිදු කිරීමෙන් පසු මිනිසකු සහ යන්ත්‍රයක්‌ එකිනෙකා ගෙන් වෙන් කොට නිශ්චිතව හඳුනාගත නොහැකි වුව හොත්, එවිට එම යන්ත්‍රයටත් සිතීමට හැකියාව ඇති මිනිසකු ගේ මනසක සංකීර්ණතා මට්‌ටමට සමාන වූ ක්‍රියාකාරීත්වයක්‌ ඇති බව උපකල්පනය කරන ලදී.

එහෙත් ටියුරින් පරීක්‌ෂණයේ ප්‍රධාන දුර්වලතාවන් තුනක්‌ ගැන බටහිර දාර්ශනිකයන් අතර සාකච්ඡා වී ඇත. ඒවා නම්,

1. ප්‍රශ්න අසන්නා වූ භාෂාව මත ටියුරින් පරීක්‌ෂණයේ නිරවද්‍යතාව රඳා පැවතීම.

2. මිනිසුන් දෙදෙනකු යොදාගන්නා නිසා මිනිසුන් ගේ බුද්ධි මට්‌ටමේ සංකීර්ණත්වයට අදාළව පමණක්‌ පරීක්‌ෂණය සිදු කිරීම හෙවත් මෙය මානව කේන්ද්‍රීය පරීක්‌ෂණයක්‌ පමණක්‌ වීම.

3. යන්ත්‍රයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන ටියුරින් පරීක්‌ෂණයේ දී සැලකිල්ලක්‌ නො දැක්‌වීම නිසා යන්ත්‍රය බුද්ධියක්‌ නොමැති හුදු සංකේතයන් එහා මෙහා කරන්නක්‌ පමණක්‌ විය හැකි බව.

1980 දී ජෝන් සර්ල් නම් දාර්ශනිකයකු විසින් ටියුරින් පරීක්‌ෂණය වෙනුවට වෙනත් චිත්ත පරීක්‌ෂණයක්‌ යෝජනා කරමින් වඩා වැදගත් කාරණයක්‌ පහදා දෙන්නට උත්සාහ දරන ලදී. එම පරීක්‌ෂණය චීන කාමර පරීක්‌ෂණය නමින් පසුව ප්‍රකට විය. එම පරීක්‌ෂණයේ දී චීන භාෂා සංකේතයක්‌ එක්‌තරා ආවරණය වූ කාමරයක ඇති ආදාන (Input) කවුළුවක්‌ තුළින් ඇතුළු කළ පසුව ඊට අනුකල ප්‍රතිදානයක්‌ (Output) තෝරා අනතුරුව තවත් කවුළුවකින් පිටතට ප්‍රතිදානයක්‌ ලෙසින් ලබා දෙනු ලැබේ. මෙහි දී සිදු වන්නේ ප්‍රශ්නයක්‌ ලෙස සංකේතයක්‌ ඇතුළු කළ පසු කාමරය අභ්‍යන්තරයේ ඇති යන්ත්‍රයකින් කිසියම් ඊට අනුකූල තවත් පිළිතුරු සංකේතයක්‌ ආදානය ලෙස තෝරා පිටතට ලබා දීමක්‌ පමණි. එහි දී සංකේත එහා මෙහා කිරීමක්‌ හැර කිසිදු සිතීමක්‌ හෝ බුද්ධිමත් ක්‍රියාවලියක්‌ සිදු නො වන බව ජොන් සර්ල් ගේ මතය විය. එම නිසා ඉහත දැක්‌වූ ටියුරින් පරීක්‌ෂණය යන්ත්‍රයක්‌ සහ මිනිසකු අතර බුද්ධි පරීක්‌ෂණයක්‌ සඳහා යොදා ගැනීම කෙතරම් සාධාරණ ද යන්න ඔහු විසින් ප්‍රශ්න කරන ලදී. සර්ල් ගේ මේ චිත්ත පරීක්‌ෂණයත් සමග ම සාකච්ඡා වූ තවත් වැදගත් කාරණයක්‌ වන්නේ, පරිගණකයකට යම් වචනයක (දත්තයක) සංකේතාත්මක (පද ඝටන) ගුණයක්‌ (Syntactic Property) හඳුනාගත හැකි වුව ද එහි අර්ථයක්‌ (Semantic Properyt) වටහා ගැනීමට නොහැකි බවයි. මේ අනුව පරිගණකයක දත්ත සකස්‌ කිරීමේ ක්‍රියාවලිය කෙතරම් සංකීර්ණ මට්‌ටමකින් සිදු කෙරුණත් එය මිනිස්‌ මනසක සිතීමකට සමාන කළ නොහැකි බවට තවදුරටත් අදහස්‌ පළ වී ඇත.

තව ද මෙහි දී බටහිර භෞතිකවාදී දාර්ශනිකයන් තවමත් පරිසරයේ ඇති එක්‌ භෞතික ද්‍රව්‍යමය කොටසක (ශරීරයක) මනස සහිත ජීවයක්‌ තිබීමටත් වෙනත් භෞතික කොටසක මනස සහිත ජීවයක්‌ නො පැවතීමටත් පැහැදිලි හේතුවක්‌ දැක්‌වීමට අසමත් ව ඇති බව ද පෙනෙන්නට තිබෙන කාරණයකි. භෞතිකවාදයේ මතවාදී වශයෙන් මෙවැනි දාර්ශනික ගැටලු තිබුණ ද බටහිර සංස්‌කෘතිය තුළ පරිගණකය නිර්මාණය කොට වර්ධනය කිරීමේ දී භෞතිකවාදය එයට කිසියම් පදනමක්‌ වූ බව පෙනෙන්නට තිබෙන කාරණයකි.

මේ අනුව විවිධාකාර පැහැදිලි කිරීම් මගින් පරිගණකයන් සහ මනසක්‌ සහිත මිනිසුන් අතර පවතින පැහැදිලි වෙනස්‌කමක්‌ ලෙස මිනිසුන් සතු සිතීමේ හැකියාව හඳුන්වා දිය හැකි ය. පරිගණකයන්හි දත්ත සැකසීමේ ක්‍රියාවලියත් මිනිසුන් ගේ සිතීමේ ක්‍රියාවලියත් අතර ඇති පැහැදිලි වෙනසක්‌ වන්නේ මිනිස්‌ මනසට යමක අර්ථය හඳුනා ගැනීමට ඇති විශේෂ හැකියාවයි. හුදු සංකේත එහා මෙහා කරන ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක වන පරිගණක මෙන් නො ව මනසක්‌ සහිත මිනිසුන්ට හැඟීම් දැනීම් ද සහිත වූ සිතිවිලි ද පහළ වේ. මෙලෙසින් ම පරිගණක ජාලයක්‌ සහ මිනිස්‌ ජාලයක්‌ අතර වෙනසක්‌ ඇති වන්නේ ද ඉහත දැක්‌වූ පරිදි පරිගණකවලට තවමත් සිතීමට හැකියාවක්‌ නොමැති බැවිනි.

ඉන්දික ප්‍රසාද් කුමාර (පරිගණක ජාල නිර්මාණ ශිල්පී)

Popular posts from this blog

සාගර දූෂණය වැළැක්‌වීමට දායක වෙමු

ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු

මානව සංවර්ධන වාර්තාව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය